Sunday, June 9, 2024

නිවනක් දනවන නිවහනක් දුටිමි

 නිවනක් දනවන නිවහනක් දුටිමි


ඉතින් මම මීට කලින් සතුටු කතන්දරයට ලිව්ව ජොඈන් සහ විලීගේ...දුවකගේ සහ තාත්තෙක්ගේ කතාව මතක ඇති නේ....

විලීව රෝහලෙන් ගෙදර යවන්න කලින් අපි එයාලගේ ගෙදර බලන්න access visit එකක් ගියා.Home visit එකකයි Access visit එකකයි වෙනස වෙන්නෙ...access visit එකකදි යන්නේ ටිම් එක විතරයි...රෝගියාව එක්ක යන්නෙ නෑ....මමයි මගේ සහාය භෞත චිකිත්සක නිලධාරියායි ජොඈන්ට ඇමතුමක් දීලා ඔන්න ඒ නිවහනට ගියා.....

මේ රටට රැකියාවට ආවාට පස්සෙ මම මේ වෙනකොට access visits පනහක් විතර ගිහින් ඇති....ඒත්..මම දැක්ක සුන්දර ම නිවහන ජොඈන්ගෙයි විලීගෙයි ඒ නිවහන....කියලා මම දෙපාරක්ම නොහිතා කියන්න කැමතියි....

වාහනය පාර අයිනේ නවත්තලා අපි එන පෙරමග බලා උන්නේ ජොඈන්...ගෙදර ඉස්සරහා හරි ලස්සන කහපාට බිමදිගේ පඳුරක් වගේ පිපුණ නම නොදන්නා මල්වර්ගයක්...ඒ කුඩා මිදුලේ එකකට එකක් ගැලපෙන තව මල්පඳුරු ගොඩාක් තිබුණා....

නිවසට ඇතුළු වුණාම විලීගේ පහළ තට්ටුවේ නිදන කාමරය, බිලියඩ් මේසයක් එක්ක කුඩා සාලය වගේම පුංචි කෑම කාමරය සහ මුලුතැන්ගේ...තිබුණා....

"මට ඔයාලාට උඩ තට්ටුව පෙන්වන්න ඕනෙ....මම දන්නවා...තාත්තා ඉන්න පහළ තට්ටුව බැලුවාම ඔයාලාට ඇති කියලා....නමුත් අපි උඩට යමුද...?"

ජොඈන් ඉස්සර වෙනවා ...අපි දෙන්නා පස්සෙන් යනවා....

"මේ තියෙන්නෙ අම්මා අසනීප වෙන්න කලින් ඒ දෙන්නා උන්න කාමරය..."

මම මොහොතකට ගල්ගැහෙනවා....මට ඉහළට ගත් හුස්ම පහළට දාගන්න අමතක වෙනවා...ඒ තරම්ම ..ඔව් ..ඒ තරම්ම ලස්සන, ඉහළට ඇදගත් හුස්ම ආපහු හෙලන්නට අමතක වෙන තරම්ම ලස්සන දර්ශනයක් ඒ කාමරයේ ජනේලයෙන් මට පේනවා....පහුගිය දවසක බටර්කප් පිරුණ යායක ඇවිදින්න ගිහින් කන්දක් උඩට වෙලා බලන් උන්න ජලාශය යස අපූරුවට විලීගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයේ ජනේලයෙන් පේනවා...ඒ මොහොතේ ඒ ජලාශයේ රුවලක් සහිත ඔරුවක් යාත්‍රා කරමින් තියනවා....

"ජොඈන්...මම ඔයාට යෝජනාවක් කරන්න කැමතියි.අපි ඔයාගේ තාත්තා ව තව සතියක් එහේ තියාගන්නම්.මෙන්න මේ කිත්මාට මේ කාමරයේ සතියකට නවාතැන් දෙන්න පුළුවන් ද? මොකද මට මේ වෙලාවේ පේනවා එයාව මෙතනින් ගෙනියන්න අමාරුවෙන පාටක්"

මගෙත් එක්ක ආව මගේ ඉහළ නිලධාරියා , භෞත චිකිත්සක වරයා කියන්නේ මගේ අදහස අනුමත කරමින්ම...එතන තිබුන අසුනකට බර වෙලා....

"ඇත්තෙන්ම ජොඈන් මට වුණත් ඕන ඒ දේමයි...මෙතන..මෙතන..ඇත්තෙන්ම ඒක හෙවන් එකක්..."

ඔහු කියන්නේ ජොඈන්ගේ මුහුණට සුන්දර සිනහවක්  එක්කරමින්...

හිතාගන්න අමාරුවෙන එකක් නෑ....ඒ පින්තූරය මම මේ පෝස්ට් එකට එකතු කරන්නේ ජොඈන්ගේ අවසරය අරන් ගත්තු නිසාම....



"මේ තියෙන්නේ මගෙ අම්මායි තාත්තායි හදපු ඇල්බම්...එයාලා ජීවිතේ හැම විශේෂ අවස්ථාවකටම මේ වගේ ස්ක්‍රැප් බුක්ස් අරන් ඇල්බම් හැදුවා ...."

තවත් විනාඩි ගණනාවක් අපි ඒ දර්ශනය නැරඹුවාට පස්සේ ජොඈන් කාමරයේ කබඩ් එකකින් ඇල්බමයක් ගන්නවා....පසුගිය දවසක අජිත් අයියලාගේ ගෙදර දි ඉනේස් මට පෙන්නපු එයාගේ ට්‍රැවල් ඇල්බම් ටික වගේම , අශෝකලා ඈන්ගේ ඇල්බම් ගැන කිව්ව මතකත් හිතේ තියාගෙන මම ඒ ඇල්බම් බලනවා.....මිනිස්සු කොච්චර සුන්දරද ..මට ඒ මොහොතෙත් හිතෙනවා....

"මගෙ අම්මා ගොඩාක් චැරිටි වැඩ කල කෙනෙක් කිත්මා.එයා හොස්පිට්ල් වලට , palliative care centres වලට ස්වේච්ඡාවෙන්ම වැඩ කළා...she was a great lady කිත්මා..."

එක දුවෙක් තමන්ගේ අම්මා ගැන එහෙම ආඩම්බර වෙන මොහොතේ තව දුවෙක්ගේ හිතේ අවුරුදු විස්සකට කලින් හරි ඉක්මනින් සමුගෙන ගිය එයාගේ අම්මාව මැවිලා පෙනිලා යනවා....

ඒ කාමරයේ ඇඳට උඩින් බිත්තියේ තියෙන්නේ පොත් රාක්ක ගොඩක්.විලී එයාගේ බිරිඳ එක්ක ජනේලෙන් පේන ඈත ජලාශය දිහා බලාගෙන කෝපි කෝප්පයක් බිබී පොත් කියවන්න එහෙමත් ඇති....

අපි ආපහු පහළ තට්ටුවේ...

"එන්න මේ තියෙන්නේ පිටිපස්සේ ගාර්ඩ්න් එක...මායි තාත්තායි හවසට මේ බංකුවට වෙලා මාලු බලනවා....කිත්මා ඔයා මේ පින්තූර ටිකක් අරගෙන ගිහින් තාත්තා ට පෙන්වන්න...එයා ආසවෙනවා...ඔන්න බලන්න..."

හරි අපූරු පුංචි උද්‍යානයක්...මල් පිරුණ...එක එක ornaments තැන තැන තියන උද්‍යානයේ කෙලවර බංකුවට වෙලා පොකුණේ පීනන මාලු දිහා බලාගෙන හවස් යාමයේ කෝපි කෝප්පයක් රස විඳිමින් කතාබහ කරන තාත්තයි දුවයි මට මැවිලා පේනවා...

"මේ වැටෙන් එහා තියෙන්නේ කවුන්සිල් එකෙන් කරගෙන යන පොඩි කැලයක් වගෙ එකක්...ඒකේ හර්බ්ස් එහෙම හුඟාක් වවලා තියනවා.එතනින් එහා තියෙන්නේ allotments...වගාකරන units...අපි ඉන්නේ ඇත්තෙන්ම ලස්සනම තැනක කිත්මා..."

මනුස්සයෙක් ගෙ ජීවිතේ නිවන ගැන හිතමින් මම අවශ්‍ය කරුණු සටහන් කරගන්න ගමන් අදාල මිමි ටේප් එකෙන් අරන් මනින්නේ ආව කාරණය මේ අස්සේම කළයුතු නිසා....

"මං හිතන්නේ ඔයාලාට දැන් පැහැදිලි ඇති...මම තාත්තා ව ඉක්මනින් ගෙදර ගේන්න උත්සාහ කරන්නේ ඇයි කියලා.එයා ට හුරු සුව පහසු තැන මෙතන.මේ ගෙදර එයාගේ අවුරුදු 55කට එහා මතක තියන තැන.ඔයාලාගේ සර්විස් එකට ස්තුතියි ගොඩක්ම."

අපි ආපහු හැරිලා එන්න කලින් ජොඈන් පවසන්නේ හුඟාක්ම හැඟීම්බරව.සතුටක් මුසු වුණ පොඩි කඳුලක තෙතමනයක් ඇගේ ඇස්වල මම දකිනවා.ඒ තාත්තා ඉක්මනින් ගෙදර එන සතුටට වෙන්න ඇති.

10 comments:

  1. මේක කියවන කොට මට අපි ගැනම දුකක් දැනෙනවා. අපි කොයිතරම් වැඩිහිටි පරපුර නොසලකා හරිනවද? අසනීප වෙලා මගේ උදව්වෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අසරණ උන කෙනෙක් මෙහෙත් ඉන්නවා. එහෙම අය ගැන බලන්න කිසිම වගකිව යුතු ආයතනයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ අයට ලැබෙන පහසුකම් ගැන හිතන කොට මටත් දුකයි මල්ලි අපේ රටේ මිනිස්සු ගැන

      Delete
  2. අර හරි අපූරැ උද්‍යානයෙත් පොඩි පොටෝ කෑල්ලක් තිබ්බනම්... තවත් අගෙයි!

    ReplyDelete
    Replies
    1. උද්‍යානයේ පින්තුරයක් ගන්න අමතක උනානේ

      Delete
  3. විසිරි දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා සිත නිවෙන කථා වලට....

    ReplyDelete
  4. වාසනාවන්ත මිනිස්සු. 👌💐

    ReplyDelete