Thursday, December 1, 2016

12.මලක් වැනි ඔබේ දරුවා වටහා ගන්න (සෞඛ්‍ය)

මෙම  ලිපිය මා විසින් පවුර වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද්දකි





උදෑසන දුම්රියේ සේවයට පැමිණෙන විට අපූරු අත්දැකීම්වලට  මුහුණ පාන්නට සිදුවීම  දවසේ  පුරුද්දක් වෙලා දැන. ඒ අතරේ  ලියන්නට දැනුමට යමක් එක් කරන්නට සමත් වෙන අත්දැකීම්ද නැතිවා නොවෙයි. 

මා ඉදගත් අසුනේ ඉදිරිපස  අම්මා කෙනෙකුයි  පොඩි පුතෙකුයි මා  දුම්රියට නගින්නේ අතරමැදි  නැවතුමකින් නිසා ඔවුන් ඉදිරිපස  තිබූ අසුනේ මම හිදගත්තේ  අවුරුදු  හතරක් පමණ වියැති  දරුවා ජනේල කවුළුව අසල ඉන් එහාට  වෙන්නට අම්මා. මම  පුදුරුදු පරිදි  පොතක් අතට ගත්තා. නෙත් කෙළවර ට හසුවන්නේ  දරුවාගේ  හැසිරිම් රටාව.


දුම්රිය කවුළුව ට මුව තැබීම, අත එළියට දැමීම ආදී නා නා ප්‍රකාර දඟ චරියාවන් අම්මාට  එපා  කියන වචනය  කියා නිම කරන්නට බැරි තරම් එපා කියන තරමට ම දරුවාගේ ඒ හැසිරීම්  වැඩියි  මඳක් වෙලා ගිය පසු දුම්රියේ  සෙවග  වැඩි වෙද්දී  අම්මාට සිදු වුනා  දරුවා උකුලට ගන්නට එම තත්වය තව තවත්  දරුවාගේ නොසන්සුන්කම  වැඩි කරන්නට සමත් වුනා. මවට පහර දෙන්නත්, සපා කන්නත් කොනිත්තන්නත් පටන් ගත් ඔහු  වරෙක බිම හිඳගත්තා දුම්රිය  මගින්ගේ විමසුම් බැල්ම මත  අම්මා පත් වුනේ අපහසුතාවයට.....

‘‘ මෙයා ටිකක් දඟයි  එත් මේ නම් උදේම නැගිටලා ආව නිසා... ,,  සමාව අයදින  ස්වරයෙන් ඇය ප්‍රකාශ කළා.  උදෑසන  තේ පානය වෙනුවෙන් ගත්  බිස්කට්  පැකට්ටුවක් බෑගයේ  ඇති බව මට සිහිවුනේ  ඒ අතරම දරුවගෙ මවගෙන් කැමැත්තගෙන එය ඔහු අත තැබූ විට  කලහකාරි බවින්  මිදුණු ඔහු පාඩුවේ  එය  කෑමට පටන් ගත්තා ‘‘ නැන්දාට තැන්යූ කියන්න ,, අම්මා කීවත් ඔහු එය ගණනකට ගත්තේ නැහැ නමුත් ලැජ්ජාශීලි සිනහවක්.
ඉහත කථා සිද්ධිය  දරුවා යම් චර්ය ගැටලු සහිත දරුවෙකු බව මා වටහාගත්තා.

නමුත් බොහෝමයක් දෙනා එය මවගේ  හෝ පියාගේ වැරදි “ දරුවා හදපු හැටි,  ලෙස සලකනවා. චර්යාත්මක ගැටලු දරන දරුවන් බොහෝ විට ඕටිසම් හෙවත්  ළමා මනෝ වික්ෂිප්ත භාවය (Autism)අධි ක්‍රියාකාරීත්වය හෙවත් hyperactivity හෝ අවබෝධ ඌනතා (leaming diffeculties)සහිත දරුවන් විය හැකියි. 

සාමාන්‍ය දරුවෙකුට වඩා විශේෂ  අවශ්‍යතා සහිත දරුවෙකු ගේ  විවිධ චර්යා ගැටලු  නිරීක්ෂණය  කළ හැකියි. ඉන් සමහරක් නම් 
01. සපා කෑම සහ බිම පෙරලීම 
02.සපා කෑම , කෙනිත්තීම
03.හිස යමක් වද්දාගැනීම 
04.ශරීරය දරදඩු කිරීම...
ආදියයි. මෙහිදී දරුවා මෙම චර්යා නිසා තම වර්ධන ක්‍රියාකාරකම්  වලින් ඈත්වන අතර  මුළුගැන්වීමට ද හේතුවේ

සාමාන්‍ය දරුවෙකුට වඩා  චර්යාත්මක  ගැටලු සහිත  විශේෂ  දරුවන්  කෙරෙහි  දෙමාපියන් අවධානය  යොමු කළ යුතුයි.  මන්ද  සාමාන්‍ය දරුවෙකුගේ උක්ත හැසිරීම් කාලය හා  ශාරීරික , මානසික වර්ධනය  සමග නිශේධනය වුවත් විශේෂ  අවශ්‍යතා ඇති  දරුවන්ගේ මෙම තත්වය වඩ වඩා උග්‍ර වන  බැවිනි.  කාලය හා වයස  සමගින් ඉහත ගැටලු සහගත  තත්වය  වැඩි වන අතර මේ හේතුවෙන්  දරුවාගේ  සියලුම ක්ෂේත්‍රවල  සංවර්ධනය අඩාල වේ.

විශේෂ  අවශ්‍යතා සහිත වන දරුවෙකු චර්යාත්මක දුබලතා  සහිතවීමට  විවිධ හේතු ඇත. ඉන් සමහරක් නම් 
01. ශාරීරික, මානසික හා අවබෝධ ඌනතා
02. සන්නිවේදනයේ ගැටලු 
03.සමාජගත වීමේ ගැටලු 
04.සීමා කිරීම් වැඩිවීම 
05. අවබෝධය

මෙම කරුණු ගැන පහත පැහැදිලි කරදෙන  ලෙසින් මදක් විමසිලිමත් වන්න. සාමාන්‍ය දරුවකු හට සේම  දුව පැන අවිදීමට නොහැකි  නම් යහත් මානසික සෞඛ්‍යයක් නොමැති වේ නම්  අවබෝධකර ගැනීමේ හැකියාව මඳවේ නම්  කේන්තියාම කලහකාරීවීම තනිවී සිටීමට කැමතිවීම ආදී හැසිරීම් රටාවේ වෙනස් කම් දරුවාට බොහෝවිට ඇතිවේ.

එමෙන්ම තමන්ගේ  අවශ්‍යතා අදහස් ප්‍රකාශ කළ නොහැකි වන විටත් අනුන් කියනා කරනා දෙය සහ අදහස් වටහා ගත නොහැකි වන විටත් දරුවෙකු දැඩි ලෙස නොසන්සුන්  වේ.

ඕටිසම් (Autism)  සහිත දරුවන් ඇතුළුව බොහොමයක්  දරුවන් සමාජශීලී නොවේ.  ඔවුන්ට සමාජීය හැසිරීම්  පුද්ගල සම්බන්ධතා අනොන්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධව සාමාන්‍ය පුද්ගලයෙකු සතුවන  සමාජ කුසලතා පිහිටන්නේ නැත.

එවිට ද චර්යාත්මක ගැටලු  ඇතිවීමට ඉඩ ඇත.
මෙවැනි දරුවන් සාමාන්‍ය  දරුවන්ට වඩා විශේෂ ආකාරයෙන්  රැකබලා ගැනීමට  දෙමව්පියන් පෙළඹීම නිසා සීමාවන් පැනවීම බහුලවම සිදුවේ. 

 අනතුරු සිදුකර ගැනීම හා දරුවාගේ  සීමා සහිත  කුසලතා මත දෙමාපියන්  බොහෝ විට  අත්‍යවශ්‍ය  තරමේ  සිමාවන්  දරුවන්ට  පනවනු දැකිය හැක.  නමුත් එපා යන වදනත් සමගින්  ඕනෑම දරුවකුසේම  මෙවැනි දරුවකුද පත්වන්නෙ අණකිරීම් හා විධාන  නොසලකා හරින මට්ටමටය. 
බොහෝ විට පහරදීම්  සපාකෑම්  කෙනෙත්තීම් ආදිය ද හිස බිත්තියේ වද්දා ගැනීම. අධික ලෙස  කෑගැසීම ආදී චාර්යාද දැකිය හැක.

දරුවකුගේ තවත් දරුවකුට මෙම චර්යා තත්වයන් වෙනස් වන අතර  මෙවැනි   දරුවකු ප්‍රතිකාර සදහා යොමු කිරීමේදී දරුවා සම්බන්ධ මනා නිරීක්ෂණයකින් වටහාගත් චර්යා ගැටලු  ඔබ  (දෙමාපියන් ) සටහන් කර තැබීම වැදගත් වේ. මන්ද ඔ බ දරුවාගේ  සියලුම අංශවල ගැටලු පිළිබද  වඩා  විමසිලිම්ත හෙයින් සමහර මද වෙනස්කම් ඇති චාර්යාද අසාමාන්‍ය ගැටලු ලෙස  වටහා ගත හැකි බැවිනි.  ඔබේ ළමා මනෝ වෛද්‍යවරයා වෙත මේ ගැටලු සමග යොමු වූ විට අදාළ චර්යා ප්‍රතිකාර  පිණිස  වෘත්තිය චිකිත්සක නිලධාරිනියකට වෙත ඔබේ දරුවා යොමු කරනු ඇත. 

චර්යා ගැටලු සදහා මනා ප්‍රතිකාර ක්‍රමවේදයක් ඉතා අවශ්‍ය වේ. මන්ද සුළු තත්වයේ ගැටලු ක්‍රමාණුකූලව වැඩිවී දරුවාගේ  එදිනෙදා  වැඩ කටයුතු අධ්‍යාපනය සහ සමාජ ගත වීම් සියල්ලම අඩාල වන හෙයිනි.

ඔබේ දරුවා හැමවිටම සුවිශේෂ බව මතක තබාගන්න. චර්යා ගැටලුවලදී ඇතැම්විට  දරුවාගේ සමහර  චර්යාවන් නොසලකා   හැරීමට  සිදුවේ.  අනවශ්‍ය අවධානය ඇතැම්විට  දරුවා ඔබගෙන් චර්යා ගැටලු හා එක්ව අපේක්ෂා කරන දෙයම වීමට ඉඩ ඇත. එබදු  විටෙක අනවශ්‍ය හැසිරීම්  කෑ කෝ ගැසීම් ඔබේ අවධානයට නොගත යුතුය.

එසේම දරුවාගේ කලහකාරී හැසිරීම අභිබවා  යන තත්වයකට  ඔබ පත් නොවිය යුතුය. 
දරුවා දිගින් දිගටම  නොසන්සුන් වේ නම්  ඊට හේතුවන  කාරණා  සෙවිය යුතු අතර අදාළ කාරණය ඉවත් කළ හැකි හා ඉවත් කළ යුතු සංසිද්ධියක් වේ නම් එය දරුවාගෙන් ඈත් කළ යුතුය. 


උදාරහණයක් ලෙස දරුවා නොසන්සුන්වන්නේ යම් ශබ්දයක් නිසා නම් එතැනින් එය ඉවත් කල හැක. එසේම දරුවාගේ  අවධානය ද ක්‍රමාණුකූල ලෙස වෙනතකට හැරවීමේ ක්‍රියාකාරකමක දරුවා යෙදවිය හැක.
සන්නිවේදන ය වැඩි දියුණු කිරීම බොහෝ චර්යා ගැටලු  වලට විසදුමකි. මේ ඇසුරින්  ඔබට දරුවාගේ  තත්වය වටහා ගත හැක. දරුවා වාචිකව හෝ අවාචිකව ඉදිරිපත් කරන අවශ්‍යතාවය ඔබ  මනා ලෙස අවබෝධ කර ගැනීමටත් ඔබ විසින් දරුවාට අදහස්  පැහැදිලිව හා  සරලව ලබාදීමත් ඉතා වැදගත් වේ. 

ඇතැම් විට දරුවා චර්යාත්මක ගැටලුවක් ලෙස ඔබ වෙත ගෙන හැර පාන්නෙ ඔහුගේ  යම් අවශ්‍යතාවක්  වන්නට පුළුවන කුසගින්න මුත්‍රා කිරිමේ අවශ්‍යතාය මළපහ වීමේ ගැටලු ආදිය වීමට ඉඩ ඇත.  ඔබ  දරුවාගේ ශාරීරික තත්ව  ගැන  එහෙයින් මනා සූදානමක් සහිතවීම  ඇතැම් ගැටලු  ගැටලුවක් නොවන  ත්තවයට ගැනීමට හේතුවේ. 

පෙර සූදානම්ක සහිතවීම  මෙවන් දරුවන් හා සිටීමේදී  වඩා වැදගත්ය.  දරුවා සදහා බිස්කට්  එකක් වතුර  බෝතලයක්  ලොකු ලේන්සුවක්  මෙන්ම කුඩා සෙල්ලම්  බඩුවක් නිතර  ඔබ සතුව  තිබීම  වැදගත්ය.

ඇතැම් දරුවන්  අධි කලහකාරීය එවාට සරල උපක්‍රම නිසා දරුවාගේ  චර්යා ගැටලු සුව නොවන  අතර මෙවිට  ස්ථාවර තද නමුත් වේදනාවක් ඇති නොවන සේ  දරුවාගේ කලහකාරී බව නැවැත්වීමට ඔබ සමත්විය යුතුය. මෙය ඉතා සුපරික්ෂාකාරීව වෘත්තිය  චිකිත්සක නිලධාරියක වෙතින් විමසා  ගත යුතුවේ. 

දරුවා යනු මලක් වැනි නොමේරූ සුන්දර  වස්තුවකි.  එබැවින්  දරුවාගේ ශාරීරික මානසික  යහපැවැත්ම පවත්වා ගැනීම ඔභ සතු වගකීමකි. දරුවකු  වෙනස් චරියා දක්වන විට ඔබ දැඩි අපහසුතාවයකට පත්වන නමුත් එයට ඔබ සතුවන සරල විසදුම් බොහෝ විට ඔබම නොදනී.




මෙම ලිපිය එවැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම සදහා සම්පාදනය කරන ලද්දකි. 

11.පෙම්වතී මම නොවෙද අතරමග අත හැරුණ (කවි)



රසින් රස මසවුළක ඔතා සෙනෙහස පිදුව
ජීවිතය බෝ කටුක දිනක සිට ලඟ සිටින
ඇඹෙණියක..යෙහෙළියක ..මවක වී නිති රැඳෙන
පෙම්වතී මම නොවෙද අතරමග අත හැරුණ



දුවන ගමනක අතින් අත මිදි ගොස් තිබෙන
අපි අපේ නමුදු හිත් බොහෝ දුරකට ගොසින
ඉඳහිටක කතාබහ අතීතේ සිහි කරන
දුක මිසක් කෝ සතුටු සිනාවක් මුව දරන


කෝල බැල්මක් හෙලූ කාලයක් මතක නැති
ජීවිතේ වෙහෙස විඳ විඩා බර දරා ඇති
ඉස්සරම මතක පොත අත හැරුණ තැනක් වෙති
ආයෙමත් ගිහින් ඒ තැන සොයාගනිමු අපි



2016 / 12 / 01

10.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ද සුන්දර දරුවන්ය (සෞඛ්‍ය)

මෙම  ලිපිය මා විසින් පවුර වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද්දකි



ළමා විය හා සම්බන්ධ ගැටුල සහගත තත්වයන් නිසා පිඩාවට පත්ව  සිටින දරුවන් පිළිබදව අප කොතෙකුත් ආස තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ  එවැනි දරුවකු  සහිත මවක හෝ පියෙකු එසේත් නැති නම් හිතවතෙකු විය හැකියි. පහත සදහන් වන තොරතුරු සහිත දරුවන් මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක්..


සුමුදු - අවුරුදු තුනක් වයසැති දීප්තිමත් දෑසක් ඇති සුන්දර දැරියක්. පෙර පාසල් වියෙහි දොරකඩ සිටින ඇය කතා බහේ ඇති ප්‍රධාන ගැටළුව වූවා..

නිසල් - වයස පහක පාසලට අලුතින් ඇතුලත් වූ හොදින්  වැඩුණු දරුවෙක්. නිසල්ගේ මවගේ අදහස්වලින් පිළිබිඹු වුනේ ඔහු කිසිදු  හැගීමකට ඊට ගැලපෙන ප්‍රතිචාර නොදක්වන බවයි. ආදරය , සතුට මෙන්ම බිය වැනි කිසිදු හැගීමක්  මුහුණෙන්  හා ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකාශ වීමක් තිබුණේ නෑ.

රංග - ඉතා කලහකාරී ක්‍රියා පැවැත්මකින් චර්යා රටාවේ ප්‍රබල නොගැලපීම් සේම සමාජගත වීමේ ගැටලු බොහෝමයක් සමග  ප්‍රතිකාර  සඳහා ප්‍රතිකාර  සඳහා එවූ දරුවෙක් 


ඕටිසම් (Autism) හෙවත් ළමා මනෝ වික්ෂිප්ත භාවය සමාජ තත්ත්වය අධ්‍යාපන මට්ටම හෝ වත්කම් ආදි කිසිදු  නිර්ණායකයකට  බෙදී නොයන අතරම ඕනෑම දරුවකුට මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ  ද ඇත.  පිරිමි දරුවන් අතර මෙම තත්වය සාමාන්‍යයෙන් සුලබය. මෙම තත්වය දරුවෙකුගේ වර්ධන කාලය පුරා පවතී. මූලිකවම සංවේදී පද්ධති (ඇසීම, පෙනීම , සර්පර්ශය...)වල ගැටලු සහිත මෙවැනි දරුවන් ගේ කථන හා භාෂා සන්නිවේදනයෙහි මෙන්ම චර්යා රටාවෙහිද නොයෙක්  ආකාරයේ ගැටලු සහගත තත්වයන් දැකිය හැකියි. 



සාමාන්‍ය දරුවකු යහළුවන් හා එක්වීමට ක්‍රියාකාරකම් කිරිමට නව මිත්‍රත්ව සම්බන්ධතා ගොඩනගා  ගැනීමට, කල්පිතයන් මවා  ගනිමින්  ක්‍රීඩා, ක්‍රියාකාරකම් කිරිමට මෙන්ම ක්‍රීඩා භාණ්ඩ හා එක්ව සෙල්ලම් කිරිමට  නිරායාසයෙන්ම යොමු වූවත් ඕටිසම්  තත්වයෙන් පෙළෙන දරුවෙකුගේ සාමාන්‍ය ජීවන රටාව සැකසෙන්නේ සීමිත වටපිටාවක් තුළයි.  එම නිසා  මෙම දරුවන්ට ඉහත කී හැකියාවන් බොහෝ විට  නොමැත.  බාහිර පරිසරය හා පුද්ගලයන් සම්බන්ධව කිසිදු  අවධානයක් පළ නොකරන හා නොසලකා  හරින තත්වයක් පෙන්වන මෙවැනි දරුවන් සෙසු පුද්ගලයන් තමාගේ රාමුවට  එක්වීමට  තැත් දැරීමද දැඩි සේ ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය සිරිත් විරිත්, සමාජගත නීති රීති හදුනා නොගන්නා ඕටිසම්  දරුවන් වාචිකව එනම් බස හා වචන යොදාගනිමින් අල්ප  ලෙස සන්නිවේදනය කරයි. නමුත් අවාචික  සන්නිවේදන ක්‍රම  එනම් අංග චලන, හස්ත මුද්‍රා ආදිය භාවිතයෙන් සිදු කරන  සන්නිවේදන  හඳුනා  නොගනී.

මෙබදු දරුවෙක්  සමාජයට නිරාවරණය වීමේදී  නව සිද්ධීන්,ක්‍රියාකාරකම් මෙන්ම යම් යම් පුද්ගලයන්  නිසාත් වික්ෂිප්ත භාවයට පත්වී කලහකාරී හා ප්‍රතික්ෂේපිත ඉරියව් මගින්  චර්යාමය ගැටළු ඉරිදිපත් කළ හැකියි. මෙවැනි දරුවන්  බොහෝ විට  හුදෙකලා වීමට ඉතා ප්‍රිය කරන අතර  තවකෙකු  හා අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් වලට දැඩි සේ විරෝධය දක්වයි. 

ඕටිසම් තත්වය ඇති ඇතැම් දරුවන්  කුඩා කලදි වචන  කිහිපයක් කතා කළද  පසුව එය අතහැරී යනවා.  සමහර  දරුවන්  මුල් අවධියේ  පටන්ම කථනයට මැළිවේ . එසේම  සාමාන්‍ය දරුවකු ප්‍රිය කරන්නාවූ සරල සුන්දර ක්‍රීඩා  භාණ්ඩ  ඒටිසම්  දරුවන්ගේ අවධානයට ලක්නොවන  අතර ගල් කැට  කුඩා පෙට්ටි වැනි ඒකාකාරී දේ සඳහා  රුචිකත්වයක් දක්වයි.එසේම ඒවා සිය ග්‍රහණයෙන් මුදා හැරීමට ද අකමැති  වේ. ක්‍රීඩා හා සෙල්ලම් කිරීමේදී  නිවැරදි  නීති රීති හා  ආචාර ධර්ම ගැන අවධානයක් හෝ  සැලකීමක්  නොමැති  මෙවැනි දරුවන් ඉතා කුඩා භාණ්ඩ  හෝ සෙල්ලම්  බඩුවක පවා  ඇති කඩා කොටස් වෙත ප්‍රබල ව අවධානය යොමු කරයි.

 මෙම දරුවන්ගේ චර්යාවන් හා කැමැත්ත මේ අන්දමින්  දීර්ඝ ලෙස  පහදන්නේ , දරුවකුගෙන් තවත් දරුවෙකු සලකන කළ පවත්නා  ලක්ෂණ ඉතා වෙනස් බැවිනි. සමහර දරුවන්  වෙතින්  විද්‍යාමාන වන  ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත්වේ. එසේම ඇතැම් ඕටිසම් දරුවන්ගේ  වින්දනාත්මක  භාවයන් ද ඉතා වෙනස්ය. 

 මේ දරුවන්  විදුලි පංකා, රෝද  වැනි භ්‍රමනය  වන වස්තූන්ට හා භ්‍රමණ චලනවලට ඉතා ප්‍රිය කරයි. 
එමෙන්ම ඒකාකාරී රටා හා ක්‍රමවේදයන්ට ද ඉතා ප්‍රිය කරයි. වර්ණ හැඩ හෝ විවිධ අනුපිලිවෙලවල් යටතේ  සැකසුණු රටා වලට සෙල්ලම් බඩු පෙළගස්වන මේ දරුවන් එම රටා බිඳ දැමූ විට දැඩිසේ නොසන්සුන්වේ. මෙම ක්‍රියාකාරකම් වල ද ඔවුන්  නියැලෙන්නේ තනිවමයි.


ඕටිසම් රෝග ලක්ෂණ සමහර දරුවන්ගේ බහුල අතර ඇතුම් අයගේ  අඩු ලෙස පවතී.  මෙම දරුවන්ගේ ඕටිසම් තත්වය හා එක්වන විවිධාකාර තවත් ගැටලු සමූහයකි.  වලිප්පුව (fits)අවධාන ඌනතාවය (Attention deficits) සහ කාංසාව (Anxiety) ඉන් සමහරකි. 



සංවේදීතාවය හා සංවේදන ගැටලු සලකා  බලන විට මෙම ඕටිසම් සහිත දරුවන්ගේ ඇතැම් සංවේදනවලට අධික සංවේදී වීමද  අනේක්වාට අඩු සංවේදීතාවක් දැක්වීමද නිරීක්ෂණය කළ හැක.
උදාහරණ - ඇතැම් දරුවන් ස්පර්ශයට ඉතා අකමැති අතර ඇල්ලීම පවා ප්‍රතික්ෂේප කරයි.
නමුත් සමහර දරුවන් දැඩිසේ ස්පර්ශයට ප්‍රිය වන අතර බදාගැනීම්, තදින් ඇල්ලීම් ප්‍රිය කරයි.

සංවේදන ප්‍රතිචාර හා සමායෝජනය දරුවකුගේ වර්ධනයේදී  ඉතා වැදගත්වේ. මන්දයත් බාහිර පරිසරයෙන් හා  අභ්‍යන්තරයෙන්  ලබන සංවේදන යමකුගේ සියලු කටයුතු වලට බලපාන හෙයිනි. මනා සමබර  කායික මානසික  තත්වයක් හා ජීවන  රටාවක් පවත්වා ගැනීමට මෙය දැඩිසේ බලපායි.

දරුවෙකු නිවස, පෙරපාසල, පාසල හා සමාජයේ හැසිරීමේදී  තම අභ්‍යන්තයේ මනා යහපැවැත්මක් මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතාද වැදගත්වේ.  ඕටිසම්  දරුවන්ගේ මෙම සියලු ලක්ෂණ වර්ධනයත් සමග අඩාල වේ. ඒ නිසා ඔවුන් බොහෝ විට නිවසටම සීමාවේ.
එමෙන්ම අවබෝධයේ  ගැටලු සහ අධික අවධානය (attention deficits)දරුවාගේ  එදිනෙදා වැඩ කටයුතු  ස්වාධීනව කර ගැනීමට  බලපායි. දරුවෙකු වයසින් වැඩෙත්ම ස්වාධීන විය යුතුය. ඕටිසම් දරුවන්ගේ  මෙම තත්වය නොමැති අතර ඔවුන් වයසින්  වැඩෙත්ම දෙමාපිය භාරකරුවන් අපහසුතාවට පත්වේ.

මෙවැනි විවිධාකාර ගැටලු හා රෝග ලක්ෂණ ඇති ඕටිසම් දරුවන්ගේ  ගැටලු මුල් අවධියේම හදුනාගැනීමෙන් පසු කාලීනව ඇති වන  සංකූලතා අවම කර ගත හැකියි. මෙබදු දරුවන් සම්බන්ධව ක්‍රියාකිරීමේදී  පළපුරුදු වෛද්‍ය කාර්යය මණ්ඩලයක සේවය  ලබාගැනීම වඩා උචිතය.

එසේම ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයෙකු ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෘත්තීය චිකිත්සකවරයෙකු (occupational therapist)කථන හා භාෂා චිකිත්සකවරයෙකු (speech and language therapist) සමග දෙමාපියන්ද එක්ව මෙම ගැටලුවලට විසදුම් සෙවිය යුතුය.

එමෙන්ම අධ්‍යාපන කටයුතු හා ක්‍රියාකාරකම්  දරුවාගේ අවශ්‍යතාවයට ගැලපෙන අන්දමට සැකසිය යුතු නිසා විශේෂ අධ්‍යාපන ගුරුවරයෙකුගේ දායකත්වයද මෙහිදී ඉතා වැදගත් වේ.


-- දරුවාගේ සීමාවන් දකින්නට පෙර හැකියාවන් දකින්න එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකට මනා පිවිසුමක් වනු ඇත.


ස්තුතියි

Sunday, November 27, 2016

09.ස්පර්ශ සංවේදනය හා ඔබේ විශේෂ දරුවා (සෞඛ්‍ය)

මෙම දැනුවත් කිරීමේ ලිපිය මා විසින් පවුර වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද්දක්....




අලුත උපන් දරුවෙකුගේ අත්පා වල මොළකැටි බව අපි බොහෝ විට විග්‍රහ කරන්නේ මල් පෙත්තක් වගේ, කුරුළු පිහාටුවක් වගේ .

සියුම්  සුසිනිදු ලෙසින් දස මසක් මවගේ සුරක්ෂිත  ගර්භය තුළ නිදුකින් ආරක්ෂාකාරීව සිටින දරුවා මෙලොවට වඩා දුන් මොහොතේ  සිටම ස්පර්ශය කියන සංවේදනය අත්විදින්නට පටන් ගන්නවා.

පුද්ගලික ස්පර්ශයන් මෙන්ම තමා අවට ඇති ශරීරය ගැටෙන  සීමාවෙහි ඇති දෑ දරුවාගේ මූලිකම ස්පර්ශ හෙවත් දැනීම් සංවේදන වේ. සියුම් හා රළු යන ස්පර්ශ  විවිධත්වයට ක්‍රම ක්‍රමයෙන්  දරුවකු හුරු විවිධත්වයට  ක්‍රම  ක්‍රමයෙන්  දරුවෙකු හුරු වන්නේ  එමෙන්ම මොළයට  ලබා දෙන ස්පර්ශ ස්වේදන පණිවුඩ ඔස්සේ..



නමුත් ඔබ දැක තිබෙනවාද  ඇතැම්  දරුවන් ස්පර්ශයට දක්වන අසාමාන්‍ය බිය හා අකමැත්ත .....විශේෂ අවශ්‍යතා  ඇති දරුවන් ලෙස  නම් කරන ලද බොහෝමයක්  දරුවන්ගේ  මෙම තත්වය සුළබයි. 




 එවැනි දරුවන් සිය ශරීරය විශේෂයෙන්ම මුහුණ හිස හා අත් ස්පර්ශ කරනවාට ඉතා දැඩි ප්‍රතිරෝධයක් පළ කරනවා. ඇතැම් විට මෙම ප්‍රතිරෝධය  හෙවත් අකමැත්ත පළවන්නේ   චර්යා ගැටළුවක් ලෙසයි.  එබැවින්  බොහෝ දෙමව්පියන් හට දරුවාට  පවතින්නේ ස්පර්ශ සංවේදනයේ  ගැටළුවක් ද චර්යාවේ ගැටළුවක්ද  යන්න වෙන් කර හඳුනා ගැනීම අපහසුයි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගත් කළ  ඔවුන්  ස්පර්ශයට ඇතැම් විට අධික  සංවේදී බවක් දක්වනවා. තවත්  සමහර  දරුවන්  දක්වන්නේ අඩු සංවේදී බවක් .

 මේවා  පිළිවෙලින්  hapersensitivity  සහ  Hyposensitivity ලෙස හැදින්වෙනවා.  අධි සංවේදීතාවය දක්වන දරුවා බොහෝ  විට  ස්පර්ශය ප්‍රතික්ෂේප කරනවා.  ඔවුන්  තම හිස මුහුණ හා අත්පා  දෙමව්පියන් අල්ලනවාටත් අකමැති දරුවන් .

 ඉතා දැඩි ලෙස එම ස්පර්ශයෙන් මිදෙන ඔවුන්  කෑ ගැසීම, පළායාම ආදියෙන් එයට ප්‍රතිචාර දක්වනවා .
මෙබදු දරුවන් ක්‍රීඩා භාණ්ඩවලින් සෙල්ලම්  කිරීමට  ඒවා  ග්‍රහණයට  ඉතා මැලි වෙනවා. එමෙන්ම  අතින් ආහාර  ගැනීමට, ස්නානය හා ඇඟ සේදීමට  ඇදුම් ඇදීමටත් ඉතා අකමැතියි. මෙමදරුවන්ගේ  ලිවීම වැනි කුසලතා ඉතාම පසුගාමීයි.

මීට වෙනස්  ආකාරය වන  ස්පර්ශයට අව සංවේදී දරුවන් ගත් කළ  ඔවුන්ට සාමාන්‍ය  ස්පර්ශ සංවේදනයන් දැනීම සිදුවන්නේ නෑ. ඔවුන්  එම නිසා ස්පර්ශයන්   සොයනවා. මෙවැනි  දරුවන්ගේ  පැහැදිලිම ලක්ෂණයක් වන්නේ  දැඩි ලෙස  දෙමව්පියන් මෙන්ම ආගන්තුක අයටද  ස්පර්ශයෙන් ලං වීටම  ඇති කැමැත්ත.  
 ඇඟට පැනීම,  රෙදි ශරීරයේ ඔතා ගැනීමට කැමැත්ත ආදියයි. බැලූ බැල්මට  මෙම ක්‍රියාවලින්හි ගැටළුවක් නොපෙනුනද  දරුවා මේ හේතුවෙන් සෙසු ක්‍රියාකාරීත්වයන්හි  නියැලීමට දැඩි සේ පසුබට වෙනවා. 

 මෙම ස්පර්ශ සංජානනයේ  ඇති දුෂ්කරතාවයන් ගත්  කළ දීර්ඝ විස්තර  කළ හැකි වුවත්  අවබෝධ කර ගැනීමට  ඉහත  විස්තර  ප්‍රමාණවත් වේවි.  මන්ද දරුවාගෙන් දරුවාට ඉහත  තත්ව වෙනස් වුවත්  මා ඉහත  නම් කළේ  සුලබම ලක්ෂණයන්.

මෙවැනි දරුවකු ඔබ ළමා රෝග වෛද්‍ය  විශේෂඥවරයෙකු මගින් වෘත්තිය චිකිත්සාව වෙත යොමු කිරීම වැදගත් එවිට මෙම දරුවන් මනා ඇගයීම් ක්‍රමයකට ලක් කර  ඉන් පසු ඔවුන් හට සංවේදන ප්‍රතිකාර  මාලාවක් ලබා දෙනවා. 

 එය  sensory integration therapy ලෙස හදුන්වනවා.
 මුල්ම අවදියේදී  ගැටලු හදුනාගැනීමත් ඒවාට  නිසි ප්‍රතිකාර  ලබා දීමත් ඉතා වැදගත්. මෙබදු  ප්‍රතිකාර  සැලකූ කළ  කිසිම විටක මිල අධික ප්‍රතිකාර උපකරණ  භාවිතයක්  නැහැ. අප සාමාන්‍ය ජීවන රටාවේදී  භාවිත කරන ද්‍රව්‍ය  හා උපකරණ භාවිතයෙන් දරුවාගේ  ගැටලුවලට විසදුම්  ලබා දීමක් සිදුවනවා.

 ඔබේ දරුවාගේ සංවේදන  ගැටලු ඇත්නම් ලඟ ම  රෝහලේ සිටින  වෘත්තිය  චිකිත්සක නිලධාරීවරයා හමුවන්න  ඔබගේඒ  දරුවාට සම්බන්ධ සාර්ථක  ප්‍රතිකාරයන් ලැබෙනු ඇත.




ඉතිං මා දෑත අල්ලාගන්න.. එය  සුරක්ෂිත බව මට කියා දෙන්න 


ස්තුතියි

08.විශේෂ අවශ්‍යතා ඇති දරුවකු හඳුනා ගැනීම (සෞඛ්‍ය)




මෙම ලිපිය මා විසින්   parenting.lk වෙබ් පිටුව වෙත සම්පාදනය කරන ලද්දකි




නිරෝගිමත් දරුවකු සෑම දෙමාපියෙකු තුළම ඇතිවන සුන්දර බලාපොරොත්තුවයි.

දරුවකු කළලයක් සේ මව් කුසට සපැමිණි දිනයේ සිට මවත් ඇය සමග සිටින සියලුම දෙනාත් විමසිලිමත් වන්නේ දරුවාගේ උපත සිදුවන මොහොත දක්වාය.

නිවැරදි වෛද්‍ය උපදෙස් මත, පෝෂණීය ආහාර, විවේකය සහ මනා ව්‍යායාම් රටාවන්හි නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිවිය යුතු නොවේ.

දරුවාගේ උපත සිදුවන මොහොතේ සිට දරුවා මාස 10 ක් දිවි ගෙවූ පූර්ණ සංවෘත ලෝකයට සමුදෙයි. ඉන්පසු පවතින්නේ විවෘත ලෝකයකි. මේ කාලයේ සිට දරුවාට මුහුණ පෑමට සිදුවන අභියෝගතා බහුලය.

කලල අවධිය, උපත සිදුවූ මොහොත හා ඉන්පසු කාලය ගත් විට මේ අවධි තුනෙහිදීම දරුවාට විවිධ රෝග මෙන්ම ආබාධ ද හටගැනීමේ ප්‍රවණතාවයන් ඇත. ඉතා සුළු වූ අතපසු වීමක් ඇති කරනුයේ විශාල හානිදායක ප්‍රතිඵලයකි.

අවාසනාවන්ත අන්දමින් යම් කිසි හෝ ගැටලුවකට මුහුණපාන බිලින්දා ආබාධ සහිත දරුවකු වීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකිය. මෙම තත්ත්වය ඉහත කී මනා සෞඛ්‍ය පුරුදු සමග යම්තාක් දුරට වළක්වාගත හැකි වුවත් අනපේක්‍ෂිත තත්ත්ව සහ නොවැලැක්විය හැකි හේතු මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බවට පත්වීම සිදුවිය හැක.

මූලිකවම දරුවෙකු මනාව නිරීක්‍ෂණය කළ යුත්තේ මවය. ඒ, බිලිඳා සමග වැඩි වේලාවක් ගත කරන්නේ ඈ හෙයිනි. දරුවා උපතේදී යම් ගැටලුවකට මුහුණපෑව හොත් අදාළ කාර්යමණ්ඩලය ඒ සම්බන්ධව මනා දැනුවත් කිරීමක් ඔබට ලබාදෙනු ඇත. උපතේ ඇතිවන සංකූලතා සමග දරුවා ඉදිරි ජීවිතයේ මුහුණපාන ගැටලු ගැන දෙමාපියෝ දැනුවත්විය යුතුය.

දරුවකු උපතේදී මුහුණපාන ගැටලු හේතුවෙන් වලිප්පුව (Fits) ඇතුළු විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර ඒවාට නිසි කලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.
දරුවකු මෙලෙස ගැටලු සහගත තත්ත්වයන්ට පත්වීමේදී ඔවුන්ගේ ශාරීරික, මානසික, චර්යාමය හා අවබෝධය යන විවිධ අංශවල ගැටලු සහ සංකූලතා ඇතිවේ.

දරුවකු වර්ධනය වන විට එම දරුවාට ගැටලු පවතීද යන්න අවබෝධ කරගැනීමට නම්, සාමාන්‍ය දරුවකු එම වර්ධනය පියවරෙහිදී ඉටු කරන කාර්යයන් ගැන ඔබ දැනුවත් විය යුතුය. මෙය ඔබට ළදරු සායන කාඞ්පත සමග පිරිනැමෙන අතර ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යරයා, ඔබගේ වෘත්තීය/භෞත/කථන හා භාෂා චිකිත්සක නිලධාරින් මෙන්ම පළපුරුද්ද මත වැඩිහිටියෙකුගෙන් වුව දැනගත හැක.




උපතේ සිට වසර දක්වා ගතවන කාලය තුළ දරුවකු චාලක ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස දියුණුවේ. ප්‍රධාන චාලක ක්‍රියාවන් ලෙස :
  • පැත්තෙන් පැත්තට පෙරළීම
  • මුනින් අතට පෙරළීම
  • හිස කෙළින් කර සිටීම
  • බඩගෑම, දණගෑම, හිඳ ගැනීම
  • ආධාරක සහිතව සිට ගැනීම
  • සමහර දරුවන් ඇවිදීම
බොහෝ දරුවන්ගේ මෙම ක්‍රියාවන්ගේ ආරම්භය සිදුකරන්නේ පළමු වසර තුළය. සාමාන්‍ය දරුවෙකු මෙම වර්ධන පියවරවලට එළඹෙන අවධිය ගත් කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු එයින් පසුගාමී වන අන්දම ඔබට නිරීක්‍ෂණය වේ.

උදාහරණයක් ලෙස විශේෂ අවශ්‍යතා ඇති දරුවා මාස හත අටක් යනතුරු හිස සෘජුව තබානොගනී. නමුත් සාමාන්‍ය දරුවකු එය මාස 3-4 වන විට සිදු කරයි. සෙසු චාලක ක්‍රියාවන් ද මේ ආකාරයටම පැහැදිලිව පසුගාමී වේ නම් ඔබ ක්‍රියාත්මක විය යුතුය.

එමෙන්ම දරුවෙකුගේ ශරීරය නිරීක්‍ෂණය කිරීමේදී දරුවාගේ ඇස්වල චලන, මුඛයේ පිහිටීමේ අසාමාන්‍යතා, අත් පා සන්ධි අස්ථිවල විකෘතිතා මෙන්ම මාංශ පේශිවල තද ගතිය හෝ බුරුල් බව දරුවාගේ වෙනස් ගති සම්බන්ධව ඉඟි ලබා දෙයි. මෙබඳු තත්ත්ව යටතේ දරුවකු සාමාන්‍ය චාලක ක්‍රියා සිදු කිරීම ප්‍රමාද වේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වේ.

මේ අන්දමින් දරුවාගේ සංවේදනයන් ඔබ විසින් අවබෝධ කරගත යුතුය. සංවේදන ඉන්ද්‍රියයන් මගින් පරිසරය, පුද්ගලයන් හා තමා අතර අන්තර් සම්බන්ධතා පවත්වන දරුවා ඉන් ඈත්වීම ගැටලු රාශියක ආරම්භය වේ. මේ සම්බන්ධව ගත් විටද ඔබ සාමාන්‍ය දරුවකු සංවේදනයන්ට විශේෂයෙන්ම ස්පර්ශ සවේදනයට, එනම් අත් පා ශරීරයේ සම හරහා වන දැනීමට ප්‍රතිචාර දක්වන අන්දම අවබෝධ කරගත යුතුය. ස්පර්ශය සම්බන්ධව ගත් කළ දරුවා එයට අධිකව හෝ අවමම ප්‍රතිචාර දක්වනු ඇත.

එවිට ඒ නිරීක්‍ෂණයන් වෛද්‍යවරයා හෝ චිකිත්සකවරයා වෙත සෙල්ලම් බඩුවක් අත්වලින් ග්‍රහණය කර නොගනී නම් එය ගැටලුවකි. ඇතැම් දරුවන් මව, පියා පවා ඔවුන්ගේ හිස, අත් අල්ලනවාට දැඩි සේ ප්‍රතිරෝධී වෙනු දැකිය හැක. එයද ගැටලුවකි.

ස්පර්ශයට අමතරව දෘෂ්ඨිය (පෙනීම) සම්බන්ධව ද වයස අවුරුද්දක් වන තුරු ඔබ සැලකිලිමත් විය යුතු වේ. දරුවා ඉපදී සති 3 ක් පමණ යන විට දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දක්වන අතර ක්‍රමානුකූලව මිනිස් මුහුණු, වර්ණවත් සෙල්ලම් බඩු, චලන දෙස නෙත් යොමයි. දරුවාගේ එම පෙනීම නිසියාකාරව ඉටු නොවේ නම් ඔබ දරුවා හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වේ.

ශ්‍රවණය ද (ඇසීම) එබඳුය. දරුවා උපතේ සිටම ශබ්දයට ප්‍රතිචාර දක්වන නිසා වයසින් වැඩෙත්ම දරුවා හඬට, සංගීතය ආදියට කෙතෙක් දුරට අවධානය දේද යන්න සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දරුවා ශබ්දයක් එන දෙසට නොහැරේ නම්, හඬට ප්‍රතිචාර නොදක්වයි නම් එය පැහැදිලි ගැටලුවකි.

චාලක සහ සංවේදන ගැටලු මෙන්ම දරුවාගේ අවබෝධය මෙන්ම චර්යාව පිළිබඳවද දෙමව්පියන්, දරුවාගේ මුල් වසර තුළ මනා නිරික්‍ෂණයක් කළ යුතුය. උපතේදී සංකූලතා ඇති දරුවන් මෙන්ම කිසිදු වෙනසක් නොපෙන්වන සාමාන්‍ය දරුවන් ද ඕටිසම් වැනි ගැටලු නිසා මෙම තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

එබඳු දරුවන් සන්නිවේදනය, චර්යා රටා සහ අවබෝධයේ මුල් පියවර සපුරන්නේ නැත. ඔබ දරුවා පිළිබඳ මනා අවධානයකින් මෙන්ම සාමාන්‍ය වර්ධන රටාව ගැන (ඉහත චාලක, සංවේදන, චර්යා, අවබෝධතා, සන්නිවේදන යන හැම අංශයකම) මනා අවබෝධයකින් සිටීමත් මෙහිදී වඩා වැදගත්ය.

දරුවන් එකිනෙකාට වෙනස්ය. සෑම දරුවෙකුගේම වර්ධනය එකම රටාවකට, එකම පියවරකට අනුව සිදු නොවේ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එබැවින් අනවශ්‍ය ලෙස කලබල වීම, අනෙක් දරුවන් හා සංසන්දනයන් කිරීම උචිත නොවේ. වැදගත් වන්නේ මව්පියන්ගේ ඔබගේ දැනුවත් බවයි. දරුවාගේ වර්ධනයේ යම් ඌනතාවයන් වේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් කරා කඩිනමින් යොමු වීම ඉතා වැදගත් වේ.


ස්තුතියි

Saturday, November 5, 2016

07.ඒ අපූරු දවස් ( 5 කොටස ) (මතක)





ළමා වියේ කෙළි සෙල්ලම්....

ගහ කොළ ...නිල්ල නිලපු කෙත් යායවල්..ගංගා දිය පහර වල් එක්ක ගත්වුණ සෙල්ලම් යුගයක් මගෙ බාලකාලෙ තිබුනා...
සෙල්ලම් ගෙයක් ....ඔබ හදලා ඇති...
අපිත් ඒ කලෙ සෙල්ලම් ගේ හැදුවෙ පොල් අතු වට කරලා...පොල් අතුම සෙවිලි කරල....වාසනාවකට ඉටිකොල පොලිතින් වලින් ඒ යුගය බිලි අරන් තිබුණෙ නැහැ


කෙහෙල් පට්ටා හරි කොහු ලණු වලින් හරි කණු වලට ආධාරක බැන්දෙ...හෙල්ලෙන දත වගේ හුඟක් ගෙවල්...දෙවුන්දර ගියාම හැමදාම ගේන වලං අඩුක්කුව තමා සෙල්ලම් ගෙදර බත එලවලු ඉදෙන්න හට්ටි වලං වුණෙ

දෙල් ගහේ සිවිඩි..කෝපි කොල...වදමල්....වැලි බතට එක් වුණ එලවලු වර්ග
කෝපි ඇට...ගම්මිරිස් කරල්...කූඩලු ඇට මල්....ඔය වගේ කී නොකී බොහොමයක් දේ සෙල්ලම් බතට එක්වුණා...


සෙල්ලම් ගෙදරට අමතරව...හැංගිමුත්තන් සෙල්ලම...රටවල් ඇල්ලීම තමා තවත් ජනප්‍රියම සෙල්ලම් ඒ කාලෙ....
රටවල් ඇල්ලීම ගැන දන්නෙ නැති අයට දැනගන්න මේ ලියන්නේ...
වත්තේ තියන ලොකුම ගස් දෙකක් අල්ලාගෙන පිරිස් දෙකක්...ඒ ගස් දෙක තමන්ගේ රටවල් ලෙස නම් කරනවා

ඉන් පස්සෙ....එක රටක අය අනික් රට ආක්‍රමණය කරන්න ඕන...දෙපිරිසම කොහොම හරි අනුන්ව ආක්‍රමණය කරන ගමන් තමන්ගේ රටත් බේරා ගන්න ඕන...

හැන්දෑවෙ ඉර බහිනකල් කරන ඔය සෙල්ලම් නවතින්නෙ අම්මා ඉරටු අරන් එනකොට....

ගං වතුර කාලෙට කෙහෙල් කොට පහුරු හදලා පදින එක තමා කියාපු විනෝදාංශෙ...පහුරට එක්කෙනෙක් නගින කොට දෙන්නෙක් වතුරට වැටෙනව..කොල්ලො කුරුට්ටො වෙච්ච අපේ ලොකු මල්ලි සහ එයාගේ යාලුවන් එක්ක මාත් ඕවාට සහභාගී වුණා...දෙයියන්ගේම පිහිටෙන් හෙම්බිරිස්සාවක් හැරෙන්න වෙන ලෙඩක් දුකක් නම් ඒකාලෙ හැදුනෙ නැහැ





පරිසරයට සමීප වෙන ලමා කාලයක සෙල්ලම් යුගය හැමවිටම ලමා මනසට පෝෂණයක්....ඒ වගේම ඒ කාලයේ සෙල්ලම් තුලින් අපේ දැනුම ..චින්තන කුසලතා...නිර්මාණාත්මක හැකියාවන් දියුණු වුණා....අද දරුවන් පාසලේ පලමු ශ්‍රේණියට ඇතුළත් කලාම ඒක ක්‍රියාකාරකම් ලෙසට උගන්වන්නත් වෙලා....

දරුවන්ගේ සෙල්ලම් ගේ හදන්නේ දෙමවුපියෝ...ඒකත් තරඟයට..අනිකා අභිබවන්න..ස්මහර සෙල්ලම් ගෙවල් හදන්න වඩු බාස්ලත් එනවා
මේ හේතුවෙන් දරුවන් නිර්මාණයන් කරන්නට හැම විටම දෙමවුපියන් මතම යැපෙනවා

ඒ ලමා කාලය දරුවන්ට දෙන්නට හැකි නම් ඔබට....මොන තරම් ළමාවිය සුන්දර වේවිද....

ඒ කලෙ තාමත් මතක් කර කර විඳින්න තරම් සුන්දරයි

Tuesday, November 1, 2016

06.ඒ අපූරු දවස් ( 4 කොටස ) (මතක)






අතීත මතක ඔස්සේ සැරිසරන කොට ආසම කාලයක් වෙන්නෙ පාසල් ගිය කාලෙ.දැන් ළමයින් වගේම තමා අපිත් ටික්ක උදේට නැගිටින්න හොරයි.මට ඒ කලෙ තිබුණ අනික් එපා කල වැඩේ තමයි උදේට මහ ලොකු එලකිරි වීදුරුවක් බොන්න වීම.....

අපේ ගෙදර ඒ කලෙ හරක් ඇති කලා...කිරි ගන්න පමණයි...කොහොමත් අපේ ගම් වල කිසිම දාක හරකෙක් මසට ගෙනිච්චෙ නැහැ.කෘෂි කර්මාන්තයට උර දෙන සම්පතක් වගේ ඉන්න ගවයෙක්ගෙ මස් කෑම පවා මහ පාපයක් ලෙස අපි දුටුවෙ.

ගමේ පාසලේ ඒ කලෙ අපි තුන් වන ශ්‍රේණියට යනකල් ඇන්දෙ පාට ඇඳුම්.ඉන් පසුව තමයි සුදු නිල ඇඳුමට මාරු උනෙ.බාටා සෙරෙප්පු කුට්ටමක් තමයි බොහොමයක් අයගෙ පා සැරසුවෙ.මට මතක කාලෙදි තරමක් ලොකු වයසෙදි පවා මම සෙරෙප්පු දෙකක්වත් නැතුව ගිහින් තියනවා කඩේට....සමූපකාරයට...ඒක ලැජ්ජාවක් ලෙස මමවත්..කිසිම කෙනෙක් වත් දැකලා නැහැ

පාසල ඉවර වෙලා ගෙදරට එන කෙටි දුර වෙල් යාය මැද්දෙන් හරි මහ පාර දිගේ හරි..ගඩාගෙඩි කමින් ...බොහොම නිදහසේ ගමන් කල යුගයක් අපිට තිබුණා....



පහෙ ශිෂ්යත්වය..සමත් වෙලා නගරයේ පාසලට ආවම....ජීවිතේ ටික්ක වෙනස් වුණා...
දැන් කාලෙ වගේ ශිෂ්යත්වය කියන මහ තරඟය අපිට ඒ කාලේ තිබුණෙ නැහැ..නමුත් ගමක ඉන්න අපට නගරයේ පාසලකට යන්න අවස්ථාව ලැබුණෙ ඒ හරහා....අපේ ගුරුමව් පිය වරුන් පාසලේ විශේෂ පන්ති දාල ඒ යුගයෙ අපිට ඉගැන්නුවා...ඒ මතකයන් හරිම අපූරුයි

ඉගනීම කියන දේ මහා තරඟයක් වුණෙ නෑ අපිට කිසිම දවසක.දෙමවුපියන් අපිව යොමු කලා මිසක...පස්සෙන් පන්න පන්න ඉගැන්නීමක් කලේ නැහැ...සමහරක් විට ඒ කාලේ අපෙ ලෝකය දැන් දරුවන්ගේ වගේ තාක්ෂණය මගින් ගිල ගෙන නොතිබීම ඒ නිදහසට හේතු වන්නට ඇති

ගමෙන් නගරයට පාසල් යන්නට ගිය කාලය...බොහොම සුන්දරයි...අපේ බස් රථයේ රියදුරු මහත්තයා අපිට සලකන්නේ තමගේ මුණුබුරු මිණිබිරියන්ට වගේ....බස් එකේ නලාව එකිනෙකාට බාරදීම තමා ඔහු කල අපූරුම දෙය...

නිල්වලා ගඟ මායිමට පිහිටි ගමක් වීමත්.....මාතරට යන තුරු නිල්වලා ගඟේ මායිම් හමුවීමත්...අපට ගx වතුර කාලෙදි අපූරු අත් දැකීම් ගෙන ආවා......බොහෝ වැසි කාලවල පාරට වතුර දමන නිසා...අපිට පයින් එන්නට තමයි සිදු වුණේ........සපත්තු දෙක ගලවලා කරට  දමාගෙන එන මග තොට පාරේ ගස් වැල්වල ගෙඩි පලදාවට වග කියමින් අපි ගෙදර ආවෙ.

ඒ කාලය පුදුම සුන්දර යුගයක්...
ඇල්මෙන් අකුරු උගන්නට.....ජීවිතය දිනන්නට ගමේ පාසලෙන් පටන් ගත් ඒ පාසල් දිවිය...සරලයි..සොඳුරුයි......