Thursday, January 26, 2017

30. 70 දශකයේ ඉපදුණ ළමයි...






සමකාලීනයන් එක්ක ඔබ සංවාදයේ යෙදිලා ඇති ඕන තරම්....

සමහරක් විට ඒ සංවාද වර්තමානයට පමණක් අදාළ ඒවා වෙන්න පුලුවන්...නමුත් ඔබ අතීතය හාරා අවුස්සන සංවාද වල යෙදිල තියනවද...

ඉඳ හිටක ලද අවසරයක....පොඩිම පොඩි නිමිත්තක එල්ලිලා...මතක සංචාරයක යන එක ඉබේම වෙන දෙයක්....වාසනාවකට වගේ...මා එක්ක ඉන්න මගේ සම කාර්‍ය මණ්ඩල සාමාජිකයන් දෙන්නෙක්ම මා වගේම 1970 - 1979 අතර කාලයේ ඉපදුණ අය....(ඔන්න ඉතින් විසිරිගෙ වයස ගැන අනුමාණයකුත් ඔබට ලැබුණා...)

දේශන වාර වලට මැද්දෙන් එන පොඩි තේ විවේකය...අපේ මතක ගැන ඉබේම කතා වෙන මොහොතක්.....
තේ විවේකයේ රස කැවිල්ලක් ඔස්සේ මතකය පියාඹලා ගියා.....

70 දශකයේ  ඉපදුන කොල්ලො කුරුට්ටො..කෙළි පැටික්කියො විදියට අපිට තිබුණ සමාජය ගැන මගේ බ්ලොගේ මුල්ම සටහන් වල මම ලිව්වා...ඒකෙ සබැඳුණ යම් යම් සිද්දි මම ලින්කු සමග මේ ලිපියෙ අවසන එක්කාසු කරන්නම් ..ඉඩක් ඇත්නම් ඒ පැත්තෙ ත් ගිහින් එන්න....

ඔන්න අර කිව්ව කාලයේ ඉපදුන අපි..අද කාලෙ ළමයි වගේ සුඛෝපභෝගී ආහාර ..ක්ෂණික ආහාර වල රහ බලපු අය නෙවේ...ඒත් අපේ ළමා වියේ අපට රහ බලන්න ලැබුන ආහාර කොච්චර මනසට සුවයක් ද කියල හිතෙන්නෙ ...මේ දැන් ඒ ගැන සිහි කරද්දි...

ඉස්සර දැන් වගේ කෙටි කෑම ඒ කියන්නෙ ශෝට් ඊට් වර්ග තිබුණෙ නෑ...ගමේ හරි අවට ගම් දෙක තුනකට හරි සම්බන්ධ බේකරිය තමා හැම කෑමක්ම ගෙන ආව තැන...දකුණට අදාළ බස් වහර...අනුව කෑම වල නම් ටිකක් එහෙ මෙහෙ වේවි...ඒත් ඔය කාගෙ පළාතෙ වුණත් මේ කෑම වර්ග වෙන නමකින් හරි තියෙන්න ඇති...

අපි ඉස්සර කන්න ආසම කෑමක් තමා හුළං විස්කෝතු...අපේ ගමේ දි නම් අපි කිව්වෙ බටර් ඉස්කෝතු කියල..ලාවට වගේ බටර් රහකුත් ඒකෙ තියෙන්න ඇති...
( බටර් කියන්නෙ ඒ කාලෙ අධි සුඛෝපභෝගී ආහාරයක්...ඒත් අද තියන බටර් වලට වඩා නම් ඒ කාලෙ බටර් හරිම කිරි රසයි....)...

නමුත් මේ බටර් ඉස්කෝතු වලට බටර් දැම්මෙ නෑ කියල නම් මම විශ්වාස කරනවා...ගම් වල දුප්පත් බේකරියක..පාන් පෝරණුවක බටර් කොහෙ තියෙන්නද...
මේ බටර් ඉස්කෝතු වල පියන් ජාති දෙකයි..එකක් පිම්බුණ එකක් අනික පැතළි එකක්...මේ බටර් ඉස්කෝතු කන විදි එක එක විදියයි....සමහර වෙලාවට කහට තේ එකේ පොඟවන් කනවා..අවධානය ගිලිහුණ වහාම කොටසක් තේ එකට වැටෙන අවදානම කන කෙනා සතුයි...
ආයෙ අපෙ අත්තම්මා බටර් ඉස්කෝතු සීනි හා පොල් එක්ක කොටලා  කන්න දුන්නා...මං හිතන්නේ ඒ ආහාර නිර්මාණය වෙන්න ඇත්තෙ දත් වල හයියෙ තත්වය එක්කම වෙන්න ඇති....



දැන් කඩවල් වල විවිධ නමින් මේ බටර් ඉස්කෝතු තියනවා....මම ප්‍රධාන පෙලේ රෙස්ටුරන්ට් එකක වීදුරු රාක්කයේ ගිය සතියෙ දුටුවා RUSK කියන නමින් මෙයින් පියන් හයක්...ගාණත් ටිකක් සැරයි.

ඒ වගේම තමයි අර ඇඟිලි විස්කෝතු  ..ඉඟුරු රසට..ඉඟුරු විස්කෝතු කියලත් අපි කිව්වා...හරියටම ඇඟිල්ලක් වගේ....හීන් දැවිල්ලක් එක්ක එන ඉඟුරු රසයට ඉස්සර අපි හරි ආසයි...දැනුත් එහෙම නම තියන ඉඟුරු රසය නැති පාන්පිටි රස විතරක් තියන විස්කෝතු නම් තියනවා....

ඔන්න ඒ කාලේ....තිබ්බ ආසම රස බිස්කට් වර්ගයක් තමා සව්බොර...සව්බොරවා කියලත් කියනවා....හදන විදිය දන්නෙ නැති උනත් ගල් වගේ හයියයි..එකක් වරුවක් කන්න පුලුවන් ......ඒ වගේම බොරවා කියල බිස්කට් වර්ගයකුත්...තිබුන...ඒක පැතළි ටිකක් හයිය එකක්....අර සව් බොරව තරම්ම හයිය නැතත්....කන්න ආසයි.



බිස්කට් වලට අමතරව තිබුණ රස කැවිලි මම මේ සිහිකරන්නේ අපි එකිනෙකා මතක් කල ඒවායින් ....
මේ කාලයෙ උන්න සමකාලීනයොන්ට මතකද මන්දා...ගුණසිරි බුල්ටො.....මට නම් තාම ඒ කැරමල් වගේ රහත් මතකයි...හක්ක රිදෙනකල් හප හප කෑවෙ .සුදු සව් කොලේක ඔතලා කලු පාට පොඩි සිලින්ඩරාකාර හැඩේට....





ඒ වගේම තමා නාරං බික් ....ලොසින්ජර වර්ගයක්....නමුත් නියම දොඩම් රසයක් ආවා..ලා තැඹිලි පාට සහ කහ පාටට....අදත් ෆුඩ් සිටියේ බරගානක්වෙන නාරංබික් පැකට් තියනවා...තනිකර සීනි රස විතරයි.....

අපි මේ කියව කියව උන්න මතකයට තව සෑහෙන්න ජාති එක්කාසු උනා ..නමුත් බ්ලොග් පෝස්ට් එකක් අනවශ්‍යව දික්කරන්න මම ආස නෑ...ඒ නිසා 70 ළමයි කාපු කෑම සහ එහි රසය.....තව සබැඳි පෝස්ටුවකින් ඊලඟට ගෙන එන්නම්......
මේ තියෙන්නෙ විසිරි කලින් ලිව්ව ...එයාගෙ මතක.....









31 comments:

  1. 80 දශකයෙත් ඔය කියන ජාති කඩේ පිරිලා තිබ්බා විසිරී. සව්බොර වගේම නාරංපෙති වලට මම හරි පෙරේතයි ඒ කාලෙ.
    රස මතක්වෙන ලිපියක් මේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද....ඔව් ඔව් 80 දශකයටත් මේවා ඉතුරු උනා

      Delete
  2. දුමී හරි මමත් 80ව දශකයේ මෙලොව එළිය දුටු කෙනෙක් :) "බොරවා" හැර අනිත් හැම ජාතියම මං රහ බලලා තියෙනවා. මේ ලඟකදී බොහොම අමාරුවෙන් බුල්ටෝ පැකට් එකක් හොයාගෙන දෝණිට ගෙනත් දුන්නා :)
    විසිරි ලැබුන ගමන් "මතක" ත් කියවලාම එන්නම්
    ස්තුතී මතක අළුත් කලාට

    ReplyDelete
    Replies
    1. බුල්ටෝ කොහෙද තිබුනේ .....මම කොහෙද තැනක දැක්කා නියම විදිහට බුල්ටෝ හදන්ඩනං පැෂන්ෆ්‍රට් ලෙලිවල ඉස්ම ඕන කියලා

      Delete
    2. ඔන්න ඔයාට බොරවා කන්න ඕන නම් .....මාතර කොලඹ හයිවේ යනකොට මැද තියන රෙස්ටින් ඒරියා එකේ...මෝනිස් එකෙන් බලන්න...දුඹුරු පාට පැතලි බිස්කට් වගයක් ඇති...රස නම් ඉස්සර තරම්ම නෑ

      Delete
  3. 1973 -1974 ලංකාවේ ආංශික සාගතය
    http://transyl2014.blogspot.ca/2016/02/1973-1974.html

    ReplyDelete
  4. විසිරි....මම වනගත උනාම (මහ කැලේ නෙවෙයි හැබැයි වනයක්ම තමයි මම වගේ ) ඉන්න නිවස්නය කිට්ටුව පාත තියෙනව පවුලේ සාමාජිකයින්, ඒ කියන්නේ තාත්තයි, අම්මයි, දුවයි පුතයි කරගෙන යන ගමේ බේකරියක් තියෙනව..මේ ලඟදි දවසක අහම්බෙන් වගේ මම ගියා එතනට..ඇත්තටම ඒ බේකරියේ බක්කරේ තමයි අම්මා..තාත්තායි දුවයි තමයි ඩිස්ට්‍රිබියුෂන් බාරව ඉන්නේ.. ඉතිං බේකරියේ ඇතුලේ ඇවිදින කොට, දර කොට, පාන් අච්චු අරවා මේවා වල පය හැපි හැපි මම යනකොට දැක්කා, බර්ගර් බන්ස් වගේ හැබැයි චූටි බන්ස් වගයක් තැටි වල තියෙනවා...කෙළ පෙර පෙර ඕවා දිහා බලන කොට බක්කරේ අම්මා මට දුන්නා කන්න මහත්තයෝ මේවා හරි රහයි කියාල එකක්..හොඳ බටර් රහට තියෙන නිසා ඇහුවා මේ මොනාද කියලා..ඔය හුළං විස්කෝතු මහත්තයෝ..අද රෑට ආයෙත් පෝරනුවට දානවා දෙකට පලලා පාන් බෑවට පස්සේ කියලා කිව්වා...එතකොට තමයි මට තේරුනේ ඔය හුළං විස්කෝතු වල ඔයා කිව්වා වගේ එක පැත්තක් පැතලි වෙන්නත් අනික් පැත්ත රවුම් වෙන්නත් හේතුව...බනිසක් දෙකට පැලුවම තියෙන හැඩතලනේ ඒ...ඉස්සරවෙලා බනිසක් වගේ හදලා, ඒවා නිවුනාම දෙකට පලලා ආයෙත් බේක් කරනවා විස්කෝතු වෙන්න...!
    එදා ඉඳන් හැමදාම හවස තුනට යනවනේ මම රක්ෂිතේ බේකරි ගෙදරට ඔය බටර් බනිසක් දෙකක් කන්න හුළං විස්කෝතු වෙන්න කලියෙන්....!

    ReplyDelete
    Replies
    1. චෙෆ් ඒක නම් අපූරුම මතක අවදියක්.....ඔයාගෙ වනගත නිවස්නය තියන තැන නම් අහන්නෙ නෑ..නැද්ද එතැන ගැන ලිව්ව බ්ලොග් පෝස්ටුවක් එහෙම.....මටත් තියෙන්නෙ ඔන්න ඔහොම ඒවා කියවන්න හරිම කෑදර කමක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේක කියෙව්වම ප්‍රශ්න ගොඩක් ආවා......ඔක්කොටම කලින් දැන ගන්න ඕන අර අන්තිමට තියන ගේ ද අර කිව්ව වනගත නිවහන

      Delete
  5. ඔය බුල්ටෝ ටොපිය තව ලොකු උනානම් හොදයි කියලා හිතෙන්නෙ මට විතර ද

    ReplyDelete
    Replies
    1. හක්ක පනියි.....ඕක හප හප වරුවක් ඉන්න ගියාම

      Delete
  6. නියමයිනේ...මම නම් හැටේ මුල් කාලේ ඉපදුනු බුවෙක්. මේ ඔක්කොම දේවල් කාලා තියෙනවා. විසිරි මතකත් කියවන්න ඕන.

    මෙන්න මේ ලිපිය කියවන්න.

    මෙන්න මෙතන තියෙනවා සව්බොර ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුන අයියා....ඒ ලිපිය කියවන්න ඕන...ඔයාගෙ බ්ලොග් එකක් තියේද...මට ලින්ක් එක එවන්න

      Delete
    2. හප්පොච්චියේ ඒ ඔයාද....අහල තිබ්බට කවුද දන්නේ..මම අලුත් නෙව

      Delete
  7. ඔය ගුණසිරි බුල්ටෝ හැදුවේ මහරගම. අපේ ගෙවල් කිට්ටුව. මහ පතන්දර තාච්චි දර කොටන් ලිප්වල තියාගෙන කළු දොදොල් හැඳිගානවා වගේ මහ යමර වැඩක්.

    සිරිල්ගේ තලගුලි කඩේකුත් තිබුනා විජේරාමේ, අටේ කනුව ගාව. ඒකේ වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ.සිරිල්ගේ තලගුලි විතරයි.

    ReplyDelete
    Replies
    1. මහරගම තාම නැතුවැති නේද ඒක...කොලඹ අවට ඉන්න නිසා ගිහින් අරන් එන්න බැලුවෙ

      Delete
    2. ගුණසිරි නැත. හීනි බුල්ටෝ නම් ඇත. ඔන්ලයින් බුල්ටොත් ඇත.

      Delete
    3. ඔන්ලයින් බුල්ටෝ..? එහෙම එකක් ඇහුවමයි

      Delete
    4. https://arpicosupercentre.com/food-cupboard/confectionery/isuru-bulto-toffee-60g-20pcs.html

      Delete
  8. 70 නොවුනට 80 දශකයෙත් මේ බොහෝ එවා තුබුනා විසිරි.සව්බොරො කියන්නේ මමත් ආසම කෑමක් දැනුත් තියෙනවා පෙරේරා ඇන්ඩ් සන්ස් වල ඔය සව්බොරෝ හැබැයි පොඩි කාලේ කාපු රසනම් නෑ.ඔය ගාල්ල පැත්තට යනකොට හම්බෙන මෝනිස් බේකරි එකේ තියෙනවා ඔයා කියලා තියෙන මේ ජාති සේරම ඔය පැත්තට යන වෙලාවට මන් ඒකෙන් එක එක ජාති මල්ලක්ම ගන්නවා.හැබැයි මම පොඩි කාලේ අපේ ඉස්කෝලේ කැන්ටිමේ තිබුනා ගල් බනිස් කියලා ජාතියක් අම්මෝ මම ඒවට තරම් වෙන මොනවටවත් ආස නෑ.අම්මා ගෙදරින් දෙන කෑම එක කැන්ටිමෙක් කන්න සල්ලි ගෙනාපු කෙනෙකුට දීලා මම ගල් බනිස් අරන් කනවා ඒ දවස්වල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙම තාම ඒවා කන්න බැරි උනා.තාමත් කොහේ හරි ගියාම මම ඒවා හොයනවා මගේ හබියා විහිලු කරනවා මට, ඒවා හදලා තියෙන්නෙ පුන්නක්කු වලින් කියලා.එවා කාලා තමා මම මෙච්චර ගොං වැඩ කරන්නේ කියලා.ඉඩ තියෙන වෙලාවක මේ ලින්ක් එකටත් ගිහින් බලන්නකෝ

    http://kavisandalla.blogspot.com/2016/11/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. හරියටම හරි...සඳා නංගි...නමුත් අර ඉස්සර රහ නම් නෑ නේද.....අද මම පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ සව්බොර පැකට් දුටුවා...මට ඕකම මතක් වුනා.....ගල් බනිස් වලට දැන් නම දන්නවද....රොක් බන්ස්..මම දවසක් රැවටිල අරන් කෑවමනෙ දන්නෙ මේ ගල් බනිස් කියල..ඒත් ඉස්සර වගේ රහ නෑ අනෙ

      Delete
  9. අසුවේ අපිටත් මේ මතක ඉතුරුයි
    අපි කෑවේම බුල්ටෝ
    මේ මතක ඒ කාලේට ආයෙම යන්න ඇත්නම් කියලා හිතෙන තරමටම අපුරුයි

    ReplyDelete
    Replies
    1. අපි ඒ මතක ඔයාලටත් ඉතුරු කලා...

      Delete
  10. අපි අසූවේ දශකයේ, අපිත් මේවා කෑව
    ඇයි බුල්ටෝ, හූනු බිජු ( චූටි චූටි සීනිබෝල, අර සූදුරු ඇටයකුත් එක්ක තියෙන්නෙ ), මල් බිස්කට් , ගල් මස්කට්නම් තවම දකිනවා කඩවල් වල, එතකොට විස්කිරිඥ්ඥා, ඥානකතා, ගල් බනිස්
    https://nopalakatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...අසූවෙ පොඩි උන්ට අපි ඒවා ඉතුරු කලා....

      Delete