Tuesday, April 5, 2022

12. දොළොස් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )



නිවේතාගේ සටහන් රැඳුණු එම පිටුවේ කෙළවරක කුඩා ලියුම් කවරයක් අමුණා තිබිණි. සරෝජ් හිරිපිටිය එය විවෘත කොට හතරට නවා තිබූ ලිපිය අතට ගත්තේය. ජීවිතයේ මුල් වතාවට පෙම් හසුනක් කියවන්නා වූ ප්‍රේම වන්තයෙකුගේ සිනහවට ඉතා ආසන්න මදහසක් සරෝජ්ගේ මුහුනේ ඒ මොහොතේ ඇඳී තිබුණි 

දයාබර සරෝජ් අයියේ..

මේ ලිපිය ඔබ අතට පත්වන විට මම මානවී ද සමගින් ලංකාව හැර ගොස් දින ගණනාවක් ගත වන්නට ඉඩ ඇත. මේ පළමුවෙනි වැකිය දුටු මනතින්ම ඔබ මා සමගින් දැඩි ලෙස තරහ ගනු ඇති බව මම හොඳටම දනිමි.එහෙත් මා හට සමාවී මේ ලිපිය අවසානය දක්වාම කියවන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මගේ ජීවිතේ ගත වූ කාලය ගැන යළි යළිත් ඔබට ලිවීමට මට ඇවැසි නොවේ.මන්ද මා තරමටම නැතහොත් මටත් වඩා එය ඔබ අවබෝද කරගෙන ඇති හෙයිනි. එහෙත් ඔබ නොදන්නා එහෙත් ඔබ විසින් දැනගත යුතු කරුණු කිහිපයක් පමණක් සමුගන්නට පෙරය මම ලියා තබන්නෙමි. 

ඔබ මගේ ජීවිතයට පැමිණියේ අහම්බයක් ලෙසය. එහෙත් ඒ අහම්බය එහෙත් ඒ කිසිදු බලාපොරොත්තුවක් නොවූ දැරියකට මග පෙන්වූ පහන් තාරකාවක් විය. මගේ ජීවිතයේ අනාගතය සම්බන්ධයෙන් මා බලාපොරොත්තු උපදවා ගත්තේ ඔබගේ දිරිමත් කිරීම්වල හේතුවෙනි. අද මා ජීවිතයේ යම් සාර්ථක බාවයක් ලබාගෙන තිබුණේ නම් ඒ සියල්ල ඔබ නිසාමය.

එහෙත් ජීවිතයේ අවාසනාවම තුරුළු කොටගෙන ඉපදුන මාහට දෛවයේ සරදම් කරේ ඉතාමත්ම සැහැසි ආකාරයටය. එකම දවසක දී ජීවිතේ පලමු වතාවට ආදරේ යන හැඟීම හේතුවෙන් ඉපදී ගත් යුවතියක් ඒ දවසේම තමන්ගේ සියලු වටිනාකම් අහිමි ව ඉතාමත් කෲර ලෙසින් අපහරණයට ලක් වූයේ දෛවය මා හට සරදම් කළ හෙයින් විය යුතුය.තවමත් ජීවිතයේ කායිකව හා මානසිකව ඒ අපහරණයේ තුවාල මා රිදවයි.

මේ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙත දක්වන්නාවූ මේ අවධානය (එය ආදරයමදැයි මට විටෙක සිතෙයි. එය අනුකම්පාවක් යැයි මට මගේ යටි සිත යළි යළිත් තහවුරු කරයි) මා යළිත් යථා තත්ත්වයට ගෙන ඒමට වඩා මට මා එලෙස නොරුස්සන්නියක් බවට පත්කරමින් සිටී.

දයාබර සරෝජ් අයියේ.

මානවී ඔබ වෙත අදිසි ලෙසින් බැඳීම මට අනෙක් අතට මහා ගැටලුවකි. දුරටත් මේ බැඳීම පවත්වාගෙන ගියහොත් මානවී ඔබ වෙතින් ඈත් කර ගැනීම මට කළ නොහැක්කක් වනු ඇත.එහෙයින් මම ඔබ හැර යන්නෙමි.මෙම තීරණය මා විසින් ගත් ආත්මාර්ථකාමී තීරණයක් බව පිළිගනිමි.

රටේ පිළිගත් එමෙන්ම වැදගත් පරම්පරාවකින් පැවත එන ආදරණීය පවුල් පසුබිමක් දරන්නාවූ ඔබ වැන්නෙක් ජීවිතයට හවුල් විය යුත්තේ මා වැන්නියක් නොවේ. දෙමව්පියන් සහ සහෝදරිය ඔබ පිළිබඳව තබා ඇති බලාපොරොත්තු ඔබ විසින් ඉටු කළ යුතු ය.එමෙන්ම මේ රටේ ජනතාව ඔබ අත තබා ඇති වගකීමද ඔබ ඉටු කළ යුතුය.ඒ ගමනේදී ඔබේ පසකින් සිටිය යුත්තේ මා නොවේ. මා ලංකාවේ සිටින තාක්කල් මගේ තීරණය වෙනස් නොවන බව මම දනිමි.

ඉතින් මම යන්නෙමි. ආපසු ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවක් මට නැත. මානවී හදා වඩා හදාවඩා ගැනීමට මට ආර්ථිකව ශක්තිමත් වීමේ අවශ්‍යතාවයක් ඇත.

දැන් මම යන්නෙමි.

මගේ නිවැසියෝ ...ඇත්තෙන්ම ඔවුන් මගේ නොවේ. මානවී මා වෙතින් උදුරා ගන්නට පිඹුරුපත් සකස් කරති.ඒ කරදර අතරට ඔබ පැමිණියහොත් එයින් හානි වන්නේ ඔබටමය. ඔබ විසින් ගොඩනගාගෙන යන ප්‍රතිරූපය මෙවන් වැදගම්මකට නැති කාරණා හේතුවෙන් අවුල් නොවිය යුතුය.

අවසාන වශයෙන් මෙසේ කියා තබමි. ජීවිතයේ මුල්ම වතාවට මෙන්ම එකම සහ අවසාන වතාවට ප්‍රේම කළේ ඔබටය. ඔබට පමණක්මය.

මතු සසරේ කවදා හෝ ඔබ මට හමු වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. එදිනට මා ඔබ අහිමි කරගන්නේද නැත.

ඉතින් සමුගනිමි.

ආදරය පමණක්ම තබා යමි.

නිවී.


                                                                         ***

දෑසෙහි සෙමින් තැවරී යන කඳුළු පටලය වියලාගනිමින් සරෝජ් හිරිපිටිය ගැඹුරු සුසුමක් හෙලීය. දෛවය ඇත්තෙන්ම කර තිබෙන්නේ ඉතාම කුරිරු සරදමකි. නිවේතාහට තමා සමගින් එක්වන්නට තිබූ සියලුම ඉඩකඩ එලෙස අහුරා දමා තිබුණි. 

මේ ලිපිය තමා අත පසුව හෝ පත්වී නම් තමා ඇයව කෙසේහෝ සොයාගෙන යන බව ඔහු විශ්වාස කළේය. එහෙත් නිවේතා ඒ සියලු ඉඩකඩ ඉතිරි කොට ගියේ නැත. මේ ලිපියෙන් යම්තාක් දුරට සිය හදවතේ සරෝජ් හිරිපිටියට ඇති බැඳීම ලියා තිබුණද එයද ඔහු අත පත් කරවන්නට ඇයට හැකියාවක් නොවීය. සුසුමක් සමගින් ලිපිය යළිත් නවා තබා සරෝජ් හිරිපිටිය ඊලඟ පිටුවට නෙත් යොමු කළේය.

 

                                                                      ***

අහසේ නිල්වන් වළාකුලු පීරාගෙන මා සහ මානවී රැගත් ගුවන්‍ යානය ගමනාන්තය වූ ඔස්ට්‍රේලියාව කරා පියාසර කරන මොහොතේ මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. ඔවුන් සියල්ලන්ගෙන්ම මිදී මෙසේ ගැලවී එන්නට ලැබීමම මා සතුව ගිය භාග්‍යයක් විය. 

දීර්ඝ ගුවන් ගමනකට පසු මම නිලීකාගේ නිවහනට පැමිණ සිටින්නෙමි. ඉතින් හෙටින් අරඹන මගේ ජීවිතය පහසු එකක් නොවන බව පමණක් මම දනිමි. සියලුම දේ හුරුපුරුදු වූ මගේ රටේදී මා කෙතරම් දුරට හුදෙකලා වුවද ඒ මා උපන් දා පටන් ජීවත්වූ රටයි. එහි මගේම කියා කිසිවෙක් මා හට නොසිටියද මෙවන් හුදෙකලාවක් ගැන මට තාමත් ඇත්තේ චකිතයකි.

ගත වූ කාලයේ දී ඉංග්‍රීසි භාෂාව සමගින් රැකියාවකට සුදුසුකම් සපුරා ලන්නට විවිධාකාර පාඨමාලා කිහිපයක්ම මම හැදෑරුවෙමි. මගේ හැකියාව වූ නිර්මාණ ශිල්පයේ සහ ගෘහ අභ්‍යන්තර අලංකරණ සම්බන්ධ පාඨමාලා කිහිපයක සුදුසුකම් සපුරාලන්නට මා උනන්දු කළේ නිලීකාය.

" මේවගේ රටක රස්සාවල් හොයන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ උනාට අපි ටිකක් අන්කොමන් ෆීල්ඩ්ස් අල්ලගත්තොත් ඒවට ගැළපෙන ජොබ්ස් තියනවා."

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර රැකියාවන් කිහිපයකට අයදුම්පත්‍ර යොමුකොට අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර සම්මුඛ පරික්ෂණ කිහිපයකට ද මම සහභාගී වුනෙමි. ඉතින් මා හට සතුටුදායක පිලිතුරක් ඔවුන් වෙතින් ලැබෙනු ඇතැයි නිලීකා පැවසුවාය.

දින කිහිපයක ඇවෑමෙන් නීලීකා සමගින් මා රැකියාවක් වෙත යෑමේ බලාපොරොත්තු ඉතින් මට ඇත. මානවී බලාගැනීම නිලීකා ස්වේච්ඡාවෙන් පවරා ගැනීම කියාගන්නට බැරිතරමේ සහනයක් මට ගෙන ආවේය.ඉතින් හෙට සිට ජීවිතය ගෙන යන මාවතට හැරෙන්නට මම දිරිය වඩා ගත යුතුය.සරෝජ්.....ඉතින් ඔබට මා මතකයෙනුත් ගිලිහී යනු ඇත.

                                                                         ***

ඉන් ඔබ්බට ඒ සටහන් ගොනුවේ කිසිවක්ම නොවීය.වියළි මල් අත්තක්, කුරුටු ගෑ සිතුවමක් මිස එකදු අකුරක් යළි එහි සටහන් නොවීය.ඒ නිවේතාගේ ජීවිතයේ මුල් පරිච්ඡේදයන් ඇය සටහන් කොට දමා තිබූ ආකාරය විය.

උදෑසන කුරුලු හඬ එකින් එක ඇහැරෙන්නටද පටන්ගෙනය. හිසේ තුවාලයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ නිසා තරමක් වේදනා දෙන්නට ද පටන් අරගෙනය. පෙරදවසේදීත් ශල්‍ය වෛද්‍යවරයා දැඩි සේ අවධාරණය කළේ තුවාලයට වඩා ඇතිවූ පහරදීමේ කම්පනය හේතුවෙන් මනා නින්දක් සමගින් විවේකයක් ගන්නා ලෙසය.තමා සම්පූර්ණ රාත්‍රියම වෙන්කළේ නිවේතාගේ සටහන් කියැවීමට ය .

අසල වූ බිත්තියේ රැඳී ඔරලෝසුවේ වේලාව පෙරවරු පහ පසුවී විනාඩි විස්සක් දැක්වේ.සරෝජ් හිරිපිටිය සටහන් පොත පසෙක තබා සයනයේ වැතිරී දෑස්පියා ගත්තේ විවේකයක් ලබනු රිසියෙනි.

සරෝජ් යළි අවදිවූයේ උදෑසන අටට පමණය. සිරිදාස විසින් අමතනු ලදුව ඇහැරී සයනයේම හිඳ ගත් ඔහු සෙමින් තුවාලයේ වියළී යන මැහුම්පහරවල් වලට අතැඟිලි තැබුවේය. තවමත් හරිහැටියකට වියැළී නොගිය තුවාලය මඳක් රිදුම් දෙයි.

" සර්, හසිත මහත්තයා ඇවිල්ල ඉන්නේ?"

සිරිදාස පැවසුවේ තේ බන්දේසිය සරෝජ් ඉදිරිපිට මේසය මත තබමිනි. ඒ සමගම වූ වතුර වීදුරුව අතට ගත් සරෝජ් 

"තේ ටිකක් සූදානම් කරන්න. උදේට කෑමත් එක්ක.මම ඉක්මනින් එන්නම් කියන්න"

යැයි පවසමින් සඳැල්ලේ ජනේලය අසලට පැමිණියේය. 

ජනෙල් පලු විවර කළවිට අනවසරයෙන් මෙන් කාමරය තුළට කඩාවදින උදෑසන සිහිල් සුලඟට මුසුවන්නේ මිදුළේ සේපාලිකා ගසේ පිපී බිමට පතිතව ඇති මල් සුවඳය.ඉස්සරම දවසක නිවේතා අත සේපාලිකා මල් අහුරක් තබා ආ දිනය සරෝජ් ගේ මතකයට කඩාවැදුණේ සුලඟ පරිද්දෙන්ම අනවසරයෙනි.

ජීවිතයේ දශක ගණනාවක් ගෙවී ගියද ඇතැම් සුන්දර මතක පුංජයන් කොහේහෝ ඉසව්වක එල්බෙමින් පවතී.මහා කතරකට වැසිවැටෙන අහම්බයකදී වර්ණවත් මල් සියදහසක් පිපෙන්නා සේ ලද එකම අවසරය මත ඒ සියුම් මතකයන්ද නොදැනීම ඉස්මතුව එයි.තමා සේපාලිකා පැළයක් සිරිදාසට ගෙනවිත් දුන්නේද එවන් මතකයේ හේතුවෙන් බව සරෝජ් අවබෝධකරගෙන උන්නේය.

"සොරි හසිත, රෑ වෙනකල් අර මහාවංශෙ කියෙව්වානෙ.මට නින්ද ගියේ පාන්දර"

සරෝජ් හිරිපිටිය ඉහළමාලයේ සිට පහළට එමින් පැවසීය. හසිත මොහොතක් සරෝජ් දෙස බලා උන්නේ එවදන් වල අර්ථය හඟිනු රිසිවය. මොහොතකින් එය අවබෝධ වූ පසු ඔහුටම සිනහවක් නැගුණේ සරෝජ් ගේ එවදන් සමගමය.

"අංකල් ඕක ඉවරකරල මිසක් නවතින්නෙ නෑ කියල අපිත් කතාවුණා"

හසිත සරෝජ් සමගින් තේ මේසය වෙත පියනගමින් පැවසීය. 

"මොන ඉවර කිරිල්ලක්ද හසිත, තවම එකයි කියෙව්වෙ.තව තුනක්ද කොහෙද තියනවා" 

සරෝජ් තේ මේසයට හිඳගත්තේ හසිතට අතින් සන් කරමිනි.

"අද වෝඩ් දාවිද දන්නෙ නෑ. අපි යමු නේද මෙහෙම්ම" 

සරෝජ් ආහාර ගනිමින්ම ඇසුවේය. කෑමට ප්‍රියක් නැතද බෙහෙත් ගන්නා හෙයින් කුමක් හෝ ආහාරයට ගත යුතුව ඇත. නිවේතා පිළිබඳ වර්තමාන තත්වය හදවත දවාලන්නේ ආහාර රුචිය පවා අහිමිකරමිනි.

"ඇත්තෙන්ම කිව්වොත් මට හරි බයයි හසිත. ඩොක්ටර් ඊයෙ කියපු විදියට නිවීට ජීවිත කාලය පුරා පුරාවටම බලපාන ගැටළුවක් ඇති වෙයිද කියලා"

"මටත් බය ඒකයි අංකල්. ගෙදරදි බබීට නොදැනෙන්න මම නෝමල් විදියට හිටියත් මට පුදුම බයක් හිතට දැනෙන්නෙ"

හසිත පැවසුවේ සරෝජ් වෙතටම හැරෙමිනි.

"හැබැයි හසිත මෙයාව ඩිස්චාජ් කලාම ආයෙ කොහෙවත් යන්න බෑ.මම එයාව මගෙ ගෙදරට අරන් එනවා" 

සරෝජ්ගේ දැඩි හඬට හසිත හිස නගා බැලුවේ නිහඬවමය.

"එයාගේ හිතුවක්කාරකම් හොඳටම ඇති පුතා. ඔය කිව්වා නාහන ගතියට මුලදිම ඉඩ නොදී උන්නා නම් අද ඔහොම වෙන්නෙ නැහැ.මගෙත් බුරුල වැඩිවුණා සෑහෙන්න එයාට"

එක් අතකට සරෝජ් අංකල් පවසන සියල්ලද සත්‍ය බව හසිතට වැටහුණි. අම්මාගේ නම්‍යශීලී බව එනතුරා බලාසිටි කාලය ඕනෑවටත් වඩා වැඩිය. 

රෝහලේ ඉදිරි දොර අසලින් සරෝජ් සමගින් හසිත බැසගත් පසු රෝහල් රථගාලට රිය පිටත්විය. 

මුහුණට හමුවන එක් අයෙකු දෙදෙනෙකුගෙන් සරෝජ්ගේ ගමනට බාධා ඇතිවූවේ ඔහුව හඳුනාගත් හෙයින් සහ පෙරදවසක හිසට වූ අනතුර මේ වනවිටද ප්‍රසිද්ධ වී තිබුණු හෙයිනි.

වදනකින් දෙකකින් ඒ කතාබහ නිමකරමින් හසිත හා යළි ගමනට එක්වූ සරෝජ් හිරිපිටිය ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ ඇමතුම උදෙසා සායන කාමරය අසළ මොහොතක් රැඳී සිටියහ.විනාඩි ගණනාවක ඇවෑමෙන් හෙදිය ඔවුන් කාමරය තුළට කැඳවීය.

"කොහොමද ඇමතිතුමා?" 

මුවග සිනහව රඳවාගෙන අසුනෙන් නැගී උන් විශේෂඥ වෛද්‍යවරයා ඔහුට අතට අත දුන්නේය.

"අනේ මේ, උඹ මගෙන් අහගන්න එපා හරිද?"

දිගුකල අතට පහරක් ගැසූ සරෝජ් හිරිපිටිය ඉදිරි අසුනට බරවූයේ කලකට පසු හමුවූ පාසල් මිතුරාගේ බසට නොපහන් බවක් අභිනයෙන් පෙන්වමිනි.

"උඹලගෙ කියවිලි නම් ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් සෝෂල් මීඩියාවලින් අපි ඇතිවෙන්න අහනවනෙ. සෝ, කොහොමද දැන් ඔලුව? මං හිතන්නෙ ඕක එච්චර සීරියස් වුණෙ නෑ.මට වෝඩ් ඩොක්ටර් කිව්වා"

වෛද්‍යවරයා සිනහසෙමින් පැවසුවේය. 

"මේක අවුලක් නෑ. මං ආවේ මේ නිවේතාගේ කන්ඩිෂන් එක කොහොමද බලන්න" 

සරෝජ් හිරිපිටිය හසිත දෙසද බලමින් පැවසීය. විශේෂඥ වෛද්‍ය වරයා සරෝජ් දෙස මොහොතක් බලා යළි හසිත දෙසද බැලුවේය.

"හසිත මේ කෝකිල , මගෙ ස්කූල් ටයිම් බැච්මේට්.මචං මේ නිවේතාගේ දුව මානවීගෙ හස්බන්ඩ්. බී ඕපන් ඇන්ඩ් ටෙල් එව්රිතින් ටු අස් නව්" 

දෙදෙනාව දෙදෙනාට හඳුන්වා දී සරෝජ් අසුනේ කෙළවරට ඇදී ආවේ වඩා විමසිල්ලෙනි.

"මේකයි මචං. ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබුණා. ඒ බිම වැදුණ පාර එක්ක නිවේතාගේ ඇතුළෙ ලේ නහරයක් පුපුරලා ඒක වෙලා තියෙන්නෙ."

"මේ වෙනකොට එයා ටික ටික රිකවර් වේගෙන එනවා. නමුත් ඔයාලට කලින් කිව්ව වගේම එයාගෙ බ්‍රේන් ඩැමේජ් එක නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න ටික ගැන තමයි අපි ඊළඟට හිතන්න ඕනේ" 

විශේෂඥ වෛද්‍යවරයා අත වූ පෑනෙන් මේසයට තට්ටු කරමින් පැවසීය.

"එයාගෙ ඩැමේජ් වෙලා තියෙන්නේ මොළයෙ දකුණු පැත්ත ඒ නිසා එයාගේ ශරීරයේ වම් පැත්තෙ ක්‍රියාකාරීත්වය ගැටළු සහගත වෙන්න පුළුවන්. හැබැයි සි.ටී., එම්.ආර්.අයි. වලින් පෙන්නන විදිහට ඩැමේජ් එක සෑහෙන්න අඩුයි. ඒ නිසා මෙයාව අපි ඉක්මනටම අනෙක් ට්‍රීට්මන්ට් වලට යොමු කරනවා"

විශේෂඥ වෛද්‍යවරයා කෙතරම් පැහැදිලි කළ ද ඇයව දකින තුරු සිය සිතට සැනසීමක් නොවන බව සරෝජ් සුසුමක් හෙළමින්ම සිතුවේය.

"අද අපිට අම්මව බලන්න පුලුවන්ද?" 

සිය සිත තුළ වූ පැනය හසිත ගේ මුවින් ද ප්‍රකාශ වෙද්දි සරෝජ් හිස වනා සිය මිතුරා දෙස බැලීය.

විශේෂඥ වෛද්‍යවරයා අසුනෙන් නැගී සිටිමින් ඔවුන් හට හිසින් සන් කළේ නිවේතා සිටින කාමරය වෙත පිය ඔසවමිනි.සිතේ ඇති වීගෙන එන බලවත් චකිතය ද මැඩ පවත්වා ගනිමින් සරෝජ් හිරිපිටිය නිවේතාගේ කාමරය තුලට ඇතුළු වූයේ වෛද්‍යවරයාගේ පිටුපසිනි.

නළලත වටා වෙලුම් පටවල් වලින් ආවරණය වූ නිවෙතාගේ සම්පූර්ණ හිසකෙස් ඉවත්කොට තිබුණි. ඇය දෑස් පියාගෙන සිටිය ද නිදිසුවෙන් නොසිටින බව සරෝජ්ට වැටහුණි.

"නිවේතා , කොහොමද ඔයාට? කෝ බලන්න ඇස් අරින්න. මං කියන දේවල් ඔයාට ඇහෙනවා නේ" 

වෛද්‍යවරයා නිවේතාගේ කොපුලට අතින් තට්ටු කරමින් ඇය ඇමතුවාය. ඇස් පියාගෙනම ඇස් චලනය කරන ඇය එම සංඥාව ඔහු පැවසූ දෙය ඇසෙන බව පෙන්වා දුන්නාය.

"එකපාරටම ප්‍රතිචාරයක් දක්වන්න අපහසු තත්ත්වයක එයා ඉන්නේ ඒ උනාට එයාට ඇහෙනවා අපි කියන දේවල්."

විශේෂඥ වෛද්‍යවරයා තවත් කෙටි පරීක්ෂණ කිහිපයක් කරමින් සරෝජ් සහ හසිත වෙත නිවේතාගේ තත්ත්වය පැහැදිලි කළේය. වෛද්‍ය විද්‍යානුකූලව ඒ කරන ලද්දා වූ පැහැදිලි කිරීම් මත නිවේතාගේ තත්වයේ ඇති බරපතලකම ගැන සුබදායී හැඟීමක් ඔවුන් තුළ පහළ විය.

සරෝජ් සහ හසිත කාමරයේ මොහොතක් වෙලා රඳවා වෛද්‍යවරයා නික්මගියේ "බැලුවට කමක් නෑ ගොඩක් කතා කරලා එයාව එච්චර වෙහෙසන්න නම් එපා"යයි අවවාද කරමිනි. 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ සයනය අසලට අසුනක් ඇදගනිමින් හිඳ ගත්තේ ඇයගේ අත ද අල්ලාගෙනමය. ඔහුගේ අතෙහි ස්පර්ශය ලැබුණු මොහොතම ඇය මදක් තිගැස්සී යනු ඔහුට පෙනුණි.එය ද සංවේදනය සම්බන්ධයෙන් යම්කිසි සුබ ලකුණක් ලෙස ඔහුට වැටහුණි.

"අංකල් මට කෝල් එකක් එනවා.මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්"

හසිත කාමරයෙන් පිටත් වූයේ සිතාමතාමය. අම්මාගේ තත්වය තරමක් දුරට යහපත් වීමත් මේ මොහොතේ තමා හට වඩා සරෝජ් හිරිපිටියට ඇය සමග සිටීමට ඉඩ දීම වඩා සුදුසු යැයි සිතූ හෙයින් හසිත ඔවුනට එම අවස්ථාව දී හිතාමතාම මඟ හැර ගියේය.

"නිවී , ඔයාට මං කියන දේවල් ඇහෙනවා නේද? පොඩ්ඩක් හරි මම කියන දේවල් ඇහෙනවා නම් මගේ අත තද කරල අල්ලන්නකෝ "

සරෝජ් හිරිපිටිය නිවේතාගේ මුහුණ ආසන්නයටම සමීපවී ආදරණීය හඬකින් ඇයව ඇමතුවේය. වැසී ගිය ඇස්පියන් යටින් කලබලයෙන් එහෙ මෙහෙ චලනය වන ඇයගේ ඇස් තමා විසින් පැවසූ දේ ඇයට ඇසුන බවට සාක්ෂියක් විය.

"ඔයා ඉක්මනටම සනීප වෙන්න ඕනේ.තේරුණාද?"

ඇයගේ අත් බාහුව දිගේ සෙමින් සිය අත එහාමෙහා කරමින් සරෝජ් පැවසුවේ ක්‍රමක්‍රමයෙන් සංවේදී වෙමින් පවතින ආදරණීය හඬිනි.නිවේතාගේ ඇඟිලි තුඩු සිය බාහුවට තද වනු සරෝජ්හට දැනුණේ තවත් විනාඩි ගණනකට පසුවය .

" ඔයා ඉක්මනට සනීප වෙන්න මගේ කෙල්ල. මම ඔයාට එදා වගේම ගොඩක් ආදරෙයි"

සරෝජ් හිරිපිටියේදී හඬෙහි පැවතුණේ ඉතාමත් ආදරණීය පෙම්වත් හඬකි. ඔහු දෑසට පිරී යන සියුම් කඳුලක් දෑඟිලි තුඩින් මිරිකා ගනිමින් අසුනෙන් නැගී උන්නේ තවත් වරක් නිවේතාගේ හිසසෙමින් පිරිමදිමිනි.

"අම්මට මේ ගානට ඉක්මනට රිකවර් වෙච්ච එක කොච්චර දෙයක්ද? මං මේ දේවල් නිසා හරිම බයෙන් ඉන්නේ බබීගේ තත්ත්වයත් එච්චර හොඳ නැති නිසා. එයා ස්ට්‍රෙස් උනාම ප්‍රෙෂර් වැඩිවෙයි කියල බයයි."

ආපසු එන ගමනේදී හසිත සැනසුම් සුසුමක් හෙලමින් පැවසුවේය.

"එහෙනම් පුතා සංජය ඔයාව ගෙදරට බස්සවාවි. මම මෙහෙම්ම නවතින්නම්"

සරෝජ් හිරිපිටිය සිය නිවස අසලින් රියෙන් බැස්සේ හසිත යළි නිවසට පිටත් කරමිණි.

නිවේතාගේ සටහන් වල ඉතිරි කරුණු කාරණා ද කියවීමේ ප්‍රබල ආශාවක් ඔහුගේ සිත තුළ ඇති ඇති වෙමින් පැවතුණි. සිය වෛද්‍ය මිතුරා පැවසූ පරිදි නිවේතා පවතින තත්වය එතරම්ම ජීවිතයට හානියක් නොවනමට්ටමක නිසා සිතට යම් කිසි සැහැල්ලුවක් ඇති වෙමින් පැවතුණි .

රෝහලට පැමිණ ආපසුගිය හේතුවෙන් කඩිනමින්ගත දොවා ගත්තේ මේ දිනවල පවතින සෞඛ්‍ය ගැටළු හේතුවෙනි .

"තව ටිකකින් කෑම ලෑස්ති කරන්න . තව පැය භාගයකින් වගේ පහලට එන්නම් "

සිරිදාස හට පැවසූ ඔහු සයනයේ පසෙක වූ දෙවැනි පොත අතට ගත්තේ නිවේතාගේ සටහන් වල ලියා තිබෙන්නා වූ ඉතිරි කාරණාද දැනගනු රිසියෙනි.

 


යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)

2 comments:

  1. සරෝජ් පව්...නිවී ඊටත් වඩා පව් ....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete