Wednesday, April 20, 2022

14. දහහතර වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )

 



ඉතින් එළඹි තවත් එක් දිනයක සරෝජ් හිරිපිටිය සිය නිවැසියන් සමගින් කළුතර ප්‍රදේශයට පිටත් වූයේ පෙර දවසක විවාහ යෝජනාවකින් පැමිණි තරුණිය බලන්නටය. සිතට එකඟව නොයන මෙවනි ගමනක ඇති බරපතළ භාවය සිත ඔද්දල් කොට තිබුණි. තමා මේ කරන්නට යන්නේ නිවේතාහට එකට එක කිරීමක් ද නැතහොත් සියලුම දෙයින් පළිගැනීමක්ද යන්න යළි යළිත් සරෝජ් හිරිපිටිය කල්පනා කළේය. නමුත් මේ ගත් තීරණය ආපසු හැරීමක් නොවන බව ඔහු තමන්ටම ඒත්තු ගැන්වීය. 

තමා මෙතුවක් කල් තමාගේ ජීවිතයේ සියලුම දේට කලින් මූලිකත්වය දුන්නේ නිවේතා හටය. ඇය වෙනුවෙන් බලා උන් කාලය කෙතෙක් වුව ද එහි කිසිදු ප්‍රතිඵලයක් අවසානයේ නොවූ බව පමණක්ම තීරණය වී ඉතිරි විය.

නිවේතා තමන්හට ඇත්තෙන්ම පෙම්කලානම් මේ වන විට හෝ ඇයගේ තීරණය වෙනස් වන්නට ඕනෑවටත් වඩා කාලය තිබුණි. එහෙත් ඇයගේ හිතුවක්කාරකමෙහි අවසානයක් දකින්නට නොහැකි විය. ඇය තමා වෙතින් දුරස්ව යන්නට යන්නට තමා ඇය වෙත බැඳුණේ තමාගේ තුළ තිබූ දැඩි ඉවසීම සහ වචනයකට හරවා ගත නොහැකි ප්‍රේමණීය බැඳීම හේතුවෙනි. නමුත් එහි අනෙක් අන්තය එසේ නොවන කල්හි මේ බලා සිටීමම මිරිඟුවක් වනබව දැන් දැන් තේරුම් ගත යුතුව ඇත.

"පුතා මේ තීරණය ගත්තේ හොඳට හිතලා බලලා නේද?"

කළුතර යන්නට පෙර දවසේ සරෝජ් හිරිපිටියට යාබදව මහගෙදර ආලින්දයේ අසුනකට බර වූ තාත්තා ඇසුවේ මේ වන විටත් ඔහු සරෝජ් සහ නිවේතා සම්බන්ධ සියලුම කරුණු කාරණා හොඳින් දැන උන් හෙයිනි. කෙතරම් දේශපාලන ජීවිතයක් ගත කළ ද රට තොටෙහි සහ දෙස් විදෙස් වල දැන හැඳුනුම්කම් ඇති පුද්ගලයෙකු වුවද හිරිපිටිය හිටපු ඇමතිතුමා මේ අවස්ථාවේදී හැසිරුනේ ඇත්තෙන්ම ආදරණීය පියකු ලෙසිනි. වෙනත් දේශපාලන පවුල්වල දරුවන් සම්බන්ධයෙන් පියවරුන් සිය බලපෑම මොනවට ඉදිරිපත් කරද්දී ඔහු හැසිරුනේ දරුවන්ගේ ජීවිතය ඔවුන්ගේ තීරණ මත සැහැල්ලුවෙන් සහ නිදහසේ ගත කළ යුතු යැයි යන තීරණය මතය.සරෝජ් සහ සුලක්ඛනා සිය දෙමවුපියන්ගේ අභිමානය සහ ගෞරවය රැක ගනිමින් ජීවිතය ගත කළේ ඒ ආදරය සහ නිදහස ඔවුන් හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබුණු හෙයිනි.

සරෝජ් හිරිපිටිය යාබද අසුනේ හිඳ ගත් පියා දෙස හිස මදක් හරවා බලා උන්නේය. ආලින්දයේ අඳුර මඳකට තුනී කරලමින් විදුලි පහන් දැල්වෙද්දි ආලෝකය වැටුනු තාත්තාගේ මුහුණ සරෝජ්ගේ හිතට එක් කළේ දැඩි ආදරණීය හැඟීමකි . තමා හට වයස හතළිහක් පමණ වන විට ද තාත්තා තමන් හට මෙතරම් ආදරයකින් කරුණාවකින් පෞද්ගලික කාරණා කතා කිරීම පවා සරෝජ්ගේ හිත සංවේදී කළේය .

"ඔව් තාත්තා. මම මේ තීරණය එන්න කලින් හුඟාක් කල්පනා කළා. තාත්තත් දන්නවනේ වෙච්ච හැමදේම.ඉතින් තවදුරටත් මේ කාරණය සම්බන්ධයෙන් බලාඉන්න තෙරුමකට නැති දෙයක් බව මට තේරෙනවා. තාත්තා මාව විශ්වාස කරන්න .මොනදේ වුණත් මගෙන් ඒ ගෑනුළමයාට අසාධාරණයක් වෙන්නේ නැහැ."

සරෝජ් හිරිපිටියගේ හදවතින්ම නැගුණු ඒ ප්‍රකාශයෙන් සියලු කුකුස් අතහැරී සිත නිවා ගත් තාත්තා අසුනෙන් නැගී සිට ගෙතුළට වැදුනේ ඔහුගේ හිස මත සිය අතක් තබා සෙමින් පිරිමැදීමක්ද තබමිනි .

 කළුතර මතුගම පාරේ නාගොඩ පසුකොට තරමක් දුර පැමිණි පසු වෙල් යායක් මැද්දෙන් දකුණට හැරී ගිය මාවතේ කෙළවරක ඔවුන් අපේක්ෂිත නිවස විය. උදෑසන පටන් හිත තදින් දැවූ අපහසුතාවය සරෝජ් හිරිපිටිය නොසන්සුන් කරවමින් තිබුණි. අවසාන මොහොතේදී පවා පය ආපස්සට ඇදෙන්නට ගත් වෙහෙස ඔහු වලකා ගත්තේ දැඩි අසීරුවෙනි. ජීවිතයේ මෙතුවක් කල් බලා උන් ඒ සිහිනය කිසිදා සැබෑ නොවන බව සරෝජ් වටහා ගත්තේය. කල් ඇතිව ඒ පාර්ශ්වයෙන් එවා තිබූ විවාහාපේක්ෂිත යුවතියගේ සේයාරුව යළිත් වරක් සරෝජ් බැලුවේ ඇය ගැන දළ අදහසක් ලබාගන්නට මෙනි. පෙනුමෙන් කියන්නට කිසිදු ගැටලුවක් නැති ඇය ඇත්තෙන්ම හොඳ පෞරුෂයක් දරන බවක් පෙනෙන්නට තිබුණි.

මේ ගමන යන බව නිලීකාට හෝ දැනුම් නොදෙන්නට ඔහු වග බලා ගත්තේ මෙම ගත් ස්ථීර තීරණය වචනයකින් හෝ එකෙල මෙකෙල නොවිය යුතු බව තීරණය කළ හෙයිනි. නිලීකා සමගින් ඒ සම්බන්ධයෙන් කතා කිරීම පවා ඇතැම් විට සිය පියවර යළිත් පටන්ගත් තැනටම ඇද වැටීමක් බව ඔහු දැන උන්නේය.කෙසේවතුදු නිවේතාගේ තීරණය කිසිසේත්ම වෙනසක් නොවන කළ තමා තව දුරටත් මේ තීරණයේ සිටීම පලක් නොවන බව ඔහු වටහාගෙන උන්නේය.

"එන්න එන්න හිරිපිටිය මහත්තයා. ආ මේ අපේ මන්ත්‍රීතුමා එන්න.එන්න"

ගෙහිමියා වූ ජයම්පති මානවඩු දෑත් එක්කරමින්ම ආචාර කරමින් ඔවුන් පිළිගත්තේ දැඩි ප්‍රීතියෙනි. හිරිපිටිය පවුලේ ආගමනයම ඔවුන්හට මහත් ගෞරවයක් බව ඒ හැම ඉරියව්වකම එදා දකින්නට විය.සරෝජ් ගේ මුහුණේ ආයාසයෙන් නගාගත් සිනහවක් විය. දේවක දිසානායක සිය අතකින් ඔහු සුරතට සෙමින් තට්ටු කලේ සන්සුන් වන්නයැයි නොකියා කියමිනි. සරෝජ් සුසුමක් හෙළා විසිත්ත කාමරයේ වූ පැරණි සේයාරූ දෙස නෙතු යොමු කළේය.

"නෝනා , දුවට එන්න කිව්වනම්..."

මඳවේලාවක ආගිය කතාබහට පසු ජයම්පති මානවඩු සිය බිරිඳ වෙතට හැරෙමින් පැවසුවේ සරෝජ්ගේ අවධානයද එදෙසට ඇදගනිමිනි. ඇය එබසට හිස වනා ගෙතුළට මොහොතකින් නැගීගියාය.

"එන්න එන්න දුව. මේ මාමලා අඳුනගන්න"

ජයම්පති මානවඩු සිය ඇඹෙණිය සමගින් එන දියණියට කතාකළේද සරෝජ් හිස ඔසවා එදෙස බැලුවේද එකම මොහොතකය. සේයාරූ වලින් පසුගිය වකවානුවේ ඇසට හුරුව තිබූ ඇය ඔහු ඉදිරිපසට ඇවිද එමින් සිටියාය.

          

සුභාෂිණී මානවඩු සරෝජ් හිරිපිටිය හමුවූයේ එලෙසිනි. ආචාර සමාචාරයන් ගෙන් අනතුරුව සරෝජ් ඉදිරිපස අසුනක හිඳවනු ලැබූ සුභාෂිණී එක එල්ලේ ඔහු දෙස නොබලාම උන්නාය. සරෝජ් වරක් දෙකක් ඇය දෙස බැලූවද ඔහු සිත පැවතුණේ රික්තකයකය.

"කෙල්ල නරකම නෑ නේද මචං?"

දේවක සරෝජ්ගේ කණට කෙඳිරුවේ මඳ සිනහවක්ද සමගිනි. සරෝජ් සිනා රහිත වතින් ඉවතටම හැරී සිටියේය. ඔහු තුළ පැවතියේ කියා තේරුම්කළ නොහැකි අපහසුදායක හැඟීමකි.

"එහෙනම් ඉතින් දෙන්නා අඳුනගන්න එකයි ඇත්තේ කතාබහ කරලා.නේද හිරිපිටිය මහත්තයා. අපි ඉතින් සාම්ප්‍රදායික වැඩිහිටියො නෙවෙයිනෙ."

ජයම්පති මානවඩු පැවසුවේ සිය දියණිය දෙස හැරී බලමිනි. ඇය ඒ මොහොතේ හිස නගා සරෝජ් දෙස බැලුවාය. අනිච්ඡානුගවම අසුනෙන් නැගී සිටි සරෝජ් නිහඬවම මිදුළට බැස්සේය. සුභාෂිණි ඔහු පසුපසින් ඇවිද ආවාය.

තමා පසුපසින් ඇවිද එන තරුණිය දෙස සරෝජ් මඳක් නැවතී හැරී බැලුවේය. ඇය මඳ සිනහවක් පිරි වතින් ඔහු දෙස බලා ඉවත බැලුවාය.

"සුභාෂිණී, නේද නම ?"

සරෝජ් හඬ අවදිකළේ තවත් මොහොතක් ගතව ගිය පසුය. 

ඇය හිස වනා පිළිතුරු දුන්නාය.

"මොකුත් කතාකරන්න එහෙම බැරි අමාරුවක් තියද? එහෙනම් දැන්ම කියන්න. මට ගොලු ගෑනුකෙනෙක් බැඳගන්න කැමැත්තක් නෑ කොහොමත්"

සරෝජ් අනායාසයෙන් සැහැල්ලු චරිතයට එක්වෙමින් පැවතුණි. මොහොතකට පසු ඔහු කියූ දේ වැටහී ඇයට සිනහවක් පිපිරී ගියේය.

" මේ ඔක්කොම වතුපිටි ඔයාට දෑවැද්දට හම්බවෙන ඒවා වෙන්න ඇතිනේ?"

සරෝජ් බැරෑරුම් ස්වරයකින් හාත්පස බලමින් ඇසුවේය. සුභාෂිණී ඒ මොහොත වනවිට මේ පුද්ගලයාගේ ඇවතුම් පැවතුම් සහ සරල බව වටහාගෙන සිටියාය. 

"නෑ , මෙව්වා අපේ නංගිටයි මටයි සමසේ බෙදෙන ඒවා. හිරිපිටිය වලව්වේ අයට ඔච්චර ඉඩකඩම් අහේනියක් තියනව කියල මම දැනගෙන උන්නෙ නෑනෙ"

සුභාෂිණී ද සිය සුපුරුදු චරිතයට එක්වෙමින් උන්නාය. සරෝජ් මොහොතක් ඇය දෙස බලාඋන්නේය. ඇතැම් විට මේ තේරීම තමාගේ සිතට යම් ශාන්තියක් එක්කර නොදේවිද ?

" අර මොකක්ද සද්දයක් ඇහෙන්නෙ?"

සරෝජ් ඇසුවේ පරිසරයේ නිහඬබව බිඳෙන ස්වරයකට සවන් යොමමිනි.

"ආ ඒ දොළේ සද්දෙ" 

සුභාෂිණී මඳක් දුරින් වූ පුවක් ගස් පේළියකට ඔබ්බෙන් වූ ප්‍රවේශයක් අතදිගු කොට පෙන්වූවාය.

"යන්න ඕනෙද එහෙට?"

ඇය ඔහුගෙන් අසනා විටද ඔහු එදෙසට ඇවිදයමින් තිබුණි.

"මේක නම් මට දෑවැද්දට ඉල්ලගන්නම ඕන"

සරෝජ් පැවසුවේ දොළ අබියසට එමිනි.

"දෑවැද්දක් ඉල්ලන්නෙ ඉස්සෙල්ල කැමතිද අකමැතිදවත් නොදැන?" 

සුභාෂිණී පුවක් ගසකට හේත්තුවෙමින් ඇසුවාය. 

සරෝජ් හිරිපිටිය ඇය අසලට පැමිණ ඇයගේ හිසට ඉහළින් පුවක්ගසට අතතබා ඇය දෙසට නැඹුරු විය.

"මං හිතන්නෙ මට ඔයාට අකමැතිවෙන්න හේතුවක් නෑ. සුභා මොකද කියන්නෙ?"

තවමත් හිතේ ප්‍රේමයක් හටනොගැනුණද ඇය ඇසුරේ ජීවත්වීම පහසුවනු ඇතැයි සරෝජ්ගේ යටිසිත පවසන්නට පටන්ගෙන තිබුණි.ප්‍රේමය...ඉතින් එය තම සිතට කවදා යළි ලඟාවනු ඇත්දැයි සිතන්නට අසීරුය. ඒ ගැන සිතත්ම සිතට ඇතුල් වන්නේ නිවේතා ගැන මතකයන්ය. ආයාසයෙන් හෝ ඒ මතකයන් යටපත් කිරීම සිතාමතාම කල යුතුමය.

"අපි අපි ගැන මොනවද දන්නෙ සරෝජ්?"

සුභාෂිණී ඇසුවේ දොළ අද්දර ගල්පවුරක් මත හිඳගනිමිනි. සරෝජ් ඇය දෙස විමසුම් බැල්මෙන් බලා උන්නේය. සුභාෂිණී හිස නගා ඔහු දෙස බැලුවේ කතාබහකට සූදානම් වෙමිනි.

"සම්පූර්ණ කතාටික අනාවරණය කරගන්න අද දවසෙ නම් වෙලාවක් මදිවෙයි. ඔයාට මං ගැන දැනගන්න ඕන දේවල් අහන්න. ඒ එක්කම ඔයා ගැනත් මට කියන්න"

සරෝජ් ඇයට තරමක් දුරින් හිඳ ගත්තේය. 

"ඔයා එන්න කලින් මම හිතාගෙන උන්නේ කෙලින්ම ඔයාට බැහැයි කියනවා කියන තීරණේ"

සුභාෂිණී සුසුමක් හෙලා ගලා යන දොළ පහරේ නොනවතින දියසුලි දෙස බලා උන්නාය.

"ඇයි ඒ . මං ගැන මොකුත් නරකක් ආරංචි වුණා ද?"

සරෝජ් හිරිපිටිය ඇසුවේ ඇයදෙස යොමුව ගත් තීක්ෂණ බැල්මෙනි.

"අනේ නැහැ. ඔයා ගැන අඩුමගානේ පත්තරවලවත් ටීවී ප්‍රෝග්‍රෑම් එකකවත් නරකක් මම අහලා නෑ.පලවෙනිම දේ මම පොලිටික්ස් වලට තියන අකමැත්ත. ඒ ජීවිතවල ප්‍රයිවසි එකක් නැතිබව මම අහලා තියනව.ඒක එකක්"

"එතකොට අනෙක?"

සරෝජ් මඳින් මඳ ඇයගේ කතාවට පැහැදෙමින් සිටියේය.

"අනෙක මම මේ මාස හයකට කලින් මගේ ලෝන්ග්ටර්ම් එෆයාර් එක බ්‍රේක් වුණ එකේ ශොක් එකෙන් ඉන්නෙ. ඉතින් මට අමාරුයි දැන්ම ආයෙ ජීවිතේ වෙනසක් ගැන හිතන්න"

සුභාෂිණී නොවලහා සියල්ල පවසමින් සිටියාය.සරෝජ් කල්පනා කරමින්ම නැගී සිටියේ ඇයට නැගීසිටින්නට අත දිගු කරමිනි.

"අපි යමු. ගෙදර අය හොයනවා ඇති දැන්"

සුභාෂිණී ඔහු දිගුකළ අතෙහි එල්ලී නැගී සිටියාය.

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි සුභා. මම මට අවුරුදු විසිහයේ ඉඳන් ගිය මාසෙ වෙනකල් එකම කෙනෙක් වෙනුවෙන් බලන් උන්න කෙනෙක්. ඉතින් බ්‍රේක් අප් එකක තියන වේදනාව මට අමුතුවෙන් කියන්න ඕනනෑ. නමුත් අපි කතාකරමු මේ දේවල් ගැන. ඉන් පස්සෙ තීරණයක් ගම්මු."

සරෝජ් හිරිපිටිය නිවස ආසන්නයට පැමිණ ඇයගේ අත සියතින් මුදාහරිමින් පැවසුවේය. එතුවක් තම අතින්ම් අල්ලාගෙන පැමිනි ඒ පිරිමි අත් ස්පර්ෂය තමාහට අමුත්තක් නොගෙනා අන්දම සුභාෂිණී කල්පනා කළාය.

"සුභා, තව එකක්.."

ගෙතුළට හැරී යන්නට සැරසුණු ඇයට සරෝජ් යළි අඬගැසුවේය.සුභාෂිණී ආපසු හැරී ආවේ විමතිය මුසු ඇසිනි.

"මට දැන් හතලිහක්. කතාබහ කරන්න ගන්න කාලය ටිකක් අඩුවෙන් සලකලා බලන්න වෙයි හොඳද?"

සිනහව ආයාසයෙන් වලකාගනිමින් සරෝජ් පැවසූ වදන් අසා සිනහව නවතගනු නොහැකිව ඇය යළිත් ගෙතුළට දිව ගියාය.

 "එද්දි නිකම් මස්කඩේට ගෙනියන හරකා වගේ ආව එකාගෙ මූණෙ තියන පෙම්පාට බලහල්ලකො"

දේවක දිසානායක සිය බිරිඳට පැවසුවේ සරෝජ්ගේ පැහැබර වූ මුහුන පෙන්වමිනි. ඇත්තෙන්ම මල්ලිගේ මුහුණේ සැබෑ වෙනසක් දකින්නට ඇත.සුලක්ඛනා ද මේ වෙනස දුටුවාය.

"අම්මෝ මේ අවුස්සගන්න එපා .අන්තිමට ඕකත් බෑ කියල දමල ගහල යයි."

සුලක්ඛනා පැවසුවේ දේවකගේ අත සෙමින් කොනිත්තාලමිනි.

"පිස්සුද සුලා, අර බලන්නකො මෑන්ගෙ මූණෙ එළිය. මං ශේප් එකේ අල්ලගන්නම්කො"

දේවක පැවසුවේ ඔවුන්ගේ මුහුණු දෙස ආයාසයෙන්ම හිතාමතාම නොබලා ඉන්නා සරෝජ් දෙස බලමිනි.

මානවඩු නිවසෙන් සමුගත් සියල්ලෝ යළි දේවක දිසානායකගේ නිවසට පැමිණියේ රෑබෝවූ හෙයිනි.

"මං පොඩ්ඩක් මල්ලිත් එක්ක එළියට ගිහින් එන්නම්"

දේවක මුවග පොපියන සිනහව මැද සුලක්ඛනාහට පැවසුවේ අම්මා සහ තාත්තා ඉදිරිපිට දිමය.දෙමස්සිනාවරුන්හට සිත්සේ කතබහ කරගන්නට ඉඩදී සෙසු අය නිහඬවූහ.

 

"හරි දැන් කියපන්. මොකක්ද උඹෙ තීරණේ?"

දේවක දිසානායක සුපුරුදු අවන්හලේ කෙළවර මේසය වෙන්කොට ගත්තේ කල්වේලා ඇතිව ඇමතුමකදීය. පෞද්ගලිකත්වය ආරාක්ෂාවන මේ අවන්හල ප්‍රභූ පෙළන්තියේ අය පමණක්ම පැමිණෙන එකක් විය.

"මන්දා ඉතින්.."

සරෝජ්ගේ මුහුණේ වූ හැඟීම් ප්‍රකාශනය කියවාගන්නට නොහැකි තරම් අතදරුවෙක් නොවූ දේවකට එබස සමගින් සිනහවක් ද මැවුණි.

"මන්දා නන්දා නෙවේ. උඹට කෙල්ලව හිතට ඇල්ලුවද? අම්මලා නම් උඩින්ම කැමතියි.කිසි ප්‍රශ්නයක් නැති පවුල්නෙ ඕවා."

දේවක පැවසුවේ සරෝජ් වෙත හැරෙමිනි. 

"කියන්න තරම් නම් වරදක් නෑ .ඒ උනාට කතාබහ කරල දැන අඳුනගන්න ඕනනෙ.බලමු ඉතින්"

සරෝජ්ගේ කතාවේ ඇදපැද තාලයෙන් එන එවදන්වල ඇත්තේ මේ සම්බන්ධව ඔහුගේ අකමැත්තක් නැතිබවම මිස අන්කිසිවක් නොවීය.

***************************************************************************************************************************  

යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

2 comments: