Tuesday, April 26, 2022

15. පහළොස් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ)

 



සරෝජ් හිරිපිටියගේ මතකය අතීතයට ඇදී ගියේ සුභාෂිණී මානවඩු සමගින් තමාගේ ජීවිතය එක්වීමත් සමඟ සිදුවූ වෙනස්කම් සියල්ල එකින් එක සිහිපත් කරවමිනි. නිවේතාගේ සටහන් අතරට සිය අතීත මතකයන් එකතු කරමින් චිත්‍රපටයක රූප රාමු ඇදී යන්නා සේ සිය මතකයන් එකිනෙක පෙළගැස්වීම නිරායාසයෙන් සිදු විය.

ගත වූ කාලය අවුරුදු ගණනින් ඈතට ගිය ද යම්යම් මතකයන් අද සේම හිතට සමීපය. නිවේතාගේ ඇතැම් සටහන් හා සමපාත වන තමාගේ ජීවිත මතකයන්හි විශේෂිත තැන් සරෝජ් හිරිපිටිය යළිත් සිහි කළේය.

                                                                 ***

සරෝජ් හිරිපිටිය සහ සුභාෂිණී මානවඩු අතර දැඩි අවබෝධයක් ගොඩනැඟුණේ කෙටි කලක් තුළදී ය. නිවේතා සම්බන්ධයෙන් තමා හට බොහෝ කරුණු වසන් කළ හෙයින් සිය ජීවිතයේ මෙම කාරණය සම්බන්ධව නිලීකාහට කරුණු හෙළිදරව් කිරීමට සරෝජ් හිරිපිටිය හිතාමතාම මග හැරියේය. සුභාෂිණී සහ සරෝජ් සිය අතීත ප්‍රවෘත්ති සියල්ල එකිනෙකා හමුවේ අනාවරණය කිරීම ඔවුන් අතර අවබෝධයට මනා පිටුවහලක් විය.

" මොකද සුභා දැන් අපි කරන්නේ"

කෙතරම් කාර්යබහුල දිවියක් මධ්‍යයේ වුවද සුභාෂිණී සමගින් සංවාදයෙහි යෙදීමට දවසේ වෙලාවක් වෙන්කර ගත් සරෝජ් එසේ ගතවී ගිය දිනක සිය තීරණය ඇයට ප්‍රකාශ කරමින් ඇසුවේය.

"අනේ මන්දා"

සුභාෂීණී පැවසුවේ මඳ සිනහවක් සිය ස්වරයේ රඳවාගෙනය.

"එහෙනම් මං වෙන අතක් බලාගන්නද?"

සරෝජ් ඇසුවේ සිනහව වලකා ගනිමින් මදක් තද ස්වරයෙනි 

"එපා එපා"

හිතටත් හොරෙන් ඇයගේ වදන් එක්වරම මුවින් පිට වී ගියේ සරෝජ්ව හඬනගා සිනහ ගස්වමිනි.

"කැමැත්තක් තියෙනවා ඒ උනාට බොරුවට ගණන් උස්සනවා නේද? සුභා, දැන් ඉතින් ගැටළුවක් නැහැනේ.අපි එක තීරණයකට එමු."

සරෝජ් හිරිපිටිය සිය ස්ථීර ස්වරයෙන් ඇසුවේ මේ කෙටි කාලය තුළදී ඇය යම්තාක් දුරට සිතටද සමීප වූ හෙයිනි.

ඉතින් ඉන් පසු දෙදෙනාගේ විවාහය සම්බන්ධව දෙපාර්ශ්වයේ වැඩිහිටියෝ තීරණ ගනු ලදුව දින නියම කර ගනු ලැබීය.

ඇතැම්විට අප ආදරය සොයා යන විට එය අප වෙතින් පලා යද්දී වෙනත් කොහේ හෝ ඉසව්වක සිට අපට හිමි ආදරය අප වෙත ළඟා වනු ඇත.

                                                               *** 


සරෝජ් හිරිපිටිය නිවේතාගේ ඊළඟ සටහන් පොත අතට ගත්තේ තම ජීවිතයේ අතීත ආවර්ජනය මොහොතකට නවතාලමිනි. මේ වකවානුවේ තමාගේ ජීවිතයේ සිදු වූ විවිධාකාර වෙනස්කම් සියල්ල සමහරක් විට සිදුවූයේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙනි. එහෙත් ඒ සියලුම සිදුවීම් නිවේතාට බලපෑවේ කෙසේදැයි යන්න සරෝජ් හිරිපිටිය දැන උන්නේ නැත. නිලීකා අමතා ඒ සියල්ල දැන ගැනීමට වත් ඔහු උනන්දු නොවූයේ දිගින් දිගටම නිවේතා පසුපස හඹා යෑම පළකට නොවන බව වටහා ගත් හෙයිනි.

එහෙත් ජීවිතයේ මුල්ම වතාවට අමතක කළ නොහැකි මට්ටමේ ප්‍රේමයක් හදවත රිදුම් දෙමින් පැවතුණු යුගය විටෙන් විට අඳුරු අහසක අකුණු සරයක් මෙන් පැමිණ නොගියේයැයි කියන්නට නොහැක. සුසුමක් හෙලා ඒ සියල්ලම අතීතයට පවරා දෙනු හැරෙන්නට පිරිමි ඇසකට කඳුළු අකැප යැයි සිතන ලෝකයට ඒ කඳුළු වසන් කරමින් ඔහු ජීවිතයට ඉඩ දී බලා උන්නේය.

බැල්කනියේ වූ සුවපහසු අසුනේ සරෝජ් හිරිපිටිය අසුන් ගත්තේ සැඳෑ අඳුර හෙමි හෙමින් ගලා එන ඒ තත්පරයේ දී ය. උපැස් යුවළ මදකට සකසමින් නිවේතා සිය සිතුවිලි සටහන් කළ ඊළඟ පොත ඔහු කියවන්නට පටන් ගත්තේය.

                                                                 *** 

(නිවේතාගේ සටහන් )

මානවී වැඩිවියට පත් වූයේ අවුරුදු එකොළහ අවසන් වෙන්නට මත්තෙනි. ඇය ළමා වියෙන් වැඩිහිටි වියට පත් වී යැයි මට කිසිවිටෙක සිතුණේ නැත. අම්මා කෙනෙකුට දියණියක් කිසිම දිනක වැඩිහිටි වියට පත්වීම සැහැල්ලුවක් නොවේ. නමුත් වාසනාවකට මෙන් මා මේ වන විට ජීවත්වන්නේ දියණියක් වැඩිවියට පත්වීමම ඛේදවාචකයක් වන පරිසරයකින් ඈතය. 

"ලංකාවේ හිටියා නම් මං කෙල්ල ගැන කොච්චර බයකින් ඉන්න ඕනද? උඹට පින් පිං සිද්ධ වෙන්න මේ වගේ දෙයක් උනාට පස්සේ කෙල්ලයි මායි දෙන්නම කොච්චර නිදහසේ ඉන්නවද?" 

ලංකාවේ බඳු සාම්ප්‍රදායික සිරිත් විරිත් කිසිවක් නැති තවත් එක් දිනයක්ව මානවීගේ කායික මානසික වෙනස්කම පිළිගන්නට මට එදා හැකි විය.මා වැඩිවියට පත් වූ දා අඩුම තරමේ ඒ සංසිද්ධිය ගැන මට වටහා දෙන්නට තබා පෞද්ගලික සනීපාරක්ෂාව ගැන වත් මා දැනුවත් කරන්නට කුඩම්මා සහය වූයේ නැත. සියල්ලම මා හට තේරුම් කොට දී මා හට අවැසි වූ සියලුම අවශ්‍යතාවයන් සපුරා දුන්නේද නිලීකාගේ අම්මා ය.

මගේ දියණියට මේ සියල්ල තේරුම් කර දෙන්නට අද මා පමණක් නොව නිලීකාද මා සමග සිටින්නීය. 

"මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ"

නිලීකාගේ මුහුණ වෙනදාට වඩා අඳුරකින් පිරී ඇති බව මට වැටහුනේ උදෑසන සිටමය. සාමාන්‍යයෙන් නිලීකා කිසිම විටෙක ජීවිතයේ බරක් පතළක් දරන්නට අකමැති චරිතයක් වූවාය.ඇයටම ගැලපෙන සැහැල්ලු සරල ජීවිතයකින් යුතු වූ ඇයගේ සැමියා , ප්‍රදීප් සමඟින් ඇය ගත කළේ ඉතාමත් සතුටුදායක දිවියකි.

මූලිකව ඇය හා ඇයගේ නිවසේ ගත කළ ද පසුකාලීනව ඇයගේ නිවසට ආසන්නව කුඩා නිවසක් ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නට මට හැකි විය. ඒ සඳහා අවැසි බොහෝ කාරණා සපයා දුන්නේ ද ප්‍රදීප් සහ නිලීකා විසිනි.මගේ ජීවිතයේ මා හට සහෝදරයෙක් සහෝදරියක් නැති අඩුව ඔවුන් වෙතින් පිරිමැසුණේය. ඉතින් ඇයගේ මුහුණේ වූ අඳුර සහ ගැටලුකාරී තත්ත්වය කුමක් දැයි මට සිතා ගන්නට නොහැකි විය.

"මොකද ප්‍රශ්නේ ?"

ඇය සමගින් මිදුලට බැස මිදුලේ කෙළවරක වූ සමර් හවුසියේ අසුන්වල ඉඳගනිමින් මා ඇසුඑව්මි.

"සරෝජ් අයියා බඳින්න යනවලු"

නිලීකාගේ ඒ වදන් සමඟින් මොහොතකට මගේ ලෝකය එකම තැනක නැවතුණු බවක් මට දැනුනි.ජීවිත කාලයේ පසුගිය වකවානුව තුළම මම උඩු සිතින් ප්‍රාර්ථනා කළේ ඒ කාරණාවම වුව ද මගේ යටි සිත කිසිසේත්ම එයට සූදානම් නොවී තිබුණු බව මම දනිමි. කිසිම දිනක සරෝජ් හිරිපිටිය සතු කර ගැනීමේ බලාපොරොත්තුවක් මා හට නොතිබුනද ඔහු මට සදහටම අහිමි වන බව දැනුනු ඒ මොහොතේ දී ඉතින් මම රික්තකයක අතරමංවීමි.

ඇසිපියන් ගසා ඇසට උනා එන කඳුළු වළකා වළකාගත් පසු ආයාසයෙන් මුවඟට සිනාවක් මවාගන්නට මම උත්සාහ කළෙමි.එහෙත් එය සිනාවකට වඩා මුව අග මාංශ පේශීන් දරුණු ලෙස වෙවිලුම් කෑමකට හසුවීමක් ලෙස පමණක් මට දැනුනි.

"උඹ කොහොමද දන්නෙ ?"

ගැඹුරු සුසුමක් හෙලා මම ඇය වෙතට හැරුනෙමි.

"අම්මා කෝල් කරා"

නිලීකා පැවසුවේ ඇයට යමක් අහිමි වූවා සේ දැඩි ශෝකයෙනි.

"උඹ ජීවිතයේ වටිනම දේ තමයි ඒ නැති කරගත්තේ නිවී. මට දුකයි ඒකයි.සරෝජ් අයියා වෙන කෙනෙක් බඳිනවා කියන එක මං කවදාවත් වැරැද්දක් විදියට දකින්නෙ නැහැ.අවුරුදු දහතුනකටත් වඩා එයා උඹ වෙනුවෙන් බලාගෙන උන්නා.අන්තිමේදී ඇලෙක්ස්ගෙ ප්‍රශ්නය එනකම්ම සරෝජ් අයියා තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. මට හරි දුකයි නිවී."

නිලීකා එක්වරම ඉකි ගසමින් හඬා වැටෙන්නට වූවාය.මගේ අතීතය මැනවින් දැන උන්නේ ඇයය.මා නොදන්නා තරමටම සරෝජ් අයියා මවෙත පිදූ ආදරය ඇය වටහා ගෙන සිටියාය.බොහෝවිට සරෝජ් අයියා ඔහුගෙන් සිතේ ඇති මා සම්බන්ධ සිතුවිලි පවසන්නට ඇත්තේ නිලීකා සමගිනි.

මම සුසුමක් හෙලා සන්සුන් වන්නට බොහෝ සේ වෙර දැරීමි. ඉතින් තවදුරටත් මා මගේ යථා ස්වරූපය සැඟවිය යුතුය.සරෝජ් හිරිපිටිය ජීවිතය වෙනත් යුවතියක් සමගින් බෙදාහදා ගැනීම මා හට වළකා ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.

"නිලී මේ අහන්න , සරෝජ් අයියට ඒ ජීවිතයේ අත් විඳින්නට ලැබෙන්නම ඕනෑ.එයා මේ දේවල් වලට මෙච්චර පරක්කු නොවී මුල් කාලෙම තමන්ගේ ජීවිතේ පිළිවෙලක් ගැන හිතුවා නම් මේ වෙනකොට එයාට දරුවොත් ඉන්නවා.මට හරි සතුටුයි දැන් හරි එයා එහෙම පිළිවෙලක් වෙන එක ගැන."

නිලීකා මා දෙස බලා උන්නේ මහ දවාලේ හොල්මනක් දුටුවා සේ විමතියෙනි.කිසිදු හිතක් පපුවක් නැති කිසි ලතෙත් බවක් නැති නරුම ගැහැනියකයයි ඇය මා ගැන සිතන්නට ඇත.

"ඔව් එක අතකට මටත් දැන් මෙහෙම හිතෙනවා.තමන්ගේ ජීවිතේ හොඳම කාලෙදිම කෙල්ලෙක් හොයාගෙන බැඳගන්න එයාට තිබුණා .උඹ මත්තේම නැහි නැහී ඉන්නෙ නැතුව.අදටත් උඹට ඒක ගැන දුකක් නැහැයි කියන්නේ උඹ කිසිම දවසක සරෝජ් අයියට ආදරේ කරල නැහැ."

මම ආයාසයෙන් සිනහසුනෙමි. ඇතුළාන්තය ලෝදිය හැලියක දැවෙමින් තිබියදී මතුපිටින් හිමගිරක සිහිල පෙන්වන්නට තරම් මම දක්ෂ නිළියක් වීමි.

"ආදරේ කියන්නේ අයිතිකරගැනීමටම නෙවෙයි නිලී"

මම නිලීකාගේ කෝපය මැඩපවත්වා ඇයගේ නොරිස්සුම පහකරවන්නට වෙර දැරූවෙමි.

"අනේ මේ නිවී, පොත්වල ඉන්න ප්‍රේමවන්තියෙක් නොවී හිටපන්.මට එන කේන්තියට මම උඹට මොනව කියයිද දන්නෑ..ඒ නිසා වඳින්නම් කටවහන් හිටපන් "

නිලීකා හුනස්නෙන් නැගිට ගත්තේ මැඩනොගත් කෝපයෙන් වියයුතුය.එහෙත් මම නිහඬවම උන්නෙමි. සරෝජ් ඔබ හිමි මට නොවන බව මම දැන උන්නෙමි. එහෙත් මගේ යටිසිතේ ඔබ මගෙම වී උන්නේ අද වනතෙක්ම ලොවට රහසිනි. කෙටියෙන්ම කිවහොත් ඔබද නොදැනය . ඉතින් මට අද සිට ඒ අයිතියද නොමැත.

මම නිවසෙන් පිටතට ඇවිද ආවේ මඳක් තනිවන්නට ඇවැසි හෙයිනි.මානවී ඇයගේ ආරක්ෂාව සලසා ගනිමින් සිය වගකීම් දරන්නට සමත්ව සිටින හෙයින් මේ ජීවිතය මට ඉතා පහසුය.

ඇවිද ආ මාවතේ කෙලවරක වූ උද්‍යානයට ඇතුළු ව කිසිවෙක් නොගැවසෙන්නාවූ තුරුසෙවනකට අනිච්ඡානුගවම ඇවිදගියෙමි. සවස්‍ යාමයේ පරිසරය සිහිල්වෙමින් පවතින මොහොතක මම ඇතුළාන්තයෙන් දැවී යමින් උන්නෙමි.

ජීවිතයේ සියලු අපේක්ෂාවෙන් සිඳුණ කල යමෙක්ගේ අභ්‍යන්තරය රික්තයක් වන බව මම දැන් දනිමි. අයිතිවාසිකම් නොපතා උන්නද සරෝජ් පිළිබඳ මතකය මෙතුවක් මා සිත පුරවා දමා තිබුණි.

 "නිවී ආ යූ ඕල් රයිට්? නිවී ඔයා හොඳින්ද ?" 

මා පසෙකින් උද්‍යාන බංකුවේ හිඳ ගනිමින් මා ඇමතුවේ ඇලෙක්ස්ය. ඔහු මා අහම්බෙන් දැක එතැනට පැමිණ තිබුණි. ඉතින් මා විසින් දරාගෙන සිටි ඒ සියල් වේදනාව උතුරා ගලා යන්නට විය. මම දෑතේ මුහුණ හොවාගෙන බොහෝ වේලාවක් හඬා වැටුනෙමි 

ඇලෙක්ස් නිසොල්මනේ මා හඬන දෙස බලා උන්නේ තුෂ්නිම්භූත මුහුණුවරකිනි .ඔහුට මේ කිසිදෙයක් නොතේරෙන බව මම දැන උන්නෙමි .

"Ok now you can tell me what happened ?

හරිද මොකද උනේ කියලා මට කියන්නකො"

ඇලෙක්ස් මා විමසුවේ තවත් මද වේලාවක් ගත වූ පසුවය. මම ඔහුට සැකෙවින් වර්තමාන තත්ත්වය පැවසුවෙමි.

"ඔයා ඉතින් එයාව අයිතිකර ගන්න බලාපොරොත්තුවක් තිබුන කෙනෙක් නෙමෙයිනේ නෙමෙයි නෙ නිවී. ඉතින් ඇයි දැන් එයා වෙන කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්න යනකොට ඔයා මෙහෙම අඬා වැටෙන්නේ"

ඇලෙක්ස් මා වෙතින් පැවසුවේ එබඳු තේරුමක් ඇති ප්‍රකාශයකි. මා පවත්නා මේ මානසික වියවුල් භාවය මටද තේරුම් ගන්නට නොහැක .

මට ඔබ මා සතු කර ගැනීමේ තෘෂ්ණාවක් තිබුණේ නැතැයි කියන්නට නොහැක .ලෝකයට කෙතෙක් මෙය වසන් කළ ද මගේ ඇතුළාන්තය බලාපොරොත්තුව තිබුණේම සරෝජ් හිරිපිටිය පමණකි.

"නෑ මට මේ ටික ටිකකට දුකක් හිතුණා මිසක ඇත්තටම සරෝජ් ඒ කරන්න යන දේ හරි.මම හිත හදාගන්න ඕන ඇලෙක්ස්"

මම අවසානයේ සුසුමක් හෙලා දුක තුනී කර ගනිමින් ඔහුට පැවසුවෙමි.

"ඔයාට පුලුවන්නම් ඔය විදියට හිත හදාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ .නමුත් නිවී ජීවිත කාලයක් ඔයා ඔය දේ හිතේ තියන් විඳව විඳව ඉන්නවනම් ඒක හරිම මෝඩ වැඩක් .දැන් හරි කමක් නැහැ සරෝජ්ට ඔයාගේ ඇත්ත කියන්න"

ඇලෙක්ස්ගේ අදහස් එබඳු විය. එහෙත් මාගේ තීරණය වෙනස් නොවන බව මම දැන උනිමි.යළි මට හැරීමක් නොමැත්තේමය


                                                                    ***

සරෝජ් හිරිපිටිය මේතාක් කියවූ පොත වසා දමා පහළ මාලයට ඇවිද ගියේ ආහාර ගැනීමටය. සිරිදාස විසින් සකස් කළ ආහාරය මේසය මතට පිළිගන්වා තිබුණි.

ජීවිතය මිනිසුන්ට දුක හා සතුට ගෙනැවිත් දෙන්නේ අනපේක්ෂිත අන්දමටය. බලාපොරොත්තු වන වේලාවන්හිදී ඒ බලාපොරොත්තු වන දුක හෝ සතුට වෙනුවට හාත්පසින්ම වෙනස් වූ සංවේදනයක් ලබාදෙන ජීවිතය විටෙක කෙතරම් සරදමක්දැයි සිතාගත නොහැක. කාලයක් තිස්සේ තමා මේ සිදුවූ සිද්ධි දාමයන්හි නොගැටෙන්නට දැරූ තැත තවමත් අසාර්ථකය.

"සර් ඔහොම කාල හරියනවද ? බලන්නකො මේ දවස් ටිකේම හරියට කෑමක් නැහැ නේ.ඔය තුවාල වේලෙන්නෙත් නැත්තේ ඇඟට පෝෂණයක් නොවැටෙන නිසානෙ"

උඩින් පල්ලෙන් මෙන් අත ගා දැමූ කෑම පිඟාන දෙස බලමින් සිරිදාස තුන්වෙනි දිනයටත් සරෝජ් හිරිපිටියට නෝක්කාඩු බස් පැවසුවේය. සිරිදාස තරම් තමාගේ පෞද්ගලික කටයුතු ගැන වදවන්නෙක් වෙන නැති තරම්ය.

"කෑම පිරියක් නෑ සිරිදාස . පහුවෙලා කිරි කෝපිඑකක් හදල දෙන්නකො."

සරෝජ් හිරිපිටිය සිය පියගැටපෙළ නගිමින් යළි බැල්කනිය වෙත ගමන් කළේ ය.

දිගු වේලාවක් පොතට සම වැදී උන් හෙයින් දෑස් වල වේදනාවක් ඇති වෙමින් පවතී. එයින් යළිදු කතාවක් නිවේතාගේ පොත කියවීමේ අදහස මොහොතකට පසෙකලූ ඔහු බැල්කනියේ දිගු සෝපාවේ වැතිර ගත්තේය. සිය අතීතයේ ඉන් පසු සිදු වූ මතක සටහන් යළි යළිත් ඔහුගේ මතකයේ නිරායාසයෙන්ම ඇදෙන්නට විය.

                                                                            *** 

යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

1 comment: