Sunday, March 26, 2023

20 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 20 කොටස

19 කොටසට මෙතනින් 19




පාරමී නිවෙසට පැමිණියේ ගතවූ දිනය ගැන උපරිම සතුටක් ඇතිවය.ආපිට කිසිවක්ම බලාපොරොත්තු නොවී කෙනෙක් වෙනුවෙන් කැපවීම කෙතරම් ප්‍රීතිදායක එකක්දැයි ඇය වටහා ගත්තේ අම්මාගේ ඇසුරෙනි.එහෙත් තමන්හට එය ප්‍රායෝගිකව අත් හදා බලන්නට රෝහල නිතරම අවස්ථාව සලසා දුන්නේය.නමුත් අද වෙනස්ම දිනයකි.ඒ රෝහලෙන් පරිබාහිරව තමා වෙනත් අයෙකු වෙනුවෙන් මෙසේ කාලය කැපකලා වන්නටම ඇත.

"ගෙදර ආවා"විශ්ව කෙටි පණිවුඩයක් එවා තිබුණි.පාරමී එයට සිනාමූණක් යැවුවාය.ජීවිතය ට සිනහව යනු කෙතරම් වටින මනෝභාවයක්ද? හැම කෙනෙක්ටම තවකෙකුගේ මුහුණේ සිනාවක් දකින්නට ඉතා කුඩා දෙයක් හෝ කල හැකිය.

                                                                        *** 

පාරමී ගතව යන සති අන්තය ගෙවා දැමුවේ ඉමහත් සැනසුමකිනි.සෙනසුරාදාව විශ්ව වෙනුවෙන් කැප කල ඇය ඉරිදා දවසේ මාලනී වෙනුවෙන් ආරාමයක් සොයා රහල් සමගින් දුරබැහැරක ගියාය.

ඇත්තෙන්ම ඒ යශෝධරා ආරාමය සිත නිවා සනසන පරිසරයක පැවතුණි.අම්මා සිටියානම් අම්මාද මේ ස්ථානය ගැන උපරිම පැහැදෙනු ඇත.ගමට සම්බන්ධව පැවතුණද එය ගමෙන් මඳක් ඈතට වන්නට පිහිටා තිබුණි.මෙහෙණින් වහන්සේලාගේ ආරක්ෂාව ගම් වැසියන් වෙතින් සහතිකවිය.

"මට රහල් පුතා මේ නෝනාගෙ අවශ්‍යතාවය කිව්වා.වයසට යනකොට අපි හැමෝම ජීවිතේ තනිවෙනවාට බයයි නෝනා.ඉතින් ඔය කියන මාලනීගේ හිතෙත් ඇත්තේ අන්න ඒ වගේ බයක්.අපි එයාව මෙහෙට බාරගන්න සූදානම්.එයා මෙහේ වත්පිළිවෙත් පුරාගෙන කාලයක් උන්නාවෙ.ඉතිරිය කාලයට බාරදෙමු." ආරමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ පාරමීහට පැවසුවේ බෝමලුවට ඇවිද යන අතරමගය.

"මම මාලනී ඇන්ටිව බලාගන්න කොච්චර කැමතිවුණත් එයාගෙ මනස දැන් වෙනස්කරන්න බෑ මෑණියනේ.අම්මා නැතිවීම එයාගේ අභ්‍යන්තරයට තදින්ම බලපාල.ඉතින් මම බලෙන් එයාව මා ළඟ තියාගන්න එක සුදුසු නෑ කියල දැනුණ නිසයි මම මේ රහල් එක්ක මේ ගමන ආවේ."පාරමී එකත්පස්ව පැවසුවාය.

"ඒකෙ වරදක් නෑ නෝනා.එහෙනම් මේ පෝයදවසෙම ඒ ඇත්තිව එක්කරගෙන එන්නකො.මම භාවනා කුටියක් එයාට හරිගස්සවලා තියන්නම්."නායක මෑණියෝ මඳසිනහවකින් යුතු ව පැවසුවාය.පාරමී ඇයට වැඳ සමුගෙන ආවේ සිත සැනසුමෙනි.

                                                                  *** 

"මාලනී ඇන්ටි අපි මේ සතියෙ මැද ගිහින් ඔයාට ඕන සුදු ඇඳුම් ටික ගම්මු හොඳේ.ඇත්තෙන්ම එතන හරිම නිස්කාංසුවේ ඉන්න පුළුවන් තැනක්.මටත් ආස හිතුනා."පාරමී රාත්‍රී ආහාර ගන්නා අතර මාලනීහට පැවසුවාය.

"චූටි මැණිකෙ එතකොට රත්තරනේ තනියම කොහොමද ...?" මාලනි ගේ හඬ ඉකියකට ආසන්න විය.

"මට හොස්පිට්ල් ක්වාටර්ස් එකේ ඉන්න පුළුවන්නෙ මාලනී ඇන්ටි.එහෙ කිසිම ප්‍රශ්නයක් නෑනෙ.අපි මේ ගේ ගැන පස්සෙ මොකක් හෝ පිළිවෙළක් කරමුකො."පාරමී පැවසුවාය.

ඉදින් ජීවිතයට රිසිසේ ගලායන්නට ඉඩ දිය යුත්තේය.

ජීවිතයේ හුදෙකලාව යනු සමහරක් විට අපගේම තෝරා ගැනීමකි. ඇතැම්විට දෛවය බලෙන්ම අපට හුදෙකලාව ඉරණමක් කොට ලබා දෙයි. 

ඉදින් ඒ කෙසේ වුව ලැබෙන්නා වූ දෙය බාර ගැනීම හෝ එයට විරුද්ධව කැරලි ගැසීම තමාගේම කැමැත්තයි.

මාලනී ආරාමය වෙත ඇරලවා දැහැමි සමගින් ආපසු එන ගමනේදී පාරමී මදකට නැවතුනේ අතරමඟ වූ තුරු සෙවණක ය.

"මහන්සිද ඩ්‍රයිව් කරලා" 

දැහැමි සිය මිතුරිය දෙස බලමින් විමසුවාය.

"ඩ්‍රයිව් කිරිල්ල නං අද ඊයේ දෙයක් නෙමෙයිනේ ...ඒත් හිතට මොකක්දෝ වෙහෙසක් දැනෙනවා.සමහරක් විට මේ දේවල් අපි ජීවිතයේ කවදාවත් බලාපොරොත්තු නොවූ දේවල් නිසා වෙන්න පුළුවන් .ඒ වුනාට මං මේ ජීවිතේට හැඩගැහෙන්න ඕනේ ."

පාරමී පැවසුවේ දැඩි කල්පනාවක යෙදෙමිනි.දැහැමි නිහඬව ඇයට සවන් දුන්නාය.

"දැන් කොහොමද විශ්ව අයියා."

දැහැමි කතාව වෙනත් අතකට හරවා ගන්නට යත්න දරමින් විමසුවාය.පාරමී ගේ මුහුණේ ඇඳී ගියේ සුන්දර සිනහවකි. දැහැමි ඒ සිනහව දෙස නලල රැලිකරගනිමින් බලාඋන්නාය.

"අපේ මෙයාගේ මූණ ගියපු හිනාව ..ඉස්කෝලේ කාලේවත් ඊට පස්සේවත් කොල්ලෙක් ගැන කතා කරාම ඔහොම හිනාවක් නම් මං දැකලම නෑ ."

දැහැමි පැවසුවේ සිනහානගමිනි.

"ඉතින් මේ කොල්ලෙක්‍ යැ..අවුරුදු හතලිහකට කිට්ටු මනුස්සයෙක්නෙ."

පාරමී ගණනකට නොගෙන පැවසුවාය.

"එක අතකට විශ්වට උදව් කරන්න ගිය එකෙන් මමත් මටම උදව්වක් කරගෙන කියල හිතෙනව බං.මොකද විශ්වගේ ආශ්‍රය කියන්නේ මට වෙලාවකට ලොකු රිලැක්ස් ෆීලින් එකක්. හොඳම යාලුවෙක්ගේ ආශ්‍රය එහෙම වෙලාවට වටිනවා."

පාරමී පැවසුවේ මඳසිනහවක් නගමිනි.

"ආ...ආ...එතකොට ඌ දැන් හොඳම යාළුවා.මම බොක්කෙ."

දැහැමි රැවුමකින් කෑගැසුවේඇත්තෙන්ම හිත යට සිනහවක් සඟවා ගනිමිනි .

"හරි හරි ඉරිසියාකාරි ...ඒ පිරිමි අයගෙන් හොඳ ම යාළුවා.එයාට ඒ උනාට උඹේ තැනට කිට්ටු කරන්නවත් බෑ..."

පාරමී දැහැමි ගේ උරහිසට පහරක් ගසමින් පැවසුවාය.

"මිනිස්සු ජීවිතේ තනිවෙන්න බයයි බං.මාත් කොච්චර කිව්වත් ඒකට බය ඇති.ඒක නිසා විශ්වගෙ ඇසුර මට ලොකු දෙයක් විදියට දැනෙනවා."

පාරමී පැවසුවාය.

දැහැමි කිසිවක්ම නොකියා ඇය දෙස බලාඋන්නේ එතනින් එහාට අසන්නට ප්‍රශ්නයක් ඇයහට නොමැති නිසාය.නමුත් සියල්ල වෙනස් වී සිය මිතුරියගේ ජීවිතය සතුටින් පිරේ නම් ඊට වඩා දෙයක් ඇය පතන්නේද නැත.

                                                                  *** 

නිල නිවසේ ගත කරන්නට වූ මුල් සතිය පාරමීට බෙහෙවින්ම නුහුරු වූයේ කාලයක් තිස්සේ අම්මා සහ මාලනී ගේ ඇසුරට ඇයි හුරුව උන් නිසාවෙනි.හැකිතාක් වේලාවක් රෝහල් පරිශ්‍රයේ ගතකොට ඉන්පසු නිල නිවසට ඒමට පාරමී හුරුව උන්නාය. ඉන්පසු බොහෝවිට ඉතා සරල කෙටි කෑමක් සාදා ගන්නා ඇය හුරුවූයේ පොතක් පතක් කියවීමට හෝ අන්තර්ජාලය ඔස්සේ විදෙස් රටවල තොරතුරු පරිශීලනයට ය .

සති අන්තය බෙහෙවින්ම නීරස කටුක එකක් වන්නේ මෙන්න මේ හේතුවෙනි .රෝහලේ දැඩි කාර්යබහුල භාවයෙන් මිදෙන ජීවිතය විටෙක ඉතා ඒකාකාරී වෙයි.

ගුඩ් මෝනිං මැඩම්...තාම නිදිද ...

ජංගමයේ මුහුණතෙහි විශ්ව ගේ නමින් කෙටි පණිවිඩය සටහන් වෙද්දී පාරමී උන්නේ උදෑසන ආහාරය ගන්නට සූදානම් වෙමිනි.

මොන පිස්සුද මම කවදත් උදේ 6:00 ට කලින් ඇහැරෙනවා. දැන් මේ කෑම කන ගමන්..පාරමී සිනහසෙමින් පැවසුවාය.

මොනවද කන්නේ.. 

විශ්වටත් ඕනෑනැති දෙයක් නැත.පාරමී සිය ආහාරයේ සේයාරුවක් ගෙන ඔහුට යැව්වාය. 

"අපෝ මොනවද පාරෝ පලතුරුයි ඕට්ස්‍ යි...කිරියි...මොනවද ඔය කන හැටි...උදෙට අලි බත් පිඟානක් ගිලින්න එපැයි ඔය වයසට."

විශ්ව ඇමතුමට සම්බන්ධ වෙමින් පැවසීය.

"මේ වයසට..."පාරමී මහ හඬින් හිනැහුණාය .

"මේ වයසට කීවේ මම වයසක මනුස්සයෙක් කියල නේද ...ඔව් ඔව් වයසට යනකොට ඇඟ තියෙන්නෙ ඕන සැහැල්ලුවෙන්.ඒ නිසා අඩුවෙන් කනව"

පාරමී හිනැහෙමින්ම කීවාය.

"මොකද අද ප්ලෑන...i mean weekend plan?"

විශ්ව අසන්නේ පුරුද්දට මෙන් ය.මාලනී ආරාමයට ගියදා පටන් ගතව ගිය සති තුනටම සති අන්තයට ඇයට කුමක් හෝ වැඩක් යෙදෙන්නට තිබුණි.එහෙත් මේ සති අන්තය කරන්නට කිසිවක්ම නැතුව ගෙවී යයි.

"No plan ..."පාරමී පැවසුවාය.

"එහෙනම් යංද ට්‍රිප් එකක්...අද ගිහින් හෙට එන්න..."

විශ්ව ඇසුවේය.පාරමී මොහොතක් කල්පනා කලේ ඒ ඇරයුම ගැනය.කෙතෙක් විදෙස් ගතව උන්නද සිය අභ්‍යන්තරයේ ඇත්තේ ශ්‍රීලාංකික ක්‍රමයට හිතන සිතයි.

"මොකෝ එකපාරටම තුශ්නිම්භූතවුනෙ. "

විශ්ව ඇසුවේ සිනාවෙමිනි.

"නෑ මොකුත් නෑ ඉතින් ...කොහෙද යන්නෙ?"

පාරමී චකිතය යටපත් කරමින් ම පැවසුවාය.

"අනුරාධපුරේ ..."විශ්ව ගත්කටටම පැවසීය.පාරමී ටද අනුරාධපුර ගිය කාලයක් මතකයේ නැත.ඇත්තෙන්ම කොහේ හෝ යන්නට සිත බලකරන මොහොතක විශ්වගේ ඒ යෝජනාවත් වරදක්ම නැත.

"හරි ...කීයටද එහෙනම් පිටත් වෙන්නෙ..."පාරමී ඇසුවාය.

"ඉන්න මම හොටෙල් රූම්ස් දෙකක් බුක් කරන්න ඕනෙ ඉස්සෙල්ලම.ඉන් පස්සෙ පැයකින් මම ඔතන.දැන් හතයි..අටට යං..."විශ්ව පැවසුවේ පාරමීගේ හිත තුල තවත් චකිතය ගොඩගැසිය නොයුතු හෙයිනි.කෙසේ වුව ඇය සම්බන්ධයෙන් තමා තුල පවත්නේ ගෞරවය මුසු ළෙන්ගතුකමක් බව විශ්ව කිසිවිට අමතක කලේ නැත.

විශ්ව ගේ එවදන් සමගින් පාරමී ගේ හිතේ වූ අන්තිම චකිතයද නැතිව ගියෙය.ඇය ඉක්මනින් කෑම බඳුන් අස්කරදමා කාමරය වෙතට දිව ගියේ ඇඳුම් බෑගය සකසාගන්නටය.

                                                                        *** 

විශ්ව සිය රථයේ සිට මොහොතක් බලාඋන්නේ පිටේ එල්ලාගත් බෑගයද රැගෙන රෝහල් මාවත දිගේ දුවමින් මෙන් එන පාරමී දෙසය. 

ඇයට කුමක් හෝ පැවසූ ගේට්ටුවේ උන් ආරක්ෂක නිලධාරියාට සිනාවී පිලිතුරු දුන් පාරමී රිය පිටුපස දොර හැර බෑගය පිටුපස අසුනට දැම්මාය.ඉන් පසු වහා ඉදිරිපස අසුනට ගොඩවූවාය.

විනාඩි දහයක් පරක්කුයි . මම මෙතනට එන්න කලින් කෝල් කලානෙ.

විශ්ව මඳ රැවුමකින් යුතුව පැවසීය.

එන්න යද්දිම වෝඩ් එකෙන් කෝල් එකක් ආවානෙ.ඒකට උත්තර දෙන්න ගිහින් තමයි ලේට් උනෙ.

පාරමී හිනැහෙමින් පැවසුවාය .

විනාඩි දහයත් දුරගමනකදි වටිනවා.දවල් වෙන්න වෙන්න වාහන පාරෙ වැඩියිනෙ.ඒකයි.

විශ්ව රිය පදවන අතරේ පැවසීය.

මම සෑහෙන්න කලකින් අනුරාධපුරේ ගිහින් නෑ.හරියටම කිව්වොත් අවුරුදු දහයකින් විතර.

පාරමී සිය අව්කන්නාඩිය සකසමින් පැවසුවාය.

අපරාදෙ දන්නවනම් කලින් එක්ක යන්නෙ .අර ආත්තම්මාලා වන්දනාවෙ එක්ක ගියාම වගෙ මට පිනක් අත්වෙනවනෙ.

විශ්ව පැවසුවේය.පාරමී ඔහුට පහරක් ගසන්නට මෙන් අත ඔසවා යළි පහලට දැම්මාය.

මේ නෝනා එකක් ඔය වචනෙන් වචනෙට ගහන්න තියාගන්න නම් එපා හරිද..මට අනුරාධපුරයට යනකොට මගෙ වම් අත තැලිල තියෙයි නැත්නම්.

විශ්ව පැවසුවේ සිනහාසෙමිනි.

එතැන් පටන් රිය තුල සිනහවම උතුරා යමින් පැවතිණි.වාට්ටුවේ ඇතැම් රෝගීන්ගේ කටයුතු පවසමින් පාරමී සිය අත්දැකීම් පවසන විට විශ්ව සිනහව මැඩගත්තේ ඉතාම අසීරුවෙනි.

අර සෙකියුරිටි මොකක්ද එනකොට කුටු කුටු ගගා කිව්වෙ...

විශ්ව ඇසුවේ එක්වනම මතක් වු හෙයිනි.පාරමී ගේ සිනහව පුපුරා ගියේ එය සිහිවීමෙනි.

"හයියෝ ඒ මනුස්සයා කියනවා තව ටිකෙන් වෝඩ් එකෙන් පැනලා යන කෙල්ලෙක් කියල අල්ලගන්නයි හැදුවෙ කියල.මට හිනාවේ බෑ අප්පා."

විශ්ව පාරමීගේ සිනහවට එකතුවූයේ ඒ සැහැල්ලුව තමන්ටද බෝවූවා සේය.

බඩගිනි ද පාරෝ...මොනා හරි බීලා යමු නේද ? 

විශ්ව ඇසුවේ පාරමී වරක් දෙකක් ඈනුම් යවනු දුටු හෙයිනි.ඇය නිදිමතේ මෙන් සිනහවක් පෑ විට විශ්වට සිය යෝජනාව කෙතෙක් උචිතදැයි වැටහුණි.

ඩ්‍රයිව් කරනකොට නිදිමත නොආවට ඔහේ වාඩිවෙලා යද්දි නම් මට මාරම විදියට නිදිමත වෙනව විශ්ව.

පාරමී ලැජාවෙන් මෙන් පැවසුවේ විශ්ව ඇයගේ ඈනුම් දෙස බලා සිනහාවෙනු දුටුවිටය.

අතරමග අවන්හලකින් කෙටිකෑම කිහිපයක් ද උණුසුම් තේ බඳුන් දෙකක්ද සප්පායම් වී යළි ඔවුන් එන්නට පෙර විශ්ව ඇය වෙත පැමිණියේ වෙනත් අවශ්‍යතාවයන් ඇත්දැයි අසමිනි.

තව සැහෙන්න දුර යන්න තියනව.මට කා එක සෝදන්න බෑ...ඒ නිසා අන්න තැන දුවල ගිහින් එන්න. 

පාරමී අතදිගු කොට ඔහුට පහරක් ගසා ඒ දෙසට ගියේ හිනැහෙමිනි.

              

සිනාවෙන් කතාවෙන් ගෙවී ගිය ගමන් සැරිය අනුරාධපුරයට ළඟා වන විට දිවා අහරට කාලය පැමිණ තිබුණි.

"අපි හොටෙල් එකට ගිහින් කාලා වොශ් දාලා පොඩ්ඩක් රෙස්ට් කරමු.ඉන් පස්සෙ හවස් වෙලා යං ඇවිදින්න.රුවන්වැලි සෑය ළඟ ලස්සන රෑ ඉන්නකොට.ඉඳල තියද පාරෝ ඒ වෙලාවට ?"

විශ්ව ඇසුවේ වාහනයෙන් බසින්නට පෙර සිය අසුනේ හිඳගෙනම පාරමී දෙසට හැරී බලාය.

"නෑ විශ්ව ...ඇත්තෙන්ම මම අනුරාධපුර ආවේ එකපාරක් ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවකට ..අනික් පාර අම්මයි මාලනි ඇන්ටියි එක්ක..ඒ දෙපාරම දුවන ගමන් බලපු අනුරාධපුරයක් තමා මට මතක තියෙන්නෙ."

පාරමී පැවසුවාය.

"එහෙනම් ඔක්කොටම හරියන්න අදයි හෙටයි අපි ඇවිදිමුකො.අපි ලන්ච් අරන්ම යං.ඔයා රූම් එකට ගිහින් මට කෝල් කරන්න.මොකුත් අඩුපාඩු එහෙම තියද බලල."

විශ්ව පැවසුවේ සිය ගමන්මල්ල කරට ගනිමිනි.

දිවා අහර ගත් දෙදෙනා සිය කාමර වෙත කාමර සහායකයන් සමග පිවිසුණහ.විශ්වට ලැබුණේ පාරමීගේ කාමරයට මුහුණ ලා තිබූ කාමරයකි.

"ඔන්න මං ඉන්නෙ ඇස් ඉස්සරහම.බයවෙන්න දෙයක් නෑ ඒනිසා."

විශ්ව පැවසුවේ පාරමී සිය කාමරයට යන්නට ඔහුගෙන් සමුගන්නා විටය.

පාරමී සිය ගමන් විඩාව යන්නට නාන කාමරයට එසැනින් වැදී හොඳින් නා ගත්තාය.කෙතරම් සැප පහසුකම් ඇති වාහනයක ආවද ගතට දැනෙන විඩාව ස්නානයකින් මිස ඉවත හල නොහේ.

තුවායද හිස දවටාගෙන කාමරයට පැමිණි පාරමී ඇඳට වැටුණෙ කෙටි නින්දක සුවය ලබමිනි.

සිහින් හඬකින් ජංගමය නද නගන විට පාරමී ඇස් හැර බැලුවේ නිදිමත පහව නොගිය ඇසිනි.

"හෙල්ලෝ..."විශ්ව එහා පසින් අමතන බව දැන පාරමී පිළිතුරු දුන්නාය.

"තාම නිදිද පාරෝ.හතරයි වෙලාව.අපි යමුනේද .මූණ සෝදගෙන එහෙනම් සූදානම් වෙන්න." විශ්ව ගේ දයාබර ස්වරය මොහොතකට පාරමී ගේ සිත එකතැනක නතරකලේය.

ලහිලහියේ නානකාමරයට වැදුණ ඇය ඉක්මනින් ඇඟසෝදා සුදට හුරු ඇඳුමකට මාරුවූයේ යායුතු ස්ථාන වලට ගැලපෙන අන්දමටය.කාමරය වසා කොරිඩෝරයට පැමිණ විශ්ව ගේ කාමරයේ දොරට සිහින් තට්ටුවක් දැමූ පාරමී මොහොතක් බලා උන්නේ ඔහු එනතුරුය.

සුදු පැහැ වැලමිටට අත නැවූ ලිනන් කමිසයක්ද අලුපැහැ කලිසමකින්ද සැරසී කාමරයෙන් පිටට එන විශ්ව හැබෑ කඩවසම් පිරිමියෙකි.පාරමී මොහොතක් ඔහු දෙසම ඇස් දල්වා බලාඋන්නාය.

"මොකෝ.."විශ්ව දොර වසා ඇය දෙසට හැරෙමින්ම ඇසුවේය.

"සුපර් ලුකින්.."පාරමී මහපටැඟිල්ල සහ දබරැගිල්ල එකට එක්කරමින් පැවසුවාය.

"අනේ පලයන් කෙල්ලෙ යන්න."විශ්ව සෙමින් හිස මුදුනට අතින් අනිමින් සිනහාසුනේ පාරමී ඉස්සරහට තල්ලුකරමිනි.

විශ්ව රිය පණගන්වාගෙන පාරමී ආසන පටිය පළඳින තුරු මොහොතක් ඇය දෙස බලාඋන්නේය.ඇය සැබවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය ඇස්කඩාගෙන යන සුන්දරත්වයක් නම් නොවේ.එහෙත් පාරමී රත්මල්ගොඩගේ ඇත්තේ සිත නිවන සුලු පෙනුමකි. ඇය අනවශ්‍ය තරමටම චාම් නැත.නමුත් ආටෝපයන්ගෙන් ද අඩුය.අඳින පළඳින අන්දම ඇයටම ආවේණිකය.එහෙයින්ම ඇය විශේෂය.

"හරිද ..?"

විශ්ව පියවි ලොවට ආවේ ඒ හඬිනි.තමා ඇය දෙස බලාගෙන කල්පනා කල අන්දම ඇයට වැටහුණාවත්ද..? එහෙත් පාරමී ගේ කිසිදු වෙනසක්ද නැත.

"ඉස්සෙල්ලම යමු මහමෙවුනාවට.ඔයා ආසවෙයි ගස් අතරෙ ඇවිදින්න.ඉන් පස්සෙ හැන්දෑ වුනාම යමු රුවන්වැලි සෑය ගාවට."

විශ්ව රිය පදවන අතරේ පැවසීය.පාරමී හිස වනා එකඟ වූවාය.

තුරු ලතා සපිරි ඉසව්වක වාහන අංගනයේ රිය නවතා ලූ විශ්ව වාහනයෙන් බැස අවට නැරඹීය.පාරමී සිය ගත හරහා වැටුණ කුඩා පසුම්බිය ද ගෙන ඔහුවෙත ආවාය.

යං...විශ්ව ඇය හා එකමගට වැටුණේය.හරිත පැහැ සපිරි මාවත් තීරුව දෙපසම අව් රශ්මිය අඩුව ගත් හෙයින් බොහෝ සෙවනය.තැන තැන විසිරගත් සෙල්කුලුණු කොටස් අතීත රාජවංශයන්හි තතු පහදාදෙයි.

"මේ වෙලාවට ආවෙ..නැත්නම් දවල් මේ කොච්චර ගස් තිබ්බත් රස්නෙ දරන්න අමාරුයි පාරෝ.මේ වෙලාවට තමා හෙවන.හොඳ හුලඟකුත් එනවනෙ.."

විශ්ව ඇය සමග පවසමින් පෙරට අඩිය තැබුවේය.ඇත්තෙන්ම කාලාන්තරයකට පසු අනුරාධපුර ආ හෙයින් පාරමීට මේ හැමදෙයම අලුතින් විඳිය හැක.

මොහොතක් වේලා සමාධි බුදුපිළිමය අසල බිම හිඳගෙන උන් ඔවුන් යළි ගමන් ඇරඹුවේ වන්දනා නඩයන් එහි පැමිණෙමින් උන් නිසාය.

"සෙනඟ එනකොට තමා ඔක්කොම සන්සුන් කම් බිඳෙන්නෙ ඉතින් ..සමහරු මෙහෙම තැනක වත් හැසිරෙන්න දන්නෙ නෑනෙ.අර බලන්නකො කකා උන්න බිස්කට් පැකට් එකේ කොලේ එතනම දැම්මා..."

පාරමී දැඩි කෝපයෙන් මෙන් පැවසුවාය.

"මිනිස්සුන්ගෙ ආකල්ප ගතිපැවතුම් හදනවා කියන එක හරි අමාරු දෙයක් පාරෝ.කේන්ති අරගන්නවට වඩා මෙන්න මේක කරල අපි යං..."

විශ්ව ඒ දවටනය අහුලා පසෙක වූ කසල බඳුනට දමමින් ඇය වෙත හැරුණේය.

ඉදින් මේ නහර පුප්පාගෙන ආවේගයෙන් කෑගසමින් මුල්ම දවසක තමා දුටු ඒ පුද්ගලයාමද ? පාරමී ඔහු දෙස බලා උන්නේ විශ්මයෙනි.

"පාරෝ...ඔයා හිතන දේ මම දන්නවා....එදා මමයි අද මමයි හුඟක් වෙනස් ....ඒකට හේතුව ඔයා...."

විශ්ව ඇයගේ හිස මත අතක් තබමින් පැවසුවෙය.පාරමී ගේ දෑසට සිහින් කඳුළක් උනා ආවේ ඒ ලෙන්ගතුබවටමය.

"අපි යමු...එන්න..."

විශ්ව අතදිගු කලේ ඇය වෙතටය.පාරමී ඒ සුරතේ එල්ලුණේ කිසිවක්ම නොසිතාය.

විදෙස් ගතව ඉන්නා කාලයේදීත් ඕනෑ තරම් යහලු යෙහෙළියන් සමග අත්වැල් අල්ලාගෙන ගිය ගමන් තිබුණි.එකම කෑම පිඟාන බෙදාගෙන කෑ යුගයක් තිබිණ.එහෙයින් විශ්ව සම්බන්ධයෙන් පාරමීගේ සිතතුළ චකිතයක් ඇතිවූයේ නැති තරම්‍ ය.

"අපෝ මේ අතේ චූටි."

විශ්ව ඇයගේ අත අල්ලාගෙනම එය පිරික්සමින් පැවසීය.

"ඔව් ඉතින් ඕට්සුයි පලතුරුයි කාල ඔය ගානට හැදිලා තියනවා මදැයි."

එයටම ඌණ පූර්ණයක් එක්කලේ ඔහුමය.පාරමී හිනැහෙමින් කිසිවක් නොකියාම ගමන් කළාය.

සැන්දෑව උදාවී අහවරව ඉර බැස ගොසිනි. පාර අයිනේ වූ මල්සලකින් මල් සහ සෙසු කළමනා ගත් විශ්ව පාරමී සමගින් රුවන්වැලි සෑ මලුවට එනවිටද සඳ අහසට මෝදුවෙමින් තිබුණි.

"කොච්චර නිස්කලංකද බලන්න.දවාලක ආවා නම් මෙහෙම පුළුවන් ද මේ පරිසරයෙ සන්සුන්කම විඳින්න."

විශ්ව ඇසුවේ පාරමී මල් අසුනේ මල් තබමින් පිළිවෙළ කරන අතරේය.

මල් පූජා කරනවා කියන්නේ ජීවිතේ අනිත්‍යය අපි අවබෝධයෙන් වටහාගන්න එකට පුතේ.ඒ නෙලාගෙන එන මල්ටික පවා මල් අසුනක පිළිවෙළකට අසුරන කොට අපි සන්සුන් වෙනවා...ඉස්සර අම්මා හවස් යාමයේ පුංචි පාරමීද ළඟ තබා ගෙන ඉගැන්නූ ඒ පාඩම් පාරමීට මතකය.අම්මා සිහිව ඇසට ආ හීන් කඳුළ සුසුමකින් වියලා දමමින් පාරමී සිත නිවාගත්තාය.

අවසන සෑ මළුවේ කෙළවරක බිම ඉඳගත් ඔවුන් මොහොතක් නිහඬව උන්හ.

"හිතට සැනසීමයි නේද?"

විශ්ව ඇසුවේ නිහඬවම ඈතක බලා ඉන්නා පාරමීගෙනි.

"ඇත්තෙන්ම ඔව්. මට අම්මාව මතක් උනා විශ්ව.අම්මා උන්නා නම්..."

පාරමී ගේ හඬෙහි වූයේ ශෝකීබවකි.

"අපි හැමෝම ආවොත් යන්න ඕන අය පාරෝ.අම්මාගෙ මරණය දුකක් වුණත් අම්මා මොනතරම් වාසනාවන්තද එහෙම ජීවිතේ නවතින්න.හොස්පිට්ල් ගානේ දුක් විඳලා නැතිවෙන අය අතරෙ .ඒවා මට වඩා හොඳින් ඔයා දන්නවනෙ."

විශ්ව පැවසුවේ පාරමීගේ හිසට අතක් තබමිනි.

රෑ අඳුර මකාලන විදුලි පහන් එළි මෙන්ම සඳ එලියද ගෙන ආවේ සහන් සුවයක්මය.

"එහෙනම් අපි යමුද ?"

විශ්ව ඇසුවේ ඉඳගෙන උන් තැනින් නැගී සිටිමිනි.පාරමී ඔහු දිගු කල අතෙහි එල්ලී නැගී උන්නාය.

****************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)


2 comments: