Thursday, March 23, 2023

19 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 19 කොටස


18  කොටසට මෙතනින් 18






"පාරෝ ඔයා බිසී ද ?"

ඇමතුමට සම්බන්ධ වූ වහාම විශ්වගේ හඬින් ඔහු යම් ගැටළු සහගත තත්වයක පවතින බව පාරමිට වැටහුණි. 

"නෑ විශ්ව මම මේ ගෙදර ඉන්නේ...any problem?" 

පාරමී ඇසුවේ ඉතා පරිස්සමිනි.

"ඇයි ඔයා එහෙම ඇහුවේ ...?"විශ්ව ඇයගෙන් පෙරළා ඇසුවේ ඇය හමුවීමට ඇත්නම් හොඳ යැයි යටි සිත කියන බැවිනි .

"ඔයාගේ කටහඬ වෙනස්. මට හිතුනා ඔයාට මොකක් හරි ගැටලුවක් ඇති කියලා .මොකද උනේ විශ්ව?"

පාරමීගේ කටහඬ ද බෙහෙවින් දයාර්ද විය.

"මට ඔයාව හම්බවෙලා කතාකරන්න පුළුවන් ද පාරෝ..i m really really exhausted now..."

විශ්වගේ හඬ ඇත්තෙන්ම වෙහෙසකාරී විය.සෙනසුරාදා දින හෙයින් ඇත්තෙන්ම තමාට ඇති වැඩකුත් නැති හෙයින් පාරමී විශ්ව හමුවන්නට යාමට තීරණය කළාය.

"කියන්න මම කොහෙටද එන්න ඕනෙ...?" 

පාරමී ඇසුවේ සුපුරුදු දයාර්ද හඬිනි.

"මම ඔයාව ගන්න එන්නම් පාරෝ.පැය බාගයකින්."

විශ්ව පැවසුඉවේ ඉඳගත් අසුනෙන් නැගිටමිනි.

"කොළඹ ඉඳන් පැය බාගෙන් මෙතනට එන්න හදන්නෙ ඉගිල්ලිලාද විශ්ව.හදිසියක් නෑනෙ.හෙමින් එන්නකො.මම සූදානම් වෙලා ඉන්නම්." 

පාරමී තරවටු කලේ කුඩා දරුවෙකුට පරිද්දෙනි.

"හරි හරි ලොකුඅම්මෙ..හයියෙන් එන්නෙ නෑ"

විශ්ව හිනැහෙමින් පැවසීය.

පාරමී මාලනීට තමන් මිතුරකු හමුවීමට යන බව පවසා ගේට්ටුව අසලට ගියේ ඔහුට එන්නට ප්‍රමාණවත් වේලාව ද බලමිනි.විනාඩි දහයක ඇවෑමෙන් විශ්වගේ මෝටර් රථය පාරමී අසල නැවතුණි.

"කොහෙද අපි යන්නෙ." පාරමී ඇසුවාය.විශ්වගේ මුහුණේ වෙනදා තරම් කලඑළියක් නැත .බෙහෙවින් තෙහෙට්ටුවට පත් වූ විඩාබර මලානික පෙනුමක්ද ඇත .

"පාර තියනකන් යමු .යන ගමන් කතා කරමු ."

විශ්ව රිය පන ගන්වමින් පැවසුවේය.පාරමී ඔහුගේ අතට අත තබා ඔහුව මඳකට නැවත්වූවාය .

"විශ්ව , ඔයාට driving එක්ක කතාවට concentrate කරන්න බෑ.ඒ නිසා අපි කොහෙන් හරි නැවතිලා කතාකරමු."

පාරමී මිතුරියගේ භූමිකාවෙන් වෛද්‍යවරියගේ භූමිකාවට මාරුවූවාය.විශ්ව ඇය දෙස මොහොතක් බලා උන්නේ ඇය එසේ සිත කියවන්නට උගත්තේ කෙලෙසදැයි පුදුමවෙමිනි.ඇත්තෙන්ම කිවහොත් හිස පුපුරන මට්ටමේ දැඩි වේදනාවක් තමා පෙළයි.සුපුරුදු වේදනා නාශක පෙති දෙකද ගිලදමා ආවද එයිනුදු පල නැති තරම් ය.

"කොහෙද යන්නෙ එහෙනම්?" විශ්ව ඇසුවේ පාරමී දෙස හැරීබලමිනි.

"කිලෝමීටර් දෙකක් විතර ඩ්‍රයිව් කරන්න පුළුවන් ද ඔයාට.යං මම ඉඳහිට යන තැනක් තියනව."

විශ්ව පාරමී දෙස බැලුවේ නලලද රැලිකරගනිමිනි.පාරමී කිසිත් නොකියා සිනාසුනාය.

"තනියම ? "ඒ ඔහු සිත තුල නැගුණ එහෙත් වචනයට නොහැර වුණු කුතුහලයයි .

"යමුකෝ මම ගියාම ඔය ප්‍රශ්නෙට උත්තරේ එතනදිම දෙන්නම් .."

පාරමී හිනැහෙමින් පැවසුවාය.

කිලෝමීටර දෙකක් පමණ නිහඬතාවයෙන් යුතුවම විශ්ව පාරමී ගේ මග සලකුණු උපදෙස් අනුව රිය පැදවීය . දිගින් දිගටම ගැමි ගතිය වැඩි වන පරිසරයකට ඔවුන් පැමිණෙමින් තිබුණි .

මාවත මගකින් හැරුණු අතුරු මාර්ගයේ කෙළවර කුඩා වැවක් විය . ඒ අසල වූ කුඹුක් ගස් සීමා වේ ඉඳගෙන සිටීමට හැකි ලෙස කුඩා බංකු කිහිපයක් ලීකොට වලින් සාදා තිබුණි .

"මෙච්චර කොළඹට වෙලා හිටපු මටවත් හොයා ගන්න බැරි වෙච්ච තැන් ඔයා හොයාගෙන තියෙනවා ."

විශ්ව පැවසුවේ එම පරිසරයේ නිශ්චල භාවය ගැන පුදුම වෙමිනි.

"කොළඹ කිව්වට මේ කොලඹම නෙවේනෙ විශ්ව.අපේ ගෙදර හරියත් කොළඹ නගර සීමාවේ නෙවේනෙ.මේ පැත්ත ඇත්තටම කිව්වොත් අයිතිවෙන්නෙ අවිස්සාවෙල්ලට වෙන්න ඕනෙ."

පාරමී වැව අයිනේ වූ බංකුවක හිඳගත්තේ එසේ කියමිනි.දහවල් වෙමින් පැවතුනද කුඹුක් ගස් හෙවන සහ වැව් දියේ සීතල හෙයින් කිසිදු රස්නයක් නොදැනුණි.විශ්ව ඇය ඉදිරිපස වූ ලී බංකුව මත හිඳගත්තේය.

"මං ඉඳහිට මෙතනට එනවා විවේකයක් ආවම.මේ පැත්ත එහෙම අනාරක්ෂිත එකක් නෙවේ.ඔයාට තව ටිකක් වෙලා යනකොට පෙනේවි කට්ටිය එනව.හැබැයි හුඟක්ම ජනාකීර්ණ වෙලත් නෑ."

පාරමී පැවසුවාය.විශ්ව ඇයදෙස මොහොතක් නිහඬවම බලාඋන්නේය.

"ඉතින් ...කියන්න විශ්ව ..මොකද උනෙ ඇත්තටම.."

පාරමී සිය බෑගයේ වූ වතුර බෝතලය ඔහු වෙත පාමින් පැවසුවාය.ඇය දුන් වතුර බෝතලයෙන් උගුරක් දෙකක් බිවු විශ්ව එය යළි පසෙක තබා හඬ අවදිකලේය.

"මට ඇත්තෙන්ම අමාරුයි පාරෝ..මගෙ ජීවිතය හිරවෙලා.මට කිසි නිදහසක් නොදැනෙන තරම්.අම්මා ඒක තවත් හිර කරන්න අරන්."

විශ්ව සිය හිසකේ අතරට ඇඟිලි යවා තදින් ඇද්දේය.

"විශ්ව...අපි එකින් එක මේවා ගැන කතාකරමු...ඉස්සෙල්ලා රිලැක්ස් වෙන්නකො ඔක්කොටම කලින්."

පාරමී ගේ හඬ මුදු ස්වරයෙන් ඔහු සවනට ගලා ආවේය.

"ඔව් කියනවනම් මම මුලක ඉඳන්ම ඔයා එක්ක කියන්න ඕනෙ පාරෝ.නැත්නම් කිසිම කෙනෙක්ට මේ අපභ්‍රංශ කතාව තේරෙන්නෙ නෑ.පුළුවන් තරමක් මම කියන්නම්.මගෙ කතාවෙන් ටිකක් හරි දන්නෙ නිසල් විතරයි.ඒත් ඔක්කොම නෙවෙයි "

විශ්ව පැවසුවේය.පාරමී නිහඬවම ඔහුට ඇහුම්කන් දුන්නාය.

විශ්ව වැව් දිය තලය දෙස මොහොතක් බලාඋන්නේය.එම දිය නිසලය.එහෙත් ගැඹුරුය.ඒ ජලතලය යට කෙතෙක් නම් රහස් සැඟව ඇත්ද ...හරියටම තමා වගේමය.

පාරමී ඔහු දෙස නිහඬවම බලාඋන්නේ මේ මොහොතේ ඔහුට ඇවැසි ඇහුම්කන් දෙන්නෙක් මිස තවත් කතාකරන්නෙක් නොවන බව දන්නා හෙයිනි.

                                                                            *** 

යමකුගේ ළමාවිය යනු ඔහුගේ අනාගත තරුණවිය මෙන්ම සම්පූර්ණ ජීවිත කාලයම පදනම්වන අත්තිවාරමයි .දරුවකුගේ ළමා වියේ ශෝකාන්තය අනාගත ජීවිතයම අඳුරු කරන අන්දම විශ්වගේ වදනින් වදනට පාරමී හමුවේ දිග හැරුණි .

"හුඟක් අය හිතුවේ නීති රීති මැද්දෙන් දරුවෙක් හදනකොට ඒක ඒ දරුවාගේ හොඳට කියලයි .නෑදෑයො වගේම ඉස්කෝලේ ටීචර්ලා පවා අම්මාගේ හැසිරීම් රටාව අනුමත කළා මිස ඒක හරිගස්සන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ .ටිකක් හරි ඒකට විරුද්ධ වුණේ තාත්තා .නමුත් තාත්තත් ගොඩක් වෙලාවට උන්නෙ අම්මගේ පාලනය යටතේ කියලයි මට ඒ වෙලාවෙ නම් හිතුනේ ..."

විශ්ව ගේ හඬ පුරාම පැවතුනේ මහත් වේදනාවකි.

"මං හුඟක් වෙලාවට නිශ්ශබ්ද ළමයෙක් වුනා .කිසිම වෙලාවක අම්මා කියපු වචනයෙන් පිට යන්න බැරිතරම් මම අම්මට බය උනා .අපේ පන්ති වල ඉන්න කොල්ලො මට හිනා උනේ අම්මට බය කොල්ලෙක් වුන නිසයි .මට වඩා හාත්පසින්ම වෙනස් මගෙ නංගි .."

විශ්ව මොහොතකට කතාව නැවතීය .

"ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවද ..කෝ දැන් එයා ?"

පාරමි ඇසුවේ එවැනි සොහොයුරියක් ගැන දැහැමි හෝ ඇයට පවසා නොතිබූ හෙයිනි .

"නංගි පුංචි කාලෙ ඉඳලම අම්මට විරුද්ධව කැරලි ගැහුවා.පුංචි කාලේ ඉඳලා පවා අම්මා මොනවා කිව්වත් නංගි හරි දේ මිසක් එයාට ඕනදේ කළේ නැහැ .ඒ ඔක්කොම ප්‍රෙශර් එකත් අම්මා පිටකලේ මගේ පිටින් .."

විශ්වගේ දෑස් ඈත වැව් තලයේ පිහිනා යන තාරාවෙක් දෙස එක එල්ලේ වැටී තිබුණි .

"කොටින්ම කිව්වොත් university යනකම් මං ගෑනු ළමයෙක් එක්කවත් යාළු වුණේ නැහැ .ඔයා උනත් මට හිනාවෙයි .ඒත් මම අම්මා ගැන දන්න නිසාම තවත් ගෑණු ළමයෙක් ජීවිතයට සම්බන්ධ කර ගන්න හිතුවෙම නැහැ .ඒකට නංගි ඒ ලෙවල් කාලෙදිම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා .අම්මා නොසෑහෙන නංගිට ගැහුවා .බැන්නා.නංගි නෙමෙයි අම්මා කියපු කිසිම දෙයක් කනකට ගත්තේ .."

විශ්ව ඉතා වෙහෙසින් සිය නලලත දෑඟිලි තුඩින් තෙරපා ගත්තේය .සමහරවිට ඒ ඔහුගේ බාල සොහොයුරිය ගැන ඇති වූ මතකය නිසා විය යුතුය .

"නංගිව ඒලෙවල් ඉවර වුණ ගමන්ම අම්මට ඕන වුනා බන්දලා දෙන්න.ඒත් අම්මට ඕන කෙනෙක්ව බඳින්න නංගි කීයටවත් කැමති වුණේ නැහැ.අම්මා නංගිට හොයලා තිබුනෙත් වැඩිමල් මනුස්සයෙක් .හුඟාක් දේපල තියෙන කිසිම දෙකින් නංගිට නොගැලපෙන මනුස්සයෙක් .අන්තිමේ කසාදෙට දින තීන්දු උනාට පස්සේ නංගි හරි යාළුවෙලා හිටපු පිරිමි ලමයත් එක්ක පැනලා ගියා . "

විශ්වගේ මුහුණේ ඇති වූයේ මඳ සිනහවකි.එ කුඩා දරුවකුගේ දඟ කමක් ඉවසන වැඩිහිටියෙක් ගේ මුහුණේ ඇතිවන අපූරු සිනහවයි .

"දැන් නංගි කොහෙද විශ්ව ?"

පාරමී ඇසුවේ ඒ පීඩනය යම්තාක් දුරට සමනය වූයේ සිය සොහොයුරිය ගැන කතාබහට එක් වූ පසුව බැවිනි .

"නංගි දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ පාරෝ. ඒ දෙන්නා ජීවිතේ පටන් ගත්තේ හරිම අමාරුවෙන් .ඒ කොල්ලාට ජොබ් එකක් තිබුණෙ නෑ හරිහමන්.ඒත් ඌ නංගිව බලාගත්තා ඇස්දෙක වගෙ.වේලක් ඇර වේලක් කාල හරි උන්දෙන්නා ජීවිතේ අරන් ගියා.එතකොට මම කැම්පස් අවුට් වෙලා.මම තාත්තා ගෙ කම්පැනි වලට ජොයින් වුනා."

විශ්ව සුසුමක් හෙලීය.ටිකෙන් ටික ඔහු ඉහිල්ව යන අන්දම පාරමී ට වැටහුණි.

'"මම එයාලට උදව් කලා ...හැබැයි අම්මලට හොරෙන්.ටික ටික කොල්ලා ජීවිතේ ගොඩ දාගත්තා.අන්තිමට මම දෙන්නව ඔස්ට්‍රේලියා යැව්වා..කොල්ලට එහෙ ජොබ් එකක් සෙට් කලා.ඒ දෙන්නට දැන් චූටි දුවෙක් ඉන්නව."

සැබෑ සහෝදරත්වයේ උණුසුම් හැඟුම් මතින් විශ්ව මතකයන් අවදිකලේය.පාරමී ඒ මතකයන්ට සවන් දුන්නේ බොහෝ ආසාවෙනි .

"නංගි පැනල ගියාට පස්සෙ අම්මා නිකම් පිස්සු වැටුණා වගෙ වුනා.එයාට වුණ ලැජ්ජාව ,තරහ ඔක්කොම පිරිමහගත්තෙ මගෙන්.මම එන්න එන්නම නිහඬ වුණෙ අම්මාගේ ඒ හැසිරීම් රටා එක්ක.නමුත් මට දැන් හිතෙනවා එකම එක පාරක් මම ඒකාලෙ අම්මාට විරුද්ධ ව නැගී උන්නා නම් අද මට මෙහෙම වෙන්නෙ නෑ කියල."

විශ්ව පැවසුවේ ඉමහත් කලකිරීමෙනි.පාරමී ඔහුගේ වෙහෙස වටහා ගත්තාය.කුඹුක් සෙවනේ කෙළවරක කුඩා පැල්පතක් අටවා කඩයක් දමා තිබුණි.

"විශ්ව අපි තේ එකක් බොමුද...බීලා ආයෙ කතාකරමු.."

පාරමී ඇසුවේ ඔහුගේ මනසට යම්තාක් දුරට සැහැල්ලුවක් දියයුතු යැයි සිතාය.

"කොහෙද තේ බොන්න යන්නෙ ඉතින් ? "

විශ්ව හිසනගා ඇසුවෙය.පාරමී අතදිගු කොට පෙන්වූයේ කුඩා අවන්හලය.

යංකො ....පාරමී නැගී උන්නාය.

උණු උණුවේ පොල් රොටී පසෙක පිළිස්සෙමින් තිබුණි.අනෙක් ලිපක වතුර මුට්ටියක් පැහෙමින් තිබුණි.

යහමින් කොච්චි දැමූ කට්ට සම්බෝලයක් සමග උණු උණු පොල් රොටී කිහිපයක් ද ඉඟුරු දැමූ තේ කෝප්ප දෙකක්ද ඔවුන් වෙත පැමිණියේ අවන්හල හිමි කාන්තාව අතිනි.

"නෝනා අද යාළුවෙක් එක්ක ඇවිල්ල"

ඇය සුපුරුදු ලෙන්ගතුකමින් පවස එතනින් නික්ම ගියාය.

"ඔයාට මේ විකාර කතා අහන් ඉන්නකොට කම්මැලිත් ඇති."

විශ්ව පැවසුවේ පසුතැවීම් පෙනුමෙන් සමාව ඉල්ලන ස්වරයෙනි.

පාරමී හිස ඔසවා ඔහු දෙස බැලුවේ සිහින් රැවුමක්ද සමගිනි.

"විශ්ව මම ඔයාගෙ කවුද "පාරමී සෘජුවම ඇසුවේ එක්වනමය.විශ්ව තිගැස්සුනේය.

"ඒ...ඒ...කිව්වෙ පාරෝ...ම..මට තේරුනෙ නෑ...."

විශ්ව ට හඬද පැටලුණි.පාරමී ඔහුගේ චකිතය දැක සිතයටින් හිනැහුනාය.

"අහපු දේට උත්තර දෙන්නකො...who am I to you ?"

විශ්ව ඇය දෙස මොහොතක් බලාඋන්නේය.ඇය තමා පිරික්සනවා වත්ද ?

"ඔයා මගෙ යාලුවා"

ඔහු අවසානයේ පිළිතුරු දුන්නේය.

"මොන යාලුවාද ?"

පාරමී ද ඔහුට දෙවනි නැත.

"හොඳම යාළුවා...my bestie "

විශ්ව ඇයගේ අතකින් අල්ලා පැවසීය.

"ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයාට මාව මතක් උනේ මම ඔයාගෙ හොඳම යාළුවා නිසා.මෙතනට ඔයාව මම එක්ක ආවේ මගෙ හොඳම යාළුවා ඔයා නිසා.ඔයා ඔයාගෙ අතිශය පෞද්ගලික දේ මා එක්ක කියන්නෙ මාව විශ්වාස නිසා.ඉතින් ඒ නිසා වදයක්ද කම්මැලිද වගේ ඒවා අහන්න එපා...ok"

පාරමී ඇසුවේ සිය අනෙක් අතින් ඔහු අතට තට්ටුවක් දමමිනි.

"යං...ඉතින් , ඉතුරු ටික කතාකරමු අපි."

පාරමී අවන්හලෙන් එලියට එන්නට පෙර අවන්හල හිමි කතට යමක් පැවසුවාය.ඇය හිස සලා එයට එකඟවූවාය.විශ්ව විමසිල්ලෙන් බලා උන්නද පාරමී එය නුදුටුවා සේ යළි කුඹුක් සෙවනට ආවාය.

"ඔයාට කීයට ද ආපහු යන්න ඕනෙ"

විශ්ව කුඹුක් සෙවනේ ඉඳගත් වහාම ඇසුවේය.

"ඔයාට කියන්න තියන දේවල් ඔක්කොම ඇහුවට පස්සෙ.."පාරමී මඳ සිනහවකින් යුතුව පැවසුවාය.

"ඒ කතා නම් දවසින් ඉවර කරන්න බැරිවෙයි පාරෝ."

විශ්වගේ සුසුම් වැව් දිය පෙදෙසට පාව ගියේය.

"නෑ අපි අදට පුළුවන් තරමක් කතාකරමුකො.මට අඩුගානෙ මේ අහන් ඉන්න එකෙන් ඔයාගෙ ස්ට්‍රෙස් එක ගැන basic idea එකක් හරි එනවනෙ.මොන විදියෙන් හරි ඔයාට හෙල්ප් එකක් දෙන්න නම් මම මේ හැම එකම දැනගන්න එක වටිනව."

පාරමී පැවසුවාය.විශ්ව ඇය දෙස බලාඋන්නේ කියාගත නොහැකි හැඟීමක් හිතදවටාගෙනය.

"යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා මම තාත්තා එක්ක පටන් ගත් බිස්නස් එක හුඟාක් දියුණු වුණා අපි නොහිතපු විදියට.ඇත්තෙන්ම පාරෝ අපේ අම්මලා තාත්තල ගෙ ඇඟේ දුවන්නෙත් බිස්නස් ලේ.එච්චරකට එයාල බිස්නස් වලම තෙම්පරාදු වුන අය.නමුත් අලුත් අයිඩියාස් එක්ක නෙවෙයි එයාලගෙ බිස්නස් දිව්වෙ.ඒ නිසා ලොකු ලාභයන් ලබලා නෙවෙයි එයාල ඒවා කරගෙන ගියේ."

විශ්ව මඳක් නැවතී වැව්තලය දෙසම බලාඋන්නේය.දිවාකල එළඹෙන විට වැව්තලය මත උන් තාරාවන්ද සෙවන කරා ගොසිනි.අහසේ ඈතින් දිලෙන ගණ හිරු රැස් වැව් ජලතලය මත රිදී පැහැ ඉරිරටා අඳී. විශ්ව පාරමීගේ දෑස් දෙස බලා උන්නේ ඇයට ඒ දැඩි රැස් අපහසුද යන්න සිතමිනි.

"ඇස්වලට අමාරු නැද්ද ?සන්ග්ලාස් දෙක දාගන්න."

විශ්ව බෙහෙවින් මුදු ස්වරයෙන් ඇයට පැවසීය.පාරමී හිස දෙපසට වනා එය අවශ්‍ය නැතැයි පැවසුවය.

"යුනිවර්සිටි එකෙන් අවුට් වුනගමන් බිස්නස් වලට ජොයින් වුනාට මම මැනේජ්මන්ට් ස්කිල්ස් හුඟාක් ඒකට ඇප්ලයි කලා සාර්ථක ව.ඉතින් බිස්නස් ජාලයක් වෙච්ච අපේ ව්‍යාපාර ඔක්කොම සෑහෙන්න සාර්ථක උනා.ඔය මොන වර්ගයේ බිස්නස් තිබ්බත් මම ආසම ෆීල්ඩ් එක උනේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඉන්ටීරියර් ඩිසයිනින්."

විශ්වගේ දෑස් ඒ ගැන කතකරන විට පවා දිලිසෙන්නට විය.පාරමී ඔහුට කතාකරන්නට දී ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කළාය.

"ඉතින් ඔය අතරෙ තමයි මගෙ ජීවිතේ හිතුවෙ නැති දෙයක් වුණෙ.ඒක මාව නැත්තටම නැති කලා පාරෝ..."විශ්වගේ මුහුණේ කලු වලාකුලු පාව එන්නට පටන් ගෙනය.

පාරමී ඔහුදෙස විමසිල්ලෙන් බලාඋන්නේ මෙතක් කියූදේට වඩා බරපතල කාරණයක් තවත් වේදැයි සිතමිනි.

"මගෙ ජීවිතේ උඩුයටිකුරු කරන්න කල්පනා ආවේ ඔන්න ඔය කාලෙදි.එයා අපේ අලුත් ෆර්ම් එකට ආවේ ට්‍රේනින් වෙන්න .මොරටුව යුනිවර්සිටි එකේ ඩිග්‍රි එක ඉවර වෙලා ඉන්ටර්න්ශිප් එකක් වගෙ ඇප්ලයි කලා. ඉතින් අපි අලුත් ළමයින්ට තැන දෙන්න තීරණය කරන් උන්න නිසා එයාව ගත්තා."

පාරමී විශ්වගේ දෑස් දෙසම බලාඋන්නේ සිය ජීවිතයට සම්බන්ධ වූ තැනැත්තිය ගෑන කියද්දි ඔහු වතේ එළියක් නැගේදැයි සිතමිනි.එහෙත් හැඟීම් විරහිත මුහුණකින් විශ්ව ඔහේ කියවාගෙන ගියේය.

"මට ජීවිතේ ට බලාපොරොත්තුවක් එකතුවුනා කල්පනා ගෙන්.ඉස්කෝලෙ කාලෙවත් කැම්පස් එකේදිවත් ආදරය ගැන නොහිතපු මම කල්පනාට ඇදුණෙ කාන්දමකට වගෙ.ඒත්, මොන එකක් නිසාමද මන්දා නිසල්ට කල්පනාව ඇල්ලුවෙම නෑ.කල්පනත් නිසල්ව මගහැරියා පුළුවන් තරම්."

පාරමී ඒ වදන් ඔස්සේ කල්පනා කලේ නිසල් වැනි මිතුරෙක් කිසිදුවිට සිය හිතෛෂී මිත්‍රයාට අවැඩක් කරයිද යන්නය.එහෙත් ලෝකය වෙනස් එකකි.මිනිසුන් ඊට වඩා වෙනස්වන සුලු අයයි.පාරමී හූමිටි තබමින් කතාවට ඇහුම්කන් දුන්නාය.

"ඉස්සරවෙලාම ජීවිතේ ට ආදරයක් දැනුණ කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද කියල මම පාරෝට කියන්න ඕනනෑනෙ.මමත් උන්නෙ පිස්සු වැටිලා.උදේ වෙන්නෙ රෑවෙන්නෙ කල්පනා ගැනම වද වෙන ගමන්.ඒත් ...ඒත්....."

විශ්ව සිය දෑඟිලි එකිනෙක තදකොට ගත්තේ මහා වේදනාවක් පිටකරහරින්නට මෙනි.පාරමී ඔහුගේ අත් මතින් සිය අත් තැබුවාය.

"ඔයාට ඒවා කියන්න අමාරුයි නම් අපි ආයෙ දවසක කතාකරමු විශ්ව."

විශ්ව හිසසලා එය ප්‍රතික්ෂේප කලේය.

"ඔයාට ආයෙ දවසක් වදදෙන්න බෑ පාරෝ.මේ ටික අද කිව්වාම ඉන් පස්සෙ මට ඔයාට කියන්න ලොකු දෙයක් නැතිවෙයි කොහොමත් .මම ෆ්‍රී වෙන්නයි ඕනෙ.ඉන් පස්සෙ ඔයා මට හෙල්ප් කරන්න මේ අඳුරු මතක අතාරින්න කියදෙන්න."

විශ්ව සුසුමක් හෙලා පැවසීය.වේලාව දොළහ පසුවූයේ නොදැනීමය.ඉඳහිට වැව් පිටියට ආ පෙම්වතුන් යුවලවල් මෙන්ම ඉලන්දාරි කිහිපදෙනාද දැන් යළි පිටව ගොසිනි. කුඩා අවන්හලේ කාන්තාව තවමත් එහි ඉඳගෙන සිටින්නීය.මිනිස්සුන්ගේ ජීවිත දුෂ්කරය.එදාවේල හොයාගන්නට වෙර දරන මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් විශ්ව වැනි අයගේ ප්‍රශ්නත් අන්ත දෙකකවුවද ඒ අන්ත දෙකේම ජීවත්වන්නෝ ඉන්නේම අසතුටෙනි.

"කල්පනා අපේ කම්පැනි එකට ජොයින් වුනේ ප්ලෑනකට කියලා මට තේරුණේ ඒ එෆයාර් එකට අවුරුදු තුනහතරක්ම යනකොට.එයා පෙනුමෙන් අහිංසක උනාට ඇතුළාන්තය නපුරුයි.මාව ඉබේම නැතිවෙන ගානට එයා මාව අල්ලගෙන ඉවරයි.අපේ කම්පැනි එක වට්ටන්න එයා ආවේ ඉත්තෙක්වෙලා.කොහොම නමුත් ඒ වෙද්දි ලීඩින් බිස්නස් එකක් වුන අපේ කම්පැනි එක කඩාවැටෙන්න ගත්තා.ප්‍රොෆිට්ස් නැතිම උනා.අපේ ක්ලයන්ට්ස්ලා පිටට ගියා ඒ කොහොමද කියන්න මට හොයාගන්න බැරිඋනා."

විශ්ව ඔහේ කියවාගෙන ගියේය.පාරමී නිහඬව ඇහුම්කන් දුන්නාය.

"නිසල් වගේම අම්මත් කල්පනාට කැමතිවුනෙ නෑ.මට අම්මගෙන් ආව ප්‍රෙශර් එක එක්ක ඒ වෙලාවේ මම අම්මාට විරුද්ධ උනා.කල්පනාට මම අත්දිග ඇරලා වියදම් කලා.සාමාන්‍ය පවුලකින් ආව කල්පනා ලක්ෂරි ලයිෆ් එකකට ගියේ මාව යූස් කරල."

ජීවිතය යමෙක්ට දේවල් ලබා දෙන්නේත් ඒවා අහිමි කරන්නේත් මහ පුදුම අන්දමටය.විශ්වගේ මනසේ කල්පනා කල කී දේ අවසානයේ ඉතුරු ව ඇත්තේ මහා කලු පැල්ලමක් ලෙසය.

"අන්තිමට අම්මා කල්පනාට මගෙන් ඈත්වෙන්න කියල කෙලින්ම කියල තිබ්බෙත් නිසල් ඉස්සරහම.එදා කල්පනා කියල තිබුනා මට ඔයාගෙ පුතා නිකමෙක් දැන්.මට ඕන දේ වෙලා ඉවරයි මිසිස් බෝවලගේ කියල.එදා නිසල් මාව හොයාගෙන ඇවිල්ලා ඕක කීවම මට නිසල්ව විශ්වාස වුනේ නෑ.මම එතකොට හිතුවෙත් කල්පනා ගැන බොරු ගොතල කියනව කියල.මොකද කල්පනා නිසල් ගැන මගේ ඔලුවට විෂ පිරෙව්වෙ ටිකෙන් ටික."

විශ්ව ගේ දෑසේ කඳුළක් නැගී තිබුණේ සිය ප්‍රාණසම මිතුරා සැකකල හෙයින් වියයුතුය .එහෙත් යමෙක්ට පසුකලක හෝ සිය පාපොච්චාරණයක් ඔස්සේ හෝ සිය අභ්‍යන්තරයේ ඇති පීඩනය මුදාහරින්නට ඉඩ දීම වටිනා බව පාරමී දැන උන්නාය.

"නිසල් මා එක්ක අමනාප උනෙ නෑ පාරෝ.ඌ එච්චරකට හොඳ කොල්ලෙක්.මම ඌට දොස් කියද්දිත් ඌ සද්ද නැතුවම උන්නා.අන්තිමට කල්පනාගේ ඔක්කොම ගැට අල්ලාගෙන මගෙ ඉස්සරහට ගෙනාවේ නිසල්."

විශ්ව සුසුමක් හෙලුවේය.ඒ සුසුමේ වූයේ මහා කලකිරීමක් පමණි.

"කල්පනා කියන්නේ ලොකු බිස්නස් ට්‍රික් එකක අතකොලුවක්.එයා මගෙන් ගන්න ඕන ඔක්කොම ටික අරන් අන්තිමේදි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක රට පැන්නා...ඒ බෝයිෆ්‍රෙන්ඩ් තමා මගේ බිස්නස් ෆීල්ඩ් එකේ මට උන්න තරඟකාරයා එතකොට..මගෙ කම්පැනි එක මට නැති උනා.මට ඔප්පු කරල නඩුකියලා ඒක ආයෙ ගන්න තිබ්බා.ඒත් මං එතකොට හිස් මිනිහෙක් වෙලා ඉවරයි.හැම බලාපොරොත්තුවක් ම හිස් උනාම මනුස්සයෙක් වැටෙන්නෙ කොහෙටද කියක මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනනෑනෙ පාරෝ"

විශ්ව ගේ හඬ වේදනාත්මක විය .මේ ඔහු සිටින්නේ හිත මුදාහැරීමේ පියවරෙහි උපරිමයට පැමිණ බව පාරමී ට වැටහුණි.

"විශ්ව ....අදට ඇති ඔය...අපි ඉතින් ඉතුරු ටික ආයේ දවසක කතාකරමු.don't worry.මම ඉන්නවනෙ ඕනම වෙලාවක.දැන් වෙලාව එකටත් කිට්ටුයි .අපි කමුද..?"

පාරමී ඇසුවේ විශ්වගෙ අතක් අල්ලාගනිමිනි .ඇත්තෙන්ම ඒ මොහොත වනවිට විශ්ව ගේ හිත රැඳි පීඩනය කෙමෙන් කෙමෙන් අඩුවෙමින් තිබුණි.එක දිනක් තුල ජීවිත සමාලෝචනයක් කර නිමාකරන්නට නොහැකිබව ඔහු දැන උන්නේය.ඉතින් අදට මේ ප්‍රමානවත් ය.ඇත්තෙන්ම පාරමී නිහඬ සවන්දෙන්නියක් වීමම විශ්වට එක්කලේ සැනසුමකි.අනෙක් අතට මේ පරිසරය ඔහු නිවාලීය .පාරමී සිය මානසික උපදේශිකාව වී පෞද්ගලික රෝහලේ චැනල් සේවයේදි තමා හට ප්‍රතිකාර කරන්නට එකඟ නොවීමම විශ්ව දැන් යහපතක් ලෙස පිළිගත්තේය.එවන් තැනකදී මේ සා සමාධියක් තම සිතට කිසිම විටක නොඑනු ඇත.

"අපි එහෙනම් දැන් යමු නේද ? කොළඹට යන යනකම් කන්න තැනක් නම් හොයාගන්න නැති වෙයි." විශ්ව පැවසුවේ පාරමී දෙස බලමිනි.උදෑසන නිවසින් ආ මොහොතේ පටන් දැඩි ලෙස හිතට වද දුන් වේදනාවන් බොහෝ දුරට අඩු වී ඇති බව විශ්වට දැනෙන්නට විය. ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නෙක් ලඟ සිටීමම ඒ බොහෝ ගැටළු වල බරපතළ භාවය අඩු කරන්නට හේතුවක් වෙයි.

"මං ඔයාව සප්රයිස් කරන්නයි යන්නේ. අද ඔයාට special lunch එකක් දෙනවා මගේ ගානේ.එන්නකෝ" පාරමී විශ්ව සමගින්ම නැගිට වුණේ පෙර කී අවන්හලට ම ඇවිද යන්නටය.

"නෝනලාට බඩගිනි ඇති කියලා මම දැන් කෑම ගෙන්නුවා විතරයි.නෝනාට නම් මේ කෑම කාලා හොඳට කාලා හොඳට පුරුදුයි.මහත්තයා කැමති වේද කළ තමයි හිතන්න අමාරු." 

කුඩා පොල් අතු අවන්හලේ සිටි කාන්තාව පැවසුවේ බටපොතු වට්ටි දෙකක් මේසය මත තබමිනි. ඒ මත ඇතිරූ නෙලුම් කොළ දෙකක එතූ දිවා ආහාරය ගන්නට විශ්ව ඉඳගත්තේ නොඉවසිල්ලෙනි.

"කාලෙකින් මෙහෙම කෑමක් කන්නෙ පාරෝ"ඔහු ලහි ලහියේ එය දිගහරිමින් පැවසීය.

"ආරංචියි ආරංචියි වැඩි දවසක් රෑට එහෙම කන්නේ බයිට් එක්ක බීම කියල."පාරමී තරවටු ස්වරයෙන් පැවසුවාය.

"ඕවා නිසල්ගේ බොරු. මම එහෙම බොන්නෙ නැහැ." විශ්ව කපටි සිනහාවක් මුවට ගනිමින් පැවසීය.

රතුහාලේ බතක්,වැව් මාලු, තිබ්බටු මැල්ලුමක් සහ හින්දවූ පරිප්පු ව්‍යාංජනයකින් සමන්විත වූ බත් මුල ඉමහත් රසයකින් යුතුවිය.

"ගොඩක් ජාති නම් නෑ මහත්තයා. මේ දවස්වල සෙනග එනවා අඩුයි.ඉතිං කෑම අපතේ යන නිසා ටිකයි හදන්නෙ" අවන්හල හිමි කාන්තාව සමාව යදින ස්වරයකින් පැවසුවාය .

"අම්මෝ මේ හොඳටම ඇති. කෑම හරිම රසයි .මං කාලෙකින් සම්පූර්ණ බත් එකක්ම මෙහෙම කෑවෙ"විශ්ව වතුර වීදුරුව පානය කරමින් ම පැවසුවේය.පාරමී ඔහු දෙස බලා උන්නේ නිහඬ සිනාවකිනි.

******************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)




4 comments: