Saturday, March 18, 2023

18 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 18 කොටස

17  කොටසට මෙතනින්  17





පාරමී නිලනිවසේ වැරැන්ඩාවේ හිඳගත්තේ නා අහවරවීය.මාලනී විසින් සදාදුන් කෝපි කෝප්පය නෑමෙන් පසු අනිවාර්ය අංගයකි.සිත තුළ සියුම් සතුටක් ඉපිලි ඉපිලී තාල නගයි.ඒ විශ්ව වෙතින් ලැබුවාවූ හිතවත්කම.....ඇත්තෙන්ම ඒ හිතවත්කමක් , දයාබරබවක් මිස අන් යමක් නොවන්නේදැයි පාරමී යළිත් සිතුවාය.

ඔහුගේ ජීවිතයේ ගැටලු සහගත තැන් එකිනෙක ලිහාගන්නට මෙන්ම ඔහු පත්ව ඇති මානසික වියවුලෙන් මුදන්නට තමාහට කල හැකි එකම සහ හොඳම පියවර මේ බව ඇය තීරණය කලේ අම්මාගේ හත්දවසේ බණට විශ්ව ඇවිත් ගියදාමය.

නමුත් විටෙක සිතන විට...ඒ ඇසුරට තමාද කැමති බව ඇයට වැටහුණි.

ශ්‍රීලංකාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන සමයේත් විදෙස් ගතව පශ්චාත් උපාධි හදාරන සමයේත් ඕනෑ තරම් පිරිමි සගයින් උන්නද ඒ කිසිවෙක් සමීප මිතුරෙක් වූයේ නැත.එය තමාගේ පෞද්ගලික තීරණයකි.එය අබිභවා යන්නට ආ බොහෝ අය ආපසු හැරුණේ පාරමී ගේ දැඩි ප්‍රතිචාර මධ්‍යයේය.

අම්මාගේ වියෝව තමන්ගේ ජීවිතයේ ඇතිකළ හිඩැස කිසිදා වසන්නට නොහැකි එකක් වුව තමා විශ්වගෙ ඇසුරට කැමති වූයේ තමාගේ පසින් සිතුවහොත් මේ පවත්නා හුදෙකලාව සහ කාන්සිය මැඩගන්නට විකල්පයක් ලෙස නොවේදැයි පාරමීට සිතුණි.එහෙත් එය සිත පිළිගන්නට මැළිවෙයි.

නමුත් ජීවිතය අපට විවිධාකාර පුද්ගලයන් මුණ ගස්වන්නේ නොසිතූම ආකාරයටය.එය අප විසින් අභියෝගයක් ලෙස හෝ බාරගත යුතුමය.

                                                                            *** 

"ගුඩ්මෝනින් මැඩම්"

සුපුරුදු සුබ පැතුම ජංගමයේ වට්ස් ඇප් තීරයේ හදවතක සලකුණක ඉමෝජියක් සමග මතුවෙන විටද පාරමී රෝහල් කොරිඩෝරයේ වාට්ටුව දෙසට ඇවිදයමින් උන්නාය.හිතේ වූ උණුසුමැති හැඟීමක් මුවඟින් සිනහවක්ව පිටපැන්නේය.

"ගුඩ්මෝනින් සර්"පිළිතුර ටයිප් කර කහ පැහැ මලක් සමගින් යැව්වේ ඒ මොහොතේමය. කොළපැහැ හරි ලකුණු දෙක වැටෙන පමාවෙන් එහා පසින් ඇමතුමට සම්බන්ධ වූයේ විශ්ව ජයසූරියයි.

" දොස්තර නෝනා ලෙඩ්ඩු බලනවද ,ලෙඩ්ඩු දොස්තර නෝනව බලනවද මේ වෙලාවේ"

විශ්වගේ හඬ ජීවයෙන් පිරීගත් එකක් විය.මේ මිනිසාම එක දිනක පෞද්ගලික චැනලින් සේවාවේදී ඉතා වියැළි වෙහෙසකර හඬින් තමාහට ඇමතූ ආකාරය පාරමීට සිහිවිය.

"දෙකම දෙකම.අපි අන්‍යෝන්‍ය සහයෝගයෙන් බලාගනිමින් ඉන්නව"පාරමී පිළිවදන් දුන්නාය.

"මට බැරිද ඔය වාට්ටුවෙ සතියකට විතර නවතින්න"

විශ්වගේ පැනයට පාරමීට සිනහාගියේ නොනවත්වාගත හැකි ලෙසය.ඇයගේ මඳ සිනහවට වඩා හඬනගා හිනැහෙන මොහොතට විශ්ව බොහෝ ආශා කලේය.අනෙක් අතට ඇය පසුවෙන දුක්බර යුගය තවම ඇයට අලුත්ය.ඉදින් ඇයගේ සිනහවක් ඇයටම කෙතරම්ම වටීදැයි ඔහුට සිතාගන්නට හැකි විය.

"මොකද හිනාවෙන්නෙ?"විශ්ව ඇසුවේ තවමත් හුස්ම අල්ලමින් හිනැහෙන පාරමීගෙනි.

"මේක ෆීමේල් වෝඩ් එකක් අනේ.මට ඔයාව ඇඩ්මිට් කලොත් වෙන දේවල් මැවිලා පේන්න ගත්තා..අනෙ අම්මෝ මට බෑ.මම තියනවා ෆෝන් එක."

පාරමීට යළි යළිත් සිනහානැගෙයි.විශ්වට මුව පොපියා එන්නේ කුමක් හෝ කටකැඩුණ කතාවක් කියන්නටය.එහෙත් තවමත් පාරමී ගැන තමා දන්නා තරම අල්පය.එහෙයින් බස හසුරවන්නට ප්‍රවේශම් වියයුතුය.

"පාරෝ, එහෙනම් මම තියන්නම්. Just want to say hi to you lovely girl..take care" විශ්වගේ හඬ බෙහෙවින්ම ආදරණීය විය.පාරමී ගල්ගැසුනාක් මෙන් රෝහල් කොරිඩෝරයේ මොහොතකට නැවතුණාය.කුඩාම කල තාත්තාගෙන්ද ඉන්පසුව අම්මාගෙන්ද ඇසුණ ආදරණීය ආමන්ත්‍රණ ජීවිතය වෙතින් ගිලිහ යද්දී මෙසේ අන් මුවකින් අසන්නට ලැබීම ඇයට දරාගන්නට අපහසු තරම් විය.

"Take care විශ්ව" 

පාරමී ඇමතුමෙන් මිදී ඒ කල්පනාවෙන්ම වාට්ටුවට පැමිණියාය.සුපුරුදු සේවයට අවතීර්ණ වීමට පසු ජීවිතයේ පෞද්ගලිකත්වයට වේලාවක් නොපැමිණේ.එහෙත් සිත තුළ ඇති හැඟීම් වලට මුහුණ කැඩපතක් නොවේයැයි කෙලෙස කිව හැකිද?

වාට්ටු නිරීක්ෂණය අවසන පාරමී සිය අසුනේ හිඳගත්තේ අදාල ඇඳ ඉහපත්වල අවැසිතැන්වල අත්සන යොදමිනි.රහල් ඇය වෙත පැමිණියේ ඒ මොහොතේය.

"මැඩම්"රහල්ගේ ඇමතුම සමග හිස නගා බැලූ පාරමී ඔහුට ඉදිරි අසුන පෙන්වූවාය.

"කියන්න රහල්, anything special?"

"එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නැහැ මැඩම් .සාමාන්‍ය තොරතුරු තමයි ඉතිං .ප්‍රසංගිගේ improvements නම් කලින්ට වඩා සෑහෙන්න හොඳයි .මම weekly රෙකෝඩ් එකක් තිව්වා මැඩම්ට බලන්න.දැන් බෙහෙත් අඩුකරගෙන යන්නෙ."

රහල්ගේ කටහඬ බලාපොරොත්තු සහගත බවින් පිරී යමින් තිබුණි . 

"ඔව් රහල් මම දැක්කා ඒ ටික..අපි management එක මේ විදියට කරගෙන යමු. එයා දැන් තෙරපි වලටත් යනවද නොකඩවාම?"

පාරමී ඇසුවේ තමන් ඉදිරිපස හිඳගෙන ඉන්නා තරුණ වෛද්‍යවරයා ගෙනි . පුද්ගලිකවම ගත්කල එය ඔහුගේ ආදරයයි .අතීත බලාපොරොත්තුවයි .දැන් මේ යළිත් පන නගා එන්නේ ජීවිත කාලයක් පුරා ගොඩගසාගත් පසුකලකදී බිඳී වැටුනු ඒ බලාපොරොත්තුවේ කුඩා මල් පැලයයි.ඉතින් මේ සියල්ල යහපත් අන්දමින් සිදුවුණ හොත් ඔවුන් දෙදෙනාගේම ජීවිත ඇත්තෙන්ම සුන්දර වනු ඇත .

"ඔව් මැඩම් එයා දිනපතාම දැන් යනවා. එයාගේ අවබෝධාත්මක පැත්ත බැලුවම දැන් මතකය එහෙම හුඟක් හොඳයි . මෙහෙම්ම continue කරමු නේද මැඩම්?"

පාරමී හිස සලා ඔහුගේ ප්‍රකාශයට සිය අනුමැතිය දුන්නා ය. 

"මං අහන්නමයි උන්නේ madam ..මැඩම්ගෙ මූණෙ ලොකු වෙනසක් තියෙනවා."

පාරමී තිගැස්සී ගියේ රහල්ගේ ඒ වදනත් සමඟය.

"ඒ මොකක්ද ඒ ?මට තේරුනේ නැහැ රහල්"

පාරමී සාමාන්‍ය තත්ත්වයකට එන්නට බොහෝ ලෙස වෙරදරමින් ඇසුවාය.

"පහුගිය කාලෙම මැඩම්ගෙ මූණෙ තිබුණෙ ඇත්තටම ලොකු දුකක් වේදනාවක් .ඒ අම්මා නැතිවුන නිසා කියලා මම දන්නවා .නමුත් අද මැඩම්ගෙ මුහුන හරිම එළියයි ..ලොකු සතුටක් හිතේ තියෙනවා වගේ" 

රහල් පැවසුවේ අවංකවම ඔහු දුටුදේය.

පාරමී මඳක් හිනැහුණේ කිසිවක්ම නොකියාය.ජීවිතේ ඇතැම් පෞද්ගලික කාරණා රහස්ම වනවිට එහි සොඳුරු බව වැඩිය.මේ මිත්‍රත්වය ,සුහදත්වයද ඇයට එසේම තනිව විඳිය යුතු කාරණයකි.දැහැමි හට හෝ මෙහි තතු පවසන්නට ඇය ඉක්මන් නොවූයේ එබැවිනි.

"අපිට ජීවිතේ දුක්වෙන්න කාරණා ඕනතරම් උදාවෙනවා රහල්.ඒත් ඒ අතරෙත් පොඩිම දෙයක් හොයාගන්න පුළුවන් සතුටු වෙන්න.සමහරක් විට ඒක අනුන් වෙනුවෙන් පමණක්ම කරන යම් කැපවීමක් වෙන්න පුළුවන්.හරියට ඔයා දැන් ප්‍රසංගි වෙනුවෙන් කැපවෙනවා වගේ.ඒත් ජීවිතය ඒකට reward එකක් දෙන්නෙ අපි නොහිතන විදියට.ඔයා කල යම් කැපවීමක් තිබුණා නම් ඔයාට අනිවාර්යයෙන් ඒ reward එක ලැබෙනව..මට ඔයාගෙයි ප්‍රසංගිගෙයි කතාවේ එහෙම ලකුණු පේනව.ඉතින් මං වුණත් සමහර වෙලාවට සතුටින් ඉන්නෙ මං කල කැපවීමක ප්‍රතිඵලයක් නිසා වෙන්න පුළුවන් "පාරමී නිවීසැනසිල්ලේ කියූ කාරණා රහල් අසා උන්නේ ඉතා ආසාවෙනි.එතරම් වයසක් නැතද සිය ප්‍රධාන වෛද්‍යවරිය ජීවිතයේ අත්දැකීම් වලින් පෝෂණයව සිටින්නීය.

"ඒක ඇත්ත මැඩම්.ආ...අර මැඩම් කිව්ව කාරණය ගැන මම ටිකක් හොයලා බැලුවා.මාලනී නැන්දාට ආරාමයක්..අපේ ගම්පලාතට එහා ගමේ තියනවා යශෝධරා මෙහෙණි අසපුව කියලා එකක්.ඒක ඇත්තෙන්ම හොඳ තැනක් කියල අපේ කිරිඅම්මා කියනවා.එයාල දානෙ අරන් යනවනෙ ඉඳහිට."

රහල් සහ වාට්ටුවේ සෙසු අය සමගින් මාලනීගේ අවශ්‍යතාවය පාරමී පැවසුවේ දින කිහිපයකට පෙරය.තමා හා කෙතෙක් බැඳී උන්නද මාලනීගේ මානසික අවශ්‍යතාවය සහ නිදහස ඇයට දිය යුතු බව පාරමී විශ්වාස කළාය.එහෙයින් ඇයට ආරක්ෂාව සහිත නිදහස් ආරාමයක් සොයාගැනීමේ කාර්‍යයට පාරමී සහය පැතුවේ සිය කාර්‍ය මණ්ඩලයෙනි.

"ඒක නම් ලොකු දෙයක් රහල්.මම මේ දවසම වාට්ටුවට ගෙව්වාට මාලනි ඇන්ටිට අම්මා නැතුව ඉන්න එක හුරුනෑ.ක්වාටර්ස් උන්නත් එයා ඉන්නෙ කල්පනා කරකර.ඉතින් ඉක්මනින් එයාව සෙට්ල් කරන්න ඕනෙ මම."

රහල් පැවසූ ආරාමය පිළිබඳ තතු විමසා දැනගෙන ඉක්මනින් එහි යායුතු බව පාරමී සිතුවාය.මාලනී එහි කැඳවා ගෙන යන්නට පෙර තමා එහි නායක මෙහෙණින් වහන්සේ හමුවිය යුතුබව ඇයට රහල් පැවසූ හෙයින් ඒ සඳහා පාරමී ඉක්මනින් දිනයක් වෙන්කර ගත්තාය.

                                                                              *** 

"එහෙනම් ඒ කතන්දරෙත් ඒ විදියටයි උනෙ."

නිසල් විශ්ව පසුගිය දවසේ වූ කතාබහ ගැන පැවසූ විට මඳක් කල්පනා කරමින් සිට පැවසිය.විශ්ව උන්නේ සැබෑ සතුටෙනි.

"ඒක එහෙම වුණ එක හොඳයි බං.පුදන කොටම කාපි යකා වගේ මම මොකෝ එයාගෙන් කැමැත්ත අහන්නයැ.අනික බං මට වුනත් මගෙ හිතේ පාරමී ගැන තියෙන්නෙ මොනවගේ feeling එකක්ද කියල තාම පැහැදිලි නෑ."

විශ්ව පැවසූයේ නිසල් ඇසූවට පිළිතුරු දෙමිනි.

"හරි හරි උඹල දෙන්නා මිත්‍ර සන්ධාන ගහලා යාලු මිත්‍රකම් ඔස්සේ යනකොට උඹලෑ අම්මා මේන් කියලා බලන් ඉඳී. අන්න පෙරේදත් මම එහේ ගියාම සුපුරුදු කතාව පටන් ගත්තා.උඹට කටයුත්තක් හොයන්න ඕනෙ.හොයන එව්වට උඹ කැමති නෑ කියල."

නිසල් විශ්ව හමුවේ ගෙන හැර පෑවේ සැමදාම නීරස වූ අම්මාගේ මාතෘකාවයි.විවාහයකට අවැසි කාලය කිමෙක්දැයි තමාගේ හිතට තවමත් වැටහී නැත.දැන් ගතව යන්නේ තිස්නව වෙනි විය බව සැබවි.එහෙත් ජීවිතය බෙදාගන්නට සුදුසු ගැලපෙන අයෙක් නොමැතිනම් වයස යනවා කියමින් කවුරුන් හෝ සමග පෑහිය යුතුදැයි විශ්ව තර්ක කලේය.

"උඹ ඇත්තටම පාරමීට ලව් ද කියහන්කො ඔක්කොටම කලින්?"

නිසල් ඇසුවේ විශ්ව දෙසට නැඹුරුවෙමිනි.විශ්ව සුසුමක් හෙලා නිසල් දෙස බැලීය.

"පාරමී මට ස්පෙෂල් තමයි.ඒත් ආදරේ කියන්නෙ ඒකටමද කියල මම ආයෙ හිතන්න ඕන බං.අවුරුදු ගාණක් ගෑනියෙක් ආදරෙයි කියල මාව රැවැට්ටුවාට පස්සෙත් ආදරය ගැන මම විස්වාස කරන්නෙ කොහොමද කියපන්.උඹ ඒ කතාවේ අලක්මුලක් නෑර දන්නවනෙ."

විශ්වගේ හඬට එක්වූයේ තදබල කලකිරීමකි.

"හැම ගෑනියෙක්ම කෙල්ලෙක්ම දිහා ඒ ගෑනි කල දේ ඇහේ තියන් බලන්න එපා මචං.උඹ ඒ කාලෙම උන්නෙ අන්ධ වෙලා.මං කොච්චර නම් කීවද ?වෙන එවුන් කීවද උඹට ඒවා ඇහුණෙ පෙනුණෙ නෑනෙ.අන්න ඒ අතින් නම් උඹේ අම්මා ග්‍රේට්.අම්මා එක නිලයෙන්ම ගෑනි කවුද කියල අල්ලගත්තනෙ"

නිසල් පැවසූවේ අතීත මතකයන් අවුස්සාලමිනි.

"හොඳයි අපි බලමු...කාලය අරන්.කොහොම උනත් පාරමීගේ පැත්ත මොකක්ද කියල අපි දන්නෙත් නෑනෙ මචං."

විශ්ව මේ නීරස අප්‍රසන්න මාතෘකාවෙන් මිදෙනු වස් එසේ පැවසීය.

අතීතය යනු ගුරුවරයෙකි.පාඩම් උගන්වමින් වර්තමානය සහ අනාගතය යළිදු ඒ වැරදීම් නොකරන්නට පාර සොයා දෙන්නෙකි.අතීතයේ අඳුරු සෙවනැලි අපගේ ජීවිත වටා කෙතෙක් සැරිසැරූවද ඒ අඳුර මැදින් ජීවිතය සොයායන්නට අපට හැකි විය යුතු නොවේද....?විශ්ව අතීතයේ අඳුර මකාලමින් දෑස් මානයේ දිස්වන ඒ සිනාවත සිතේ මවා ගන්නට වෙර දැරීය.

                                                                       ***        

පාරමී දැහැමි සමගින් සුපුරුදු අවන්හලට ගොඩ වැදුණේ කාලයකට පසු කතාබහ කිරීමේ අවශ්‍යතාවය දෙන්නාටම ඇතිවූ හෙයිනි. නිස්කාංසුවේ කෝපි කෝප්පයක් තොල ගාමින් කෙටි කෑමක රස බලන්නට කියාපු තැන මෙතනය.

කුඩා අවන්හල කරගෙන යන සුන්දර කුඩා යුවතියද මේ යෙහෙළියන් දෙන්නා හඳුනන්නේ කාලයක සිටය.ඇය ඔවුන් එත්ම උණුසුම් හැඟුමින් ඔවුන් පිළිගත්තාය.

"කාලෙකින් අක්කිලා දෙන්නා ආවේ."

පාරමී ඇයගේ වදන් හා හිනැහෙමින් දැහැමි දෙස බැලුවේ පිළිතුරක් අනවැසි හෙයිනි.

"යන්න යන්න අන්න ඔයාල දෙන්නගෙ ප්ලේස් එක ෆ්‍රී අද."

යුවතිය ඔවුන්හට සුපුරුදු ඉසව්ව පෙන්වා ඇතුළට ගියේ ඇනවුම්පත් ගෙන එන්නටය.

සුපුරුදු මේසයේ හිඳගත් පසු ඇය ඇනවුම්පත් ගෙන ආවාය.පාරමී දැහැමි හා එක්ව අවශ්‍ය දෑ ඇනවුම්කල පසු ඇය ඔවුන් වෙතින් නික්ම ගියාය.

"ඉතින් ඉතින් ..උඹ අම්මට අපේ ගෙදර අද ඉන්නව කියලනේද ආවෙ අද?" 

පාරමී දැහැමි වෙතින් ඇසුවාය.

"අමුතුවෙන් අහන්න ඕන වුණෙ නෑ..අම්මා උඹව බලන්න යනව කීවම ඇහුවෙ එන්නෙ හෙට ද අනිද්දද කියල"

දැහැමි හිනැහුණේ හඬනගාය.පාරමී ද කලකට පසු ඉතා සැහැල්ලුවෙන් ඒ සිනහවට එක්වූවාය.

විශ්ව සම්බන්ධව මේ දක්වා වූ සිදුවීම් දැහැමි හා පැවසීමේ අවශ්‍යතාවයක් තිබුණද එය කුමන මට්ටමක් දක්වා කියන්නටදැයි පාරමීට සිතාගන්නට නොහැකි තරම් විය.කෙසේ වුව මේ ඇසුර සම්බන්ධව දැහැමි වරදවා වටහා නොහන්නා බව පාරමී ට විශ්වාසයක් තිබුණි.

හැකිතාක් දුරට විශ්ව සම්බන්ධව කරුණු කාරණා සමගින් පෙරදවසක හමුව සහ ඔවුන් අතර වූ නිහඬ සම්මුතිය ගැන දැහැමිහට නිරාවරණය කිරීම පාරමී කලේ තවදුරටත් ඇයට එය සැඟවිය යිතු නැති හෙයිනි.

"ඉතින් විශ්ව අයියා මොකෝ කීවෙ.?"

දැහැමි කෝපි බඳුන තොලගාමින් ඇසුවාය.පසුගිය දිනක නිසල් ඇමතුමක් දී විශ්ව ගැන ඔහුට දැනෙන වෙනස දැහැමි හා පැවසුවේය.

"මේ දවසට දෙකට මූ හෙනට වෙනස්වෙලා දැහැමි . අර මූලග්ගාය ඇත්තෙම නෑ."

නිසල් පැවසුවේ හිනැහෙමින් බව දැහැමි ට මතකය.

"මොකුත් නෑ .පුදුම උනා ඒක කීවම.කොහොම උනත් විශ්ව හරි හොඳ කෙනෙක් බං.අර වෙලාවකට යක්ෂාවේශය තිබුණට ඒ මනුස්සයා ඇත්තෙන්ම මාරම කෙයාරින්."

පාරමීගේ දෑස් වල වෙනදා නොවූ විරූ දිස්නයක් දැහැමි දුටුවාය.එය ගැන විමසන්නට ,විහිලුවක් කරන්නට සිත ඉඩ නොදෙන්නේ පාරමී ගැන ඇය හොඳින්ම දන්නා නිසාය.එහෙයින් ඇයට ඒ හැඟීම් රිසිසේ විඳගන්නට ඉඩ දී බලා සිටීම වඩා සුදුසුයැයි දැහැමි තීරණය කළාය.


                                                                            *** 

"හැමදාම උදෙන්ම ගෙදරින් යනවා. ආයෙත් එන්නෙ මහ රෑ වෙලා. විශ්ව , අද වත් ගෙදර ඉන්න ඕනේ මට ටිකක් කතා කරන්න ඕන."

සෙනසුරාදා උදයේ විශ්වගේ කාමරයට පැමිණි අම්මා පැවසුවේ ඉතා තද හඬකිනි.හැමදාමත් මග හැර ගියද මේ කතාවට කෙසේ හෝ මුහුණ දිය යුතු බව විශ්ව ද දැන උන්නේය .

"හරි මොකද දැන් අම්මට කියන්න ඕනේ.අපි කතා කරමු"

විශ්ව සිය අතවූ දුරකථනය පසෙක තබා අම්මා දෙසට හැරුණේය .කාමරයෙ ඇති පුටුවක හරිබරි ගැසී ඉඳගත් අම්මාගේ පටන් ගැනීමේ ස්වභාවයම එතරම් සුබ නොවන බව විශ්වට වැටහුනි .

"හරි දැන් අර අතුකෝරල මිස්ලගෙ ගෙදරින් ආව යෝජනාවට උඹ මොකද කියන්නේ.එහෙ මිනිස්සු බලන් ඉන්නවා අපෙන් වචනයක් එනකන් ."

අම්මා විශ්ව දෙසම පිලිතුරක් ලැබෙන තුරු එකඑල්ලේ බලා උන්නාය. 

"මං කැමැති නැහැ .මට මේ තියෙන වැඩ කටයුතු ටික ඉවර කරගන්න ඕනි ඉස්සෙල්ලම.අනික මම ඒ ගෑණුලමයට කොහෙත්ම කැමැති නැහැ.පස්සේ වෙන එකක් බලමු ."

විශ්ව අම්මට පැවසුවේ සෘජුවම ය .

"ඇයි ? ඇයි ? උඹට මොකක්ද තියෙන හේතුව මේකට අකමැති වෙන්න .ඒ මිනිස්සු කියන්නේ දේපල සාගරයක් .ඔය ඉන්නෙ පවුලේ එකම කෙල්ල .ඒ කෙල්ලට ඉන්නෙත් වැඩිමල් සහෝදරයෙක් විත‍රයිනේ .ඒ පුතත් දැන් ඉන්නේ රට. මෙහෙ දේපළවලට ආයෙ කිසි කෙනෙක් ඇඟිලි ගහන්නේ නැහැ තනිකරම සාගරයක් වගේ දේපල අයිති ඔය දරුවාට."

විශ්ව අම්මා දෙස බැලුවේ දැඩි නොරිස්සුමෙනි.

"අම්මා මේ කතා කරන්න යන්නේ business contract එකක්ද නැත්නම් මට පාට්නර් කෙනෙක් හොයන එකක්ද? මම කැමති නැති කෙනෙක් එක්ක මේ මුළු ලෝකෙම තියෙන සල්ලි දෙනවා කිව්වත් අම්මේ මම නම් කැමති නැහැ නැහැමයි."

විශ්ව ඉඳගත් අසුනෙන් නැගිටිමින් පැවසීය .

"නැහැ මේ කටයුත්ත කෙරෙන්න ඕන එහෙම නැත්තං උඹට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ."

අම්මා සිය දබරැඟිල්ල විශ්වගේ මුහුණට ලෙලවමින් පැවසුවාය .විශ්වගේ මුහුණේ වූයේ උපහාස හිනාවකි .

"අම්මා හිතනවද මේ අම්මගෙ දේපල නිසා මං අම්මගේ රූකඩයක් වගේ නැටවෙන්න ඕන කියලා . මට මේ කිසි දෙයක් ඕනෙ නැහැ අම්මා.මට ඕනි මගේ ජීවිතයෙ නිදහස කරුණාකරලා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න .ප්ලීස්."

විශ්ව කාමරයෙන් එළියට බැස මිදුලට පැමිණියේය .අම්මා මොන මොනවාදෝ හඬගා කියමින් ඔහුට බැණ වදිනු දිගටම ඔහුට ඇසුණි .එහෙත් විශ්ව ඒ කිසිවක් ම නෑසුණු නියාවෙන් අඹ ගස යට වූ බංකුවේ හිඳ ගත්තේය .

සිත බෙහෙවින් නොසන්සුන් වෙමින් පවතී.පාරමී හට ඇමතුමක් දිය යුතු යැයි ඔහුට සිතුනේ ඒ වෙලාවේ ය .


    ***************************************************************************************** 

යලි හමුවෙමු
 
කිත්මා වාසනා දහනායක 
විසිරි සිහින 

4 comments: