Saturday, June 1, 2024

සතුටු කතන්දර

 සතුටු කතන්දර




මේ කතාව මං ගැනමයි....

මෙච්චර දවසක් සතුටු කතන්දර ගොන්නේ ලියවුණේ මං දකින ඇසුරු කරන අයගේ ජීවිත වල සතුටු කතන්දර....

අද වෙනස් කතාවක්....

මේ සතියේ එක දිගට දවස් පහම මම වැඩ.ලෙඩ්ඩු එක්ක විතරක් වැඩ නම් කමක් නෑ....homevisits ගිහින් ගෙවල් වල තත්වය බලන්න, ඒ ඔක්කොම දවස අන්තිමේ reports ලියන්න, patients ලාගේ ගෙවල් වලින් ආයතන වලින් එන දුරකතන ඇමතුම්, විද්‍යුත් මේලයන්ට උත්තර දෙන්න....ඔක්කොම එකතු වුණාම දවස් පහ ඉවර වෙන්නෙ පොඩි හෙම්බත් කමක් එක්ක....ඒ මදිවාට දවස් දෙකක් ඇවිදින්න යන්න නොලැබීම එක්ක පොඩි කණගාටුවකුත් එක්කම තමා මම නවාතැනට ආවේ.

රෝහල කිට්ටුවෙන් පයින් යන දුරෙන් නවාතැනක් හොයාගත්තු මුල්ම දවස්වල ඉඳන් අද වෙනකල් ම ස්ටාෆ් එකේ අය කියන්නේ...."කිත්මා මාර ලකී..." කියලා...ඇත්තනෙ ඉතින් වාසනා කියන්නේ ලකී කියන එකටමනෙ...නවාතැන් ගැටලුව තදබල අන්දමටම තියන ලන්ඩන් වල මෙහෙම තැනක් හම්බ වීමම වාසනාවක් එක අතකට....අනෙක් දේ ඇවිදින්න අපූරුම ලස්සන පරිසරයක් අවට තිබීම...නමුත් වැස්ස නිසා ඇවිදීමට බාධායි මේ ටිකේම...

හොස්පිට්ල් එකට අඩි ගාණක දුරින් තියන නවාතැනේ කාමරයට ඇවිත් තේ එකක් බොන ගමන් කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා..ඇවිදින්න යන්නෙත් නැත්නම් ...මොකක්ම හරි කරන්න ඕනනේ කියලා සෑහෙන්නම වෙලාවක් කල්පනා කලා...

ළමා කාලයෙන් ඔබ්බට තරුණ වියට එනවිටත්....මැදිවියට ආ මේ වයසේදිත් මට හිතෙන් අයින් කරදමන්න බැරි විනෝදාංශයක් තියනවා ඒ තමයි මල් කොළ වියලන එක...මේ දවස්වල බැලූ බැලූ අත ඇති කැලෑමල් පොත් පිටු අතරේ නවාතැන් ගන්න අරන් ටික දවසක්..... නමුත් මම හුඟක් දෙනා අහන නිසා කියන්නම්..මම මේ වර්ණ මෙහෙමම රැඳෙන්න කියලා විශේෂ යමක් නම් කළේ නෑ.ඇවිදින්න යනකොට අරන් යන පොඩි නෝට් බුක් එක ඇතුලේ මල් කොළ දාගෙන ඇවිත් ඒවා සුදු පිටු තියන පොතක් ඇතුළට දාන එක තමා මම කළ එකම දේ....

මල් press කිරීම භාවනාවක් වගෙ දෙයක්....ඒ ඔස්සේ නිර්මාණ කරන එකත් හිත සන්සුන් කරවන, සමාධි ගත කරවන ක්‍රියාකාරකමක්.... 

ඉතින් මේ අවසන් ප්‍රතිපලය... පොත් පිටු අස්සේ තියන මල් තව තවත් මේ වගේ ෆ්‍රේම්ස් එයාලා වෙනුවෙන් එනකල් බලා ඉන්න බව කියනවා වගේ ඉතින් මට ඇහෙනවා  ..

මනුස්සයෙක් වුණාම විනෝදාංශ එකක් හෝ තියෙන්න අවශ්‍යයි...ඒ ජීවිතේ නැවුම් කරවන එක හුරුවක්...පුරුද්දක්....

දවසේ අන්තිමට ඇත්තෙන්ම මම ඉන්නේ සතුටින්.... 

"ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න...සොයා යන්න ..."

Sunday, May 26, 2024

ආදරේ දැනෙන තැන්

 ආදරේ දැනෙන තැන්




සතුටු කතන්දර ගොන්නට ලියන මේ කතාව මගේ හිත පුදුම අන්දමට සසළ කළ එකක්....

ඉරිදාවක වැඩ කරන්න වුණ දවසක ..හවස තුනහමාරට මම වෝඩ් එකට යන්නෙ අලුතින් ආව ලෙඩෙක්ගෙ මූලික ඇගයීම එහෙම නැත්නම් initial assessment එක කරන්න.

සාමාන්‍යයෙන් පැයක් ගතවෙන මේ ඇගයීම තුනහමාරට පටන් ගත්තාම ඉවර කරන්න අමාරු බව දැන දැනත් මම වාට්ටුවට යන්නේ ඒ වෙලාවේ ඔහුගෙ දියණිය වෝඩ් එකේ ඉන්නා බව හෙදියක විසින් දුරකතනය ඔස්සේ දැනුවත් කළ නිසා....

අපි ඉතින් ඒ තාත්තා ට විලී කියමුකො.දූට ජොඈන් කියමුකො.නම් දෙක නම් ඉතින් අන්වර්ථ නම්....

විලීට අවුරුදු 93යි.වියපත් තාත්තා කෙනෙක් වුණත් එයා ගෙ ඒ වයසට එයා හොඳ පෙනුමෙන් උන්නා.මම ඉතින් ගිහින් ජොඈන්ට මාව හඳුන්වලා දුන්නා...ඒ වෙලාවේ වෝඩ් එකේ අනෙක් ලෙඩ්ඩු තුන්දෙනා ගාවත් විසිටර්ස්ලා උන්න නිසා මම යෝජනා කලා අපේ day room එකට යන්න  කතාබහ වෙනුවෙන්...

සාමාන්‍යයෙන් occupational therapy ක්ශේත්‍රයට අදාලව රෝගියා කලින් වැඩ කටයුතු කරගත් හැටි, එයාගේ ගෙදර පරිසරය, එයාට අනෙක් අය උදව් කරන මට්ටම  ඇතුලු කරුණු රාශියක් අහන්න සිදුවෙනවා...

සතියකට මේ වගේ ඇගයීම් දෙකක් තුනක් කරන්න වෙනවා..ඉතින් මේ දුව තාත්තා ගැන කිව්ව දේවල් අහලා මගේ හිත පිරුණා....

"කිත්මා , ඔයාලාගෙ සර්විස් එකට මම හැම තිස්සෙම ගරු කරනවා.මගේ තාත්තා වෙනුවෙන් ඔයාලා කරන කැපවීම හරිම ඉහළයි.නමුත් මට ඉක්මනින් තාත්තා ව ගෙදර එක්ක යන්න අවශ්‍යයි"

ජොඈන් පටන් ගන්නකොටම කිව්වේ එහෙම...ඒකට හේතු විදියට ජොඈන් එයාගෙයි තාත්තාගෙයි දින චර්‍යාව මට විස්තර කරනවා මෙන්න මෙහෙම....

"ඔන්න කිත්මා මගේ තාත්තා උදේ හතහමාරට නැගිටිනවා.එයා දැන් ඉන්නේ පහළ තට්ටුවේ කාමරයේ.ආ...ඔයාට කියන්න බැරිඋනානෙ...ඉස්සර තාත්තා අම්මා එක්ක උන්නේ උඩ තට්ටුවේ..2014 දි අම්මාට ඩිමෙන්ෂියා ව හැදුණා..ඉතින් අම්මාගේ පරෙස්සම වෙනුවෙන් අම්මා පහළ තට්ටුවට ආවාම තාත්තා ටත් ඕන වුණා අම්මා පෙනෙන සීමාවේ ඉන්න...ඒ ගමන අපි ඒ දෙන්නාව මේ පහළ ලිවින් රූම් එකේ ලොකු ඇඳක් දාලා ඒකට එක්කන් ආවා.අම්මා මීට අවුරුදු තුනකට කලින් මැරෙනකල්ම අම්මයි තාත්තයි උන්නේ ඒ පහළ කාමරයේ...හරි...ඔන්න ඉතින් තාත්තා නැගිටලා මම ඇහැරලා නැත්නම්..මට ඇලෙක්සා හරහා මැසේජ් එක දෙනවා...ඔයා දන්නවද ඇලෙක්සා ගැන....?"

මම නොදන්නා බව ඇයට පවසන්නේ මේ අපූරු කතාන්දරයේ විස්තර අහන කුතුහලයෙන්...

"ඇලෙක්සා කියන්නේ ඇමසෝන් එකෙන් ගත්තු  උපකරණයක්...ඒක තාත්තාට සිංදු අහන්න ඕන වුණාම සිංදු තෝරලාත් දෙනවා... තාත්තාට මා එක්ක කමියුනිකේට් කරන්න අවශ්‍ය වෙලාවට පණිවුඩ හුවමාරු කරනවා...මගේ දුරකතන අංකය ඒකට ගබඩා කරලයි තියෙන්නෙ...ඉතින් ඔන්න එතකොට ජොඈන් ඩිං ඩිං ඩිං ගාලා පඩිපෙල දිගේ පහළට දුවගෙන එනවා....නේද තාත්තා ...."

විලී ඔලුව වනනවා හිනා වෙවී...සමහර වෙලාවට පොඩි කෙල්ලෙක් කාලේ ජොඈන් තාත්තා එක්ක හුරතල් වුණ අන්දම විලීට ආපහු මතක් වෙනවා ඇති.මම ඉක්මනින් ගිහින් තාත්තා ගෙ බ්‍රෙක්ෆස්ට් එක හදනවා...එතකොට තාත්තා එයාගේ ෆෝ වීල් වෝකර් එකෙන් හෙමිහිට කිචන් එකට එනවා.අපි පාන් ටෝස්ට් කරලා තේ හදාගෙන කිචන් එක ගාව තියන පොඩි මේසෙට වෙලා කතාකර කර බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා.ඔයා මොකුත් හිතන්න එපා.එයා මූණ සෝදන්නේ කාලා ඉවරවෙලා...බඩගිනි නැතිකරන් ඉන්න ඕනනෙ ඔක්කොටම කලින් නැද්ද තාත්තා .....?"

ආපහු හිනා සාගරයක් day room එක හරහා ගලා යනවා.සැතපුම් දහස් ගාණක් දුර ඉන්න මගේ තාත්තා මට ඒවෙලාවට මතක් වෙනවා.

"තාත්තා වයසට යන්න යන්න එයාට මතකය ටිකක් අඩුවෙන්න ගත්තා.එයා ව බලාගන්න වුණේ බබෙක් වගේ.නමුත් එයාට ජොඈන්ව අමතක වුණේ නෑ කිසිම වෙලාවක...තාත්තා ට බාත් එකට බහින්න අමාරුවෙනකොට මට බාත් සීට් එකක් ලැබුණා හොස්පිට්ල් ටීම් එකෙන්.මම එයාව පරෙස්සමින් නාවලා පුටුවක වාඩිකලාම එයා තනියම රැවුල කපාගෙන දත් මැදගන්නවා"

පුංචි කාලේ දුවෙක්ගේ ඔක්කොම වැඩ කළ තාත්තෙක්ව දැන් දුව දරුවෙක් වගේ බලාගන්නවා.ජීවිතේ හරි පුදුමයි.දුකයි තමයි..ඒත් ලස්සනයි ....කියලා මට හිතෙන්න ගන්නවා....

"තාත්තාගේ ජීවිතේ සුව පහසුවෙන් තියන්න මම සම්පූර්ණ ගෙදරම එයාට ගැලපෙන්න සකස් කරලා තියෙන්නෙ....මගේ අම්මා නැතිවෙලා මාස එකහමාරකින් මට මගේ හස්බන්ඩ් නැතිවුණා..එයාට කැන්සර් එකක් තිබුණා....ඉතින් කිත්මා දැන් අපි දෙන්නාට ඉන්නේ අපි දෙන්නා විතරයි...ඔයා මගෙන් ඇහුවානේ තාත්තා ගෙදර එක්ක යන දවසක කෙයාරර්ස් ලා ඕනද කියල...දැනට එපා කිත්මා...මට එයා වෙනුවෙන් එයාගේ පහසුව වෙනුවෙන් ඔක්කොම කරන්න පුළුවන් ...අනෙක පිටස්තර අය උදව්වට ආවම තාත්තා ජීවත් වෙන්න හුරු වුණ ඒ සුව පහසු ජීවිතේ එයාට නැතිවෙයි...ඒකට මම කැමතිනෑ...."

ජොඈන් වගේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කොයිතරම් වාසනාවන්තද?

ජොඈන්ට එච්චර ලොකු හදවතක් හිමි වුණේ ඒ තාත්තා එයාව ලස්සනට හදපු නිසා නේද?

යුරෝපීය රටක දූදරු දෙමාපිය සබඳතා ආසියාතික පවුල් සංස්ථා වල බැඳීම් තරම් හයිය නෑ කියලා හිතන් උන්න මගේ හිතෙන් ඒ හැඟීම දුරස් කරදමන්න ජොඈන් සමත්වෙනවා.....

"ඔයා තාත්තා ගෙදර එවන්න කලින් විසිට් එකකට එනවානේ කිත්මා.එතකොට ඔයාට මම ගෙදර ඔක්කොම දේ පෙන්වන්නම්...මේ කිව්ව හැමදේම එතකොට ඔයාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් "

සමුගන්න මොහොතෙදි මගෙ අත්දෙකෙන් අල්ලගත්තු ජොඈන්  කියනවා.ඒ දෑත් වල ස්පර්ශයේ තියන ආදරණීය දුවෙක්ගේ උණුසුමත් එක්ක මම සතුටින් හැරී එන්නේ සුන්දර ආදරණීය නිවහනක් බලන්න යළිත් දවසක ජොඈන්ගේ සහ විලීගේ නිවසට යන බලාපොරොත්තුව ඇතිව මම ඔවුන්ගෙන් සමු අරන් ආපසු එනවා.

Thursday, March 21, 2024

මාවතක පා නගන තවත් එක සැඳෑවක



අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක

අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න

පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක

ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....


රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට

හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට

මාවතක පා නගන තවත් එක සැඳෑවක

කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....

Saturday, March 16, 2024

වියපත් නොවන හදවත්

 වියපත් නොවන හදවත්




අපේ රිහැබිලිටේශන් ප්‍රෝග්‍රෑම් එකේ කණ්ඩායම් ක්‍රියාකාරකම් හුඟක් තියනවා.රිහැබ් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් සති හයක් අටක් අතර අපිත් එක්ක ගතකරන වෛද්‍ය පුනරුත්ථාපන වැඩසටහනේදි එයාලා සාමාන්‍ය ජීවිතයට ආපහු අනුගත කරන්න  තමයි ඒ කණ්ඩායම් ක්‍රියාකාරකම් සැකසිලා තියෙන්නෙ.

සමහර අය කෙලින්ම මේ වැඩසටහන් ප්‍රතික්ෂේප කරනවා.

I am not a very social person

ඔන්න ඕක තමයි නිදහසට කාරණය විදියට එහෙම කට්ටි පනින අය දෙන්නෙ.එහෙම වෙලාවට වරකට දෙකකට වඩා එයාලට බල කරන්න අපට බෑ.ඒක ශේප් එකේ යාප්පුවෙන් මිසක බලෙන් ප්‍රතිකාර වලට ගන්න අපට අයිතිය නෑ.

ඉතින් ඒ අතරෙ ඉන්නවා බොහොම කැමැත්තෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එන අයත්.දවල් එකොලහට පටන් ගන්න phyical exercises වැඩ සටහන සකස් වෙන්නෙ එයාලාට රිද්මයානුකූලව ව්‍යායාම් ටිකක් කරවන්න.ලොකුම ලොකු තිරයක සංගීතයක් එක්වෙද්දි වාට්ටු වලින් එක එක්කෙනා day room එකට එනවා.සමහරු ඇවිද්දවගෙන, තවත් අය රෝද පුටුවෙ....එයාලා ට ඉඳගන්න පුටු රවුමට තියල තියනවා 

ලොකු වීදුරු ජනේල වලින් අව්ව පෙරිලා එනවා.එහා පැත්තෙ පුංචි කැලෑ රොදක රොබින් කුරුල්ලො අතුවලින් එහෙට මෙහෙට පැන පැන සිංදු කියනවා.day room එකේ බිත්ති වල වාට්ටුවල නම් වලට අදාල මල් වල පින්තූර.තව කොණක පුංචි පොත් රාක්කයක්...එතකොට ව්‍යායාම කරල ඉවර වුණාම සමූහයක් ලෙසට එකතු වෙන පොඩි games ටිකකුත් අපේ ගාව තියනවා.

තවම හිටගන්න බැරිඋනත් පුටුවෙ වාඩිවෙලා ඉන්න අතරෙත් වාදනය වන හැට හැත්තෑවේ දශක වල ඉංග්‍රිසි සිංදුවලට නටන ඉලක්කමින් වයසට ගියත් හදවතින් තරුණ ටික දෙනෙක් මං ඉස්සරහ තාලෙට පැද්දෙනවා.එයාලා අල්ලන් ඉන්න වෝකර්ස් වල උඩ තියන් ඉන්න අත්වල ලස්සනට කියුටෙක්ස් එහෙම ගාලා මුදු දාල හැඩට එයාල ඉන්නෙ.

එයාලාගෙ තවත් එක කණ්ඩායම් ක්‍රියාකාරකමක් තමයි අපේ breakfast group එක.දවසකට හය දෙනෙක් ...හැමෝම බෙදිලා යන ආකාරයට කාලසටහනට වැටෙනවා.ඉතින් උදේ අටහමාරට එයාලා අපි එක්ක අපේ model kitchen එකට එනවා.මුල් දවස්වල තේ එක හදාගන්න අපි උදව් වෙන්න ඕනෙ.සමහර අයට පොඩි කෙට්ල් එකෙන් වතුර වක්කරගන්නවත් බෑ...පාන් පෙත්තක බටර් ගාගන්න බෑ ....නමුත් එයාලා ටික ටික තමන්ගේ සරල කෑම වේලක් හදාගන්න අපි එක්ක හුරු වෙනවා.ඉන් පස්සෙ ඒ හයදෙනා රවුම් කෑම මේසෙට වාඩිවෙලා කතාකර කර කෑම කනවා.මේක පිටින් බැලුවාම සරල එකක් උනාට ඇත්තෙන්ම පහසු නෑ.නමුත් මේ හැම කෙනෙක්ම ස්වාධීන වෙන්න කැමති නිසා මේ ක්‍රියාකාරකම් වලට එකතුවෙනවා.

අවුරුදු අසූව අනූව වෙද්දිත් තමන් ගෙ වැඩ තමන් කරගන්න ඕන...ළමයින්ට කරදරයක් වෙන්න බෑ කියල හිතන ආච්චි අම්මලා තමා ගැහැණු වාට්ටු තියන තට්ටුවේ වැඩියෙන්ම ඉන්නෙ.ඒ අය එක්ක ගතකරන කාලය ඇත්තෙන්ම හිත සතුටින් පුරවලා දෙනවා.

වයසට ගියත් ක්‍රියාකාරී වෙන්න...සතුටින් ඉන්න...එයාලා මටත් උගන්වනවා....

Sunday, March 3, 2024

තෑග්ග





සතුටු කතන්දර කිහිපයක්ම ලියන්න අතමානයේ තියෙද්දිත් අද අහම්බෙන් සිදුවුණ පොඩි කතාවක් ලියන්න හිතුණා.

දිවා ආහාරයෙන් පස්සෙ ආපහු සැරයක් පේෂන්ට්ස්ලා බලන්න වාට්ටුවට රවුමක් ගිහින් එනවා මම.සමහර අයව දවසට දෙපාරක් බලන්න ඕනෙ නිසා.

ඉතින් ඔහොම යන වෙලාවක එක ආච්චි අම්මෙක් මට අතවනලා කතාකරනවා.එයාට අපි මාරි කියමුකො.සාමාන්‍යයෙන් මාරි කියන්නෙ ටිකක් කේන්තිගන්නට බර එක්කෙනෙක්.ප්‍රතිකාර කටයුතු වලදි බෑ කියාගත්තු ගමන් ඉන්න එක්කෙනෙක්.බොහොම යාප්පුවෙන් ඇවිටිලි කරලා තමයි ව්‍යායාම වලට එක්කන් යන්න ඕනෙ.

ඉතින් ඒ කම්මැලි කම කොහොම වුණත් උදේට දැක්ක ගමන් "හායි කිත්මා..How are you today?" කියලා නම් මුලු වාට්ටුවට ඇහෙන්නම කෑගහන්න එයාට පුළුවන්.

ඉතින් හවස් යාමේ වාට්ටුව හරහා යන වෙලාවේ "Hey kithma ...come here darling.I have something to give you.."

කියලා ඔන්න කිව්වා.මම ඉතින් එයා ලඟට ගියේ මොකක්ද මේ දෙන්න යන්නෙ කියලා බලන්න.එයාගේ අතේ තිබුණේ හැමදාම උදේට වාට්ටුවේ පේෂන්ට්ස්ලාට දෙන්න දිනපතා පුවත්පත...ඒක මෙට්‍රෝ කියල එකක්.

"This is a gift to you from me.."

පත්තරේ මගෙ අතේ තියලා මාරි එහෙම කියනවා.පත්තරයක් උනත් එයා ඒක තෑග්ගක් කියලනෙ දුන්නේ.මම එයාට ගොඩාක් ස්තුතියි කියල පත්තරේ අරගත්තා.

"ඇයි ඔයා ඕක ඉතින් බලන්නෙ නැද්ද?"

එයා මගෙන් අහනවා.මම ඒකත් අරන් ආපහු යන්න හැදුවා විතරයි.ඉතින් හිත නරක් කරන්නෙ කොහොමද ?මම එතනම ඉඳන් පත්තරයෙ පිටු පෙරලුවා.මාරි මගෙ දිහා ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා.එයාගේ මූණෙ පොඩි දඟ හිනාවකුත් තියනවා වගේ.

ඔහ්....දෙයියනේ....මට ඇත්තෙන්ම හිනාවක්  ආවා ඊලඟ පිටුව එක්ක....

"අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මාරි....this mean so much to me.."

මම කිව්වා...

"ඒක දැක්ක ගමන් මට ඔයාව මතක් උනා.මම දන්නව ඔයා ඒක දැක්ක ගමන් ආස වෙන බව..."

එයා කියනවා....

ඉතින් ඒ තෑග්ගෙ පින්තූරයක් මේ එක්ක මම අමුණනවා.මීට වඩා සතුටක් වෙන කොයින්ද ඉතින්...ඒක මාරිට දැනුණ එක මට ඊට වඩා සතුටක්....


ආයේ එන්නම්.


මම 

විසිරි සිහින

Monday, February 26, 2024

Every little helps

 Every little helps




සුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.

ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අනෙක් දණහිස කැඩුණාම ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක්නෙ.

ජෝ ව ඇඳෙන් බස්සලා ඇවිද්දවන්න යන එක වෙනමම යුද්ධයක්.මායි මගෙ ටීම් එකේ භෞත චිකිත්සක සගයායි ඉතින් රටේ තියන තරම් චාටු බස් කියලා ජෝ ව ඇඳෙන් බිමට බස්ස ගන්න උත්සාහ කරනවා....

ජෝ ඒ එක වෙලාවක මෙහෙම අහනවා....මගේ සගයාගෙන්...

"මෙයා ඉතින් Tesco වගේ තමයි කොයිවෙලෙත්..."

ඒ දෙන්නා හක හක ගගා හිනාවෙනවා ඊට පස්සෙ. මම Tesco ගැන දන්නේ එංගලන්තයේ සුපර්මාකට් එකක් කියලා විතරයි...මම ඉතින් බාගෙට කටත් ඇරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා...

"කිත්මා ,ඔයා දන්නවද ජෝ ඒ කිව්ව එකේ තේරුම"

මගේ සගයා එහෙම අහනවා.මම මෙහේ වාඃමාලාවන් එක්ක ටිකක් ටියුබ් ලයිට් කියලා ඔවුන් දන්නවා.

"ඔයා දන්නවද Tesco එකේ ලෝගෝ එකේ තියන වාක්‍යය"

මට එහෙම මතකයක් නැති බව මම කියනවා.ලංකාවේ කාගිල්ස් එකේ "ගෙදර යන ගමන්"කියන එක හුරු උනාට මෙහෙ එව්ව තාම නුහුරුයිනෙ.

"ඒකෙ තියෙන්නෙ every little helps කියලා..මෙයා එහෙම කියන්නෙ ඔයා, තව චුට්ටයි ඔයාට පුලුවන් ....මේ ටික විතරයි...ඔයාට පුලුවන් කියලා උනන්දු කරවන නිසා"

ජෝ මට ඇහැක් ගහලා හිනාවෙනවා.කට්ටකම කොච්චර පෙන්නුවත් එයා වේදනාව දරාගෙනම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදිනවා.ආතරයිටිස් වලින් එන වේදනාව එක්ක සමහර වෙලාවට ඇවිදින වාරුවට ඔලුව තදකරන් එයා වේදනාව අඩුවෙනකල් ඉන්නවා.

"මට දැන් වයස අනූවක්.මම මගේ වයිෆ් නැතිවුණාට පස්සෙ තනියම උන්නෙ.ඔක්කොම වැඩ තනියම කරගෙන..උයාගෙන...ශොපින් කරලා උන්නා.ඒත්  මට ඉස්සරහට කෙයාරර් කෙනෙක් ඕනවෙයි කිත්මා."

ජෝ දුකෙන් වගේ කියනවා.

"ඔයා දන්නවද කිත්මා.මගේ වයිෆ් අවුරුදු දෙකක් වෙනවා නැතිවෙලා..එයාට ඩිමෙන්ෂියා තිබුණා.එයාව බලාගන්න කෙනෙක් ආවා.නමුත් මම තමා හුඟක් එයාව බැලුවෙ"

ජෝ දුකෙන් වුණත් හිනාවෙනව.

"මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ.මමයි වයිෆුයි මෙහෙ උන්නෙ.ඒත් එයාට අන්තිම කාලේ මාවත් මතක නැති උනා කිත්මා"

ජෝගෙ ඇස්වල කඳුලක් වගෙ දිලිසෙනවා.ඩ්මෙන්ෂියා කියන්නේ කොච්චර කටුක අත්දැකීමක් වෙන්න පුළුවන් ද කියලා දන්නෙ ඒකත් එක්ක ගැටුණ, අත්දැකීම් අත්වින්ද කෙනෙක්මනෙ.

දණහිස් වල වේදනාව කතාබහ අස්සේ සමනය වෙන අතරෙ..අතීතයේ සමහර සිදුවීම් කියන ජෝ .....ඊලඟ දවසට සුබ පතලා සමුගන්න මට ආයෙම මතක් කරලා දෙන්නෙ....

Every little helps කියන එක

(ජෝ කියන්නෙ අන්වර්ථ නාමයක්..එයාගෙ නම ඊට වඩා ලස්සන එකක්)


ආපහු එන්නම්....


මම විසිරි 

Sunday, February 11, 2024

පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...

 පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...



අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.

මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආපහු මේ සතියෙ ඇවිල්ලා.ඉතින් බොහොම සතුටින් ටවුන් එකට පයින්ම ආවා.කිලෝමීටරයක් වගෙ දුර.

Chingford කියන්නෙ මට ලඟම ටවුම.ඒකෙ තියනවා පොඩි පුස්තකාලයක්.සාමාජිකත්වය ගන්න හිතාගෙන උන්නාට මගෙ පුස්තකාල ගමන ගැන මටම ශුවර් නැති නිසා මීට කලින් ගිය දවසේ එළියෙ තිබුණ bargain book rack එකෙන් පොත් තුනක් අරන් ආවා....

ආ එදා වුණ වැඩේ ඉස්සෙල්ලම ලියන්නම්කො.පුස්තකාලයෙ සමහර පොත් කාලෙකට සැරයක් bargain sale දානවා.රාක්කෙ තියෙන්නෙ පුස්තකාලයට පිවිසෙන දොරගාව එළියෙන්. අලුත්ම පෙනුම තියන පොත්.සමහරක් විට ඒවායෙ අලුත් මුද්‍රණ ඇවිත් ඇති...නැත්නම් වැඩිපුර නොකියවනවාත් ඇති....කොහොමින් කොහොම හරි පොත් තුනක් පවුමයි.මම නවකතා තුනක් අරගෙන පුස්තකාලය ඇතුලට ගියා.

පුස්තකාලයෙ කාර්‍යමණ්ඩලය සුබ දවසක් පතලා මාව පිළිගත්තා.වස අකරතැබ්බයක් නෙ.මම කාසි මුදල් ගෙනිහිල්ලා නෑ.ගෙනිහින් තියෙන්නෙ කාඩ් එක විතරයි.මම ගැටලුව එයාලාට කියලා ඒ පොත් තුන මා වෙනුවෙන් කොහෙන් හරි තියන්න පුලුවන් ද කියලා ඇහුවා.

"නෑ එහෙම නෙවෙයි.ඔයා මේ පොත් අරන් යන්න.ආපහු මේ පැත්තෙන් එන දාක සල්ලි පුළුවන් නම් දීලා යන්න.කිසි ප්‍රශ්නයක් නෑ"

කවුන්ටරයේ ඉන්න මහත්මිය එහෙම කිව්වා.මට ඒත් හිත නෑ.ලඟපාතක මට මුදල් ගන්න තැනකුත් නෑ.මම එහෙට මෙහෙට හැරෙමින් ඉන්න කොට එයාලා මට නැවත ඒ අදහසම කිව්වා.නමුත් මට තිබුණ ගැටලුව මම ඊලඟ සතියෙම ටවුන් එකට ඒවිද නොදන්න එක.මොකද පසුගිය සතිවල තිබුණෙ පුදුම සීතලක් නිසා.නමුත් ඒක ගැටලුවක් නොවෙන බව එයාලා පුන පුනාම කිව්වා.

ඉතින් එදා මම පොත් තුනක් අරන් ආවා.ඇත්තෙන්ම සති දෙකකට පස්සෙයි මේ අද මම ආපහු ටවුමට ගියේ.

අදත් bargain රාක්ක පීර පීර මම  පොත් තුනක් හෙව්වා.ගෙනිච්ච පොත් තුන කියවලා ඉවරත් නෑ. මට එහා පැත්තෙන් පොත් තෝරමින් උන්නෙ වයසක මහත්මයෙක්.කුදු ගැහුණ කෙට්ටු ශරීරය රාක්ක වලට හරවමින් අතේ තියන සැරයටියත් හසුරවමින් ඔහු පොත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.ඒවා බෑග දෙකකට දාගෙන පුස්තකාලය ඇතුළට යන්නට මගෙන් උදව් ඉල්ලුවා දොර හැරගන්න.මාත් ඒ උදව්ව කරලා පොත් තුනක් තෝරාගෙන පුස්තකාලය තුළට ආවා.

ඉතින් මේ පාරත් පවුමට පොත් තුනයි.සති දෙකකට පෙරාතුව සිදුවීම කියලා පවුම් දෙකක් කවුන්ටරයේ උන්න මහත්මිය අත තැබුවාම ඇය මට හුඟාක් ස්තුති කලා. 

ඔබේ අවංක බවට අපි ස්තුති කරනවා.....

තව අපූරු දෙයක් ඔන්න ඒ අස්සේ මම දැක්කා ....

ඉතින් පුස්තකාලයෙ මේස දෙකක් එකතුකරලා එතන අද වැඩසටහනක්.මාත් පැත්තකට වෙලා බලා උන්නා ටිකක් වෙලා.විවිධ වයස් වල කාන්තාවන් දහපහළොස් දෙනෙක් වූල් ගොතනවා.කෙනෙක් ඔවුන්ට උපදෙස් දෙනවා.ඔවුනොවුන් අතරේ සංවාද ,සිනාවන් හුවමාරු වෙනවා.

මෙහෙ පුස්තකාලවල සතියේ විවිධ දිනවල විවිධ වයස් කාණ්ඩවල අයට ගෙතුම්, චිත්‍ර, creative writing, උද්‍යාන වගා... ඒ වගේ වැඩසටහන් (පැයක දෙකක වගෙ) කෙරෙනවා.කෝපි කෝප්පයක්, රස කැවිල්ලක් හැම කෙනාගෙම ඉස්සරහ..

ඒ දේ බලා ඉන්න එකත් හරිම සතුටක්.මම බස් එකට ආවේ...බඩුටික ගන්න සුපර්මාකට් එකට යන්න.එතනින් බස් එකට යන්න ආවේ අර පොත් බෑග් දෙකක් අරන් ආව මහත්මයා.ඔහුට බස් එකට නගින්න බර පොත් බෑග් දෙක එක්ක අමාරුයි.මම එක බෑගයක් අරන් ඔහු පසුපසින් නැග්ගා.

මට ස්තුතියි කියලා ඔහු බසයේ අසුනකට වුනේ එයාට උස්සගන්න බැරිතරම්ම බර පොත් බෑග දෙකත් අරගෙන.

ඉතින් මට මැවිලා පේනවා....අද හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් අතේ තියාගෙන ඔහු පොත් කියවනවා.මගෙ මුහුණේ මේ දැනුත් ඒ හැඟීම එක්ක ඇති වුණ සිනහවක් ඉතුරුවෙලා තියනවා.

❤️❤️

පින්තූරය අන්තර්ජාලයෙන්