Monday, April 3, 2023

21කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 21 කොටස

20 කොටසට මෙතනින් 20



ආපසු නවාතැන් ගත් තැන බලා යන ගමනේදී විශ්ව වැව් බැම්මක් මතට වාහනය ධාවනය කලේ පාරමී විමතියෙන් බලා ඉඳිත්දීය.

"ඔයා එදා මාව සප්‍රයිස් කලා නෙ කොළඹ වැවක් පෙන්නල.මෙන්න අද මම ඔයාට පෙන්වනව මෙහෙ වැව්."

විශ්ව හිනාවෙමින්ම පැවසුවේය.

පරක්තෙරක් නොපෙනෙන වැව් තලයේ සඳඑලිය රටා මවමින් තිබුණි.

"බහින්න."

රථය තුල සිටම වැව් දිය දෙස බලාඉන්නා පාරමීට විශ්ව පැවසුවේ ඔහුද එහා පසින් බසිමිනි.පාරමී ඈත මෑත බැලුවේ රාත්‍රී අඳුර බොහෝ සෙයින් ගලා එන හෙයිනි. දුරින් දුරට වන්නට තැනින් තැන තවත් අය පහන් එළි අතරේ පෙනෙයි.

පාරමී වාහනයෙන් බැස විශ්ව වෙත ගියාය.ඔහු ඇය සමගින් රිය ඉදිරිපසට වී මොහොතක් නිහඬව බලාඋන්නේය.

"මොන තරම් ලස්සනයිද විශ්ව."

පාරමී මිමිණුවාය.ඈ උන්නේ අවට සුන්දරත්වය මුසු නිහඬබවින් මත්වෙමිනි.විශ්ව මොහොතක් ඇය දෙස බලාඋන්නේය.ඇය සතුටිනි.ඉතින් තමාද ඉන්නේ ඇත්තෙන්ම සතුටිනි.

පාරමී දෙසට හැරුණ ඔහු එක්වනම ඇයගේ ඉඟ දෙපසින් අල්ලා ඔසවා වාහනයේ බොනට්ටුව මත හිඳවීය.පාරමී අනපේක්ෂිත ඒ ක්‍රියාවෙන් තිගැස්සුණ තරමට කෑගැසෙන්නට ද මොහොතක් තබා දෑතින් මුව වසා ගත්තාය.විශ්ව සිනාසුණේ දඟකාරකමක් කල කොලුවකු සේය.

"මොකක්ද මන්දා කරන්නෙ...මං තව ටිකෙන් මෙතන හූ කියනවත් එක්ක."

පාරමී අතදිගු කොට පහරක් ගැසුවේ නොමනාපයක් නොරැඳි වතිනි.

"චුට්ටක් ඔහොම ඉන්නකො.මම බඩුවක් අරන් එනකල්."

විශ්ව ඇයවෙතින් මෑත් වූයේ වාහනය පසුපස දෙසටය.පාරමී ඔහු ගිය දෙස දෑස් නොපියා බලාඋන්නාය.

ගිය මොහොතින්ම විශ්ව යළි මෑත්වූයේ ගිටාරයක් ද රැගෙනය.

"අන්නේ....විශ්ව....."

පාරමී කෑගැසුවේ එය දුටුවනම ඇතිවූ සතුටිනි.මේ බොහෝ දේ තමා රහසින් ආසා කල දේය.ඉතාම තුරුණුවියේ පටන් හිතේ තිබුණද කාලයා සහ ඉරණම ඇයගෙන් ඈත් කල දේය.

"සිංදුවක් කියමුද?"

විශ්ව ඇසුවේ ඇය පසෙකින් වාහනය මත හිඳගනිමිනි.ඇත්තෙන්ම සඳ එළිය මේ සොඳුරු රූ මත අපූරු රටා මවමින් තිබුණි.

විශ්ව ගිටාරය මොහොතක් සුසර කරමින් පාරමී දෙසම බලාඋන්නේ ඇයගේ සිතේ මැවෙන සතුට වටහාගනිමිනි.

"ඔයා කියන්න මම අහන් ඉන්නම්."

පාරමී පැවසුවාය.විශ්ව මොහොතක් දෑස් පියා කල්පනා කලේය.ඉන් පසු තත් හඬවමින් ගයන්නට විය.

මා සනසා

මා නළවා

සුරංගනාවක් හොරෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී

සුරංගනාවක් හොරෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී.....

විශ්වගේ ගැඹුරු ස්වරය ගිටාරයේ හඬ හා මුසුව ගත්තේ අවටම වශීකරගෙන මෙනි.ඒ මොහොතේ අවට ලෝකයම එක තැන නැවතුණිදැයි පාරමීට සිතුණ තරම් ය.අඩුම තරමේ මඳ සුළඟ හමායන්නාවූ සිලිසිලියවත් ඇයට නෑසුන තරම් ය.

විශ්ව දැහැනකට සමවැදුණාසේම ගීය ගයන්නට විය.ඔහු කෙතරම්ම ගීයට ආශක්ත වීද යත් ඇස් පියන් පවා වැසී ගොසිනි.එතරම්ම උමතුවක් ඒ ගීයේ ගැබ්ව තිබුණි.

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා

ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යාකලා.....

ගිටාරයද ඔහු හඬ හා ඒකාත්මික වෙමින් තිබුණි.පාරමී දෑස් දල්වාගෙනම ඔහු දෙස බලාඋන්නාය.

හෙටත් සඳ උදාවී රැයක් පැමිණිලා

සිහින ලොවට යා...වී....සුරඹ මා සොයාවී........

අවසන් තත් හැඬවීමෙන් පසුම ගිටාරය නවතා විශ්ව දෑස් හැරියේය.පාරමී ඇස් නොපියා ඔහු දෙසම බලාඉන්නා අයුරු දැක විශ්වගේ මුහුණේ නැගුණේ කිසිදා නොදුටු තරම් සුන්දර සිනහවකි.

"පාරෝ."

විශ්ව ඇය අමතන තෙක්ම පාරමී උන්නේ උමතු දැහැනේමය.ඇය තිගැස්සී මෙන් ඔහු දෙස බැලුවාය.

"සිංදුව දිගේ කොහෙද ගියේ?"

විශ්ව ඇසුවේ සිනාසෙමිනි.

"කොහේ ගියාද මන්දා විශ්ව.තව ටිකෙන් මම අතරමං වෙනවා.අනේ විශ්ව මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.මට නම් හිතාගන්න බෑ..."

පාරමී ඔහේ කියවාගෙන ගියාය.

"මේක පැත්තක දාල තිබුණා අවුරුදු ගාණක්.මං ඉස්සර අපේ කොල්ලන්ගෙ පාටීස්වල කොච්චර සිංදු කිව්වද පාරෝ.ඒ ඔක්කොම මට එපාවුනා අර සිදුවීමෙන් පස්සෙ.මේ ගිටාර් එක විතරයි පැත්තක දාල හරි මට ඉතුරු වුනේ.අනෙක් ඔක්කොම පොළවෙ ගහල කුඩු කලා ඒ දවස්වල."

විශ්ව ඈත වැව් දියට යොමු වූ නෙතින් පැවසීය.කෙනෙක් මේ සා සුන්දර ජීවිතයකින් ඉවත් කල ඉරණමට පවා කෙතරම් වෛර කරන්නේදැයි පාරමීට සිතාගත හැකි විය.

"මං ආයෙ ජීවත් වෙනවා කියල මට දැනෙන්නෙ මෙන්න මෙහෙම උනාම.නිසල් මම අපේ යාලුවො සෙට් එක ඉස්සර ට්‍රිප් ගියා සෑහෙන්න.ඒ හැම තැනදිම සිංදු කොච්චර මං කියන්න ඇත්ද .බාබකියු පාටි දාගෙන මොන තරම් අපි පිස්සු නැටුවද.? මට ආයෙ එහෙම ඉන්න ඕනෙ පාරෝ.මට මාව හොයාගන්න ඕනෙ ආපහු."

විශ්ව පැවසුවේ හැඟීම්බරවය.ඔහුගේ දෑස වැව් තලයෙන් මිදී මොහොතකට පාරමී ගේ දෑස හා එක්ව ගියේය.

යමෙකුට ජීවිත කාලය තුල ඇතැම්විට තමා තමන්ට මුණ ගැහෙන වාර අවම වන්නට බොහෝ විට ඉඩ ඇත.එහෙත් විශ්වාස කරන්න....ඔබට ඔබ හමුවන මොහොතේදී මෙලොව අන් සැමටම වඩා ඔබ කෙතරම් සොඳූරුදැයි ඔබට වැටහෙනු ඇත

බොහෝ කලකට පෙර තමා සිය දිනපොතේ පිටුවක එලෙස ලියා තැබූ අන්දම පාරමීට සිහිවිය.තමන්ටද තමන් අතහැරී ගිය කාලයක් තිබුණා නොවේදැයි පාරමී සිහිකලාය.නොකා නොබී හඬමින් ඇඳටම වී ගතකල ඒ අඳුරු යුගයෙන් තමා මිදී ආවේ අම්මාගේ ආදරයේ මහිමයෙනි.

එසේම අඳුරු වලාවක් මැද අකුණක් ගසන්නා සේ තමන් යනු එසේ හැර දමන්නට නොවටිනා ප්‍රාණයක්දැයි තමාටම එදින සිතුණ අන්දම පාරමීට මතකය.අද තමා මේ ඉන්නේ ඒ තමන්ටම ප්‍රේම කරන්නට පටන් ගත් ගමනේය.දැන් සිය ප්‍රේමය, ජීවිතය අතරමග මානසිකව කඩා වැටෙන බොහෝ සිත්වලට ඇය වෙතින් මග කියන්නට බෙදීයයි.

"අපි ඒ දේ කරමු විශ්ව...ඔයාට පුළුවන් ආපහු පරණ විශ්වම වෙන්න...ට්‍රස්ට් මී...යූ විල්..."

පාරමී පැවසුවාය.විශ්ව යළි ගිටාරයේ තතක් හඬවා අලුත් ගීයකට මුල පිරුවේ ඒ හිතට දැනුණ සැනසුම් බවත් සමගමය.

රෑ අඳුර බෝවන්නට පටන් ගන්නා විට සිංදු එක දෙක එක්වී ගොසිනි.වේලාව යනවා දැනුනේද නැති තරම්ය.

"කෙල්ලෙ ....අද මෙතන නොකානොබී සිංදු කියන්නද මට වෙන්නෙ..අපි යමුද දැන් අටත් පහුවෙලා."

විශ්ව ගීය හමාර කොට පාරමී දෙස බැලුවේ එසේ කියමිනි.

දැහැනකට සමවැදී මෙන් ගී අසනවා මිසක පාරමීට කනබොන සිහියක් තිබුණෙම නැත.එහෙත් රෑ අඳුර බෝවන විට නොදන්නා පළාතක මෙසේ ඉඳීමද අනුචිතය.එහෙයින් ඇයද ආපසු යාමට එකඟ වූවාය.

විශ්ව ගිටාරය නැවත වාහනයට දමා ඇය වෙත විත් බලා උන්නේය.පාරමී දෑත් දිගුකලේ ඇය බස්වන මෙන් ඉල්ලාසිටිමිනි.විශ්ව මඳක් ඈතට වී සිනහසෙමින් ඇය දෙස බලාඋන්නේය.

"අනේ විශ්ව මොකක්ද අප්පා..හිනානොවී බස්සවන්නකො මෙතනින් මාව.මේක උසයිනෙ."

පාරමී නෝක්කඩු කියන්නීය.විශ්ව ඈ වෙත විත් දෑතම පෑවේ කුඩා දරුවකු ඔසවා ගන්නට මෙනි.පාරමී ඒ දෑතේ එල්ලුණාය.

"පුලුන් ගොඩක් වගෙ...බරක් ඇත්තෙම නෑ..."

පාරමී ඔසවා වටයක් කැරකැවූ විශ්ව ඇය බිම තබමින් පැවසීය.

              

ආපසු නවාතැන් ගත් හෝටලය වෙත පැමිණුන පසු රාත්‍රී ආහාරය ගැනීමට අවන්හල වෙත දෙදෙනාම ගියේ ඒ වන විටත් රාත්‍රී නවය පසුව ගොස් තිබූ හෙයිනි.

"අනම් මනම් කාලා බඩගිනිත් නෑ."

පාරමී සුප් බඳුන තොල ගාමින් පැවසුවාය.

"අපෝ කෑවා තමයි...ඒ කෑවෙත් මමනෙ වැඩිහරියක්."

විශ්ව ඇයට සිනහාවෙමින් පැවසුවේය.

"හෙට කොහෙද යන්නෙ අපි."

පාරමී විශ්වගෙන් ඇසුවේ ආහාරගෙන අවසන්ව කාමර වෙත පියමනිනා අතරේය.

"හෙට ඕන්නම් මිහින්තලේ යන්න පුළුවන් ..නැත්නම් අනුරාධපුර ම එහෙට මෙහෙට ටිකක් ගියහැකි"

"මිහින්තලේ යමු."

පාරමීගේ කැමැත්ත වූයේ ඒ ගමනටය.

"හැබැයි මගදි කකුල් රිදෙනව කියල කුරු කුරු ගාන්න බෑ හරිද?මට අලිබබ්බු උස්සන් යන්න බෑ."

විශ්ව ඇයගේ කණක් සෙමින් මිරිකමින් කීවේය.

"අනේ යන්න අනේ...මට හොඳට ඇවිදල පුරුදුයි."

පාරමී බොරු නොමනාපයක් වතට ආරූඪ කරගනිමින් කීවාය.

"නිදිමතද පාරෝ?"

විශ්ව කාමරයට යන කොරිඩෝරයේ දී ඇසුවේය.ඇත්තෙන්ම නිදිමතක් අහලක හෝ නැත.සිත දවස පුරාම තිබුණේ සතුටින් හෙයින් විය යුතුය.පාරමී හිස දෙපසට වැනුවාය.

"එහෙනම් ටිකක් කතාකරමුද? ගිහින් වොෂ් දාගෙන චේන්ජ් එකක් දාන් එන්න මේකෙ රූෆ්ටොප් එකක් තියේ.අපි යං ඒකට."

විශ්ව පැවසුවේ පාරමී දෙසම බලාගෙනය.එයට හිසවනා එකඟවූ පාරමී කාමරයට වැදුණේ ඉක්මනින් ආපසු එන්නටය.

නාන කාමරයට වැදුණ පසු පාරමී දවසේ සිදුවීම් සිහිකරමින් ඇඟසෝදාගන්නට කරාමය විවෘත කලද වෙනත් කල්පනාවක උන් හෙයින් හිසට දියපහර වැටෙන තුරුම ඇයට කල්පනාවක් නොවීය.

අපොයි...දැන් තෙමිලා ඉවරයි ..නාගෙනම යනවා..

පාරමී ලහිලහියේ නාගත්තාය..

සරල ඇඳුමකින් සැරසුණ පාරමී ගෙල දෙපසට මෘදු සුවඳැති විලවුන් බිඳක් තවරා ගෙන විශ්වහට ඇමතුමක් දුන්නේය.

"මම රෙඩී...එන්න පාරෝ."

විශ්වගේ හඬ එහාපසින් ඇසුණේ දොරට තට්ටුවක්ද සමගිනි.

"බබෙක් වගේ...සුවඳ..නෑවද මේ මහ රෑ."

විශ්ව තරවටුකලේ හරියටම පොඩි දරුවකුහට තරවටුකරන්නාක් මෙනි.පාරමී සිනාවී ඒ වදන් ඉවසුවාය.

පාරමී ද සමගින් පියගැටපෙළ නගින විශ්ව හට ඉදිරියට හමුවූයේ හෝටල් කලමනාකාරවරයාය.

"සර් කොහෙටද යන්නෙ.?"

ඔහු පාරමී දෙස ද සිනහවකින් බලා ඇසුවේය.

"අපි රූෆ් ටොප් එකට යන්න කියලා."

විශ්ව ඔහුට පිළිතුරු දෙමින් පැවසීය.

"අනේ සොරි සර් අද එතන පොඩි ඔෆිස් ක්‍රවුඩ් එකක් ඇවිල්ල පාටි එකක්.පිරිමි අය ඉන්නෙ.ලිකර් එහෙමත් යූස් වෙනව.ඉතින් මැඩම් එක්ක මේ වෙලාවේ එතනට යන එක නම් එච්චර හොඳ මදි.මම සර්ට කියන්න ඕනනෑනෙ ඉතින්."

කලමනාකාරවරයා සමාව අයදින ස්වරයෙන් පැවසීය.විශ්ව පාරමී දෙස බැලුවේ යටිතොල නොපිට හරවමිනි.

"එහෙනම් අපි යමු..මෙහෙම සිටුවේශන් එකක එතන ඉන්න බෑනෙ පාරෝ."

විශ්ව ඇයගේ උරවටා අත් යවමින් ඇයව ආපසු හරවා ගත්තේය.

"පාරෝ...if you don't mind.."

ඔහු ආපිට එන අතර අතරමග කතාව නවතා ඇය දෙස මොහොතක් බැලුවේය.

"Can we have a chat either in your room or mine...."

විශ්ව ගැන අහිතක් සිතන්නට කිසිත් කාරණා නැත. පාරමී නිහඬව සිනාවූයේ ඇයගේ කාමරය දෙසට අතදිගු කරමිනි.විශ්ව ඇයගේ අත මොහොතක් අල්ලාගෙන බලා උන්නේය.

"Thank you girl...for trusting me this much.."

විශ්ව දැඩි ලෙසම හැඟුම්බර හඬින් පැවසීය.

"ඔයා මගේ හොඳම යාලුවා විශ්ව...ආයෙ ඒ ගැන කියන්න දෙයක් නෑ...එන්න ඇතුලට.."

පාරමී ඉස්සර වූවාය.

කාමරයේ බැල්කනියට විවර වූ දොරට එහා පසින් වේවැල් පුටු දෙකක් තබා තිබුණි.විශ්ව එහි හිඳගත් පසු පාරමී මොහොතක් බලාඋන්නාය.

"Shall we have a coffee ?"

පාරමී ඇසුවේ අසුනෙන් නැගී හිඳිමිනි.

විශ්ව හිස වනා අනුමැතිය දුන් පසු පාරමී ඔහු වෙතින් කාමරය තුළට නික්ම ගියාය.

අහස නිල් පැහැයෙන් දිදුලන්නේ වලාකුළු අවම හෙයිනි.සඳ අහස පුරා අපූරුවට පායා ඇත.විශ්ව හිස පිටුපසට අත්බැඳ මොහොතක් උන්නේය.

අසල කුඩා මේසය මතවූ පාරමී ගේ ජංගමයේ කෙටි පනිවුඩයක් ආ හෙයින් තිරය එළියෙන් බැබලුනි.එහි මුහුණතේවූ සේයාරුව දුටු වනම විශ්ව තිගැස්සී ගියේය.

ඔහු වහා පාරමීගේ ජංගම දුරකතනය අතට ගත්තේ ඒ රුව යළි මැකෙන්නට පෙරය.ඒ හා සමගම පාරමී කෝපි කෝප්ප දෙකද රැගෙන බැල්කනියේ දොරෙන් මතුවූවාය.

විශ්ව ජංගමයේ ඇති රුව සහ පාරමී දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.පාරමී ඇය අතවූ කෝපි කෝප්පය විශ්ව අත තබා සිය ජංගම දුරකතනය ගෙන ඔහු බලා උන් මුහුණත දෙස මොහොතක් බලා සිනාවී එය පසෙක තැබීය.

"ඇයි එහෙම වුණේ ?"

විශ්වගේ හඬ පුරා පැතිරුණේ ශෝකීබවකි.

"ඒක දිග කතාවක් විශ්ව."

පාරමී සිනාවූයේ කිසිදු ගණනකට නොගෙනය.

"මට කියන්න බැරි එකක් ද ?" විශ්ව ඇසුවෙ පාරමී දෙසම නෙත් යොමා ගෙනය.පාරමී හිස දෙපසට වනා හිනැහුණේ ඉතා සැහැල්ලුවෙනි.

"කියන්න බැරි මොකුත්ම නෑ විශ්ව.ඒත් අපි ඉස්සෙල්ලා කතාකරන්න ඕනෙ ඔයා ගැන.ඔයාගේ ගැටලු ගැන.මේක විසඳුණ ප්‍රශ්නයක් මගෙ ජීවිතේ .ඉතින් ඒක වෙන වෙලාවක ඔයාට මම කියන්නම්"

පාරමී පැවසුවේ කෝපි බඳුන තොලගාමිනි.

"හ්ම්ම්."

විශ්ව නිහඬවම ඇය දෙස මොහොතක් බලා උන්නේය.දෙවුරට කඩා හැලෙන කෙටි කොණ්ඩය පාරමී අතින් පසෙකට කරමින් අහස දෙස බැලුවාය.

"ඉස්සර අම්මා මා එක්ක ගෙදර මිදුලේ තියන බංකුවට වෙලා සිංදු කියනවා විශ්ව.අහසෙ තරුයි හඳයි කණාමැදිරියෝයි පෙන්න පෙන්න...තාත්තා නැති එක අම්මාට කොච්චර දැනෙන්න ඇත්ද කියල මම දැනගත්තේ අම්මා එක පාරක් සිංදුවක් කියල කඳුළු බේරි බේරි ගෙට ගියාම.හුඟක් පුංචිකාලෙදි උනත් මට ඒ දුක දැනුණා."

පාරමී අතීත මතකයක් ගෙනහැර මිමිණුවාය.

"ඔයා අහල තියද මාලනී බුලත්සිංහල කිව්ව...

මා එක්කලා අමනාපව වී දබර

දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර සිංදුව...අන්න ඒක...අදටත් අහන කොට මට මාරම දුකක් එනවා විශ්ව.ඒක සියයට සියයක් අම්මගෙ තාත්තගෙ කතාවට නොගැලපුනත් තාත්තා මැරුණට පස්සෙ අම්මට කොච්චර තනිකමක් දැනෙන්නට ඇත්ද කියල මට හිතුණා.බැඳීම් කියන දේවල් මිනිස්සුනට ඇතිවෙන්න ඕනෙ සතුට සැනසීම ගේන්න විශ්ව. නැතුව නාස්තිවෙලා විනාශ වෙන්න නෙවෙයි..."

පාරමී උදාහරණයේ අගට තමාට පාඩමක්ද කියාදුන් බව විශ්වට වැටහුණි.

"මං වටේ තිබ්බ ඔක්කොම බැඳීම් මට ගෙනාවේ දුකක් වේදනාවක් කලකිරීමක් විතරමයි පාරෝ. මට දුක මම නාස්තිවුණ එකට.නිසල් වගේ හොඳම යාලුවො මගෙ වටේ ඉද්දිත් මම නාස්තිවුනා.වෙන කොල්ලො නැතිවෙන්නෙ නාස්තිවෙන්නෙ යාලුවො නිසානෙ...මගෙ යාලුවො ඔක්කොම බැලුවෙ මාව ගොඩගන්න...ඒත් ඒක මගෙම වෙලාව"

විශ්ව පැවසුවේ මහත් වේදනාවෙනි.

"ඒ කාලය දැන් ඉවරයිනේද විශ්ව? කෙනෙක්ට තමන්ගෙ වැරදුන තැන් වැටහෙනව නම් ඒ තැන්වලින් මිදෙන්න ඕන කියල හිතෙනවනම් අන්න ඒ insight එකම ඇති දිනන්න.අපි අතීතය මත්තේ කම්පා වෙවී නොඉඳ අද ඉඳලා ජීවිතේ ඉස්සරහට යන්නයි ප්ලෑන් කරන්න ඕනෙ."

පාරමී පැවසුවේ මහත් දයාර්ද හඬිනි.

ඔව් පාරෝ...මම මේ ටිකේම නිසල් එක්ක අයෙ ප්ලෑන් කලේ මගේ ඩ්‍රීම් කම්පැනි එක අලුත්ම විදියට ආයෙ හදන්න.මට මගෙන් නැතිවුනේ කම්පැනි එකක් විතරයි.ඒත් මගෙ skills මගෙ commitments මගෙ knowledge ඔය ඔක්කොම තාම මගෙ ළඟ.අලුතින් ම අලුතින් ම මම ඒක ආයෙ හදනව."

විශ්වගේ හඬෙහි වූයේ පුදුමාකාර උද්‍යෝගයකි.පාරමී මහත් සතුටකින් ඒ වත දෙස බලාඋන්නාය.

"මගෙ ජීවිතේ achievements වලදි මට ඒවා කියල සතුටු වෙන්න ඔයාගේ අම්මා වගෙ අම්මෙක් උන්නෙ නෑ පාරෝ.කිසිමම දේකින් අපෙ අම්මා සැහුණෙ නැති තරම්.අද මට ඔයා එක්ක මේ ප්ලෑන්ස් ටාගට්ස් ගැන කියනකොට ඒ අඩුව නැතිවෙලා යනවා වගෙ දැනෙනව.ඔයා, ඔයාගෙ යාලුකම මට ජීවිතේ ලැබුණ හොඳම ගිෆ්ට් එකක් පාරෝ..."

විශ්ව පාරමී ගේ අත්දෙකින්ම අල්ලාගත්තේය.

"මටත් හුඟක් සතුටුයි විශ්ව.ඔයා phoenix කුරුල්ලාගෙ කතාව දනාවනෙ.අන්න ඒ වගේ ඔයත් අලු යටින් ගිනි යටින් ආයෙ නැගිටින්න ඕනෙ.මේ රටේ ඉන්න හොඳම ව්‍යවසායකයා වෙලා ඔයා පෙන්වන්න ඔයාට මොකුත්ම නැතිවුනෙ නෑ කියනෙක."

පාරමී පැවසුවේ ඉමහත් තුටිනි.

"හොඳයි දැන් එහෙනම් නිදාගම්මු.රෑත් වෙලානෙ ...හෙට අපි කීයටද මෙහෙන් යන්නෙ."

විශ්ව අසුනෙන් නැගී සිටිමින් පැවසුවේය.

"බ්‍රෙක්ෆස්ට් ගත්තු ගමන්ම යං නේද ?"

පාරමී ඔහු පසුපසම ගමන් කරමින් ඇසුවාය.

"ඔව් නැත්නම් අව්ව වැටෙද්දි අමාරුයි ...අපි එහෙම කරමු...එහෙනම් ගුඩ්නයිට් පාරෝ...have a nice sleep..."

විශ්ව කාමරයේන් පිටට ගොස් දොර අසල රැඳෙමින් පැවසුවේය.පාරමී ඔහුට සුබ රැයක් පතා ආපසු හැරී ගියාය.

   ********************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)


No comments:

Post a Comment