Friday, January 26, 2024

එලී

 


"ඔයා දන්නවද මම මේ ගෙදර යන්නෙ මාස තුනකට පස්සෙ..."

එලී වාහනයේ පිටුපස අසුනේ ඉන්න මා දිහාවට එබිලා බලමින් කිව්වා.ඇගේ ඇස් දෙක සතුටින් බබලනවා.තමන්ගේ ගෙදරින් මාස තුනක් ඈත්වෙලා ඉන්න එක එලීට ලොකු දුකක්....සාංකාවක්....

මාස හයකට එහා ගෙදරින් ඈත දුරු රටක හුදෙකලාවේ ඉන්න මගෙ හිතත් නිකම් හීන් වේදනාවකින් ඔද්දල් වුණා....

ඒත් මම එලී දිහා බලලා හිනාවුණා.....

"ඔයාට ගියාම පෙනේවි...ඒක පරණ ගෙයක්....ලොකු එකක් නෙවෙයි....ඒත් මං එතනට හරිම ආසයි ...."

එලීගෙ ඒ ලස්සන ගේ ගැන මම හුඟාක් දවස් විස්තර අහලා හුරුයි ....ගේ ඉස්සරහ තියන ලොකු උද්‍යානය ....ඒක ඔක්කොටම පොදු එකක්....වසන්තයේදි මල් පිරිලා තියන උද්‍යානය ගැන එලී කිව්වේ හරිම ආසාවෙන්....

"ඔයාට බලන්න මල් නම් මේ දවස්වල නෑ....."

එලී හයියෙන් හිනාවෙනවා....ඒ හිනාවේ තියෙන්නෙම සතුටක්....

"ඔයා දන්නවද ...මම සතියකට පාරක් නැවුම් මල් අරන් එනවා ටවුන් එකට ගිහින්....මං හරිම ආසයි කාමරේ, සාලේ,කුස්සියේ අලුත් මල් දකින්න....ඒවායෙ පාට ,සුවඳ ...මට හරිම නැවුම් ගතියක් අරන් එනවා.....මං ඔයාට කියල දෙන්නම් ඒ මල් සතියක් කල්තියාගන්න හැටි... "

එලීගේ නිවහනට රිය ධාවනය වෙනවා.....මාත් එක්ක එලී රියෙන් බැහැලා ගෙදරට යනවා...ස්වයංක්‍රීයව ඇරෙන දොරෙන් ඇතුල් වෙලා අපි ගෙට යන්න කලින් එලී මට උද්‍යානය පෙන්වනවා.....

"තාම කොළ පාටයි...පේනවා නේද...."

කොළ එකක්වත් නැති ඕක් ගහක් මැද තියාගෙන කොළ පාට උද්‍යානය හිනැහෙන්න ගන්නවා...

එලීගෙ ගෙදර තියෙන්නෙ දෙවනි තට්ටුවෙ ...තට්ටු තුනක මහල් නිවාසයට විදුලි සෝපානයක් නෑ...අපි හෙමින් හෙමින් උඩට නගිනවා ..දෙවනි මහලේ කෙටි ජනෙල් තට්ටුව මත ලස්සන සකියුලන්ට් වර්ග, පතොක් වර්ග....

එලී කියන්නෙ මමමද මේ...කියල හිතෙන ගාණට මට ඒ දේවල් සමීපයි....

"ඔයත් ආසද...? ඇතුළක වවන්න පුළුවන් පැල වර්ග තියෙන්නෙ ටිකයි මෙහෙ..."

එලී උඩට නගින ගමන් කියනවා ..එලීගෙ ගේ ඇතුල හරිම උණුසුම්....

ඇස් වලට සෞම්‍ය වින්ටේජමය නිවහනක්...

"මේ පාටවල් වලට හුඟක් අය ආස නෑ. ..ඕල්ඩ් ෆැශන් කියල ...ඒත් මම ආසයි ..."

මුලුතැන්ගේ අපූරු කොළ සහ සුදු පාට සංකලනයක්....කෝප්ප පීරිසි ඔක්කොම මල් සැරසුම් දරන ඒවා .....

සාලය හරිම සුව පහසු සෝපාවක් , කෙටි අසුන් කීපයක්, ලස්සන කුෂන් ගොඩක්...ගිනි උදුනක්.....

මම හීන ලෝකයක් දකිනවා වගෙ.....

එතනින් එහාට චූටි බැල්කනියක්...බැල්කනිය පුරාටම සීත කාලයෙත් මල් දරන මල් පෝච්චි ටිකක් එක්ක හර්බ්ස්...මිංචි,රෝස්මරී....පඳුරු....ඒ අස්සට ලස්සන උද්‍යාන සැරසිලි......


මම ආසාවෙන් බලා ඉන්නවා....

ගේ තැනින් තැන කෘතිම මල් පොකුරු...හැබැයි ඒවාත් ස්වභාවික මල් තරම්ම ලස්සනට..වින්ටේජමය බඳුන් වල.....

"තේ එකක් බොමුද..."

එලී අහනවා....

"මාස තුනකට පස්සෙනෙ මේ මගෙ කුස්සියෙ මම උයන්නෙ...ඔයා දන්නවද මම සතියට දවස් හයක්ම ෆ්‍රෙශ් මීල්ස් ගන්නෙ...එක දවසයි ෆ්‍රෝසන් ෆුඩ්ස් ගන්නෙ ..මම උයන්න හරිම ආසයි...."

එලී ගෙ ලෝකය හරි ලස්සනයි ....එයා ඉන්නෙ තනියම....වෙන කාවවත් තනියට එනවට එයා අකමැතියි...

"මට මාව බලාගන්න පුළුවන් ....වෙන කෙනෙක් මේ ගෙදර ඉන්නකොට මට මේ වගේ නිදහසේ ඉන්න අමාරුයි ...."

එලී ආපහු එන ගමන් කියනවා...ලබන සුමානේ එලී අපිත් එක්ක ගතකළ කාලය අවසන් කරලා ආපහු රෝහලෙන් ගෙදර යනවා....ඉතින් ගෙදර යන්න කලින් එයාව ගෙදර එක්කන් ගියේ එයාට ගෙදර පරිසරයට කලින් වගෙම හැඩගැහෙන්න වැඩකරගන්න පුළුවන් ද කියලා බලන්න...

එලී කියන්නෙ අපූරුම චරිතයක්...දන්නවද  ..එයාට වයස 94යි....ඒත් එයා හදවතින් හරිම තරුණයි....

මේ පින්තූර නම් එලීගේ ගෙදර නෙවෙයි...home visit එකක් කලාට එහෙම පින්තූර ගන්න අපට අවසර නෑ...ඒත් ඒ ගෙදර මෙන්න මේ වගේ....

📷 එක අන්තර්ජාලයෙන්

එයාගේ නමත් අන්වර්ථයි

Sunday, December 17, 2023

මගේ බ්ලොග් දිනපොත 01

 



ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....

හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට කියවන්න පුළුවන්නේ ....එහෙනම් ඔන්න මේ විසිරිගේ දිනපොත....

**********************************************************************************************

 සඳුදා 


සති අන්තයක් ගත කරලා සඳුදාවක් උදාවෙනවා කියන්නේ මොන රටේ උන්නත් පොඩි කම්මැලි කමක් එක්ක ඇහැරෙන දවසක්. සීත සමය නිසා උදේ හතටත් හොඳ එළියක් නැහැ. කොහොමටත් මේ අඳුරු ස්වභාවය නම් මහා එපා කරපු හැඟීමක් අරන් එන්නේ. අර පහුගිය කාලේ පිස්සු වැටිලා වගේ ඇවිද්ද මට අන්තිමට සති අන්තෙත් ඉන්න උනේ කාමරයක් ඇතුලට වෙලානේ.

ඔය මොන කම්මැලිකම තිබුනත් අට හමාර වෙනකොට මම හොස්පිටල් එකට ගිහින් යුනිෆෝම් එකත් දාගෙන කම්පියුටර් එක ඕන කරලා එදා දවසේ මේල් ටිකත් බලලා ඉවරයි.

මේක පුනරුත්ථාපන  ඒ කියන්නේ rehabilitation unit එකක් නිසා වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු උදේට නාවලා කියලා ක්ලීන් කරලා සුදානම් කරනකල් අපිට කරන්න වෙන්නේ ලියකියවිලි වැඩ ටික. ලෙඩ්ඩු බලනවා හා සමානවම ලියකියවිලි වැඩ මෙහෙ හරියට.කොටින්ම කිව්වොත් ලෙඩා වමට හැරුණත් ඒක ඒ විදියටම ඩොකියුමන්ට් වෙන්න ඕන. 

ලංකාවේ අපි හොස්පිටල් වල මැරිලා වැඩ කල තරම මෙහෙ නැහැ. නමුත් ලංකාවේදී අපි කල තරමට වඩා සියගුනයක් අපි ඩොකියුමන්ට් වැඩ මෙහෙ කරන්න ඕන. ඒක මට මුලදී ඇත්තටම මහා වෙනසක් උනා. ඉතින් කොහොම හරි සඳුදාව පටන් ගත්තේ ඔන්න ඔහොම. 

මම යන යන තැන අපරාදේ කියන්න බැහැ මටම ගැලපෙන සෙට් එකක් මට හම්බ වෙනවා. ඒක මෙහෙදිත් එහෙමම තමයි.සඳුදා වැඩට ආවට පස්සේ ඉතින් අර කම්මැලි කම කොහෙන් ගියාද කියන්න බැහැ 

******************************************************************************************************** 

අඟහරුවාදා



මේ දවස්වල මට ඉන්නවා අපූරු ආච්චි අම්මෙක්. මගේ ටීම් එකට ඉන්නේ ලෙඩ්ඩු හතයි. ඔන්න ඒ සෙට් එකට අලුතින්ම ආව ආච්චි අම්මෙක් මේ. නම් ගම් මෙහෙ නිතිය හැටියට මෙහෙම එකක ලියන එක පවා නීති විරෝධියි නේ. ඉතින් ආච්චි අම්මගේ  නම් ගම්    ඕන නැහැ.

නිකම් කතන්දර ලියමුකො ඒ ඇතිනේ. 

ගෙදර පඩි පෙලෙන් පිනුමක් ගහලා උකුල් ඇටේ කැඩිලා ඔපරේෂන් එකෙන් පස්සේ ඔන්න එයා අපේ ගාවට එනවා සති හයක හෝ අටක ප්‍රතිකාර වලට. මූලික විස්තර ටික ගන්න ගියාම ආච්චි අම්මට කෝටියක් ප්‍රශ්න ඉතින්. ඔක්කොටම කලින් මගේ නම එයාට උච්චාරණය කරන හැටි උගන්වන්න කිව්වා. ඉන් පස්සේ ඉතින් විස්තර ටික එහෙම අහගෙන මම එයාව ඇඳේ වාඩි කරවලා හිටගන්න සුදානම් කරනවා.  

ඔන්න ඒ  වෙලාවේ එයා මගෙන් අහනවා මෙන්න මෙහෙම...

Have you seen a witch over there?

මම ඉතින් හොල්මන් වෙලා වගේ හතර වටේ බලනවා. මේ එන ලෙඩ්ඩු අතරේ Dementia ලෙඩ්ඩුත් ඉන්න නිසා එක එක කතන්දර ඔහොම කියන කොට අපි පොඩ්ඩක් පරෙස්සමින් තමයි ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ.

Sorry, I haven't seen any witch.

මම එහෙම උත්තර දෙනවා.

ආයේ එයා ඒ ගමන මෙන්න මෙහෙම අහනවා.

have you seen an angel there?

මගේ උත්තරේ අරකමයි.

No i haven't seen...

මම කිසිම කෙනෙක් දැක්කේ නැහැනේ. බොරු කියන්න කියලය....

ආච්චි අම්මා හක හක ගගා හිනාවෙලා මට ඇඟිල්ල දික්කරලා පෙන්වන්නේ ටිකක් එහායින් තියන ලොකු කන්නාඩිය. ඒකෙ පේන්නේ එයාවයි මාවයි....

මට හිනායනවා....

you are my angel ....

එයා මගේ අත්දෙක ආදරයෙන් අල්ලාගෙන කියන්නේ....

මම එතකොට මෙහෙම කියනවා...

But you are not a witch... you will be a miracle...

සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel  කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක්  වෙන්න.

 මේ ලියන්නේ අතිශයෝක්ති කියලා ඔබට හිතෙන්න පුළුවන්...
නමුත් මේ මම දිනපතා අත්විඳින අත්දැකීම්...

********************************************************************************************************** 

බදාදා 





 ලිවිල්ල කියවිල්ල අතහරිලාම යන කාලයක් උනා මේක ...කාලය ඉඩහසර ඕනෑවටත් වඩා තියෙද්දී මට ලියන්න නොහිතෙන්නේ ඇයිද කියන්නමටම තේරෙන්නේ නැහැ. නමුත් ඉඳ හිටක හරි කවියක් වත් ලියන්න ඕන කියලා දිනපොත ලියන අස්සෙම මට හිතෙනවා. 

ඉස්සර ඉඳලා කවි , කතා ලියන්න ආසම කල කෙනෙක්ට එක පාරටම ලියන්න කම්මැලි හිතෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? මට තාම හිතාගන්න බැහැ ඒකට හේතුවක්. කාලය මදිකමකුත් නෙවෙයි . නමුත් කම්මැලිකමක් දැනෙනවා. කියවන්නත් එහෙමමයි. කම්මැලියි. 

ඕගොල්ලෝ ගාව මේකට විසඳුමක් එහෙම තියද කියන්නකෝ.

හරි කමක් නැහැ අද දවසට ඔන්න පොඩි කවියක් වත් ලියන්නම්කො  

ඔබ දන්නවද...

මල් පිපෙන අරුමැසි ඉසව්වක

හීන් හඬැතිවූ දිය දහරක

ප්‍රේමයේ තත් නැගෙන 

අන්දම....



ඉතින් ඔබ දන්නවද....

හුදෙකලාවේ ගෙවෙන කාලයක

හද හඬත් නොනෑසෙන යාමයක

තාල නගනා ප්‍රේමයේ 

ස්වර ගැන....



ඔබ කොහොම දන්නවද....

දුර කියන්නෙත් ලඟටම බව

දහස් සැතපුම් දුරක වුව

හද ගැස්ම ඔබ ලඟම 

ඉතිරි බව....


************************************************************************************************** 


බ්‍රහස්පතින්දා 




බර කිලෝ පහකින් අඩුවෙලා. 

මම මෙහෙට එන්න ආසන්න කාලේදී ඇත්තෙන්ම උන්නේ පුදුම ස්ට්‍රෙස් එකක. ගෙදර අයව දාලා එන්න වීම, මං නැතිවුනාම ඒ කට්ටිය කොහොම වැඩ කටයුතු කරගනිවිද කියන බය, අනෙක නුහුරු නුපුරුදු පරිසරයක තනියම ජීවත්වීමට හිත හදාගන්න එක....කීයක් නම් දේවල්ද ? ඒ ඔක්කොටම විසඳුම උනේ අහුවෙන අහුවෙන කන ජාති කෑම ...ඒකෙන් උනේ බර කිලෝ හැත්තෑ පහක් වීම.

මෙහෙට ඇවිල්ල මාස හතරට ඒ කිලෝ පහම අඩු උනා.

ඇත්තෙන්ම ආහාර රටාව වෙනස් වීම තමයි ප්‍රධානම හේතුව. කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩිපුරත් කන එක. අනෙක අලුත් පළතුරැ සහ සලාද වැඩිපුර ආහාරයට එකතු වීම 

අවංකවම කිව්වොත් ඇවිදින එක කොච්චර කලත් එක ව්‍යායාමයට ගැලපෙන්න නෙවේ. මොකද ගහක වලක කොලයක හද දැක්කම නැවතී නැවතී ෆොටෝ ගන්න කොට ඇවිදින එකේ ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි පැය ගණන් ඇවිද්දා සමර් එක කාලේදී...ඒක වෙනම එකක්.....

කොහොම උනත් බර කිලෝ පහක් අඩුවීම සෙලිබ්රේට් කරන්න පොඩි චොකලට් එකක් කෑවා මම 

******************************************************************************************************* 

සිකුරාදා 








සතියක් ගෙවිලා සතියක් ඉවර වෙන්න මහා කාලයක් යන්නේ නැහැ . මගේ වෘත්තීය සගයෙක් අද මගෙන් අහනවා ..

Kithma ...how you stay in happy mood from monday to friday equally....?


ඇත්තෙන්ම හුඟක් අය සඳුදා ට වැඩට එන්නේ අයියෝ  මූඩ් එකෙන්...සිකුරාදාට යන්නේ ආව් නියමයි මූඩ් එකෙන්....
සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම රටකත් එහෙම ය ඉන්නවද කියලත්..
නමුත් ඒක වර්ක් ස්ට්‍රෙස් එක ...
ලංකාවේදී තරම් මැරීගෙන වැඩ කරන්න නොවුනත් මෙතන තියන වගකීම ඊට වඩා සියගුණයක් වැඩියි.
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතාගන්නවත් බැහැ.

ඉතින් ඒ වගකීම් එක්ක ඇතිවෙන පීඩනය එහෙම තමයි.
නමුත් අපි සතුටින් සිනහවෙන් ඉන්න අපි අවටින්ම කාරනා හොයාගන්න ඕන. මම එයාට මගේ ජංගම දුරකතනයේ පින්තූර ගබඩාව පෙන්නුවා. සති අන්ත වල ඇවිද්ද හැටි..මම තනියම ගිය ගමන් බිමන්..ඒ තමයි මගේ හිනාවෙ රහස....මම එයාට පෙන්නුවා.


***********************************************************************************


ඉතින් සතියේ දවස් පහ ඔන්න දිනපොතකට ගත්තා....හැම සතියෙම දිනපොතක් ලියන්න නම් වෙන එකක් නැහැ....ඉඳහිටක ලියන්නම්. 


එහෙනම් සුබ සති අන්තයක් වේවා ඔක්කොටම 



මම විසිරි සිහින 








Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

Saturday, October 14, 2023

පුරු පුරු කතා

 පුරු පුරු කතා


උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....

මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....

කලුපාට දිග කලිසම  පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස්‍ රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....

අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන්  වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...

අදටත්  පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....

ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....

විසිරි

Saturday, October 7, 2023

පුංචි සතුටු කතාවක්...❤️

 පුංචි සතුටු කතාවක්...❤️








තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.

මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.

ඉතින්...මං  ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්. 

නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන  ලියනවා.

ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක්  වෙලාවට. 

ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි. 

No hurry, Take your time...

නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.

hello ... how are you? how was your week end? how's your day?

විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...

ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම  "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.

ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....

ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත  වැනීමක් කළා.

ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.

මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...

hello how are you today?

මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.

ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.

thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...

හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...

නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.

මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට  බියක් නොසන්සුන් කමක්...තිබුනේ.

භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.

help me...

ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.

අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...

I will never forget you my lifetime...

සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.

නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.

සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...

මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....



මම 

විසිරි සිහින

Tuesday, April 25, 2023

30 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 30 කොටස 


29  කොටසට මෙතනින්   29


පාරමී ඇස් ඇරියේ දීර්ඝ නිද්‍රාවකට පසුවය .එක්වනම තමා සිටින්නේ කොහිදැයි ඇයට සිතාගන්නට නොහැකි විය . හෙමින් ගෙල හරවා වටපිට බලන්නට තැත්දැරූ ප්‍රථම නිමේශයෙන්ම අධික වේදනාවක් ගෙල ප්‍රදේශයෙන් දැනෙන්නට විය.ඇයට කෙඳිරි ගෑවුනේ අධික වේදනාව දරාගන්නට නොහැකි වූ නිසාවෙනි.

පාරමීගේ වේදනාත්මක කෙඳිරුම් හඬ අසා ඇයගේ ඇඳ වෙතට දිව ආවේ හෙදනිලධාරිනි යකි.

"මැඩම් කොහොමද දැන්. ඔයා ගොඩක් ලොකු නින්දක් නිදාගත්තා."

හෙදනිලධාරිනිය පාරමීගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවාය.

"මේ කොහේද මට මොකද උනේ" 

පාරමී ඉතා අපහසුවෙන් ඇසුවාය .

"මැඩම්ට මොකුත් මතක නැද්ද මේ ජෙනරල් හොස්පිට්ල් එකේ බර්න්ස් යුනිට් එක. මැඩම් ඊයේ acid බර්න් එකක් වෙලා මෙතනට එක්ක‍රන් ආවෙ."

හෙද නිලධාරිනිය පැවසුවේ පාරමීගේ මතකය අවදි කරමින්.

පාරමී දෑස් වසාගෙනම ඒ සිදුවූ දේවල් මතකයට ගන්නට උත්සාහ කළාය .ඇයට මතක වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත්වී breadtalk වෙත යන්නට ඇය පාර මාරුවන ස්ථානයට පැමිණීම ය.එතැනින් එහාට ඇයට කිසිවක් මතක නොවීය. 

"මගේ බෑග් එක කෝ මිස්?" 

පාරමී ඇසුවේ ගෙලදෙසින් නැගෙන වේදනාව හා සමානවම විශ්ව ගැන ඒ මොහොතේ සිහිවූ බැවිනි.

"මැඩම්ගෙ බෑග් එක මහත්තයා ඇවිත් අරන් ගියා. ඊයේ ඇවිල්ල ගොඩක් වෙලා ඉඳලායි ගියේ තව ටිකකින් ආපහු ඒවි."

හෙද නිලධාරිනිය ඇයට බීමට වේදනා නාශක පෙති කිහිපයක් රැගෙන ආවාය.ගෙල පෙදෙසින් වූ දැඩි වේදනාව හේතුවෙන් පෙති ටික ගිලීමට පවා අපහසුය. 

"මගේ ගොඩක් පිච්චිලා ද මිස්?"

පාරමී හිස නගා බැලීමට අපහසු වූ තැන හෙදියගෙන් ඇසුවාය.

"නෑ මැඩම් deep burn එකක් නම් නැහැ. madamගෙ සාරිය නිසා acid ඇතුලට ගිහින් නැහැ .බෙල්ලයි චෙස්ට් එක උඩ හරියයි විතරයි.ඒකත් superficial burn එකක් විතරයි."

හෙද නිලධාරිනිය ඇය අස් වසා ලමින් පැවසුවාය.

"අන්න ඩොක්ටර් එනවා මැඩම් ගෙ හස්බන්ඩ් එක්ක."

හෙද නිලධාරිනිය ඇඳ අසලින් ඉවත් වූයේ එසේ කියමිනි.

"ආ කොහොමද දැන්.ඩොක්ටර් පාරමී?"

වෛද්‍ය කේසර ස්ක්‍රීනය පසෙකට කොට පැමිණියේය.පාරමී වේදනාත්මක සිනහවක් පෑවාය.

"මොකුත් අමාරුවක් විශේෂයෙන් නෑ නේද?" 

කේසර ඇසුවේ ඇයගේ තුවාල වසා ඇති ගෝස් තට්ටුව දෙස බලමිනි.පාරමී නිහඬවම බලාඋන්නාය.ඇයට කියන්නට හෝ අසන්නට කිසිවක් හිතට නොඒ.

"මචං විශ්ව...ඇතුලට වරෙන්..."

ආපසු හැරී බලා එසේ කී කේසර යළිත් පාරමී දෙස බලා සිනා වුණේය.

මෙතෙන්ට ආවට පස්සෙ තමයි දන්නෙ මේකා මගේ පන්තියේ හිටියේ කියලා.එහෙනම් දෙන්න කතා කරන්නකෝ මං පොඩ්ඩක් අනිත් ලෙඩ්ඩු බලන්න යනවා."

කේසර එතැනින් ඉවත් වී පිටතට ගියේ ය 

පාරමී හිස හරවා බලනු නොහැකිව ඇස් පමණක් හරවා ස්ක්‍රීනය දෙස බලා උන්නාය .විශ්ව පැමිණියේ ඇයගේ වත දෙස බලාගෙනමය.ඔහුගේ දෑස් වල කඳුලු පිරී තිබුනි.

"පාරෝ....කොහොමද රත්තරන් ඔයාට අමාරුවක් නෑ නේද ?"

විශ්ව පාරමී හිසට උඩින් පහත් වී ඉතා සෙමින් ඇසුවේය. තම ශරීරය පුරා පැතිරී ඇති පිලිස්සුම් ඒ වේදනාව යටපත් කරමින් විශ්වගේ මුවින් පිටවෙන ආදරණීය වදන් පාරමීගේ සිත සිත සුවපත් කළේය. 

"බෙල්ලයි පපුවයි කැක්කුමයි.ඉවසන්න ටිකක් අමාරුයි.මට මොකද උනේ විශ්ව ?" 

පාරමී අසූවේ විශ්වගේ අත සෙමෙන් අල්ලා ගනිමිනි.විශ්ව කිසිවක්ම නොපවසා නිහඬව වූයේ මේ මොහොතේ ඇය සන්සුන් කල යුතු හෙයිනි.

"පාරෝ , අපි ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට යං.මෙතන මෙහෙම ඉන්න බෑ ඔයාට"විශ්ව පැවසුවේ පාරමී ගේ හිස අතගාමිනි.

"ඕන නෑ විශ්ව , ම්ම ගවර්න්මන්ට් හොස්පිට්ල් එකක වැඩ කරනවනම් ඇයි මට ඒකක ඉන්න බැරි.මට ඉන්න පුළුවන් "පාරමී හිනැහෙන්නට උත්සාහ කරමින් පැවසුවාය.

"ඔයාට පුළුවන් වුනාට ඔයා ළඟ දිගටම ඉන්න මට ලැබෙන්නෙ නෑනෙ එතකොට .ඒ නිසා අදම කේසරට කියල මම ඔයාව වෙන තැනකට ගෙනියනව"

විශ්ව හිතුවක්කාර හඬින්ම පැවසීය.පාරමී කතාකරන්නට යෑම තවත් වෙහෙසක් වන හෙයින්ම නිහඬව ඉවසාඋන්නාය.

"තුවාලෙ ලොකුයිද විශ්ව.මට හරිම කැක්කුමයි "

පාරමී ඇසුවාය .

"නෑ නෑ ඒක ලොකු එකක්වත් ඩීප් එකක්වත් නෙවේ ඩොක්ටර් පාරමී ,.අපි එහෙනම් LAMA ලියල ම විශ්ව කියන තැනකට යන්න ලෑස්ති වෙමු.මෙතන ට්‍රීට්මන්ට් වලට වඩා මෑන් ට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්නෙ"

වෛද්‍ය කේසර ආපසු ඇය අසලට පැමිණෙමින් පැවසුවාය.

අගනුවර ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට පාරමීව මාරුකරගත් විශ්ව , ඇයව එහි රැගෙන ගියේය .කේසර ද එම රෝහලේ පුද්ගලික ප්‍රතිකාර කටයුතු වල යෙදෙන හෙයින් ප්‍රතිකාර සම්බන්ධයෙන් තවදුරටත් සැලකිලිමත් වන බව ඔහු පැවසීය .

පාරමී අදාල පෞද්ගලික රෝහලේ සයනයට මාරුකල වහාම දෑස් යලි පියාගත්තේ ඉතා කෙටි ගමනකින් වුව ශරීරයට දැනෙන්නාවූ අපහසුව හෙයිනි.

"මම තමයි ඉතින් මැඩම්ගේ සාත්තු සේවකයා අද ඉඳන්"

විශ්ව ඇයගේ නලලතට හාදුවක් තබමින් පැවසීය.පාරමී ආයාසයෙන් සිනහවෙන්නට තැත්කලාය.

"ස්කාර් එක හිටීවිද විශ්ව?"

පාරමී මිමිණුවාය.ඇයගේ සිත බෙහෙවින්ම ඔද්දල්ව ගොසිනි.

"කලබල නොවී හිත සැහැල්ලුවෙන් ඉන්නකො කෙල්ලෙ.කේසර කිව්වා ඒක ඉක්මනින් හරියයි කියල.ඒකට ට්‍රීට්මන්ට් තියේනෙ ඉතින්" 

විශ්ව ඇය අස්වසාලමින් පැවසුවේය.

පාරමී කෙතෙක් ප්‍රතික්ෂේප කළද විශ්ව ඇයගේ කාමරයෙන් පිටව ගියේ නැත. විශ්ව විසින් තමාට සඟවන යමක් වේදැයි විටෙක පාරමී ට සිතුණි.ඔහු සිටියේම තැතිගැණුන ස්වභාවයෙනි.රාත්‍රියේ පවා ඔහු විටින් විට තම සයනය අබියසට විත් බලන අන්දම ඇය දුටුවාය.

සිදුවූයේ කුමක්ද යන්න නැවත නැවත ඇය විශ්වගෙන් නොඇසුවේ ඔහු කිනම් හෝ වේලාවක එය පවසනු ඇතැයි සිතාය.

දින කීපයක් ගතවන විට පාරමී ගේ තුවාල වේලීයන්නට පටන්ගෙන තිබුණි.

"දැන් රිදෙන්නෙ නෑ නේද පාරෝ."

ඇය මුහුණ කට සෝදා කාමරයට එනතුරු දොරලඟටම වී සිටිනා විශ්ව අසයි.පාරමී හිස දෙපසට වනා සිනාවූවය.

"මොකද මේ අනේ.මං පැනල යයි කියල වගෙ බයෙන් පස්සෙන්ම ඇවිදින්නෙ."

පාරමී ඇසුවේ විශ්වගේ අතකින් අල්ලාගනිමිනි.විශ්ව සුසුමක් හෙලා නිහඬ වූවේය.

හෙද නිලධාරිනිය පැමිණ ආවරණය කල සියල්ල ඉවත් කොට තුවාල ඉතුරු වී ඇති තැන් වල ආලේපනයක් තවරා යන්නට ගියාය.එක් උරයක් පමණක් වැසුණ රෝහල් ඇඳුමකින් සැරසී උන් පාරමී සිය අසුනේ පසෙක හිඳුවාගත් විශ්ව වියැලී ගිය පෙදෙස් අල්ලා බැලුවේය.

"පාරෝ කලබල වෙන්නෙ නැත්නම් කියන්න ලොකු කතාවක් තියෙනව."

විශ්ව ඇයගේ මුහුණ තමා වෙත හරවාගනිමින් පැවසීය.

"ඔය වෙච්ච ටික දැන් පාරමී ට කියපන්.මොකක් හරි වෙන්න හරි එයාත් දැනගන්න ඕනනෙ මේව"

නිසල් පෙරදා ඔහුට ඇමතුමක් දුන් වෙලෙහි පැවසීය.

"මොකක්ද විශ්ව...?"පාරමී සුපුරුදු සන්සුන් බවින් ඇසුවාය.විශ්ව ශෙරීනාට සිදුවූ දේ පාරමීට සවිස්තරව පැවසීය.

පාරමී ඇස් ලොකු කරගෙන මවිතයෙන් එය අසා උන්නාය.

"එතකොට මට ඇසිඩ් ගැහුවෙත් ...?" 

පාරමී ඇසුවේ විශ්වගෙනි.විශ්ව හිස දෙපසට වනා එය නැතැයි කීවේය.පාරමී විමසුම් දෑසින් ඔහු දෙස බලාඋන්නේය.

"මේක මට කියන්න අකමැතිම ඒ වගේම අමාරුම කතවක් පරෝ.ඒත් මේ ටික අහල ඔයා මේ සම්බන්ධව ගන්න කියන තීරණය මම ක්‍රියාත්මක කරන්න සූදානම්."

විශ්ව පැවසීය .පාරමී ඔහුඅතින් අල්ලාගෙනම බලාඋන්නාය.

පාරමීට ඇසිඩ් ගැසීමේ කොන්ත්‍රාත්තුව අම්මා විසින් සැම් වෙත බාරදී ඇති අන්දම විශ්ව පැවසුවේ පාරමී දෙසවත් නොබලාය.ඔහුට ඇයගේ මුහුණ බැලීමට නොහැකි තරම් වරදකාරි හැඟීමක් සිතට විත් තිබිණ.

පාරමී ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට නොහැකිව බලාඋන්නාය.ඇත්තෙන්ම ඇයගේ සිත තුල ඇතිවූයේ බලවත් කම්පනයකි. ශෙරීනාගේ අනපේක්ෂිත මරණය තම සිත කම්පා කොට මොහොතක් ගතව යද්දී විශ්ව කියූ මේ කතාව තමා ඔසවා පොළවේ ගැසුවාක් බඳු කතාවක්ම විය.කෙනෙක් හට මෙතරම් කුරිරු විය හැකිද? මේ සා තවකෙකුහට හිංසා කලහැකිද ?

"පාරෝ ඒ මගෙ අම්මා තමයි.ඒත් එයා කලේ සමාව දෙන්න පුළුවන් කාරණයක් නම් නෙවෙයි.ඔයා ඕනම ඇක්ෂන් එකක් ගන්න.මම ඒකට බලපෑම් කරන්නෙ නෑ"

විශ්ව පැවසුවේ අසරණ හඬකිනි.

මෙතුවක් කල් තමා ජීවත්වූ සරල ලෝකය ඉතින් සුණු විසුණුව ගොස් හමාරය.ඉතාම කුඩාකල තාත්තාද ඉන් පසුව අම්මා සහ මාලනීද වටා ඉදිව ගතකල ජීවිතයේ ක්‍රෝධය, වෛරය ගැවීවත් තිබුණේ නැති තරම්ය. මේ කිනම් ලෝකයක්දැයි පාරමී විස්සෝප වෙමින් කල්පනා කළාය.

"විශ්ව, දැන් ඔයා ගෙදර යන්න. මට ටිකක් තනියම ඉන්න ඕනෙ" පාරමී විශ්වගේ අතකින් අල්ලා පැවසුවාය.විශ්ව ඇයගේ දෝතින්ම අල්ලා ඇයගේ මුහුණට එබුණේය.

"පාරෝ , ඔයා මෙහෙම කියන්නෙ ඇයි?"

විශ්ව ඇසුවේ කම්පනය වූ සිතිනි.පාරමී හිස නගා ඔහු දෙස බැලුවාය.

"ඔයා දැන් කීවනේ මට ඕනම ඇක්ෂන් එකක් ගන්න ඉඩදෙනව කියල.මට තනියෙන් ඉන්න ඕනෙ විශ්ව .කල්පනා කරන්න ඕනෙ හැමදේම ගැන මේ වුණ.ඒ නිසා ඔයා ගෙදර යන්න දැන්.මම කෝල් එකක් දෙන්නම් ඔයාට"

පාරමී සිනාවෙන්නට තැත් දරමින් පැවසුවාය.විශ්ව සුසුමක් හෙලා ඇයදෙස බලාඋන්නේය.ඇත්තෙන්ම ඇයට ඒ තමා කියූව දරාගන්නට අපහසු වන්නට ඇත.විශ්ව ඇයගෙන් සමුගෙන ආපසු සිය රථයට පැමිණියේ නිසල්ට ඇමතුමක් දෙමිනි.

" පොඩ්ඩක් වරෙන් මට කතාකරන්න ඕනෙ" 

විශ්වගේ හඬම තත්වය සුබ නොවන බව විසල්ට කියාදුන්නේය.ඔහු වහා විශ්ව හමුවන්නට ආවේ සුපුරුදු වෙරළබඩ අවන්හලටය.

"පාරෝගෙ මූඩ් එක එහෙම්පිටින්ම අවුල් වුණා බං .ඇත්තනෙ ශොක් වෙන්නෙ නැද්ද කියපන්කො මේක ඇහුවම.මට ගිහින් එන්න කීව තනියම ඉන්න ඕනෙ කියල"

විශ්ව අසුනේ සිට සිය හිසකේ තදින් ඇදගනිමින් පැවසීය.

"අපි බලමු බං .පාරමී කියන්නෙ හුඟක් දුරදිග හිතන්න පුළුවන් කෙනෙක්නෙ.උඹ කලබල නොවී කෝල් එකක් දෙනකල් හිටපන්.අද උඹ ගෙදර යන්න ඕනනෑ.යමන් අපේ ගෙදර."

නිසල් විශ්වගේ උරහිසට තට්ටුකරමින් පැවසීය.

                                                                                    *** 

විශ්ව නික්ම ගිය පසු පාරමී සයනයේ වැතිරගත්තේ පහවී නොගිය කම්පනයෙන් යුතුවය.ඉදින් මේ තමා අත්දකින්නේ කිසිදාක අපේක්ෂා කල තත්වයක් නොවේ.විශ්වගේ මව ආඩම්බරකාර මෙන්න නපුරු කාන්තාවක් බව කෙතෙක් දැනුනද ඇය මේසා කුරිරු වේයැයි පාරමී සිහිනෙනුදු නොසිතුවාය.කෙසේ වුවත් අවසානයේ සිදුව ඇත්තේ එයයි.පාරමී ඇසට ගලා ආ කඳුළ නිවාගන්නට තැත් කළාය.

"මොකද බං උනේ මේ."කාමරයේ දොරෙන් ඇතුලට ආවේ දැහැමිය.ඇය දෑස් විසල් කොට පාරමී දෙසම බලාඋන්නාය.පාරමී සිනාසෙන්නට තැත් කළද එය අසාර්ථක විය.

"නිසල් අයියා කියනකල් මම මේ මොකුත් දන්නෙ නෑ. දැනගත්ත ගමන් මේ දුවල ආවෙ" 

දැහැමි සිය බෑගය පුටුව මතට දමා පාරමී වෙත ළංවූවාය.

පාරමී සිදුවූ සියල්ල දැහැමි වෙත පවසා උන්නේ සිතේ බලවත්ව පැතිරුණ වේදනාවෙන් යුතුවය.ඉතින් සුසුමක් කඳුළක් හෙලා ළය සැහැල්ලු කරගන්නට නොහැකි තරම් මේ අත්දැකීම කටුකය. භයංකාරය.

"මට හිතාගන්නවත් බෑ බං මෙහෙම දේවල් කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වුණාද කියල."

දැහැමි පැවසුවේ කලකිරීම මුසු හඬිනි.

"විශ්ව අයියා මොකෝ කියන්නෙ ඉතින් "

දැහැමි ඉන්පසු ඇසුවාය. 

"විශ්ව පව්...එයා මේ වෙලාවෙ මාරම අසරණයි.මට කැමති ඩිසිෂන් එකක් ගන්න කීවා.මම එයාව ගෙදර යැව්වා.මට ටිකක් කල්පනා කරන්න ඕනෙ කියල." පාරමී පැවසුවේ කල්පනාවෙන් බරවය.ඇත්තෙන්ම මේ කාරණයට විශ්වට කරන්නට දෙයක් ඇත්තේම නැත.ඔහු මුල සිටන්ම අම්මා ගැන පාරමීට පවසා තිබූ කරුණු අනුව අම්මා යනු කුමන අන්දමේ කාන්තාවක්දැයි පාරමී වටහා ගෙන උන්නාය.

"ඔය අම්මණ්ඩිට පාඩමක් උගන්වන්නම ඕනෙ.බලපන් අවුරුදු හැත්තෑවත් පැනල.තාම තණ්හවෙ ඉවරයකුත් නෑ.අනුන්ට ගින්දර දෙන එකේ ඉවරයකුත් නෑ"

දැහැමි පැවසුවේ අධික කෝපයකිනි.

"මං මොන දේ කලත් අන්තිමට තැවෙන්නෙ විඳවන්නෙ විශ්ව. තමන්ගේ අම්මා මොනව කලත් ඒකෙ වරද විශ්වට පටවන්න බෑනෙ බං "

පාරමී කල්පනා කරමින්ම පැවසුවාය.

"උඹ දැන් මොකක්ද කරන්න ඉන්නෙ."

දැහැමි ඇසුවේ පාරමීගේ තුවාල දෙස බලමිනි.

"බලපන් මේ වගෙ දෙයක් කරවන්න මේ ගෑනිට පුළුවන් උනේ මොන හිතකින්ද ?" දැහැමිගේ ස්වරයේ තරහ, වේදනාව මෙන්ම කලකිරීමද විය.

"මං කල්පනා කරන්නෙත් ඒකම තමයි බං"

පාරමී පැවසුවාය.

                                                                             *** 

"මචං මේ මේ බලපන්"විශ්ව සිය පරිගණකයට එබී කෑගැසීය.නිසල් වහ වහා ඔහු වෙත දිව ආවේ ඒ කෑගැසීමෙනි.

ශෙරීනා එවූ විද්‍යුත් මේලය පරිගණකයේ විවෘත වී තිබුණි.ඇය මුලින්ම විශ්වගෙන් සමාව ඉල්ලා තිබුණ අතර සිදුවූ සියල්ලම විස්තර සහිතව ලියා තිබුණි.මෙම මේලයේම පිටපතක් සිය පියාටද යවා ඇති බව ඇය සඳහන් කොට තිබුණාය.

"මේක නම් නිකම් ඩ්‍රාමා එපිසෝඩ් එකක් වගෙනෙ බං.බලපන්කො අරුන්ගෙ ප්ලෑන් එක.මං හිතන්නෙ ශෙරීනා රට පනින්න හදපු එක හැක් උනා ටෙරන්ස් කාරයාට.ඕකුන් අපිවත් හැක්කරලද දන්නෑ මෙලහකට."

නිසල් විද්‍යුත් මේලය නැවත කියවමින් පැවසීය.

"අංකල්ටත් මේක ෆෝවර්ඩ් කරල කියන්නෙ ශෙරීනාට මාව මේකෙන් ගලවගන්න ලොකු උවමනාවක් තිබ්බා කියන එකනෙ.පව් මොක උනත් "

විශ්ව පැවසුවෙ ශෙරීනා ගැන උපන් සැබෑ ශෝකයෙනි.

"අරුන් මේ වැඩේ අතාරින්නෑ ඒ උනාට .කල්පනා කියන්නෙ කන්න දුන්න අත හපා කාපු සතෙක්.උඹේ පස්සෙන් මෙච්චර පන්න පන්න පලිගන්න ඒකිට මොන හේතුවක්ද කියලයි මම කල්පනා කලෙ මේ"

නිසල් පැවසුවේ කල්පනාබරිතවය.

"උඹ මේක පොලිසියට දෙනවද?"

නිසල් යළි ඇසුවේය.

"නෑ කරන දෙයක් අංකල් හිතල බලල කරයිනෙ.බලමුකො

මේ ඔක්කොමත් හරි පාරමී දැන් මොකක් කරයිද කියලයි මට ප්‍රශ්නෙ බං."

විශ්ව පැවසුවේය.ඔහුගේ සිතෙහි වූයේ බරපතල ලතැවිල්ලකි.පාරමී නොමැතිව නම් තමාහට මින් ඉදිරියට කිසිවක් කරන්නට නොහැක.

"උඹ හවස යනවනෙ පාරමීව බලන්න."

නිසල් ඇසුවේ වේදනාවෙන් පසුවන සිය මිතුරාගෙනි.

විශ්ව හිස වනා පිලිතුරු දුන්නේය.

              

ඒ මොහොතේම විශ්වහට ඇමතුමක් ලැබුණේ ශෙරීනාගේ පියාගෙනි.

"විශ්ව පුතා , ඔයා ඊමේල් එක දැක්කද?"

ඒ පියාගේ හඬෙහි වූයේ දැඩි ආවේගයක් සහ කෝපයකි. ඊට හේතුව වූයේ තමාගේ දියණිය මේ සා නොහොබිනා ලෙස විශ්ව හට ද්‍රෝහී ක්‍රියාවක් කිරීමය.

"ඔව් අංකල් ,මාත් මේ දැන් බැලුවා විතරයි"

විශ්ව සන්සුන් ස්වරයෙන් පැවසුවේය.

"මේකි මෙච්චර බලු වැඩක් පුතාට කරයි කියල මං හිතුවෙ නෑ පුතා . අයැම් සෝ සොරි.මට ඇත්තෙන්ම ලැජ්ජයි"

ඔහු වේදනාත්මක ස්වරයෙන් පැවසීය.

"අංකල් ඒක ගැන වොරි වෙන්න එපා.මට ඇත්තෙන්ම ශෙරීනාට වුණ දේ ගැන දුකයි. අංකල් මේ ඊමේල් එක මොකද කරන්නෙ.පොලිසියට ඉදිරිපත් කරනවද?" 

විශ්ව ඇසුවේ ඉදිරි කටයුතු ගැන වදවෙමිනි.

"මොන දහජරා වැඩෙ කලත් දැන් එයා ඒකට දඬුවම් විඳල ඉවරයි පුතා.නමුත් අන්තිම ජරා හොරමැරකම් කරන කෙනෙක් වුනත් මෙහෙම මැරෙන්න බෑ.නීතියට අනුව.ඒ නිසා මම මේක පොලිසියට දෙනව" 

ඔහු පැවසීය.

"අවශ්‍ය වුනොත් මගෙ එවිඩන්ස් මම දෙන්නම් අංකල්. "

විශ්ව සමුගනිමින් පැවසීය.කෙසේ වුවද අතිශය බලලෝබී කතන්දරයක නිමාව එලෙස සනිටුහන් වුවද තවමත් කල්පනා සහ ටෙරන්ස් නිදැල්ලේය.ඔවුහු ශෙරීනාගේ ඊමේලය ගැන අවබෝධයක් නැති හෙයින් තවම ඊළඟ පියවර සැලසුම් කරමින් ඉන්නවා ඇත.

                                                                          *** 

"කල්පි , අපි නෙක්ස්ට් වීක් අපහු යන්න ඕන.ඊට කලින් මගෙ ප්ලෑන් එකක් තියනව.මං මේක හොඳින් හෝ නරකින් මගෙ අතට ගන්නව.නැත්නම් ඌව මම නැතිකරනව" 

ටෙරන්ස් නාගහවත්ත පැවසුවේ සවස් යාමයේ කල්පනා උන් මහල් කිවාස කුටියට පැමිණි මොහොතේය.කල්පනා නිහඬව ඔහු කියන්න අසා උන්නාය.

"මොකෝ ගල්ගිල්ල වගෙ ඉන්නෙ.අරකි මැරුණට බයේද?"

ටෙරන්ස් නාගහවත්ත කල්පනාගේ ගෙලවටා අතක් යවා තමා වෙතට ඇදගනිමින් පැවසීය.කල්පනා කිසිවක්ම නොකියා උන්නාය.

ටෙරන්ස් නාගහවත්තගේ නිලනොලත් අන්තඃපුරයේ ආ ගිය සුරූපිනියන් අතර කල්පනාට හැමදාම ස්ථීර තනතුර තිබුණේ ඇයගේ උගත්කම සහ ටෙරන්ස්ගේ කටයුතු වලට දැක්වූ විශ්වාසනීය බව හෙයිනි.

"මට බයයි ..ශෙරීනාගෙ ඩෙත් එක ගැන පොලිසිය ඉන්වෙස්ටිගේශන් යනව.මාව අහුවෙන්න පුළුවන් .ආගිය තැන් චෙක්කලොත්"

කල්පනා පැවසුවාය.

"ඇයි ඒ යන තැන්වල ගියේ පෙනුම වෙනස්කරන් නෙවෙයිද?"

ටෙරන්ස් නාගහවත්ත ඇසුවේ කල්පනාගේ අනියත බිය ගැන ගැටලු සහගතවය.

"ගියෙනන් එහෙම තමා.ඒත් මේ ගෑනිව ශුවර් නෑනෙ.කරන දෙයක් ඉක්මනින් කරල අපි යං"

කල්පනා පැවසුවාය.ටෙරන්ස් නාගහවත්ත කල්පනා සිය ගතට ලංකොට ගත්තේ නිදන කාමරය වෙතට පියනගමිනි.ඉන්පසු එළඹෙන හෝරා කීපය තමා නොමරා මැරෙන්නක් බව කල්පනා දැන උන්නාය.එහෙත් මේ දෛවය තමාට ඉතුරු කල දෑය.ඇය සිත හදාගෙන ඔහුට අවනත වූවාය.

කල්පනා සයනයෙන් නැගීඋන්නේ ටෙරන්ස් නාගහවත්තගේ මත් පැන් වීදුරුව රැගෙන එන්නටය.ඔහු ඇය සමග මත්පැන් පානය එහෙම දිනයක අත්හැරියේ නැත.කල්පනා මත්පැනට හුරු වූයේද ටෙරන්ස් ගේ ඇසුරෙනි.

අයිස් කැට ,වීදුරු සහ , මත්පැන් ද සහිත ට්‍රොලිය රැගෙන කල්පනා ටෙරන්ස් වෙත ලඟාවූවාය.

"උඹ හොඳ කෙල්ල.මගෙ ටේස්ට් එක දන්න එකම කෙල්ල.කොච්චර මගෙන් ගුටිකැවත් කිසිම දවසක මාව අතෑරල නොගිය එකි.මම උඹට අලුත් අපාර්ට්මන්ට් එකක් අරන් දෙනව ගිය ගමන්."

කල්පනා සිය උකුලේ හිඳුවාගෙන ටෙරන්ස් සිය මත්පැන් වීදුරුව අතට ගත්තේය.කල්පනා ද සිය මත්පැන් වීදුරුව හිස්කරමින් ආලිංගනයට නතුවූවාය.

මත්පැන් බී අවසානයේ සයනයට වැටුණ දෙදෙනාගේ නෙත් පියවෙන්නට මොහොතකට පෙර කල්පනාගේ මුවගට ආවේ සැනසුම් සිනහවකි.

                                                                      *** 

විශ්ව පාරමී උන් කාමරයට ඇතුල් වූයේ සිතේ බලවත්ව නැගෙන අවිනිශ්චිත භාවයද සමගිනි. ඒ වන විටත් දැහැමි ඇයගේ හිස පීරමින් ඇය අසලට වී උන්නාය.විශ්ව දෙදෙනා සමගම සිනාවූයේ ආයාසයෙනි.

"විශ්ව අයියා බලන්න මේ කෙල්ලට වෙලා තියන දේ"

දැහැමි පැවසුවේ ඉතාමත් වේදනාවෙනි.කුඩාකල පටන්ම එකට වැටී උන් සිය මිතුරියට වූ මේ දේ දැහැමිව කම්පනය කොට තිබුණි.

"මං හිතුවෙ නෑ විශ්ව අයියා නැන්දා ඔච්චර දරුණු ගැනියෙක් කියල"

දැහැමි ගේ හඬ චෝදනාත්මක වෙද්දී විශ්ව අපහසුතාවයෙන් බිම බලාගත්තේය.පාරමී දැහැමි ගේ අතින් අල්ලාගත්තේ ඔය ඇති යැයි ඇසින් කියමිනි.

දැහැමි සමුගෙන ගිය පසු විශ්ව පාරමී වෙත පැමිණියේ ඇයගේ දෑසෙහි කියවෙන කතාව සිතාගන්නට අනුමාන කරමිනි.ඇය තමා හැරයනු ඇත්දැයි ඔහුට මහත් බියක් ඇතිව තිබුණි.

"පාරෝ..."විශ්ව ඇයගේ අතක් අල්ලාගත්තේ කෙඳිරුම් හඬකින් එසේ කියමිනි.පාරමී සුසුමක් හෙලා බලාඋන්නාය.

"ඇයි කතා නොකරන්නෙ..."විශ්ව ඇසුවේය.

"විශ්ව...මේ මොන දේ මෙහෙම උනත් මට ඔයාගේ අම්මාව පොලිසි උසාවි ගානේ ගෙනියන්න වුවමනාවක් නෑ."

පාරමී සුසුමක් හෙලා පැවසුවාය.

"අවුරුදු හැත්තෑගානක් වෙලත් එයාගේ තියන ගතිගුණ ඔයාටවත් අපිටවත් වෙනස්කරන්න බෑ.ඒක මේකෙන් තහවුරු උනානෙ.ඒ උනාට ඔච්චර වයසක කෙනෙක් පොලිසි උසාවි ගෙනිහින් කරදර කරන්න බෑ....මට කොහෙත්ම ඒක කරන්න බෑ...."

පාරමී පැවසුවේ කල්පනාවේ ගැලෙමිනි.

"ඒ උනාට මේ හැමදේම මගෙ ජීවිතයට හුරු ඒවා නෙවෙයි විශ්ව.ඔයා දන්නව අම්මායි මාලනියි එක්ක මම ගතකල ජීවිතේ මොන වගේද කියල.මෙහෙම දේවල් අපේ ජීවිත වල තිබුණෙ නෑ..."

විශ්ව නිහඬවම අසා උන්නේය.

"මේ කිසිම දේකට ඔයා වැරදි නෑ විශ්ව.ඒත් .....මට තීරණයක් ගන්න වෙනවා....ඇත්තෙන්ම ආයෙ ආයෙ මේ වගේ අනතුරු කරදර නොවෙයි කියල කිසිම සහතිකයක් අපිට නෑනේද....?

ඔය ශෙරීනාගේ මරණය කරවපු අය තාම පස්සෙන් පන්නනවා වෙන්න පුළුවන් ..ඒ අයගෙ ඊළඟ ඇටෑක් එක මම වෙන්න පුළුවන් ...ඔයාගෙ අම්මාට විරුද්ධව මොකුත්ම නොකරන නිසා එයා ආයෙ ආයෙ මට කරදර නොකර ඉඳී කියලා හිතන්නත් අමාරුයි.....ඒ නිසා අපි තීරනේකට එන්න ඕනෙ විශ්ව "

පාරමී නිවීසැනසිල්ලේ කියාගෙන ගියාය.ඇය තුළ වූ සන්සුන් බව විශ්වගේ අහලක හෝ තිබුණේ නැත.ඔහු උන්නේ ගිනිවැදෙමිනි.

"පාරෝ....ඔයා මොකක්ද කරන්න යන්නෙ...?"

විශ්වගේ හඬ වෙවුලුම්කමින් පැවතුණි.පාරමී විශ්ව දෙසට හෙමින් හැරී බැලුවාය.ඔහුගේ දෑස් බොරපැහැයට හැරී තිබුණි.ඒතරමට අසරණ වූ දෑසක් පාරමී විශ්වගේ මුල් වෛද්‍ය හමුවේදී හෝ දැක නොතිබුණි.

"ඔයා මාව අතාරින්නද යන්නෙ පාරෝ...?" 

විශ්ව ඇසුවේ පාරමී දෙසම බලාගෙනය.පාරමී ඉතා සන්සුන්ව සිනාවක් පා හඬ අවදිකලාය.

                                                                                    *** 

" මේ හැමදේම මෙහෙම උනත් ඒ කිසිම දේකට ඔයා වගකියන්න ඕන නැහැ කියලා මම හිතන්නේ. මේ වගේ දේවල් වලින් විසිරිලා බිඳිල යන්න තරම් අපි දෙන්නගෙ අතරෙ තිබුණ ආදරය දුර්වල එකක් කියලා මම හිතන්නේ නැහැ.ඒ නිසා ඔයත් එක්ක එදා ගත්තු තීරණය අදටත් ඒ විදියටම තියෙනවා විශ්ව."

පාරමී බොහෝ නැවතිල්ලේ කියාගෙන ගියාය. විශ්වගේ හදවත සැහැල්ලු වූයේ කිය ගන්නටත් බැරි තරම් ඉක්මනිනි. ඇයගේ තීරණය ගැන කෙතරම් හිත අවිනිශ්චිතව තිබුණේදැයි ඔහුටම සිතාගත නොහැක.

" යොදාගත්තු හැමදේම ඒ විදියටම අපි කරමු. හැබැයි මේ වෙලාවේ ඉඳන් මගේ ආරක්ෂාව ගැන ඔයාට ලොකු වගකීමක් තියෙන බව විතරක් මතක තියාගන්න."

පාරමී සිය දෑතට සිරව ගත් විශ්වගේ දෑතම පිරිමදිමින් පැවසුවාය.

විශ්ව පාරමී සිය ළයට තුරුලු කොට ගත්තේ ඇයගේ තුවාල පෑරෙන්නේ නැති තරම් සියුම් වය.

"මං ඒ දේ කරනවා පාරෝ.ඔයා නැතුව මට කොහොමත් ජීවිතයක් නෑ.ඒක මම දන්න එකම දේ" විශ්ව පැවසුවේ පාරමී පාරමීගේ නලලත සිප ගනිමිනි.මෙවන් දෙහදක නැගෙන ප්‍රේමය කෙතෙක් නම් බලවත්දැයි විටෙක කෙනෙකුහට සිතාගන්නට නොහැකි තරම් ය 

                                                                        *** 

රටම ආන්දෝලනයකට ලක් කරමින් සුපිරි නිවාස සංකීර්ණයේ එක් නිවසක ටෙරන්ස් නාගහවත්ත සහ කල්පනා සූරියාරච්චි මිය ගොස් සිට හමුවූයේ දිනකට පසු ටෙරන්ස් නාගහවත්තගේ ශරීර ආරක්ෂකයා විසින් දොර කඩා බැලීමේදීය.

මරණ පරීක්ෂණයේ දී නිරාවරණය වූ කාරණය වූයේ මත්පැන් වලට මුසු වූ නිද්‍රාජනක ඖෂධ අධිමාත්‍රාවක් සමඟ උග්‍ර විශක් දෙදෙනාගේම ශරීර වලට ඇතුළු වී ඇති බව ය. සැකය විවිධ ආකාරයෙන් හැම දෙසටම යොමු වෙද්දී ශෙරීනාගේ විද්‍යුත් මේලය මෙන්ම කල්පනා විසින් කෙටි සටහනක් සේ ලියා තබා ඇයගේ අත්බෑගයේ සඟවා තිබූ පාපොච්චාරණමය සටහන ද සියලු දේ නිරාවරණය කර දුන්නේය.

ටෙරන්ස් නාගහවත්ත ගේ අතීතයේ සිටම සිදු කළ සියලුම වංචනික හා දරුණු ක්‍රියාවන් සියල්ලේම වගකීම ඔහු සහ තමා ගන්නා බවද මේ සියලුම කාරණා වලින් අනෙක් පාර්ශ්ව සියල්ලම නිදහස් වන බව ද ඇයි සටහන් කොට තිබිණි.

"අන්තිමට හැමදේම විසඳල තියලා උන් ඔක්කොම ගියා."

නිසල් පැවසුවේ මේ සියල්ලේම පසු සමාලෝචනයක් විශ්ව සමගින් කරමිනි.කල්පනාගේ මරණය විශ්වගේ සිතේ කිසිදු වේදනාවක් ඇතිකලේ නැත.ශෙරීනා වෙනුවෙන් නම් යම්තාක් දුරකට හෝ කණගාටුවක් ඉතිරිව තිබුණි.

"අපේ අම්මාගේ කාරණය ඇරෙන්න අනිත් ඔක්කොම ඒ විදිහටම විසඳිලා ගියා."

විශ්ව පැවසුවේ තමාහට ඇසිඩ් ගැසූ කාරණය පොලිස් වාර්තාවලින් ද පාරමී ඉවත් කරගත් හෙයිනි.එය තනිකරම ඇයගේ තීරණයක් වූ හෙයින් විශ්ව එයට මැදිහත් වූයේ නැත. පාරමී කිසිදු විටෙක තමා ගත් ඒ තීරණය ගැන විශ්ව සමග යළි කතාකලේද නැත.

දින කිහිපයකට පසු පාරමී රෝහලෙන් ටිකට් කපා නිල නිවෙසට ගියාය.ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්නට යොදාගත් දිනයට පෙර පාරමී විශ්ව සමඟින් ඔහුගේ ගෙදරට පැමිණියේ විශ්වගේ මව හමුවීමටය.

සිදු වූ සියලුම කාරණා මේ වනවිටත් දැන උන් හෙයින් විශ්වගේ මවගේ පෙර තිබූ අහංකාරය යටපත් වී තිබිණි.ශෙරීනා විසිං කලකී දෑ අනාවරණය වෙත්ම විශ්ව ගේ මවගේ සිතතුළ වූ බලලෝභය යම්තාක් දුරට යටපත්ව ගියේය. පාරමී ඇය සමග කතාකලේ විශ්වට එතැනට ඒම වලක්වාය.

"මම මේ කාරණා කිසිම දෙයක් ඉස්සරහටත් අදින්නේ නැහැ එළියට. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මිසිස් ජයසූරිය ඉදිරියටවත් මේ වගේ වැඩ නොකරයි ඉඳියි කියලා."

පාරමී එපමණක්ම කියා නැගී සිටියාය.

"මට සමාවෙන්න දුව."

විශ්වගේ මව නොසිතූ අන්දමින් පාරමීගෙන් සමාව අයැද උන්නාය.එහෙත් ඇය විසින් ඇතිකල තුවාලය කිසිදා අමතක කල හැක්කක් නොවේ.

"මගෙන් සමාව ගන්න අවශ්‍ය නෑ මිසිස් ජයසූරිය ...ඒත් කිසිමදාක මම ඔයාට නෑකමක් කියන්න ඔයා ළඟට එන්නෙ නෑ..."

පාරමී ඒ සියල්ල කියාදැමුවේ විශ්ව ගේ මවගේ දෑස දෙසම බලාගෙනය.ඇය ඉතා අපහසුවෙන් බිම බලාගත්තාය.පාරමී නිහඬවම ඇයගෙන් සමුනොගෙනම ආපසු ආවාය.

නිසල් සහ දැහැමිත් ඇයගේ අම්මාත් පමණක්ම සහභාගී වූ විවාහය ලියාපදිංචි කිරීමක් පාරමී සහ විශ්ව විසින් තෝරාගත් නිසංසල අවන්හලකදී සිදුවූයේ ඉන් දින දෙකකට පසුය. පාරමී ලාකොල පැහැති සාරියකින් සැරසුණේ ගෙල වැසූ හැට්ටයකටය.තවමත් ගෙල අසල තුවාල කැලැල්‍ ය.

"දුක හිතෙනවා බෙල්ල දැක්කම"

විශ්ව පැවසුවේ පාරමී ගේ ගෙල දෙස බලමිනි.

"දැන් ඉතින් යන යන රටෙන් බලල මම ඔයාගේ පර්ස් එකට විඳලා මේක යටගැහෙන්න ක්‍රීම් ජාති ගන්නයි ඉන්නෙ."

පාරමී හිනැහෙමින් පැවසුවාය.විශ්වද ඒ සිනහවට එක්වූයේය.

ඔවුන් දෙදෙනා එදිනම රාත්‍රියේ යොදාගත් අන්දමට සති තුනක චාරිකාවක් සඳහා විදෙස් ගතවූහ.

"හැමදේම මේ විදියට වුණ එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්. "විශ්ව පාරමීට පැවසුවේ නිවසින් පිටව ගුවන්තොටුපලට යන්නට සූදානම් වෙන අතරේය.

" මොන ප්‍රශ්නෙ ආවත් ඔයා එක්ක මම ඉන්නවා කියල මම ඔයාට පොරොන්දු උනා මතකද ?" පාරමී ඇසුවේ විශ්ව ගේ ටීෂර්ටයේ කොලරය සකසමිනි.ඇයගේ දෝත අල්ලාගත් ඔහු ඒ දෑස් දෙස මොහොතක් බලාඋන්නේය.ආදරය සහ විශ්වාසය කැටිව ගත් පාරමී ගේ දෑස සුපැහැදිලිව දිලිසෙමින් තිබුණි.

"ඉස්සර ඔයා හමුවුන මුල් දවස්වල ඔයා මගේ හදවතේ කොතැනක හරි උන්න කෙනෙක් වගේම මට දැනුණා...අදින් පස්සෙ මගේ මේ හදවතේ හැම අස්සක් මුල්ලක්ම ඔයාගෙන් පිරේවි"

විශ්ව ඇය සිය ළයට තදකොට ගෙන පැවසීය.පාරමී දෑස් වසා ඒ ළයේ රිද්මය අසා උන්නාය.

ඉදින් ප්‍රේමය යනු පරිත්‍යාගයක් මිස අන් කවරක්ද ? 

හදගැබෙහි කොහේ හෝ කොණක මතුවන ඉන්පසු හදපුරා අක්මුල් සිසාරා පැතිරෙන ආදරයේ මල්වරුසාවන් මතින් ජීවිතයේ අලුත් ඉසව්වක් සොයා යන්නට පාරමී විශ්වගේ දෑතේ පැටලී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පිවිසියාය.

********************************************************************************* 

හදේ කොතැනක හෝ හිඳී ඔබ 

නිදානොනිදා මෙන්

බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්

පෙලයි මා මුදා සුව දැහැනින්.....


සමාප්තයි.


********************************************************************************** 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)


Monday, April 24, 2023

29 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 29 කොටස


28 කොටසට මෙතනින් 28



මේ සිදුවීම් අතරතුරේදී පාරමි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියේ ඇයගේ විදේශ නිවාඩු අනුමත කර ගැනීමේ කටයුතු සඳහාය. විශ්වගේ කටයුතු සඳහා බොහෝ වේලාවක් ගතවන බව ඇය දැන උන් නිසා ඔහු වෙත ඇමතුමක් ගන්නට ද ඇය තැත් නොකළා ය. තමන්ගේ වැඩ කටයුතු සියල්ල නිමා කර ගත් පසු විශ්ව ඇමතීමට ඇය සිතා ගෙන උන්නාය.

ඇති වූ දැඩි කලබලය හමුවෙ කලුබෝවිල රෝහල වෙත යමින් සිටි විශ්වට ද පාරමීහට ඇමතුමක් දෙන්නට අමතක වීය.ශෙරීනාගේ මරණය සිදු වූ ආකාරය බෙහෙවින්ම ඛේදජනක එකකි. ඇය කෙතරම් වංචනික ලෙස ක්‍රියා කළ ද ඇයට සියදිවි නසාගන්නට නම් හේතුවක් නො තිබුණු බව විශ්ව දැඩි ලෙසම විශ්වාස කළේය .

" මේක තනිකරම අරූගේ ප්ලෑනක් ..උඹට එහෙම හිතෙන්නෙ නැද්ද නිසල් " 

විශ්ව ඇසූයේ මෝචරියේ දොරකඩ අසල සිටය.

සිය දියණියගේ මෘත දේහය දැක හඬා වැටෙන අතුකෝරල යුවල දුටුවිට විශ්වටද ඇතිවූයේ ඉමහත් වේදනාවකි.

"බලන්න පුතා මේ ළමයා කර ගත්තු දේ .ඔයා ඔෆිස් එකේ උන්නෙත් නැහැ කිව්වා.බලන්නකෝ මේ කරගත්තු දේ අනේ ඉතින් අපිට උන්න එකම කෙල්ල "

රියන්සි අතුකෝරල පැවසුවේ දෙනෙතට ඉණු කඳුළු ඇඟිලි තුඩකින් තද කර ගනිමිනි.විශ්ව ඔහුගේ උරහිසට තට්ටු කරමින් ඔහු අස්වසන්නට උත්සාහ කළේය

ශෙරීනාගේ හැසිරීම් රටාව කෙබඳු වුවද ඇයගේ පියා ඇත්තෙන්ම බොහෝ හොඳ ගතිගුණ වලින් පිරුණු මහත්මයෙකු විය. විශ්ව කුඩා කල සිටම ඔහුට ඉතා ප්‍රිය කළේය.ඉතින් ඒ වියපත් පියාගේ හිත සැනසීමට හෝ යමක් තමා විසින් කිව යුතු බව විශ්වට වැටහුණේය.

"මේ වෙලාවේ ඉවසාගෙන ඉන්න අංකල්.අපි මේ වැඩ ටික කරගම්මු ඉක්මනින්"

විශ්ව පැවසුවේය.

                                                                              *** 

පාරමී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට විත් පාර පනින්නට උත්සාහ ගත්තේ පාරෙන් එහා පස වූ bread talk අවන්හල වෙත යාමටය. දිවා කල සිටම රාජකාරී කටයුතුවලට යෙදී උන් හෙයින් දිවා ආහාරයද අත හැරී ගියේය .

කෙටි කෑමක් සහ අයිස්කෝපි වීදුරුවක් පානය කිරීමේ අවශ්‍යතාවය පාරමීට දැඩි ලෙසින් ඇති විය. යමක් ආහාරයට ගෙන ම විශ්වට ඇමතුමක් දෙන්නට ඇය සිතුවාය .

ඇස් වාට්ටුව අසල පාර මාරු වන ස්ථානයේදී කොල එළිය වැටෙන තුරු ඇය ඇය බලා උන්නාය. ඒ මොහොතේ ඇය වෙත පැමිණියේ කැප් තොප්පියක් දමාගත් උස හැඩිදැඩි මිනිසෙකි .

පාරමී ඔහු දෙස මොහොතක් බලා ආපසු පාර මාරුවන මොහොතේ ඔහු ඇයට "මේ මේ මැඩම්..."යැයි ඇමතුවේය.පාරමී මොහොතකට ඔහු දෙස හැරී බලා ඉදිරියට හැරෙත්ම යම් උණුසුමැති දියරයක් ඇයගේ ගෙල අසලින් පහලට ගලාඑන සේ ඒ තැනැත්තා අතින් විසිවුණි.තත්පරයෙන් අංශුමාත්‍රයක් ගෙවෙන්නට පළමු පාරමීට තමාහට වැදුණේ ඇසිඩ් ප්‍රහාරයක් බව වැටහෙන විට ඒ මිනිසා සෙනඟ අතරේ සැඟවගොස් හමාරය.පාරමී දැවීයන වේදනාවෙන්ම එතැනම බිම ඉඳගත්තාය. සිහිසුන් වන්නට මොහොතකට පෙර "මේ මිස්ට ඇසිඩ් ගහල.ඉක්මනින් හොස්පිට්ල් එකට ගෙනියපල්ලා"යයිද වතුර බෝතලයක් ගෙලමතට වැක්කෙරීයනුද පාරමීට ඇසුණි.දැනුණි.

                                                                                *** 

"විශ්ව මචං මෙතන වැඩ ටික තවත් දිග්ගැස්සෙන හැඩයි.කොහොමත් බොඩි එක රිලීස් කරගන්න වෙන්නෙ පෝස්ට්මෝටම් එකත් තියලනෙ.අද උඹ පාරමී හම්බවෙන්න යනවත් කීවනෙ."

නිසල් විශ්වගේ අතින් ඇද පසෙකට කරගත්තේය.විශ්ව අත් ඔරලෝසුව බලන විට වේලාව හතර පසුවී ගොසිනි.මේ වන විටත් පාරමී ඇමතුමක් නොදීමට හේතුවක්ද නැත.තමා අදාල කාර්‍යයට යන හෙයින් ඇතැම්විට ඇය කරදර නොකරන්නට සිතුවා වන්නටද ඇත.

ඔහු රෝහල් කොරිඩෝරයේ පසෙකට ගොස් පාරමීහට ඇමතුමක් ගත්තේ සිදුවූ දෑ පවසා ඇයට කැබ් රථයක් ගෙන ආපසු සේවා ස්ථානයට යන්නට කීමටය.

ජංගමයේ ඇමතුම වරක් නිම වන තුරුම පාරමී සම්බන්ධ වූයේ නැත.විශ්ව යළිත් වරක් අත රැඳි ඔරලෝසුව බලා ඇයට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ..."

එහා පසින් ඇසුණේ නන්නාඳුනන ස්වරයකි.

""හෙලෝ ..පාරෝ...???" 

විශ්ව ප්‍රශ්නාර්ථයකින් ඇමතුම ගත්තේය.

"මේ ෆෝන් එක අයිති ඩොක්ටර් පාරමී රත්මල්ගොඩට නේද? මම මේ කතාකරන්නෙ ජෙනරල් හොස්පිට්ල් එකේ වෝඩ් එකක නර්ස් කෙනෙක්.ඩොක්ටර් දැන් ඉන්නෙ මේ වෝඩ් එකේ ඇඩ්මිට් කරල.මේ ඩොක්ටර් ගෙ කවුද?" එහා පසින් ඇසුණ හඬින් විශ්ව මවිතයට පත්විය.කුමක් හෝ නපුරක් සිදුව ඇත.

"ඔ..ඔව් ..ඔව්..මම ඩොක්ටර් ව මැරිකරන්න ඉන්න කෙනා.මොකක්ද මිස් ප්‍රශ්නෙ.?"

විශ්ව ආයාසයෙන් ඇසුවේ නිසල්ටද තමා වෙත එනමෙන් සන් කරමිනි.

"නෑ එහෙම ලොකු අපහසුවක් නෑ.පොඩි කාරණයක්.මිස්ටර් ට දැන් එන්න පුළුවන් ද ජෙනරල් හොස්පිට්ල් එකේ -- වෝඩ් එකට.කලබලවෙන්න ඕනනෑ..හෙමින් එන්න."

හෙද නිලධාරිනිය ජංගමය විසන්ධි කලේ එසේ කියමිනි.

"මචං මොකක්ද බං මේ කරදර එකපිට එක.පාරමී ජෙනරල් හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු.හේතුවක් කීවේ නෑ.ඉක්මනින් යමං"

විශ්ව හිසකේ ඇදගනිමින් පැවසීය.

අතුකෝරල යුවලට සමු දී නැවත එනබව පවසා ඔවුන් ජාතික රෝහල වෙත වහා පැමිණියේ සිදුව ඇතිදේ අනුමාන කරගන්නට නොහැකිවය.ඔවුන් සිතතුල මෙයද ටෙරන්ස් නාගහවත්තගේ සැලසුමක්දැයි සැකයක් පමණක්ම ඉතුරු වී තිබුණි.

රෝහල් ආරක්ෂක නිලධාරීන් ගෙන් අවසර ගෙන වහ වහා අදාල වාට්ටුව වෙත දිවගිය විශ්ව මොහොතක් ගල්ගැසී නැවතුණේ වාට්ටුවට අදාල නම දුටුවිටය.

"Burns Unit"

නිසල් ගේ අතින් අල්ලාගත් විශ්ව වාට්ටුවට ඇතුල් වන තැන බිත්තියට මොහොතක් හේත්තුවිය.සිදුව ඇත්තේ එතරම්ම නපුරක්ද?නිසල් ඔහු වෙත ළං වූයේ සිය මිතුරා සිටින්නේ අධික කම්පනයෙන් බව වැටහීය.

"මචං calm down .අපි ඇතුලට ගිහින් බලමුකො ඉස්සෙල්ලම "

විශ්ව නිසල් පසුපසින් වාට්ටුව තුලට පිවිසුණේ ඇඳවල් දෙස බලමිනි.ඇඳන් වල ඉන්නා බොහෝ දෙනා වෙළුම් පටිවලින් එතීගොසිනි.වේදනාකාරී හැඬුම් සමහරක් ඇඳවල් වලින් නික්මෙයි.ශරීරවලට සම්බන්ධ බට රාශියකි.

"ඩොක්ටර්..මම විශ්ව ජයසූරිය .මම පාරමී මැරිකරන්න ඉන්න කෙනා "

විශ්ව වාට්ටුවේ වෛද්‍යවරයා වෙත සමීපව පැවසීය.වෛද්‍යවරයා හිසනගා ඔහුවෙත බැලුවේද ඔහුගේ මුහුණ පුළුල් සිනහවකින් එළිය වූයේද එකම විටය.

"අඩෝ විශ්වයා. ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙම උඹ දැක්කමයි මේ. මම කේසර.මතකද උඹට කේසර විතානගේ.අපි එකට බාස්කට් බෝල් ප්ලේ කලා මතකද?"

කේසර පුටුවෙන් නැගිට විත් විශ්ව වැළඳගත්තේ එකසැනිනි.සිය පාසල් මිතුරා හමුවීම කෙතරම් සතුටක් වුවද සිත දවන කාරණය ඒ සතුට මතුවන්නට ඉඩ නොදේ 

"මචං ග්ලෑඩ් ටු මීට් යූ...අනේ බං පාරමීට මොකද උනේ කියපන්කො.කෝ එයා?"

විශ්වගේ නොඉවසිල්ල වෛද්‍යවරයා වටහාගත්තේ එසැනිනි.

"යං .."

ඔහු වාට්ටුවේ කෙළවරට ගමන් කලේ විශ්වට අතින් සන් කරමිනි.තිර රෙදි ඇද වටකළ සයනයක දෑස් පියා වැතිර උන්නේ ඇයයි. 

"නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ. ඔහොම බලල වරෙන් මං අරහෙන් ඉන්නම්."

නිසල් සමග කේසර එතැනින් නික්ම ගියේය.විශ්ව පාරමීගේ ඇඳ අසලට ගියේ ඇයගේ පියව ගිය නෙත් දෙස බලාගෙනමය.ගෙල සිට පපුව ආසන්නයට එනතුරු ගෝස් තට්ටුවකින් වසා ඇත. ඇයගේ මුහුණ වේදනා බරිතව පියවගොසිනි.විශ්ව ඇසට ආ කඳුළක් ඇඟිලි තුඩින් තදකරගත්තේය.

"මගෙ කෙල්ල..."

ඔහුට ඉකිගැසිනි.ඇයට නින්ද ගොසිනි.සෙමින් පහත්වී නලලත දෙතොල් තැවරූ ඔහු ඇඳවටා වූ ස්ක්‍රීනය යලි වසා වෛද්‍ය මිතුරා සොයාගෙන ගියේ සිදුව ඇති කාරණය විමසා දැනගනු රිසියෙනි. හෙදියක පැමිණ පාරමී ගේ අත්බෑගය ඔහුට බාරදුන්නේය.

"හෑන්ඩ් ෆෝන් එකත් ඕකෙ ඇති."

ඇය ඔහුට පැවසුවාය.විශ්ව ඇයට ස්තුති කොට කේසර අසල පුටුවට බරවිය.

"මචං , ගෙනාව අය කිව්ව විදියට අයි හොස්පිට්ල් එක ගාව ක්‍රොසින් එකෙන් පාර පනින්න ඉන්නකොට තමා මේ ඇසිඩ් පාර ගහල තියෙන්නෙ වෙලාවට මෙයා පාර පනින්නම බලන් උන්න නිසා ඉස්සරහට ෆේස්කරල.ඉතින් මූණ බේරිලා තියෙන්නෙ ඒ නිසා.අනික ටිකක් ගණ කොට්න් සාරි එකක් එක්ක කර වහපු ජැකට් එකක් ඇඳල ඉඳල තියෙන්නෙ ඒ නිසා ඩීප් බර්න් එකක් වෙළා නෑ. බෙල්ල තමා පිච්චිලා තියෙන්නෙ.ඒකත් මතුපිට බර්න් එකක්.මොකද වැඩිහරියක් වැදිලා නෑ ඇඟට"

කේසර පැහැදිලි කලේ විශ්වටය.ඔහු සියල්ල අසා උන්නේ සිහිනයක පරිද්දෙනි.

"මචං අමාරුද පාරමීට..?"

විශ්ව නැවත ඇසුවේ කේසරගෙනි.

"නෑ නෑ තුවාල එච්චර ලොකුවට නෑ.ස්කාර් එක උනත් ඉක්මනින් මැකෙයි.බය වෙන්න එපා.අපි ඉන්නවනෙ."

කේසර සිය මිතුරාගේ නොසන්සුන් බව සමනය කරන්නට ඔහුගේ උරහිසට තට්ටු කලේය.

විශ්ව උන්නේ දැඩි කම්පනයෙනි.ඔහු සිතාඋන්නේ

පාරමීට මේ දේ කරන්නට ඇත්තේ ටෙරන්ස් නාගහවත්ත විසින් බවය.ඉතින් ඇය මෙසේ සිටීම තවත් අනාරක්ෂිතය.

"මචං මම පාරමීව ඩිස්චාජ් කරන් ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට අරන් යන්නද ?මේකෙ අන්සේෆ් ගතියක් මට දැනෙනව"

විශ්ව කේසරගෙන් විමසුවේය.

"ඇත්තෙන්ම කිව්වොත් ඩොක්ටර් පාරමීට ලොකු බර්න් එකක් නෑ මචං. අද සෙට්ල් වෙන්න දීලා හෙට බලමු.මේක පොලිස් කේස් එකක් නිසා ආරක්ෂාව ගැන බයවෙන්න එපා.වෝඩ් ස්ටාෆ් එක කොහොමත් ඇහැගහන්නෙ ඉන්නෙ"

වෛද්‍ය කේසර එසේ පැවසුවද මේ දක්වා ටෙරන්ස් නාගහවත්ත ගේ සැලසුම් ගැන කල්පනා කරන විට මෙය සුලු කොට තැකිය හැකි දෙයක් නම් නොවීය.

"ආ අනෙක...ඩොක්ටර් පාරමී ව ඇඩ්මිට් කරන්න ආව අය අතරෙ උන්නා ඒ හරියෙ ශොප් එකක් කරන කෙනෙක්.එයා භාරකාරයෙක් ආවොත් දෙන්න කියල මොබයිල් නම්බර් එක දීල ගියා.උඹට මෙච්චර ළඟට ආව එකේ පොඩ්ඩක් ගිහින් කතාකරල ගියාට පාඩු නෑ.මොකද අපිට ඔක්කොම ඉන්ෆොමේෂන් ගන්න ඕනවෙන්නෙ නෑනෙ.අපි බලන්නෙ ලෙඩා ගැනනෙ"

කේසර තමන්ට සිහිවූ යමක් එක්වනම පැවසීය.

"ඔව් ....අපි යමු කෝකටත් ඒ කෙනාව මීට්වෙන්න."

නිසල් පැවසුවේය.

"මචං දැන් කොහොමත් ඩොක්ටර් පාරමී අවදිවෙන්නෙ නෑ. උඹ දැන් බලාගත්තනෙ.අවුලක් නෑ.මතුපිටින් යන බර්න් එකක් විතරයි.හෙට උදේ එන්න මං වෝඩ් එකේ ඉන්නව"

කේසර පැවසුවේ රෝගීන් බලන්නට යන්නට සූදානම් වෙමිනි.ඉතා කාර්‍යබහුල තත්වයක් මධ්‍යයේ වුවද තමා වෙනුවෙන් කාලය කැප කිරීම ගැන සිය මිතුරාට බෙහෙවින් ස්තුතිවන්ත වූ විශ්ව නිසල් සමගින් රෝහලින් පිට වී අදාල ප්‍රදේශය වෙත ගමන් කළේය .

ඇස් වාට්ටුව අසලට පැමිණ අදාල දුරකතන අංකයට ඇමතුමක් ගත් විශ්වට 

"හෙලෝ"හඬින් පිළිතුරු දුන්නේ පිරිමි පුද්ගලයෙකි.

"මේ මහත්මයාගේ නම්බර් එක මට දුන්නේ ජෙනරල් හොස්පිට්ල් එකෙන්.අද හවස අද ඔයාල ගිහින් ඇඩ්මිට් කරේ මගේ වයිෆ්ව." 

විශ්ව පැවසුවේ ස්තුති පූර්වක හඬකිනි .

" ආ මහත්තයා ද ඒ ? මහත්තයාට පුලුවන්නම් මගේ කඩේට පොඩ්ඩක් එන්න."

ඒ තැනැත්තා පැවසුවේය.

"ඔව් අපි මේ දැන් ඇස් වාට්ටුව ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ.මට තැන දැන ගත්තොත් එන්න පුළුවන්."

විශ්ව පැවසුවේය.

"පොඩ්ඩක් ඉන්න මහත්තයා. මම එලියට එන්නම්. පාර පනින තැනින් ඇවිල්ලා පොඩ්ඩක් වමට එන්න" 

වමට හැරුණු තැන වූ කඩයකින් පිටතට ආ පුද්ගලයෙක් සිය දකුණු අත ඔසවා ගෙන සිටිනු විශ්ව දුටුවේය .ඔහු නිසල් සමගින් ඒ දෙසට පැමිණුනේ සිය දකුණු අත ඔසවමිනි.

"එන්න එන්න මහත්තයා. හිතුවෙ නැති කරදරයක් කරදරයක් නේද උනේ. අපි ඉක්මනට නෝනාව ගෙනිච්ච ඉස්පිරිතාලෙටත්.. මං හිතන්නේ ලොකු කරදරයක් නම් වෙන්නේ නැහැ "

ඔහු පැවසුවේ දැඩි හිතවත්කමිනි.

"අනේ බොහොම ස්තුතියි ඔයාලා ඒ වෙලාවෙ ඉක්මනින් ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මගේ වයිෆ්ව කරදරයක් නැතුව ප්‍රතිකාර වලට ගන්න පුළුවන් වුණේ. කොහොම ස්තුති කරන්නද මන්දා "

විශ්ව පැවසුවේ එම තැනැත්තාගේ දෑතින්ම අල්ලා ගනිමිනි.

"අනේ මහත්තයා අපි ඔක්කොම මිනිස්සුනේ . කරදරයක් වෙච්ච වෙලාවට මනුස්සයෙකුට මනුස්සයෙක් නැත්නම් කවුද ඉන්නේ. මහත්තයට තව එක දෙයක් මට පුළුවන් කරන්න. මගේ කඩේ සීසීටීවී බලන්න පුළුවන්."

ඒ තැනැත්තා පැවසූයේ විශ්වගේ අතින් අල්ලා ගනිමිනි.

විශ්ව සහ නිසල් මුහුණෙන් මුහුණ බලා ගත්තේ ඒ කාරණය මෙතුවක් තමන්ගේ සිහියට නොආ බැවිනි.

"එන මහත්තයා ඇතුලට අපි ගිහින් බලමු"

එම තැනැත්තා කඩයේ ඇතුළු කාමරයක් වෙත විශ්ව සහ නිසල් සමගින් ගියේය.

අදාල සීසීටීවී ගබඩා කිරීම් දත්ත නැවත නිරීක්ෂණය කරන විට පාරමි පාර මාරුවන්නට පැමිණි මොහොතේ සිට ඉදිරියට සෙමින් සෙමින් ධාවනය කරනු ලැබුවේය .

කැප් තොප්පියක් පැළඳ ගත්තද ඒ අදාළ පුද්ගලයාගේ මුහුණ නිරාවරණය වී තිබුණි .

"ඒක සුම් කරල බලමුද ..?"විශ්ව ඇසුවේය.

එම කොටස විශාලනය කර බලන විට විශ්ව ඉබේම අසුනෙන් නැගිට්ටවුණේය.

"සෑම්.....මේ අර සෑම්නෙ..." විශ්ව නිසල් දෙස බලමින් පැවසීය. 

"හොඳට බලපන් උඹට ෂුවර්මද?" 

නිසල්ද ඒ ආසන්නයට පැමිණ තිරයට එබෙමින් ඇසුවේය. කතා දෙකක් නැත මේ ඒ දාමරිකයා මය. ඉතින් මේ සියල්ලේ අග මුල සිට අගමුල විශ්වට මනාව පැහැදිලි විය.මෙහි මහ මොළකරු කවුදැයි යන්න තවදුරටත් තවදුරටත් සැකයක් නොවේ. විශ්ව නිසල් දෙස බලමින් සුසුමක් හෙලුවේය.

                                                                    **** 

විශ්ව නිසල් සමගින් නැවත වාහනයට නැගුණේ සීසීටීවී පිටපතක්ද ලබාගෙනය.අදාල වෙලඳසැලේ හිමිකරුට මුව නොසෑහෙන සේ ස්තුති කල ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන විට ඔහුට කිසිදු ගැටලුවක් නොවන සේ කරන බවටද පොරොන්දු දුන්නේය.

"මහත්තයා මමත් මරදානෙ මිනිහෙක්.ඒ වුනාට වැරැද්දට අසාධාරණයට මම හිටගන්නෙ නිවැරදි පැත්තෙ.මම කිසිදේකට බය නෑ මහත්තයා.ඕනම වෙලාවක මම එනව පොලිසියට උනත්"

ඔහු පැවසුවේය.

"එහෙම මිනිස්සුත් මේ රටේ තාම ඉන්නව බං."

නිසල් පැවසුවේ අවංකවම හිතට ආ පැහැදීමෙනි.

"සෑම් කාරයා මාවත් දන්න මිනිහා වෙද්දි මෙහෙම එකකට අතගැහුවෙ ඇයිද මන්දා?" 

විශ්ව පැවසුවේ කල්පනාවෙනි.

"උඹ තාමත් හිතන්නේ මේක ටෙරන්ස් ගෙ වැඩක් කියලද ?" නිසල් ඇසුවේ විශ්ව දෙස බලමිනි.

"නැහැ කොහෙත්ම නැහැ .මෙතන යන්නේ වෙනම ගේමක්. මොකද කියන්නේ ඌව හම්බවෙන්න යනවද ? නැත්තං කෝල් එකක් දෙමුද ?" 

විශ්ව කාර්යාලයට පැමිණ නිසල් ගෙන් ඇසීය.

"මේ වෙලාවේ උඹ එහෙ මෙහෙ යන එක එතරම් නුවණට හුරු නැහැ.එහෙන් ටෙරන්ස් කාරයා ඇහැ ගහගෙන ඉන්නෙ මොන ගිනි ගෙඩියක් දෙන්නද දන්නේ නැහැ . අපි ඒ හින්දා කෝල් එකක් දීලා බලමු" 

නිසල් ගේ ඒ අදහස වඩා කාලෝචිත බව විශ්ව අවබෝධ කරගත්තේය 

ජංගම දුරකථනයේ ස්පීකරයද ක්‍රියාත්මක කොට කාර්යාලයේ දොර අගුළු දැමූ විශ්ව සෑම්හට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ කවුද මේ කතා කරන්නේ?"

ජංගමයේ එහා පසින් ගොරෝසු කටහඬක් පිළිතුරු දුන්නේය.

"ආ සෑම් මම මේ විශ්ව මහත්තයා කතා කරන්නේ." විශ්ව ආයාසයෙන් කෝපය මැඩ පවත්වා ගනිමින් කතා කළේ නිසල්ගේ උපදෙස් පරිදිය.

"අ..ආ..ආ...වි..ශ්..ව..මහත්තයා.

හරි හරි මතක් උනා.මම මේ හෙන කල්පනාවක පැටලැවිල්ලක උන්නෙ.එකපාරටම මට කටහඬ අඳුරගන්න බැරි වුණා.ඉතිං ඉතින් මොකෝ මේ හදිසියේම මාව මතක් වෙලා " 

මුල දී සෑම් ගොත ගසමින් මෙන් කතා කළද පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට කටහඬ ගත්තේය.

" බොහොම ලස්සන පටලැවිල්ලකට ඔහේ පටලැවිල ඉන්නවා කියලා කියන්න තමයි මම කතා කළේ.තමුසෙට මොන අමාරුවකට ද මනුස්සයෝ මං බඳින්න ඉන්න ගෑනු ළමයට ඇසිඩ් ගැහුවේ. මං ඒක ලේසියෙන් අත අරියි කියල හිතන්න එපා සෑම්" 

කෙතරම් දුරට ආවේගය පාලනය කරන්නට තැත් දැරුවද සුපුරුදු කේන්තිය ඉස්මතුව එන්නේ පාරමී රෝහල් සයනයේ වැතිර උන් ආකාරය සිහි වන විට ය.

"මේ මොන පිස්සු කතාවක්ද මහත්තයා ...මං මේ හාංකවිසියක් දන්නෙනෑ..මොන ඇසිඩ් ගැහිල්ලක්ද " 

සෑම් නැමති පුද්ගලයා පැවසුවේ ගොත ගසමිනි.

" අද හවස තමුන් එතකොට මං බඳින්න ඉන්න නෝනට ඇස්වාට්ටුවෙදි ඇසිඩ් ගැහුවෙ නෑ...නෑ කියලනෙ කියන්නෙ.එහෙනම් තමුසෙ එනව හෙට පොලීසියට.මගෙ ගාව සීසීටීවී රෙකෝඩ් තියනව.ඒවයෙ ඉන්නෙ කවුද කියල එතකොට බලාගම්මුකො"

විශ්ව කෑගැසුවේ ඉමහත් කෝපයෙනි.

"හා..හා...පොලිසි යන්න කලබල වෙන්න එපා මහත්තයා ...මේක අහගන්නකො.මේවා ඉතින් අපේ නිලනොලත් රස්සාවන්නෙ.කාගෙ කවුද කින්ද මන්ද අදාල නෑ..සල්ලි ලැබෙනවනම් කියන දේ කලා.එච්චරයි .

හැබැයි ඉතින් මහත්තයාට මේක මෙහෙම මාට්ටු උනාට පස්සෙ පොලිසි යන ගානට එනවනන් මම පොලිසි එන්නෙ තනියෙන් නෙවේ....මහත්තයාගෙ අම්මා එක්ක..මොකද නෝනා තමා මට මේ වැඩේ බාරදුන්නෙ."

සෑම් පැවසුවේ ගණනකට නොගෙනය. එවන් දාමරිකයන්ගේ ස්වභාවය එසෙමය.ඉතින් අම්මා ගෙල මුලට හසුකිරීම විශ්ව ගේ කෝපාග්නිය මට්ටුකල හැකි ක්‍රමය ලෙස සෑම් වටහාගත්තේය.

"අනික මහත්තයා , මං මේවා පුරුදු වෙන්න කරන ඒවත් නෙවේනෙ.මට ඉතින් මහ උළු ගෙදර උනත් හොඳට පුරුදු තැන.හැබැයි ඉතින් යන්න උනොත් මම ලොකුනෝනාගෙ ඔක්කොම කොන්ත්‍රාත් ඉතිහාසෙම පොලිසියට දීලා තමා යන්නෙ හරිද මහත්තයා " සෑම් පැවසුවේ වක්‍රමාර්ගයෙන් තර්ජනාත්මකවය.

විශ්ව ජංගමය විසන්ධිකලේ හිසකේ ඇදගනිමින් අසුනට කඩාවැටෙමිනි.අම්මාගේ ගතිලක්ෂණ මෙසේයැයි දැන උන්නද ඇය මෙතරම්ම කුරිරු ලෙස හැසිරේ යැයි ඔහු සිතුවේ නැත.

"මොකද බං ..මම කරන්නෙ?"

විශ්ව ඇසුවේ අසරණව ගිය හඬිනි.නිසල් සියල්ල අසා උන්නේ ඒ හා සමාන කම්පනයෙනි.

"අපි පාරමී සනීප කරගෙන ඉම්මු බං .ඕක ප්‍රශ්නයක් තමයි.ඒත් මේ වෙලාවෙ අපි ඕකා පස්සෙ පන්නන්න ගියොත් ඌ කරන්නෙ අර කිව්ව දේම තමයි"

නිසල් සිය මිතුරාගේ උරහිසට තට්ටු කරමින් පැවසුවේය .

විශ්ව නිවෙසට පැමිණියේ කඩාවැටුණ මනසින් යුතුවය.පාරමී සයනයේ වැතිර උන් අසරණ භාවය තමාහට කිසිදා අමතක කල නොහැකි වනු ඇත. 

"බූරුවො...මෙච්චර හරියක් වෙලා තියෙද්දි උඹ මගුලෙ ගියාද ?" 

නිවෙසට ගොඩවදිනා විටම අම්මා විශ්වගේ ඇඟට කඩාගෙන පැන්නේය.විශ්ව ඇයදෙස බැලුවේ අධික කෝපයෙනි.

"අර කෙල්ල මැරුණෙ උඹේම අවාසනාවට.දෙයියනේ සාගරයක් වගෙ දේපල නේද ? එක්කො උඹ ඒකිව බැඳගන්න තිබ්බ කලින්."

අම්මා මේ සා කුරිරු ගැහැණියකැයි විශ්වට අදහා ගන්නටද නොහැක.ඇය මේ කම්පා වන්නේ ශෙරීනාගේ මරණය ගැන නොව අතහැරීගිය බූදල් දේපල ගැනය.විශ්ව කලකිරීමෙන්ම නිහඬව කාමරය වෙත පියමැන්නේය.

" උඹලා ගෙ පවට පින් දෙන්න බෑ.එහෙන් එල්ලගත්තා ආතක්පාතක් නැති එකියක්..."

අම්මාගේ හඬින් විශ්ව වියරු වැටුණේ පාලනය කරගන්නට නොහැකි අන්දමට ය .

"ඔව් අන්න ඒ ආතක්පාතක් නැතිඑකී ඇසිඩ් පාරක් කාල ඉස්පිරිතාලෙ..අම්මට සතුටුයි ද දැන්"

විශ්ව කෑගසා ඇසුවේ අසල වූ මල්බඳුනකට පයින් ගසමිනි.අම්මාගේ මුව විවර වූයේ මවිතයෙනි.ඇයගේ යටිසිත උදම් වූයේ සෑම් මේ සා ඉක්මනින් මේ කාර්‍යය කිරීම ගැනය.

"මං කිව්වෙ...මං කිව්වෙ...ආතක්පාතක් නැති එවුන්...හැදියාව කොහොමට ඇත්ද..?මොකක්හරි නැහැදිච්ච කමක් කරන්න ඇති නැත්නම් ඇසිඩ් පාරක් කන්න වෙන්නෙ නෑනෙ."

අම්මාගේ මුහුණේ මතුවන ප්‍රීති රේඛාවන් විශ්ව හොඳින්ම දුටුවේය.

"අම්මා දන්නව ඇතිනෙ ඒක කලේ කවුද කියල ..නේද අම්මෙ.."

විශ්ව ආපසු අම්මා වෙතට හැරී ඇසුවේය.

"මං...මං කොහොමද දන්නෙ.."

අම්මාගේ ස්වරය ගොත ගැහෙන්නට වූයේ එසැනෙනි.

"අන්න සීසීටීවී වල සෑම් ව හොඳට පේනව එතන.මං සෑම්ට කතාකලා.ඌ කියන්නෙ පොලිසි යනව නම් ඌ අම්මා එක්කම එන්නම් කියල.එහෙනං අම්මා ඌ එක්කම බලාගන්නකො ඉතුරු ටික"

විශ්ව අම්මා දෙස බැලුවේ සෝපහාසයෙනි.

අම්මා අඩක් විවර මුවින් ඔහු දෙස බලා උන්නාය.විශ්ව කාමරයට වැදී දොර වසාගත්තේ මහහඬිනි.

ඇඳ උන් ඇඳුම් පිටින්ම සයනයට වැටුණ විශ්ව සිය අතවූ ආවරණයැති කවරය පිටතට දමා පාරමීගේ අත්බෑගය ගත්තේය.ඇයගේ ආවේණිකම විලවුන් සුවඳ තවම බෑගයේ දැවටී ඇතුවාසේය.

ආපසු කාමරයේ දොරවෙත ගිය විශ්ව එය අගුලු දමා සයනය වෙත පැමිණියේය.

පාරමීගේ බෑගය තුල ඇයගේ ජංගමය ,මුදල් පසුම්බිය සහ කුඩා දිනපොතක් විය.ඒ හැරුණ විට කුඩා ප්‍රමාණයේ ඇසුරුමක පනාවක්, සුවඳ විලවුන් කුඩා බෝතලයක් සහ ටිෂූ පැකට්ටුවක් විය.

විශ්ව ඇයගේ ජංගමයේ ස්ක්‍රීනය මත ඇඟිල්ල තැබීය.එහි මුහුණතේ වූයේ ඔවුන් දෙදෙනා වැව් ඉමක දී ගත් සේයාවකි.එදා ඇය තම උරහිස බදා වැලඳගෙන මෙම සේයාරුවට මුහුණ දුන් ආකාරය ඔහුට සිහිවිය. ඇය අද සිටින්නේ ගිලන් යහනතක අධික වේදනාබරවය.විශ්ව ජංගමය නැවත බෑගයට දමා ඇයගේ මුදල් පසුම්බිය විවර කලේය.එහි විශ්වගේ සේයාරුවක් සහ අම්මාගේ සේයාරුවක් එක්පසක විය.ඇයගේ ජීවිතයේ තමා ඉන්නා තැන විශ්වට ඉතින් රහසක්ම නොවේ.විශ්ව සුසුමක් හෙලා ඇයගේ කුඩා දිනපොත විවරකලේය.

**********************************************************************************

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)