22 කොටස
21 කොටසට මෙතනින් 21
විශ්ව නික්ම ගිය පසු පාරමී සයනයේ දිගා වූයේ ජංගම දුරකතනයද රැගෙනය.ඔහු තිගැස්වූ ඒ සේයාරුව තමා කලක් බෙහෙවින්ම ආසා කල, එහෙත් පසුකලක තමාට අහිමිව ගිය සේයාවයි.අදටත් තමා ජංගමයේ මුහුණතෙහි එම සේයාරුව තබාගෙන සිටින්නේ මන්දැයි පාරමීටම සිතාගන්නට නොහැක.
අම්මා එය ජංගමයෙන් ඉවත් කරදමන්නට කාලයක් වෙර දැරුවාය.
'අනේ මැණික මට ඕක දැක්කම දරාගන්න බැරිතරම් දුකයි.ඔයා ඇයි ඕකම දාගෙන ඉන්නේ."
අම්මා ඇසුවේ කඳුළක් පිරීයන දෑසිනි.
"අම්මා මේක දකින වරයක් පාසාම මට මං කවුද , මං අද මෙතනට ආව හැටි මතක් වෙනව.ඒ හැමදේම අමතක වෙන්න ඕනම නෑ කියලයි මට හිතෙන්නෙ අම්මා."
එදවස තමා අම්මාට කියූ අන්දම පාරමී ට සිහිවිය.
අද මොහොතකට පෙර විශ්වට පැවසූ අන්දමට තමාද ගිනි සහ අලු මතින් නැගී උන්නේ ෆීනික්ස් කිරිල්ලියක් සේම නොවේදැයි පාරමීට සිතුණි.
මිනිසුන් ජීවිතය පුරාම ඇද වැටෙන බොහෝ සිදුවීම් ඇත.සමහර ඒවා දෛවය උදාකරන දේ වන අතර තවත් සමහර දේවල් මිනිසුන් විහින් ඇතිකර ගන්නා කඩාවැටීම් ය.ඒ කොයි එක වුවත් වඩා වැදගත් වන්නේ වැටුණ මොහොතක යළි නැගී සිටීම මෙන්ම නැවත නැවතත් එම කඩාවැටීම් වලට ලක් නොවී සිටීමනේදැයි පාරමී සිතුවේ තම ජීවිතයේ අත්දැකීම මතම පිහිටා සිටුමිනි.
කෙසේ වුවත් ජීවිතය යනු සිහින බිඳීම් වලින් යළි යළිත් නැගී සිටීම ය. අලුතින් සිහින එකතු කිරීමය .තම අද මේ සිටින්නා වූ තැනට ඒමට කෙතරම් කාලයක් ජීවිතය සමගින්ම තමා සටන් කළේ දැයි පාරමී යළි යළිත් සිතුවාය .මහා කටු අකුල් වල පවා මල් පිපෙන බව ජීවිතය තමන්ට කියා දුන්නේය.
***
අනුරාධපුර ගමන නිමාවූයේ මිහින්තලයේ සම්පූර්ණ වරුවක්ම ඇවිදීමෙන් අනතුරුවය. මඳ වැහි බීරමක් තිබූ එදවස දැඩි අව් රශ්මිය ඔවුනට පීඩාවක් කළේ ද නැත. මිහින්තලයේ ගල්පඩිපෙල නගින අතරතුරදී පාරමී ගේ සොඳුරු සේයාරූ බොහොමයක් විශ්ව අතවූ කැමරාවේ සටහන් විය.
දිවා අහරද අතරමග වූ අවන්හලකින් ගත් ඔවුන් ආපසු නවාතැන් ගත් හෝටලය වෙත අවුත්...පිටත් වීමට සූදානම් වූහ.ගතවූ දින දෙක ජීවිතයට එක්කලේ බොහෝ සැනසීමක් මෙන්ම සුන්දර අත්දැකීමක්ය. ජීවිතය අන්න ඒ තරම්ම සුන්දර දැක්මකි.
හැන්දෑවේ ආපසු එන අතරමග කුඩා අවන්හලක් අද්දර වාහනය නැවතූ විශ්ව පාරමී සමගින් පිටතට බැස්සේ තේ පානය කරන්නටය.සංචාරක මණ්ඩලයෙන් පවත්වාගෙන යන ඒ අවන්හල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාම ප්‍රචලිත වූවක් විය.
"එක දිගට ඩ්‍රයිව් කරද්දි මාර කම්මැලි කමක් එන්නෙ පාරෝ. ඒකයි චුට්ටක් ඉඳල යමු කීවෙ."
අවන්හලේ උඩුමහලේ කෙළවරක අසුන් ගනිමින් විශ්ව පැවසුවේය.
"හෙට ඉඳන් වැඩට යන්න ඕනෙ කියල මතක් වෙනකොට කම්මැලියිත් එක්ක."
පාරමී දෙස බලමින් සිනාසෙමින් ඔහු යළිත් කීවේය.
"ඔයාගෙ අතිජාත මිත්‍රයා කෝල් කලෙ නැද්ද ...පුදුමයි...."
පාරමී හිනාවුනේ නිසල්ගේ බැනවැදීම් සිහිකරමිනි.
"අපෝ ඊයෙ රෑත් වදේ ගැහුවා.මම ඔයා එක්ක ආවා කියල කිව්වෙ නෑ පාරෝ.මිනිහට සැකයි.ඒත් මම තනිවම වෙන ගමනක් ආව වගෙ කිව්වෙ."
විශ්ව පැවසීය.
"ඇයි ඉතින් ..."
පාරමී මඳක් කතාව නවතා විශ්ව දෙස බැලීය.
"නිසල් වුණත් ඔයා ගැන පොඩියට හරි වරදවා හිතන්න ඕනෙනෑ පාරෝ.මේක ලංකාවනෙ.අපි කොච්චර අපි ගැන දැනගෙන උන්නත්..අනෙක් අය අපි ගැන ජජ් කරන අන්දමට මාත් තාම බයයි."
විශ්ව පැවසුවේය.
සත්තකින්ම ආසියානු සංස්කෘතිය තුල , විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ මේ ගෙවන පරිසරය තුල පෙම්වතුන් නොවන යුවලක් දිහා බොහෝ නෙත් හැරෙන්නේ කුකුසකින් යුතුවය.වැඩුණු ගැහැණියක් සහ පිරිමියෙක් අතර මිත්‍රත්වයක් පමණක්ම පවතී යන්න පිළිගන්නට බොහොමයක් දෙනා අකමැතිය.
පාරමී එන්නට මොහොතක් තබා මුහුණ මඳක් සෝදාගන්නට අවන්හලේ කෙළවරක වූ නාන කාමරය වෙත ගියාය.තවත් පැය ගණනාවක් ආපසු යන්නට ඇත.හෙට රෝහලට යන්නටද ඇත.ඉදින් හෝරා ගෙවී යන්නේද අතහරින්නට ලෝභ අන්දමටය.
මඳ දුරක් නිහඬවම රිය ධාවනය කල විශ්ව පාරමී දෙස බැලුවේ හිස හරවා යන්තමට මෙනි.පාරමී කල්පනාවකය.එය බිඳින්නට නොහැකි වුව සිත දවන ඒ කාරණය අසා දැනගන්නටද අවැසිමය.ඔහු සෙමින් සුසුමක් හෙලීය.
"ඇයි..?"
පාරමී ඒ සුසුම් සරයෙන් එක්වනම විශ්ව දෙස බැලුවාය.
"කියන්න මට ..."
විශ්ව අසන්නේ ජංගම දුරකතනයේ මුහුණතේ වූ ඒ සේයාරුව ගැනය.එය පාරමීට වැටහුණි.
"ඔය මගෙ ජීවිතේ turning point එකක් වුණ කාලෙ විශ්ව.ඒක ලස්සන කතාවක් නෙවේ.."
පාරමී සිනාසෙන්නට තැත්දරමින් පැවසුවාය.එම කතාව දන්නේ ඉත අල්ප පිරිසකි.එය පාරමී ගෙන් ඔවුන් වත් නොඅසන්නේ එය අතීතයට එක්ව බොහෝ කලක් බැවිනි.විශේෂයෙන්ම දැහැමි ඒ සම්බන්ධව කිසිවක්ම පාරමී සමගින් කතාකලේම නැත.
"ඔය පින්තූරෙ මම ඒලෙවල් අන්තිම කාලෙ ගත් එකක්.මම දන්නව ඔයා ශොක් වුණා මගෙ කොණ්ඩෙ දැකල.දැන් ඉතින් මේ බෙල්ල ගාවටනෙ කොණ්ඩෙ.ඇත්තෙන්ම මට තිබ්බෙ ලේසියෙන් කීකරු කරගන්න බැරි කොණ්ඩයක්.මේකෙ මේ දණහිසෙන් පහලට පේන්නෙ ඔය කොණ්ඩෙ කපන්න කලින් ට්‍රිම් එකකුත් කරල."
පාරමී හිනැහුණේ ජංගමයේ මුහුණත යළි විශ්වට පෙන්වමිනි.විශ්ව මොහොතකට රිය මාවත අයිනට කර නැවැත්වීය.ඔහු යම්තාක් දුරට කැලඹෙමින් තිබුණි.
"ඒලෙවල් අන්තිම කාලේ මගෙ පීරියඩ්ස් සෑහෙන්න අවුල් වුණා.ඔයාට මේවා තේරෙන එකක් නෑ.ඒත් ඉතින් අහපු නිසා මේ කියන්නෙ මම."
පාරමී පැවසුවාය.විශ්ව නිහඬව අසාඋන්නේය.නංගී ගෙදර උන්නද ඇයගේ පෞද්ගලික මෙවන් කාරණා විශ්වගේ කණට හසුවී නැත.
"ඉතින් ඒලෙවල් කිට්ටුවෙද්දි ලොකු බඩේ කැක්කුමක් එක්ක ඒ දේවල් වෙනස් වෙද්දි අම්මා මාව එක්ක ගියා VOG කෙනෙක් ළඟට.එයා මාව බලපු ගමන් ස්කෑන් එකක් කලා.ඒකෙ රිපෝට් බලලා ඩොක්ටර් අම්මා එක්ක ශොක් වෙලා වගෙ එදා කතාකල හැටි මට මතකයි."
"මිසිස් රත්මල්ගොඩ ...මගෙ සැකය ටිකක් තහවුරු වුණා ස්කෑන් එකෙන්.ඒත් අපි ලේ පරීක්ෂණ කීපයක් තියනවා කරලම බලමු.ඩෝන්ට් වොරි."ඔහු එදවස අම්මා සමග නොකියා කියූවේ තමාට යම් අසනීපයක් ඇති බවය
"ඉතින් එදා ඉඳන් පරීක්ෂණ බරගණනක් කලා.අන්තිමට තීරණය කලා මගෙ ගර්භාශය පුරාම පිළිකාවක් පැතිරිලා කියල.ඒක කීමොතෙරපි වලින් ගොඩදාන්න බැරි තරමට පැතිරිලා ඉවරයි අහුවෙනකොට.ඉතින් තිබුණ අවසානම සහ එකම ප්‍රතිකාරය උනේ ගර්භාෂය ඉවත් කිරීම.ඔපරේෂන් එකෙන් පස්සෙ කීමෝ යන නිසා කොණ්ඩෙ කොහොමත් කපන්න උනා.ඔය පින්තූරෙ ඒ කපන්න විනාඩි ගාණකට කලින් ගත් එකක්."
පාරමී සුසුමක් සමගින් කතාව කියා නිමකලාය. ඉදින් ජීවිතය තමාට බැටදුන්නේ එලෙසය.මහරගම මෙන්ම පෞද්ගලික පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලද මාස ගණන් කාලය ගතවිය.දණහිසෙන් පහළට ගලාහැලුණ ගණ කොණ්ඩය ඉවත් කල පසු ඉතුරු වී ගිය කෙස් ටිකද ගිලිහී යන්නට වු කාලයක් තිබිණ.
ජීවිතය තමාට අභියෝග කලේ ඒ අන්දමිනි.බෙහෙත් සමගින් ඔට්ටුවෙමින් මහරගම අපේක්ෂාවේ සිටින කාලයේදී අම්මා දැහැමි සමගින් පාරමී ගේ පාඩම් සටහන් පිටපත් කළාය.ගුරුවරුන්ගෙන් අවසර ගෙන පාඩම් පටිගත කොට ගෙන ආවේ දැහැමිය.සංකූලතා අඩු දිනවල හැකි අන්දමින් පාඩම් කළද බැරි දිනවල් බොහොමයක් තිබුණ බවද ඇයට මතකය.
"ඔය ළමයගෙ ජීවිතේ ශුවර් නෑනෙ .ඉතින් ඒලෙවල් කරන්න මොකටද මහන්සි කරවන්නේ" යැයි ඇසූ අසල්වාසීන්ද නෑයන් නොවන නෑයින්ද සිටියද අම්මා නොසැලුණාය.
අම්මා තුළ පාරමී සුවවන බවට තිබූ විශ්වාසයට සොබාදහමද ඉරණමද බෙහෙවින් යටත් විය.
"අපි පුළුවන් හැටියට ඒලෙවල් ලියමු මැණික.ඔයා හයියයි.ඔයාට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්"
අම්මා තමන් එසේ උනන්දු කලේ රෝගයට තමාගේ ඇති අවධානය වෙනස් කරන්නට බව පාරමී වටහාගත්තාය .තාත්තා මියගියාට පසු මග නොවැටී සිටින්නට හැමදාම හිතට හයියක් වූඅම්මා එදාත් තමා නැගී සිටවූ අන්දම පාරමීට සිහිවිය.
"ඊට පස්සෙ මම හොස්පිට්ල් ඉඳන් නිවාඩු ගිහින් ඒලෙවල් ලිව්වා.ලියල ආපහු හොස්පිට්ල් එකේ ට්‍රීට්මන්ට් වලට ආවා.ඉතින් ඉන් පස්සෙ ආයෙ අර වගෙ කොණ්ඩයක් වැවුණෙ නෑ."
පාරමී ජංගමයේ වූ සිය දිගු කොණ්ඩය සහිත රුව දෙස බලාගෙනම පැවසීය.විශ්වගේ හිත තුළ ඇතිවූ කම්පනය ඔහුටම හිතාගන්නට නොහැකි විය.මෙතරම් අභියෝගයන් ජීවිත වෙතට එන ලොවක තමා කම්පා වෙමින් ඇත්තේ කුමකටද..?
"දැන් එතකොට ඒක සම්පූර්ණයෙන් ම සනීප වෙලාද පාරෝ."විශ්ව ඇසුවේ ඒ පහව නොගිය කම්පනයෙන්මය.
"ඔව් womb එකත් ඒ අවට අනෙක් ඒවා එක්කම ඔක්කොම අයින් කලානෙ.ඉතින් ඒ වගෙ වෙලාවක ජීවිතේ රැකගන්න ඩොක්ටර්ස්ලා කරන්න ඕන හොඳම දේයි කරන්නෙ.දැන් මම ඇනුවල් චෙකප් එකක් විතරක් කරගන්නවා."
පාරමී මඳ සිනහවකින් පැවසුවාය.
"විශ්ව, ඒ සිදුවීමෙන් පස්සෙ මං මට වැඩියෙන් ආදරේ කරන්න ගත්තා.තමන් තමන්ට ආදරේ වීම ඇතුළේ අනෙක් කිසිකෙනෙක්ට වට්ටන්න බැරි පෞරුෂයක් ගොඩ නැගෙනවා.මම ඔයාගෙන් දැන් බලාඉන්නේ අන්න ඒක ගොඩනැගෙන කල්."පාරමී සංවාදය නිමාකරමින්ම පැවසුවාය.
***
පාරමී වාට්ටුවට පැමිණෙන විට උදෑසන අට පසුවූවා පමණි.වාට්ටුවේ ඒ වේලාවට සියල්ලන්ම කලබලයෙනි.
"ඉක්මන් කරන්න මැඩම්ත් ආවා.දැන් වෝඩ් රවුන්ඩ් වෙලාව."
සුනන්දා රෝගියෙක් ඇඳට යවමින් පවසන්නීය.ඇතැම් වේලාවල් වලට හඬ උස් කර කතානොකල හොත් රෝගීන් ගණනකට ගන්නේද නැත.ඒ තද ස්වරයන් ඇත්තෙන්ම රෝගීන්හට අනාදරයකින් පවසන්නක් නොවන මුත් බාහිර පුද්ගලයන් එය දකිනු ඇත්තේද නුහුරටමය.
"ප්‍රසංගි කොහොමද ඉතින් ....දැන් හොඳටම හොඳයි නේද...?"පාරමී ප්‍රසංගිගේ ඇඳ අසල නැවතෙමින් ඇසුවාය.
"ඔව් මැඩම්. මම උන්නටත් වඩා හොඳින් කියල දැන් මට හිතෙනවා."ප්‍රසංගිගේ කතාබහ ඇතුලු හැසිරීම් සියල්ල කාලය යථා තත්වයට පත් කොට තිබුණි.
"වෝඩ් රවුන්ඩ් ඉවර වුනාම එන්න මට ඔයා එක්ක කතාකරන්න ඕනෙ."
පාරමී ඊළඟ රොගියා අසලට යමින් පැවසුවාය.වෛද්‍ය රහල් ඒ වන විට තෙමසක පුහුණුවක් සඳහා විදෙස් ගතව උන්නේය.පාරමී මේ සම්බන්ධය ගැන සියලු තතු දන්නා බව ප්‍රසංගිටද ඒ වන විට රහසක් වූයේ නැත.
වාට්ටු නිරීක්ෂනය අවසානයේ ප්‍රසංගී කාර්‍යාල කාමරයේ මේසය එහා පසින් හිඳගෙන උන්නේ පාරමී එනතුරුය.යාබද නානකාමරයට ගොස් අත සෝදාගෙන පැමිණි පාරමී සිය අසුනට වූයේ ප්‍රසංගි දෙස සිනාමුසුව බලමිනි.
"ඉතින් ප්‍රසංගි , මොකද දැන් ප්ලැන් එක."
පාරමී ඇසුවේ තමා ඉදිරිපස හිඳසිටිනා යුවතියගෙනි.ඇය මීට කලකට පෙර වාට්ටුවට ආ මුල් දිනය පාරමීට සිහිවිය.එදාත් අදත් අතර ඇත්තේ කෙතරම් වෙනසක්ද?
"ම්..මැඩම්....රහල් කියන්න ඇතිනේද අපි ගැන."
ප්‍රසංගි බිම බලාගෙනම හඬ අවදිකලාය.
"ඔව් මම දන්නවා."
පාරමී සිනාසෙමින් පැවසුවාය.
"මැඩම් , පණිවුඩ පිට පණිවුඩ හොස්පිට්ල් එකෙන් ගියාට ගෙදර අයගෙ කිසිම ප්‍රතිචාරයක් නෑනෙ.මම ආයෙ එයාල ගාවට යන්න කැමැත්තක් නෑ."
ප්‍රසංගිගෙ හඬ ස්ථිරසාර විය.
"ඔයා අවුරුදු දහ අටට වැඩි ගෑනු ළමයෙක්.ඔයාට මේ පවතින තත්වෙ උඩ දැන් ඔයාහෙ ජීවිතේ තීරණ ගන්න පුළුවන්."
"ඔව් මැඩම් රහල් ට්‍රේනින් ඉවර වෙලා ඇවිල්ල මැරි කරමු කීවා."
ප්‍රසංගි ගේ මුහුණේ ළා රතක් මතුව තිබිණ.ඒ ප්‍රේමයේ සුන්දර මතකයන් නිසා වන්නට ඇත.
"හොඳයි ප්‍රසංගි...මගෙන් වෙන්න අවශ්‍ය දෙයක් තියේ නම් කියන්න."
පාරමී ඇයට සමුදෙමින් පැවසුවාය.මියෙන්නට හෝ සදාකාලික උම්මත්තක භාවයකට පත්වන්නට ඉඩ තිබු ජීවිතයක් මෙලෙස ගොඩගත්තේ අන්කිසිවක් මගින් නොව ආදරය කරුණාව දයාව වැනිවූ මානව ගුණාංග මතමය.
***
"මට හිතෙනවා විශ්ව අයියා උඹ ගැන මොකක් හෝ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නෙ කියල"
එළඹි සන්ධ්‍යාවේ දැහැමි සමගින් ඇමතුමක යෙදුණ පාරමී තිගස්වමින් එක්වරම ඇය පැවසුවාය.
"සමහරක් විට එහෙම එකක් තියෙන්න ඇති.ඒත් මගේ ෆොටෝ එක ෆෝන් එකේ දැකල එදා මගෙන් අර විස්තරේ එයා දැනගත්තා.ඉතින් ඒ දේ දැනගත්තට පස්සෙ යම් එහෙම අදහසක් තිබුණා නම් ඒක එහෙම්ම නැතිවෙන්න ඇති.ඒක තමා වෙන්නම ඕනත්"
පාරමී පැවසුවේ ස්ථීර හඬකිනි.
"උඹට උගන්වන්න මම ඉගනගෙන නෑ මෙඩ්කල් සයිඩ් එකෙන්.ඒත් බං මේ මානසික බැඳීම් කියන දේවල් ඔය වගේ කාරණා එක්ක ගත්තම ගණන් නොගන්න ඒවා"
දැහැමි පැවසුවේ නිසල් පෙරදවසක ඇය සමගින් විශ්ව ගේ හැසිරීම් වල වෙනස ගැන කියද්දී ඔහු දුටු වෙනස්කම් ගැන කී හෙයිනි.
"දැහැමි ...ඔච්චර සරලව ඕව ගැන හිතන්න අපි දහ අටේ කොල්ලො කෙල්ලො නෙවෙයි දැන්. ලව් ඇට් ෆස්ට් සයිට් වගේ ඒවා ළමයෙක් නැති කතාව නැන්දම්මාගේ වචනෙන් දෙකෙන් එනකොට පලායනවා. දෙයක් වෙන බව දැන දැන ඔහොම සම්බන්ධකම් ඇතිවෙන්න ඕනද...මෙච්චර කල් මට එහෙම ඕනකමක් තිබුණෙ නෑනෙ.ඉස්සරහටත් එහෙම තමයි."
පාරමී පැවසුවේ හඬ මඳක් අඩුකරමිනි.මෙතුවක් කල් තමාගේ ජීවිතයට වෙනත් අයකුගේ ආගමනය අවශ්‍ය වූයේ නැත.ජීවිතය මේ අන්දමින් ගෙවන්නට තමා තීරණය කොට හමාරය.
"අපි ඔය කතාව නවත්වමු. මම වික් එන්ඩ් එකේ එනවා ගෙදර.ඒ ආව ගමන් ඔහෙත් එන්නම්"
පාරමී ඇමතුම හමාර කරමින් පැවසුවාය.
***
ජීවිතයේ මෙතුවක් කල් තමාහට එවැනි බැඳීම් අවශ්‍ය වූයේම නැත.සිරුරෙහි රසායනය ඉල්ලා සිටින ඇතැම් මානුෂික හැඟීම් අවශ්‍යම වූ තුරුණු වියෙහිදී පිළිකාව තමන්ට අභියෝග කලේය.එහෙත් ඒ කාලයේදී හෝ සිත්ගත් යෞවනයෙක් තමාට හමුව නොතිබුණි.ඉතින් පිළිකාවේ බලපෑම තමන්ට එල්ලකලේ ඊට එහා අභියොගයකි.
විදෙස් ගතව ඉගන ගත් කාලයේ මෙවන් ගැටලු ගණන් නොගන්නා විදෙස් තරුණයින් ඕනෑ තරම් ඇසුරේ උන්නද ඒ එක ඇසුරක් හෝ මිත්‍රත්වය යන මායිමෙන් පිටට ගියේ නැත.හිතට දැනෙන කිසිවෙක්ම , හිත හොල්ලන කිසිවෙක්ම ඒ අතර උන්නේ නැත.ඉදින් ජීවිතය පසුතැවුණේද නැත.
එහෙත් විශ්ව දුටු මුල්ම දිනයේ පවා තම සිත තිගැස්සුණ බව පාරමී ට මතකය.නහර පුප්පාගෙන දුරකතනයෙන් කෑගසද්දීත් ඔහුගේ දෑස් තිබුණේ තමා ලඟමය.ඒ බැල්මට තමා සසල නොවීයැයි පාරමී ට කියන්නට නොහැක.
විශ්ව ගේ ආගමනය හොඳම යාළුවෙක් යන නිර්නායකයේ රඳවන්නට පාරමී වෙර දැරූවද ඔහු වෙතින් තමා ලබන සැලකිල්ල,රැකවරණය ඔහු සම්බන්ධ යම් විශේෂයක් හිතට දනවන්නට සමත් විය.එහෙත් ඔහු ද පිරිමියෙකි.එහෙයින් තමා ගැන සත්‍යය දැනගත් පසු ඔහු සිත තුල යමක් වී නම් එයද ඉවත්ව යනු ඇතැයි පාරමී සුසුමක් හෙලා සිතුවාය.
අම්මා මියයාම සමග මාලනීද ආරාමගත වීම එක් අන්දමකින් තමා හුදෙකලා කොට දමා ඇත.සමහරක් විට විශ්ව ට උදව් කිරීම හරහා තමන්ද මානසිකව සතුටක් ලබන්නේ ඒ ඇසුරෙන් විය යුතුය.
"පාරෝ....දවස් ගානකින් කතාකරන්න ලැබුණෙ නෑ. "
ලද ඇසිල්ලේ අමතන විශ්ව පැවසීය. අනුරාධපුර ගමනින් පසු දින ගණනාවක් යනතුරුම විශ්ව කාර්‍යබහුල වූවා මෙන්ම පාරමී ද රෝහලේ වැඩකටයුතු අතර සිරවූවාය.
"මාත් බිසි වුනා මේ ටිකේ.ඉතින් කොහොමද විශ්ව වැඩ කටයුතු."
වෙනදා තරම් ඔහු සමග කතාකරද්දී ඇතිවන සැහැල්ලුව තමා වෙත නැති බව පාරමී ට දැනුනි.
"ඕපනින් එකට තව සතියනෙ පාරෝ.යකා බැඳගත්තා වගෙ වැඩ.ඔන්න කිසි වැඩක් දාගන්න එපා.මම දිනේ කිව්වනෙ."
විශ්ව ගේ හඬ සතුටින් ජීවයෙන් උතුරාගොස් ය.
"හරි හරි...ඒ දිනේ වෙන් කරල තියෙන්නෙ. "
පාරමී ද ඒ සතුටට හවුල් වූවාය.
"පාරෝ.....?"
විශ්ව මොහොතකට පසු ප්‍රශ්නාර්ථයක් ඇතිව ඇයට කතාකලේය.පාරමී නිහඬවම උන්නාය.
"ඔයා මොකුත් ගැටලුවකද ඉන්නෙ.මට මොකක් හරි වෙනසක් දැනෙනවනෙ."
විශ්ව ට තමාගේ වෙනස වැටහෙන්නට තරම් ඔහු තමා ගැන අවධානයෙන් සිටින්නේද.? අනෙක් අතට ජංගමයෙන් ඇසෙන සීමාවේ පමණක් ඒ වෙනස ඔහු කෙසේ නම් වටහා ගත්තේද ?
***
විශ්ව යළි සිය ව්‍යාපාරය ඇරඹුවේ අලුත්ම මුහුණුවරකිනි.කාලයක් තිස්සේ මියගොස් තිබූ බලාපොරොත්තු එකින් එක පණ නගා මල්ඵල දරන්නට පටන් ගෙනය. නිසල් මේ සම්බන්ධයෙන් පසුවූයේ ඉමහත් ප්‍රීතියකිනි.
"උඹ මේ තැනට එන්න තිබුණේ අවුරුදු ගානකට කලින්. කොහොමින් කොහොම හරි ගතවෙච්ච කාලේ ගැන නොහිතා ආයෙ මේ ඔක්කොම ලස්සනට අලුතින් පටන් ගන්න එක ගැන මට පුදුම සංතෝසයි."
නිසල් පැවසුවේ සුභ මොහොතින් විවෘත කරන දාට පෙර දිනය. විශ්වගේ දෑස් පුරා කවදාවත් නොදුටු තරමේ දීප්තියක් නිසල් දුටුවේය.
"අවුරුදු ගානකට කලින් අර දොස්තර නෝනා හම්බුනා නං අපි ඒ කාලෙම ගොඩයන්න තිබුන තමයි බං. කොහෙද ඒ අම්මණ්ඩි එතකොට ඉඳලා තියෙන්නේ රටනෙ."
විශ්ව හිනැහෙමින් පැවසීය.
"එතකොට ඔක්කොම ඒ දොස්තර නෝනාටයි ක්‍රෙඩිට් එක යන්නෙ ...අපි කැලේ ."
නිසල් සිනහාසුනේ මහහඬිනි.
"උඹලා මං වෙනුවෙන් කරපු කැපකිරීම මං කවදාවත් අමතක කරන්නේ නැහැ මචං .ඒත් මගේ මානසික කඩාවැටීම කියන එක හරියටම අල්ලගත්තෙ පාරමී. දොස්තර කෙනෙක් විදියට නොවුනත් එයා මට හුගක් හුඟක් දේවල් කියලා දුන්නා. මන් ටික ටික හැදෙන්න ගත්තෙ එතන ඉඳලානෙ බං."
විශ්ව සිය අසුනේ හිඳ ගනිමින් පැවසූයේ දැඩි හැඟුම්බර විලාසයකිනි.
"ඒක නං ඇත්ත .අපි ඔක්කොම උඹට කොච්චර කිව්වද ඒත් උඹ ඇහුවෙ නෑ.අඩුගානෙ පාරමී එහෙම උඹට ක්ලෝස්වුන එක කොච්චර වටිනවද බං."
නිසල් පැවසුවේ සිය මිතුරා ගැන උපන් අවංකම ප්‍රීතියෙනි .
"දැන් ඔක්කොම arrangement හරි නේද ...කෝකටත් ඩබල් චෙක් කරපන්."
විශ්ව පැවසුවේ නිසල්ටය.
"චීෆ් ගෙස්ට් එයි නේද ? අන්තිමේ හොස්පිට්ල් එකේ ලෙඩෙක් පිස්සු කෙලිනව කියල නෑවිල්ල ඉඳීද?" නිසල් ඇසුවේ මහහඬින් සිනහසෙමිනි.
"ගෑනි දන්නෙ නෑ චීෆ් ගෙස්ට් එයා කියල.මෙතන ඇවිල්ල සෙනඟ අස්සෙත් මට දඩෝරියන් ගාලා පාරක් නොදුන්නොත් තමා පුදුම." විශ්ව පැවසුවේ නිසල් හා එක්ව යන සිනහවෙන්මය.
කාලයක් දුක, කඳුළ ,ශෝකය සහ අපේක්ෂා භංගත්වයෙන් උතුරා ගිය සිය මිතුරා අද සිටින්නේ සාර්ථකත්වය අභිමුවය.ඉදින් නැවත ඔහුට ආපස්සට පය තැබිය නොහැකි තරම් ය.මෙතුවක් කල් තමා සමගින් උන් සෙසු මිතුරු ඇසුරට දැන් පාරමී ද එක්වී ඇත.නිසල් සැනසුම් සුසුමක් හෙලා ඇවිද ගියේ තවත් සොයා බැලීය යුතු දේවල් තිබේදැයි සිතමිනි.
***
"දැන් විශ්ව අයියාගෙ company එක open කරන උත්සවයට උඹ යනවා නේද ?"
දැහැමි දුරකථන ඇමතුමක රැඳෙන මොහොතේදී පාරමී ගෙන් ඇසුවාය.
"ඔව් යන්න ඕනනේ ...නැත්තං ඉතිං ඔලුවත් එක්ක කයි"
පාරමී හිනැහෙමින් පැවසුවාය
"තාමත් ඔය ඔලුව කන මල පනින තත්ත්වයෙම ද මිනිහා ඉන්නේ.මං හිතේ දොස්තර නෝනා බෙහෙත් දීලා ගිනි පුක් ගාය අඩු වෙලා ඇති කියලා "
දැහැමි හිනැහෙමින් ඇසුවා ය .
"අපොයි ඒව ගානට අඩු වෙලා තියෙන්නේ .ඒ උනාට කොයි කොයි වෙලාවේ ඒ යකා දුම්මල වරම ගන්නවද මන්දා. කෝකටත් සූදානමින් ඉන්න එක හොඳයිනේ .උඹයි අම්මයි එනවද මාත් එක්ක යන්න.?"
පාරමී ඒ සිනහවට එක් වෙමින්ම ඇසුවාය.
"ඔව් සෙනසුරාදා නේ .අම්මයි මායි සිකුරාද හවස එන්නම්කෝ ක්වාටර්ස් එකට." දැහැමි ඇමතුමෙන් සමුගනිමින් පැවසුවාය.
සමීපතමයෙකුගේ සාර්ථකත්වය යනු හොඳම මිතුරකු හෝ මිතුරියකට තමන්ගෙ සාර්ථකත්වය හා සමානවම සතුටු වියහැකි කාරණයකි. පාරමී අද දවසේ විඳින්නේ තමා විසින් හෙළි පෙහෙළි කර දුන් විශ්වගේ ඒ ගමන් මගේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයයි.
අවසාන පරීක්ෂාවද කර අවසන වෙහෙස කෙතෙක් වුවද පාරමීට ඇමතුමක් නොදී නිවෙසට යාමට විශ්වගේ හිත ඔහුට ඉඩ දුන්නේ නැත.වේලාව දහය පසුවී විනාඩි පහලොවක් ලෙස ඔරලෝසුව දක්වන මොහොතේදී ඔහු ඇයට ඇමතුමක් ගත්තේය.වාර දෙකතුනක් නාද වන විට එහා පසින් පාරමී ගේ හඬ ඇසුණි.
"පාරෝ තව නිදි නැද්ද...?" විශ්වගේ හඬෙහි ලෙන්ගතු බව පාරමීගේ හිත තිගස්වන සුලු වුවද එය නොසලකා හරිමින් ඇය කතාකලාය.
"නෑ මේ මං නිදි."
එහා පසින් ඇයගේ කිංකිණි හඬැති සිනහව ඇසෙයි.විශ්ව නිහඬව සිනාවෙමින් එය අසා උන්නේය.
"එහෙනම් හීනෙන් වෙන්න ඇති කතාකරන්නෙ."
විශ්වද එකට එකම කීවේය.
"වැඩ ඉවර නැද්ද තව විශ්ව.?" පාරමී සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඇසුවාය.
"ඉවරයි...ෆයිනල් චෙකින් ඕකේ.අපි මේ ගෙවල් බලා යන්න කියල.ඔබතුමී හෙට උදේ අට වෙද්දි මෙතන ඉන්න් ඕනෙ හරිද ?"
විශ්වගේ හඬෙහි පවා ඇත්තේ උතුරා යන ප්‍රීතියකි.ඔහු එසේ සතුටින් ඉඳීමද කෙතරම්ම දෙයක්ද?
"හරි හරි සර්...අපි පරක්කු වෙන්නෙ නෑ...ඔන්ටයිම් ඔතන .එහෙම නම් උදේට කන්න දේවිනෙ අපිට නේ...ඔච්චර උදෙන් එන්න කියන්නෙ."
පාරමී සිනහාසුණාය.
"දෙනව දෙනවා උදේට දවල්ට දෙකටම කන්න දීලා රෑටත් ඔතන් යන්නත් දෙනවා..බඩජාරියාට.එහෙනම්....මම යන්නම් පාරෝ.good night girl"
විශ්වගේ හැමදාම සමුගැනීම එසේය.
තෙරුවන් සරණක් බුදුසරණක් පැතීමක් නැත.සුබරැයක් පතනවා පමණි.පාරමී ඔහුට සුබ රැයක් පතා ගියේ දැහැමි සහ අම්මා ඉන්නා කාමරයටය.
"උඹ හෙට මොකක්ද අඳින්නෙ."
දැහැමි ඇයගේ ගවුම මදිමින් ඇසුවාය.
"මගෙ වයිට් ඇන්ඩ් පින්ක් සාරි එක....ඒක උදේ function එකකට හොඳයිනෙ."
පාරමී යෙහෙලියගෙන් ඇසුවාය.ඇත්තෙන්ම ඒ සාරියට පාරමී හැඩය.ඇඟටම නොඇලුණද එය සිරුරේ හැඩය මනාව පෙන්වයි.ඒ සාරියට පාරමී කවදත් ආසාකලාය.
"ඒක ලස්සනයි ...ආයෙ අයිශ්වර්‍යා රායිගෙ පුංචිඅම්මගෙ දුව වගෙ ඉඳීවි."
දැහැමි පැවසුවේ ඇයගේ අම්මාවද සිනාගස්වමිනි.
"මම ඇන්ටි ඉන්න නිසා උඹට කියන්නෑ ඉතින්."
පාරමී පැවසුවාය.
******************************************************************************************************
යලි හමුවෙමු
කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)
ooooo.....something never expected...
ReplyDeletebut life........
hmm....hmm
Delete++++++
ReplyDeletethank you
Deleteපාරමී ලෙඩෙක් කරලා.....
ReplyDeletewhat to do anee
Delete