Wednesday, April 19, 2023

25 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 25 කොටස

24    කොටසට මෙතනින්   24




"ඇයි ඔයා හිතන්න ඔයාට කාත් කවුරුත් නැහැ කියලා .එතකොට මම ඔයාගේ කවුද?" 

විශ්ව ඇසුවේ පාරමී දෙස සෘජුවම බලමිනි. පාරමී දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය .

"යාළුවෙක් කියන්නේ , හොඳම යාළුවෙක් කියන්නේ සමහරක් වෙලාවට තමන්ගේම පවුලේ ලේ නෑයෙකුටත් වඩා හුඟක් ළඟ කෙනෙක් .ඒක ඇත්ත විශ්ව .නමුත් ඔයා මගේ හොදම යාළුවා වුණත් මෙතන තියෙන ප්‍රශ්නය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්"

විශ්ව නිහඬවම පාරමී කියන දේ අසා උන්නේය.

"මං රට රටවල් වල අවුරුදු ගානක් තනියෙන් ජීවත් වුණ කෙනෙක් .ඒ කාලෙදිත් එකට ඉගෙන ගන්න යාලුමිත්‍ර කණ්ඩායම් අතරේ ගෑණු පිරිමි බේදයක් නැතුව හුඟක් කට්ටිය උන්නා තමයි . නමුත් මම ඇත්තම කියන්ඩ ඕනෙ විශ්ව . මට මෙච්චර කාලෙකට දැහැමි ඇරුනම හොඳම යාළුවෙක් කියලා කෙනෙක් උන්නේ නැහැ .විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ. ඔයා මේ කෙටි කාලෙට මගේ හොඳම යාලුවා වුනේ ඔයාගේ ප්‍රශ්නවලට මගෙන් උත්තර ලැබුණා හා සමානවම මගේ ජීවිතයටත් ඔයාගේ ආශ්‍රය කියන එක හුඟක් වැදගත් දෙයක් වුණ නිසා ...."

පාරමී මොහොතකට කතාව නවතා සිය වතුර බෝතලයෙන් මදක් පානය කළාය .

"ඒත් මේ ශ්‍රී ලංකාව කියන දේ ආකල්ප අතින් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ කියන එක ආයෙ ආයෙම මට ඔප්පු වෙනවා . ඔයාගේ මගෙයි අතරෙ තියෙන ඒ ලෙන්ගතු කම යාලුකම ඔයාගේ අම්මා ඉඳලා ඕනම කෙනෙක් වටහා ගන්නේ වැරදියට බව දැන් අපිට තේරෙන්න ඕනේ"

පාරමී ගේ හඬෙහි වේදනාවක් මුසුව යමින් පැවතුණි.විශ්ව ඇයට දිගටම කතාකරන්නට ඉඩ දී බලාඋන්නේය.

"ඔයා ශෙරීනා හරි වෙන ඕනම කෙනෙක් එක්ක හරි ජීවිතේ පටන් ගන්න යන්කොට මේ යාලුකම ඒකට බලපෑමක් කරාවි විශ්ව. ඔයාගේ අම්මා ඒ බලපෑම අනිවාර්යයෙන් එතනට ගේනවා.ඒ නිසා....ඒ නිසා...."

පාරමී මොහොතකට කතාව නැවැත්වූයේ එතනින් ඔබ්බට කිසිවක් කියාගන්නට නොහැකිවය.

"ඔව් ඒ නිසා ...ඒ නිසා...මොකක්ද...කියන්න ඉතින් .."විශ්ව අසුනෙන් නැගිට ඇය ඉදිරිපසට ආවෙය.පාරමී නිහඩවම බිම බලා ගත්තාය.විශ්ව ඇය අසලින් මේසයේ භාගයට මෙන් ඉඳගත්තේය.පාරමී හිස නොඋස්සාම උන්නාය.

"කියන්න පාරෝ....ඔයාට දැන් කතාකරන්නම වෙනවා."

විශ්ව සිය සුරත ඇයගේ නිකටට යටින් යවා එසෙවීය.පාරමී ගේ ඇස් පුරා කඳුළු විසිරෙමින් පැවතුණි.

"අපි ටිකක් දුරස් වෙලා ඉම්මු විශ්ව..."

පාරමී හැඬුම් අතරින් පැවසුවාය.තමා හැසිරෙන්නේ දැඩි ආශාවකින් ලඟ තබා ගත් සෙල්ලම් බඩුවක් අහිමිව යන කුඩා දැරියක් විලසින් නොවේද? 

"ටිකක්...ඇයි ටිකක් ....කියන්න පාරෝ..... "

විශ්ව ඇසුවේ කෝපය මැඩගනිමිනි.පාරමී නිහඬව හිස දෙපසට වනමින් නිහඬ වූවාය.

"දුරස් වෙන්න ඕනනම් ඇයි ටිකක් දුරස් වෙන්නෙ...ඇයි සම්පූර්ණයෙන්ම දුරස් නොවෙන්නෙ.මොකක්ද ඒකෙ තේරුම පාරෝ.කියන්න."

විශ්ව පාරමීගේ අත් ගොබයකින් අල්ලා නැගිටවාගත්තේය.ඔහු මේසයට අඩමානයෙන් හිඳගෙන ඇති හෙයින් පාරමී නැගී උන් පසු ඔහුගේ ඇස්මට්ටමට ආවාය.

පාරමී සුසුමක් හෙලා ඉවත බලා මොහොතක් උන්නාය.

"ඔයාට හොඳක් වෙනව නම් සම්පූර්ණයෙන්ම වුණත් දුරස් වෙන්න මම ලෑස්තියි විශ්ව.."පාරමී එවදන් පැවසුවේ හිත කෑලි වලට කැඩීබිඳී යන මොහොතේය.

"එතකොට ඔයා ඈත්වුනාම මට නරකක් වෙනවනම් ....එතකොට ඔයා මොකද කරන්නෙ?" 

විශ්ව ඇසුවේ පාරමී ගේ මුහුණටම එබෙමිනි.

"මං ඈත්වුනා කියල ඔයාට වෙන නරක් මොකක්ද විශ්ව. මම ඔයාගෙ යාළුවෙක් විතරයි...ඉතින් ...ඉතින් ..."පාරමී බිඳීගෙන යන හඬින්ම පැවසුවාය. 

" ඒකත් එහෙමද පාරෝ.මම ඔයා ගැන හිතන් උන්න තරම එක්ක බැලුවම ඔයා මාව තියල තියෙන්නෙ කොච්චර දුරකින්ද කියල මට දැන් තේරෙනව. මං පිස්සෙක් නොවී ,කාලකණ්ණියෙක් නොවී ගොඩ ආවේ අනූනමයෙන් කියන එක ඔයාට අමතක වෙන්න ඇති. ඒත් ඒක මට අමතක වෙන්නෙ නෑ පාරෝ.මට අමතක කරන්නත් බෑ...."විශ්ව පාරමී දෙස නොබලාම පැවසුවෙය

"ඒත් ....ඔයා කියන්නෙ ඔහොම නම් ....මට බලෙන් ඔයාව මා ළඟ තියාගන්න ඕනනෑ පාරෝ.මෙච්චර කාලෙකට මගෙ අතින් ගිලිහිලා ගිය ජීවිතේ ඔයා මට ආයෙ පෙන්නල දුන්නාට පිං.ඒත් .....ඔයා මාව අතාරින්න සූදානම් නම් මට ඔයාගෙ ළඟ බලෙන් ඉන්න ඕනනෑ පාරෝ."

විශ්ව ගේ හඬ වේදනාකාරී විය.

"විශ්ව...."

පාරමීගේ කෙඳිරුම් හඬ සවනතට වැකෙන මොහොතේදී විශ්ව උන්නේ ආපසු හැරී යන්නට පියවර ඔසවමිනි.

"අපි යං පාරෝ....ඔතනින් එහාට අපි මොනව කතාකරන්නද....යමු..මම ඔයාව ඇරලවන්නම්...."

විශ්ව නිහඬවම පෙරට පය තැබීය.

                                                                            *** 

පාරමී මොහොතක් නිවසේ දොර අසල බිම හිඳගෙන උන්නාය.විශ්ව ආපසු එන අතරේ කිසිවක්ම නොදොඩාම උන්නේය. කෙතෙක් මුදු වුවද විශ්ව තරහා ගිය විට ඉතා තද සිතැත්තෙක් බව පාරමී දැන උන්නාය.කියන්නට වදන් සොයාගන්නට නොහැකිව ඇයද ඔහේ බලාඋන්නේ වේගයෙන් පසුව යන ගස්වැල් දෙසය.

කිසිදු වදනක් නොපවසාම පාරමී වාහනයෙන් බැසි වහාම විශ්ව නික්ම ගියේ ඇය දෙස එකදු බැල්මක් හෝ නොතබමිනි.හිතම හිස්ව ගොසිනි.ඉදින් කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද යන්න පාරමීට සිතාගන්නට නොහැකි තරම්ය.ඉකිගසා හඬා වැටෙන්නට සිත බලකරයි.

ටික වේලාවක් බිම ඉඳගෙන උන් ඇය කකුල් අද්දමින් ගෙතුළට වැදුණාය.සතියකට වරක් පමණක් පැමිණ යන මේ නිවස පාලුවට යන්නට පටන් ගෙනය.සුනන්දා ස්ව කැමැත්තෙන්ම පාරමී සමග සතියකට වරක් විත් ගෙදර අස්පස් කොට බිම මොප් කර මිදුල අතුගා දමන්නීය.ඒ වෙනුවට වත්ත පිටියේ තවම ඉබේ මෙන් හැදෙන පලාකොල සහ පොල් කොස් දෙල් ඇයට ඇති තරමට ඇය රැගෙන යන්නේ පාරමී මුල්ම දින සිට ඇයට කියූ හෙයිනි.

"මේ ගෙවල් මෙහෙම පාලුවට යන්න දෙන්න හොඳ නෑ මැඩම්."

සුනන්දා මිදුල අතුගාමින් පවසන්නේ වරක් දෙකක් නොවේ.අම්මත් මාලනීත් නොමැතිව මේ ගෙදර රැයක් ගෙවුනේ නැත.දවල් දවසේ අස්පරස් කොට දමා හැන්දෑවී ආපසු යන විටත් ඇයට පෙර දවසක මේ නිවස ගැන තිබූ ආසාව නැතිය.

විශ්ව ගියේ දැඩි නොමනාපයක් සිත ඇතිවය.එහෙත් ඔහු කිසිවක්ම නොකියා ගිය පසු ජීවිතයේ වෙනදා නොවූ හිස්තැනක් ඇත. පාරමී තෝරාබේරා ගන්නට නොහැකි හැඟීමකින් ඔද්දල්ව ගිය සිතෙන් ඉකිගසමින් හඬන්නට වූවාය.

                                                                  *** 

" වරෙන් යන්න මාත් එක්ක " නිසල්ගේ නිවෙස අසල වාහනය නැවතූ විශ්ව ඇමතුමක් දුන්නේ එහි සිටමය.නිසල්ගේ අම්මා හමුවට යාමට සිත්නොවූ හෙයින් ඔහු නිසල්ව ගෙන්වාගන්නට තැත්දැරීය.සිය මිතුරාගේ කලබලකාරී හඬ නිසාම නිසල් වහා වෙනත් ඇඳුමකට මාරුවී වාහනය වෙත දුව ආවේ අම්මාගෙන් යන අතරේම සමුගනිමිනි.

"මොකද බං උනෙ...?" නිසල් ඇසුවේ විශ්ව වාහනය පාරට ගන්නා විටමය.විශ්ව කිසිවක් නොකියා රථය වේගයෙන් ධාවනය කලේය.

"යකෝ මැරෙන්නද ඕනෙ.ඔන්න ඔය පාර අයිනට කරල ඕක නවත්තහං.මං ගන්නම් වාහනේ"

නිසල් කෑගැසුවේ විශ්වගේ අපරීක්ශාකාරී වාහන පැදවීම දෙස බලමිනි.වාහනය මාවත අසල නවත්වා එයින් බැසගත් විශ්ව පා පහරක් වාහනයේ ටයරයට ගැසුවේ කෝපයෙනි.

"පාරෙ ඉන්න උන් හිනස්සන්නැතුව නැගපන්.නැගල කතාකරමු" නිසල් විශ්ව යාබද අසුන වෙත තල්ලු කරගෙන මෙන් ගෙන ගියේය.

"යමන් ක්ලබ් එකට."විශ්ව පැවසුවේ හිසකේ අදිමිනි.මේ තත්වය උඩ විශ්ව එහි ගියහොත් එතනින් ගන්නට වන්නේ හෙට පාන්දර බව නිසල්ට වැටහුණි.

"නෑ නෑ මෙච්චර කල් නොගිය ක්ලබ් එකට ආයෙ යන්න ඕනත් නෑ...මොකද උනේ කියපන්...බීල නෙවේනෙ ප්‍රශ්න විසඳන්න ඕනෙ"

නිසල් අසුනේ විශ්ව දෙසට හැරෙමින් පැවසීය.

"ඔක්කොම එකයි බං ...ඔක්කොම එකයි..මුන් ඔක්කොම නටන්නෙ මගෙ ජීවිතේ එක්ක."

විශ්ව වේදනාවෙන් පවසන්නට විය.සිදුවූ සියල්ල නිසල්හට පැවසූ ඔහු හිස අත බදාගෙන දෑස් පියා ගත්තේය.

"මේ අහපන් විශ්ව...උඹ පාරමට උඹේ හිතේ තියන දේ කියල තියද ?" 

නිසල් ඇසුවේ සිය මිතුරාගේ කතාවට ඇහුම්කන් දුන් පසුවය.

"ආයෙ ඕක වචනෙන්ම කියන්න ඔනද බං.මෙච්චර ලං වෙලා උන්නා.ඒකිට ඕක නොතේරෙන්න එයා බබෙක්ද?" 

විශ්ව පැවසුවේ නොරිස්සුම් සහගතවය.

"ඒක වැරදියි...එහෙම ගත්තොත් පාරමී උඹට කැමතියි කියලත් නෑනෙ.මේ අහපන් ඔය අවුරුදු දාසයේ දහාටෙ කොල්ලො කෙල්ලො වගෙ මේව විසඳන්න බෑ.උඹ කෙලින්ම අහන්න ඕනෙ පාරමීගෙන් .උඹෙ හිතේ තියන දේ නොකියා ඒ මනුස්සයට බනින එක වැරදිනෙ බං"

නිසල් පැවසුවේය.

"හරි යමන් ....දැන් යමන් එහෙමනම් ..ගිහින් මම කියන්න ඕන ටික කෙලින්ම කියල අහන්නම්.උඹ හිටපන් සාක්කියට."විශ්ව පැවසුවේය .

"දැන් ..මේ දැන්...බලපන් දැන් පහත් පහුවෙල.හොස්පිට්ල් යන්න පුළුවන් ද මේ වෙලාවට" නිසල් උත්සාහ කලේ ආවේගය පාලනය කොට සෙමින් මේ කතාවට මොවුන් දෙදෙනා ප්‍රවිෂ්ට කරන්නටය.

"හොස්පිටල් නෙවේ අරහෙ ගෙදර ඉන්නෙ.යමන් එහෙ.ආයෙ හෙටට කල්දාන්න දෙයක් නැ"විශ්ව සිය මතයේම එල්බ ගත්තේය.

"කුලුමීමෙක් ආම්බාන් කරන එක ලේසියි මූව නම්මගන්නවට වඩා.මොන මලයකෙක් වැහිලද මන්ද මූට."

නිසල් තමාටම කියවමින්ම රිය පණ ගන්වා ගත්තේය.

පාරමීගේ නිවසට එනවිට පහ පසුවී විනාඩි තිහක් පමණය.අවට නිවෙස්වල අයගේ බැල්මවල් එහෙමට නොවැටෙන පරිසරයක් හෙයින් පාරමීගේ නිවසට යනඑන අය ගැන සොයාබලන්නට කිසිවෙක් නොවූ තරම් ය.වාහනය ගෙවත්තට ඇතුල් කර නැවතු නිසල්....පාරමීට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ" බෙහෙවින් නිදිබර හඬකින් ඇමතුමට සම්බන්ධ වූ පාරමී නිසල්ගේ හඬින් නිදිමත පහව ගොස් ඇඳෙහි හිඳගත්තාය.

"ඩොක්ටර් මම නිසල්...මේ විශ්වයා පිස්සු නටනවා ආපහු."

නිසල් වාහනයෙන් බැස ඇමතුමට සම්බන්ධ වූයේය.විශ්ව ඉවත බලාගෙනම උන්නේය.

"මට තේරෙන්නෙ නෑ නිසල්.මම හැම පැත්තෙන්ම තැලෙනවා අන්තිමට."

පාරමී ගේ හඬ හැඬුම්බරවීය.

"අපි ඉන්නෙ ගේ ඉස්සරහ.මූ එක්ක මේක කතාකරල පොඩ්ඩක් ශේප් කරන්න.නැත්නම් අද ක්ලබ් යන්න හැදුවා ආපහු.මම මේ අමාරුවෙන් නවත්තාගත්තෙ"

නිසල් පැවසුවේය.

පාරමී ඇඳෙන් නැගිට අවුල් වූ හිසකේ සකසා ගෙන වහා ඉදිරි දොර ඇරියාය.නිසල් රිය ඉදිරිපස සිට ඇය හා සිනාසුනේය.ව්ශ්ව ඉදත බලාගෙනම සිටී.පාරමී නිහඬව දොරෙන් මෑත්වූවාය.

"දැන් තොට ගේ ඇතුලට යන්න මං තොරණක් ගහන්න ඕනද.එක්ක ආව මදිවට.පලයන් පුපුරපුපුරා ඉන්නෙ නැතුව .ගිහින් කතාකරගනින් "නිසල් වාහනයේ විශ්ව උන් පසට විත් පැවසීය.

"උඹත් යමන්..."විශ්ව පැවසුවේය.නිසල් යලි ඔහුට රැවීය.

"මගුලක් කියවන්නෙ නැතුව පලයන් බං.වද දෙන එකෙත් සීමාවක් තියනවනෙ."

නිසල් රියදුරු අසුනට ආවේ එසේ කියමිනි.විශ්ව ආපසු හැරි හැරී බලමින් ගෙදර ඉදිරි දොර අසලට ගියේය.

"මං පොඩ්ඩක් ගිහින් එන්නම්.කෝකටත් කියල මගේ ශරීර සවුක්කියට ඒක හොඳයි.නැත්නම් ඔය විසික් කරන කෝප්පයක් පිගානක් වලංගැට්ටක් මේ අසරණ මගෙත් වදින්න පුළුවන්" 

නිසල් රිය හරවාගනිමින් විශ්වට කෑගසා කීය.ගෙතුළට යමින් උන් පාරමීටද එබසට සිනා නැගුණි.ආපසු හැරී බලනවිට රවා ගත් මුහුණින් විශ්ව ගෙතුළට එමින් සිටී.පාරමී සිනහව ගිලගත්තාය.

"ඉඳගන්න" 

පාරමී පුටු සෙටියට අත දිගු කළාය.

"මට ඕන්නෑ.."

විශ්වගේ ගෙරවීම පාරමීට යටිසිතේ සිනා උපද්දවයි.

"එහෙනම් හිටගෙන ඉන්න මට මොකෝ."

පාරමී ගණනකට නොගෙන කීවාය.

"මොකක්ද කිව්වෙ?"

විශ්ව අඩියට දෙකට ඇය අසලට අවේය.පාරමී එතන වූ අසුනේ ඉබෙම හින්දවුනාය.

"කට නම් තියෙනවා මොනව නැතත් ..."

විශ්ව ඇය අසලින් හිඳ ගත්තේය.

"යකා ආරූඪ වෙල ගියපු හැටියට හැරෙන තැපෑලෙන් ආපහු ආවේ ඇයි කියලා මම බැලුවේ."

පාරමී අසුනේ මදක් ඈතට වෙමින් පැවැසුවාය.

"යකා ..? යකා තව දැක්කෙ නෑ මගේ ."

විශ්ව පැවසුවේ නොමනාප බැල්මකින් ඉවත බලමිනි.

"ඇයි ඔයා මම කියන දේ තේරුම් ගන්නෙ නැත්තෙ?" 

පාරමී මොහොතක නිහඬතාවයෙන් පසුව විශ්ව දෙසට හැරෙමින් ඇසුවාය 

"කියන්න ඕන හරියට...පැහැදිලි ව තේරුම්ගන්න හරියකට ....හරි මාත් ඒ වෙලාවේ කලබල උනා. හරි දැන් කතා කරමුකො."

විශ්ව සුසුමක් හෙලා සන්සුන් වන්නට උත්සාහ දරමින් පැවසුවේය .

පාරමී මොහොතක් නිහඬව සිටියාය. විශ්ව සම්බන්ධව තමාගේ සිතේ ඇත්තේ කිනම් වූ හැඟීමක් සහ ආකල්පයක්ද යන්න පාරමී කල්පනා කලේ ඔහු අමනාපයෙන් පිටවී ගිය මොහොතේ පටන්ය .මෙතුවක් කල් ජීවිතයේ නොඇරී තිබූ එක් ඉසව්වක් විශ්වගේ ආගමනයෙන් පසු අවදි වන්නට පටන් ගෙන තිබූ බව පාරමීට වැටහෙමින් තිබුණි .නමුත් ඒ හැඟීම කිසිදිනෙක ඔහු තමා සතු කර ගැනීමට යන්න දරන්නන් නොවන බවද ඇය අවබෝධ කොට ගෙන සිටියාය . තමාගේ ජීවිතයේ පසුගිය කාලයේ සිදු වූ ප්‍රබල වෙනස්කම් හේතුවෙන් තමා කිසි දිනක විවාහ ජීවිතයකට ඇතුළු නොවන බව පාරමී දරා උන් මතය විය . කෙතරම් සාධාරණීකරණය කළ හැකි හේතුන් තිබුණද පාරමී ජීවත්වූයේ තවකෙකුගේ ජීවිතයකට තමන් සම්බන්ධ වන්නේ නැතැයි යන දැඩි මතයේය.

"මට කියන්න තිබ්බ දේවල් මම කිව්වා විශ්ව. ඔයා සම්බන්ධව කොච්චර විශේෂත්වයක් මගේ හිතේ තිබුණාත් ......"

පාරමීගේ වදන් අතරමඟ නවතා ලමින් විශ්ව ඇය දෙසට හැරුනි .

"පාරෝ....ඔය මහප්‍රාණ ව්‍යාකරණ ටික පැත්ත තියන්න. මට කෙලින්ම කියන්නම්. අපි දෙන්න අතරේ තියෙන්නේ යාළුකමක් විතරද .? මං අහන්නේ ඔයාගේ පැත්තෙන් මම ඔයාගේ හොඳම යාළුවා විතරද ? ඊට එහා ගිය යමක් ඔයාගේ හිතේ මං ගැන නැද්ද ?"

විශ්ව ඇසුවේ අන්තිම මොහොත දක්වාම පාරමී සිර කරමිනි. මට මේ නිහඬ ව උන්නා ය.තම සිත තුළ ඔහු ගැන පවතින විශේෂත්වය ආදරය යැයි තමාට ම වටහා ගත නොහැකිව ඇත . නමුත් ඔහු අමනාප වී තමා හැර ගිය මොහොතේ පටන් සාමාන්‍යයෙන් ඉතා අඩුවෙන් කඳුළු පිරෙන දෑසට අතොරක් නැතිව කඳුළු ගලා ආවේය .

විශ්ව යන පුද්ගලයා තමාගේ ජීවිතයේ මෙතෙක් නොවූ තරමට තමාට බැඳී සිටියේ යැයි පිළිගත යුතුව තිබුණි .

"කතා කරන්න පාරෝ. අපි මේක කෙලින් කතා කරන්න ඕනේ."

විශ්ව පාරමීගේ දෙවුරෙන් අල්ලා තමා වෙතට හරවා ගත්තේය .

"මන් දන්නෙ නෑ විශ්ව මට තේරෙන්නේ නැහැ..."

පාරමී එපමණක් පවසා නිහඬ වූවාය .

"හරි ඔයාටනේ තේරෙන්නේ නැත්තේ .එහෙනම් මම කියන්නම් මගේ පැත්ත . ඔයාට ඔයාව නොතේරුනාට මට මගේ පැත්ත හොඳින් තේරෙනවා."

විශ්ව පැවසුවේ නිහඬව බිම බලාගෙන ඉන්නා පාරමීටය.

"ඇත්ත මම ඔයා ගාවට ආවේ මම ඔයාගෙ පේෂන්ට් කෙනෙක් විදියට තමයි . ඒත් ඒ ආව පළවෙනි දවසේ ඉඳන්ම ඔයා මාව ඔයාගෙ පේෂන්ට් කෙනෙක් විදියට බාර ගත්තෙ නැති උනත් මට ඔයා විශේෂ කෙනෙක් වුණා පාරෝ."

පාරමී දෑස් විසල් කොට විශ්ව දෙස බලා උන්නාය.

"ඔයා මාව මාව කවුන්සලින් වලට භාරගන්න බැහැයි කිව්වාම මම නිසල් ට මොන තරම් වදයක් දෙන්නට ඇති කියලා ඔයා දන්නවද ...?"

විශ්වගේ මුහුණේ මතුවූයේ ඉතා දඟකාර සිනහවකි.

"කල්පනාගේ ගැටලුව ඉන්පස්සෙ මම ගෑනු අය කියන සබ්ජෙක්ට් එකෙන් ඈත්වෙලාමයි උන්නෙ.කවදාවත් මම බඳින්නේ නැහැ කියන එක මම තදින්ම තීරණය කරගෙන උන්නෙ .ඒ විතරක් නෙමෙයි කිසිම ගෑනු කෙනෙක් එක්කම සම්බන්ධකමක් වගෙ දෙයක් ඇති වුණේත් නැහැ .ඒ තරමට ගෑනු මට අප්පිරිය වෙලයි තිබුණේ."

විශ්වගේ හඬ මදක් ආවේගකාරී විය .පාරමි සෙමින් ඔහුගේ අත සිය අත තබා සෙමින් තට්ටු කළාය. හැමදාමත් මෙන් විශ්ව ආවේගශීලී වන මොහොතේදී සිහින් ස්පර්ශය ඔහු සන්සුන් කරන. බව පාරමී දැන උන්නාය."

                                                                                    *** 

"ඇස් ලොකු කරන් බලන් උන්නට නිසල් ගේ පෝන් එකෙන් මං එකෙන් එක දවසට ඔයාට කොච්චර කෝල් ගත්ත ද කියලා ඔයාම දන්නව පාරෝ. කොහොම හරි ඔයාගේ appoinment එකක් ගන්න උත්සාහ කරපු කාලෙදී තමයි ඔයගෙ අම්ම හදිසියේම නැතිවුනේ .එතනින් පස්සේ අපි දෙන්නා සමීප වෙච්ච හැටි ඔයා දන්නවා."

විශ්ව පාරමීගේ අත තම දෑතට මැදි කර ගත්තේය.

"cancer එක නිසා සිද්ධ වෙච්ච දේ ඔයාගෙ ජීවිතයට ලොකු බලපෑමක් කළ බව මම දන්නවා.නමුත් ඒක මගේ හිතේ ඔයා ගැන තිබ්බ හැඟීම වෙනස් කරන්න කිසිම හේතුවක් වුනේ නැහැ .මම පිළිගන්නවා මගෙයි වැරැද්ද ...අපි කොයිතරම් ක්ලෝස් වෙල හිටියත් මම ඔයාට මගේ හිතේ ඔයා ගැන තියෙන දේ කෙළින්ම කීවේ නැහැ .මම හැමතිස්සෙම හිතුවේ ඒක කටින් කියන්න අවශ්‍ය නැහැ ඔයාට ඒක තේරෙනවා කියලා .අනෙක අපේ වයස්වල හැටියට මේ දේ මෙහෙම කියන්නම ඕන කියල මං හිතුවෙ නෑ...නමුත් මේ ප්‍රශ්නෙ මෙච්චරම බරපතළ වුණාටත් පස්සෙ නිසල් අද හවස මට කියනකම් මට ඒක තේරුම් ගන්න බැරි වුණා" 

පාරමී කරකියාගන්නට දෙයක් නොමැතිව බිම බලාගෙනම උන්නාය.

"පාරෝ.....අයි ලව් යූ සෝ මච්...මං ඔයාට ආදරෙයි පාරෝ."

විශ්ව පාරමී සිය දෑතින් වැලඳගනිමින් පැවසුවේ ඉතාම හැඟීම්බරවය.පාරමී ගල්ගැසී මෙන් ඔහේ උන්නාය.මොහොතක් දෙකක්...ඊටත් වඩා කාලයක්.

"පාරෝ...ඇයි කතාකරන්නෙ නැත්තෙ."

විශ්ව ඇසුවේ ඇය සිය තුරුලෙන් මෑත්කරමිනි.පාරමී පියවි සිහියට ආවේ මොහොතක් ගතව ගිය පසුය.

හැඟීම් කෙතරම් ප්‍රබල වුවද අවබෝධය ඊට වඩා ඉස්මතු විය යුතුය.තමා මේ දැන් පවසන ඕනෑම දෙයක් තමාගේ මෙන්ම විශ්වගේ සම්පූර්ණ අනාගතයම තීරණය කරනු ඇති බව පාරමී දැන උන්නා ය.

"මං කියන දේ තේරුම් ගන්න විශ්ව. අපි පුංචි ළමයි නෙමෙයි .අපි මේ ජීවිතයෙ හුඟක් දැනුම් තේරුම් තියෙන අය .ඔයා දන්නවා මට දැන් කිසිම කෙනෙක් නැති බව.ඔයා එහෙම නෙමෙයි ඔයාට අම්මා තාත්තා ඉන්නව. මේ දේවල් මෙහෙම උනොත් ඔයාව ඔයාගෙ පවුලෙන් අම්මා සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.ඒක වෙන්න දෙන්න බෑ මට.අපි මේ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න ඕන කාලයක් නෙවෙයි විශ්ව."

පාරමී සෙමින් පැවසුවාය .ඇයගේ සිතතුල ඉපිද බුරබුරා නඟින්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් වුවද ඇය හිතාමතාම සිය මනස පාලනය කරගත්තාය.

"පාරෝ....මේ බලන්න ..ඔයා ඔය කියන හැමදේම මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න . මේ අහන්න පාරෝ. ඔය කියන දේවල් ඔහොම ඇත්තටම ඔයාගෙ හිතේ තියෙනවා නම් ඇයි අද මම ගිය වෙලාවේ ඉඳන්ම ඇඬුවේ ..ඔයා කොච්චර නෑ කිව්වත් ඔයාගේ ඇස්දෙක මට සාක්කි දෙනවා."

විශ්ව පැවසුවේ පාරමී ගේ දෑස් දෙස එකඑල්ලේම බලමිනි.

"මං ඒ ඇඬුවෙ ඔයා මා එක්ක තරහ වෙලා ගිය නිසානෙ."

පාරමී ගතු කීවාය.විශ්ව මහහඬින් සිනාවූයේ ඒ ස්වරයටමය.

"ඒ කතා අදාල නෑ...මම ඔයාට කෙලින්ම කීවා පාරෝ...මම ඔයාට ආදරෙයි කියල...now it is your turn...say yes or no to me."

විශ්ව පැවසුවේය.

"ආදරෙයි කියන දේයි අපි මේ ඉන්න සිටුවේෂන් එකයි දෙකක් විශ්ව.අපි කවදාවත් එක්වෙන්න බැරි අය.ඒක තේරුම්ගන්න.මම ඒ ඉරණමට මුහුණ දෙන්න සූදානම්, සූදානමින් ඉන්න කෙනෙක් ...ඒත් ඔයා එහෙම නෙමෙයි ...මම එක්ක ජීවිතේ බෙදාගෙන ඔයාට මොනවද ලැබෙන්නෙ විශ්ව...."

පාරමී ඇසුවේ වේදනාවෙනි.

"ලැබෙන්නෙද ...කොච්චර දේවල් ලැබෙනවද ...ආදරය ,සැලකිල්ල, හිතේ සැනසීම, බෙදාගැනීම...කොච්චර දේ ඔයාගෙන් මට දැනටත් ලැබෙනවද පාරෝ...මනුස්සයෙක් ට ඕන ආදරේ, ලෙන්ගතුකම වගේම ඇහුම්කන් දෙන හිතක් ඔයාට තියෙනව.ඒ මදිද මට..."

විශ්ව කවදාවත් නැති තරමට කතාකරන්නට පටන්ගෙනය.

"විශ්ව කවදාවත් ඔයාට මගෙන් දරුවෙක් නොලැබෙන එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද ?"

පාරමී ඇසුවේ අන්තිමම තුරුම්පුව අතට ගෙනය.

"නෑ කවදාවත් නෑ නෑ ...මොකද ජීවිතයකට ඔය හැමදේම එකතු කරගෙන මේ ජීවත් වෙනවා කියන එක මම හිතෙන් අතහැරලා ගොඩක් කල්.ඔයාව මේ කාලෙදි මට හම්බුනේ නැත්නම් සමහරක් විට මම දිගටම මේ විදිහටම ඉන්න තිබුණා .මොකද දැන් ඉන්නේ අවුරුදු 40 වෙන්න ඔන්න මෙන්නනෙ."

විශ්ව සිනහසුනේ එසේ කියමිනි .පාරමී අවසාන වතාවට දැරූ උත්සාහයක් අතහැර දමා නිහඬ වූවාය. 

"පාරෝ ...ඉතින් කතා කරන්න ..ඔයාගේ points ටික ඉවර ද ..තව මොනවා හරි තියෙනවද මේකට බෑ බෑ කියන්න හේතු විදිහට..."

විශ්ව ඇසුවේ සිනහසෙමිනි.

"කියන්න නම් ඕනතරම් හේතු තියනවා.ඒ උනාට ඔයා එක්ක තර්ක කරල වැඩක් නෑ.මම තේ ටිකක් හදන්නද?" පාරමී අසුනෙන් නැගී සිටින්නට සූදානමින් ඇසුවාය.

"තේ....තේ බොන්න පුළුවන් පස්සෙ...දැන් මට දෙකින් එකක් විසඳගන්න ඕනෙ."නැගිටින්නට තැත්කල පාරමීව අතින් ඇද පුටුවට වැට්ටවූ විශ්ව පැවසුවේය.

"අහන්න පාරෝ...මේ ගන්න තීරණය හිතට එකඟව ගන්න.මගේ බලපෑමට ගන්නවා කියල හිතන්න එපා."විශ්ව පැවසුවේ නිවීගිය හඬිනි.පාරමී මොහොතක් ඔහු දෙස බලාඋන්නාය.

ඇත්තෙන්ම තමා ඔහුට ආදරය කලා, කරනවා නොවේද? ජීවිතයට ආදරය ආගන්තුක හැඟීමක් වුව විශ්වගේ සමීපබව තමාගේ ජීවිතය නැවුම් හැඟීම්වලින් පුරවාලූවා නොවේද?ඔහු නොමැති දිනවල හිතපුරා සාංකාවක් බඳු හැඟීමක් උතුරාගියා නොවේද? සමහරක් දිනවල පාරෝ..යැයි ලෙන්ගතුව අමතන විට දැනෙන හෘදයාංගම බවට ඇස් කෙවෙනි මත කඳුළක් බොඳ වුණා නොවේද?ඉතින් මේ සියල්ල ආදරයම මිස අන් කවරක්ද ?

"ඒ ගමන මාව කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා ....පාරෝ...?"

විශ්ව ගේ හඬින් පාරමී තිගැස්සී පියවි සිහියට පැමිණියාය.ඇයගෙ වත රත් පැහැයට හැරුණේ අධික ලැජ්ජාවට ය. 

කිසිත් කියා ගත නොහැකිව පාරමී බිම බලාගත්තාය.විශ්ව ගේ මුහුණ පුරා පැතිරගියේ සුන්දර සිනහවකි.තව දුරටත් ඇයව වෙහෙසකරනු නොහී ඔහු පුටුවේ පසුපසට වී දෑස් පියා ගත්තේ ය .

" තේකක් හදන්නද ?" පාරමීගේ හඬ ද කෝල බවින් පිරුණු එකක් විය. විශ්ව දෑස් පියාගෙනම හිස වැනුවේය. පාරමී සෙමින් නැගිට මුළුතැන්ගේ වෙත ඇවිද ගියාය .ඉතින් තමා මේ දකින්නේ සිහිනයක්ද සැබෑවක්ද යන්න පාරමීටම සිතාගත නොහැකි විය. හිත පුරා පොපි යන්නේ සුන්දරම වූ හැඟීම් සමුදායකි.

විනාඩියෙන් විනාඩිය ගතවෙත්ම පාරමී ඒමට පමා වූ හෙයින් විශ්ව මුළුතැන්ගෙය දෙසට ගියේය . විදුලි කේතලය උතුරා ස්විචයද නිවී ගොසිනි.පැන්ට්‍රියේ බැම්මට හේත්තු වී පාරමී කල්පනාවකය.විශ්ව ඇය වෙත ඇවිද ආවේ නිසොල්මනේය.

"සිහිය නැතිවෙන තරම් දෙයක් ද මම මේ කලේ ....පාරෝ..?" ඇයගේ ඉඟවටා සුරත යැවූ විශ්ව පාරමී තමා වෙතට හරවාගත්තේය.තිගැස්සී පියවි ලොවට ආ පාරමී තවමත් තමා තේ සාදා නැති බව දැක ලැජ්ජාවට පත්වූවාය.

"ඔච්චර කල්පනා කරන්න දෙයක් තියෙනවද ? අපි දෙන්නා තාමත් හොඳ යාළුවෝ. ඉතින් ඇයි මෙච්චර excited ඔයා.? "විශ්ව ඇසුවේ පාරමී ගේ මැලව ගිය වත දැකය.

"අනේ sorry විශ්ව ...මම වෙනම කල්පනාවකට වැටුණා. අනේ ඉන්න මං ඉක්මනට තේ හදන්නම්. "පාරමී ඔහු දෑතින් මිදෙන්නට උත්සාහ දරමින් පැවසුවා ය.

"නෑ නෑ ඔයා ඉන්න මම තේ එක හදන්නම්. මට බඩු තියෙන තැන විතරක් කියන්නකො."විශ්ව යලි විදුලි කේතලය ක්‍රියාත්මක කරමින් පැවසුවේය.

පාරමී නිහඬවම අදාළ දෑ ඔහු වෙත ළං කළාය.

පාරමී තමා වෙත ළං කල ඇයගේ කෝප්පයට පමණක් තේ වත්කල විශ්ව එය එක් අතකින් අල්ලාගෙන ඇය අනෙක් අතින් අල්ලාගත්තේ ආපසු ආලින්දය වෙත යන්නය.

"එකක්...?" පාරමී ට ඉබේම ඇසිණ.විශ්ව සිනාවී ඇයවෙත නැඹුරු විය.

"ඔව් ...අද ඉඳන් එකක් ඇති දෙන්නටම"ඔහු සෙමින් පැවසුවේය.

************************************************************************************ 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


2 comments:

  1. හම්මෝ යන්තම් ඇති.....දෙන්න සෙට් උනා එහෙනම්.....

    ReplyDelete