Wednesday, April 12, 2023

23 කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

23 කොටස 

22 කොටසට මෙතනින් 22




විඩාවද රැගෙන ආපසු නිවසට එන විශ්ව ආලින්දයෙන් ගෙතුළට පැමිණියේ ගීතයක් උරුවම් බාමිනි. ඇත්තෙන්ම හිතේ ඇත්තේ සතුටකි.උතුරායන සතුටකි.ඉතින් ජීවිතය කඩා වැටුණ තැනින් පටන් ගෙනය.එහෙත් ඒ සතුට කඩාවැටෙන්නට එතරම්ම වේලාවක් නොගියේ සුපුරුදු ලෙසින්මය.

"ආ....රෑ දොළහට කලින් වත් ඉලන්දාරියා ගෙට ආව එක ලොකු දෙයක්."

අම්මා සාලයේ අසුනක හිඳ කියවන්නට පටන් ගත්තාය.

"මේ වෙලාවට ආව එකත් මදැයි .වැඩ ආයෙ හෙටට තියන්නද ?"

විශ්ව පැවසුවේ අම්මාගේ ස්වරය ගණන් නොගනිමිනි.

"මං හෙට අතුකෝරල ෆැමිලි එකට එන්න කීවා ඕපනින් එකට."

අම්මාගේ හඬට විශ්වගේ යටපත්ව ගිය කේන්තිය ඇවිස්සුණි.

"අර මොන එහෙකටද අම්මා.ඒ අය අපෙ කවුද ? මම කැමති නෑ." 

විශ්ව පැවසුවේ මැඩගත් කෝපයෙනි.

"දැනට අපේ කවුරුවත් නොවුනට අනාගතයෙදි ඒ අය අපිට සම්බන්ධ වෙනව.අන්න ඒ නිසා මම එයාලට ඉන්වයිට් කලෙ.එච්චරයි"

අම්මා නැගිටගියේ විශ්වගේ කෝපය ගනනකට නොගනිමිනි.

ඉවස දරාගන්නට බැරිතරම් කෝපයක් හදතුල නැගී ආවද හෙට දවස සතුටින් උදාවිය යුතු හෙයින් විශ්ව කෝපය මැඩගෙනම සිය කාමරයට වැදුණේය.

                                                                        *** 

විශ්ව උදෑසන හතවනවිට සිය ආයතනයට පැමිණියේ අත්දිග සුදු පැහැ කමිසයක් සහ කලු කලිසමකින් සැරසී තද නිලෙන් කලුපැහැය මිශ්‍රව ගිය ටයිපටයක්ද පැළඳගෙනය.කාලයකට පසු සිය කඩවසම් මිතුරා සුපුරුදු පෞරුෂය සහිතව සිටිනු දැක නිසල්ට ඇතිවූයේ අපමණ සතුටකි.

"අඩේ..නිකම් අභිශේක් බච්චන් ආව වගෙනෙ."

නිසල් ඔහුගේ උරහිසට පහරක් ගසමින් කීවේය.

"අපි එහෙම තමා මස්සිනා.කැපී පෙනෙන කොල්ලො."

විශ්ව හිනැහුණේ මාවත දෙස බලමිනි.

"මොකෝ තාම උඹේ අයිශ්වර්‍යා නැද්ද..බෙල්ලෙ පොටයයි යකෝ."

නිසල් සිය මිතුරාට සරදම් කලේය.

"එනව කීවා අටට කලින්.ගෑනුනෙ බං.හැඩවෙන්න ඉතින් කල් යනව ඇතිනෙ."

විශ්ව යළිත් මාවත දෙස බැලීය.

පාරමී ගේ රිය රථ අංගනයට ඇතුල් වූයේ විශ්ව දොර අසල හිඳිනාවිටය.ඔහු දැස් දල්වා බලාඋන්නේ ඇය රියෙන් පිටතට එනතුරුය.

දැහැමි එක් පසෙකින්ද ඇයහේ මව පසුපස අසුනෙන්ද වාහනයෙන් බැසගත් හ.

ඉනුදු මොහොතකට පසු පාරමී රියදුරු අසුනෙන් බැස ආවාය.විශ්ව ඇය දෙස බලාඋන්නේ සිනාපිරි වතෙනි.

"අඩෝ විහිලුවට කිව්වට මේකි අයිශ්වර්‍යා වගේමනෙ.සුපර් ඈ.."

නිසල් විශ්වගේ කණට කෙඳිරීය.

පාරමී රෝස පැහැය මුසුව ගත් සුදු පැහැ සාරියෙන් සැරසී උන්නාය.එයටම ගැලපෙන රිදී ආභරණ කට්ටලයක් ඇයගේ දෙකණ සහ ගෙල සරසා තිබුණි.අත් ඔරලෝසුව සහ සිහින් අත් පලඳනාව එයටම ගැලපෙන ඒවාය.ඇත්තෙන්ම ඇය අතිසුන්දර ලඳකි.

"උඹ ඔහොම පාරමී දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉද්දි ආන්න බලපන් උඹ දිහා කැරකෙන ඇස්...."නිසල් විශ්වගේ කණට කෙඳිරුවේ ඇස් කොණින් අතුකෝරල පවුලේ දියණිය ශෙරීනා පෙන්වමිනි.ඇඟට තදවන සේ කෙටි කලු පැහැ ගවුමකින් සැරසුණ ඇය ඇත්තෙන්ම විකාරයක් සේ නිසල්ද වටහාගත්තේය.

"අම්මපා බං අපේ කුඹුරු වල අස්වැන්න නෙලුවට පස්සෙ තියන පිදුරු මිටියක් වගෙනෙ ඒ කෙල්ලගෙ කොණ්ඩෙ.."

කුටුකුටු ගාමින් පවසන නිසල්ගේ වදන් වලට විශ්ව සිනහව මැඩ ගත්තේ අසීරුවෙනි.

"ඇති යන්තම් ආවා "විශ්ව තමා අසලට ආ පාරමීට පැවසුවේ සිහින් රැවුමක්ද සමගිනි.

"මම හිතුවා එද්දි නැකැත්වෙලාව පහුවෙලා තියෙයි කියල."

"අපි පරක්කු නෑනෙ විශ්ව"

පාරමී අත බැඳි ඔරලෝසුව බලමින් පැවසුවාය.

"යං යං දැන් වෙලාවත් හරි"

විශ්ව පාරමීට ඉදිරියට යනසේ අත දිගුකලේය.

"ඔයාල ඉස්සර වෙන්න ..අපි පස්සෙන් එන්නම්."

පාරමී දැහැමි සහ ඇයගේ අම්මා සමග එක පෙලට වැටෙමින් පැවසුවාය.

විශ්ව යළිත් රැවුමකින් ඇය දෙස බලා 

"චීෆ් ගෙස්ට් පස්සෙන් එන රටක් නෑ .එනව යන්න."කීවේය.

පාරමී දැහැමි දෙස ඇස් ලොකු කරගනිමින් බැලුවාය.දහැමි දෙවුර හකුලුවාලූයේ ඇයද මේ කිසිවක් නොදන්නා හෙයිනි.

"වි..විශ්ව...පිස්සුද ඔයාට."

පාරමී සෙමින් ඇසුවේ පසුබාමිනි.මේ ප්‍රශ්න ගොඩක පෙරලකුනු බව ඇයට පෙනී යයි.

"කට වහන් එන්න පාරෝ...you are my chief guest. Come now."

විශ්වගේ හඬ ඉතා තීව්‍ර ස්ථීර එකක් විය.

ප්‍රධාන ද්වාරයේ පීත්ත පටිය අසලට පැමිණි පාරමී යළි යළිත් විශ්ව දෙස බැලුවේ මෙය කලයුතුමදැයි අසන්නාක් මෙනි.එහෙත් විශ්වගේ බැල්ම ස්ථිරසාරය.පාරමී මොහොතක් අවට බැලුවාය.විශ්වගේ මව යැයි ඇයට මතකයේ යාන්තමට ඇති කාන්තාව දැඩි බැල්මකින් ඇය දෙස බලා ඉඳී.ඇය අසලම කලු පැහැ කෙටි ගවුමකින් ඇරසී ඉන්නා යුවතියද පාරමී දවාහලු කරන බැල්මකින් බලා ඉඳී.පාරමී දැහැමි දෙස මොහොතක් බැලුවාය.

"දැන් කරන්න වෙන දෙයක් නෑ බං.මුන් අපිට ඕක කලින් කියන්න එපාද අප්පා...කමක් නෑ දැන් ඕක කරපන්."

පාරමී ට ලංවූ දැහැමි පැවසුවේ විශ්වගේ මව දෙසවත් නොබලමිනි.

පාරමී සුබ මොහොතින් පීත්ත පටය කපා ආයතනය විවෘත කලේ සියල්ලන්ගේම අත්පොලසන් හඬ මැදය.

ඉන් පසු පොල්තෙල් පහන දල්වන්නට විශ්ව මුලින්ම ඇරයුම් කලේ අම්මාටය.ඇය දැඩි අහංකාර බැල්මකින් යුතුව පොල්තෙල් පහන දල්වා ඉටිපන්දම විශ්ව අතට නොදී ශෙරීනා අත තැබුවාය.ඇයද පහන් වැටියක් දල්වා විශ්ව අතට ඉටිපන්දම දෙමින් ඔහුව වැළඳ ගත්තාය.

My congratulations honey. විශ්ව එවදනට කුපිත වුවද මේ මොහොතේ කරන්නටම දෙයක් නොමැති හෙයින් ඉවසා උන්නේය.අම්මාට උවමනා වූයේ මේ සභාව ඉදිරියේ ශෙරීනා තමන්ට ලං කිරීමට බව ඔහු දැන උන්නේය.

පැමිණ සිටි අමුත්තන්හට තේ පානය සඳහා ඇරයුම ලදහෙයින් සියල්ලන්ම ඒ ස්ථානයට ගියහ.

පාරමී ඉඳගෙන ඉන්නා අසුනට යාබදව විශ්වගේ අම්මා හිතාමතාම පැමිණියේ ඇයව කතාවට අල්ලාගන්නටය .

"මේ ළමයා කවුද ..අපෙ පුතාගෙ යාලුවෙක්ද ?"

විශ්ව ගේ අම්මාට තමා පිළිබඳ මතකයක් නැති බව පාරමීට වැටහුණි.

"ආ ඔව් ඇන්ටි...මම විශ්ගෙ යාළුවෙක්..මම පාරමී රත්මල්ගොඩ."තමා හඳුන්වාදෙමින් පාරමී පැවසුවාය.

"මම විශ්ව ගෙ යාලුවො නොදන්න කෙනෙක් නැ...හැබැයි ඔයා ගැන නම් මම දන්නෙනෑ.."

විශ්වගේ මවගේ නොපහන් හඬ පාරමී අපහසුතාවයට පත්කලාය.

"ශෙරීනා....දුව එන්නකො..ආ..මේ තමයි ශෙරීනා.විශ්ව මැරිකරන්න ඉන්නෙ මේ දුව.දුව මේ විශ්වගෙ යාළුවෙක්.පාරමී."

විශ්වගේ අම්මා ශෙරීනාව පාරමී ට හඳුන්වා දුන්නද ශෙරීනාගෙන් ලැබුණෙද එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. විශ්ව ගේ මව පැවසූ කාරණය පාරමී යම්පමණකට තිගැස්වුවද ඇය නිහඬව උන්නාය.

විශ්ව අම්මා දිගින් දිගට ගෙන එනවා කියූ විවාහ යෝජනාව මෙය විය යුතුය.

"එතකොට ඔය ළමයා එක්ක අපේ හොරණ නංගිලා ආවේ කොහොමද?" ප්‍රශ්න ඇසීමේ වටය දිගින් දිගටම ඇදී යයි.පාරමී වටපිට බැලුවේ දැහැමි හෝ අම්මා එතනට පෙනෙයිදැයි බලන්නටය.එහෙත් ඔවුන්ද පෙනෙන්නට නැත.

"අපේ අම්මලාත් හොරණනෙ ඇන්ටි.මායි දැහැමි යි පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාලුවො."

පාරමී නිහඬ සිනහවකින් පැවසුවාය.

"ආ එහෙමද එතකොට කවුද ඔය ළමයගෙ දෙමවුපියො?" මේ ප්‍රශ්න ඇසිල්ල නිමාවෙන පාටක් නැත.පාරමී සිය පියා සහ මව ගැන පවසා ඔවුන් ජීවතුන් අතර නැති බවද පැවසුවාය.එන්න එන්නම විශ්වගේ මවගේ මුහුණේ ඇත්තේ නොපහන් බැල්මකි.පාරමී හට මෙතැනින් මිදී යාමට අවශ්‍යව ඇත.එහෙත් ඊට කිසිදු අවස්ථාවක් නොමැත.

"ඔය ළමයාට එතකොට සහෝදර සහෝදරියොත් කිසි කෙනෙක් නැද්ද...එතකොට ඉන්නෙ තනියමද?" පාරමීට හිසරදයක් වන තරමටම මේ ප්‍රශ්න ඇසීම දිග්ගැස්සෙමින් පවතී.අහම්බයෙන් නිසල් මේ කතාබහත් පාරමී ගේ මුහුණේ ඇති වෙනසත් දුටුවේ එතැනින් යන අතරේය.

"මැඩම් ,තේ බිව්වද ?"නිසල් ඇය වෙත පැමිණ සිතාමතාම ඇමතුම වෙනස්කලේ එබැවිනි.පාරමී ඔහු වෙත හෙලූ බැල්ම ඇය මෙතනින් ගලවා ගන්නයැයි කියන්නාක් මෙනි.

"ඔව් නිසල්..මම දැන් යන්න ඕනෙ.විශ්ව වැඩකද ?" පාරමී ඇසුවාය.

" ඔය ළමයාට ඉතින් යන්න ඕනෙනම් ආයෙ පුතාව හොයන්න ඕනනෑ... ඔය නිසල් ළමයාට කියලා ගියාම ඇති.මේ වෙලාවේ ඉතින් පුතාට වැඩනෙ.නේද දුව "විශ්වගේ අම්මා ඒ කතාව මැදට ද පැන්නාය.

"ඇන්ටි , මේ මැඩම් ආවේ චීෆ් ගෙස්ට් විදියට විශ්ව ඉන්වයිට් කරලනෙ.ඉතින් යුතුකමක් විදියටනෙ මැඩම් හොයන්න ඇත්තෙ.යං මැඩම් අපි යමු..විශ්ව ඉන්නව ක්ලයන්ට්ස්ල වගයක් එක්ක කතාකර කර ඔෆිස් එකේ."නිසල් නොපහන් ස්වරයෙන් පැවසීය.විශ්වගේ අම්මා මෙන්ම ශෙරීනාද හිස් ගස්සා ඉවතට හැරුණහ.

පාරමී රිදුම් දෙන්නට පටන් ගන්නා හිස අතින් තදකරගමින් නැගී උන්නාය.

"Any problem ඩොක්ටර් ?" නිසල් ඇසුවේ ඇයගේ වෙනස දැකය.ඇය හිස දෙපසට වනා ඔහු සමග ඇවිද ආවාය.

අතරමගදී නිසල් නැවතූ ඇය..

"නිසල් ..මම හොස්පිට්ල් යනවා මෙහෙම්ම.ප්ලීස් දැහැමිලව ට්‍රාන්ස්පෝට් එකක් සෙට් කරල කැබ් එකකින් අපෙ ක්වාටර්ස් එකට එවන්න.මේ වෙලාවෙ විශ්වට කරදර කරන්න එපා.මම එයාට හවස කෝල් කරන්නම්.මෙතන මොකුත් එයාට කියන්නත් එපා.මම අර්ජන්ට් කෝල් එකක් නිසා ආපහු ගියා කියන්න."පාරමි නිසල්ගෙන් සමුගත්තේ එසේ කියමිනි.

තමා එන්නට පෙර අනවශ්‍ය සංවාදයක් අනිවාර්‍යයෙන් එතැන සිදුව ඇති බව නිසල් වටහා ගත්තේය.එහෙත් දැන් විශ්ව ඉන්නා ව්‍යාපාරික හමුව ඔහුට වැදගත් හෙයින් ඔහු පාරමීට සමුදුන්නේය.

                                                                        *** 

පැමිණ සිටි ව්‍යාපාරික හිතවතුන් සමුගෙන යන්නට ගතවූ කාලය සිතුවාටත් වඩා වැඩිවූ අතර විශ්ව අතිශය කාර්යබහුල වූයේය.ඔවුන් සමුගෙන ගිය පසු විශ්ව නිසල් සොයා කාර්‍යාල කාමරයෙන් පිටට ආවේද එසැනින් අම්මා ශෙරිනා සමග ඔහු වෙතට ආවේද එක්සැනිනි.

"පුතා ඔයාගේ මේ ඔෆිස් එකේ හෙල්ප් එකට ශෙරීනා දුවවත් ගන්න.එයා මේ දවස්වල නිකම්ම ගෙදර ඉන්නෙ."අම්මාගේ ප්‍රකාශය විශ්වගේ ඉවසීම සීමාව ඉක්මවා යන්නක් විය.

"මම ස්ටාෆ් අරන් ඉවරයි අම්මා.ආයෙ මේකෙ ශෙරීනාට දෙන්න පෝස්ට් එකක් නෑ."විශ්ව එතැනින් මගහැරයන්නට උත්සාහ දරමින් කීවේය.

"අයියෝ මට පෝස්ට් ඕන්නෑ විශ්ව..මම ඔයාට හෙල්ප් කරන්න එන්නම්...අයි මීන් ඔයාගේ පර්සනල් සෙකට්‍රි විදියට මට ඉන්න පුලුවන් නෙ."ශෙරීනා විශ්වට ආසන්න වෙමින් පැවසීය

"මගේ සෙකට්‍රි නිසල්.ආයෙ මට වෙන සෙකට්‍රි ලා ඕනනෑ ශෙරීනා.thank you for your help.but this time no need any help."

විශ්ව එතැනින් නික්ම ගියේ එසේ පවසමිනි.

"දුව ඕවා ගණන් ගන්න එපා.එයා එහෙම කීවට මේවා දුව හොයල බලන්න ඕනෙ.මොකද ඔයා ඉස්සරහට එයාගෙ වයිෆ් වෙනවනම් මේව හොයන බලන එක ඔයාටත් අයිතියි." විශ්වගේ මවගේ ඒ ප්‍රකාශයට ශෙරීනා සිනහවක් පෑවද ඇයගේ සිත තුල වූයේ දැඩි ද්වේශයකි. එහෙත් එය නොපෙන්වා ඉන්නට තරම් ඇය කපටි සහගත වූවාය.

"විශ්ව මේ ටිකෙ බිසිනෙ ආන්ටි.ඒකයි ඔහොම වෙන්න ඇත්තෙ.මම එයාට හෙල්ප් කරන්නම්.ආන්ටි බය වෙන්න එපා."ශෙරීනාගේ වදන් වලින් විශ්වගේ මව සතුටින් පිනාගියාය.

"මට චීෆ් ගෙස්ට් ආව ගැනුකෙනා නම් ඇල්ලුවෙම නෑ දුව.ටිකක් ඔයා විශ්වට ක්ලෝස් වෙන්න ඕන ඔයිට වඩා.පිරිමි නම්ම ගන්න ඔයාට පුලුවන් වෙන්න ඕන.ඔය එක එක ගෑනු අය ළංවෙන්නෙ එහෙම නොවුනම."

අම්මා කෙනෙක් කිව නොයුතු අන්දමේ ප්‍රකාශයන් විශ්වගේ මව වෙතින් නික්මෙන විට ශෙරීනා උද්දාමයට පත්වූවාය.

"මටත් ඒ ගෑනි ඇල්ලුවෙම නෑ ආන්ටි.බොරු ඩිසිප්ලින් පෙන්නගෙන උන්නට මට නම් සැකයි ඒ කෙනා ගැන."

ශෙරීනා විශ්වගේ මවගේ සිතතුල වූ නොමනාප හැඟීමට තව තවත් පෝර දැමුවාය.

"දුව ඉන්නකො මම ඒ කවුද කියල හොයල බලන්නම්කො.විශ්වට ඕන ඕන හැටියට මා එක්ක නටන්න බෑ දුව."විශ්වගේ මව පැවසුවේ ශෙරීනාගෙ සිත උද්දාමයට පත්කරමිනි.

                                                                      *** 

"මචං කෝ පාරමී?"

නිසල් වෙත පැමිණෙන අතරේ විශ්ව ඇසුවේ අවට සිසාරා බලමිනි. නිසල් කතාබහක යෙදී උන් මිතුරා පිටත් කර යවා විශ්ව වෙත හැරුණේය.

"හදීසි කෝල් එකක් හොස්පිට්ල් එකෙන් ආව කියල යනව කියන්න කීවා.උඹ ක්ලයන්ට්ස්ල එක්ක මීටින් නිසා ඩිස්ටර්බ් කරන්න එපා කීව."

නිසල් විශ්වගේ ඇස් මගහැර පාරමී කියු දේ පැවසීය.

"මොකක් මොකක් ආයෙ කියපන් බලන්න."

විශ්ව නිසල්ගේ මුහුණ ඉදිරියට ආවේ නිසල් යමක් සඟවන බව වැටහුණ හෙයිනි.

"මම දන්නෑ බං.උඹලගෙ අම්මයි අර තොරොම්බල් කරත්තෙයි පාරමීගෙ දෙපැත්තෙ වාඩිවෙලා තරඟෙට වගෙ ප්‍රශ්න අහනව දැක්කා.මම එතනට ගිහින් එයාව එතනින් ගත්තා.මට මොකුත් කීවෙ නෑ .ඔන්න ඔය ටික උඹට කියන්න කීවා."

නිසල් පැවසුවේ විශ්ව දෙස බලමිනි.සිය මිතුරා දැනටමත් ඉන්නේ තරහෙන් පිපිරෙමින් බව නිසල්ට දැටහුණි.

"උඹ මොකෝ මේ ආයෙ යකා ආරූඪ වෙලා වගෙ."

නිසල් ඒ පිටම ඇසුවේය.

"යකා වැහෙන්නැද්ද බං අපෙ අම්මා ගෙ වැඩ වලට.ආන් අර බඩ්ඩව ගන්නලු මේකෙ වැඩට.ඒකි කියනව පර්සනල් සෙකට්‍රි වෙන්නම්ලු.මම කුණුහරුප දෙකක් නොකියා ආවෙ අමාරුවෙන්."

විශ්ව හිසකේ අතරට ඇඟිලි යවා අදිමින් පැවසීය.

"හරි හරි කූල් වෙයන් පොඩ්ඩක්.මෙතන වැඩ ඉවරයක් වෙනකල් පිස්සු නටන්නෙ නැතුව හිටපන්කො ."

නිසල් සිය මිතුරා අස්වසමින් පැවසීය.

"ශුවර් එකට අම්මයි අරකියි පාරොට මොනව හරි කියන්න ඇති බං.ඒත් මේ මනුස්සය ඇයි මට නොකියම ගියෙ."

විශ්ව කල්පනාවෙන් බරවිය.

"කෝ දැහැමි නංගිල?"

එකවරම විශ්ව ඇසුවේ යමක් සිහිවූවාක් මෙනි.

"අර කවුද කට්ටියක් එක්ක උන්නා.පාරමී යනකොට කියල ගියෙ එයාලව කැබ් එකකින් හොස්පිට්ල් ක්වාටර්ස් එකට එවන්න කියල.අඩුගානෙ දැහැමි ලට වත් කියල නෙවෙයි ගියෙ.හරිම කලබලේකින් උන්නෙ. "

නිසල් පැවසීය.විශ්ව නිසල් සමගින් දැහැමි උන් දෙසට යනවිට ඇය , අම්මා සමගින් කතාවක යෙදී උන්නාය.

"යකෝ තමුන් එක්ක ආව යාලුවා යනකල් උඹ දන්නැද්ද නංගි.පාරමී ගිහින්."

විශ්ව දැහැමි පසෙකට කැඳවා පැවසුවේ අම්මා වරදවා සිතයියැයි සිතාය.

"ම්..මොකක්..මොකක්...ඇයි එයා ඔයාගෙ අම්මා එක්ක කදේක වැටිල උනෙ.අපි ඉතින් ඔය අස්සට ගියෙ නෑ...ඩිස්ටර්බ් කරන එක හොඳ නැනෙ."

දැහැමි පැවසුවේ විශ්ව දෙස සිනහවද ගිලගනිමිනි.

"කොච්චර ලස්සනට කතාව ගිහින්ද කියල හිතාගන්න පුළුවන් ....උන්දැ නොකියම මාරුවෙච්ච එකෙන්.මට අපෙ අම්මා තඹ සතේකට ශුවර් නෑ."

විශ්ව ජංගමය අතට ගෙන පාරමීට ඇමතුමක් ගන්නට උත්සාහ කලේය.එහෙත් ජංගමය ක්‍රියා විරහිත කොට ඇත.එකත් එකටම ඇය අවුලෙන් විය යුතුය.

"ෆෝන් එකත් ඕෆ්.නංගි ඔයා අම්මා එක්ක දැන් යන්න.අර මනුස්සයාට මොකක් වෙලාද බලන්න.මම ඔතනට කඩන් බිඳන් යන එක හරිනෑනෙ.මම වෙහිකල් එක එක්ක නිසලයා එවන්නම්.ගිහින් බලල මට කෝල් එකක් දෙන්න...නැත්නම් නිසල් අත කියල එවන්න."විශ්ව කල්පනාවෙන් යුතුව පැවසුවේය.

නිසල් අමතා දැහැමි සහ ඇයගේ මව සිය රථයෙන් රෝහල් නිල නිවස්නය වෙත යැවූ විශ්ව මේ අවස්ථාවේ තමා හැඟීම් පාලනය කොට ගත යුතු අන්දම මැනවින් කල්පනා කලේය.පාරමී තමන් වෙත දුන් අවබෝධය මත තමා ඉවසීම ප්‍රගුන කල යුතුව ඇත.මෙතන එවන් ඉවසීමක් අවශ්‍යම පරිසරයකි.ඉතින් කලබල වීම නුසුදුසුය.එහෙත් ඇය එසේ නික්ම යාම හිතට දරාගන්නට අපහසු වේදනාවක් දැන්වීය.

                                                                                *** 

"මොකෝ බං උනේ.?"පාරමී තවමත් ඇඳගෙන ගිය සාරිය පිටින් ඇඳේ වැතිර සිටිනු දැක දැහැමි කමරයේ දොර අසලදීම විශ්මයට පත්වූවාය.කිසිත් පිලිතුරක් නැත.ඇයට නින්ද ගොසිනි.දැහැමි නිහඬවම පිටතට ආවාය.අම්මා කාමරයේය.නිසල් වාහනයේ සිටම ඇය දෙස බැලුවේ නෙතින් කිමදැයි අසන්නාක් මෙනි.

"නින්දගිහින් ...මං රෑ වෙල බලල විශ්ව අය්යට කෝල් එකක් දෙන්නම් කියන්න."

දැහැමි පැවසුවාය.

"මොකක් හරි අවුලක එයා ඉන්නෙ .අර ඇඳුම් පිටින්ම එහෙම්ම ඇඳේ."

දැහැමි නිවෙස දෙස බලමින්ම පැවසුවාය.නිසල් සුසුමක් හෙලා ඇය වෙතින් සමුගෙන ආපසු ගියේ රෑ බෝවි හෝ ඇමතුමක් දෙන ලෙස ඉල්ලමිනි.

"අම්මෙ...අතනදි විශ්ව අයියගෙ අම්මා අම්මගෙන් මොකුත් ඇහුවද ?"

ආපසු කාමරයට පැමිණි දැහැමි අම්මගෙන් ඇසුවේ හඬ බාල කරමිනි.

අම්මා සාරිය උනා දමමින්ම දැහැමි දෙසට හැරුනාය.

"ඇහුව කියන්නෙ ප්‍රශ්න පත්තරයක්නෙ.ඉවරයක් නෑ.ඒ අහල අහල ගිහින් තමයි පාරමී දුව ළඟින් ඉඳගත්තෙ.ඇයි පුතේ මොකෝ වෙලා තියෙන්නෙ.?"

අම්මා ඇසුවේ හඬ නොනැගෙන තරම් සෙමිනි.

"දන්නෑ අම්මෙ පාරමී එහෙම්ම ඇවිල්ල.ආන් ඒ සාරිය පිටින්ම නිදි.අම්මගෙන් මොනවද ඇහුවෙ කියන්නකො."

දැහැමි ඇඳෙහි හිඳගනිමින් ඇසුවාය.

"පාරමී දුව ගැන , කවුද කින්ද මන්ද මොනවද කරන්නෙ.. අපි අඳුනන්නෙ කොහොමද ...ඔන්න ඔය වගේ මහ ගොඩක්.ඒ අස්සෙ අර උන්නෙ උඩටත් යටටත් නැතුව ඇඳන් කෙල්ලෙක් ..අන්න ඒ ළමයා ගැන ලොකු පම්පෝරියකුත් ගැහුව.විශ්ව පුතා බඳින්න ඉන්නෙ ඒ ළමයලු.ඒ නිසා වෙන වෙන ආශ්‍රයන් තියේ නම් නවත්වන්න ඕනෙ කිව්වෙ.නිකම් මටත් තර්ජනේකට වගෙ කීවෙ."

අම්මා සාරිය අසල වූ පුටුව මත දිගහැරදමා පැවසුවාය.

"එකත් එකටම පාරමී ට මොනද හරි කියල වගෙ.අපි හෙමීට අහගම්මු.දැන් මම වොෂ් එකක් දාල රෑට මොනාව හරි උයන්නම්." දැහැමි තුවාය ද රැගෙන නාන කාමරයට වැදුනාය.අම්මා සුසුමක් හෙලා ඇඳෙහි හිඳගත්තාය.

******************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

No comments:

Post a Comment