Thursday, April 20, 2023

26 කොටස-හදේ කොතැනක හෝ හිඳී ඔබ

 26 කොටස


25 කොටසට මෙතනින් 25


"මට තාම හිත හදාගන්න ඒ උනාට අමාරුයි විශ්ව ...ඔයාගේ අම්මා මේ දේවල් මුකුත් දන්නෙ දන්නේ නැතුවත් මට චෝදනා කළ වෙලාවේ ...දැන් මේ සිද්ධිය දැනගත්තොත් තවත් ප්‍රශ්න ඇති කරයි" 

පාරමී පැවසුවේ විශ්වගේ අත අතනොහැරමය.

"ඔය දෙවල් අපි කිසි කෙනෙක්ට කියන්න ඕනනෑ පාරෝ.ඒක ඔයාගෙ පෞද්ගලික ජීවිතේ .අම්මා කොහොම උනත් ශෙරීනා මිස වෙන කෙනෙක් මං බඳිනවට කැමතිවෙන්නෙ නෑ.මොකද එයාට ඕන ශෙරිනාගේ දේපල අපිට ඈඳාගන්න."

විශ්ව පැවසුවේ පාරමී සිය ලඟින්ම හිඳුවා ගනිමිනි.

"ඔයාට අම්මලා ප්‍රශ්න ඇතිකරයි විශ්ව...අනේ මම නිසා..."පාරමී තවත් එකෙල මෙකෙල වන්නට වූවාය.

"පාරෝ මගෙ කේන්තිය අවුසාගන්නද ආයෙ ඔයාට ඕනෙ.එකම දේ ආයෙ ආයෙ කියවන්න ගන්නෙ"

විශ්ව අඩක් බී නිමවූ තේ බඳුන මඳක් හඬ නැගෙන සේ කුඩා මේසය මත තැබීය.

පාරමී නිහඬ වූවාය.කෙලෙස වුව ඔහු දැනටම සියල්ල තීරණය කොට හමාරය.එහෙත් විශ්වගේ අම්මා සහ ශෙරීනා මෙය ලෙහෙසියෙන් අතහරිනු ඇතැයි සිතිය නොහැක.පාරමී නිහඬව තේ බඳුනේ ඉතිරිය පානය කළාය.නිහඬතවයෙන් යුතුව වුව ඇය කල ඒ දෙය විශ්වට ගෙනාවේ සතුටකි.

"පාරෝ..."විශ්ව ඇය දෙස බලා මිමිණීය.පාරමී තේ බඳුන මේසය මත තබා ඔහු දෙස බැලුවේ ඇත්තෙන්ම හිතේ උතුරායන ප්‍රේමය වසන් නොකොටය.ජීවිතය පුරා තමන් විසින් නොපැතූ ස්නේහයක් අද තමා හට ඔහු වෙතින් පිදෙමින් ඇත.පාරමී නිහඬවම ඔහුගේ උරහිසට හිස තබා ගත්තාය.

"ආදරෙයි"ඔහු සෙමින් මුමුණන හඬ සමග ඇයට හිස මුදුනට ඔහුගේ දෙතොල් තදවනු දැනුණි.

"කෝකටත් කියල වාහනේ පාරෙන්ම නවත්තලා ආවෙ.මිදුලෙ විසිකරපු පීරිසි, වලංගැටි එහෙමත් පේන්න නෑ...කෝකටත් කියලා මේ තට්ටුවක් දාලම බලන්න ඕනෙ." නිසල් දොර අසලම හිඳ මහහඬින් කියවයි.විශ්වට සිනා නැගුණේ ඒ කියූ තාලයටය.

"ඇයි උඹ මෙතන එකෙක් මැරිල කියලද හිතුවෙ.මෙන්න මෙහෙ වරෙන් කෑනොහහ" නැගී සිටින්නට වෙර දරන පාරමී ගේ හිස යළි සිය උරහිසටම ගත් විශ්ව පැවසීය.

"හප්පද බොල ...දොස්තර නෝනට ඔළුවෙ කැක්කුම තදටම හැදිල වගෙ"නිසල්ගේ කියවිල්ල පාරමී විලියෙන් බරකලාය.

"නිසල් කටවහන් හිටපන්කො.මං මේ නොවඳිනා වැඳුම් වැඳලා මෙයාව ශේප් කරගත්තෙ ආයෙ කන්න එපා හරි..."

විශ්ව සිනහව ගිලගනිමින් පැවසුවේය.පාරමී විශ්වගේ උරහිසට මුවාවෙමින් සැඟවගත්තාය.

"විශ්වයා දැන් අපි යමුනේද...ඩොක්ටර් මොකෝ කරන්නෙ හොස්පිට්ල් එකට දාගෙනම යන්නද අපි.රෑට මෙහෙ තනියම ඉන්න බෑනෙ."නිසල් ඇසුවේ වේලාව බලමිනි.එවිටද රාත්‍රී අට පසුව ගොස් තිබුණි .

"ඔව් පාරෝ..ලැස්තිවෙලා එන්න.අපි යං දැන්.."විශ්ව පාරමී සමගින්ම අසුනෙන් නැගී හිඳිමින් පැවසුවේය.

"අඩෝ අඩෝ මාව ඩ්‍රයිවර්ට දැම්මා උඹ එහෙනම් ඈ..."නිසල් යලි කෑගැසුවේ පාරමී සමගින් රියෙහි පසු අසුනට වන් විශ්වටය.ඇත්තෙන්ම නිසලගේ සිත තුල වූයේද අප්‍රමාණ සතුටක්මය. මේ දෙදෙනා එක්ව සිටීනම් එය දෙදෙනාටම සහනයක් සහ සැනසීමක් වන බව ඔහු දැන උන්නේය.

.

"පාරෝ...."මඳ දුරක් නිහඬවම ගමන් කල විශ්ව පාරමී වෙත නැඹුරුව සෙමින් මිමිණුවේය.පාරමී දැස් දලවා ඔහුදෙස බැලුවාය.

"මං ජීවිතේ සතුටින්ම උන්න දවස් හරි අඩුයි පාරෝ.අද මම සතුටින්ම ඉන්න.දවසක් කළාට පිං."පාරමීගේ අතක් ගෙන සිය මුවට තබා සිපගත් විශ්ව පැවසුවේය.පාරමීගේ දෑස් වල කඳුළක් පිරී ආවේ ඔහුගේ ඒ හැඟුම්බර හඬටය.ඇය සිය හිස ඔහුගේ ළය මතින් තබාගත්තාය.

ප්‍රේමය තරම්වූ සුන්දර මනෝ භාවයක් මේ මිහිපිට වෙන නොමැත.ඉදින් ප්‍රේමය පමාවී හෝ ජීවිතයට ළඟාවන විට සිත්වලට දැනෙන්නාවූ සැනසීම කොතරම්ද? 

පාරමී රෝහල් නිලනිවසට ඇරලවූ විශ්ව සහ නිසල් නික්ම ගියේ ඇයට රාත්‍රී ආහරයද ගෙනවිත් දෙමිනි.

"මචං කටකැඩිච්ච කතාවක් කියන්න නොහිතෙන තරම්ම මට හෙන සතුටුයි.උඹල දෙන්න පතාගෙන ආව දෙන්නෙක් බං.උඹල දෙන්නට ඕන සපෝට් එකක් දෙන්න මම ඉන්නව හැමදාම"නිසල් රිය පදවන අතරේ විශ්ව වෙත දයාවෙන් බලමින් පැවසුවේය.

"මට මෙච්චර කලක් වැටෙන්න නොදී අල්ලන් උන්නෙ උඹයි නිසල්.හැමම හැමදේදීම උඹ මා එක්ක උන්න.අද මේ පාරෝ එක්ක උඹ නොකිව්ව නම් උඹ මට කියාදුන්නෙ නැත්නම් මම මෙහෙම ඩිරෙක්ට් කතාකරයිද...? උඹට මම තැන්ක් යූ කියන්නෑ බං..හැමදාම මං එක්ක..අපි එක්ක හිටපන්...ඉල්ලන්නෙ එච්චරයි "විශ්ව නිසල්ගේ උරහිස ට තට්ටු කරමින් පැවසුවේය..

              

පාරමී ජීවිතකාලය පුරාම නොඋන් තරමේ සන්තුෂ්ටියක ගිලීඋන්නාය. විශ්ව යනු සැබෑම සැබෑම ආදරවන්තයෙක් බව ඔහු ඇයට පසක් කරමින් උන්නේය.ඉදින් ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට ඇය සිත හදාගත්තාය.

"මැඩම් ...ලබන බ්‍රහස්පතින්දා අපේ රෙජිස්ට්‍රේෂන් එක.වෙඩින් එකක් ගන්න වෙන්නෙ නෑ මට ඊළඟ සතියේ යූකේ යන්න වෙන නිසා."රහල් පැවසුවේ පාරමීගේ මේසය ඉදිරිපස හිඳගත් පසුවය. ප්‍රසංගි රෝහලෙන් නිදහස්ව යළි සාමාන්‍ය ජීවිතයට ලඟාවූවාය.ඇය තාවකාලිකව ඇනෙක්සියක නතරව උන්නේ විවාහය වන තුරුය.

"මොන තරම් ආයෙ ට්‍රයිකලත් ප්‍රසංගිගෙ දෙමාපියො එයා දිහා බැලුවෙවත් නෑ මැඩම්.ඉතින් කෙල්ල දැන් හොඳටම හිත හදාගෙන ඉන්නෙ.මම ඔක්කොම ඩොකියුමන්ට්ස් හදල මාස හයකින් එයාව එහෙට ගන්නවා මැඩම්.එතකල් මම හෙල්පර් කෙනෙක් එයා එක්ක නවත්වන්න හොයාගත්තා."රහල් පාරමීට සිය අනාගත සැලසුම හෙලිකලේය.

"ප්‍රසංගි අර කෝස් එකක් බලනව කීවෙ ..කොහොමද ඒකෙ තත්වෙ...රහල්..?" පාරමී ඇසුවේ ප්‍රසංගී සම්බන්ධව ඇය විසින් සකසා දුන් පාඨමාලාව සම්බන්ධයෙනි.

"ඒක එයා ආසාවෙන් කරගෙන යනවා මැඩම්.ඔන්ලයින් නිසා ප්‍රසාට එලියට යන්න ඕනවෙන්නෙ නෑ.රිස්ක් එකකුත් නෑනෙ ඒ නිසා."රහල් පැවසීය.

"එහෙනම් මැඩම් ලබන සතුයෙ එන්න.මගේ පැත්තෙන් අත්සන් කරන්න ඉන්නෙ මැඩම්නෙ. ඊට වඩා ඉතින් මට කෙනෙක් නෑ මැඩම්."රහල්ගේ හඬ බෙහෙවින් හැඟුම්බර විය.

දෛවයේ නපුරුම සරදම් වලින් බැට කෑ ඒ තරුණ යුවල යළිත් ජීවිතය එක්කාසු කරමින් සිටිති. ඉතින් ලෝකය කෙතරම්ම සුන්දරදැයි පාරමී යළිත් සිතුවාය.ආදරට ලෝකයේ කල නොහැක්කක් නොමැති තරම් ය.

              

අම්මා සිය වෑයම තහැර නොමැතිබව විශ්වට වැටහුණේ ශෙරීනා හදිසියේම ඔහුගේ කාර්‍යාලයට කඩාවැදීමත් සමගමය.

"හායි හනී....ඔන්න ඉතින් මම ආවා.ආන්ටිගෙන් බේරෙන්න බෑ විශ්ව.ඔයාට තනියම මේවා කරගන්න අමාරුයි කියල නිතරම කියවනව.පව්නේ ඉතින් ..ආන්ටි ඔයා ගැන කොච්චර වදවෙනවද..?" අතෝරක් නැතිව ශෙරීනාගේ මුවින් ගලාඑන වචන දෙස නිසල් මෙන්ම විශ්වද බලාඋන්නේ මවිතයෙනි.

" අම්මට පිස්සු ශෙරීනා.මෙතන ඇති වැඩක් නෑ..අනික මේක පටන් ගත්තා විතරනෙ.එස්ටැබ්ලිෂ් වුනාට පස්සෙනෙ වැඩ එන්නෙ..."විශ්ව පැවසුවේ නිසල් ඔහුට කලබල නොවන ලෙස ඉඟිකල හෙයිනි.

"ඉට්ස් ඕකේ බේබි....මම නැතුව ඉතින් කවුද ඔයාට කන්ෆිඩෙන්ෂල් දෙයක් හරි කියන්න ඉන්නෙ....මම ඉන්නම්කො මෙහෙන්.."නිසල්ට පැවරූ අසුනට අනවසරයෙන්ම බරදුන් ශෙරීනා සිය ජංගමය අතට ගෙන එහි මුහුණ හොවා ගත්තාය.

"ඔහොම දවසක් දෙකක් ඉන්න දීපන්...ඊට පස්සෙ ගෑනිටම එපා වෙලා යාවි..."නිසල් මේසය මතවූ කොලයේ එසේ කුරුටු ගෑවේ විශ්ව අධික කෝපය හෙයින් මෙතන කලබලයක් කරාවිදෝ යන සැකයෙනි.

"මම කබඩ්ස් වලට එහා පැත්තෙ රූම් එකේ ඉන්නම්.ඒක මේකිට දැනගන්න තියන්න එපා."නැවත නිසල් ලියාතැබුවේය.විශ්ව අකමැත්තෙන් වුවද හිසසලා එයට අනුමැතිය දුන්නේය.

නිසල් කාමරයෙන් නික්ම යත්ම ශෙරීනා අඩියට දෙකට විශ්ව වෙත දිව ආවාය.ඔහුගේ පුටු ඇන්දේ අඩමානයට මෙන් ඉඳගත් ශෙරීනා විශ්වගේ ගෙල වටා අත දැම්මේ නොගැලපෙන අන්දමේ සුරතලයක් මවාපාමිනි.

"ශෙරීනා පිස්සුද ඔයාට.එහෙට වෙන්න.මෙතන විකාර නොකර."විශ්ව ඇයව ඉවතට කරන්නට තැත්කලේ තමා ඇයව තල්ලුකල හොත් විසිවී වැටෙන බව දන්නා හෙයිනි..නමුත් ඇය ඒ ප්‍රතිචාරයෙන් තව තවත් උදම්වූවාය.එය ඇය වරදවා වටහා ගත්තේ විශ්ව ගේ ඇයට ඇති කැමත්තක් ලෙසය.

"අනේ ඉතින් මෙතන වෙන කවුද ඉන්නෙ ඔයයිමායිනෙ...අනේ විශ්ව අර නිසල් මට අල්ලන්නෙම නෑ.එයා වෙන තැනකට දාන්නකො.එතකොට අපි දෙන්නට නිදහසේ ඉන්නත් පුළුවන් " ශෙරීනාගේ වදන් වලට විශ්වට දැඩිලෙස කේන්ති ගියද ඔහු නිසල් කියූ දේ අසා තවදුරටත් පාලනය විය.

"ශෙරීනා නිසල් කියන්නෙ මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම උන්න යාළුවා.ඌ නැත්නම් මම අද නෑ."විශ්ව බලෙන් මෙන් ශෙරීනා ඉවත්කොට නැගීඋන්නේය.මේ උරචක්‍ර මාලාව කෙසේ ගලවා ඉවත් කරන්නදැයි සිතමින්ම විශ්ව කාමරයෙන් පිටට ඇඳුණේ දොරද තදින් වසාදමමිනි.

විශ්ව යන දෙස මොහොතක් බලාඋන් ශෙරීනා මුවගට නගාගත්තේ අමුතුම සිනහවකි.ඇය සිය ජංගමය ගෙන ඇමතුමක් ගත්තාය.

"ඔව් ....පළවෙනි ස්ටෙප් එක ඉස්සරහට තිව්වා ඔන්න මං.වැඩේ නම් ටිකක් අමාරුයි ..බලමු...මේ ශෙරීනා ඔයිට වඩා නලුවො දණගස්සලා තියනව....බායි..."ශෙරීනාගේ මුහුණේ ඒ වන විට තිබුණේ වියරු සිනහවක් බව දුටුවේ කබඩ් පේලියේ එහා පසින් වූ කුඩාකාමරයේ කවුලුවෙන් ඇය දෙස බලාඋන් දෑසකි.

                                                                    *** 

නිසල් තවත් වේලාවක් අසා උන්නද ශෙරීනාගෙන් වදනක් හෝ අසන්නට ලැබුණේ නැත.ඇය ජංගමයට එබී සිනාසෙනවා පමණක්ම පෙනෙයි.මේ නම් සැබෑම අමාරුකාරියක් බව නිසල් වටහා ගත්තේය.

"මට මේ අම්මණ්ඩිව පට්ටම සැකයි.ඒත් CID පාර දාන්න ඕනෙ විශ්වයාටත් නොදැනෙන්න.ඌ ඇවිස්සුනොත් ඔක්කොම ඉවරයි"නිසල් තමාටම කියාගත්තේය.

ශෙරීනාගේ ආගමනය විශ්වගේ මවගේ දැනුවත්භාවය සහිතවම වන දෙයක් හෙයින් ඇය අමතා පෙර කතාකලේ විශ්ව ගේ මවද කියා නිසල්ට සැකයක් ආවද එහෙත් ශෙරීනාගේ වාග් විලාශය ඇත්තෙන්ම මිතුරෙකු අමතන ආකාරයේ වූ නිසා එයද සැකසහිතය.

"හොඳයි ශෙරීනා ...එක හීනෙන් එලිවෙන්නෙ නෑනෙ...අපි බලමු ගේමටම බැහැල" නිසල් මුමුණා ගත්තේ තමන්ටමය.

              

දැන් දැන් සැන්දෑව උදාවන්නේ ජීවිතයට වර්ණ රාශියක් ගල්වාගෙනය.පාරමී නිදහසේ එහෙමෙහෙ විසිරෙන කෙටි කොණ්ඩය එකට අල්ලා වූල් බෑන්ඩ් එකක් දැම්මාය.විශ්ව එය යළි අතින් ඇද ගලවා දැමීය.

"මූනෙයි කටෙයි ඔක්කොම කෙස්ටික...මම එන්නෙ හොස්පිට්ල් ඉඳල කියල මතක නැද්ද?" පාරමී යලි කොණ්ඩය බැඳගත්තේ විශ්වට එසේ කියමිනි.

සැන්දෑවේ දෙහිවල මුහුදු තීරයට උඩින් හිරු බැස යන අන්දම ඉතාම සුන්දරය.පාරමී සිය බඳවටා එතුන විශ්වගේ දෑත්වලල්ල මැද සිට ඈත ක්ෂිතිජය දෙස බලාඋන්නාය.

"පාරෝ.....මොකද කල්පනාව....?"විශ්ව ඇසුවේ ඇයගේ කෙහෙ රැල්ලක ඇඟිලි දවටමිනි.

"මොකුත් නෑ විශ්ව. අම්මා එහෙම කොහොමද දැන්?" පාරමී සිටින්නේ ඉමහත් දෙගිඩියාවෙන් බව විශ්ව දැන උන්නද ඔහු ඒ ඇයගේ හැඟීමට ඉස්මතු වන්නට ඉඩ දුන්නේ නැත.තමා මේ කාරණයේදී තදින් නොසිටිය හොත්, පාරමී ඉතා දුර්වල වන බව ඔහු දැන උන්නේය.

"ආ..අම්මද ..? අම්මා හොඳ සනීපෙන් ඉන්නවා... එයාගෙ තියෙන එකම වරද තමයි මට ලෙඩ දාන එක ..."විශ්ව මහා හඩින් සිනා වෙමින් පැවසුවේය. 

"ආහ් ඔයාට කියන්න බැරි උනානේ ...අන්න අද ඉඳලා ශෙරීනාත් එනවාලු මගේ ඔෆිස් එකට ...අපේ අම්මා එවල තියෙන්නේ "

විශ්ව පැවසුවේ පාරමී දෙස හොරැහින් බලමිනි .පාරමී එක්වනම තිගැස්සී ඔහු දෙස බැලුවේය .විශ්ව වගකට නොමැතිව ඈත සිතිජයේ දෙස බලාගෙන සිනහවිය .

" විහිළු කරන්නැතුව ඉන්න විශ්ව ...හැම එකටම කෝලම්" 

පාරමී පැවසුවේ අත මිට මොලවා ඔහුගේ බාහුවට ගසමිනි.

"නෑ බොරු නෙමෙයි ඇත්තටම අද ආවා. පාරෝ මෙතැන අම්මගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා . මට ඒ වෙලාවෙ ඇතිවුන කේන්තියට සමහරවිට මං එයාට බනින්නත් ඉඩ තිබුණා. ඒ උනාට නිසල් තමයි පොඩ්ඩක් ඉවසීමෙන් මේ වෙන්නෙ මොකක්ද කියල බලාගම්මු කිව්වේ." 

විශ්ව පැවසුවේ කල්පනාවෙන් යුතුව ය .

"ඇත්තෙන්ම ශෙරීනා ආවද ඔෆිස් එකට ...එතකොට එයා ඉන්නේ ඔයාලගෙ ඔෆිස් එකේම ද .."

පාරමීගේ ස්වරයේ ඇතිවූයේ ඉරිසියා සහගත හඬකි .විශ්ව හිනැහෙමින් ඇය තමා දෙසට හරවා ගත්තේය 

"මොකද ..මොකද.. නෝනා බයයි ද ෂෙරීනා මගේ කාමරේ ඉන්නවට ...ම්ම්ම්...?"

විශ්ව ඇසූවේ පාරමීගේ මුහුණට ම එබෙමිනි.

"අනේ මට මොකද ...ඒ විකාරෙ කාමරයේ බැරිනම් ඔඩොක්කුවෙ තියාගත්තත් මට මොකද ....හැබැයි ඉතින් ඔලුව නිදහසේ ඔතන වැඩ කරන්න නම් ලැබෙන එකක් නැහැ." 

පාරමී පැවසුවේ පාලනය කරගත් කෝපයෙනි .මෙතුවක් කල් ජීවිතේ තමාගේ සිත තුළ නොවූ ඉරිසියාව වැනි හැඟීම් විශ්ව අරඹයා ඇති වෙමින් පවතී .ප්‍රේමය සමගින්ම ඔහු පිළිබඳ ඇතිව ඇති සිහින් ලෝබකමක් බඳු හැඟීමක් පාරමීගේ සිත පුරා පැතිර යමින් තිබුණි .

"බයවෙන්න එපා මැඩම් ...ලෝකෙම ඉන්න ගැහැනු ආවත් ..මේ විශ්ව ඉතිං ඔයාට විතරයි ...මෙච්චර කාලෙකට හෙල්ලුණේ නැති හිත ...හෙල්ලු නෙත් ඔයා ළඟ විතරයි ...."

විශ්ව පාරමී සිය තුරුලට ඇදගනිමින් පැවසුවේය .ඉතින් සැන්දෑව බොහෝ සුන්දර වීය . අඳුර දසතින්ම ගලා එන විට විශ්ව පාරමීද සමගින් ආපසු එන්නට පටන් ගත්තේ රාත්‍රී ආහාරය ද රැගෙනය.

              

නිසල් සුපුරුදු ලෙස සිය නව කුටියට වී රාජකාරි කටයුතුවල යෙදුණේය .ඔහු එම කාමර සිටිනා බව ශෙරීනා දැන උන්නේ නැත .එම කාමරය සෙසු කාර්ය මණ්ඩලයේ පවා යන එන ස්ථානයක් නොවේ. ඉතින් නිසල්ගේ පෞද්ගලිකත්වය අපූරුවට රැකුණේ එහෙයිනි.

"හෙලෝ ...කල්පි ගුඩ් මෝනින්..." විශ්වගේ කාමරය තුලින් ඇසෙන ශෙරීනාගේ හඬ නිසල්ගේ අවධානය වහා ඇද ගත්තේය . අද විශ්ව කාර්යාලයට පැමිණෙන්නේ ප්‍රමාද වී බව නිසල් දෙන උන්නේය .ශෙරීනා සුපුරුදු ලෙසම කාර්යාලයට පැමිණ ඇත .ඇගේ ඇමතුම අනිවාර්යයෙන් සවන්දිය යුතු එකක් බව නිසල් වටහා ගත්තේය .

තමන් විසින් පෙරදා සියල්ලන්ම සේවයෙන් බැහැරට ගිය පසු විශ්වගේ කාමරයේ එක් එක් ස්ථානවල සවි කරන ලද කුඩා හඬ පටිගත කරන උපකරණ සියල්ල නිසි ලෙස ක්‍රියාකාරී වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

එහා පසින් පවසන්නේ කුමක් වුවත් ශෙරීනාගේ හඬ නම් දෝංකාර දෙමින්ම ඇසෙන්නට පටන් ගත්තේය . විශ්ව නැති හෙයින් ඇය කිසිදු සැකයක් බියක් නැතිව මහ හඬින් සිනාසෙමින් කතා කරන්නීය.

"තාම නෑ තාම නෑ...අද බැංකුවට ද කොහෙද ගිහින් එනවා කිව්වේ ..ඒක නිසා මම බයක් සැකක් නැතුව මේ ඉන්නවා."

එහා පසින් කියවෙන්නේ කුමක්දැයි යන්න නිසල්ට අනුමාන කරගත හැකි වුවත් තවදුරටත් සවන් දුන්නේ ශෙරීනාගේ හඬට ය .

"තාම අලුත් clients ලගෙ වැඩ භාර ගත්තා විතරයි මම හිතන්නේ . හැබැයි හිතුවට වඩා ලොකු ක්ලයන්ට් බේස් එකක් මේ මනුස්සයාට තියෙනවා . වැටුන කියල හිතාගෙන උන්නට එහෙමම වැටිලා නැහැ.."

ඇය එහා පසින් කියන දේට මොහොතකට සවන් දෙයි .යළි හඬ අවදි කරයි .

"major projects වගයක් එනවා කියලා තමයි අම්මන්ඩි නම් කිව්වේ . ඒක ලංකාවේ eco friendly hotels ජාලයක් සම්බන්ධය එකක්ලු . විශ්වගෙ කලින් වැඩ ගැන දන්න නිසා....කිසිම බයක් නැතුව එයාට මේ projects ටික බාර දුන්නා කියලයි කියවෙන්නේ .ඒක කරගත්තොත් ඒ ටිකම ඇති මිනිහට ගොඩයන්න "

ශෙරීනා පැවසූයේ කාමරය සිසාරා වටපිට ද බලමිනි . විශ්ව නැති වුව ද කවුරුන් හෝ කාමරයට පැමිණියේ යැයි ඇය නිතරම බියෙන් මෙන් කතා කළාය .

"ඔව් ඔව් මම දැන් තියන්නම් .ඔයා කවද්ද එන්නෙ . හරි අපි ආවම පස්සේ හම්බෙමුකෝ. definitely ලබන සිකුරාදා ..ඔව් one gallface ම එන්න ...මම වැඩි වෙලාවක් ෆෝන් එකේ ඉන්න එක එච්චර හොඳ නැහැ .ඒනිසා මම තියන්නම් ." 

ශෙරීනා ඇමතුම විසන්ධි කොට ..සිය අත්බෑගයෙන් ආලේපන කිහිපයක් රහිත කුඩා පෙට්ටියක් රැගෙන නාන කාමරයට වැදුනාය.

එහෙනම් ශෙරීනා ඔයා නටන්න යන්නේ හොඳ නාඩගමක් කියලා දැන් දැන් මටත් තේරෙනවා . හරි අපි එකටම නටමුකෝ....හොඳ හොඳ නැටුම් එන්නේ එලිවෙන ජාමෙටලුනේ .මේ නිසල් ඉන්නකං ඔයාට ඕන ඕන හැටියට නටන්න ලැබෙන්නේ නැහැ ...අන්න ඒකයි ඔයාට ඉක්මනටම ඒ පාඩම උගන්නන්න ඕනේ ...."

නිසල් තමාටම පැවසුවේ ....මැඩ ගන්නා ලද කෝපයෙනි.

                                                            *** 

අම්මාගේ අවුරුදු දෙකේ දානයද මාලනී නවාතැන් ගත් මෙහෙණින් වහන්සේලා උන් ආරාමයට පිළිගැන්වීමට පාරමී පැමිණුනේ විශ්ව සහ නිසල් සමඟිනි. මෙම කර්තව්‍යයට දැහැමි සහ ඇයගේ මවද උපරිමයෙන් දායකත්වය දුන්හ. 

ඒ දිනට යෙදුණු සුභ හෝරාවකින් මාලනී පැවිදි දිවියට එළැඹුණා ය. ධම්මශීලී මෑණියන් නමින් ඇය සසුන්ගත වූ පසු පාරමීගේ ජීවිතයේ මේ සම්බන්ධයෙන් තිබූ බරද නික්ම ගියේය . 

"මගේ ගිහි ජීවිතයේ මම සැනසීමෙන්ම හිටිය කාලේ ඔබතුමී සහ ඔබතුමියගේ අම්මා එක්ක ගත කරපු කාලය. අද මේ මොහොතේ ඔබතුමියගේ අම්මා හිටියනම් ඇය මට කලින් මේ ධර්ම මාර්ගය සොයා යනවා. ඔබතුමියගේ අනාගත ජීවිතය සාර්ථක වන්න කියා මම ආශිර්වාද කරනවා" 

සිය පාමුල වැඳ වැටුණු පාරමීගේ හිස පිරිමැද ධම්මශීලි මෑණියන් පැවසුවේ බොහෝ නිවුණු හඬිනි .

දානමානාදී කටයුතු නිමා කොට එම මෙහෙනි ආරාමයේ දන් ශාලාවේ සිටම ඔවුහු දිවා ආහාරය ගත්හ. 

"දැන් ඉතිං ඔය දෙන්නගෙ වැඩ කටයුතු ඉක්මනට ඉවර කරානම් හොඳයි නේද පුතේ?"

දැහැමිගේ අම්මා විමසුවේ විශ්ව ගෙනි .

"නැන්දේ මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ .මෙයා එක්ක තමයි බැරි.අපේ අම්මා කැමති නැහැ කිය කිය හැමදාම පස්ස ගහනවා."

විශ්ව පැවසුවේ පාරමී දෙස මද රැවුම් බැල්මක් හෙළමිනි.පාරමී නිහඬවම සිනාසුනාය .

"විශ්ව පුතාගේ අම්මාගේ කැමැත්ත ලැබෙනකම් ඉන්නව කියන එකනම් බොරු වැඩක් දුව .මමත් අම්මා කෙනෙක් තමයි. ඒත් විශ්ව පුතාගේ අම්මා ගේ ඔළුවේ තියෙන්නේ ඇටුවන් බැහැපු මාන්නයක්.ඒක නම් පුතේ කවදාවත් හරිගස්සන්න පුළුවන් දෙයක් නෙමෙයි .ඒ නිසා ඔය දෙන්නගෙ ජීවිතය ගැන ඔය දෙන්නම තීරණය කරන්න."

දැහැමිගේ අම්මා පැවසුවේ දෙදෙනා දෙසම බලමිනි.

"දැන් තේරුනානේ දැහැමිගේ අම්මත් කියන්නේ වෙන්න ඕන විදිය මෙන්න මේක නිසයි.පාරෝ...දැන් ඔයා තීරණය කරන්න ඕනේ අපි දෙන්න කවද්ද එක තැනකට එන්නේ කියලා."

ආහාර ගෙන අවසානයේ ආපසු පැමිණෙන අතරෙහි විශ්ව පැවසුවේ පාරමීටය .නිසල් සහ දැහැමිත් ඇයගේ අම්මාත් නිවෙස්වලින් බස්සවා ආපසු එන අතරේදී විශ්ව පැවසුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු හෙයිනි.

"මට තේරෙනවා විශ්ව .මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලාවෙ මට ඔයාගේ අම්මවත් තාත්තවත් නැති කරගන්න හිතෙන්නේ නැහැ .ඒකයි මම තවත් මේ ඉවසන්නේ"

පාරමී පැවසුවේ කල්පනාවෙන් යුතුව ය 

"ඒ වැඩෙන් වෙන්නේ අපිට එකට ඉන්න තියන කාලය දවසින් දවස අඩුවෙන එක නේද බූරිච්චියෙ" විශ්ව ඇයගේ කණක් මිරිකමින් පැවසුවේය. ඔහු පවසන්නේ ඇත්තෙන්ම සිතිය යුතු වැදගත් ම කාරණයකි.ඉදින් තමා වටහා ගත යුතුව ඇත්තේ මූලිකත්වය දිය යුත්තේ කුමකටද කියාය.

"කල්පනා කර කර ඉන්න නෙවෙයි මං ලඟට ආවෙ.කතාකරන්න පාරෝ."

විශ්ව මාවත අයිනේ වාහනය නවතාලීය.පාරමී ඔහු දෙස මොහොතක් බලාඋන්නේ උතුරායන ප්‍රේමයෙනි.ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම ආදරවන්තයෙකි. 

"ආදරෙයි" පාරමී පැවසුවේ විශ්වගේ දෑස් සිය දෑසින් අල්ලා ගනිමිනි . 

"මාත් ආදරෙයි ...ඒ නිසාම තමයි මෙහෙම දෙන්න දෙතැනට වෙලා ඉන්න එකට මම කැමතිම නැත්තේ" 

විශ්ව පැවසුවේ පාරමීගේ හිස මුදුනට දෙතොල් තබමිනි .

ආදරය ජීවිතයට පැමිණී මොහොතේ පටන් ජීවිතයේ වසාගෙන තිබූ සියලු දුක් දොම්නස් ඉබේම අතුරුදහන්වී යයි. පාරමී විශ්වගේ ලය මතින් හිස තබාගෙන ඒ ආදරයේ සුව විඳ ගත්තාය. 

                                                                        *** 

"මට secret mission එකක් තියෙනවා මේ දවස් වල කරන්න . ඒ නිසා උඹ ප්‍රශ්න අහන්නේ නැතුව මං කියන දේවල් කරන්න ඕනෙ."

නිසල් විශ්වට පැවසුවේ දිනක් සවස කාර්යාලයෙන් නික්මයන අතරේදීය. ශෙරීනා කාර්යාලයට පැමිනීම වළක්වන්නට උත්සාහ කළද අම්මාගේ අනුදැනුම මත ඇය සිය ආධිපත්‍යයේ පතුරමින්ම කාර්යාලයට පැමිණියාය . ඇය ලිපිගොනු වල කටයුතුද විමසා බලන්නට බොහෝ විට උත්සාහ දැරුවාය.නමුත් රහස්‍යභාවය සුරැකිය යුතු සියලුම සියළුම ලිපි ලේඛන වල භාරකාරත්වය තිබුණේ නිසල්ගේය.

"මොනවද විශ්ව ...නිසල් මට කිසිම ෆයිල් එකක වැඩක් කරන්න දෙන්නෙම නැහැ .එයා මගේ දිහා බලන්නේ හොරෙක් ගේ දිහා බලනවා වගේ .. ඔයා ඒකටත් හිනාවෙන්නේ ඇයි ඔයාටත් මාව අවිශ්වාසද?"

ශෙරීනා පැවසුවේ නව ව්‍යාපෘතියක ලිපිගොනුවක් නිසල් වෙතින් ලබා ගන්නට තැත් කොට ඔහු එය ප්‍රතික්ෂේප කළ මොහොතේ ය .

"මේකයි ශෙරීනා ...මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ බොහොම confidential මට්ටමක .ඒක national security එකට පවා බලපාන දෙයක් නිසා ඒක මායි නිසලුයි අතරේ විතරයි documents ශෙයා වෙන්නේ" 

විශ්ව පැවසුවේ නිසල් පෙර සැලසුමේ ප්‍රකාශකළ අන්දමට ය.

"ඔයාට විශ්වාස මමද නිසල්වද?"

ශෙරීනා ඉමහත් කෝපයෙන් යුතුව විශ්වගෙන් ප්‍රශ්න කළාය .

"නිසල්ව.ඒකෙ ආයෙ දෙකක් නැහැ.පොඩි කාලේ ඉඳලම අද වෙනකන් මගෙ හැම පෞද්ගලික දෙයක්ම රහසක්ම දන්න එකම එක්කෙනා නිසල් .මෙච්චර කාලෙකට නිසල් ගෙන් මට අවැඩක් නම් වෙලා නැහැ."

විශ්ව ගණනකට නොමැතිව කියා දැම්මේ ය .

"ආ එහෙමද?ඒක මම ඇන්ටිත් එක්ක බලා ගන්නම්කෝ . මටත් ඇති අමාරුවකට නෙමෙයිනේ හැමදේම ගැන හොයන්න බලන්න එන්නෙ."

ශෙරීනා නැගිට ගියේ හිඳ උන් පුටුවද තල්ලු කොට දමාය. 

"මරු.උඹ නියමෙට වැඩේ කළා.දැන් ඉතින් ඔතන ඉඳලා මං මිෂන් එක බාර ගන්නම්. උඹ හෙට ඉඳලා සතියට දවසක් හරි දෙකක් හරි චුට්ටක් පරක්කු වෙලා ඔෆිස් එකට වරෙන් .ප්‍රශ්න අහන්න එපා මම ඒක කරන්නම් ගානට."

නිසල් පැවසුවේ ප්‍රීතිමත් සිනහවක් පාමිනි .

"උඹ මොනවා කරන්න යනවද මන්දා.හැබැයි පුතෝ පරිස්සමෙන්"

විශ්ව පැවසුවේ නිසල් තමා නිසා අවදානමකට පත්වේයැයි බියෙනි.

"පිස්සුද බං. මං උඹවත් පරෙස්සම් කරන් මාත් පරිස්සම් වෙන්න දන්නවා .ඉක්මනට ඉවර වෙන්න යන්නෙ මේ ගැටලු. අපි බලමුකෝ" 

නිසල් පැවසුවේ සිය මිතුරාගේ උරහිසට සෙමින් තට්ටු කරමිනි.

********************************************************************************* 

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


4 comments:

  1. ලව් ස්ටෝරි එකක් ඇතුලේ රහස් පරීක්ෂක කතාවකුත් යනවා......ඒක මරු....

    ReplyDelete