Thursday, April 20, 2023

26 කොටස-හදේ කොතැනක හෝ හිඳී ඔබ

 26 කොටස


25 කොටසට මෙතනින් 25


"මට තාම හිත හදාගන්න ඒ උනාට අමාරුයි විශ්ව ...ඔයාගේ අම්මා මේ දේවල් මුකුත් දන්නෙ දන්නේ නැතුවත් මට චෝදනා කළ වෙලාවේ ...දැන් මේ සිද්ධිය දැනගත්තොත් තවත් ප්‍රශ්න ඇති කරයි" 

පාරමී පැවසුවේ විශ්වගේ අත අතනොහැරමය.

"ඔය දෙවල් අපි කිසි කෙනෙක්ට කියන්න ඕනනෑ පාරෝ.ඒක ඔයාගෙ පෞද්ගලික ජීවිතේ .අම්මා කොහොම උනත් ශෙරීනා මිස වෙන කෙනෙක් මං බඳිනවට කැමතිවෙන්නෙ නෑ.මොකද එයාට ඕන ශෙරිනාගේ දේපල අපිට ඈඳාගන්න."

විශ්ව පැවසුවේ පාරමී සිය ලඟින්ම හිඳුවා ගනිමිනි.

"ඔයාට අම්මලා ප්‍රශ්න ඇතිකරයි විශ්ව...අනේ මම නිසා..."පාරමී තවත් එකෙල මෙකෙල වන්නට වූවාය.

"පාරෝ මගෙ කේන්තිය අවුසාගන්නද ආයෙ ඔයාට ඕනෙ.එකම දේ ආයෙ ආයෙ කියවන්න ගන්නෙ"

විශ්ව අඩක් බී නිමවූ තේ බඳුන මඳක් හඬ නැගෙන සේ කුඩා මේසය මත තැබීය.

පාරමී නිහඬ වූවාය.කෙලෙස වුව ඔහු දැනටම සියල්ල තීරණය කොට හමාරය.එහෙත් විශ්වගේ අම්මා සහ ශෙරීනා මෙය ලෙහෙසියෙන් අතහරිනු ඇතැයි සිතිය නොහැක.පාරමී නිහඬව තේ බඳුනේ ඉතිරිය පානය කළාය.නිහඬතවයෙන් යුතුව වුව ඇය කල ඒ දෙය විශ්වට ගෙනාවේ සතුටකි.

"පාරෝ..."විශ්ව ඇය දෙස බලා මිමිණීය.පාරමී තේ බඳුන මේසය මත තබා ඔහු දෙස බැලුවේ ඇත්තෙන්ම හිතේ උතුරායන ප්‍රේමය වසන් නොකොටය.ජීවිතය පුරා තමන් විසින් නොපැතූ ස්නේහයක් අද තමා හට ඔහු වෙතින් පිදෙමින් ඇත.පාරමී නිහඬවම ඔහුගේ උරහිසට හිස තබා ගත්තාය.

"ආදරෙයි"ඔහු සෙමින් මුමුණන හඬ සමග ඇයට හිස මුදුනට ඔහුගේ දෙතොල් තදවනු දැනුණි.

"කෝකටත් කියල වාහනේ පාරෙන්ම නවත්තලා ආවෙ.මිදුලෙ විසිකරපු පීරිසි, වලංගැටි එහෙමත් පේන්න නෑ...කෝකටත් කියලා මේ තට්ටුවක් දාලම බලන්න ඕනෙ." නිසල් දොර අසලම හිඳ මහහඬින් කියවයි.විශ්වට සිනා නැගුණේ ඒ කියූ තාලයටය.

"ඇයි උඹ මෙතන එකෙක් මැරිල කියලද හිතුවෙ.මෙන්න මෙහෙ වරෙන් කෑනොහහ" නැගී සිටින්නට වෙර දරන පාරමී ගේ හිස යළි සිය උරහිසටම ගත් විශ්ව පැවසීය.

"හප්පද බොල ...දොස්තර නෝනට ඔළුවෙ කැක්කුම තදටම හැදිල වගෙ"නිසල්ගේ කියවිල්ල පාරමී විලියෙන් බරකලාය.

"නිසල් කටවහන් හිටපන්කො.මං මේ නොවඳිනා වැඳුම් වැඳලා මෙයාව ශේප් කරගත්තෙ ආයෙ කන්න එපා හරි..."

විශ්ව සිනහව ගිලගනිමින් පැවසුවේය.පාරමී විශ්වගේ උරහිසට මුවාවෙමින් සැඟවගත්තාය.

"විශ්වයා දැන් අපි යමුනේද...ඩොක්ටර් මොකෝ කරන්නෙ හොස්පිට්ල් එකට දාගෙනම යන්නද අපි.රෑට මෙහෙ තනියම ඉන්න බෑනෙ."නිසල් ඇසුවේ වේලාව බලමිනි.එවිටද රාත්‍රී අට පසුව ගොස් තිබුණි .

"ඔව් පාරෝ..ලැස්තිවෙලා එන්න.අපි යං දැන්.."විශ්ව පාරමී සමගින්ම අසුනෙන් නැගී හිඳිමින් පැවසුවේය.

"අඩෝ අඩෝ මාව ඩ්‍රයිවර්ට දැම්මා උඹ එහෙනම් ඈ..."නිසල් යලි කෑගැසුවේ පාරමී සමගින් රියෙහි පසු අසුනට වන් විශ්වටය.ඇත්තෙන්ම නිසලගේ සිත තුල වූයේද අප්‍රමාණ සතුටක්මය. මේ දෙදෙනා එක්ව සිටීනම් එය දෙදෙනාටම සහනයක් සහ සැනසීමක් වන බව ඔහු දැන උන්නේය.

.

"පාරෝ...."මඳ දුරක් නිහඬවම ගමන් කල විශ්ව පාරමී වෙත නැඹුරුව සෙමින් මිමිණුවේය.පාරමී දැස් දලවා ඔහුදෙස බැලුවාය.

"මං ජීවිතේ සතුටින්ම උන්න දවස් හරි අඩුයි පාරෝ.අද මම සතුටින්ම ඉන්න.දවසක් කළාට පිං."පාරමීගේ අතක් ගෙන සිය මුවට තබා සිපගත් විශ්ව පැවසුවේය.පාරමීගේ දෑස් වල කඳුළක් පිරී ආවේ ඔහුගේ ඒ හැඟුම්බර හඬටය.ඇය සිය හිස ඔහුගේ ළය මතින් තබාගත්තාය.

ප්‍රේමය තරම්වූ සුන්දර මනෝ භාවයක් මේ මිහිපිට වෙන නොමැත.ඉදින් ප්‍රේමය පමාවී හෝ ජීවිතයට ළඟාවන විට සිත්වලට දැනෙන්නාවූ සැනසීම කොතරම්ද? 

පාරමී රෝහල් නිලනිවසට ඇරලවූ විශ්ව සහ නිසල් නික්ම ගියේ ඇයට රාත්‍රී ආහරයද ගෙනවිත් දෙමිනි.

"මචං කටකැඩිච්ච කතාවක් කියන්න නොහිතෙන තරම්ම මට හෙන සතුටුයි.උඹල දෙන්න පතාගෙන ආව දෙන්නෙක් බං.උඹල දෙන්නට ඕන සපෝට් එකක් දෙන්න මම ඉන්නව හැමදාම"නිසල් රිය පදවන අතරේ විශ්ව වෙත දයාවෙන් බලමින් පැවසුවේය.

"මට මෙච්චර කලක් වැටෙන්න නොදී අල්ලන් උන්නෙ උඹයි නිසල්.හැමම හැමදේදීම උඹ මා එක්ක උන්න.අද මේ පාරෝ එක්ක උඹ නොකිව්ව නම් උඹ මට කියාදුන්නෙ නැත්නම් මම මෙහෙම ඩිරෙක්ට් කතාකරයිද...? උඹට මම තැන්ක් යූ කියන්නෑ බං..හැමදාම මං එක්ක..අපි එක්ක හිටපන්...ඉල්ලන්නෙ එච්චරයි "විශ්ව නිසල්ගේ උරහිස ට තට්ටු කරමින් පැවසුවේය..

              

පාරමී ජීවිතකාලය පුරාම නොඋන් තරමේ සන්තුෂ්ටියක ගිලීඋන්නාය. විශ්ව යනු සැබෑම සැබෑම ආදරවන්තයෙක් බව ඔහු ඇයට පසක් කරමින් උන්නේය.ඉදින් ඉදිරියේදී එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට ඇය සිත හදාගත්තාය.

"මැඩම් ...ලබන බ්‍රහස්පතින්දා අපේ රෙජිස්ට්‍රේෂන් එක.වෙඩින් එකක් ගන්න වෙන්නෙ නෑ මට ඊළඟ සතියේ යූකේ යන්න වෙන නිසා."රහල් පැවසුවේ පාරමීගේ මේසය ඉදිරිපස හිඳගත් පසුවය. ප්‍රසංගි රෝහලෙන් නිදහස්ව යළි සාමාන්‍ය ජීවිතයට ලඟාවූවාය.ඇය තාවකාලිකව ඇනෙක්සියක නතරව උන්නේ විවාහය වන තුරුය.

"මොන තරම් ආයෙ ට්‍රයිකලත් ප්‍රසංගිගෙ දෙමාපියො එයා දිහා බැලුවෙවත් නෑ මැඩම්.ඉතින් කෙල්ල දැන් හොඳටම හිත හදාගෙන ඉන්නෙ.මම ඔක්කොම ඩොකියුමන්ට්ස් හදල මාස හයකින් එයාව එහෙට ගන්නවා මැඩම්.එතකල් මම හෙල්පර් කෙනෙක් එයා එක්ක නවත්වන්න හොයාගත්තා."රහල් පාරමීට සිය අනාගත සැලසුම හෙලිකලේය.

"ප්‍රසංගි අර කෝස් එකක් බලනව කීවෙ ..කොහොමද ඒකෙ තත්වෙ...රහල්..?" පාරමී ඇසුවේ ප්‍රසංගී සම්බන්ධව ඇය විසින් සකසා දුන් පාඨමාලාව සම්බන්ධයෙනි.

"ඒක එයා ආසාවෙන් කරගෙන යනවා මැඩම්.ඔන්ලයින් නිසා ප්‍රසාට එලියට යන්න ඕනවෙන්නෙ නෑ.රිස්ක් එකකුත් නෑනෙ ඒ නිසා."රහල් පැවසීය.

"එහෙනම් මැඩම් ලබන සතුයෙ එන්න.මගේ පැත්තෙන් අත්සන් කරන්න ඉන්නෙ මැඩම්නෙ. ඊට වඩා ඉතින් මට කෙනෙක් නෑ මැඩම්."රහල්ගේ හඬ බෙහෙවින් හැඟුම්බර විය.

දෛවයේ නපුරුම සරදම් වලින් බැට කෑ ඒ තරුණ යුවල යළිත් ජීවිතය එක්කාසු කරමින් සිටිති. ඉතින් ලෝකය කෙතරම්ම සුන්දරදැයි පාරමී යළිත් සිතුවාය.ආදරට ලෝකයේ කල නොහැක්කක් නොමැති තරම් ය.

              

අම්මා සිය වෑයම තහැර නොමැතිබව විශ්වට වැටහුණේ ශෙරීනා හදිසියේම ඔහුගේ කාර්‍යාලයට කඩාවැදීමත් සමගමය.

"හායි හනී....ඔන්න ඉතින් මම ආවා.ආන්ටිගෙන් බේරෙන්න බෑ විශ්ව.ඔයාට තනියම මේවා කරගන්න අමාරුයි කියල නිතරම කියවනව.පව්නේ ඉතින් ..ආන්ටි ඔයා ගැන කොච්චර වදවෙනවද..?" අතෝරක් නැතිව ශෙරීනාගේ මුවින් ගලාඑන වචන දෙස නිසල් මෙන්ම විශ්වද බලාඋන්නේ මවිතයෙනි.

" අම්මට පිස්සු ශෙරීනා.මෙතන ඇති වැඩක් නෑ..අනික මේක පටන් ගත්තා විතරනෙ.එස්ටැබ්ලිෂ් වුනාට පස්සෙනෙ වැඩ එන්නෙ..."විශ්ව පැවසුවේ නිසල් ඔහුට කලබල නොවන ලෙස ඉඟිකල හෙයිනි.

"ඉට්ස් ඕකේ බේබි....මම නැතුව ඉතින් කවුද ඔයාට කන්ෆිඩෙන්ෂල් දෙයක් හරි කියන්න ඉන්නෙ....මම ඉන්නම්කො මෙහෙන්.."නිසල්ට පැවරූ අසුනට අනවසරයෙන්ම බරදුන් ශෙරීනා සිය ජංගමය අතට ගෙන එහි මුහුණ හොවා ගත්තාය.

"ඔහොම දවසක් දෙකක් ඉන්න දීපන්...ඊට පස්සෙ ගෑනිටම එපා වෙලා යාවි..."නිසල් මේසය මතවූ කොලයේ එසේ කුරුටු ගෑවේ විශ්ව අධික කෝපය හෙයින් මෙතන කලබලයක් කරාවිදෝ යන සැකයෙනි.

"මම කබඩ්ස් වලට එහා පැත්තෙ රූම් එකේ ඉන්නම්.ඒක මේකිට දැනගන්න තියන්න එපා."නැවත නිසල් ලියාතැබුවේය.විශ්ව අකමැත්තෙන් වුවද හිසසලා එයට අනුමැතිය දුන්නේය.

නිසල් කාමරයෙන් නික්ම යත්ම ශෙරීනා අඩියට දෙකට විශ්ව වෙත දිව ආවාය.ඔහුගේ පුටු ඇන්දේ අඩමානයට මෙන් ඉඳගත් ශෙරීනා විශ්වගේ ගෙල වටා අත දැම්මේ නොගැලපෙන අන්දමේ සුරතලයක් මවාපාමිනි.

"ශෙරීනා පිස්සුද ඔයාට.එහෙට වෙන්න.මෙතන විකාර නොකර."විශ්ව ඇයව ඉවතට කරන්නට තැත්කලේ තමා ඇයව තල්ලුකල හොත් විසිවී වැටෙන බව දන්නා හෙයිනි..නමුත් ඇය ඒ ප්‍රතිචාරයෙන් තව තවත් උදම්වූවාය.එය ඇය වරදවා වටහා ගත්තේ විශ්ව ගේ ඇයට ඇති කැමත්තක් ලෙසය.

"අනේ ඉතින් මෙතන වෙන කවුද ඉන්නෙ ඔයයිමායිනෙ...අනේ විශ්ව අර නිසල් මට අල්ලන්නෙම නෑ.එයා වෙන තැනකට දාන්නකො.එතකොට අපි දෙන්නට නිදහසේ ඉන්නත් පුළුවන් " ශෙරීනාගේ වදන් වලට විශ්වට දැඩිලෙස කේන්ති ගියද ඔහු නිසල් කියූ දේ අසා තවදුරටත් පාලනය විය.

"ශෙරීනා නිසල් කියන්නෙ මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම උන්න යාළුවා.ඌ නැත්නම් මම අද නෑ."විශ්ව බලෙන් මෙන් ශෙරීනා ඉවත්කොට නැගීඋන්නේය.මේ උරචක්‍ර මාලාව කෙසේ ගලවා ඉවත් කරන්නදැයි සිතමින්ම විශ්ව කාමරයෙන් පිටට ඇඳුණේ දොරද තදින් වසාදමමිනි.

විශ්ව යන දෙස මොහොතක් බලාඋන් ශෙරීනා මුවගට නගාගත්තේ අමුතුම සිනහවකි.ඇය සිය ජංගමය ගෙන ඇමතුමක් ගත්තාය.

"ඔව් ....පළවෙනි ස්ටෙප් එක ඉස්සරහට තිව්වා ඔන්න මං.වැඩේ නම් ටිකක් අමාරුයි ..බලමු...මේ ශෙරීනා ඔයිට වඩා නලුවො දණගස්සලා තියනව....බායි..."ශෙරීනාගේ මුහුණේ ඒ වන විට තිබුණේ වියරු සිනහවක් බව දුටුවේ කබඩ් පේලියේ එහා පසින් වූ කුඩාකාමරයේ කවුලුවෙන් ඇය දෙස බලාඋන් දෑසකි.

                                                                    *** 

නිසල් තවත් වේලාවක් අසා උන්නද ශෙරීනාගෙන් වදනක් හෝ අසන්නට ලැබුණේ නැත.ඇය ජංගමයට එබී සිනාසෙනවා පමණක්ම පෙනෙයි.මේ නම් සැබෑම අමාරුකාරියක් බව නිසල් වටහා ගත්තේය.

"මට මේ අම්මණ්ඩිව පට්ටම සැකයි.ඒත් CID පාර දාන්න ඕනෙ විශ්වයාටත් නොදැනෙන්න.ඌ ඇවිස්සුනොත් ඔක්කොම ඉවරයි"නිසල් තමාටම කියාගත්තේය.

ශෙරීනාගේ ආගමනය විශ්වගේ මවගේ දැනුවත්භාවය සහිතවම වන දෙයක් හෙයින් ඇය අමතා පෙර කතාකලේ විශ්ව ගේ මවද කියා නිසල්ට සැකයක් ආවද එහෙත් ශෙරීනාගේ වාග් විලාශය ඇත්තෙන්ම මිතුරෙකු අමතන ආකාරයේ වූ නිසා එයද සැකසහිතය.

"හොඳයි ශෙරීනා ...එක හීනෙන් එලිවෙන්නෙ නෑනෙ...අපි බලමු ගේමටම බැහැල" නිසල් මුමුණා ගත්තේ තමන්ටමය.

              

දැන් දැන් සැන්දෑව උදාවන්නේ ජීවිතයට වර්ණ රාශියක් ගල්වාගෙනය.පාරමී නිදහසේ එහෙමෙහෙ විසිරෙන කෙටි කොණ්ඩය එකට අල්ලා වූල් බෑන්ඩ් එකක් දැම්මාය.විශ්ව එය යළි අතින් ඇද ගලවා දැමීය.

"මූනෙයි කටෙයි ඔක්කොම කෙස්ටික...මම එන්නෙ හොස්පිට්ල් ඉඳල කියල මතක නැද්ද?" පාරමී යලි කොණ්ඩය බැඳගත්තේ විශ්වට එසේ කියමිනි.

සැන්දෑවේ දෙහිවල මුහුදු තීරයට උඩින් හිරු බැස යන අන්දම ඉතාම සුන්දරය.පාරමී සිය බඳවටා එතුන විශ්වගේ දෑත්වලල්ල මැද සිට ඈත ක්ෂිතිජය දෙස බලාඋන්නාය.

"පාරෝ.....මොකද කල්පනාව....?"විශ්ව ඇසුවේ ඇයගේ කෙහෙ රැල්ලක ඇඟිලි දවටමිනි.

"මොකුත් නෑ විශ්ව. අම්මා එහෙම කොහොමද දැන්?" පාරමී සිටින්නේ ඉමහත් දෙගිඩියාවෙන් බව විශ්ව දැන උන්නද ඔහු ඒ ඇයගේ හැඟීමට ඉස්මතු වන්නට ඉඩ දුන්නේ නැත.තමා මේ කාරණයේදී තදින් නොසිටිය හොත්, පාරමී ඉතා දුර්වල වන බව ඔහු දැන උන්නේය.

"ආ..අම්මද ..? අම්මා හොඳ සනීපෙන් ඉන්නවා... එයාගෙ තියෙන එකම වරද තමයි මට ලෙඩ දාන එක ..."විශ්ව මහා හඩින් සිනා වෙමින් පැවසුවේය. 

"ආහ් ඔයාට කියන්න බැරි උනානේ ...අන්න අද ඉඳලා ශෙරීනාත් එනවාලු මගේ ඔෆිස් එකට ...අපේ අම්මා එවල තියෙන්නේ "

විශ්ව පැවසුවේ පාරමී දෙස හොරැහින් බලමිනි .පාරමී එක්වනම තිගැස්සී ඔහු දෙස බැලුවේය .විශ්ව වගකට නොමැතිව ඈත සිතිජයේ දෙස බලාගෙන සිනහවිය .

" විහිළු කරන්නැතුව ඉන්න විශ්ව ...හැම එකටම කෝලම්" 

පාරමී පැවසුවේ අත මිට මොලවා ඔහුගේ බාහුවට ගසමිනි.

"නෑ බොරු නෙමෙයි ඇත්තටම අද ආවා. පාරෝ මෙතැන අම්මගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා . මට ඒ වෙලාවෙ ඇතිවුන කේන්තියට සමහරවිට මං එයාට බනින්නත් ඉඩ තිබුණා. ඒ උනාට නිසල් තමයි පොඩ්ඩක් ඉවසීමෙන් මේ වෙන්නෙ මොකක්ද කියල බලාගම්මු කිව්වේ." 

විශ්ව පැවසුවේ කල්පනාවෙන් යුතුව ය .

"ඇත්තෙන්ම ශෙරීනා ආවද ඔෆිස් එකට ...එතකොට එයා ඉන්නේ ඔයාලගෙ ඔෆිස් එකේම ද .."

පාරමීගේ ස්වරයේ ඇතිවූයේ ඉරිසියා සහගත හඬකි .විශ්ව හිනැහෙමින් ඇය තමා දෙසට හරවා ගත්තේය 

"මොකද ..මොකද.. නෝනා බයයි ද ෂෙරීනා මගේ කාමරේ ඉන්නවට ...ම්ම්ම්...?"

විශ්ව ඇසූවේ පාරමීගේ මුහුණට ම එබෙමිනි.

"අනේ මට මොකද ...ඒ විකාරෙ කාමරයේ බැරිනම් ඔඩොක්කුවෙ තියාගත්තත් මට මොකද ....හැබැයි ඉතින් ඔලුව නිදහසේ ඔතන වැඩ කරන්න නම් ලැබෙන එකක් නැහැ." 

පාරමී පැවසුවේ පාලනය කරගත් කෝපයෙනි .මෙතුවක් කල් ජීවිතේ තමාගේ සිත තුළ නොවූ ඉරිසියාව වැනි හැඟීම් විශ්ව අරඹයා ඇති වෙමින් පවතී .ප්‍රේමය සමගින්ම ඔහු පිළිබඳ ඇතිව ඇති සිහින් ලෝබකමක් බඳු හැඟීමක් පාරමීගේ සිත පුරා පැතිර යමින් තිබුණි .

"බයවෙන්න එපා මැඩම් ...ලෝකෙම ඉන්න ගැහැනු ආවත් ..මේ විශ්ව ඉතිං ඔයාට විතරයි ...මෙච්චර කාලෙකට හෙල්ලුණේ නැති හිත ...හෙල්ලු නෙත් ඔයා ළඟ විතරයි ...."

විශ්ව පාරමී සිය තුරුලට ඇදගනිමින් පැවසුවේය .ඉතින් සැන්දෑව බොහෝ සුන්දර වීය . අඳුර දසතින්ම ගලා එන විට විශ්ව පාරමීද සමගින් ආපසු එන්නට පටන් ගත්තේ රාත්‍රී ආහාරය ද රැගෙනය.

              

නිසල් සුපුරුදු ලෙස සිය නව කුටියට වී රාජකාරි කටයුතුවල යෙදුණේය .ඔහු එම කාමර සිටිනා බව ශෙරීනා දැන උන්නේ නැත .එම කාමරය සෙසු කාර්ය මණ්ඩලයේ පවා යන එන ස්ථානයක් නොවේ. ඉතින් නිසල්ගේ පෞද්ගලිකත්වය අපූරුවට රැකුණේ එහෙයිනි.

"හෙලෝ ...කල්පි ගුඩ් මෝනින්..." විශ්වගේ කාමරය තුලින් ඇසෙන ශෙරීනාගේ හඬ නිසල්ගේ අවධානය වහා ඇද ගත්තේය . අද විශ්ව කාර්යාලයට පැමිණෙන්නේ ප්‍රමාද වී බව නිසල් දෙන උන්නේය .ශෙරීනා සුපුරුදු ලෙසම කාර්යාලයට පැමිණ ඇත .ඇගේ ඇමතුම අනිවාර්යයෙන් සවන්දිය යුතු එකක් බව නිසල් වටහා ගත්තේය .

තමන් විසින් පෙරදා සියල්ලන්ම සේවයෙන් බැහැරට ගිය පසු විශ්වගේ කාමරයේ එක් එක් ස්ථානවල සවි කරන ලද කුඩා හඬ පටිගත කරන උපකරණ සියල්ල නිසි ලෙස ක්‍රියාකාරී වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

එහා පසින් පවසන්නේ කුමක් වුවත් ශෙරීනාගේ හඬ නම් දෝංකාර දෙමින්ම ඇසෙන්නට පටන් ගත්තේය . විශ්ව නැති හෙයින් ඇය කිසිදු සැකයක් බියක් නැතිව මහ හඬින් සිනාසෙමින් කතා කරන්නීය.

"තාම නෑ තාම නෑ...අද බැංකුවට ද කොහෙද ගිහින් එනවා කිව්වේ ..ඒක නිසා මම බයක් සැකක් නැතුව මේ ඉන්නවා."

එහා පසින් කියවෙන්නේ කුමක්දැයි යන්න නිසල්ට අනුමාන කරගත හැකි වුවත් තවදුරටත් සවන් දුන්නේ ශෙරීනාගේ හඬට ය .

"තාම අලුත් clients ලගෙ වැඩ භාර ගත්තා විතරයි මම හිතන්නේ . හැබැයි හිතුවට වඩා ලොකු ක්ලයන්ට් බේස් එකක් මේ මනුස්සයාට තියෙනවා . වැටුන කියල හිතාගෙන උන්නට එහෙමම වැටිලා නැහැ.."

ඇය එහා පසින් කියන දේට මොහොතකට සවන් දෙයි .යළි හඬ අවදි කරයි .

"major projects වගයක් එනවා කියලා තමයි අම්මන්ඩි නම් කිව්වේ . ඒක ලංකාවේ eco friendly hotels ජාලයක් සම්බන්ධය එකක්ලු . විශ්වගෙ කලින් වැඩ ගැන දන්න නිසා....කිසිම බයක් නැතුව එයාට මේ projects ටික බාර දුන්නා කියලයි කියවෙන්නේ .ඒක කරගත්තොත් ඒ ටිකම ඇති මිනිහට ගොඩයන්න "

ශෙරීනා පැවසූයේ කාමරය සිසාරා වටපිට ද බලමිනි . විශ්ව නැති වුව ද කවුරුන් හෝ කාමරයට පැමිණියේ යැයි ඇය නිතරම බියෙන් මෙන් කතා කළාය .

"ඔව් ඔව් මම දැන් තියන්නම් .ඔයා කවද්ද එන්නෙ . හරි අපි ආවම පස්සේ හම්බෙමුකෝ. definitely ලබන සිකුරාදා ..ඔව් one gallface ම එන්න ...මම වැඩි වෙලාවක් ෆෝන් එකේ ඉන්න එක එච්චර හොඳ නැහැ .ඒනිසා මම තියන්නම් ." 

ශෙරීනා ඇමතුම විසන්ධි කොට ..සිය අත්බෑගයෙන් ආලේපන කිහිපයක් රහිත කුඩා පෙට්ටියක් රැගෙන නාන කාමරයට වැදුනාය.

එහෙනම් ශෙරීනා ඔයා නටන්න යන්නේ හොඳ නාඩගමක් කියලා දැන් දැන් මටත් තේරෙනවා . හරි අපි එකටම නටමුකෝ....හොඳ හොඳ නැටුම් එන්නේ එලිවෙන ජාමෙටලුනේ .මේ නිසල් ඉන්නකං ඔයාට ඕන ඕන හැටියට නටන්න ලැබෙන්නේ නැහැ ...අන්න ඒකයි ඔයාට ඉක්මනටම ඒ පාඩම උගන්නන්න ඕනේ ...."

නිසල් තමාටම පැවසුවේ ....මැඩ ගන්නා ලද කෝපයෙනි.

                                                            *** 

අම්මාගේ අවුරුදු දෙකේ දානයද මාලනී නවාතැන් ගත් මෙහෙණින් වහන්සේලා උන් ආරාමයට පිළිගැන්වීමට පාරමී පැමිණුනේ විශ්ව සහ නිසල් සමඟිනි. මෙම කර්තව්‍යයට දැහැමි සහ ඇයගේ මවද උපරිමයෙන් දායකත්වය දුන්හ. 

ඒ දිනට යෙදුණු සුභ හෝරාවකින් මාලනී පැවිදි දිවියට එළැඹුණා ය. ධම්මශීලී මෑණියන් නමින් ඇය සසුන්ගත වූ පසු පාරමීගේ ජීවිතයේ මේ සම්බන්ධයෙන් තිබූ බරද නික්ම ගියේය . 

"මගේ ගිහි ජීවිතයේ මම සැනසීමෙන්ම හිටිය කාලේ ඔබතුමී සහ ඔබතුමියගේ අම්මා එක්ක ගත කරපු කාලය. අද මේ මොහොතේ ඔබතුමියගේ අම්මා හිටියනම් ඇය මට කලින් මේ ධර්ම මාර්ගය සොයා යනවා. ඔබතුමියගේ අනාගත ජීවිතය සාර්ථක වන්න කියා මම ආශිර්වාද කරනවා" 

සිය පාමුල වැඳ වැටුණු පාරමීගේ හිස පිරිමැද ධම්මශීලි මෑණියන් පැවසුවේ බොහෝ නිවුණු හඬිනි .

දානමානාදී කටයුතු නිමා කොට එම මෙහෙනි ආරාමයේ දන් ශාලාවේ සිටම ඔවුහු දිවා ආහාරය ගත්හ. 

"දැන් ඉතිං ඔය දෙන්නගෙ වැඩ කටයුතු ඉක්මනට ඉවර කරානම් හොඳයි නේද පුතේ?"

දැහැමිගේ අම්මා විමසුවේ විශ්ව ගෙනි .

"නැන්දේ මටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ .මෙයා එක්ක තමයි බැරි.අපේ අම්මා කැමති නැහැ කිය කිය හැමදාම පස්ස ගහනවා."

විශ්ව පැවසුවේ පාරමී දෙස මද රැවුම් බැල්මක් හෙළමිනි.පාරමී නිහඬවම සිනාසුනාය .

"විශ්ව පුතාගේ අම්මාගේ කැමැත්ත ලැබෙනකම් ඉන්නව කියන එකනම් බොරු වැඩක් දුව .මමත් අම්මා කෙනෙක් තමයි. ඒත් විශ්ව පුතාගේ අම්මා ගේ ඔළුවේ තියෙන්නේ ඇටුවන් බැහැපු මාන්නයක්.ඒක නම් පුතේ කවදාවත් හරිගස්සන්න පුළුවන් දෙයක් නෙමෙයි .ඒ නිසා ඔය දෙන්නගෙ ජීවිතය ගැන ඔය දෙන්නම තීරණය කරන්න."

දැහැමිගේ අම්මා පැවසුවේ දෙදෙනා දෙසම බලමිනි.

"දැන් තේරුනානේ දැහැමිගේ අම්මත් කියන්නේ වෙන්න ඕන විදිය මෙන්න මේක නිසයි.පාරෝ...දැන් ඔයා තීරණය කරන්න ඕනේ අපි දෙන්න කවද්ද එක තැනකට එන්නේ කියලා."

ආහාර ගෙන අවසානයේ ආපසු පැමිණෙන අතරෙහි විශ්ව පැවසුවේ පාරමීටය .නිසල් සහ දැහැමිත් ඇයගේ අම්මාත් නිවෙස්වලින් බස්සවා ආපසු එන අතරේදී විශ්ව පැවසුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු හෙයිනි.

"මට තේරෙනවා විශ්ව .මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලාවෙ මට ඔයාගේ අම්මවත් තාත්තවත් නැති කරගන්න හිතෙන්නේ නැහැ .ඒකයි මම තවත් මේ ඉවසන්නේ"

පාරමී පැවසුවේ කල්පනාවෙන් යුතුව ය 

"ඒ වැඩෙන් වෙන්නේ අපිට එකට ඉන්න තියන කාලය දවසින් දවස අඩුවෙන එක නේද බූරිච්චියෙ" විශ්ව ඇයගේ කණක් මිරිකමින් පැවසුවේය. ඔහු පවසන්නේ ඇත්තෙන්ම සිතිය යුතු වැදගත් ම කාරණයකි.ඉදින් තමා වටහා ගත යුතුව ඇත්තේ මූලිකත්වය දිය යුත්තේ කුමකටද කියාය.

"කල්පනා කර කර ඉන්න නෙවෙයි මං ලඟට ආවෙ.කතාකරන්න පාරෝ."

විශ්ව මාවත අයිනේ වාහනය නවතාලීය.පාරමී ඔහු දෙස මොහොතක් බලාඋන්නේ උතුරායන ප්‍රේමයෙනි.ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම ආදරවන්තයෙකි. 

"ආදරෙයි" පාරමී පැවසුවේ විශ්වගේ දෑස් සිය දෑසින් අල්ලා ගනිමිනි . 

"මාත් ආදරෙයි ...ඒ නිසාම තමයි මෙහෙම දෙන්න දෙතැනට වෙලා ඉන්න එකට මම කැමතිම නැත්තේ" 

විශ්ව පැවසුවේ පාරමීගේ හිස මුදුනට දෙතොල් තබමිනි .

ආදරය ජීවිතයට පැමිණී මොහොතේ පටන් ජීවිතයේ වසාගෙන තිබූ සියලු දුක් දොම්නස් ඉබේම අතුරුදහන්වී යයි. පාරමී විශ්වගේ ලය මතින් හිස තබාගෙන ඒ ආදරයේ සුව විඳ ගත්තාය. 

                                                                        *** 

"මට secret mission එකක් තියෙනවා මේ දවස් වල කරන්න . ඒ නිසා උඹ ප්‍රශ්න අහන්නේ නැතුව මං කියන දේවල් කරන්න ඕනෙ."

නිසල් විශ්වට පැවසුවේ දිනක් සවස කාර්යාලයෙන් නික්මයන අතරේදීය. ශෙරීනා කාර්යාලයට පැමිනීම වළක්වන්නට උත්සාහ කළද අම්මාගේ අනුදැනුම මත ඇය සිය ආධිපත්‍යයේ පතුරමින්ම කාර්යාලයට පැමිණියාය . ඇය ලිපිගොනු වල කටයුතුද විමසා බලන්නට බොහෝ විට උත්සාහ දැරුවාය.නමුත් රහස්‍යභාවය සුරැකිය යුතු සියලුම සියළුම ලිපි ලේඛන වල භාරකාරත්වය තිබුණේ නිසල්ගේය.

"මොනවද විශ්ව ...නිසල් මට කිසිම ෆයිල් එකක වැඩක් කරන්න දෙන්නෙම නැහැ .එයා මගේ දිහා බලන්නේ හොරෙක් ගේ දිහා බලනවා වගේ .. ඔයා ඒකටත් හිනාවෙන්නේ ඇයි ඔයාටත් මාව අවිශ්වාසද?"

ශෙරීනා පැවසුවේ නව ව්‍යාපෘතියක ලිපිගොනුවක් නිසල් වෙතින් ලබා ගන්නට තැත් කොට ඔහු එය ප්‍රතික්ෂේප කළ මොහොතේ ය .

"මේකයි ශෙරීනා ...මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ බොහොම confidential මට්ටමක .ඒක national security එකට පවා බලපාන දෙයක් නිසා ඒක මායි නිසලුයි අතරේ විතරයි documents ශෙයා වෙන්නේ" 

විශ්ව පැවසුවේ නිසල් පෙර සැලසුමේ ප්‍රකාශකළ අන්දමට ය.

"ඔයාට විශ්වාස මමද නිසල්වද?"

ශෙරීනා ඉමහත් කෝපයෙන් යුතුව විශ්වගෙන් ප්‍රශ්න කළාය .

"නිසල්ව.ඒකෙ ආයෙ දෙකක් නැහැ.පොඩි කාලේ ඉඳලම අද වෙනකන් මගෙ හැම පෞද්ගලික දෙයක්ම රහසක්ම දන්න එකම එක්කෙනා නිසල් .මෙච්චර කාලෙකට නිසල් ගෙන් මට අවැඩක් නම් වෙලා නැහැ."

විශ්ව ගණනකට නොමැතිව කියා දැම්මේ ය .

"ආ එහෙමද?ඒක මම ඇන්ටිත් එක්ක බලා ගන්නම්කෝ . මටත් ඇති අමාරුවකට නෙමෙයිනේ හැමදේම ගැන හොයන්න බලන්න එන්නෙ."

ශෙරීනා නැගිට ගියේ හිඳ උන් පුටුවද තල්ලු කොට දමාය. 

"මරු.උඹ නියමෙට වැඩේ කළා.දැන් ඉතින් ඔතන ඉඳලා මං මිෂන් එක බාර ගන්නම්. උඹ හෙට ඉඳලා සතියට දවසක් හරි දෙකක් හරි චුට්ටක් පරක්කු වෙලා ඔෆිස් එකට වරෙන් .ප්‍රශ්න අහන්න එපා මම ඒක කරන්නම් ගානට."

නිසල් පැවසුවේ ප්‍රීතිමත් සිනහවක් පාමිනි .

"උඹ මොනවා කරන්න යනවද මන්දා.හැබැයි පුතෝ පරිස්සමෙන්"

විශ්ව පැවසුවේ නිසල් තමා නිසා අවදානමකට පත්වේයැයි බියෙනි.

"පිස්සුද බං. මං උඹවත් පරෙස්සම් කරන් මාත් පරිස්සම් වෙන්න දන්නවා .ඉක්මනට ඉවර වෙන්න යන්නෙ මේ ගැටලු. අපි බලමුකෝ" 

නිසල් පැවසුවේ සිය මිතුරාගේ උරහිසට සෙමින් තට්ටු කරමිනි.

********************************************************************************* 

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


Wednesday, April 19, 2023

25 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 25 කොටස

24    කොටසට මෙතනින්   24




"ඇයි ඔයා හිතන්න ඔයාට කාත් කවුරුත් නැහැ කියලා .එතකොට මම ඔයාගේ කවුද?" 

විශ්ව ඇසුවේ පාරමී දෙස සෘජුවම බලමිනි. පාරමී දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය .

"යාළුවෙක් කියන්නේ , හොඳම යාළුවෙක් කියන්නේ සමහරක් වෙලාවට තමන්ගේම පවුලේ ලේ නෑයෙකුටත් වඩා හුඟක් ළඟ කෙනෙක් .ඒක ඇත්ත විශ්ව .නමුත් ඔයා මගේ හොදම යාළුවා වුණත් මෙතන තියෙන ප්‍රශ්නය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්"

විශ්ව නිහඬවම පාරමී කියන දේ අසා උන්නේය.

"මං රට රටවල් වල අවුරුදු ගානක් තනියෙන් ජීවත් වුණ කෙනෙක් .ඒ කාලෙදිත් එකට ඉගෙන ගන්න යාලුමිත්‍ර කණ්ඩායම් අතරේ ගෑණු පිරිමි බේදයක් නැතුව හුඟක් කට්ටිය උන්නා තමයි . නමුත් මම ඇත්තම කියන්ඩ ඕනෙ විශ්ව . මට මෙච්චර කාලෙකට දැහැමි ඇරුනම හොඳම යාළුවෙක් කියලා කෙනෙක් උන්නේ නැහැ .විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ. ඔයා මේ කෙටි කාලෙට මගේ හොඳම යාලුවා වුනේ ඔයාගේ ප්‍රශ්නවලට මගෙන් උත්තර ලැබුණා හා සමානවම මගේ ජීවිතයටත් ඔයාගේ ආශ්‍රය කියන එක හුඟක් වැදගත් දෙයක් වුණ නිසා ...."

පාරමී මොහොතකට කතාව නවතා සිය වතුර බෝතලයෙන් මදක් පානය කළාය .

"ඒත් මේ ශ්‍රී ලංකාව කියන දේ ආකල්ප අතින් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ කියන එක ආයෙ ආයෙම මට ඔප්පු වෙනවා . ඔයාගේ මගෙයි අතරෙ තියෙන ඒ ලෙන්ගතු කම යාලුකම ඔයාගේ අම්මා ඉඳලා ඕනම කෙනෙක් වටහා ගන්නේ වැරදියට බව දැන් අපිට තේරෙන්න ඕනේ"

පාරමී ගේ හඬෙහි වේදනාවක් මුසුව යමින් පැවතුණි.විශ්ව ඇයට දිගටම කතාකරන්නට ඉඩ දී බලාඋන්නේය.

"ඔයා ශෙරීනා හරි වෙන ඕනම කෙනෙක් එක්ක හරි ජීවිතේ පටන් ගන්න යන්කොට මේ යාලුකම ඒකට බලපෑමක් කරාවි විශ්ව. ඔයාගේ අම්මා ඒ බලපෑම අනිවාර්යයෙන් එතනට ගේනවා.ඒ නිසා....ඒ නිසා...."

පාරමී මොහොතකට කතාව නැවැත්වූයේ එතනින් ඔබ්බට කිසිවක් කියාගන්නට නොහැකිවය.

"ඔව් ඒ නිසා ...ඒ නිසා...මොකක්ද...කියන්න ඉතින් .."විශ්ව අසුනෙන් නැගිට ඇය ඉදිරිපසට ආවෙය.පාරමී නිහඩවම බිම බලා ගත්තාය.විශ්ව ඇය අසලින් මේසයේ භාගයට මෙන් ඉඳගත්තේය.පාරමී හිස නොඋස්සාම උන්නාය.

"කියන්න පාරෝ....ඔයාට දැන් කතාකරන්නම වෙනවා."

විශ්ව සිය සුරත ඇයගේ නිකටට යටින් යවා එසෙවීය.පාරමී ගේ ඇස් පුරා කඳුළු විසිරෙමින් පැවතුණි.

"අපි ටිකක් දුරස් වෙලා ඉම්මු විශ්ව..."

පාරමී හැඬුම් අතරින් පැවසුවාය.තමා හැසිරෙන්නේ දැඩි ආශාවකින් ලඟ තබා ගත් සෙල්ලම් බඩුවක් අහිමිව යන කුඩා දැරියක් විලසින් නොවේද? 

"ටිකක්...ඇයි ටිකක් ....කියන්න පාරෝ..... "

විශ්ව ඇසුවේ කෝපය මැඩගනිමිනි.පාරමී නිහඬව හිස දෙපසට වනමින් නිහඬ වූවාය.

"දුරස් වෙන්න ඕනනම් ඇයි ටිකක් දුරස් වෙන්නෙ...ඇයි සම්පූර්ණයෙන්ම දුරස් නොවෙන්නෙ.මොකක්ද ඒකෙ තේරුම පාරෝ.කියන්න."

විශ්ව පාරමීගේ අත් ගොබයකින් අල්ලා නැගිටවාගත්තේය.ඔහු මේසයට අඩමානයෙන් හිඳගෙන ඇති හෙයින් පාරමී නැගී උන් පසු ඔහුගේ ඇස්මට්ටමට ආවාය.

පාරමී සුසුමක් හෙලා ඉවත බලා මොහොතක් උන්නාය.

"ඔයාට හොඳක් වෙනව නම් සම්පූර්ණයෙන්ම වුණත් දුරස් වෙන්න මම ලෑස්තියි විශ්ව.."පාරමී එවදන් පැවසුවේ හිත කෑලි වලට කැඩීබිඳී යන මොහොතේය.

"එතකොට ඔයා ඈත්වුනාම මට නරකක් වෙනවනම් ....එතකොට ඔයා මොකද කරන්නෙ?" 

විශ්ව ඇසුවේ පාරමී ගේ මුහුණටම එබෙමිනි.

"මං ඈත්වුනා කියල ඔයාට වෙන නරක් මොකක්ද විශ්ව. මම ඔයාගෙ යාළුවෙක් විතරයි...ඉතින් ...ඉතින් ..."පාරමී බිඳීගෙන යන හඬින්ම පැවසුවාය. 

" ඒකත් එහෙමද පාරෝ.මම ඔයා ගැන හිතන් උන්න තරම එක්ක බැලුවම ඔයා මාව තියල තියෙන්නෙ කොච්චර දුරකින්ද කියල මට දැන් තේරෙනව. මං පිස්සෙක් නොවී ,කාලකණ්ණියෙක් නොවී ගොඩ ආවේ අනූනමයෙන් කියන එක ඔයාට අමතක වෙන්න ඇති. ඒත් ඒක මට අමතක වෙන්නෙ නෑ පාරෝ.මට අමතක කරන්නත් බෑ...."විශ්ව පාරමී දෙස නොබලාම පැවසුවෙය

"ඒත් ....ඔයා කියන්නෙ ඔහොම නම් ....මට බලෙන් ඔයාව මා ළඟ තියාගන්න ඕනනෑ පාරෝ.මෙච්චර කාලෙකට මගෙ අතින් ගිලිහිලා ගිය ජීවිතේ ඔයා මට ආයෙ පෙන්නල දුන්නාට පිං.ඒත් .....ඔයා මාව අතාරින්න සූදානම් නම් මට ඔයාගෙ ළඟ බලෙන් ඉන්න ඕනනෑ පාරෝ."

විශ්ව ගේ හඬ වේදනාකාරී විය.

"විශ්ව...."

පාරමීගේ කෙඳිරුම් හඬ සවනතට වැකෙන මොහොතේදී විශ්ව උන්නේ ආපසු හැරී යන්නට පියවර ඔසවමිනි.

"අපි යං පාරෝ....ඔතනින් එහාට අපි මොනව කතාකරන්නද....යමු..මම ඔයාව ඇරලවන්නම්...."

විශ්ව නිහඬවම පෙරට පය තැබීය.

                                                                            *** 

පාරමී මොහොතක් නිවසේ දොර අසල බිම හිඳගෙන උන්නාය.විශ්ව ආපසු එන අතරේ කිසිවක්ම නොදොඩාම උන්නේය. කෙතෙක් මුදු වුවද විශ්ව තරහා ගිය විට ඉතා තද සිතැත්තෙක් බව පාරමී දැන උන්නාය.කියන්නට වදන් සොයාගන්නට නොහැකිව ඇයද ඔහේ බලාඋන්නේ වේගයෙන් පසුව යන ගස්වැල් දෙසය.

කිසිදු වදනක් නොපවසාම පාරමී වාහනයෙන් බැසි වහාම විශ්ව නික්ම ගියේ ඇය දෙස එකදු බැල්මක් හෝ නොතබමිනි.හිතම හිස්ව ගොසිනි.ඉදින් කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද යන්න පාරමීට සිතාගන්නට නොහැකි තරම්ය.ඉකිගසා හඬා වැටෙන්නට සිත බලකරයි.

ටික වේලාවක් බිම ඉඳගෙන උන් ඇය කකුල් අද්දමින් ගෙතුළට වැදුණාය.සතියකට වරක් පමණක් පැමිණ යන මේ නිවස පාලුවට යන්නට පටන් ගෙනය.සුනන්දා ස්ව කැමැත්තෙන්ම පාරමී සමග සතියකට වරක් විත් ගෙදර අස්පස් කොට බිම මොප් කර මිදුල අතුගා දමන්නීය.ඒ වෙනුවට වත්ත පිටියේ තවම ඉබේ මෙන් හැදෙන පලාකොල සහ පොල් කොස් දෙල් ඇයට ඇති තරමට ඇය රැගෙන යන්නේ පාරමී මුල්ම දින සිට ඇයට කියූ හෙයිනි.

"මේ ගෙවල් මෙහෙම පාලුවට යන්න දෙන්න හොඳ නෑ මැඩම්."

සුනන්දා මිදුල අතුගාමින් පවසන්නේ වරක් දෙකක් නොවේ.අම්මත් මාලනීත් නොමැතිව මේ ගෙදර රැයක් ගෙවුනේ නැත.දවල් දවසේ අස්පරස් කොට දමා හැන්දෑවී ආපසු යන විටත් ඇයට පෙර දවසක මේ නිවස ගැන තිබූ ආසාව නැතිය.

විශ්ව ගියේ දැඩි නොමනාපයක් සිත ඇතිවය.එහෙත් ඔහු කිසිවක්ම නොකියා ගිය පසු ජීවිතයේ වෙනදා නොවූ හිස්තැනක් ඇත. පාරමී තෝරාබේරා ගන්නට නොහැකි හැඟීමකින් ඔද්දල්ව ගිය සිතෙන් ඉකිගසමින් හඬන්නට වූවාය.

                                                                  *** 

" වරෙන් යන්න මාත් එක්ක " නිසල්ගේ නිවෙස අසල වාහනය නැවතූ විශ්ව ඇමතුමක් දුන්නේ එහි සිටමය.නිසල්ගේ අම්මා හමුවට යාමට සිත්නොවූ හෙයින් ඔහු නිසල්ව ගෙන්වාගන්නට තැත්දැරීය.සිය මිතුරාගේ කලබලකාරී හඬ නිසාම නිසල් වහා වෙනත් ඇඳුමකට මාරුවී වාහනය වෙත දුව ආවේ අම්මාගෙන් යන අතරේම සමුගනිමිනි.

"මොකද බං උනෙ...?" නිසල් ඇසුවේ විශ්ව වාහනය පාරට ගන්නා විටමය.විශ්ව කිසිවක් නොකියා රථය වේගයෙන් ධාවනය කලේය.

"යකෝ මැරෙන්නද ඕනෙ.ඔන්න ඔය පාර අයිනට කරල ඕක නවත්තහං.මං ගන්නම් වාහනේ"

නිසල් කෑගැසුවේ විශ්වගේ අපරීක්ශාකාරී වාහන පැදවීම දෙස බලමිනි.වාහනය මාවත අසල නවත්වා එයින් බැසගත් විශ්ව පා පහරක් වාහනයේ ටයරයට ගැසුවේ කෝපයෙනි.

"පාරෙ ඉන්න උන් හිනස්සන්නැතුව නැගපන්.නැගල කතාකරමු" නිසල් විශ්ව යාබද අසුන වෙත තල්ලු කරගෙන මෙන් ගෙන ගියේය.

"යමන් ක්ලබ් එකට."විශ්ව පැවසුවේ හිසකේ අදිමිනි.මේ තත්වය උඩ විශ්ව එහි ගියහොත් එතනින් ගන්නට වන්නේ හෙට පාන්දර බව නිසල්ට වැටහුණි.

"නෑ නෑ මෙච්චර කල් නොගිය ක්ලබ් එකට ආයෙ යන්න ඕනත් නෑ...මොකද උනේ කියපන්...බීල නෙවේනෙ ප්‍රශ්න විසඳන්න ඕනෙ"

නිසල් අසුනේ විශ්ව දෙසට හැරෙමින් පැවසීය.

"ඔක්කොම එකයි බං ...ඔක්කොම එකයි..මුන් ඔක්කොම නටන්නෙ මගෙ ජීවිතේ එක්ක."

විශ්ව වේදනාවෙන් පවසන්නට විය.සිදුවූ සියල්ල නිසල්හට පැවසූ ඔහු හිස අත බදාගෙන දෑස් පියා ගත්තේය.

"මේ අහපන් විශ්ව...උඹ පාරමට උඹේ හිතේ තියන දේ කියල තියද ?" 

නිසල් ඇසුවේ සිය මිතුරාගේ කතාවට ඇහුම්කන් දුන් පසුවය.

"ආයෙ ඕක වචනෙන්ම කියන්න ඔනද බං.මෙච්චර ලං වෙලා උන්නා.ඒකිට ඕක නොතේරෙන්න එයා බබෙක්ද?" 

විශ්ව පැවසුවේ නොරිස්සුම් සහගතවය.

"ඒක වැරදියි...එහෙම ගත්තොත් පාරමී උඹට කැමතියි කියලත් නෑනෙ.මේ අහපන් ඔය අවුරුදු දාසයේ දහාටෙ කොල්ලො කෙල්ලො වගෙ මේව විසඳන්න බෑ.උඹ කෙලින්ම අහන්න ඕනෙ පාරමීගෙන් .උඹෙ හිතේ තියන දේ නොකියා ඒ මනුස්සයට බනින එක වැරදිනෙ බං"

නිසල් පැවසුවේය.

"හරි යමන් ....දැන් යමන් එහෙමනම් ..ගිහින් මම කියන්න ඕන ටික කෙලින්ම කියල අහන්නම්.උඹ හිටපන් සාක්කියට."විශ්ව පැවසුවේය .

"දැන් ..මේ දැන්...බලපන් දැන් පහත් පහුවෙල.හොස්පිට්ල් යන්න පුළුවන් ද මේ වෙලාවට" නිසල් උත්සාහ කලේ ආවේගය පාලනය කොට සෙමින් මේ කතාවට මොවුන් දෙදෙනා ප්‍රවිෂ්ට කරන්නටය.

"හොස්පිටල් නෙවේ අරහෙ ගෙදර ඉන්නෙ.යමන් එහෙ.ආයෙ හෙටට කල්දාන්න දෙයක් නැ"විශ්ව සිය මතයේම එල්බ ගත්තේය.

"කුලුමීමෙක් ආම්බාන් කරන එක ලේසියි මූව නම්මගන්නවට වඩා.මොන මලයකෙක් වැහිලද මන්ද මූට."

නිසල් තමාටම කියවමින්ම රිය පණ ගන්වා ගත්තේය.

පාරමීගේ නිවසට එනවිට පහ පසුවී විනාඩි තිහක් පමණය.අවට නිවෙස්වල අයගේ බැල්මවල් එහෙමට නොවැටෙන පරිසරයක් හෙයින් පාරමීගේ නිවසට යනඑන අය ගැන සොයාබලන්නට කිසිවෙක් නොවූ තරම් ය.වාහනය ගෙවත්තට ඇතුල් කර නැවතු නිසල්....පාරමීට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ" බෙහෙවින් නිදිබර හඬකින් ඇමතුමට සම්බන්ධ වූ පාරමී නිසල්ගේ හඬින් නිදිමත පහව ගොස් ඇඳෙහි හිඳගත්තාය.

"ඩොක්ටර් මම නිසල්...මේ විශ්වයා පිස්සු නටනවා ආපහු."

නිසල් වාහනයෙන් බැස ඇමතුමට සම්බන්ධ වූයේය.විශ්ව ඉවත බලාගෙනම උන්නේය.

"මට තේරෙන්නෙ නෑ නිසල්.මම හැම පැත්තෙන්ම තැලෙනවා අන්තිමට."

පාරමී ගේ හඬ හැඬුම්බරවීය.

"අපි ඉන්නෙ ගේ ඉස්සරහ.මූ එක්ක මේක කතාකරල පොඩ්ඩක් ශේප් කරන්න.නැත්නම් අද ක්ලබ් යන්න හැදුවා ආපහු.මම මේ අමාරුවෙන් නවත්තාගත්තෙ"

නිසල් පැවසුවේය.

පාරමී ඇඳෙන් නැගිට අවුල් වූ හිසකේ සකසා ගෙන වහා ඉදිරි දොර ඇරියාය.නිසල් රිය ඉදිරිපස සිට ඇය හා සිනාසුනේය.ව්ශ්ව ඉදත බලාගෙනම සිටී.පාරමී නිහඬව දොරෙන් මෑත්වූවාය.

"දැන් තොට ගේ ඇතුලට යන්න මං තොරණක් ගහන්න ඕනද.එක්ක ආව මදිවට.පලයන් පුපුරපුපුරා ඉන්නෙ නැතුව .ගිහින් කතාකරගනින් "නිසල් වාහනයේ විශ්ව උන් පසට විත් පැවසීය.

"උඹත් යමන්..."විශ්ව පැවසුවේය.නිසල් යලි ඔහුට රැවීය.

"මගුලක් කියවන්නෙ නැතුව පලයන් බං.වද දෙන එකෙත් සීමාවක් තියනවනෙ."

නිසල් රියදුරු අසුනට ආවේ එසේ කියමිනි.විශ්ව ආපසු හැරි හැරී බලමින් ගෙදර ඉදිරි දොර අසලට ගියේය.

"මං පොඩ්ඩක් ගිහින් එන්නම්.කෝකටත් කියල මගේ ශරීර සවුක්කියට ඒක හොඳයි.නැත්නම් ඔය විසික් කරන කෝප්පයක් පිගානක් වලංගැට්ටක් මේ අසරණ මගෙත් වදින්න පුළුවන්" 

නිසල් රිය හරවාගනිමින් විශ්වට කෑගසා කීය.ගෙතුළට යමින් උන් පාරමීටද එබසට සිනා නැගුණි.ආපසු හැරී බලනවිට රවා ගත් මුහුණින් විශ්ව ගෙතුළට එමින් සිටී.පාරමී සිනහව ගිලගත්තාය.

"ඉඳගන්න" 

පාරමී පුටු සෙටියට අත දිගු කළාය.

"මට ඕන්නෑ.."

විශ්වගේ ගෙරවීම පාරමීට යටිසිතේ සිනා උපද්දවයි.

"එහෙනම් හිටගෙන ඉන්න මට මොකෝ."

පාරමී ගණනකට නොගෙන කීවාය.

"මොකක්ද කිව්වෙ?"

විශ්ව අඩියට දෙකට ඇය අසලට අවේය.පාරමී එතන වූ අසුනේ ඉබෙම හින්දවුනාය.

"කට නම් තියෙනවා මොනව නැතත් ..."

විශ්ව ඇය අසලින් හිඳ ගත්තේය.

"යකා ආරූඪ වෙල ගියපු හැටියට හැරෙන තැපෑලෙන් ආපහු ආවේ ඇයි කියලා මම බැලුවේ."

පාරමී අසුනේ මදක් ඈතට වෙමින් පැවැසුවාය.

"යකා ..? යකා තව දැක්කෙ නෑ මගේ ."

විශ්ව පැවසුවේ නොමනාප බැල්මකින් ඉවත බලමිනි.

"ඇයි ඔයා මම කියන දේ තේරුම් ගන්නෙ නැත්තෙ?" 

පාරමී මොහොතක නිහඬතාවයෙන් පසුව විශ්ව දෙසට හැරෙමින් ඇසුවාය 

"කියන්න ඕන හරියට...පැහැදිලි ව තේරුම්ගන්න හරියකට ....හරි මාත් ඒ වෙලාවේ කලබල උනා. හරි දැන් කතා කරමුකො."

විශ්ව සුසුමක් හෙලා සන්සුන් වන්නට උත්සාහ දරමින් පැවසුවේය .

පාරමී මොහොතක් නිහඬව සිටියාය. විශ්ව සම්බන්ධව තමාගේ සිතේ ඇත්තේ කිනම් වූ හැඟීමක් සහ ආකල්පයක්ද යන්න පාරමී කල්පනා කලේ ඔහු අමනාපයෙන් පිටවී ගිය මොහොතේ පටන්ය .මෙතුවක් කල් ජීවිතයේ නොඇරී තිබූ එක් ඉසව්වක් විශ්වගේ ආගමනයෙන් පසු අවදි වන්නට පටන් ගෙන තිබූ බව පාරමීට වැටහෙමින් තිබුණි .නමුත් ඒ හැඟීම කිසිදිනෙක ඔහු තමා සතු කර ගැනීමට යන්න දරන්නන් නොවන බවද ඇය අවබෝධ කොට ගෙන සිටියාය . තමාගේ ජීවිතයේ පසුගිය කාලයේ සිදු වූ ප්‍රබල වෙනස්කම් හේතුවෙන් තමා කිසි දිනක විවාහ ජීවිතයකට ඇතුළු නොවන බව පාරමී දරා උන් මතය විය . කෙතරම් සාධාරණීකරණය කළ හැකි හේතුන් තිබුණද පාරමී ජීවත්වූයේ තවකෙකුගේ ජීවිතයකට තමන් සම්බන්ධ වන්නේ නැතැයි යන දැඩි මතයේය.

"මට කියන්න තිබ්බ දේවල් මම කිව්වා විශ්ව. ඔයා සම්බන්ධව කොච්චර විශේෂත්වයක් මගේ හිතේ තිබුණාත් ......"

පාරමීගේ වදන් අතරමඟ නවතා ලමින් විශ්ව ඇය දෙසට හැරුනි .

"පාරෝ....ඔය මහප්‍රාණ ව්‍යාකරණ ටික පැත්ත තියන්න. මට කෙලින්ම කියන්නම්. අපි දෙන්න අතරේ තියෙන්නේ යාළුකමක් විතරද .? මං අහන්නේ ඔයාගේ පැත්තෙන් මම ඔයාගේ හොඳම යාළුවා විතරද ? ඊට එහා ගිය යමක් ඔයාගේ හිතේ මං ගැන නැද්ද ?"

විශ්ව ඇසුවේ අන්තිම මොහොත දක්වාම පාරමී සිර කරමිනි. මට මේ නිහඬ ව උන්නා ය.තම සිත තුළ ඔහු ගැන පවතින විශේෂත්වය ආදරය යැයි තමාට ම වටහා ගත නොහැකිව ඇත . නමුත් ඔහු අමනාප වී තමා හැර ගිය මොහොතේ පටන් සාමාන්‍යයෙන් ඉතා අඩුවෙන් කඳුළු පිරෙන දෑසට අතොරක් නැතිව කඳුළු ගලා ආවේය .

විශ්ව යන පුද්ගලයා තමාගේ ජීවිතයේ මෙතෙක් නොවූ තරමට තමාට බැඳී සිටියේ යැයි පිළිගත යුතුව තිබුණි .

"කතා කරන්න පාරෝ. අපි මේක කෙලින් කතා කරන්න ඕනේ."

විශ්ව පාරමීගේ දෙවුරෙන් අල්ලා තමා වෙතට හරවා ගත්තේය .

"මන් දන්නෙ නෑ විශ්ව මට තේරෙන්නේ නැහැ..."

පාරමී එපමණක් පවසා නිහඬ වූවාය .

"හරි ඔයාටනේ තේරෙන්නේ නැත්තේ .එහෙනම් මම කියන්නම් මගේ පැත්ත . ඔයාට ඔයාව නොතේරුනාට මට මගේ පැත්ත හොඳින් තේරෙනවා."

විශ්ව පැවසුවේ නිහඬව බිම බලාගෙන ඉන්නා පාරමීටය.

"ඇත්ත මම ඔයා ගාවට ආවේ මම ඔයාගෙ පේෂන්ට් කෙනෙක් විදියට තමයි . ඒත් ඒ ආව පළවෙනි දවසේ ඉඳන්ම ඔයා මාව ඔයාගෙ පේෂන්ට් කෙනෙක් විදියට බාර ගත්තෙ නැති උනත් මට ඔයා විශේෂ කෙනෙක් වුණා පාරෝ."

පාරමී දෑස් විසල් කොට විශ්ව දෙස බලා උන්නාය.

"ඔයා මාව මාව කවුන්සලින් වලට භාරගන්න බැහැයි කිව්වාම මම නිසල් ට මොන තරම් වදයක් දෙන්නට ඇති කියලා ඔයා දන්නවද ...?"

විශ්වගේ මුහුණේ මතුවූයේ ඉතා දඟකාර සිනහවකි.

"කල්පනාගේ ගැටලුව ඉන්පස්සෙ මම ගෑනු අය කියන සබ්ජෙක්ට් එකෙන් ඈත්වෙලාමයි උන්නෙ.කවදාවත් මම බඳින්නේ නැහැ කියන එක මම තදින්ම තීරණය කරගෙන උන්නෙ .ඒ විතරක් නෙමෙයි කිසිම ගෑනු කෙනෙක් එක්කම සම්බන්ධකමක් වගෙ දෙයක් ඇති වුණේත් නැහැ .ඒ තරමට ගෑනු මට අප්පිරිය වෙලයි තිබුණේ."

විශ්වගේ හඬ මදක් ආවේගකාරී විය .පාරමි සෙමින් ඔහුගේ අත සිය අත තබා සෙමින් තට්ටු කළාය. හැමදාමත් මෙන් විශ්ව ආවේගශීලී වන මොහොතේදී සිහින් ස්පර්ශය ඔහු සන්සුන් කරන. බව පාරමී දැන උන්නාය."

                                                                                    *** 

"ඇස් ලොකු කරන් බලන් උන්නට නිසල් ගේ පෝන් එකෙන් මං එකෙන් එක දවසට ඔයාට කොච්චර කෝල් ගත්ත ද කියලා ඔයාම දන්නව පාරෝ. කොහොම හරි ඔයාගේ appoinment එකක් ගන්න උත්සාහ කරපු කාලෙදී තමයි ඔයගෙ අම්ම හදිසියේම නැතිවුනේ .එතනින් පස්සේ අපි දෙන්නා සමීප වෙච්ච හැටි ඔයා දන්නවා."

විශ්ව පාරමීගේ අත තම දෑතට මැදි කර ගත්තේය.

"cancer එක නිසා සිද්ධ වෙච්ච දේ ඔයාගෙ ජීවිතයට ලොකු බලපෑමක් කළ බව මම දන්නවා.නමුත් ඒක මගේ හිතේ ඔයා ගැන තිබ්බ හැඟීම වෙනස් කරන්න කිසිම හේතුවක් වුනේ නැහැ .මම පිළිගන්නවා මගෙයි වැරැද්ද ...අපි කොයිතරම් ක්ලෝස් වෙල හිටියත් මම ඔයාට මගේ හිතේ ඔයා ගැන තියෙන දේ කෙළින්ම කීවේ නැහැ .මම හැමතිස්සෙම හිතුවේ ඒක කටින් කියන්න අවශ්‍ය නැහැ ඔයාට ඒක තේරෙනවා කියලා .අනෙක අපේ වයස්වල හැටියට මේ දේ මෙහෙම කියන්නම ඕන කියල මං හිතුවෙ නෑ...නමුත් මේ ප්‍රශ්නෙ මෙච්චරම බරපතළ වුණාටත් පස්සෙ නිසල් අද හවස මට කියනකම් මට ඒක තේරුම් ගන්න බැරි වුණා" 

පාරමී කරකියාගන්නට දෙයක් නොමැතිව බිම බලාගෙනම උන්නාය.

"පාරෝ.....අයි ලව් යූ සෝ මච්...මං ඔයාට ආදරෙයි පාරෝ."

විශ්ව පාරමී සිය දෑතින් වැලඳගනිමින් පැවසුවේ ඉතාම හැඟීම්බරවය.පාරමී ගල්ගැසී මෙන් ඔහේ උන්නාය.මොහොතක් දෙකක්...ඊටත් වඩා කාලයක්.

"පාරෝ...ඇයි කතාකරන්නෙ නැත්තෙ."

විශ්ව ඇසුවේ ඇය සිය තුරුලෙන් මෑත්කරමිනි.පාරමී පියවි සිහියට ආවේ මොහොතක් ගතව ගිය පසුය.

හැඟීම් කෙතරම් ප්‍රබල වුවද අවබෝධය ඊට වඩා ඉස්මතු විය යුතුය.තමා මේ දැන් පවසන ඕනෑම දෙයක් තමාගේ මෙන්ම විශ්වගේ සම්පූර්ණ අනාගතයම තීරණය කරනු ඇති බව පාරමී දැන උන්නා ය.

"මං කියන දේ තේරුම් ගන්න විශ්ව. අපි පුංචි ළමයි නෙමෙයි .අපි මේ ජීවිතයෙ හුඟක් දැනුම් තේරුම් තියෙන අය .ඔයා දන්නවා මට දැන් කිසිම කෙනෙක් නැති බව.ඔයා එහෙම නෙමෙයි ඔයාට අම්මා තාත්තා ඉන්නව. මේ දේවල් මෙහෙම උනොත් ඔයාව ඔයාගෙ පවුලෙන් අම්මා සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.ඒක වෙන්න දෙන්න බෑ මට.අපි මේ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න ඕන කාලයක් නෙවෙයි විශ්ව."

පාරමී සෙමින් පැවසුවාය .ඇයගේ සිතතුල ඉපිද බුරබුරා නඟින්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් වුවද ඇය හිතාමතාම සිය මනස පාලනය කරගත්තාය.

"පාරෝ....මේ බලන්න ..ඔයා ඔය කියන හැමදේම මගේ ඇස් දෙක දිහා බලාගෙන කියන්න . මේ අහන්න පාරෝ. ඔය කියන දේවල් ඔහොම ඇත්තටම ඔයාගෙ හිතේ තියෙනවා නම් ඇයි අද මම ගිය වෙලාවේ ඉඳන්ම ඇඬුවේ ..ඔයා කොච්චර නෑ කිව්වත් ඔයාගේ ඇස්දෙක මට සාක්කි දෙනවා."

විශ්ව පැවසුවේ පාරමී ගේ දෑස් දෙස එකඑල්ලේම බලමිනි.

"මං ඒ ඇඬුවෙ ඔයා මා එක්ක තරහ වෙලා ගිය නිසානෙ."

පාරමී ගතු කීවාය.විශ්ව මහහඬින් සිනාවූයේ ඒ ස්වරයටමය.

"ඒ කතා අදාල නෑ...මම ඔයාට කෙලින්ම කීවා පාරෝ...මම ඔයාට ආදරෙයි කියල...now it is your turn...say yes or no to me."

විශ්ව පැවසුවේය.

"ආදරෙයි කියන දේයි අපි මේ ඉන්න සිටුවේෂන් එකයි දෙකක් විශ්ව.අපි කවදාවත් එක්වෙන්න බැරි අය.ඒක තේරුම්ගන්න.මම ඒ ඉරණමට මුහුණ දෙන්න සූදානම්, සූදානමින් ඉන්න කෙනෙක් ...ඒත් ඔයා එහෙම නෙමෙයි ...මම එක්ක ජීවිතේ බෙදාගෙන ඔයාට මොනවද ලැබෙන්නෙ විශ්ව...."

පාරමී ඇසුවේ වේදනාවෙනි.

"ලැබෙන්නෙද ...කොච්චර දේවල් ලැබෙනවද ...ආදරය ,සැලකිල්ල, හිතේ සැනසීම, බෙදාගැනීම...කොච්චර දේ ඔයාගෙන් මට දැනටත් ලැබෙනවද පාරෝ...මනුස්සයෙක් ට ඕන ආදරේ, ලෙන්ගතුකම වගේම ඇහුම්කන් දෙන හිතක් ඔයාට තියෙනව.ඒ මදිද මට..."

විශ්ව කවදාවත් නැති තරමට කතාකරන්නට පටන්ගෙනය.

"විශ්ව කවදාවත් ඔයාට මගෙන් දරුවෙක් නොලැබෙන එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද ?"

පාරමී ඇසුවේ අන්තිමම තුරුම්පුව අතට ගෙනය.

"නෑ කවදාවත් නෑ නෑ ...මොකද ජීවිතයකට ඔය හැමදේම එකතු කරගෙන මේ ජීවත් වෙනවා කියන එක මම හිතෙන් අතහැරලා ගොඩක් කල්.ඔයාව මේ කාලෙදි මට හම්බුනේ නැත්නම් සමහරක් විට මම දිගටම මේ විදිහටම ඉන්න තිබුණා .මොකද දැන් ඉන්නේ අවුරුදු 40 වෙන්න ඔන්න මෙන්නනෙ."

විශ්ව සිනහසුනේ එසේ කියමිනි .පාරමී අවසාන වතාවට දැරූ උත්සාහයක් අතහැර දමා නිහඬ වූවාය. 

"පාරෝ ...ඉතින් කතා කරන්න ..ඔයාගේ points ටික ඉවර ද ..තව මොනවා හරි තියෙනවද මේකට බෑ බෑ කියන්න හේතු විදිහට..."

විශ්ව ඇසුවේ සිනහසෙමිනි.

"කියන්න නම් ඕනතරම් හේතු තියනවා.ඒ උනාට ඔයා එක්ක තර්ක කරල වැඩක් නෑ.මම තේ ටිකක් හදන්නද?" පාරමී අසුනෙන් නැගී සිටින්නට සූදානමින් ඇසුවාය.

"තේ....තේ බොන්න පුළුවන් පස්සෙ...දැන් මට දෙකින් එකක් විසඳගන්න ඕනෙ."නැගිටින්නට තැත්කල පාරමීව අතින් ඇද පුටුවට වැට්ටවූ විශ්ව පැවසුවේය.

"අහන්න පාරෝ...මේ ගන්න තීරණය හිතට එකඟව ගන්න.මගේ බලපෑමට ගන්නවා කියල හිතන්න එපා."විශ්ව පැවසුවේ නිවීගිය හඬිනි.පාරමී මොහොතක් ඔහු දෙස බලාඋන්නාය.

ඇත්තෙන්ම තමා ඔහුට ආදරය කලා, කරනවා නොවේද? ජීවිතයට ආදරය ආගන්තුක හැඟීමක් වුව විශ්වගේ සමීපබව තමාගේ ජීවිතය නැවුම් හැඟීම්වලින් පුරවාලූවා නොවේද?ඔහු නොමැති දිනවල හිතපුරා සාංකාවක් බඳු හැඟීමක් උතුරාගියා නොවේද? සමහරක් දිනවල පාරෝ..යැයි ලෙන්ගතුව අමතන විට දැනෙන හෘදයාංගම බවට ඇස් කෙවෙනි මත කඳුළක් බොඳ වුණා නොවේද?ඉතින් මේ සියල්ල ආදරයම මිස අන් කවරක්ද ?

"ඒ ගමන මාව කන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා ....පාරෝ...?"

විශ්ව ගේ හඬින් පාරමී තිගැස්සී පියවි සිහියට පැමිණියාය.ඇයගෙ වත රත් පැහැයට හැරුණේ අධික ලැජ්ජාවට ය. 

කිසිත් කියා ගත නොහැකිව පාරමී බිම බලාගත්තාය.විශ්ව ගේ මුහුණ පුරා පැතිරගියේ සුන්දර සිනහවකි.තව දුරටත් ඇයව වෙහෙසකරනු නොහී ඔහු පුටුවේ පසුපසට වී දෑස් පියා ගත්තේ ය .

" තේකක් හදන්නද ?" පාරමීගේ හඬ ද කෝල බවින් පිරුණු එකක් විය. විශ්ව දෑස් පියාගෙනම හිස වැනුවේය. පාරමී සෙමින් නැගිට මුළුතැන්ගේ වෙත ඇවිද ගියාය .ඉතින් තමා මේ දකින්නේ සිහිනයක්ද සැබෑවක්ද යන්න පාරමීටම සිතාගත නොහැකි විය. හිත පුරා පොපි යන්නේ සුන්දරම වූ හැඟීම් සමුදායකි.

විනාඩියෙන් විනාඩිය ගතවෙත්ම පාරමී ඒමට පමා වූ හෙයින් විශ්ව මුළුතැන්ගෙය දෙසට ගියේය . විදුලි කේතලය උතුරා ස්විචයද නිවී ගොසිනි.පැන්ට්‍රියේ බැම්මට හේත්තු වී පාරමී කල්පනාවකය.විශ්ව ඇය වෙත ඇවිද ආවේ නිසොල්මනේය.

"සිහිය නැතිවෙන තරම් දෙයක් ද මම මේ කලේ ....පාරෝ..?" ඇයගේ ඉඟවටා සුරත යැවූ විශ්ව පාරමී තමා වෙතට හරවාගත්තේය.තිගැස්සී පියවි ලොවට ආ පාරමී තවමත් තමා තේ සාදා නැති බව දැක ලැජ්ජාවට පත්වූවාය.

"ඔච්චර කල්පනා කරන්න දෙයක් තියෙනවද ? අපි දෙන්නා තාමත් හොඳ යාළුවෝ. ඉතින් ඇයි මෙච්චර excited ඔයා.? "විශ්ව ඇසුවේ පාරමී ගේ මැලව ගිය වත දැකය.

"අනේ sorry විශ්ව ...මම වෙනම කල්පනාවකට වැටුණා. අනේ ඉන්න මං ඉක්මනට තේ හදන්නම්. "පාරමී ඔහු දෑතින් මිදෙන්නට උත්සාහ දරමින් පැවසුවා ය.

"නෑ නෑ ඔයා ඉන්න මම තේ එක හදන්නම්. මට බඩු තියෙන තැන විතරක් කියන්නකො."විශ්ව යලි විදුලි කේතලය ක්‍රියාත්මක කරමින් පැවසුවේය.

පාරමී නිහඬවම අදාළ දෑ ඔහු වෙත ළං කළාය.

පාරමී තමා වෙත ළං කල ඇයගේ කෝප්පයට පමණක් තේ වත්කල විශ්ව එය එක් අතකින් අල්ලාගෙන ඇය අනෙක් අතින් අල්ලාගත්තේ ආපසු ආලින්දය වෙත යන්නය.

"එකක්...?" පාරමී ට ඉබේම ඇසිණ.විශ්ව සිනාවී ඇයවෙත නැඹුරු විය.

"ඔව් ...අද ඉඳන් එකක් ඇති දෙන්නටම"ඔහු සෙමින් පැවසුවේය.

************************************************************************************ 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


Friday, April 14, 2023

24 කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 24 කොටස


23 කොටසට මෙතනින් 23


"පාරමී නැගිටපන්.දැන් හොඳටම දවල් වෙලා."තවමත් නින්දේම ඉන්නා පාරමී වෙත ගිය දැහැමි ඇයගේ උරහිසෙන් අල්ලා සෙලෙව්වාය.සිහින් කෙඳිරුමක් නගා ඇඳමත හිඳගත් පාරමී දෑස් විසල් කොට සිය යෙහෙලිය දෙස බැලුවාය.

"මට එච්චර වෙලා නින්ද ගියාද බං.උඹ ආවෙ කොහොමද ?"

පාරමී ගේ හඬ පවා වෙහෙසකරය.ඇය අන්දමන්ද වූ ස්වරයෙන් කතාකරන අතර සිය ගත තවම සැරසී ඇත්තේ උදෑසන උත්සවයට ඇඳි සාරියෙන් බව දැක දැහැමි දෙස විමතියෙන් බැලුවාය.

"උඹ මගේ දිහා කන්න වගේ බලන්නෙ.මොකද? .අඩුගානෙ එන්න කලින් මටවත් කතාකරන්න තිබ්බෙ නැද්ද?"දැහැමි මඳක් කෝපයෙන් මෙන් ඇසුවාය.

පාරමී නිහඬව සිය සාරිය මුදාහැර තුවායද රැගෙන නාන කාමරයට වැදුනාය.මඳක් තනිව දවසේ වූ සියල්ල යළි සිහි කල යුතුව ඇත. හිත කොපමණ 

රිදුනද ඒ සිදුවීම අමතකකල නොහැකි තරම්ය.නාන කාමරයේ කරාමය හැර හිස වතුර පහරට අල්ලාගෙනම ඇය කල්පනා කලේ විශ්වගේ අම්මාගේ ඒ නොරිස්සුම් සහගත වචනය.

"අම්මා තාත්තා සහෝදර සහෝදරියො කිසිකෙනෙක් නෑ කියන්නෙ ඉතින් ...."ඒ කටුක වදන් තමාගේ අභ්‍යන්තරයේ මුලු ගැන්ව තිබූ එක් සාංකාමය හැඟීමක් ඇද එලියට ගත්තා නොවේද ? කෙතෙක් හිත හයියයැයි තමා සිතා උන්නද මෙලොව කිසිවෙක්ම නැති අසරණ ජීවියෙක් පමණක් ම වීද තමන්....?

"පාරමී ...ඒ ගමන උඹ බාත් රූම් එකේ නිදිද ? කෑම ටිකත් ඇල්වෙනව."දැහැමි නාන කාමරයේ දොරට ගසමින් පැවසුවාය. පියවි සිහියට පැමිණි පාරමී හිස තුවායෙන් පිස දමමින් නාන කාමරයෙන් පිටට ආවාය.දැහැමි කිසිවක් නොකියා ඇය සමග කෑම මේසය වෙත ආවේ අම්මා ඒ වන විටත් ආහාර ගෙන අවසන් හෙයිනි.

"කන්නත් බෑ බං."

පාරමී ඇඟ හකුලමින් පැවසුවාය.උදැසන තේ මේසයේදී කිරිබත් කෑල්ලක් කෑවා පමණි.විශ්වගේ මව සහ ශෙරීනා පැමිණ කියවීමට ගත් හෙයින් තේ පානය වත් නොකර පාරමී ආවාය.

"යමං ඉස්සරහට.මං බෙදන් එන්නම්."දැහැමි පිඟානකට බත් එළවළු බෙදමින් කීවේ පාරමී කියූ දේ ගණනට නොගනිමිනි.පාරමී ආලින්දයට සෙමින් ඇව්ද ගියය.

ආලින්දයේ දිගටම රෝස මල් පිරුණ මල් බඳුන්‍ ය.වැඩිමනත් සාත්තු නොකළද ගස් පුරා මල් පිරී ඇත.පාරමී පුටුවක හිඳගත්තේ සුසුමක් හෙලමිනි.දැහැමි කෑමපිඟාන ද ගෙන යාබද අසුනට ආවාය.

"කෝ අම්මා කෑවද ?" පාරමී ඇසුවේ දැහැමි ඇනූ බත්කට කටට ගනිමිනි.

"ඔව් කාල නිදා ගන්න ගියා.මේ ඒක නෙමෙයි..මොකද උනේ කියපන්කො.උඹ මටත් නොකිය එක පාරටම ඔහොම බැහැලා එන්න...එතන මොකක් හරි බරපතළ දෙයක් අනිවාර්යෙන් වෙන්න ඇති."දැහැමි ඇසුවේ පාරමී දෙස බලමිනි.

" විශ්වගේ අම්මා...සෑහෙන දේවල් මගෙන් ඇහුවා.ඒ වගේම මට ලොකූ අනතුරු ඇඟවීමකුත් නොකියාම කිව්වා. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි .මායි විශ්වය අතරේ එහෙම සම්බන්ධයක් නැති නිසා.නමුත් විශ්වගෙ අම්මා කියපු සමහර දේවල් මට කෙලින්ම ඔලුවට වැදුණා " පාරමී සුසුමක් හෙලමින්ම පැවසුවාය.

දැහැමි සිය යෙහෙලිය වෙතින් සියලු තොරතුරු අසා දැනගත්තේ කෑම කවනා අතරේමය.විශ්ව ගේ මව ඇයගේ ජීවිතය සම්බන්ධව එල්ල කල ඒ වචන පාරමීට දරාගන්නට අපහසුව තිබිණ.

"උඹයි විශ්ව අයියයි අතරෙ සම්බන්දෙකුත් නැතුව ඒ මනුස්සයට ඔහොම වටින්නෑ නෙ බං කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතේට ප්‍රශ්න ඇතිකරන්න.ඒක මහ කැත වැඩක්නෙ."දැහැමි පැවසුවේ කෝපයෙනි.

"මට එතනදි ඕවට මොකුත් කියන්නවත් ඕව විශ්ව ඉස්සරහ ඇදගන්නවත් ඕනනෑනෙ බං.මං මගෑරල ආවෙ ඒකයි. කෙනෙක්ට ජීවිතේ කවුරුමහරි ඉන්නඕන බං.මං කාත්කවුරුවත් නැති කෙනෙක් කියන හැඟීම පිට කෙනෙක් මගෙ ඔලුවට දැම්මාම මට ඒක දරාගන්න අමාරුයි " පාරමී වතුර වීදුරුව මුවට ගෙන යමින් පැවසුවාය.

"ඕව ඒ උනාට විශ්ව අයියා දැනගන්න ඕන.ඒ එයාගෙ අම්මනෙ.එයාගෙ අම්ම උනත් ඒ කල වැරදිදේ වැරදිම තමා.ඕක එයාට කියන්නම ඕන." දැහැමි පැවසුවේ කෝපයෙනි. මෙතුවක් ජීවිතය පුරා අවාසනාවන්ත අභියෝග සියල්ල දරාඋන් සිය මිතුරිය පිට අයෙක් හමුවේ මෙසේ අසරණ වීම දැහැමිට වේදනාවක් විය.

"උඹට පිස්සුද ...විශ්ව අම්ම එක්ක කොහොමත් අවුලෙන් ඉන්නෙ.ආයෙ එතන ප්‍රශ්න වැඩිකරන්න ඕනනෑනෙ."

පාරමී එකහෙළාම විරුද්ධ වූවාය.විශ්ව යාන්තමින් සිය මානසික වියවුලෙන් ගොඩ ආවා පමණි.ඔහු සිය සිහින ව්‍යාපාරය ගොඩනගා ගෙන අනාගත අරමුණු වෙත යන්නට තැනුවා පමනි.එහෙයින් මෙවන් වැදගැම්මකට නැති කතාබහක් ඔස්සේ ඔහු තවත් අවුල් කලයුතු නැත.

              

"මොකක්ද බං මෙතන වෙන්න ඇත්තෙ.පාරමී කෝල් වලට ඒතරම් රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ"

විශ්ව නිසල් සමගින් පැවසුවේ දැඩි කලකිරීමකිනි.

"මම දැහැමිට කතාකලා. පාරමී චුට්ටක් අවුලෙන් ඉන්නෙ කියල දැන්ම ඒ ගැන අහන්න යන්න එපා කීවා .එයාම කියනකල් ඉන්න කිව්ව."නිසල් පැවසුවේ පෙරදා රැයේ දැහැමි ඇමතූ පසු ඇය පැවසූ දේය.

"විශ්ව අයියගෙ අම්මා පාරමීගෙන් පර්සනල් දේවල්, පවුලෙ විස්තර අහල තියනව.ඒ දේවල් නිසා පාරමී අවුල් වෙල වගෙ ඉන්නෙ.කෝකටත් එයා කියන කල් හාරාවුස්සල අහන්න යන්න එපා කිසිදෙයක් ඔයාවත් විශ්ව අයියවත්.පාරමී ඔහොම උන්නට ස්ට්‍රෝන්ග්. එයා ඕක අමතක කරයි."

දැහැමි පැවසුවාය.

"ඒඋනාට බං පාරමී කතාකරන්නෙ අඩුවෙන්.එයා ඔහොම වෙලා නෑ මීට කලින්."

විශ්ව දෑතේම මුහුණ හොවාගත්තේ වෙහෙසිනි.ඇය සිය ජීවිතයේ විශේෂම අයෙකි.ආදරයද කියා කියන්නට නොතේරෙන මොකක්දෝ බැඳීමක් ඇය ගැන හිතේ පිරී ඇත. දවසකට දෙතුන්වරක් වචන දෙකතුනක් හෝ අමතා විහිලුවක් කොට සැනසුනේ එ හඬිනි.එහෙත් ඇය එක්වරම නිහඬව ගොසිනි.

"මම යනව ඉරිද හවස පාරමී හම්බවෙන්න ගිහින් මේක දැනගන්න ඕනෙ.උඹ එනවද

මා එක්ක යන්න."

විශ්ව ඇසුවේ නිසල්ගෙනි.

"ටිකක් ඉවසපන්කො. කලබල නොවී.උඹට දැන් දැහැමිත් කිව්වනෙ."නිසල් පැවසුවේ විශ්වගේ කලබලය මඩිනු රිසියෙනි.

              

දැහැමි සහ අම්මා පිටත්ව ගියේ ඉරිදා හැන්දෑවේය.පාරමී හුදෙකලාවේ නීරස බව වඩ වඩාත් අත්විඳිමින් උන්නාය.විශ්වගෙන් ආ ඇමතුම් කීපයක්ම ඇය සිතාමතාම මගහැරියේ සිදුවූ කාරණය වසැංගිය යුතු හෙයිනි.

නිලනිවෙසේ ස්ථාවර දුරකතනය නාද වෙනු ඇසී පාරමී මුලුතැන්ගෙහි සිට ආවේ සාදාගත් තේ බඳුනද අතැතිවය.වාට්ටුවක ගැටලුවක් මිස අන් යමකට ස්ථාවර දුරකතනය නාද නොවේ.

"හෙලෝ" පාරමී ඇමතුමට සම්බන්ධ වූවාය.

"මැඩම් විසිටර් කෙනෙක් ඉන්නව හම්බවෙන්න ඇවිල්ල.ක්වාටර්ස් එකට එවන්නද ?"

දුරකතන සහායක ඇසුවේය.පාරමී මඳක් කල්පනා කලේ ඒ කවුරුන් විය හැකිදැයි සිතමිනි.තමා මෙහි සිටින බව දන්නා අය අල්පය.මෙතුවක් කල් කිසිවෙක් තමා හමුවන්නට ආවේද නැත.

දුරකතන සහායකගෙන් ආවේ කවුරුන්දැයි අසන්නට නොහැක. 

"එවන්න .."පාරමී දුරකතනය ආපසු තබා තේ බඳුන නැවත මුලුතැන්ගේ මේසය මත තැබුවාය.නිවසෙ ඉදිරිපස දොර අසලට කවුරුන් හෝ පැමිණ ඇති බව දැනුනි.සීනුව නාදවනතුරු මොහොතක් උන් පාරමී ඉදිරිපස දොර විවෘත කළාය.

පැමිණ උන් අය දුටුවිට පාරමී ගේ දැස් නළලට ගියේය.

එන්න ඇතුලට...පාරමී දොර අසලින් මෑත්වූවාය.

                                                                ***  

පැමිණ සිටියේ විශ්වගේ අම්මාය.පාරමී මේ මොන ගිණි ගෙඩියක්දැයි සිතමින් ඇයට අසුනක් පෙන්වූවාය.

ඔසරියක් හැඳ මුතු දෙපොටක් ගෙල දමා උන් විශ්වගේ අම්මාගේ මුහුණේ තිබුණේම අහංකාර බැල්මකි. පාරමී ඇය දෙස කෙලින්ම බලා උන්නාය.තව දුරටත් තමා පාගා තලන්නට මේ කාන්තාවට ඉඩ නොදෙමියි ඇය සිතාගත්තාය.

" මිසිස් ජයසූරිය මේ වෙලාවේ..මෙහෙට ආවේ මොකුත් උවමනාවකටද ?" පාරමී ඇය ඉදිරිපස අසුනේ හිඳගත්තේ එසේ අසමිනි.මීට දින දෙකකට පමණ පෙර තමා ප්‍රශ්න කරද්දී නිහඬව හිස නවා උන් ඇය අද සෘජුවම ප්‍රශ්න කරද්දී විශ්වගේ මවට යම් තිගැස්මක්ද ඇතිවිය.

"ඔව් මම ආවෙ උවමනාවකට තමයි."ඇය සුපුරුදු අහංකාර බවින් යුතුවම පැවසුවාය.පාරමී නිහඬවම ඇය දෙස බලාඋන්නාය.

"මේ ළමයාගෙයි අපෙ පුතාගෙයි අතර තියන සම්බන්ධෙ මොකක්ද ? අන්න ඒක මට දැනගන්න අවශ්‍යයි"විශ්වගේ මවගේ වදන් වල කිසිදු තෙත් බවක් නම් නොවීය.

"විශ්වගෙයි මගෙයි අතරෙ තියෙන්නෙ යාලුවො දෙන්නෙක්ගෙ සම්බන්ධකම.ඇයි කවුරු හරි වෙනස් දෙයක් මිසිස් ජයසූරියට කිව්වද?" පාරමී ද සිත දිරිය ගෙනම ඇසුවාය.

"ඔව් ඔව් ඔය කවුරු කවුරු ත් පටන්ගන්නෙ යාලුවො හොඳම යාලුවො කියාගෙන තමයි.ඉන් පස්සෙනෙ ඕව දුරදිග යන්නෙ."ඇය නොරිස්සුමෙන් පැවසුවාය.පාරමීගේ ඉවසීමේ සීමාව අවසන් වීගෙන ආවද තවදුරටත් ඉවසිය යුතු හෙයින් ඇය බලාඋන්නේ මේ කාන්තාව පවසන දේ ගැනය.

"අනෙක් අය කරන කියන දේවල් එක්ක මගෙ දේවල් සම්බන්ධ කරන්න එපා මිසිස් ජයසූරිය.මොකක් හරි ප්‍රශ්නයක් තියේ නම් කියන්න කෙලින්ම.""පාරමී පැවසුවාය.

"ඔය ළමයා එක්ක අපේ විශ්වගෙ තියන සම්බන්ධය වගේම මේ ආශ්‍රය නවත්වන්න ඕනෙ.එකක් ...මේ මොන යාලුකමක් නිසා හරි විශ්ව දැන් සෑහෙන්න වෙනස්.අනික මම ශෙරීනාව මිනිහාට යෝජනා කරල හුඟක් කල්.ඒ කටයුත්ත වෙනවාමයි.ඒ නිසා බොරුවට තමන්ගේ කාලය නාස්ති කරගන්න එපා ඔය ළමයා."ඇයගේ ඉවරයක් නැති කියවීම පාරමීගේ දෑස් විසල් කලේය.

"මේක මහ පුදුම කතාවක්නෙ මිසිස් ජයසුරිය. ඔයාගෙ පුතා මගෙ යාළුවෙක් විතරයි කියල මම සිංහලෙන් දැන් කීවනෙ.ඔය ශෙරීනා වුනත් වෙන කෙනෙක් වුනත් විශ්වගෙ ජීවිතට සම්බන්ධ වෙන එකට මාව අදාල කරගන්න එපා."පාරමී පැවසුවාය.

"ඒකෙන් මේකෙන් කමක් නෑ.ළමයො...අම්මෙක් අප්පෙක් සහෝදරයෙක් නැතුව හැදෙන ගෑනු අපේ පවුලට සම්බන්ද කරගන්න කොහොමත් මට ඕනනෑ. ඒ නිසා මං මේ ආවේ හොඳින් කියල යන්න විශ්වගෙන් ඈත්වෙලා ඉන්න තේරුනාද..ආයෙ මට එන්න තියන්න එපා."විශ්වගේ මව අසුනෙන් නැගී උන්නේ දැඩි බැල්මකිනි.

"ඔව් මිසිස් ජයසූරිය ආයෙ මෙහෙ එන්න අවශ්‍යම නෑ.එකක් මතක තියාගන්න...ඔයාගේ ඔය කතා අහන් මම මේ ඉවසීමෙන් ඉන්නෙ මම මිනිස්සුන්ගෙ මනස ගැන හොඳින් ඉගනගෙන ඉන්න නිසා.ඔයා මේ වෙද්දි ඔයාගේ දරුවන්ගෙ ජීවිත විනාශ කරල ඉවරයි.අන්න ඒක මතක තියාගෙන කරුණාකරල මෙතනින් යන්න."පාරමීද අසුනෙන් නැගී උන්නේ ඇයට නොදෙවනි තද හඬකිනි.

"කාත් කවුරුවත් නැති උනාට කටේ තියන හයිය."විශ්වගේ මව එලියට බැස්සේ එසේ කියමිනි.පාරමී ඇයට ඇසෙන්නම වේගයෙන් දොර වසා දැම්මාය.මේ සා කුරිරු මිනිසුන් මේ ලොව සිටිනවා යැයි මෙතුවක් තමන්හට සිතී නැත.අත්දකින්නට වූයේද නැත.එහෙත් මේ අනිසි චෝදනාව තමන්ට දරාගන්නට නොහැකි තරම් ය.පාරමී ආපසු විත් අසුනට වැටුණේ අප්‍රාණිකවමය.වෙලාවට දැහැමි සහ ඇයගේ අම්මා කලින් නික්ම ගිය එකම හොඳය.නැත්නම් මෙතන සිදුවන්නේ නෑදෑකම්ද බිඳෙන තත්වයකි.පාරමී කිසිවක්ම සිතාගන්නට නොහැකිව කල්පනා කරන්නට වූවාය.

                                                                              *** 

රිය පැදවීම නිසල් බාරගත් හෙයින් විශ්ව ඉදිරි අසුනේ කල්පනාවක බරව උන්නේය.නිසල් විටින් විට සිය මිතුරා දෙස බලමින් රිය පැදවුවද විශ්ව උන්නේ බොහෝ තදින් සිය කල්පනාවේ ගිලීයමිනි.පාරමීගේ හැසිරීමේ වෙනස ඔහු සසල කොට ඇත.

"අපි මේ ගමන යන්නම ඕනද බං.?" නිසල් නැවත විශ්වගෙන් ඇසුවේ පාරමී හමුවන්නට ඇයගේ නිලනිවසට යා‍යුතුමයැයි විශ්ව බලකල හෙයිනි.

"ඇයි මොකද බැරි.? එයා මේ මගහරින හේතුව මට දැනගන්න ඕන.අම්මා මොකක් හෝ කිව්ව නම් එයාට තිබ්බ මට කියන්න.එහෙම නැතුව මාව මෙහෙම අයින්කරල එයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?" විශ්ව කෝපයෙන් ඇසීය.

"හරි යමන්කො.දැන් උඹ එනව කියල කිවාද පාරමට?" නිසල් ඇසුවේ වාහනය පදවන අවධානය බිඳනොගනිමින්මය.

"නෑ...කිව්වොත් එයා මගෑරල යයි.නැත්නම් හොස්පිට්ල් එකේ වැඩක් කියයි.මේ ටිකේම කලේ ඕකනෙ.සද්ද නැතුව යං" විශ්ව යෝජනා කලේ එසේ යන්නටය.

විශ්ව දෑස් පියාගෙන කල්පනාවක උන්නද නිසල් මාවත දෙආටම යොමුව ගත් නෙතින් යුතුව රිය පැදවීය.රෝහල් ගේට්ටුව පෙනෙන නොපෙනෙන සීමාවේදී රෝහල් මාවතෙන් විරුද්ධ දෙසට එන රිය දුටුවිට නිසල්ගේ දෑස් මහත් විය.එය විශ්වගේ නිවසේ අනෙක් වාහනයයි.

"අප්පට සිරි මේ මොකක්ද මේ වෙන්න යන්නෙ.විශ්වයගෙ අම්මයි අර උඩැක්කියයි නේද අර වාහනේ යන්නෙ.ඒත් උන් කොහෙද මේ හොස්පිට්ල් එකේ"නිසල් මාවත අයිනට රිය අයින්කොට නැවතුවේය.

"ඇයි මොකද ?"විශ්ව දැස් හරවා වටපිට බැලීය.නිසල් තවමත් පැති කණ්ණාඩියෙන් මාවත පිටුපස බලමිනි.

"මොකද බං හොල්මනක් දැකල වගෙ"විශ්ව ආපස්සට හැරී බලමින් ඇසීය.

"මචං...උඹලගෙ ගෙදර වාහනේ දැන් හොස්පිට්ල් එකෙන් එලියට ආවා.ඒකෙ උන්නෙ අම්මයි ශෙරීනායි."නිසල් විශ්ව දෙස මවිතයෙන් බලා පැවසීය.

"මොකක් මොකක් ....යකො කියන්න එපැයි මට.."විශ්ව කෝපයෙන් ඇසුවේ නිසල් දෙස බලමිනි.

"කිව්වෙ දැක්ක ගමන් .මේ දැන්නෙ පහුවුනෙ.මේ අහපන් මෙතන මොකක් හරි වෙනව.අපිත් දැන් හොස්පිට්ල් යන්න ඕනනැ.."නිසල් පැවසුවේ ස්ථීර හඬිනි.

"ගනින් පාරමීට කෝල් එකක්"විශ්ව පැවසුවෙ මෙ මොහොතේ ඇය තමාට පිලිතුරු නොදෙන බව වටහාගෙනය.

නිසල් කිහිප වරක් පාරමී හට ඇමතුවද එහා පසින් සම්බන්ධ වීමක් නැත.ඔහු යටිතොල නොපිට පෙරලා විශ්ව දෙසබැලීය.

"යමන් එහෙනම් එහෙට.මේක දෙකින් එකක් බේරගන්න "විශ්ව හඬ උස් කොට පැවසීය.

බලපන් දැන් රෑ හතත් වෙලා.මේ වගෙ වෙලාවක ගෑනු කෙනෙක් තනියම ඉන්න තැනකට යන එක හොඳද කියහං විශ්ව පිස්සු නටන්නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්කො.

නිසල් පැවසිවේ විශ්වගේ උරහිසට අතතබමිනි.

මං දන්නෑ බං මට ආයෙ පරණ තැනටම වැටෙන්න වෙයි මෙහෙම ගියොත් .ඇයි බං මේ මනුස්සයටවත් මේක තේරෙන්නැත්තෙ.විශ්ව පැවසුවේ වේදනාවෙනි.

එවිටම නිසල්ගේ ජංගමය නාදවූයේය.ඇමතුම පාරමී ගෙනි.ඔහු විශ්වට නිහඬවන ලෙස ඉඟියෙන් පවසා ඇමතුමට සම්බන්ධ වූයේ ස්පීකරයද දමාය.

නිසල් මට කතාකලාද.සොරි මම බාත් රූම් එකේ උන්නෙ.පාරමී ගේ හඬ වෙනස් ය.

ආ ඔව් ඩොක්ටර් මම ගත්තා. නිසල් පැවසුවේය.ඩොක්ටර් මොකුත් අවුලක් නෑනේද යලි ඔහු ඇසුවේ විශ්ව දෙස බලමිනි.

නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ නිසල් ඇයි..පාරමී අසුවාය.

නෑ..මම මේ හොස්පිට්ල් එක ගාවින් පොඩි ගමනක් යනගමන් ඩොක්ටර්.එතකොට මම දැක්ක විශ්වලගෙ ගෙදර වාහනේ හොස්පිට්ල් ගේට් එකෙන් එලියට දානව.පහුගිය දවස් වල ප්‍රශ්නයකුත් උන නිසා මට කෝල් කරල බලන්න හිතුණා.නිසල් පැවසුවේය.

හ්ම්ම්....ප්‍රශ්නයක් නම් තමයි නිසල්.ඒත් මට ඒක විසඳගන්න පුළුවන් .ඒක ගනාන්ගන්න එපා.පාරමී ගේ හඬ වෙවුලා යමින් තිබුණි.විශ්ව වේදනාවෙන් නිසල් දෙස බැලුවේය.නිසල් ඔහුට සන්සුන් වන ලෙස ඉඟිකොට නැවත කතාකලේය.

ඩොක්ටර් පොඩ්ඩක් මේ ප්‍රශ්නෙ විශ්ව එක්ක කතකලොත් මොකද.මිනිහත් මේ මොකුත් හරියට නොදැන අවුලෙන්නෙ ඉන්නෙ.නිසල් ඇසුවේය.

"ඔව් මම විශ්ව ට කතාකරන්නම් හෙට විතර.එහෙනම් මම තියන්නම් නිසල්.බායි."පාරමී ගේ ඇමතුම විසන්ධිවිය.

"ඉවසල හිටපන්.දැන් කිව්වනෙ කෝල් කරනව කියල.යමං දැන් ගෙදර "නිසල් රිය හරවා ගත්තේ එසේ කියමිනි.

                                                                    *** 

ඇයි ඔයා ඔහොම කරේ පාරෝ.

විශ්ව ඇසුවේ ඉමහත් වේදනාවකිනි. පාරමී කිසිවක් නොකියා සුපුරුදු ලෙසින් ඈත වැව් තලය දෙස බලා උන්නාය. කතාකරගත් ආකාරයටම පසුදා හවස පාරමී විශ්වට ඇමතුවේ හමුවීමට අවැසි බව පවසමිනි.

පුරුදු ලෙසින්ම ඔවුන් දෙදෙනා බොහෝ විට හමුවූ වැව අසල කුඹුක් ගස් යායේ ලී කොට බංකුවක හිඳගත් පාරමි බොහෝ වේලාවක් නිහඬව උන්නේ විශ්වට ඇති තරම් කියවන්නට ඉඩදීය .

පැමිණි මොහොතේ සිටම එකදිගට චෝදනා කරමින් පාරමී හට දොස් නැගූ විශ්ව ගේ සිතේ ඇති නොරිස්සුම සහ කේන්තිය අහවර වී යන තුරුම පාරමී නිහඬ ව බලා උන්නාය.

"ඇයි කතා කරන්නේ නැත්තේ"

පාරමීගේ දිගු නිහැඩියාව අවසන් නොවන බව දුටු විශ්ව ආපසු හැරී පැමිණ ඇයට මුහුණලා ඉඳගත්තේය .

"ඔයා කතා කරලා ඉවර වෙනකම් උන්නේ"

පාරමී හිනැහෙන්නට උත්සාහ දරමින් පැවසුවා ය .

"තව ලැජ්ජ නැතුව හිනාත් වෙනවා නේ "

විශ්ව ඇය වෙතට දැඩි රැවුමක් පා කර හරිමින් පැවසුවේය.

"මිනිස්සු අඬන්න ඕන තැන් වලදිත් හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්නෙ විශ්ව .හොඳයි දැන් ඔයා කතා කරලා ඉවර නම් මට කතා කරන්න දෙනවද ?"

පාරමී පැවසුවේ සුසුමක් හෙළමිනි .

"කතා කරන්න එපා කියලා කවුද කිව්වේ මම මේ සිද්ධිය වෙච්ච පළවෙනි දවසේ ඉඳලම ඔයාට කතා කරන්න නේද හැදුවේ? .ඔයානේ ඒ පාර මාව මග ඇරලා හිටියේ .මට ඇත්තටම ඒකටයි හේතුව දැනගන්න ඕනේ."

විශ්ව කුඹුක් ලීයෙන් සෑදූ කුඩා මේසය මතින් අත දිගු කොට පාරමීගේ අතක් අල්ලා ගත්තේය .වෙනදා ඕනෑ තරම් කතාබහේ යෙදෙන විට ඇයගේ අතකින් අල්ලා ගැනීම පාරමීට වත් විශ්ව ටත් අමුතු දෙයක් නොවුණ ද මේ මොහොතේ පාරමී සෙමින් ඇයගේ අත ඔහුගෙන් මුදා ගත්තාය. විශ්ව ඒ දෙස බලා වුණේ දැඩි කුකුසකිනි.

"ඔය දැන් කරපු දෙයින්ම ඔයා කොච්චර වෙනස් වෙලාද කියන එක මට තේරෙනවා . හරි කමක් නැහැ නැහැ කියන්නකො මොකද උනේ කියලා මුල ඉඳලම"

විශ්ව සිය දෑතම ලය හරහා බැඳ ගනිමින් පිටුපසට වූයේය 

පාරමී එකිනෙක සිදු සිදු වූ සිද්ධීන් එතකොට විස්තර කරමින් උන්නාය .කෙතරම් පාලනය කරගන්නට උත්සහ ගත්තද අම්මා සහ ශෙරීනාගේ හැසිරීම් රටා කෙතරම් අවුල් සහගත ද යන බව විශ්වට වැටහෙත්ම ඔහුගේ සිතෙහි යටපත් වී තිබූ කේන්තිය යළි යළිත් ඉස්මතු විය 

"ගහන්න ගහන්න වඳින එකා මෝඩයා කියලා දන්නේ නැද්ද ? තමන්ට ඔච්චර අපහාස කරන කල් කටවහන් අහන් හිටියා නේද? මගේ අම්මා උනාට කමක් නැහැ ඒ වෙලාවෙ ඵයාට අඩු තරමේ කට වැහෙන්න දෙකක් ඔයාට කියන්න තිබුණා .එහෙම නැත්තං ඒ වෙලාවේ මට කතා කරන්න තිබුණා .ඔයා මොනවද කළේ පාරෝ. අන්තිමේ ඔයා කරපු එකම දේ ඒ කියන ඕනම දෙයක් සද්ද නැතුව අහන් ඉදලා අන්තිමේ මටත් නොකිය එතනින් හැංගිලා ආව එකයි .ඒක හරිද ?.ඒකෙන් ඔක්කොම ප්‍රශ්නෙ විසඳුනා ද? " 

විශ්ව ඇසුවේ පාරමී දෙස සෘජුවම බලමිනි 

"මගේ අම්මා කවදාවත් මට වැඩිහිටි කෙනෙක් එක්ක ඒ තාලෙන් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ විශ්ව .පලවෙනි දවසේ මං එහෙම සද්ද නැතුව ඉවසීමෙන් හිටපු එක ඔයාගේ අම්මා බාරගත්තෙ මගේ නිවටකමක් විදියටයි . අන්න ඒ නිසයි එයා දෙවැනි දවසේ මගේ තැනටම ඇවිල්ලා මට දිගින් දිගටම අපහාසයි තර්ජනයි කරන්න පටන් ගත්තේ .මම ඒ වෙලාවෙත් ඉවසුවා .නමුත් දිගින් දිගටම ඔයාගේ අම්මා සීමාව ඉක්මවා යන්න පටන් ගත්තු නිසා මට කෙලින් කතා කරන්න සිද්ධ වුණා."

පාරමී පැවසුවේ සිය දෑත් තම හිසට තෙරපා ගනිමිනි .

"ඒ මගේ අම්මා බව ඇත්ත . නමුත් මම ඔයාට මගේ අම්මා ගැන කියලා තියෙනවා .අම්මාගේ ඔය නපුරු ගති කවදාවත් වෙනස් කරන්න බැහැ .ඔයා ඒ වෙලාවෙ අපේ අම්මට ඒ විදිහට කතා කල එක හරි .මට අම්මා වෙනුවෙන් ඔයා ගෙන් සමාව ඉල්ලන්න ඕනේ." 

විශ්ව පාරමීගේ සුරතින් යළි අල්ලා ගත්තේය.

"ඔයා සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ විශ්ව . එතන සිද්දවුන සිද්ධියේ මට බලපාන්නේ එකම එක කොටසක් විතරයි . මම මෙච්චර කල් හිතාගෙන උන්නා මට තනිවම ජීවත් වෙන්න පුළුවන් කියන එක .ඒත් ඔයාගේ අම්මා දිගින් දිගටම අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් නැති අසරණයෙක් ගානට මට දිගින් දිගටම චෝදනා කරන කොට මට තේරුණා ඇත්තෙන්ම මම කොච්චර අසරණයි ද කියලා .

මේ ෂොක් එක ඇරෙන්න මට ඔතන කිව්ව කිසිම දෙයක් අදාල නැහැ විශ්ව" 

පාරමී පැවසුවේ සිනහ වෙන්නට උත්සහ දරමිනි.

කෙනෙක් කෙතරම් හුදෙකලාව යනු සුන්දර අත්දැකීමක් ලෙස ප්‍රකාශ කළද සමාජීය ජීවීන් ලෙස ඕනෑම වෙලාවක මිනිසුන් තව අය අතරේ ගැවසීමට කැමැත්තක් දක්වති .පවුල යන සංකල්පයේ සුන්දරව ජීවිතය ගත කළ පාරමී වැන්නියකට හුදෙකලාව යනු ඉතාම කටුක අත්දැකීමක් බවට පත්වෙමින් තිබේ. 

විදෙස්ගතව කෙතරම් කාලයක් හුදකලාවේ ගත කළ ද ඒ කාලයේදී ලෝකයේ කොහේ හෝ තැනක අම්මා සිටි යන හැඟීමම පාරමී අසරණ කලේ නැත .අම්මා යනු පාරමීගේ ජීවිතයට තිබූ ලොකුම හයියයි . ඇත්තෙන්ම සහෝදරයකු හෝ සහෝදරියක උන්නානම් තමා අද මේ සා අසරණ නොවන්නට ඉඩ තිබිණි .

************************************************************************************** 
යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

Wednesday, April 12, 2023

23 කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

23 කොටස 

22 කොටසට මෙතනින් 22




විඩාවද රැගෙන ආපසු නිවසට එන විශ්ව ආලින්දයෙන් ගෙතුළට පැමිණියේ ගීතයක් උරුවම් බාමිනි. ඇත්තෙන්ම හිතේ ඇත්තේ සතුටකි.උතුරායන සතුටකි.ඉතින් ජීවිතය කඩා වැටුණ තැනින් පටන් ගෙනය.එහෙත් ඒ සතුට කඩාවැටෙන්නට එතරම්ම වේලාවක් නොගියේ සුපුරුදු ලෙසින්මය.

"ආ....රෑ දොළහට කලින් වත් ඉලන්දාරියා ගෙට ආව එක ලොකු දෙයක්."

අම්මා සාලයේ අසුනක හිඳ කියවන්නට පටන් ගත්තාය.

"මේ වෙලාවට ආව එකත් මදැයි .වැඩ ආයෙ හෙටට තියන්නද ?"

විශ්ව පැවසුවේ අම්මාගේ ස්වරය ගණන් නොගනිමිනි.

"මං හෙට අතුකෝරල ෆැමිලි එකට එන්න කීවා ඕපනින් එකට."

අම්මාගේ හඬට විශ්වගේ යටපත්ව ගිය කේන්තිය ඇවිස්සුණි.

"අර මොන එහෙකටද අම්මා.ඒ අය අපෙ කවුද ? මම කැමති නෑ." 

විශ්ව පැවසුවේ මැඩගත් කෝපයෙනි.

"දැනට අපේ කවුරුවත් නොවුනට අනාගතයෙදි ඒ අය අපිට සම්බන්ධ වෙනව.අන්න ඒ නිසා මම එයාලට ඉන්වයිට් කලෙ.එච්චරයි"

අම්මා නැගිටගියේ විශ්වගේ කෝපය ගනනකට නොගනිමිනි.

ඉවස දරාගන්නට බැරිතරම් කෝපයක් හදතුල නැගී ආවද හෙට දවස සතුටින් උදාවිය යුතු හෙයින් විශ්ව කෝපය මැඩගෙනම සිය කාමරයට වැදුණේය.

                                                                        *** 

විශ්ව උදෑසන හතවනවිට සිය ආයතනයට පැමිණියේ අත්දිග සුදු පැහැ කමිසයක් සහ කලු කලිසමකින් සැරසී තද නිලෙන් කලුපැහැය මිශ්‍රව ගිය ටයිපටයක්ද පැළඳගෙනය.කාලයකට පසු සිය කඩවසම් මිතුරා සුපුරුදු පෞරුෂය සහිතව සිටිනු දැක නිසල්ට ඇතිවූයේ අපමණ සතුටකි.

"අඩේ..නිකම් අභිශේක් බච්චන් ආව වගෙනෙ."

නිසල් ඔහුගේ උරහිසට පහරක් ගසමින් කීවේය.

"අපි එහෙම තමා මස්සිනා.කැපී පෙනෙන කොල්ලො."

විශ්ව හිනැහුණේ මාවත දෙස බලමිනි.

"මොකෝ තාම උඹේ අයිශ්වර්‍යා නැද්ද..බෙල්ලෙ පොටයයි යකෝ."

නිසල් සිය මිතුරාට සරදම් කලේය.

"එනව කීවා අටට කලින්.ගෑනුනෙ බං.හැඩවෙන්න ඉතින් කල් යනව ඇතිනෙ."

විශ්ව යළිත් මාවත දෙස බැලීය.

පාරමී ගේ රිය රථ අංගනයට ඇතුල් වූයේ විශ්ව දොර අසල හිඳිනාවිටය.ඔහු දැස් දල්වා බලාඋන්නේ ඇය රියෙන් පිටතට එනතුරුය.

දැහැමි එක් පසෙකින්ද ඇයහේ මව පසුපස අසුනෙන්ද වාහනයෙන් බැසගත් හ.

ඉනුදු මොහොතකට පසු පාරමී රියදුරු අසුනෙන් බැස ආවාය.විශ්ව ඇය දෙස බලාඋන්නේ සිනාපිරි වතෙනි.

"අඩෝ විහිලුවට කිව්වට මේකි අයිශ්වර්‍යා වගේමනෙ.සුපර් ඈ.."

නිසල් විශ්වගේ කණට කෙඳිරීය.

පාරමී රෝස පැහැය මුසුව ගත් සුදු පැහැ සාරියෙන් සැරසී උන්නාය.එයටම ගැලපෙන රිදී ආභරණ කට්ටලයක් ඇයගේ දෙකණ සහ ගෙල සරසා තිබුණි.අත් ඔරලෝසුව සහ සිහින් අත් පලඳනාව එයටම ගැලපෙන ඒවාය.ඇත්තෙන්ම ඇය අතිසුන්දර ලඳකි.

"උඹ ඔහොම පාරමී දිහා ඇස් ගෙඩි එලියට දාන් බලන් ඉද්දි ආන්න බලපන් උඹ දිහා කැරකෙන ඇස්...."නිසල් විශ්වගේ කණට කෙඳිරුවේ ඇස් කොණින් අතුකෝරල පවුලේ දියණිය ශෙරීනා පෙන්වමිනි.ඇඟට තදවන සේ කෙටි කලු පැහැ ගවුමකින් සැරසුණ ඇය ඇත්තෙන්ම විකාරයක් සේ නිසල්ද වටහාගත්තේය.

"අම්මපා බං අපේ කුඹුරු වල අස්වැන්න නෙලුවට පස්සෙ තියන පිදුරු මිටියක් වගෙනෙ ඒ කෙල්ලගෙ කොණ්ඩෙ.."

කුටුකුටු ගාමින් පවසන නිසල්ගේ වදන් වලට විශ්ව සිනහව මැඩ ගත්තේ අසීරුවෙනි.

"ඇති යන්තම් ආවා "විශ්ව තමා අසලට ආ පාරමීට පැවසුවේ සිහින් රැවුමක්ද සමගිනි.

"මම හිතුවා එද්දි නැකැත්වෙලාව පහුවෙලා තියෙයි කියල."

"අපි පරක්කු නෑනෙ විශ්ව"

පාරමී අත බැඳි ඔරලෝසුව බලමින් පැවසුවාය.

"යං යං දැන් වෙලාවත් හරි"

විශ්ව පාරමීට ඉදිරියට යනසේ අත දිගුකලේය.

"ඔයාල ඉස්සර වෙන්න ..අපි පස්සෙන් එන්නම්."

පාරමී දැහැමි සහ ඇයගේ අම්මා සමග එක පෙලට වැටෙමින් පැවසුවාය.

විශ්ව යළිත් රැවුමකින් ඇය දෙස බලා 

"චීෆ් ගෙස්ට් පස්සෙන් එන රටක් නෑ .එනව යන්න."කීවේය.

පාරමී දැහැමි දෙස ඇස් ලොකු කරගනිමින් බැලුවාය.දහැමි දෙවුර හකුලුවාලූයේ ඇයද මේ කිසිවක් නොදන්නා හෙයිනි.

"වි..විශ්ව...පිස්සුද ඔයාට."

පාරමී සෙමින් ඇසුවේ පසුබාමිනි.මේ ප්‍රශ්න ගොඩක පෙරලකුනු බව ඇයට පෙනී යයි.

"කට වහන් එන්න පාරෝ...you are my chief guest. Come now."

විශ්වගේ හඬ ඉතා තීව්‍ර ස්ථීර එකක් විය.

ප්‍රධාන ද්වාරයේ පීත්ත පටිය අසලට පැමිණි පාරමී යළි යළිත් විශ්ව දෙස බැලුවේ මෙය කලයුතුමදැයි අසන්නාක් මෙනි.එහෙත් විශ්වගේ බැල්ම ස්ථිරසාරය.පාරමී මොහොතක් අවට බැලුවාය.විශ්වගේ මව යැයි ඇයට මතකයේ යාන්තමට ඇති කාන්තාව දැඩි බැල්මකින් ඇය දෙස බලා ඉඳී.ඇය අසලම කලු පැහැ කෙටි ගවුමකින් ඇරසී ඉන්නා යුවතියද පාරමී දවාහලු කරන බැල්මකින් බලා ඉඳී.පාරමී දැහැමි දෙස මොහොතක් බැලුවාය.

"දැන් කරන්න වෙන දෙයක් නෑ බං.මුන් අපිට ඕක කලින් කියන්න එපාද අප්පා...කමක් නෑ දැන් ඕක කරපන්."

පාරමී ට ලංවූ දැහැමි පැවසුවේ විශ්වගේ මව දෙසවත් නොබලමිනි.

පාරමී සුබ මොහොතින් පීත්ත පටය කපා ආයතනය විවෘත කලේ සියල්ලන්ගේම අත්පොලසන් හඬ මැදය.

ඉන් පසු පොල්තෙල් පහන දල්වන්නට විශ්ව මුලින්ම ඇරයුම් කලේ අම්මාටය.ඇය දැඩි අහංකාර බැල්මකින් යුතුව පොල්තෙල් පහන දල්වා ඉටිපන්දම විශ්ව අතට නොදී ශෙරීනා අත තැබුවාය.ඇයද පහන් වැටියක් දල්වා විශ්ව අතට ඉටිපන්දම දෙමින් ඔහුව වැළඳ ගත්තාය.

My congratulations honey. විශ්ව එවදනට කුපිත වුවද මේ මොහොතේ කරන්නටම දෙයක් නොමැති හෙයින් ඉවසා උන්නේය.අම්මාට උවමනා වූයේ මේ සභාව ඉදිරියේ ශෙරීනා තමන්ට ලං කිරීමට බව ඔහු දැන උන්නේය.

පැමිණ සිටි අමුත්තන්හට තේ පානය සඳහා ඇරයුම ලදහෙයින් සියල්ලන්ම ඒ ස්ථානයට ගියහ.

පාරමී ඉඳගෙන ඉන්නා අසුනට යාබදව විශ්වගේ අම්මා හිතාමතාම පැමිණියේ ඇයව කතාවට අල්ලාගන්නටය .

"මේ ළමයා කවුද ..අපෙ පුතාගෙ යාලුවෙක්ද ?"

විශ්ව ගේ අම්මාට තමා පිළිබඳ මතකයක් නැති බව පාරමීට වැටහුණි.

"ආ ඔව් ඇන්ටි...මම විශ්ගෙ යාළුවෙක්..මම පාරමී රත්මල්ගොඩ."තමා හඳුන්වාදෙමින් පාරමී පැවසුවාය.

"මම විශ්ව ගෙ යාලුවො නොදන්න කෙනෙක් නැ...හැබැයි ඔයා ගැන නම් මම දන්නෙනෑ.."

විශ්වගේ මවගේ නොපහන් හඬ පාරමී අපහසුතාවයට පත්කලාය.

"ශෙරීනා....දුව එන්නකො..ආ..මේ තමයි ශෙරීනා.විශ්ව මැරිකරන්න ඉන්නෙ මේ දුව.දුව මේ විශ්වගෙ යාළුවෙක්.පාරමී."

විශ්වගේ අම්මා ශෙරීනාව පාරමී ට හඳුන්වා දුන්නද ශෙරීනාගෙන් ලැබුණෙද එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. විශ්ව ගේ මව පැවසූ කාරණය පාරමී යම්පමණකට තිගැස්වුවද ඇය නිහඬව උන්නාය.

විශ්ව අම්මා දිගින් දිගට ගෙන එනවා කියූ විවාහ යෝජනාව මෙය විය යුතුය.

"එතකොට ඔය ළමයා එක්ක අපේ හොරණ නංගිලා ආවේ කොහොමද?" ප්‍රශ්න ඇසීමේ වටය දිගින් දිගටම ඇදී යයි.පාරමී වටපිට බැලුවේ දැහැමි හෝ අම්මා එතනට පෙනෙයිදැයි බලන්නටය.එහෙත් ඔවුන්ද පෙනෙන්නට නැත.

"අපේ අම්මලාත් හොරණනෙ ඇන්ටි.මායි දැහැමි යි පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාලුවො."

පාරමී නිහඬ සිනහවකින් පැවසුවාය.

"ආ එහෙමද එතකොට කවුද ඔය ළමයගෙ දෙමවුපියො?" මේ ප්‍රශ්න ඇසිල්ල නිමාවෙන පාටක් නැත.පාරමී සිය පියා සහ මව ගැන පවසා ඔවුන් ජීවතුන් අතර නැති බවද පැවසුවාය.එන්න එන්නම විශ්වගේ මවගේ මුහුණේ ඇත්තේ නොපහන් බැල්මකි.පාරමී හට මෙතැනින් මිදී යාමට අවශ්‍යව ඇත.එහෙත් ඊට කිසිදු අවස්ථාවක් නොමැත.

"ඔය ළමයාට එතකොට සහෝදර සහෝදරියොත් කිසි කෙනෙක් නැද්ද...එතකොට ඉන්නෙ තනියමද?" පාරමීට හිසරදයක් වන තරමටම මේ ප්‍රශ්න ඇසීම දිග්ගැස්සෙමින් පවතී.අහම්බයෙන් නිසල් මේ කතාබහත් පාරමී ගේ මුහුණේ ඇති වෙනසත් දුටුවේ එතැනින් යන අතරේය.

"මැඩම් ,තේ බිව්වද ?"නිසල් ඇය වෙත පැමිණ සිතාමතාම ඇමතුම වෙනස්කලේ එබැවිනි.පාරමී ඔහු වෙත හෙලූ බැල්ම ඇය මෙතනින් ගලවා ගන්නයැයි කියන්නාක් මෙනි.

"ඔව් නිසල්..මම දැන් යන්න ඕනෙ.විශ්ව වැඩකද ?" පාරමී ඇසුවාය.

" ඔය ළමයාට ඉතින් යන්න ඕනෙනම් ආයෙ පුතාව හොයන්න ඕනනෑ... ඔය නිසල් ළමයාට කියලා ගියාම ඇති.මේ වෙලාවේ ඉතින් පුතාට වැඩනෙ.නේද දුව "විශ්වගේ අම්මා ඒ කතාව මැදට ද පැන්නාය.

"ඇන්ටි , මේ මැඩම් ආවේ චීෆ් ගෙස්ට් විදියට විශ්ව ඉන්වයිට් කරලනෙ.ඉතින් යුතුකමක් විදියටනෙ මැඩම් හොයන්න ඇත්තෙ.යං මැඩම් අපි යමු..විශ්ව ඉන්නව ක්ලයන්ට්ස්ල වගයක් එක්ක කතාකර කර ඔෆිස් එකේ."නිසල් නොපහන් ස්වරයෙන් පැවසීය.විශ්වගේ අම්මා මෙන්ම ශෙරීනාද හිස් ගස්සා ඉවතට හැරුණහ.

පාරමී රිදුම් දෙන්නට පටන් ගන්නා හිස අතින් තදකරගමින් නැගී උන්නාය.

"Any problem ඩොක්ටර් ?" නිසල් ඇසුවේ ඇයගේ වෙනස දැකය.ඇය හිස දෙපසට වනා ඔහු සමග ඇවිද ආවාය.

අතරමගදී නිසල් නැවතූ ඇය..

"නිසල් ..මම හොස්පිට්ල් යනවා මෙහෙම්ම.ප්ලීස් දැහැමිලව ට්‍රාන්ස්පෝට් එකක් සෙට් කරල කැබ් එකකින් අපෙ ක්වාටර්ස් එකට එවන්න.මේ වෙලාවෙ විශ්වට කරදර කරන්න එපා.මම එයාට හවස කෝල් කරන්නම්.මෙතන මොකුත් එයාට කියන්නත් එපා.මම අර්ජන්ට් කෝල් එකක් නිසා ආපහු ගියා කියන්න."පාරමි නිසල්ගෙන් සමුගත්තේ එසේ කියමිනි.

තමා එන්නට පෙර අනවශ්‍ය සංවාදයක් අනිවාර්‍යයෙන් එතැන සිදුව ඇති බව නිසල් වටහා ගත්තේය.එහෙත් දැන් විශ්ව ඉන්නා ව්‍යාපාරික හමුව ඔහුට වැදගත් හෙයින් ඔහු පාරමීට සමුදුන්නේය.

                                                                        *** 

පැමිණ සිටි ව්‍යාපාරික හිතවතුන් සමුගෙන යන්නට ගතවූ කාලය සිතුවාටත් වඩා වැඩිවූ අතර විශ්ව අතිශය කාර්යබහුල වූයේය.ඔවුන් සමුගෙන ගිය පසු විශ්ව නිසල් සොයා කාර්‍යාල කාමරයෙන් පිටට ආවේද එසැනින් අම්මා ශෙරිනා සමග ඔහු වෙතට ආවේද එක්සැනිනි.

"පුතා ඔයාගේ මේ ඔෆිස් එකේ හෙල්ප් එකට ශෙරීනා දුවවත් ගන්න.එයා මේ දවස්වල නිකම්ම ගෙදර ඉන්නෙ."අම්මාගේ ප්‍රකාශය විශ්වගේ ඉවසීම සීමාව ඉක්මවා යන්නක් විය.

"මම ස්ටාෆ් අරන් ඉවරයි අම්මා.ආයෙ මේකෙ ශෙරීනාට දෙන්න පෝස්ට් එකක් නෑ."විශ්ව එතැනින් මගහැරයන්නට උත්සාහ දරමින් කීවේය.

"අයියෝ මට පෝස්ට් ඕන්නෑ විශ්ව..මම ඔයාට හෙල්ප් කරන්න එන්නම්...අයි මීන් ඔයාගේ පර්සනල් සෙකට්‍රි විදියට මට ඉන්න පුලුවන් නෙ."ශෙරීනා විශ්වට ආසන්න වෙමින් පැවසීය

"මගේ සෙකට්‍රි නිසල්.ආයෙ මට වෙන සෙකට්‍රි ලා ඕනනෑ ශෙරීනා.thank you for your help.but this time no need any help."

විශ්ව එතැනින් නික්ම ගියේ එසේ පවසමිනි.

"දුව ඕවා ගණන් ගන්න එපා.එයා එහෙම කීවට මේවා දුව හොයල බලන්න ඕනෙ.මොකද ඔයා ඉස්සරහට එයාගෙ වයිෆ් වෙනවනම් මේව හොයන බලන එක ඔයාටත් අයිතියි." විශ්වගේ මවගේ ඒ ප්‍රකාශයට ශෙරීනා සිනහවක් පෑවද ඇයගේ සිත තුල වූයේ දැඩි ද්වේශයකි. එහෙත් එය නොපෙන්වා ඉන්නට තරම් ඇය කපටි සහගත වූවාය.

"විශ්ව මේ ටිකෙ බිසිනෙ ආන්ටි.ඒකයි ඔහොම වෙන්න ඇත්තෙ.මම එයාට හෙල්ප් කරන්නම්.ආන්ටි බය වෙන්න එපා."ශෙරීනාගේ වදන් වලින් විශ්වගේ මව සතුටින් පිනාගියාය.

"මට චීෆ් ගෙස්ට් ආව ගැනුකෙනා නම් ඇල්ලුවෙම නෑ දුව.ටිකක් ඔයා විශ්වට ක්ලෝස් වෙන්න ඕන ඔයිට වඩා.පිරිමි නම්ම ගන්න ඔයාට පුලුවන් වෙන්න ඕන.ඔය එක එක ගෑනු අය ළංවෙන්නෙ එහෙම නොවුනම."

අම්මා කෙනෙක් කිව නොයුතු අන්දමේ ප්‍රකාශයන් විශ්වගේ මව වෙතින් නික්මෙන විට ශෙරීනා උද්දාමයට පත්වූවාය.

"මටත් ඒ ගෑනි ඇල්ලුවෙම නෑ ආන්ටි.බොරු ඩිසිප්ලින් පෙන්නගෙන උන්නට මට නම් සැකයි ඒ කෙනා ගැන."

ශෙරීනා විශ්වගේ මවගේ සිතතුල වූ නොමනාප හැඟීමට තව තවත් පෝර දැමුවාය.

"දුව ඉන්නකො මම ඒ කවුද කියල හොයල බලන්නම්කො.විශ්වට ඕන ඕන හැටියට මා එක්ක නටන්න බෑ දුව."විශ්වගේ මව පැවසුවේ ශෙරීනාගෙ සිත උද්දාමයට පත්කරමිනි.

                                                                      *** 

"මචං කෝ පාරමී?"

නිසල් වෙත පැමිණෙන අතරේ විශ්ව ඇසුවේ අවට සිසාරා බලමිනි. නිසල් කතාබහක යෙදී උන් මිතුරා පිටත් කර යවා විශ්ව වෙත හැරුණේය.

"හදීසි කෝල් එකක් හොස්පිට්ල් එකෙන් ආව කියල යනව කියන්න කීවා.උඹ ක්ලයන්ට්ස්ල එක්ක මීටින් නිසා ඩිස්ටර්බ් කරන්න එපා කීව."

නිසල් විශ්වගේ ඇස් මගහැර පාරමී කියු දේ පැවසීය.

"මොකක් මොකක් ආයෙ කියපන් බලන්න."

විශ්ව නිසල්ගේ මුහුණ ඉදිරියට ආවේ නිසල් යමක් සඟවන බව වැටහුණ හෙයිනි.

"මම දන්නෑ බං.උඹලගෙ අම්මයි අර තොරොම්බල් කරත්තෙයි පාරමීගෙ දෙපැත්තෙ වාඩිවෙලා තරඟෙට වගෙ ප්‍රශ්න අහනව දැක්කා.මම එතනට ගිහින් එයාව එතනින් ගත්තා.මට මොකුත් කීවෙ නෑ .ඔන්න ඔය ටික උඹට කියන්න කීවා."

නිසල් පැවසුවේ විශ්ව දෙස බලමිනි.සිය මිතුරා දැනටමත් ඉන්නේ තරහෙන් පිපිරෙමින් බව නිසල්ට දැටහුණි.

"උඹ මොකෝ මේ ආයෙ යකා ආරූඪ වෙලා වගෙ."

නිසල් ඒ පිටම ඇසුවේය.

"යකා වැහෙන්නැද්ද බං අපෙ අම්මා ගෙ වැඩ වලට.ආන් අර බඩ්ඩව ගන්නලු මේකෙ වැඩට.ඒකි කියනව පර්සනල් සෙකට්‍රි වෙන්නම්ලු.මම කුණුහරුප දෙකක් නොකියා ආවෙ අමාරුවෙන්."

විශ්ව හිසකේ අතරට ඇඟිලි යවා අදිමින් පැවසීය.

"හරි හරි කූල් වෙයන් පොඩ්ඩක්.මෙතන වැඩ ඉවරයක් වෙනකල් පිස්සු නටන්නෙ නැතුව හිටපන්කො ."

නිසල් සිය මිතුරා අස්වසමින් පැවසීය.

"ශුවර් එකට අම්මයි අරකියි පාරොට මොනව හරි කියන්න ඇති බං.ඒත් මේ මනුස්සය ඇයි මට නොකියම ගියෙ."

විශ්ව කල්පනාවෙන් බරවිය.

"කෝ දැහැමි නංගිල?"

එකවරම විශ්ව ඇසුවේ යමක් සිහිවූවාක් මෙනි.

"අර කවුද කට්ටියක් එක්ක උන්නා.පාරමී යනකොට කියල ගියෙ එයාලව කැබ් එකකින් හොස්පිට්ල් ක්වාටර්ස් එකට එවන්න කියල.අඩුගානෙ දැහැමි ලට වත් කියල නෙවෙයි ගියෙ.හරිම කලබලේකින් උන්නෙ. "

නිසල් පැවසීය.විශ්ව නිසල් සමගින් දැහැමි උන් දෙසට යනවිට ඇය , අම්මා සමගින් කතාවක යෙදී උන්නාය.

"යකෝ තමුන් එක්ක ආව යාලුවා යනකල් උඹ දන්නැද්ද නංගි.පාරමී ගිහින්."

විශ්ව දැහැමි පසෙකට කැඳවා පැවසුවේ අම්මා වරදවා සිතයියැයි සිතාය.

"ම්..මොකක්..මොකක්...ඇයි එයා ඔයාගෙ අම්මා එක්ක කදේක වැටිල උනෙ.අපි ඉතින් ඔය අස්සට ගියෙ නෑ...ඩිස්ටර්බ් කරන එක හොඳ නැනෙ."

දැහැමි පැවසුවේ විශ්ව දෙස සිනහවද ගිලගනිමිනි.

"කොච්චර ලස්සනට කතාව ගිහින්ද කියල හිතාගන්න පුළුවන් ....උන්දැ නොකියම මාරුවෙච්ච එකෙන්.මට අපෙ අම්මා තඹ සතේකට ශුවර් නෑ."

විශ්ව ජංගමය අතට ගෙන පාරමීට ඇමතුමක් ගන්නට උත්සාහ කලේය.එහෙත් ජංගමය ක්‍රියා විරහිත කොට ඇත.එකත් එකටම ඇය අවුලෙන් විය යුතුය.

"ෆෝන් එකත් ඕෆ්.නංගි ඔයා අම්මා එක්ක දැන් යන්න.අර මනුස්සයාට මොකක් වෙලාද බලන්න.මම ඔතනට කඩන් බිඳන් යන එක හරිනෑනෙ.මම වෙහිකල් එක එක්ක නිසලයා එවන්නම්.ගිහින් බලල මට කෝල් එකක් දෙන්න...නැත්නම් නිසල් අත කියල එවන්න."විශ්ව කල්පනාවෙන් යුතුව පැවසුවේය.

නිසල් අමතා දැහැමි සහ ඇයගේ මව සිය රථයෙන් රෝහල් නිල නිවස්නය වෙත යැවූ විශ්ව මේ අවස්ථාවේ තමා හැඟීම් පාලනය කොට ගත යුතු අන්දම මැනවින් කල්පනා කලේය.පාරමී තමන් වෙත දුන් අවබෝධය මත තමා ඉවසීම ප්‍රගුන කල යුතුව ඇත.මෙතන එවන් ඉවසීමක් අවශ්‍යම පරිසරයකි.ඉතින් කලබල වීම නුසුදුසුය.එහෙත් ඇය එසේ නික්ම යාම හිතට දරාගන්නට අපහසු වේදනාවක් දැන්වීය.

                                                                                *** 

"මොකෝ බං උනේ.?"පාරමී තවමත් ඇඳගෙන ගිය සාරිය පිටින් ඇඳේ වැතිර සිටිනු දැක දැහැමි කමරයේ දොර අසලදීම විශ්මයට පත්වූවාය.කිසිත් පිලිතුරක් නැත.ඇයට නින්ද ගොසිනි.දැහැමි නිහඬවම පිටතට ආවාය.අම්මා කාමරයේය.නිසල් වාහනයේ සිටම ඇය දෙස බැලුවේ නෙතින් කිමදැයි අසන්නාක් මෙනි.

"නින්දගිහින් ...මං රෑ වෙල බලල විශ්ව අය්යට කෝල් එකක් දෙන්නම් කියන්න."

දැහැමි පැවසුවාය.

"මොකක් හරි අවුලක එයා ඉන්නෙ .අර ඇඳුම් පිටින්ම එහෙම්ම ඇඳේ."

දැහැමි නිවෙස දෙස බලමින්ම පැවසුවාය.නිසල් සුසුමක් හෙලා ඇය වෙතින් සමුගෙන ආපසු ගියේ රෑ බෝවි හෝ ඇමතුමක් දෙන ලෙස ඉල්ලමිනි.

"අම්මෙ...අතනදි විශ්ව අයියගෙ අම්මා අම්මගෙන් මොකුත් ඇහුවද ?"

ආපසු කාමරයට පැමිණි දැහැමි අම්මගෙන් ඇසුවේ හඬ බාල කරමිනි.

අම්මා සාරිය උනා දමමින්ම දැහැමි දෙසට හැරුනාය.

"ඇහුව කියන්නෙ ප්‍රශ්න පත්තරයක්නෙ.ඉවරයක් නෑ.ඒ අහල අහල ගිහින් තමයි පාරමී දුව ළඟින් ඉඳගත්තෙ.ඇයි පුතේ මොකෝ වෙලා තියෙන්නෙ.?"

අම්මා ඇසුවේ හඬ නොනැගෙන තරම් සෙමිනි.

"දන්නෑ අම්මෙ පාරමී එහෙම්ම ඇවිල්ල.ආන් ඒ සාරිය පිටින්ම නිදි.අම්මගෙන් මොනවද ඇහුවෙ කියන්නකො."

දැහැමි ඇඳෙහි හිඳගනිමින් ඇසුවාය.

"පාරමී දුව ගැන , කවුද කින්ද මන්ද මොනවද කරන්නෙ.. අපි අඳුනන්නෙ කොහොමද ...ඔන්න ඔය වගේ මහ ගොඩක්.ඒ අස්සෙ අර උන්නෙ උඩටත් යටටත් නැතුව ඇඳන් කෙල්ලෙක් ..අන්න ඒ ළමයා ගැන ලොකු පම්පෝරියකුත් ගැහුව.විශ්ව පුතා බඳින්න ඉන්නෙ ඒ ළමයලු.ඒ නිසා වෙන වෙන ආශ්‍රයන් තියේ නම් නවත්වන්න ඕනෙ කිව්වෙ.නිකම් මටත් තර්ජනේකට වගෙ කීවෙ."

අම්මා සාරිය අසල වූ පුටුව මත දිගහැරදමා පැවසුවාය.

"එකත් එකටම පාරමී ට මොනද හරි කියල වගෙ.අපි හෙමීට අහගම්මු.දැන් මම වොෂ් එකක් දාල රෑට මොනාව හරි උයන්නම්." දැහැමි තුවාය ද රැගෙන නාන කාමරයට වැදුනාය.අම්මා සුසුමක් හෙලා ඇඳෙහි හිඳගත්තාය.

******************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

Sunday, April 9, 2023

22 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 22 කොටස

21 කොටසට මෙතනින් 21



විශ්ව නික්ම ගිය පසු පාරමී සයනයේ දිගා වූයේ ජංගම දුරකතනයද රැගෙනය.ඔහු තිගැස්වූ ඒ සේයාරුව තමා කලක් බෙහෙවින්ම ආසා කල, එහෙත් පසුකලක තමාට අහිමිව ගිය සේයාවයි.අදටත් තමා ජංගමයේ මුහුණතෙහි එම සේයාරුව තබාගෙන සිටින්නේ මන්දැයි පාරමීටම සිතාගන්නට නොහැක.

අම්මා එය ජංගමයෙන් ඉවත් කරදමන්නට කාලයක් වෙර දැරුවාය.

'අනේ මැණික මට ඕක දැක්කම දරාගන්න බැරිතරම් දුකයි.ඔයා ඇයි ඕකම දාගෙන ඉන්නේ."

අම්මා ඇසුවේ කඳුළක් පිරීයන දෑසිනි.

"අම්මා මේක දකින වරයක් පාසාම මට මං කවුද , මං අද මෙතනට ආව හැටි මතක් වෙනව.ඒ හැමදේම අමතක වෙන්න ඕනම නෑ කියලයි මට හිතෙන්නෙ අම්මා."

එදවස තමා අම්මාට කියූ අන්දම පාරමී ට සිහිවිය.

අද මොහොතකට පෙර විශ්වට පැවසූ අන්දමට තමාද ගිනි සහ අලු මතින් නැගී උන්නේ ෆීනික්ස් කිරිල්ලියක් සේම නොවේදැයි පාරමීට සිතුණි.

මිනිසුන් ජීවිතය පුරාම ඇද වැටෙන බොහෝ සිදුවීම් ඇත.සමහර ඒවා දෛවය උදාකරන දේ වන අතර තවත් සමහර දේවල් මිනිසුන් විහින් ඇතිකර ගන්නා කඩාවැටීම් ය.ඒ කොයි එක වුවත් වඩා වැදගත් වන්නේ වැටුණ මොහොතක යළි නැගී සිටීම මෙන්ම නැවත නැවතත් එම කඩාවැටීම් වලට ලක් නොවී සිටීමනේදැයි පාරමී සිතුවේ තම ජීවිතයේ අත්දැකීම මතම පිහිටා සිටුමිනි.

කෙසේ වුවත් ජීවිතය යනු සිහින බිඳීම් වලින් යළි යළිත් නැගී සිටීම ය. අලුතින් සිහින එකතු කිරීමය .තම අද මේ සිටින්නා වූ තැනට ඒමට කෙතරම් කාලයක් ජීවිතය සමගින්ම තමා සටන් කළේ දැයි පාරමී යළි යළිත් සිතුවාය .මහා කටු අකුල් වල පවා මල් පිපෙන බව ජීවිතය තමන්ට කියා දුන්නේය.

                                                                        *** 

අනුරාධපුර ගමන නිමාවූයේ මිහින්තලයේ සම්පූර්ණ වරුවක්ම ඇවිදීමෙන් අනතුරුවය. මඳ වැහි බීරමක් තිබූ එදවස දැඩි අව් රශ්මිය ඔවුනට පීඩාවක් කළේ ද නැත. මිහින්තලයේ ගල්පඩිපෙල නගින අතරතුරදී පාරමී ගේ සොඳුරු සේයාරූ බොහොමයක් විශ්ව අතවූ කැමරාවේ සටහන් විය.

දිවා අහරද අතරමග වූ අවන්හලකින් ගත් ඔවුන් ආපසු නවාතැන් ගත් හෝටලය වෙත අවුත්...පිටත් වීමට සූදානම් වූහ.ගතවූ දින දෙක ජීවිතයට එක්කලේ බොහෝ සැනසීමක් මෙන්ම සුන්දර අත්දැකීමක්ය. ජීවිතය අන්න ඒ තරම්ම සුන්දර දැක්මකි.

හැන්දෑවේ ආපසු එන අතරමග කුඩා අවන්හලක් අද්දර වාහනය නැවතූ විශ්ව පාරමී සමගින් පිටතට බැස්සේ තේ පානය කරන්නටය.සංචාරක මණ්ඩලයෙන් පවත්වාගෙන යන ඒ අවන්හල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාම ප්‍රචලිත වූවක් විය.

"එක දිගට ඩ්‍රයිව් කරද්දි මාර කම්මැලි කමක් එන්නෙ පාරෝ. ඒකයි චුට්ටක් ඉඳල යමු කීවෙ."

අවන්හලේ උඩුමහලේ කෙළවරක අසුන් ගනිමින් විශ්ව පැවසුවේය.

"හෙට ඉඳන් වැඩට යන්න ඕනෙ කියල මතක් වෙනකොට කම්මැලියිත් එක්ක."

පාරමී දෙස බලමින් සිනාසෙමින් ඔහු යළිත් කීවේය.

"ඔයාගෙ අතිජාත මිත්‍රයා කෝල් කලෙ නැද්ද ...පුදුමයි...."

පාරමී හිනාවුනේ නිසල්ගේ බැනවැදීම් සිහිකරමිනි.

"අපෝ ඊයෙ රෑත් වදේ ගැහුවා.මම ඔයා එක්ක ආවා කියල කිව්වෙ නෑ පාරෝ.මිනිහට සැකයි.ඒත් මම තනිවම වෙන ගමනක් ආව වගෙ කිව්වෙ."

විශ්ව පැවසීය.

"ඇයි ඉතින් ..."

පාරමී මඳක් කතාව නවතා විශ්ව දෙස බැලීය.

"නිසල් වුණත් ඔයා ගැන පොඩියට හරි වරදවා හිතන්න ඕනෙනෑ පාරෝ.මේක ලංකාවනෙ.අපි කොච්චර අපි ගැන දැනගෙන උන්නත්..අනෙක් අය අපි ගැන ජජ් කරන අන්දමට මාත් තාම බයයි."

විශ්ව පැවසුවේය.

සත්තකින්ම ආසියානු සංස්කෘතිය තුල , විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ මේ ගෙවන පරිසරය තුල පෙම්වතුන් නොවන යුවලක් දිහා බොහෝ නෙත් හැරෙන්නේ කුකුසකින් යුතුවය.වැඩුණු ගැහැණියක් සහ පිරිමියෙක් අතර මිත්‍රත්වයක් පමණක්ම පවතී යන්න පිළිගන්නට බොහොමයක් දෙනා අකමැතිය.

පාරමී එන්නට මොහොතක් තබා මුහුණ මඳක් සෝදාගන්නට අවන්හලේ කෙළවරක වූ නාන කාමරය වෙත ගියාය.තවත් පැය ගණනාවක් ආපසු යන්නට ඇත.හෙට රෝහලට යන්නටද ඇත.ඉදින් හෝරා ගෙවී යන්නේද අතහරින්නට ලෝභ අන්දමටය.

              

මඳ දුරක් නිහඬවම රිය ධාවනය කල විශ්ව පාරමී දෙස බැලුවේ හිස හරවා යන්තමට මෙනි.පාරමී කල්පනාවකය.එය බිඳින්නට නොහැකි වුව සිත දවන ඒ කාරණය අසා දැනගන්නටද අවැසිමය.ඔහු සෙමින් සුසුමක් හෙලීය.

"ඇයි..?"

පාරමී ඒ සුසුම් සරයෙන් එක්වනම විශ්ව දෙස බැලුවාය.

"කියන්න මට ..."

විශ්ව අසන්නේ ජංගම දුරකතනයේ මුහුණතේ වූ ඒ සේයාරුව ගැනය.එය පාරමීට වැටහුණි.

"ඔය මගෙ ජීවිතේ turning point එකක් වුණ කාලෙ විශ්ව.ඒක ලස්සන කතාවක් නෙවේ.."

පාරමී සිනාසෙන්නට තැත්දරමින් පැවසුවාය.එම කතාව දන්නේ ඉත අල්ප පිරිසකි.එය පාරමී ගෙන් ඔවුන් වත් නොඅසන්නේ එය අතීතයට එක්ව බොහෝ කලක් බැවිනි.විශේෂයෙන්ම දැහැමි ඒ සම්බන්ධව කිසිවක්ම පාරමී සමගින් කතාකලේම නැත.

"ඔය පින්තූරෙ මම ඒලෙවල් අන්තිම කාලෙ ගත් එකක්.මම දන්නව ඔයා ශොක් වුණා මගෙ කොණ්ඩෙ දැකල.දැන් ඉතින් මේ බෙල්ල ගාවටනෙ කොණ්ඩෙ.ඇත්තෙන්ම මට තිබ්බෙ ලේසියෙන් කීකරු කරගන්න බැරි කොණ්ඩයක්.මේකෙ මේ දණහිසෙන් පහලට පේන්නෙ ඔය කොණ්ඩෙ කපන්න කලින් ට්‍රිම් එකකුත් කරල."

පාරමී හිනැහුණේ ජංගමයේ මුහුණත යළි විශ්වට පෙන්වමිනි.විශ්ව මොහොතකට රිය මාවත අයිනට කර නැවැත්වීය.ඔහු යම්තාක් දුරට කැලඹෙමින් තිබුණි.

"ඒලෙවල් අන්තිම කාලේ මගෙ පීරියඩ්ස් සෑහෙන්න අවුල් වුණා.ඔයාට මේවා තේරෙන එකක් නෑ.ඒත් ඉතින් අහපු නිසා මේ කියන්නෙ මම."

පාරමී පැවසුවාය.විශ්ව නිහඬව අසාඋන්නේය.නංගී ගෙදර උන්නද ඇයගේ පෞද්ගලික මෙවන් කාරණා විශ්වගේ කණට හසුවී නැත.

"ඉතින් ඒලෙවල් කිට්ටුවෙද්දි ලොකු බඩේ කැක්කුමක් එක්ක ඒ දේවල් වෙනස් වෙද්දි අම්මා මාව එක්ක ගියා VOG කෙනෙක් ළඟට.එයා මාව බලපු ගමන් ස්කෑන් එකක් කලා.ඒකෙ රිපෝට් බලලා ඩොක්ටර් අම්මා එක්ක ශොක් වෙලා වගෙ එදා කතාකල හැටි මට මතකයි."

"මිසිස් රත්මල්ගොඩ ...මගෙ සැකය ටිකක් තහවුරු වුණා ස්කෑන් එකෙන්.ඒත් අපි ලේ පරීක්ෂණ කීපයක් තියනවා කරලම බලමු.ඩෝන්ට් වොරි."ඔහු එදවස අම්මා සමග නොකියා කියූවේ තමාට යම් අසනීපයක් ඇති බවය 

"ඉතින් එදා ඉඳන් පරීක්ෂණ බරගණනක් කලා.අන්තිමට තීරණය කලා මගෙ ගර්භාශය පුරාම පිළිකාවක් පැතිරිලා කියල.ඒක කීමොතෙරපි වලින් ගොඩදාන්න බැරි තරමට පැතිරිලා ඉවරයි අහුවෙනකොට.ඉතින් තිබුණ අවසානම සහ එකම ප්‍රතිකාරය උනේ ගර්භාෂය ඉවත් කිරීම.ඔපරේෂන් එකෙන් පස්සෙ කීමෝ යන නිසා කොණ්ඩෙ කොහොමත් කපන්න උනා.ඔය පින්තූරෙ ඒ කපන්න විනාඩි ගාණකට කලින් ගත් එකක්."

පාරමී සුසුමක් සමගින් කතාව කියා නිමකලාය. ඉදින් ජීවිතය තමාට බැටදුන්නේ එලෙසය.මහරගම මෙන්ම පෞද්ගලික පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලද මාස ගණන් කාලය ගතවිය.දණහිසෙන් පහළට ගලාහැලුණ ගණ කොණ්ඩය ඉවත් කල පසු ඉතුරු වී ගිය කෙස් ටිකද ගිලිහී යන්නට වු කාලයක් තිබිණ.

ජීවිතය තමාට අභියෝග කලේ ඒ අන්දමිනි.බෙහෙත් සමගින් ඔට්ටුවෙමින් මහරගම අපේක්ෂාවේ සිටින කාලයේදී අම්මා දැහැමි සමගින් පාරමී ගේ පාඩම් සටහන් පිටපත් කළාය.ගුරුවරුන්ගෙන් අවසර ගෙන පාඩම් පටිගත කොට ගෙන ආවේ දැහැමිය.සංකූලතා අඩු දිනවල හැකි අන්දමින් පාඩම් කළද බැරි දිනවල් බොහොමයක් තිබුණ බවද ඇයට මතකය.

"ඔය ළමයගෙ ජීවිතේ ශුවර් නෑනෙ .ඉතින් ඒලෙවල් කරන්න මොකටද මහන්සි කරවන්නේ" යැයි ඇසූ අසල්වාසීන්ද නෑයන් නොවන නෑයින්ද සිටියද අම්මා නොසැලුණාය.

අම්මා තුළ පාරමී සුවවන බවට තිබූ විශ්වාසයට සොබාදහමද ඉරණමද බෙහෙවින් යටත් විය.

"අපි පුළුවන් හැටියට ඒලෙවල් ලියමු මැණික.ඔයා හයියයි.ඔයාට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්"

අම්මා තමන් එසේ උනන්දු කලේ රෝගයට තමාගේ ඇති අවධානය වෙනස් කරන්නට බව පාරමී වටහාගත්තාය .තාත්තා මියගියාට පසු මග නොවැටී සිටින්නට හැමදාම හිතට හයියක් වූඅම්මා එදාත් තමා නැගී සිටවූ අන්දම පාරමීට සිහිවිය.

"ඊට පස්සෙ මම හොස්පිට්ල් ඉඳන් නිවාඩු ගිහින් ඒලෙවල් ලිව්වා.ලියල ආපහු හොස්පිට්ල් එකේ ට්‍රීට්මන්ට් වලට ආවා.ඉතින් ඉන් පස්සෙ ආයෙ අර වගෙ කොණ්ඩයක් වැවුණෙ නෑ."

පාරමී ජංගමයේ වූ සිය දිගු කොණ්ඩය සහිත රුව දෙස බලාගෙනම පැවසීය.විශ්වගේ හිත තුළ ඇතිවූ කම්පනය ඔහුටම හිතාගන්නට නොහැකි විය.මෙතරම් අභියෝගයන් ජීවිත වෙතට එන ලොවක තමා කම්පා වෙමින් ඇත්තේ කුමකටද..?

"දැන් එතකොට ඒක සම්පූර්ණයෙන් ම සනීප වෙලාද පාරෝ."විශ්ව ඇසුවේ ඒ පහව නොගිය කම්පනයෙන්මය.

"ඔව් womb එකත් ඒ අවට අනෙක් ඒවා එක්කම ඔක්කොම අයින් කලානෙ.ඉතින් ඒ වගෙ වෙලාවක ජීවිතේ රැකගන්න ඩොක්ටර්ස්ලා කරන්න ඕන හොඳම දේයි කරන්නෙ.දැන් මම ඇනුවල් චෙකප් එකක් විතරක් කරගන්නවා."

පාරමී මඳ සිනහවකින් පැවසුවාය.

"විශ්ව, ඒ සිදුවීමෙන් පස්සෙ මං මට වැඩියෙන් ආදරේ කරන්න ගත්තා.තමන් තමන්ට ආදරේ වීම ඇතුළේ අනෙක් කිසිකෙනෙක්ට වට්ටන්න බැරි පෞරුෂයක් ගොඩ නැගෙනවා.මම ඔයාගෙන් දැන් බලාඉන්නේ අන්න ඒක ගොඩනැගෙන කල්."පාරමී සංවාදය නිමාකරමින්ම පැවසුවාය.

                                                        ***

පාරමී වාට්ටුවට පැමිණෙන විට උදෑසන අට පසුවූවා පමණි.වාට්ටුවේ ඒ වේලාවට සියල්ලන්ම කලබලයෙනි.

"ඉක්මන් කරන්න මැඩම්ත් ආවා.දැන් වෝඩ් රවුන්ඩ් වෙලාව."

සුනන්දා රෝගියෙක් ඇඳට යවමින් පවසන්නීය.ඇතැම් වේලාවල් වලට හඬ උස් කර කතානොකල හොත් රෝගීන් ගණනකට ගන්නේද නැත.ඒ තද ස්වරයන් ඇත්තෙන්ම රෝගීන්හට අනාදරයකින් පවසන්නක් නොවන මුත් බාහිර පුද්ගලයන් එය දකිනු ඇත්තේද නුහුරටමය. 

"ප්‍රසංගි කොහොමද ඉතින් ....දැන් හොඳටම හොඳයි නේද...?"පාරමී ප්‍රසංගිගේ ඇඳ අසල නැවතෙමින් ඇසුවාය.

"ඔව් මැඩම්. මම උන්නටත් වඩා හොඳින් කියල දැන් මට හිතෙනවා."ප්‍රසංගිගේ කතාබහ ඇතුලු හැසිරීම් සියල්ල කාලය යථා තත්වයට පත් කොට තිබුණි.

"වෝඩ්‍ රවුන්ඩ් ඉවර වුනාම එන්න මට ඔයා එක්ක කතාකරන්න ඕනෙ."

පාරමී ඊළඟ රොගියා අසලට යමින් පැවසුවාය.වෛද්‍ය රහල් ඒ වන විට තෙමසක පුහුණුවක් සඳහා විදෙස් ගතව උන්නේය.පාරමී මේ සම්බන්ධය ගැන සියලු තතු දන්නා බව ප්‍රසංගිටද ඒ වන විට රහසක් වූයේ නැත.

වාට්ටු නිරීක්ෂනය අවසානයේ ප්‍රසංගී කාර්‍යාල කාමරයේ මේසය එහා පසින් හිඳගෙන උන්නේ පාරමී එනතුරුය.යාබද නානකාමරයට ගොස් අත සෝදාගෙන පැමිණි පාරමී සිය අසුනට වූයේ ප්‍රසංගි දෙස සිනාමුසුව බලමිනි.

"ඉතින් ප්‍රසංගි , මොකද දැන් ප්ලැන් එක."

පාරමී ඇසුවේ තමා ඉදිරිපස හිඳසිටිනා යුවතියගෙනි.ඇය මීට කලකට පෙර වාට්ටුවට ආ මුල් දිනය පාරමීට සිහිවිය.එදාත් අදත් අතර ඇත්තේ කෙතරම් වෙනසක්ද?

"ම්..මැඩම්....රහල් කියන්න ඇතිනේද අපි ගැන."

ප්‍රසංගි බිම බලාගෙනම හඬ අවදිකලාය.

"ඔව් මම දන්නවා."

පාරමී සිනාසෙමින් පැවසුවාය.

"මැඩම් , පණිවුඩ පිට පණිවුඩ හොස්පිට්ල් එකෙන් ගියාට ගෙදර අයගෙ කිසිම ප්‍රතිචාරයක් නෑනෙ.මම ආයෙ එයාල ගාවට යන්න කැමැත්තක් නෑ."

ප්‍රසංගිගෙ හඬ ස්ථිරසාර විය.

"ඔයා අවුරුදු දහ අටට වැඩි ගෑනු ළමයෙක්.ඔයාට මේ පවතින තත්වෙ උඩ දැන් ඔයාහෙ ජීවිතේ තීරණ ගන්න පුළුවන්."

"ඔව් මැඩම් රහල් ට්‍රේනින් ඉවර වෙලා ඇවිල්ල මැරි කරමු කීවා."

ප්‍රසංගි ගේ මුහුණේ ළා රතක් මතුව තිබිණ.ඒ ප්‍රේමයේ සුන්දර මතකයන් නිසා වන්නට ඇත.

"හොඳයි ප්‍රසංගි...මගෙන් වෙන්න අවශ්‍ය දෙයක් තියේ නම් කියන්න."

පාරමී ඇයට සමුදෙමින් පැවසුවාය.මියෙන්නට හෝ සදාකාලික උම්මත්තක භාවයකට පත්වන්නට ඉඩ තිබු ජීවිතයක් මෙලෙස ගොඩගත්තේ අන්කිසිවක් මගින් නොව ආදරය කරුණාව දයාව වැනිවූ මානව ගුණාංග මතමය.

                                                                          *** 

"මට හිතෙනවා විශ්ව අයියා උඹ ගැන මොකක් හෝ බලාපොරොත්තුවක් ඇතුව ඉන්නෙ කියල"

එළඹි සන්ධ්‍යාවේ දැහැමි සමගින් ඇමතුමක යෙදුණ පාරමී තිගස්වමින් එක්වරම ඇය පැවසුවාය.

"සමහරක් විට එහෙම එකක් තියෙන්න ඇති.ඒත් මගේ ෆොටෝ එක ෆෝන් එකේ දැකල එදා මගෙන් අර විස්තරේ එයා දැනගත්තා.ඉතින් ඒ දේ දැනගත්තට පස්සෙ යම් එහෙම අදහසක් තිබුණා නම් ඒක එහෙම්ම නැතිවෙන්න ඇති.ඒක තමා වෙන්නම ඕනත්"

පාරමී පැවසුවේ ස්ථීර හඬකිනි.

"උඹට උගන්වන්න මම ඉගනගෙන නෑ මෙඩ්කල් සයිඩ් එකෙන්.ඒත් බං මේ මානසික බැඳීම් කියන දේවල් ඔය වගේ කාරණා එක්ක ගත්තම ගණන් නොගන්න ඒවා"

දැහැමි පැවසුවේ නිසල් පෙරදවසක ඇය සමගින් විශ්ව ගේ හැසිරීම් වල වෙනස ගැන කියද්දී ඔහු දුටු වෙනස්කම් ගැන කී හෙයිනි.

"දැහැමි ...ඔච්චර සරලව ඕව ගැන හිතන්න අපි දහ අටේ කොල්ලො කෙල්ලො නෙවෙයි දැන්. ලව් ඇට් ෆස්ට් සයිට් වගේ ඒවා ළමයෙක් නැති කතාව නැන්දම්මාගේ වචනෙන් දෙකෙන් එනකොට පලායනවා. දෙයක් වෙන බව දැන දැන ඔහොම සම්බන්ධකම් ඇතිවෙන්න ඕනද...මෙච්චර කල් මට එහෙම ඕනකමක් තිබුණෙ නෑනෙ.ඉස්සරහටත් එහෙම තමයි."

පාරමී පැවසුවේ හඬ මඳක් අඩුකරමිනි.මෙතුවක් කල් තමාගේ ජීවිතයට වෙනත් අයකුගේ ආගමනය අවශ්‍ය වූයේ නැත.ජීවිතය මේ අන්දමින් ගෙවන්නට තමා තීරණය කොට හමාරය.

"අපි ඔය කතාව නවත්වමු. මම වික් එන්ඩ් එකේ එනවා ගෙදර.ඒ ආව ගමන් ඔහෙත් එන්නම්"

පාරමී ඇමතුම හමාර කරමින් පැවසුවාය.

                                                                      *** 

ජීවිතයේ මෙතුවක් කල් තමාහට එවැනි බැඳීම් අවශ්‍ය වූයේම නැත.සිරුරෙහි රසායනය ඉල්ලා සිටින ඇතැම් මානුෂික හැඟීම් අවශ්‍යම වූ තුරුණු වියෙහිදී පිළිකාව තමන්ට අභියෝග කලේය.එහෙත් ඒ කාලයේදී හෝ සිත්ගත් යෞවනයෙක් තමාට හමුව නොතිබුණි.ඉතින් පිළිකාවේ බලපෑම තමන්ට එල්ලකලේ ඊට එහා අභියොගයකි.

විදෙස් ගතව ඉගන ගත් කාලයේ මෙවන් ගැටලු ගණන් නොගන්නා විදෙස් තරුණයින් ඕනෑ තරම් ඇසුරේ උන්නද ඒ එක ඇසුරක් හෝ මිත්‍රත්වය යන මායිමෙන් පිටට ගියේ නැත.හිතට දැනෙන කිසිවෙක්ම , හිත හොල්ලන කිසිවෙක්ම ඒ අතර උන්නේ නැත.ඉදින් ජීවිතය පසුතැවුණේද නැත.

එහෙත් විශ්ව දුටු මුල්ම දිනයේ පවා තම සිත තිගැස්සුණ බව පාරමී ට මතකය.නහර පුප්පාගෙන දුරකතනයෙන් කෑගසද්දීත් ඔහුගේ දෑස් තිබුණේ තමා ලඟමය.ඒ බැල්මට තමා සසල නොවීයැයි පාරමී ට කියන්නට නොහැක.

විශ්ව ගේ ආගමනය හොඳම යාළුවෙක් යන නිර්නායකයේ රඳවන්නට පාරමී වෙර දැරූවද ඔහු වෙතින් තමා ලබන සැලකිල්ල,රැකවරණය ඔහු සම්බන්ධ යම් විශේෂයක් හිතට දනවන්නට සමත් විය.එහෙත් ඔහු ද පිරිමියෙකි.එහෙයින් තමා ගැන සත්‍යය දැනගත් පසු ඔහු සිත තුල යමක් වී නම් එයද ඉවත්ව යනු ඇතැයි පාරමී සුසුමක් හෙලා සිතුවාය.

අම්මා මියයාම සමග මාලනීද ආරාමගත වීම එක් අන්දමකින් තමා හුදෙකලා කොට දමා ඇත.සමහරක් විට විශ්ව ට උදව් කිරීම හරහා තමන්ද මානසිකව සතුටක් ලබන්නේ ඒ ඇසුරෙන් විය යුතුය.

"පාරෝ....දවස් ගානකින් කතාකරන්න ලැබුණෙ නෑ. "

ලද ඇසිල්ලේ අමතන විශ්ව පැවසීය. අනුරාධපුර ගමනින් පසු දින ගණනාවක් යනතුරුම විශ්ව කාර්‍යබහුල වූවා මෙන්ම පාරමී ද රෝහලේ වැඩකටයුතු අතර සිරවූවාය.

"මාත් බිසි වුනා මේ ටිකේ.ඉතින් කොහොමද විශ්ව වැඩ කටයුතු."

වෙනදා තරම් ඔහු සමග කතාකරද්දී ඇතිවන සැහැල්ලුව තමා වෙත නැති බව පාරමී ට දැනුනි.

"ඕපනින් එකට තව සතියනෙ පාරෝ.යකා බැඳගත්තා වගෙ වැඩ.ඔන්න කිසි වැඩක් දාගන්න එපා.මම දිනේ කිව්වනෙ."

විශ්ව ගේ හඬ සතුටින් ජීවයෙන් උතුරාගොස් ය.

"හරි හරි...ඒ දිනේ වෙන් කරල තියෙන්නෙ. "

පාරමී ද ඒ සතුටට හවුල් වූවාය.

"පාරෝ.....?"

විශ්ව මොහොතකට පසු ප්‍රශ්නාර්ථයක් ඇතිව ඇයට කතාකලේය.පාරමී නිහඬවම උන්නාය.

"ඔයා මොකුත් ගැටලුවකද ඉන්නෙ.මට මොකක් හරි වෙනසක් දැනෙනවනෙ."

විශ්ව ට තමාගේ වෙනස වැටහෙන්නට තරම් ඔහු තමා ගැන අවධානයෙන් සිටින්නේද.? අනෙක් අතට ජංගමයෙන් ඇසෙන සීමාවේ පමණක් ඒ වෙනස ඔහු කෙසේ නම් වටහා ගත්තේද ?

                                                                        ***

විශ්ව යළි සිය ව්‍යාපාරය ඇරඹුවේ අලුත්ම මුහුණුවරකිනි.කාලයක් තිස්සේ මියගොස් තිබූ බලාපොරොත්තු එකින් එක පණ නගා මල්ඵල දරන්නට පටන් ගෙනය. නිසල් මේ සම්බන්ධයෙන් පසුවූයේ ඉමහත් ප්‍රීතියකිනි.

"උඹ මේ තැනට එන්න තිබුණේ අවුරුදු ගානකට කලින්. කොහොමින් කොහොම හරි ගතවෙච්ච කාලේ ගැන නොහිතා ආයෙ මේ ඔක්කොම ලස්සනට අලුතින් පටන් ගන්න එක ගැන මට පුදුම සංතෝසයි."

නිසල් පැවසුවේ සුභ මොහොතින් විවෘත කරන දාට පෙර දිනය. විශ්වගේ දෑස් පුරා කවදාවත් නොදුටු තරමේ දීප්තියක් නිසල් දුටුවේය. 

"අවුරුදු ගානකට කලින් අර දොස්තර නෝනා හම්බුනා නං අපි ඒ කාලෙම ගොඩයන්න තිබුන තමයි බං. කොහෙද ඒ අම්මණ්ඩි එතකොට ඉඳලා තියෙන්නේ රටනෙ."

විශ්ව හිනැහෙමින් පැවසීය.

"එතකොට ඔක්කොම ඒ දොස්තර නෝනාටයි ක්‍රෙඩිට් එක යන්නෙ ...අපි කැලේ ."

නිසල් සිනහාසුනේ මහහඬිනි.

"උඹලා මං වෙනුවෙන් කරපු කැපකිරීම මං කවදාවත් අමතක කරන්නේ නැහැ මචං .ඒත් මගේ මානසික කඩාවැටීම කියන එක හරියටම අල්ලගත්තෙ පාරමී. දොස්තර කෙනෙක් විදියට නොවුනත් එයා මට හුගක් හුඟක් දේවල් කියලා දුන්නා. මන් ටික ටික හැදෙන්න ගත්තෙ එතන ඉඳලානෙ බං."

විශ්ව සිය අසුනේ හිඳ ගනිමින් පැවසූයේ දැඩි හැඟුම්බර විලාසයකිනි.

"ඒක නං ඇත්ත .අපි ඔක්කොම උඹට කොච්චර කිව්වද ඒත් උඹ ඇහුවෙ නෑ.අඩුගානෙ පාරමී එහෙම උඹට ක්ලෝස්වුන එක කොච්චර වටිනවද බං."

නිසල් පැවසුවේ සිය මිතුරා ගැන උපන් අවංකම ප්‍රීතියෙනි .

"දැන් ඔක්කොම arrangement හරි නේද ...කෝකටත් ඩබල් චෙක් කරපන්."

විශ්ව පැවසුවේ නිසල්ටය.

"චීෆ් ගෙස්ට් එයි නේද ? අන්තිමේ හොස්පිට්ල් එකේ ලෙඩෙක් පිස්සු කෙලිනව කියල නෑවිල්ල ඉඳීද?" නිසල් ඇසුවේ මහහඬින් සිනහසෙමිනි. 

"ගෑනි දන්නෙ නෑ චීෆ් ගෙස්ට් එයා කියල.මෙතන ඇවිල්ල සෙනඟ අස්සෙත් මට දඩෝරියන් ගාලා පාරක් නොදුන්නොත් තමා පුදුම." විශ්ව පැවසුවේ නිසල් හා එක්ව යන සිනහවෙන්මය.

කාලයක් දුක, කඳුළ ,ශෝකය සහ අපේක්ෂා භංගත්වයෙන් උතුරා ගිය සිය මිතුරා අද සිටින්නේ සාර්ථකත්වය අභිමුවය.ඉදින් නැවත ඔහුට ආපස්සට පය තැබිය නොහැකි තරම් ය.මෙතුවක් කල් තමා සමගින් උන් සෙසු මිතුරු ඇසුරට දැන් පාරමී ද එක්වී ඇත.නිසල් සැනසුම් සුසුමක් හෙලා ඇවිද ගියේ තවත් සොයා බැලීය යුතු දේවල් තිබේදැයි සිතමිනි.

                                                              *** 

"දැන් විශ්ව අයියාගෙ company එක open කරන උත්සවයට උඹ යනවා නේද ?"

දැහැමි දුරකථන ඇමතුමක රැඳෙන මොහොතේදී පාරමී ගෙන් ඇසුවාය.

"ඔව් යන්න ඕනනේ ...නැත්තං ඉතිං ඔලුවත් එක්ක කයි"

පාරමී හිනැහෙමින් පැවසුවාය 

"තාමත් ඔය ඔලුව කන මල පනින තත්ත්වයෙම ද මිනිහා ඉන්නේ.මං හිතේ දොස්තර නෝනා බෙහෙත් දීලා ගිනි පුක් ගාය අඩු වෙලා ඇති කියලා "

දැහැමි හිනැහෙමින් ඇසුවා ය .

"අපොයි ඒව ගානට අඩු වෙලා තියෙන්නේ .ඒ උනාට කොයි කොයි වෙලාවේ ඒ යකා දුම්මල වරම ගන්නවද මන්දා. කෝකටත් සූදානමින් ඉන්න එක හොඳයිනේ .උඹයි අම්මයි එනවද මාත් එක්ක යන්න.?"

පාරමී ඒ සිනහවට එක් වෙමින්ම ඇසුවාය.

"ඔව් සෙනසුරාදා නේ .අම්මයි මායි සිකුරාද හවස එන්නම්කෝ ක්වාටර්ස් එකට." දැහැමි ඇමතුමෙන් සමුගනිමින් පැවසුවාය.

සමීපතමයෙකුගේ සාර්ථකත්වය යනු හොඳම මිතුරකු හෝ මිතුරියකට තමන්ගෙ සාර්ථකත්වය හා සමානවම සතුටු වියහැකි කාරණයකි. පාරමී අද දවසේ විඳින්නේ තමා විසින් හෙළි පෙහෙළි කර දුන් විශ්වගේ ඒ ගමන් මගේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයයි.

අවසාන පරීක්ෂාවද කර අවසන වෙහෙස කෙතෙක් වුවද පාරමීට ඇමතුමක් නොදී නිවෙසට යාමට විශ්වගේ හිත ඔහුට ඉඩ දුන්නේ නැත.වේලාව දහය පසුවී විනාඩි පහලොවක් ලෙස ඔරලෝසුව දක්වන මොහොතේදී ඔහු ඇයට ඇමතුමක් ගත්තේය.වාර දෙකතුනක් නාද වන විට එහා පසින් පාරමී ගේ හඬ ඇසුණි.

"පාරෝ තව නිදි නැද්ද...?" විශ්වගේ හඬෙහි ලෙන්ගතු බව පාරමීගේ හිත තිගස්වන සුලු වුවද එය නොසලකා හරිමින් ඇය කතාකලාය.

"නෑ මේ මං නිදි."

එහා පසින් ඇයගේ කිංකිණි හඬැති සිනහව ඇසෙයි.විශ්ව නිහඬව සිනාවෙමින් එය අසා උන්නේය.

"එහෙනම් හීනෙන් වෙන්න ඇති කතාකරන්නෙ."

විශ්වද එකට එකම කීවේය.

"වැඩ ඉවර නැද්ද තව විශ්ව.?" පාරමී සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඇසුවාය.

"ඉවරයි...ෆයිනල් චෙකින් ඕකේ.අපි මේ ගෙවල් බලා යන්න කියල.ඔබතුමී හෙට උදේ අට වෙද්දි මෙතන ඉන්න් ඕනෙ හරිද ?"

විශ්වගේ හඬෙහි පවා ඇත්තේ උතුරා යන ප්‍රීතියකි.ඔහු එසේ සතුටින් ඉඳීමද කෙතරම්ම දෙයක්ද?

"හරි හරි සර්...අපි පරක්කු වෙන්නෙ නෑ...ඔන්ටයිම් ඔතන .එහෙම නම් උදේට කන්න දේවිනෙ අපිට නේ...ඔච්චර උදෙන් එන්න කියන්නෙ."

පාරමී සිනහාසුණාය.

"දෙනව දෙනවා උදේට දවල්ට දෙකටම කන්න දීලා රෑටත් ඔතන් යන්නත් දෙනවා..බඩජාරියාට.එහෙනම්....මම යන්නම් පාරෝ.good night girl"

විශ්වගේ හැමදාම සමුගැනීම එසේය.

තෙරුවන් සරණක් බුදුසරණක් පැතීමක් නැත.සුබරැයක් පතනවා පමණි.පාරමී ඔහුට සුබ රැයක් පතා ගියේ දැහැමි සහ අම්මා ඉන්නා කාමරයටය.

"උඹ හෙට මොකක්ද අඳින්නෙ."

දැහැමි ඇයගේ ගවුම මදිමින් ඇසුවාය.

"මගෙ වයිට් ඇන්ඩ් පින්ක් සාරි එක....ඒක උදේ function එකකට හොඳයිනෙ."

පාරමී යෙහෙලියගෙන් ඇසුවාය.ඇත්තෙන්ම ඒ සාරියට පාරමී හැඩය.ඇඟටම නොඇලුණද එය සිරුරේ හැඩය මනාව පෙන්වයි.ඒ සාරියට පාරමී කවදත් ආසාකලාය.

"ඒක ලස්සනයි ...ආයෙ අයිශ්වර්‍යා රායිගෙ පුංචිඅම්මගෙ දුව වගෙ ඉඳීවි."

දැහැමි පැවසුවේ ඇයගේ අම්මාවද සිනාගස්වමිනි.

"මම ඇන්ටි ඉන්න නිසා උඹට කියන්නෑ ඉතින්."

පාරමී පැවසුවාය.

****************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)



Monday, April 3, 2023

21කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 21 කොටස

20 කොටසට මෙතනින් 20



ආපසු නවාතැන් ගත් තැන බලා යන ගමනේදී විශ්ව වැව් බැම්මක් මතට වාහනය ධාවනය කලේ පාරමී විමතියෙන් බලා ඉඳිත්දීය.

"ඔයා එදා මාව සප්‍රයිස් කලා නෙ කොළඹ වැවක් පෙන්නල.මෙන්න අද මම ඔයාට පෙන්වනව මෙහෙ වැව්."

විශ්ව හිනාවෙමින්ම පැවසුවේය.

පරක්තෙරක් නොපෙනෙන වැව් තලයේ සඳඑලිය රටා මවමින් තිබුණි.

"බහින්න."

රථය තුල සිටම වැව් දිය දෙස බලාඉන්නා පාරමීට විශ්ව පැවසුවේ ඔහුද එහා පසින් බසිමිනි.පාරමී ඈත මෑත බැලුවේ රාත්‍රී අඳුර බොහෝ සෙයින් ගලා එන හෙයිනි. දුරින් දුරට වන්නට තැනින් තැන තවත් අය පහන් එළි අතරේ පෙනෙයි.

පාරමී වාහනයෙන් බැස විශ්ව වෙත ගියාය.ඔහු ඇය සමගින් රිය ඉදිරිපසට වී මොහොතක් නිහඬව බලාඋන්නේය.

"මොන තරම් ලස්සනයිද විශ්ව."

පාරමී මිමිණුවාය.ඈ උන්නේ අවට සුන්දරත්වය මුසු නිහඬබවින් මත්වෙමිනි.විශ්ව මොහොතක් ඇය දෙස බලාඋන්නේය.ඇය සතුටිනි.ඉතින් තමාද ඉන්නේ ඇත්තෙන්ම සතුටිනි.

පාරමී දෙසට හැරුණ ඔහු එක්වනම ඇයගේ ඉඟ දෙපසින් අල්ලා ඔසවා වාහනයේ බොනට්ටුව මත හිඳවීය.පාරමී අනපේක්ෂිත ඒ ක්‍රියාවෙන් තිගැස්සුණ තරමට කෑගැසෙන්නට ද මොහොතක් තබා දෑතින් මුව වසා ගත්තාය.විශ්ව සිනාසුණේ දඟකාරකමක් කල කොලුවකු සේය.

"මොකක්ද මන්දා කරන්නෙ...මං තව ටිකෙන් මෙතන හූ කියනවත් එක්ක."

පාරමී අතදිගු කොට පහරක් ගැසුවේ නොමනාපයක් නොරැඳි වතිනි.

"චුට්ටක් ඔහොම ඉන්නකො.මම බඩුවක් අරන් එනකල්."

විශ්ව ඇයවෙතින් මෑත් වූයේ වාහනය පසුපස දෙසටය.පාරමී ඔහු ගිය දෙස දෑස් නොපියා බලාඋන්නාය.

ගිය මොහොතින්ම විශ්ව යළි මෑත්වූයේ ගිටාරයක් ද රැගෙනය.

"අන්නේ....විශ්ව....."

පාරමී කෑගැසුවේ එය දුටුවනම ඇතිවූ සතුටිනි.මේ බොහෝ දේ තමා රහසින් ආසා කල දේය.ඉතාම තුරුණුවියේ පටන් හිතේ තිබුණද කාලයා සහ ඉරණම ඇයගෙන් ඈත් කල දේය.

"සිංදුවක් කියමුද?"

විශ්ව ඇසුවේ ඇය පසෙකින් වාහනය මත හිඳගනිමිනි.ඇත්තෙන්ම සඳ එළිය මේ සොඳුරු රූ මත අපූරු රටා මවමින් තිබුණි.

විශ්ව ගිටාරය මොහොතක් සුසර කරමින් පාරමී දෙසම බලාඋන්නේ ඇයගේ සිතේ මැවෙන සතුට වටහාගනිමිනි.

"ඔයා කියන්න මම අහන් ඉන්නම්."

පාරමී පැවසුවාය.විශ්ව මොහොතක් දෑස් පියා කල්පනා කලේය.ඉන් පසු තත් හඬවමින් ගයන්නට විය.

මා සනසා

මා නළවා

සුරංගනාවක් හොරෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී

සුරංගනාවක් හොරෙන් ඇවිල්ලා හදේ ලැගුම් අයදී.....

විශ්වගේ ගැඹුරු ස්වරය ගිටාරයේ හඬ හා මුසුව ගත්තේ අවටම වශීකරගෙන මෙනි.ඒ මොහොතේ අවට ලෝකයම එක තැන නැවතුණිදැයි පාරමීට සිතුණ තරම් ය.අඩුම තරමේ මඳ සුළඟ හමායන්නාවූ සිලිසිලියවත් ඇයට නෑසුන තරම් ය.

විශ්ව දැහැනකට සමවැදුණාසේම ගීය ගයන්නට විය.ඔහු කෙතරම්ම ගීයට ආශක්ත වීද යත් ඇස් පියන් පවා වැසී ගොසිනි.එතරම්ම උමතුවක් ඒ ගීයේ ගැබ්ව තිබුණි.

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා

ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යාකලා.....

ගිටාරයද ඔහු හඬ හා ඒකාත්මික වෙමින් තිබුණි.පාරමී දෑස් දල්වාගෙනම ඔහු දෙස බලාඋන්නාය.

හෙටත් සඳ උදාවී රැයක් පැමිණිලා

සිහින ලොවට යා...වී....සුරඹ මා සොයාවී........

අවසන් තත් හැඬවීමෙන් පසුම ගිටාරය නවතා විශ්ව දෑස් හැරියේය.පාරමී ඇස් නොපියා ඔහු දෙසම බලාඉන්නා අයුරු දැක විශ්වගේ මුහුණේ නැගුණේ කිසිදා නොදුටු තරම් සුන්දර සිනහවකි.

"පාරෝ."

විශ්ව ඇය අමතන තෙක්ම පාරමී උන්නේ උමතු දැහැනේමය.ඇය තිගැස්සී මෙන් ඔහු දෙස බැලුවාය.

"සිංදුව දිගේ කොහෙද ගියේ?"

විශ්ව ඇසුවේ සිනාසෙමිනි.

"කොහේ ගියාද මන්දා විශ්ව.තව ටිකෙන් මම අතරමං වෙනවා.අනේ විශ්ව මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.මට නම් හිතාගන්න බෑ..."

පාරමී ඔහේ කියවාගෙන ගියාය.

"මේක පැත්තක දාල තිබුණා අවුරුදු ගාණක්.මං ඉස්සර අපේ කොල්ලන්ගෙ පාටීස්වල කොච්චර සිංදු කිව්වද පාරෝ.ඒ ඔක්කොම මට එපාවුනා අර සිදුවීමෙන් පස්සෙ.මේ ගිටාර් එක විතරයි පැත්තක දාල හරි මට ඉතුරු වුනේ.අනෙක් ඔක්කොම පොළවෙ ගහල කුඩු කලා ඒ දවස්වල."

විශ්ව ඈත වැව් දියට යොමු වූ නෙතින් පැවසීය.කෙනෙක් මේ සා සුන්දර ජීවිතයකින් ඉවත් කල ඉරණමට පවා කෙතරම් වෛර කරන්නේදැයි පාරමීට සිතාගත හැකි විය.

"මං ආයෙ ජීවත් වෙනවා කියල මට දැනෙන්නෙ මෙන්න මෙහෙම උනාම.නිසල් මම අපේ යාලුවො සෙට් එක ඉස්සර ට්‍රිප් ගියා සෑහෙන්න.ඒ හැම තැනදිම සිංදු කොච්චර මං කියන්න ඇත්ද .බාබකියු පාටි දාගෙන මොන තරම් අපි පිස්සු නැටුවද.? මට ආයෙ එහෙම ඉන්න ඕනෙ පාරෝ.මට මාව හොයාගන්න ඕනෙ ආපහු."

විශ්ව පැවසුවේ හැඟීම්බරවය.ඔහුගේ දෑස වැව් තලයෙන් මිදී මොහොතකට පාරමී ගේ දෑස හා එක්ව ගියේය.

යමෙකුට ජීවිත කාලය තුල ඇතැම්විට තමා තමන්ට මුණ ගැහෙන වාර අවම වන්නට බොහෝ විට ඉඩ ඇත.එහෙත් විශ්වාස කරන්න....ඔබට ඔබ හමුවන මොහොතේදී මෙලොව අන් සැමටම වඩා ඔබ කෙතරම් සොඳූරුදැයි ඔබට වැටහෙනු ඇත

බොහෝ කලකට පෙර තමා සිය දිනපොතේ පිටුවක එලෙස ලියා තැබූ අන්දම පාරමීට සිහිවිය.තමන්ටද තමන් අතහැරී ගිය කාලයක් තිබුණා නොවේදැයි පාරමී සිහිකලාය.නොකා නොබී හඬමින් ඇඳටම වී ගතකල ඒ අඳුරු යුගයෙන් තමා මිදී ආවේ අම්මාගේ ආදරයේ මහිමයෙනි.

එසේම අඳුරු වලාවක් මැද අකුණක් ගසන්නා සේ තමන් යනු එසේ හැර දමන්නට නොවටිනා ප්‍රාණයක්දැයි තමාටම එදින සිතුණ අන්දම පාරමීට මතකය.අද තමා මේ ඉන්නේ ඒ තමන්ටම ප්‍රේම කරන්නට පටන් ගත් ගමනේය.දැන් සිය ප්‍රේමය, ජීවිතය අතරමග මානසිකව කඩා වැටෙන බොහෝ සිත්වලට ඇය වෙතින් මග කියන්නට බෙදීයයි.

"අපි ඒ දේ කරමු විශ්ව...ඔයාට පුළුවන් ආපහු පරණ විශ්වම වෙන්න...ට්‍රස්ට් මී...යූ විල්..."

පාරමී පැවසුවාය.විශ්ව යළි ගිටාරයේ තතක් හඬවා අලුත් ගීයකට මුල පිරුවේ ඒ හිතට දැනුණ සැනසුම් බවත් සමගමය.

රෑ අඳුර බෝවන්නට පටන් ගන්නා විට සිංදු එක දෙක එක්වී ගොසිනි.වේලාව යනවා දැනුනේද නැති තරම්ය.

"කෙල්ලෙ ....අද මෙතන නොකානොබී සිංදු කියන්නද මට වෙන්නෙ..අපි යමුද දැන් අටත් පහුවෙලා."

විශ්ව ගීය හමාර කොට පාරමී දෙස බැලුවේ එසේ කියමිනි.

දැහැනකට සමවැදී මෙන් ගී අසනවා මිසක පාරමීට කනබොන සිහියක් තිබුණෙම නැත.එහෙත් රෑ අඳුර බෝවන විට නොදන්නා පළාතක මෙසේ ඉඳීමද අනුචිතය.එහෙයින් ඇයද ආපසු යාමට එකඟ වූවාය.

විශ්ව ගිටාරය නැවත වාහනයට දමා ඇය වෙත විත් බලා උන්නේය.පාරමී දෑත් දිගුකලේ ඇය බස්වන මෙන් ඉල්ලාසිටිමිනි.විශ්ව මඳක් ඈතට වී සිනහසෙමින් ඇය දෙස බලාඋන්නේය.

"අනේ විශ්ව මොකක්ද අප්පා..හිනානොවී බස්සවන්නකො මෙතනින් මාව.මේක උසයිනෙ."

පාරමී නෝක්කඩු කියන්නීය.විශ්ව ඈ වෙත විත් දෑතම පෑවේ කුඩා දරුවකු ඔසවා ගන්නට මෙනි.පාරමී ඒ දෑතේ එල්ලුණාය.

"පුලුන් ගොඩක් වගෙ...බරක් ඇත්තෙම නෑ..."

පාරමී ඔසවා වටයක් කැරකැවූ විශ්ව ඇය බිම තබමින් පැවසීය.

              

ආපසු නවාතැන් ගත් හෝටලය වෙත පැමිණුන පසු රාත්‍රී ආහාරය ගැනීමට අවන්හල වෙත දෙදෙනාම ගියේ ඒ වන විටත් රාත්‍රී නවය පසුව ගොස් තිබූ හෙයිනි.

"අනම් මනම් කාලා බඩගිනිත් නෑ."

පාරමී සුප් බඳුන තොල ගාමින් පැවසුවාය.

"අපෝ කෑවා තමයි...ඒ කෑවෙත් මමනෙ වැඩිහරියක්."

විශ්ව ඇයට සිනහාවෙමින් පැවසුවේය.

"හෙට කොහෙද යන්නෙ අපි."

පාරමී විශ්වගෙන් ඇසුවේ ආහාරගෙන අවසන්ව කාමර වෙත පියමනිනා අතරේය.

"හෙට ඕන්නම් මිහින්තලේ යන්න පුළුවන් ..නැත්නම් අනුරාධපුර ම එහෙට මෙහෙට ටිකක් ගියහැකි"

"මිහින්තලේ යමු."

පාරමීගේ කැමැත්ත වූයේ ඒ ගමනටය.

"හැබැයි මගදි කකුල් රිදෙනව කියල කුරු කුරු ගාන්න බෑ හරිද?මට අලිබබ්බු උස්සන් යන්න බෑ."

විශ්ව ඇයගේ කණක් සෙමින් මිරිකමින් කීවේය.

"අනේ යන්න අනේ...මට හොඳට ඇවිදල පුරුදුයි."

පාරමී බොරු නොමනාපයක් වතට ආරූඪ කරගනිමින් කීවාය.

"නිදිමතද පාරෝ?"

විශ්ව කාමරයට යන කොරිඩෝරයේ දී ඇසුවේය.ඇත්තෙන්ම නිදිමතක් අහලක හෝ නැත.සිත දවස පුරාම තිබුණේ සතුටින් හෙයින් විය යුතුය.පාරමී හිස දෙපසට වැනුවාය.

"එහෙනම් ටිකක් කතාකරමුද? ගිහින් වොෂ් දාගෙන චේන්ජ් එකක් දාන් එන්න මේකෙ රූෆ්ටොප් එකක් තියේ.අපි යං ඒකට."

විශ්ව පැවසුවේ පාරමී දෙසම බලාගෙනය.එයට හිසවනා එකඟවූ පාරමී කාමරයට වැදුණේ ඉක්මනින් ආපසු එන්නටය.

නාන කාමරයට වැදුණ පසු පාරමී දවසේ සිදුවීම් සිහිකරමින් ඇඟසෝදාගන්නට කරාමය විවෘත කලද වෙනත් කල්පනාවක උන් හෙයින් හිසට දියපහර වැටෙන තුරුම ඇයට කල්පනාවක් නොවීය.

අපොයි...දැන් තෙමිලා ඉවරයි ..නාගෙනම යනවා..

පාරමී ලහිලහියේ නාගත්තාය..

සරල ඇඳුමකින් සැරසුණ පාරමී ගෙල දෙපසට මෘදු සුවඳැති විලවුන් බිඳක් තවරා ගෙන විශ්වහට ඇමතුමක් දුන්නේය.

"මම රෙඩී...එන්න පාරෝ."

විශ්වගේ හඬ එහාපසින් ඇසුණේ දොරට තට්ටුවක්ද සමගිනි.

"බබෙක් වගේ...සුවඳ..නෑවද මේ මහ රෑ."

විශ්ව තරවටුකලේ හරියටම පොඩි දරුවකුහට තරවටුකරන්නාක් මෙනි.පාරමී සිනාවී ඒ වදන් ඉවසුවාය.

පාරමී ද සමගින් පියගැටපෙළ නගින විශ්ව හට ඉදිරියට හමුවූයේ හෝටල් කලමනාකාරවරයාය.

"සර් කොහෙටද යන්නෙ.?"

ඔහු පාරමී දෙස ද සිනහවකින් බලා ඇසුවේය.

"අපි රූෆ් ටොප් එකට යන්න කියලා."

විශ්ව ඔහුට පිළිතුරු දෙමින් පැවසීය.

"අනේ සොරි සර් අද එතන පොඩි ඔෆිස් ක්‍රවුඩ් එකක් ඇවිල්ල පාටි එකක්.පිරිමි අය ඉන්නෙ.ලිකර් එහෙමත් යූස් වෙනව.ඉතින් මැඩම් එක්ක මේ වෙලාවේ එතනට යන එක නම් එච්චර හොඳ මදි.මම සර්ට කියන්න ඕනනෑනෙ ඉතින්."

කලමනාකාරවරයා සමාව අයදින ස්වරයෙන් පැවසීය.විශ්ව පාරමී දෙස බැලුවේ යටිතොල නොපිට හරවමිනි.

"එහෙනම් අපි යමු..මෙහෙම සිටුවේශන් එකක එතන ඉන්න බෑනෙ පාරෝ."

විශ්ව ඇයගේ උරවටා අත් යවමින් ඇයව ආපසු හරවා ගත්තේය.

"පාරෝ...if you don't mind.."

ඔහු ආපිට එන අතර අතරමග කතාව නවතා ඇය දෙස මොහොතක් බැලුවේය.

"Can we have a chat either in your room or mine...."

විශ්ව ගැන අහිතක් සිතන්නට කිසිත් කාරණා නැත. පාරමී නිහඬව සිනාවූයේ ඇයගේ කාමරය දෙසට අතදිගු කරමිනි.විශ්ව ඇයගේ අත මොහොතක් අල්ලාගෙන බලා උන්නේය.

"Thank you girl...for trusting me this much.."

විශ්ව දැඩි ලෙසම හැඟුම්බර හඬින් පැවසීය.

"ඔයා මගේ හොඳම යාලුවා විශ්ව...ආයෙ ඒ ගැන කියන්න දෙයක් නෑ...එන්න ඇතුලට.."

පාරමී ඉස්සර වූවාය.

කාමරයේ බැල්කනියට විවර වූ දොරට එහා පසින් වේවැල් පුටු දෙකක් තබා තිබුණි.විශ්ව එහි හිඳගත් පසු පාරමී මොහොතක් බලාඋන්නාය.

"Shall we have a coffee ?"

පාරමී ඇසුවේ අසුනෙන් නැගී හිඳිමිනි.

විශ්ව හිස වනා අනුමැතිය දුන් පසු පාරමී ඔහු වෙතින් කාමරය තුළට නික්ම ගියාය.

අහස නිල් පැහැයෙන් දිදුලන්නේ වලාකුළු අවම හෙයිනි.සඳ අහස පුරා අපූරුවට පායා ඇත.විශ්ව හිස පිටුපසට අත්බැඳ මොහොතක් උන්නේය.

අසල කුඩා මේසය මතවූ පාරමී ගේ ජංගමයේ කෙටි පනිවුඩයක් ආ හෙයින් තිරය එළියෙන් බැබලුනි.එහි මුහුණතේවූ සේයාරුව දුටු වනම විශ්ව තිගැස්සී ගියේය.

ඔහු වහා පාරමීගේ ජංගම දුරකතනය අතට ගත්තේ ඒ රුව යළි මැකෙන්නට පෙරය.ඒ හා සමගම පාරමී කෝපි කෝප්ප දෙකද රැගෙන බැල්කනියේ දොරෙන් මතුවූවාය.

විශ්ව ජංගමයේ ඇති රුව සහ පාරමී දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.පාරමී ඇය අතවූ කෝපි කෝප්පය විශ්ව අත තබා සිය ජංගම දුරකතනය ගෙන ඔහු බලා උන් මුහුණත දෙස මොහොතක් බලා සිනාවී එය පසෙක තැබීය.

"ඇයි එහෙම වුණේ ?"

විශ්වගේ හඬ පුරා පැතිරුණේ ශෝකීබවකි.

"ඒක දිග කතාවක් විශ්ව."

පාරමී සිනාවූයේ කිසිදු ගණනකට නොගෙනය.

"මට කියන්න බැරි එකක් ද ?" විශ්ව ඇසුවෙ පාරමී දෙසම නෙත් යොමා ගෙනය.පාරමී හිස දෙපසට වනා හිනැහුණේ ඉතා සැහැල්ලුවෙනි.

"කියන්න බැරි මොකුත්ම නෑ විශ්ව.ඒත් අපි ඉස්සෙල්ලා කතාකරන්න ඕනෙ ඔයා ගැන.ඔයාගේ ගැටලු ගැන.මේක විසඳුණ ප්‍රශ්නයක් මගෙ ජීවිතේ .ඉතින් ඒක වෙන වෙලාවක ඔයාට මම කියන්නම්"

පාරමී පැවසුවේ කෝපි බඳුන තොලගාමිනි.

"හ්ම්ම්."

විශ්ව නිහඬවම ඇය දෙස මොහොතක් බලා උන්නේය.දෙවුරට කඩා හැලෙන කෙටි කොණ්ඩය පාරමී අතින් පසෙකට කරමින් අහස දෙස බැලුවාය.

"ඉස්සර අම්මා මා එක්ක ගෙදර මිදුලේ තියන බංකුවට වෙලා සිංදු කියනවා විශ්ව.අහසෙ තරුයි හඳයි කණාමැදිරියෝයි පෙන්න පෙන්න...තාත්තා නැති එක අම්මාට කොච්චර දැනෙන්න ඇත්ද කියල මම දැනගත්තේ අම්මා එක පාරක් සිංදුවක් කියල කඳුළු බේරි බේරි ගෙට ගියාම.හුඟක් පුංචිකාලෙදි උනත් මට ඒ දුක දැනුණා."

පාරමී අතීත මතකයක් ගෙනහැර මිමිණුවාය.

"ඔයා අහල තියද මාලනී බුලත්සිංහල කිව්ව...

මා එක්කලා අමනාපව වී දබර

දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර සිංදුව...අන්න ඒක...අදටත් අහන කොට මට මාරම දුකක් එනවා විශ්ව.ඒක සියයට සියයක් අම්මගෙ තාත්තගෙ කතාවට නොගැලපුනත් තාත්තා මැරුණට පස්සෙ අම්මට කොච්චර තනිකමක් දැනෙන්නට ඇත්ද කියල මට හිතුණා.බැඳීම් කියන දේවල් මිනිස්සුනට ඇතිවෙන්න ඕනෙ සතුට සැනසීම ගේන්න විශ්ව. නැතුව නාස්තිවෙලා විනාශ වෙන්න නෙවෙයි..."

පාරමී උදාහරණයේ අගට තමාට පාඩමක්ද කියාදුන් බව විශ්වට වැටහුණි.

"මං වටේ තිබ්බ ඔක්කොම බැඳීම් මට ගෙනාවේ දුකක් වේදනාවක් කලකිරීමක් විතරමයි පාරෝ. මට දුක මම නාස්තිවුණ එකට.නිසල් වගේ හොඳම යාලුවො මගෙ වටේ ඉද්දිත් මම නාස්තිවුනා.වෙන කොල්ලො නැතිවෙන්නෙ නාස්තිවෙන්නෙ යාලුවො නිසානෙ...මගෙ යාලුවො ඔක්කොම බැලුවෙ මාව ගොඩගන්න...ඒත් ඒක මගෙම වෙලාව"

විශ්ව පැවසුවේ මහත් වේදනාවෙනි.

"ඒ කාලය දැන් ඉවරයිනේද විශ්ව? කෙනෙක්ට තමන්ගෙ වැරදුන තැන් වැටහෙනව නම් ඒ තැන්වලින් මිදෙන්න ඕන කියල හිතෙනවනම් අන්න ඒ insight එකම ඇති දිනන්න.අපි අතීතය මත්තේ කම්පා වෙවී නොඉඳ අද ඉඳලා ජීවිතේ ඉස්සරහට යන්නයි ප්ලෑන් කරන්න ඕනෙ."

පාරමී පැවසුවේ මහත් දයාර්ද හඬිනි.

ඔව් පාරෝ...මම මේ ටිකේම නිසල් එක්ක අයෙ ප්ලෑන් කලේ මගේ ඩ්‍රීම් කම්පැනි එක අලුත්ම විදියට ආයෙ හදන්න.මට මගෙන් නැතිවුනේ කම්පැනි එකක් විතරයි.ඒත් මගෙ skills මගෙ commitments මගෙ knowledge ඔය ඔක්කොම තාම මගෙ ළඟ.අලුතින් ම අලුතින් ම මම ඒක ආයෙ හදනව."

විශ්වගේ හඬෙහි වූයේ පුදුමාකාර උද්‍යෝගයකි.පාරමී මහත් සතුටකින් ඒ වත දෙස බලාඋන්නාය.

"මගෙ ජීවිතේ achievements වලදි මට ඒවා කියල සතුටු වෙන්න ඔයාගේ අම්මා වගෙ අම්මෙක් උන්නෙ නෑ පාරෝ.කිසිමම දේකින් අපෙ අම්මා සැහුණෙ නැති තරම්.අද මට ඔයා එක්ක මේ ප්ලෑන්ස් ටාගට්ස් ගැන කියනකොට ඒ අඩුව නැතිවෙලා යනවා වගෙ දැනෙනව.ඔයා, ඔයාගෙ යාලුකම මට ජීවිතේ ලැබුණ හොඳම ගිෆ්ට් එකක් පාරෝ..."

විශ්ව පාරමී ගේ අත්දෙකින්ම අල්ලාගත්තේය.

"මටත් හුඟක් සතුටුයි විශ්ව.ඔයා phoenix කුරුල්ලාගෙ කතාව දනාවනෙ.අන්න ඒ වගේ ඔයත් අලු යටින් ගිනි යටින් ආයෙ නැගිටින්න ඕනෙ.මේ රටේ ඉන්න හොඳම ව්‍යවසායකයා වෙලා ඔයා පෙන්වන්න ඔයාට මොකුත්ම නැතිවුනෙ නෑ කියනෙක."

පාරමී පැවසුවේ ඉමහත් තුටිනි.

"හොඳයි දැන් එහෙනම් නිදාගම්මු.රෑත් වෙලානෙ ...හෙට අපි කීයටද මෙහෙන් යන්නෙ."

විශ්ව අසුනෙන් නැගී සිටිමින් පැවසුවේය.

"බ්‍රෙක්ෆස්ට් ගත්තු ගමන්ම යං නේද ?"

පාරමී ඔහු පසුපසම ගමන් කරමින් ඇසුවාය.

"ඔව් නැත්නම් අව්ව වැටෙද්දි අමාරුයි ...අපි එහෙම කරමු...එහෙනම් ගුඩ්නයිට් පාරෝ...have a nice sleep..."

විශ්ව කාමරයේන් පිටට ගොස් දොර අසල රැඳෙමින් පැවසුවේය.පාරමී ඔහුට සුබ රැයක් පතා ආපසු හැරී ගියාය.

   ********************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)