Sunday, January 19, 2025

2025(2) Reflection and journalling

                                            Reflection and journalling 




මම මේ දවස් ටිකේ ගෙදර ..මගේ වාර්ෂික නිවාඩු වලින් කිහිපයක් දාලා ඉන්නවා. මාර්තු 31 වෙනකොට මේ වසරට අදාළ නිවාඩු ටික කොහොම හරි ගන්න කියලා මගේ ප්‍රධානියා මට කියනවා. ලංකාවේදී හුඟක් අවුරුදු වල මගේ නිවාඩු බොහොමයක්ම වසර අවසානයේදී ඉතුරු වුනා. සමහර වෙලාවට වැඩ අධික කම සහ විභාග වැඩ එක්ක නිවාඩු ගන්න නොහැකිත් උනා. මෙහෙදී මොන දෙයක් තිබ්බත් නිවාඩු ටික අරගන්න කියලා බේරෙන්න බැහැ.

මේ ඉතින් වින්ටර් එක නිසා ඇවිදින්න යන්න වෙන්නේ එහෙමත් දවසක. ඉතුරු ටිකේ ගේ අස්සෙම ඉන්න වෙන නිසා මම වර්ක් ලැප් එකත් කෝකටත් කියලා ගෙදර අරන් ආවා. අපේ NHS Trust එකේ අපිට තියනවා වෙනම ඔන්ලයින් කෝසස් කරන්න site එකක්.ඒකට ලොග් වෙන්න පුළුවන් අපේ work lap එකෙන් විතරයි. ඉතින් අවශ්‍ය නම් ගෙදර ඉඳන් එකෙන් ඔන්ලයින් කෝසස් කරන්න පුළුවන්.මම මේ දින කීපයට එහෙම කෝසස් කිහිපයක් කළා. 

Mental Capacity Assessment
capacity and consent
Capacity Assessment
Fall and Fall prevention

ඒ අතරට මම සාමාජිකත්වය අරන් ඉන්න Royal College of Occupational Therapist Association එකේ Free webinars වලින් මෙන්න මේ කෝස් එකත් කළා. 

Lats talk - become a leader

මේකේ එක තැනක ඒ දේශනය කල කෙනා කිව්ව දෙයක් තමයි දවසකට වතාවක් තමන්ගේ ඒ දවස තුළ කළ දේවල් ගැන Reflection සහ පිටු තුනක Journal note එකක් ලියන්න කියන එක.

දේශනයට සහභාගී වුන අපි හැමෝටම එන්න ඇත්තේ එකම සිතුවිල්ල. පිටු තුනක් මොනවද ලියන්නේ කියන එක.හැබැයි ඒ දවස තුළ අපේ වැඩකරන අංශයේ හෝ තමන්ගේ ඉලක්ක සහ අරමුණු එක්ක ලියන්න ගත්තාම පිටු තුනකට වඩා ලියන්න පුළුවන් නේද කියලා මටම හිතුනා පස්සේ.

මගේ රැකියාව ගත්තාම නම් හැම රෝගියෙක්ගෙන්ම ඒ දවස තුල මට එකතුවෙන්නේ අලුත්ම අත්දැකීමක්. ඒ වගේම ඇති අනෙක් අයගේ වුනත්.

අපි reflection එකක් ලිවීමේ වැදගත් කම වෙන්නේ අපි කරන ලද්දාවූ වැඩ කටයුතු ගැන ස්වයං විවේචනයක් අපි විසින්ම කිරීම.

සාමාන්‍යයෙන් reflection එකක් ලියන කොට අපිට අන්තර්ජාලයෙන් විවිධ models භාවිතා කරලා reflection එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම තමන්ට නිදහස් ආකාරයට තමන්ම ලියන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ලියන්නේ HCPC (Health Care Professions Council)එකෙන් අපිට දීලා තියන එකකට. එක හුඟක් පහසු එකක්.

what had happened?
(මොකක්ද වුණ සිදුවීම? අත්දැකීම හෝ සහභාගී වුන කටයුත්ත...ආදිය) 

මෙතැනදී වෙන්නේ අදාල සිදුවීම විස්තර කිරීම. කෙටියෙන් වගේම අවශ්‍ය ම විස්තර ලියලා.

what did you do in that event?

මේකෙදි ලියන්නේ තමන් ඒ අදාල කාරණයේදී කල කි දේ....සක්‍රියව දායක වුනාද? එහෙම නම් ඒ මොනවද? ආදිය 

what did you learn from that event?

ඉන් පස්සේ අපි ලියන්නේ මේ අදාල කාරණයෙන් අපි ඉගනගත්තේ මොනවද කියන එක. සමහරක් වෙලාවට මේ අදාල අවස්ථාව අපිට අලුත්ම එකක් නම් අපි ඒ ගැන මොකුත්ම නොදන්නවා වෙන්න පුළුවන්. අවන්කවම තමන්ගේ උගත් පාඩම් ලිවිම වැදගත්. ඒ වගේම අපෙන් වුන අතපසු වීම්, වැරදීම් පවා ලියන්න පුළුවන් 

If you have another chance to do this again what would you do as a change?

ඉන් පස්සේ අපිට ලියන්න පුළුවන් ආපහු සැරයක් මේ වගේම අවස්ථාවක් ආවොත් මොකක්ද කරන්නේ කියලා. එතකොට අර පරණ වැරදි නිවැරදි කරන් මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්නේ.

practical steps

හතරවෙනි කාරනේදී අපිට ඉබේම පරණ වැරදි නිවැරදි කරගන්න බැහැනේ...ඒකට අපි ගන්නාවූ ක්‍රමවේද අපි ලියන්න ඕන මෙන්න මෙතැනදී...
මේ සම්බන්ධ පාටමාලාවක් හැදෑරීම 
ඔබේ සහයක නිලධාරියෙක්ගෙන් උපදෙස් ගෙන දැනුවත් වීම.
ඒ සම්බන්ධ ලිපි කියවීම....

වගේ දේවල් .......

ඉතින් මේක හරි අපූරු වැදගත් දෙයක්.....



ඒ වගේම තමයි පිටු තුනක journal සටහනක් ලිවීම . ඔබ ලියන කාරනා වල ඉන්න අයගේ පෞද්ගලිකත්වය සුරැකීමේ වගකීම ඔබ සතු බවත් මේ වගේ journal සටහනක් ලියන කොට මතක තබාගන්න. 
ඉස්සර අපි දිනපොත් ලිව්වා මතකද? ඒ හා සමාන දෙයක් මේකත්..නමුත් මෙතන වෙනස ඔබ ලියන්නේ විශ්ලේෂණය කරන්න අවශ්‍ය කාරනා සමුහයක් වීම.

මම හිතාගෙන ඉන්නවා ලබන සතියේ වැඩට ගියාම මේ පිටු තුනේ journal සටහන ලියන්න ගන්න. Reflection නම් මම කොහොමත් ලියනවා මගේ වෘත්තිමය කාරනා වෙනුවෙන් මගේ portfolio එකට අවශ්‍ය වෙන නිසා. 

මොකද කියන්නේ පොඩි උත්සාහයක් දරමුද? 

මම පසු දවසක බ්ලොග් සටහනකින් මගේ progress එක අරන් එන්නම් .

**************************************************************************

ස්තුතියි කියවන්න ආවාට..

මම විසිරි සිහින ලියන,
කිත්මා වාසනා දහනායක  




Sunday, January 12, 2025

2025 (1) . නොවැටී ඉන්න ( fall prevention)

 2025 ජනවාරියේ ඉඳන් ආපහු බ්ලොග් එක ලියන්න ඕන කියල ඔන්න එක හිතින් හිතාගත්තා. අඩුගානේ සතියකට එකක් වත් ලියන්න තමයි හිතේ නම් තියෙන්නේ...බලමු ඉතින්...

**************************************************************************

                                Fall and fall prevention 




මම දැනට වැඩ කරන්නේ Inpatient rehabilitation hospital එකක.

මේකට වැඩිපුරම ඇතුල් කරගන්නේ වයසට ගිය අම්මලා තාත්තලා තමයි. ඒ හුඟක් දෙනෙක් එන්නේ වැටීම් නිසා අස්ථි බිඳීම් හේතුවෙන්. දන්නවනේ වයසක ප්‍රජාව ලෝකේ කොහේ කියලත් වෙනසක් නැහැ..වැටෙන්න තියන ඉඩ වැඩියි..ඒ වගේම අස්ථි බිඳීම් වෙන්න තියන ඉඩත් වැඩියි.

ඉතින් මම හිතුවා මේ අස්ථි බිඳීම් සහ වැටීම් අවම කරගන්න එක ගැන ටිකක් ලියන්න. දීර්ඝ ලිපි නම් නෙවෙයි කෙටි ඒවා කිහිපයක්. 

මේ දවස්වල එංගලන්තයටත් සීතල ..හිම ත් වැටෙන කාලේ. ඉතින් අපිට වැටීම් නිසා එන ලෙඩ්ඩු ටිකක් වැඩියි.ඒක සාමාන්‍යයෙන් සීත සෘතුවේදී මෙහෙ පොදු කාරණයක්.

මොකක්ද වැටීමක් (fall) කියන්නේ?

එංගලන්තයේ දත්ත අනුව නම් වසරකදී අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තුන්දෙනෙක්ගෙන් එක අයෙක් වැටීම් වලට (fall) ලක් වෙනවා.වයස අවුරුදු අසූවකට වැඩි නම් මේ අගය දෙන්නෙක්ට එක අයෙක් දක්වා වැඩි වෙනවා. ඉතින් එහෙම බැලුවාම වැටීමක් කියන්නේ තදබලම සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙහෙට. ලංකාවේ වුනත් මේ අගයයන් මේ ආකාරයටම ඉතින් සෞඛ්‍ය අවශ්‍යතාවයක් ලෙස පවතිනවා ඇති.

වැටීමක් කියන කාරණය ආබාධිතතාවයක් එන්න මුලිකම හේතුවක් විදියටත් සැලකෙනවා.ඒ වගේම පුද්ගලයෙක්ගේ මරණය පවා ඇතිකරවන්න මේකට පුළුවන්.

ගෘහස්ත පරිසරයකදී ඇතිවන අනතුරු අතර ප්‍රධාන එකක් ලෙසත් වැටීම් හඳුන්වන්න පුළුවන්.

රටක ජාතික සෞඛ්‍ය පද්ධතියට අධික වියදමක් ඇතිකරන කාරණයක් ලෙස වැටීම් සලකන්නේ ඒකයි.


                                    WHO definition of falls

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැටීමක් කියන්නේ යම් පුද්ගලයෙක් තමන්ගේ අනුදැනුමකින් තොරව තමා ඉන්නා තැනින් බිමට (පොලවට) හෝ වෙනත් පහල ස්ථානයකට පතිත වීම.


මගේ වර්තමාන සේවා ස්ථානයේදී රෝගියෙක් බිම හදිසියේ සමබරතාවය නැතුව ඉඳ ගත්තත් ඒක ගණන් ගැනෙන්නේ වැටීමක් ආකාරයටම තමයි. Controlled fall 

වැටීම් ගැන වගේම වැටීම් වලක්වාගැනීම ගැනත් මිනිස්සු දැනුවත් වෙන්න අවශ්‍ය ඒකයි.

වැටීමක් සම්බන්ධයෙන් ගත්තාම ඒක ලිස්සා යාමක් , පය පැකිලීමක් වෙන්න පුළුවන්. වයසක ප්‍රජාව ගත්තාම ඔවුන් අනෙක් අයට වඩා මේ අවදානමට ලක්වන්නට තියන ඉඩ වැඩියි.

සරලවම කිව්වොත් පුර්ව අනතුරු වලට ලක්ව ඇති අය , වෙනත් රෝගාබාධ වලින් පෙලෙන අය වගේම දිර්ඝකාලින ගැටළු හේතුවෙන් ක්‍රියාකාරිත්වය අඩු අය වැටීම් වලට ලක්වන්න තියන ඉඩ වැඩියි.

ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක ඇති ප්‍රධානම වගකීමක් තමයි රෝගියෙක් තමන් හමුවන මුල් අවස්ථාවේදීම මේ වැටීම් සම්බන්ධ මුලික ඇගයීමක් කිරීම.

වැටීමකින් වෙන්න පුළුවන් අනතුරු මොනවද?

වැටීමක් නිසා සුළු වගේම විශාල අනතුරු වෙන්න පුළුවන්. පහත සඳහන් වන්නේ එවන් අනතුරු 

01. උකුල් අස්ථි බිඳීම්  (Hip fractures)
02. මැණික් කටුව ආශ්‍රිත බිඳීම් (wrist fractures)
03. කැපුම් සහ ඉරීම් (cuts and lacerations)
04. ගැඹුරට ඇතිවන සීරීම් ( Deep bruising)
05. සියුම් පටක වල ඉරීම් ( soft tissue injuries)
06. සන්ධි භග්නයන්   / සන්ධි පැනීම් ( dislocations)
07. මාංශ පේශි ඇදීම් (sprains)
08.සන්ධි ආශ්‍රිත වේදනාවන් (Increase in joint pain)
09. දීර්ඝ වෙලාවක් වැටුන තැන ඉන්නට සිදුවීම. ( A long lie) **
10.තව අයෙක් මත තමන්ගේ කටයුතුවෙනුවෙන් යැපෙන්නට සිදුවීම. (dependency)
11.හුදෙකලාවීම ( isolation)
12. මානසික ගැටළු  ( depression)වැනි 
13. ක්‍රියාකාරිත්වය අඩුවීම් ( reduction in activity)

**(කෙනෙක්ට වැටුනාට පසුව තනිවම නැගී ඉන්නට බැරි නම් සහ නිවසේ කවුරුන් හෝ නැත්නම්)

වැටීමකට හේතුවෙන ප්‍රධාන කාරණා මොනවද කියල ඔබ දන්නවද?

01. වයසට යාම එක්ක ඇතිවන ඇසීම සහ පෙනීමේ දුර්වලතා 
02.ඒ පුද්ගලයා භාවිතා කරන ඖෂධ වර්ග 
03. පාකින්සන් රෝගය සහ ආඝාතය වැනි රෝග තත්ත්ව.
04. ඩිමෙන්ෂියාව  

රෝගියෙක් ගන්න බෙහෙත් සම්බන්ධව තමන්ගේ වෛද්‍ය වරයා සමග මනා පැහැදිලිකිරීමක් ඇතුව ඉන්න එක හරිම වැදගත්.සමහරක් බෙහෙත් වර්ග වල අතුරු පල නිසාත් වයස්ගත් පුද්ගලයන්ගේ වැටීම් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වෛද්‍ය වරයා එක්ක ඒ බෙහෙත් ගැන හොඳ අවබෝධයකින් ඉන්න හැමෝම වගබලා ගන්න ඕන. 

පාකින්සන් රෝගය කියන්නේ ස්නායු පද්ධතියට සම්බන්ධ රෝගී තත්වයක් බව ඔබ දන්නවනේ. ඉතින් මෙවන් තත්වයකින් පෙලෙන අයෙක්ගේ වැටීම නිතර වෙන්න පුළුවන්. මේ වගේ රෝගීන්ගේ අතපය වල ඇති වෙවුලන සුළු ස්වභාවයන්, මාංශ පේශිවල තද බව, ක්‍රියාකාරිත්වයේ වේගය අදාළ වීම වගේ කාරනා මේකට හේතුවෙන්න පුළුවන්. 

**************************************************************************
දීර්ඝව මේ වගේ සටහනක් කියවන කොට ටිකක් කම්මැලි ත් හිතෙන නිසා මම පොඩි කතාවක් ලියන්නම් මේ වගේ රෝගියෙක් සම්බන්ධව.




අපි එයාට බොබ් කියමුකෝ. අන්වර්ථ නාමයක් තමයි මේ .

බොබ් ඉන්නේ එයාගේ නෝනා එක්ක ගෙදරක. බොබ්ගේ  නෝනා ත් ටිකක් රෝගී අයෙක්. අසනීප වෙන්න කලින් බොබ් තමයි එයාගේ නෝනාගේ වැඩ වලටත් උදව් කලේ. මේ වැටීම් සම්බන්ධ කාරණය වෙන්න කලින් බොබ් ගේ ඇතුලේ කිසිම ආධාරයක් නැතුව ඇවිද්දා වගේම එලියේත් සැරයටියක් එක්ක ඇවිද්ද.

පාකින්සන් රෝගය උත්සන්න උනාට පස්සේ බොබ් ට බොහොමයක් දේ අමතක වෙන්න ගත්තා. කොටින්ම කිවොත් නිදාගන්න ඇඳට යාම පවා මතක වෙලා සාලයේ සෝපාවේ නිදාගන්න එයා හුරුවෙලා තිබුනා. නෝනා ගේ වැඩ වලටත් කලින් උදව් කල බොබ්ට තමන්ගේ එදිනෙදා කටයුතු පවා අමතක වෙන්න ගත්තා. එක සතියක් ඇතුලත වාර කිහිපයක් එයා වැටෙන්න ගත්තාම එයාව වෛද්‍ය වරයා ගාවට එක්කන් යන්න සිදුවෙලා තිබුනා.

බොබ් ගේ රෝග ඉතිහාසය බැලුවාම එයා පාකින්සන් රෝගයට ක්‍රමයෙන් ගොදුරු වෙමින් උන්නා. එයාගේ පසුගිය වසර තුල කිහිප පාරක්ම බිම ඇදවැටීම් අනතුරුදායක සලකුණු පෙන්වා දෙමින් තිබුනා. සන්වෙදනයන්ගේ දුබලකම්, වැඩිවෙලා උන් තැනින් නැගිටිනකොට එන ක්ලාන්ත ස්වභාවය...අපි මේකට   postural hypotention කියලා කියනවා...ඒ වගේම එයාගේ ශරීර බර වේගයෙන් අඩුවෙලාත් තිබුනා ..නින්ද මන්දකමතවත් කාරණයක්..ඒ වගේම බෝබ්ගේ hallucination වගේ භින්නෝන්මාද ලක්ෂනත් මතුවෙලාතිබුනා.

බොබ්ගේ රෝගයත් එක්ක අනතුරුදායක ලක්ෂණ ලෙස හඳුනාගත්තේ මෙන්න මේවා 

01. නිතර නිතර වූ වැටීම් 
02. විජලනිය තත්වය 
03. බර අඩුවීම 
04. නිදාගෙන හෝ ඉඳගෙන ඉන්නා තැනින් නැගිටිනවිට ආ ක්ලාන්ත ගතිය වගේ දේවල්.
05. නින්ද මඳකම 
06.භින්නෝන්මාද ලක්ෂණ 
07.සමබරතාවයේ අඩුකම 
08.පෝෂණය අඩුකම 
09.මානසික අසමතුලිතතාවය.

ඉතින් මේ වගේ රෝගියෙක් වෙනුවෙන් ප්‍රතිකාර සටහනට වැටීම් අවම කරන එක එක්කාසු වුනේ පහත ආකාරයට 

01.මුලිකවම එයාගේ වැටීම් සම්බන්ධ පුර්ණ ඇගයීමක් කරන්නට සිදුවුනා.
02. බොබ් එක්ක එයාගේ නිවෙස් පරිසරයේ ඇති වැටීම් වලට හේතුවෙන්න පුළුවන් කාරනා කතාබහ කරනු ලැබුවා.
03.බොබ් සම්බන්ධව ප්‍රතිකාර වැඩ සාටහනක් තීරණය වුනා.
04. ඇස් පෙනීම සහ කන් ඇසීම නිවැරදිව පරික්ෂා කොට ඊට අදාළ සායන වලට යොමු කිරීම සහ ඇස් කන්නාඩි සහ ශ්‍රවණ ආධාරක ලබාදීම සිදුකරනු ලැබුවා. ඒ වගේම බොබ් ඒවා නිවැරදිව භාවිත කරනවද යන්න සොයා බැලුවා.
05. බොබ් ව භෞත චිකිත්සක වරයෙක් වෙතට යොමු කොට නිසි ඇවිදීම් ආධාරකයන් ලබාදෙනු ලැබුවා.
06.ඔහුගේ ඇවිදීම චිකිත්සක වරුන් විසින් අධීක්ෂණයට ලක් කළා.
07.ඔහුගේ පෝෂණය සහ පානයන් ලබාගැනීම ට උනන්දු කරවා ඒ සඳහා අවශ්‍ය යොමු කරවීම් කරනු ලැබුවා.
08.බොබ් ගේ ඇඳ සහ එයට අවශ්‍ය රාමු ගැන ඇගයීමක් කළා.
09.ඔහුගේ වැසිකිලි යාම කාලසටහනකට අනුව සකසා උනන්දු කරවීම කළා.අවශ්‍ය විටක මුත්‍රා බඳුන් , ඩයපර් භාවිතය ට උනන්දු  කළා.
10. පාකින්සන් රෝගයට අදාල බෙහෙත් නොකඩවා ගැනීම ට උනන්දු කරවූවා.
වෘත්තීය චිකිත්සක වරයා විසින් නිවාස ඇගයීමක් කර අවශ්‍ය උපකරණ ලබාදෙනු ලැබුවා. 
11. සමාජ සේවා නිලධාරියා සම්බන්ධ කොට සහායකයන් ගේ සේවාව ලබාදෙනු ලැබුවා. 

මේ කාරනා ගත්තාම මේ හැමදේම ඉතා පහසුවෙන්  බොබ් නැවත වැටීම වලක්වා ගන්නට යෝජනා කළා මෙන්ම ඒවා ලබාදෙන්නටත් මේ රටේදී පුළුවන්. සති කිහිපයක් ඇතුලත වැඩ සටහන නිමා කරන්නත් පුළුවන්. 

නමුත් අපේ රටේ මෙහෙම පහසුකම් නැති බව මමත් පිලිගන්නවා. නමුත් මේ රටේ වගේ නෙවෙයි අපේ රටේ හුඟක් වෙලාවට වයසක ප්‍රජාව රක බලා ගන්නට පවුල් දායකත්වය ලැබෙන නිසා මේ ලිස්ට් එකෙන් සමහරක් කාරනා කරගන්න පුළුවන්.

කෙනෙක් වැටෙන්නට පෙර ඔවුන්ගේ පරිසරය සකසන එක ඉතාම වැදගත් වන්නේ..වැටුනාට පස්සේ එන ආබාධ සහිත තත්වයන් ගෙන් ගොඩ ඒම පහසු නොවෙන නිසා...

******************************************************************** 

වැටීම් සහ ඒවා වලක්වා ගන්න ආකාරයන් , උපදෙස් එහෙම එක්ක 
සම්බන්ධයෙන් තවත් තොරතුරු ටිකක් තවත්  පොස්ට් එකකින් අරන් එන්නම් .

ස්තුතියි කියෙව්වාට 

මම 
විසිරි සිහින ලියන,
කිත්මා වාසනා දහනායක 


Saturday, June 15, 2024

අහම්බකාරක සතුටු හැඟීම්

 අහම්බකාරක සතුටු හැඟීම්




කලින් දවසක සතුටු කතන්දර වලට මම අපේ හොස්පිට්ල් එකේ ප්‍රෝග්‍රෑම්ස් ගැන ලිව්වා මතක ඇති නේ....

ඉතින් අදත් එහෙම දවසක්...

රෝද පුටුවෙන්, ඇවිදින ෆ්‍රේම් එකෙන් ,සැරයටියෙන් එන ගතින් වියපත් වුණත් වියපත් නොවන හිතැත්තෝ හය දෙනා අපි එක්කරගෙන එනවා.

සාමාන්‍යයෙන් ඒ අය කෑම ගන්න රවුම් මේසය වටා එයාලා ඉඳගත්තාම අපිත් එයාලා අතරින් ඉඳගන්නවා...

මට තවමත් ආගන්තුක වුණත් එයාලා කතාකරන මාතෘකා හරි අපූරු ඒවා ..

ෆුට්බෝල් මැච්, සංගීත සංදර්ශන වගේ එයාලාගේ විනෝදාස්වාදයට ගැලපෙන ඒවා ගැන සංවාදයේ යෙදෙන්නෙ...

ඒ අතර සමහර දාට එයාලාගේ මනාපය පරිද්දෙන් අපි කාගේ හෝ ජංගම දුරකතනයක youtube එකේ සිංදුත් වාදනය වෙනවා....

මම කවුන්ටරය ලඟ ඉඳන් මට බාරව උන්න patient එක්ක එයාගේ කෑම එක හදන වැඩේ යෙදෙනවා....

ඒ අතරේ මට ඇහෙනවා...

"සඳ ගිලුණත් හිරු ගිලුණත් මට කමක් නෑ..

තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ

ඔබ මා ලඟ සිටිනව නම් කමක් නෑ...කමක් නෑ...කමක් නෑ..."

මම ඉක්මනින් මගේ නිලඇඳුමේ සාක්කුව බලනවා....

සාමාන්‍යයෙන් උදේ වැඩට ආවම ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන නිසාම මගේ දුරකතනයෙන් එහෙම වාදනයක් වීම වෙන්න බෑ....

නමුත් සිංදු නොකඩවා ඇහෙන්නේ මේසේ උඩ තියන ජංගම දුරකතනයෙන්...ඒක මගේ භෞත චිකිත්සක යෙහෙලියගේ..ඇය අයිති අප්‍රිකාවට..නමුත් බොහෝ කාලයක සිට ඉන්නේ මේ රටේ...

මම මේසයට නැඹුරු වෙලා බලන කොට ඒ ජංගම දුරකතනයේ වාදනය වෙන්නේ "60-70-80 දශකයේ ගී...."තේමාවෙන් ගීත...

ශ්‍රීලංකාව ගැන හාංකවිසියක් නොදන්න අපේ patients ලා සමහරු කෑම කන ගමන් අතින් මේසෙට තට්ටු කරනවා ඒ තාලෙට අනුගතව...සංගීතය විශ්ව භාශාවක්...ඉතින් ඒකට වචන වල තේරුම අවශ්‍ය නෑ...කියන එක මට ඔප්පු වෙනවා....

"මට හරිම සතුටුයි...ඔයා මගේ අද දවස සතුටින් පිරෙව්වා.."

මම මගේ යෙහෙළියට ස්තුති වන්ත වෙනවා...

"ඒක මටත් සතුටක් කිත්මා.."

ඒ ඇයගේ නිරහංකාර ප්‍රතිචාරය...

හිතාගන්න පුළුවන් ද...මවුබිමෙන් සැතපුම් දහස් ගාණක් දුර රටක හුදෙකලාව ඉන්න වෙලාවක...ආසම කරන සිංදු ටිකක් එහෙම අන් අයෙක්ගේ දුරකතනයකින් අහන්න ලැබෙනකොට හිතට එන සතුට.....

Sunday, June 9, 2024

නිවනක් දනවන නිවහනක් දුටිමි

 නිවනක් දනවන නිවහනක් දුටිමි


ඉතින් මම මීට කලින් සතුටු කතන්දරයට ලිව්ව ජොඈන් සහ විලීගේ...දුවකගේ සහ තාත්තෙක්ගේ කතාව මතක ඇති නේ....

විලීව රෝහලෙන් ගෙදර යවන්න කලින් අපි එයාලගේ ගෙදර බලන්න access visit එකක් ගියා.Home visit එකකයි Access visit එකකයි වෙනස වෙන්නෙ...access visit එකකදි යන්නේ ටිම් එක විතරයි...රෝගියාව එක්ක යන්නෙ නෑ....මමයි මගේ සහාය භෞත චිකිත්සක නිලධාරියායි ජොඈන්ට ඇමතුමක් දීලා ඔන්න ඒ නිවහනට ගියා.....

මේ රටට රැකියාවට ආවාට පස්සෙ මම මේ වෙනකොට access visits පනහක් විතර ගිහින් ඇති....ඒත්..මම දැක්ක සුන්දර ම නිවහන ජොඈන්ගෙයි විලීගෙයි ඒ නිවහන....කියලා මම දෙපාරක්ම නොහිතා කියන්න කැමතියි....

වාහනය පාර අයිනේ නවත්තලා අපි එන පෙරමග බලා උන්නේ ජොඈන්...ගෙදර ඉස්සරහා හරි ලස්සන කහපාට බිමදිගේ පඳුරක් වගේ පිපුණ නම නොදන්නා මල්වර්ගයක්...ඒ කුඩා මිදුලේ එකකට එකක් ගැලපෙන තව මල්පඳුරු ගොඩාක් තිබුණා....

නිවසට ඇතුළු වුණාම විලීගේ පහළ තට්ටුවේ නිදන කාමරය, බිලියඩ් මේසයක් එක්ක කුඩා සාලය වගේම පුංචි කෑම කාමරය සහ මුලුතැන්ගේ...තිබුණා....

"මට ඔයාලාට උඩ තට්ටුව පෙන්වන්න ඕනෙ....මම දන්නවා...තාත්තා ඉන්න පහළ තට්ටුව බැලුවාම ඔයාලාට ඇති කියලා....නමුත් අපි උඩට යමුද...?"

ජොඈන් ඉස්සර වෙනවා ...අපි දෙන්නා පස්සෙන් යනවා....

"මේ තියෙන්නෙ අම්මා අසනීප වෙන්න කලින් ඒ දෙන්නා උන්න කාමරය..."

මම මොහොතකට ගල්ගැහෙනවා....මට ඉහළට ගත් හුස්ම පහළට දාගන්න අමතක වෙනවා...ඒ තරම්ම ..ඔව් ..ඒ තරම්ම ලස්සන, ඉහළට ඇදගත් හුස්ම ආපහු හෙලන්නට අමතක වෙන තරම්ම ලස්සන දර්ශනයක් ඒ කාමරයේ ජනේලයෙන් මට පේනවා....පහුගිය දවසක බටර්කප් පිරුණ යායක ඇවිදින්න ගිහින් කන්දක් උඩට වෙලා බලන් උන්න ජලාශය යස අපූරුවට විලීගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයේ ජනේලයෙන් පේනවා...ඒ මොහොතේ ඒ ජලාශයේ රුවලක් සහිත ඔරුවක් යාත්‍රා කරමින් තියනවා....

"ජොඈන්...මම ඔයාට යෝජනාවක් කරන්න කැමතියි.අපි ඔයාගේ තාත්තා ව තව සතියක් එහේ තියාගන්නම්.මෙන්න මේ කිත්මාට මේ කාමරයේ සතියකට නවාතැන් දෙන්න පුළුවන් ද? මොකද මට මේ වෙලාවේ පේනවා එයාව මෙතනින් ගෙනියන්න අමාරුවෙන පාටක්"

මගෙත් එක්ක ආව මගේ ඉහළ නිලධාරියා , භෞත චිකිත්සක වරයා කියන්නේ මගේ අදහස අනුමත කරමින්ම...එතන තිබුන අසුනකට බර වෙලා....

"ඇත්තෙන්ම ජොඈන් මට වුණත් ඕන ඒ දේමයි...මෙතන..මෙතන..ඇත්තෙන්ම ඒක හෙවන් එකක්..."

ඔහු කියන්නේ ජොඈන්ගේ මුහුණට සුන්දර සිනහවක්  එක්කරමින්...

හිතාගන්න අමාරුවෙන එකක් නෑ....ඒ පින්තූරය මම මේ පෝස්ට් එකට එකතු කරන්නේ ජොඈන්ගේ අවසරය අරන් ගත්තු නිසාම....



"මේ තියෙන්නේ මගෙ අම්මායි තාත්තායි හදපු ඇල්බම්...එයාලා ජීවිතේ හැම විශේෂ අවස්ථාවකටම මේ වගේ ස්ක්‍රැප් බුක්ස් අරන් ඇල්බම් හැදුවා ...."

තවත් විනාඩි ගණනාවක් අපි ඒ දර්ශනය නැරඹුවාට පස්සේ ජොඈන් කාමරයේ කබඩ් එකකින් ඇල්බමයක් ගන්නවා....පසුගිය දවසක අජිත් අයියලාගේ ගෙදර දි ඉනේස් මට පෙන්නපු එයාගේ ට්‍රැවල් ඇල්බම් ටික වගේම , අශෝකලා ඈන්ගේ ඇල්බම් ගැන කිව්ව මතකත් හිතේ තියාගෙන මම ඒ ඇල්බම් බලනවා.....මිනිස්සු කොච්චර සුන්දරද ..මට ඒ මොහොතෙත් හිතෙනවා....

"මගෙ අම්මා ගොඩාක් චැරිටි වැඩ කල කෙනෙක් කිත්මා.එයා හොස්පිට්ල් වලට , palliative care centres වලට ස්වේච්ඡාවෙන්ම වැඩ කළා...she was a great lady කිත්මා..."

එක දුවෙක් තමන්ගේ අම්මා ගැන එහෙම ආඩම්බර වෙන මොහොතේ තව දුවෙක්ගේ හිතේ අවුරුදු විස්සකට කලින් හරි ඉක්මනින් සමුගෙන ගිය එයාගේ අම්මාව මැවිලා පෙනිලා යනවා....

ඒ කාමරයේ ඇඳට උඩින් බිත්තියේ තියෙන්නේ පොත් රාක්ක ගොඩක්.විලී එයාගේ බිරිඳ එක්ක ජනේලෙන් පේන ඈත ජලාශය දිහා බලාගෙන කෝපි කෝප්පයක් බිබී පොත් කියවන්න එහෙමත් ඇති....

අපි ආපහු පහළ තට්ටුවේ...

"එන්න මේ තියෙන්නේ පිටිපස්සේ ගාර්ඩ්න් එක...මායි තාත්තායි හවසට මේ බංකුවට වෙලා මාලු බලනවා....කිත්මා ඔයා මේ පින්තූර ටිකක් අරගෙන ගිහින් තාත්තා ට පෙන්වන්න...එයා ආසවෙනවා...ඔන්න බලන්න..."

හරි අපූරු පුංචි උද්‍යානයක්...මල් පිරුණ...එක එක ornaments තැන තැන තියන උද්‍යානයේ කෙලවර බංකුවට වෙලා පොකුණේ පීනන මාලු දිහා බලාගෙන හවස් යාමයේ කෝපි කෝප්පයක් රස විඳිමින් කතාබහ කරන තාත්තයි දුවයි මට මැවිලා පේනවා...

"මේ වැටෙන් එහා තියෙන්නේ කවුන්සිල් එකෙන් කරගෙන යන පොඩි කැලයක් වගෙ එකක්...ඒකේ හර්බ්ස් එහෙම හුඟාක් වවලා තියනවා.එතනින් එහා තියෙන්නේ allotments...වගාකරන units...අපි ඉන්නේ ඇත්තෙන්ම ලස්සනම තැනක කිත්මා..."

මනුස්සයෙක් ගෙ ජීවිතේ නිවන ගැන හිතමින් මම අවශ්‍ය කරුණු සටහන් කරගන්න ගමන් අදාල මිමි ටේප් එකෙන් අරන් මනින්නේ ආව කාරණය මේ අස්සේම කළයුතු නිසා....

"මං හිතන්නේ ඔයාලාට දැන් පැහැදිලි ඇති...මම තාත්තා ව ඉක්මනින් ගෙදර ගේන්න උත්සාහ කරන්නේ ඇයි කියලා.එයා ට හුරු සුව පහසු තැන මෙතන.මේ ගෙදර එයාගේ අවුරුදු 55කට එහා මතක තියන තැන.ඔයාලාගේ සර්විස් එකට ස්තුතියි ගොඩක්ම."

අපි ආපහු හැරිලා එන්න කලින් ජොඈන් පවසන්නේ හුඟාක්ම හැඟීම්බරව.සතුටක් මුසු වුණ පොඩි කඳුලක තෙතමනයක් ඇගේ ඇස්වල මම දකිනවා.ඒ තාත්තා ඉක්මනින් ගෙදර එන සතුටට වෙන්න ඇති.

Saturday, June 1, 2024

සතුටු කතන්දර

 සතුටු කතන්දර




මේ කතාව මං ගැනමයි....

මෙච්චර දවසක් සතුටු කතන්දර ගොන්නේ ලියවුණේ මං දකින ඇසුරු කරන අයගේ ජීවිත වල සතුටු කතන්දර....

අද වෙනස් කතාවක්....

මේ සතියේ එක දිගට දවස් පහම මම වැඩ.ලෙඩ්ඩු එක්ක විතරක් වැඩ නම් කමක් නෑ....homevisits ගිහින් ගෙවල් වල තත්වය බලන්න, ඒ ඔක්කොම දවස අන්තිමේ reports ලියන්න, patients ලාගේ ගෙවල් වලින් ආයතන වලින් එන දුරකතන ඇමතුම්, විද්‍යුත් මේලයන්ට උත්තර දෙන්න....ඔක්කොම එකතු වුණාම දවස් පහ ඉවර වෙන්නෙ පොඩි හෙම්බත් කමක් එක්ක....ඒ මදිවාට දවස් දෙකක් ඇවිදින්න යන්න නොලැබීම එක්ක පොඩි කණගාටුවකුත් එක්කම තමා මම නවාතැනට ආවේ.

රෝහල කිට්ටුවෙන් පයින් යන දුරෙන් නවාතැනක් හොයාගත්තු මුල්ම දවස්වල ඉඳන් අද වෙනකල් ම ස්ටාෆ් එකේ අය කියන්නේ...."කිත්මා මාර ලකී..." කියලා...ඇත්තනෙ ඉතින් වාසනා කියන්නේ ලකී කියන එකටමනෙ...නවාතැන් ගැටලුව තදබල අන්දමටම තියන ලන්ඩන් වල මෙහෙම තැනක් හම්බ වීමම වාසනාවක් එක අතකට....අනෙක් දේ ඇවිදින්න අපූරුම ලස්සන පරිසරයක් අවට තිබීම...නමුත් වැස්ස නිසා ඇවිදීමට බාධායි මේ ටිකේම...

හොස්පිට්ල් එකට අඩි ගාණක දුරින් තියන නවාතැනේ කාමරයට ඇවිත් තේ එකක් බොන ගමන් කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා..ඇවිදින්න යන්නෙත් නැත්නම් ...මොකක්ම හරි කරන්න ඕනනේ කියලා සෑහෙන්නම වෙලාවක් කල්පනා කලා...

ළමා කාලයෙන් ඔබ්බට තරුණ වියට එනවිටත්....මැදිවියට ආ මේ වයසේදිත් මට හිතෙන් අයින් කරදමන්න බැරි විනෝදාංශයක් තියනවා ඒ තමයි මල් කොළ වියලන එක...මේ දවස්වල බැලූ බැලූ අත ඇති කැලෑමල් පොත් පිටු අතරේ නවාතැන් ගන්න අරන් ටික දවසක්..... නමුත් මම හුඟක් දෙනා අහන නිසා කියන්නම්..මම මේ වර්ණ මෙහෙමම රැඳෙන්න කියලා විශේෂ යමක් නම් කළේ නෑ.ඇවිදින්න යනකොට අරන් යන පොඩි නෝට් බුක් එක ඇතුලේ මල් කොළ දාගෙන ඇවිත් ඒවා සුදු පිටු තියන පොතක් ඇතුළට දාන එක තමා මම කළ එකම දේ....

මල් press කිරීම භාවනාවක් වගෙ දෙයක්....ඒ ඔස්සේ නිර්මාණ කරන එකත් හිත සන්සුන් කරවන, සමාධි ගත කරවන ක්‍රියාකාරකමක්.... 

ඉතින් මේ අවසන් ප්‍රතිපලය... පොත් පිටු අස්සේ තියන මල් තව තවත් මේ වගේ ෆ්‍රේම්ස් එයාලා වෙනුවෙන් එනකල් බලා ඉන්න බව කියනවා වගේ ඉතින් මට ඇහෙනවා  ..

මනුස්සයෙක් වුණාම විනෝදාංශ එකක් හෝ තියෙන්න අවශ්‍යයි...ඒ ජීවිතේ නැවුම් කරවන එක හුරුවක්...පුරුද්දක්....

දවසේ අන්තිමට ඇත්තෙන්ම මම ඉන්නේ සතුටින්.... 

"ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න...සොයා යන්න ..."

Sunday, May 26, 2024

ආදරේ දැනෙන තැන්

 ආදරේ දැනෙන තැන්




සතුටු කතන්දර ගොන්නට ලියන මේ කතාව මගේ හිත පුදුම අන්දමට සසළ කළ එකක්....

ඉරිදාවක වැඩ කරන්න වුණ දවසක ..හවස තුනහමාරට මම වෝඩ් එකට යන්නෙ අලුතින් ආව ලෙඩෙක්ගෙ මූලික ඇගයීම එහෙම නැත්නම් initial assessment එක කරන්න.

සාමාන්‍යයෙන් පැයක් ගතවෙන මේ ඇගයීම තුනහමාරට පටන් ගත්තාම ඉවර කරන්න අමාරු බව දැන දැනත් මම වාට්ටුවට යන්නේ ඒ වෙලාවේ ඔහුගෙ දියණිය වෝඩ් එකේ ඉන්නා බව හෙදියක විසින් දුරකතනය ඔස්සේ දැනුවත් කළ නිසා....

අපි ඉතින් ඒ තාත්තා ට විලී කියමුකො.දූට ජොඈන් කියමුකො.නම් දෙක නම් ඉතින් අන්වර්ථ නම්....

විලීට අවුරුදු 93යි.වියපත් තාත්තා කෙනෙක් වුණත් එයා ගෙ ඒ වයසට එයා හොඳ පෙනුමෙන් උන්නා.මම ඉතින් ගිහින් ජොඈන්ට මාව හඳුන්වලා දුන්නා...ඒ වෙලාවේ වෝඩ් එකේ අනෙක් ලෙඩ්ඩු තුන්දෙනා ගාවත් විසිටර්ස්ලා උන්න නිසා මම යෝජනා කලා අපේ day room එකට යන්න  කතාබහ වෙනුවෙන්...

සාමාන්‍යයෙන් occupational therapy ක්ශේත්‍රයට අදාලව රෝගියා කලින් වැඩ කටයුතු කරගත් හැටි, එයාගේ ගෙදර පරිසරය, එයාට අනෙක් අය උදව් කරන මට්ටම  ඇතුලු කරුණු රාශියක් අහන්න සිදුවෙනවා...

සතියකට මේ වගේ ඇගයීම් දෙකක් තුනක් කරන්න වෙනවා..ඉතින් මේ දුව තාත්තා ගැන කිව්ව දේවල් අහලා මගේ හිත පිරුණා....

"කිත්මා , ඔයාලාගෙ සර්විස් එකට මම හැම තිස්සෙම ගරු කරනවා.මගේ තාත්තා වෙනුවෙන් ඔයාලා කරන කැපවීම හරිම ඉහළයි.නමුත් මට ඉක්මනින් තාත්තා ව ගෙදර එක්ක යන්න අවශ්‍යයි"

ජොඈන් පටන් ගන්නකොටම කිව්වේ එහෙම...ඒකට හේතු විදියට ජොඈන් එයාගෙයි තාත්තාගෙයි දින චර්‍යාව මට විස්තර කරනවා මෙන්න මෙහෙම....

"ඔන්න කිත්මා මගේ තාත්තා උදේ හතහමාරට නැගිටිනවා.එයා දැන් ඉන්නේ පහළ තට්ටුවේ කාමරයේ.ආ...ඔයාට කියන්න බැරිඋනානෙ...ඉස්සර තාත්තා අම්මා එක්ක උන්නේ උඩ තට්ටුවේ..2014 දි අම්මාට ඩිමෙන්ෂියා ව හැදුණා..ඉතින් අම්මාගේ පරෙස්සම වෙනුවෙන් අම්මා පහළ තට්ටුවට ආවාම තාත්තා ටත් ඕන වුණා අම්මා පෙනෙන සීමාවේ ඉන්න...ඒ ගමන අපි ඒ දෙන්නාව මේ පහළ ලිවින් රූම් එකේ ලොකු ඇඳක් දාලා ඒකට එක්කන් ආවා.අම්මා මීට අවුරුදු තුනකට කලින් මැරෙනකල්ම අම්මයි තාත්තයි උන්නේ ඒ පහළ කාමරයේ...හරි...ඔන්න ඉතින් තාත්තා නැගිටලා මම ඇහැරලා නැත්නම්..මට ඇලෙක්සා හරහා මැසේජ් එක දෙනවා...ඔයා දන්නවද ඇලෙක්සා ගැන....?"

මම නොදන්නා බව ඇයට පවසන්නේ මේ අපූරු කතාන්දරයේ විස්තර අහන කුතුහලයෙන්...

"ඇලෙක්සා කියන්නේ ඇමසෝන් එකෙන් ගත්තු  උපකරණයක්...ඒක තාත්තාට සිංදු අහන්න ඕන වුණාම සිංදු තෝරලාත් දෙනවා... තාත්තාට මා එක්ක කමියුනිකේට් කරන්න අවශ්‍ය වෙලාවට පණිවුඩ හුවමාරු කරනවා...මගේ දුරකතන අංකය ඒකට ගබඩා කරලයි තියෙන්නෙ...ඉතින් ඔන්න එතකොට ජොඈන් ඩිං ඩිං ඩිං ගාලා පඩිපෙල දිගේ පහළට දුවගෙන එනවා....නේද තාත්තා ...."

විලී ඔලුව වනනවා හිනා වෙවී...සමහර වෙලාවට පොඩි කෙල්ලෙක් කාලේ ජොඈන් තාත්තා එක්ක හුරතල් වුණ අන්දම විලීට ආපහු මතක් වෙනවා ඇති.මම ඉක්මනින් ගිහින් තාත්තා ගෙ බ්‍රෙක්ෆස්ට් එක හදනවා...එතකොට තාත්තා එයාගේ ෆෝ වීල් වෝකර් එකෙන් හෙමිහිට කිචන් එකට එනවා.අපි පාන් ටෝස්ට් කරලා තේ හදාගෙන කිචන් එක ගාව තියන පොඩි මේසෙට වෙලා කතාකර කර බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා.ඔයා මොකුත් හිතන්න එපා.එයා මූණ සෝදන්නේ කාලා ඉවරවෙලා...බඩගිනි නැතිකරන් ඉන්න ඕනනෙ ඔක්කොටම කලින් නැද්ද තාත්තා .....?"

ආපහු හිනා සාගරයක් day room එක හරහා ගලා යනවා.සැතපුම් දහස් ගාණක් දුර ඉන්න මගේ තාත්තා මට ඒවෙලාවට මතක් වෙනවා.

"තාත්තා වයසට යන්න යන්න එයාට මතකය ටිකක් අඩුවෙන්න ගත්තා.එයා ව බලාගන්න වුණේ බබෙක් වගේ.නමුත් එයාට ජොඈන්ව අමතක වුණේ නෑ කිසිම වෙලාවක...තාත්තා ට බාත් එකට බහින්න අමාරුවෙනකොට මට බාත් සීට් එකක් ලැබුණා හොස්පිට්ල් ටීම් එකෙන්.මම එයාව පරෙස්සමින් නාවලා පුටුවක වාඩිකලාම එයා තනියම රැවුල කපාගෙන දත් මැදගන්නවා"

පුංචි කාලේ දුවෙක්ගේ ඔක්කොම වැඩ කළ තාත්තෙක්ව දැන් දුව දරුවෙක් වගේ බලාගන්නවා.ජීවිතේ හරි පුදුමයි.දුකයි තමයි..ඒත් ලස්සනයි ....කියලා මට හිතෙන්න ගන්නවා....

"තාත්තාගේ ජීවිතේ සුව පහසුවෙන් තියන්න මම සම්පූර්ණ ගෙදරම එයාට ගැලපෙන්න සකස් කරලා තියෙන්නෙ....මගේ අම්මා නැතිවෙලා මාස එකහමාරකින් මට මගේ හස්බන්ඩ් නැතිවුණා..එයාට කැන්සර් එකක් තිබුණා....ඉතින් කිත්මා දැන් අපි දෙන්නාට ඉන්නේ අපි දෙන්නා විතරයි...ඔයා මගෙන් ඇහුවානේ තාත්තා ගෙදර එක්ක යන දවසක කෙයාරර්ස් ලා ඕනද කියල...දැනට එපා කිත්මා...මට එයා වෙනුවෙන් එයාගේ පහසුව වෙනුවෙන් ඔක්කොම කරන්න පුළුවන් ...අනෙක පිටස්තර අය උදව්වට ආවම තාත්තා ජීවත් වෙන්න හුරු වුණ ඒ සුව පහසු ජීවිතේ එයාට නැතිවෙයි...ඒකට මම කැමතිනෑ...."

ජොඈන් වගේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කොයිතරම් වාසනාවන්තද?

ජොඈන්ට එච්චර ලොකු හදවතක් හිමි වුණේ ඒ තාත්තා එයාව ලස්සනට හදපු නිසා නේද?

යුරෝපීය රටක දූදරු දෙමාපිය සබඳතා ආසියාතික පවුල් සංස්ථා වල බැඳීම් තරම් හයිය නෑ කියලා හිතන් උන්න මගේ හිතෙන් ඒ හැඟීම දුරස් කරදමන්න ජොඈන් සමත්වෙනවා.....

"ඔයා තාත්තා ගෙදර එවන්න කලින් විසිට් එකකට එනවානේ කිත්මා.එතකොට ඔයාට මම ගෙදර ඔක්කොම දේ පෙන්වන්නම්...මේ කිව්ව හැමදේම එතකොට ඔයාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් "

සමුගන්න මොහොතෙදි මගෙ අත්දෙකෙන් අල්ලගත්තු ජොඈන්  කියනවා.ඒ දෑත් වල ස්පර්ශයේ තියන ආදරණීය දුවෙක්ගේ උණුසුමත් එක්ක මම සතුටින් හැරී එන්නේ සුන්දර ආදරණීය නිවහනක් බලන්න යළිත් දවසක ජොඈන්ගේ සහ විලීගේ නිවසට යන බලාපොරොත්තුව ඇතිව මම ඔවුන්ගෙන් සමු අරන් ආපසු එනවා.

Thursday, March 21, 2024

මාවතක පා නගන තවත් එක සැඳෑවක



අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක

අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න

පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක

ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....


රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට

හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට

මාවතක පා නගන තවත් එක සැඳෑවක

කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....

Saturday, March 16, 2024

වියපත් නොවන හදවත්

 වියපත් නොවන හදවත්




අපේ රිහැබිලිටේශන් ප්‍රෝග්‍රෑම් එකේ කණ්ඩායම් ක්‍රියාකාරකම් හුඟක් තියනවා.රිහැබ් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් සති හයක් අටක් අතර අපිත් එක්ක ගතකරන වෛද්‍ය පුනරුත්ථාපන වැඩසටහනේදි එයාලා සාමාන්‍ය ජීවිතයට ආපහු අනුගත කරන්න  තමයි ඒ කණ්ඩායම් ක්‍රියාකාරකම් සැකසිලා තියෙන්නෙ.

සමහර අය කෙලින්ම මේ වැඩසටහන් ප්‍රතික්ෂේප කරනවා.

I am not a very social person

ඔන්න ඕක තමයි නිදහසට කාරණය විදියට එහෙම කට්ටි පනින අය දෙන්නෙ.එහෙම වෙලාවට වරකට දෙකකට වඩා එයාලට බල කරන්න අපට බෑ.ඒක ශේප් එකේ යාප්පුවෙන් මිසක බලෙන් ප්‍රතිකාර වලට ගන්න අපට අයිතිය නෑ.

ඉතින් ඒ අතරෙ ඉන්නවා බොහොම කැමැත්තෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එන අයත්.දවල් එකොලහට පටන් ගන්න phyical exercises වැඩ සටහන සකස් වෙන්නෙ එයාලාට රිද්මයානුකූලව ව්‍යායාම් ටිකක් කරවන්න.ලොකුම ලොකු තිරයක සංගීතයක් එක්වෙද්දි වාට්ටු වලින් එක එක්කෙනා day room එකට එනවා.සමහරු ඇවිද්දවගෙන, තවත් අය රෝද පුටුවෙ....එයාලා ට ඉඳගන්න පුටු රවුමට තියල තියනවා 

ලොකු වීදුරු ජනේල වලින් අව්ව පෙරිලා එනවා.එහා පැත්තෙ පුංචි කැලෑ රොදක රොබින් කුරුල්ලො අතුවලින් එහෙට මෙහෙට පැන පැන සිංදු කියනවා.day room එකේ බිත්ති වල වාට්ටුවල නම් වලට අදාල මල් වල පින්තූර.තව කොණක පුංචි පොත් රාක්කයක්...එතකොට ව්‍යායාම කරල ඉවර වුණාම සමූහයක් ලෙසට එකතු වෙන පොඩි games ටිකකුත් අපේ ගාව තියනවා.

තවම හිටගන්න බැරිඋනත් පුටුවෙ වාඩිවෙලා ඉන්න අතරෙත් වාදනය වන හැට හැත්තෑවේ දශක වල ඉංග්‍රිසි සිංදුවලට නටන ඉලක්කමින් වයසට ගියත් හදවතින් තරුණ ටික දෙනෙක් මං ඉස්සරහ තාලෙට පැද්දෙනවා.එයාලා අල්ලන් ඉන්න වෝකර්ස් වල උඩ තියන් ඉන්න අත්වල ලස්සනට කියුටෙක්ස් එහෙම ගාලා මුදු දාල හැඩට එයාල ඉන්නෙ.

එයාලාගෙ තවත් එක කණ්ඩායම් ක්‍රියාකාරකමක් තමයි අපේ breakfast group එක.දවසකට හය දෙනෙක් ...හැමෝම බෙදිලා යන ආකාරයට කාලසටහනට වැටෙනවා.ඉතින් උදේ අටහමාරට එයාලා අපි එක්ක අපේ model kitchen එකට එනවා.මුල් දවස්වල තේ එක හදාගන්න අපි උදව් වෙන්න ඕනෙ.සමහර අයට පොඩි කෙට්ල් එකෙන් වතුර වක්කරගන්නවත් බෑ...පාන් පෙත්තක බටර් ගාගන්න බෑ ....නමුත් එයාලා ටික ටික තමන්ගේ සරල කෑම වේලක් හදාගන්න අපි එක්ක හුරු වෙනවා.ඉන් පස්සෙ ඒ හයදෙනා රවුම් කෑම මේසෙට වාඩිවෙලා කතාකර කර කෑම කනවා.මේක පිටින් බැලුවාම සරල එකක් උනාට ඇත්තෙන්ම පහසු නෑ.නමුත් මේ හැම කෙනෙක්ම ස්වාධීන වෙන්න කැමති නිසා මේ ක්‍රියාකාරකම් වලට එකතුවෙනවා.

අවුරුදු අසූව අනූව වෙද්දිත් තමන් ගෙ වැඩ තමන් කරගන්න ඕන...ළමයින්ට කරදරයක් වෙන්න බෑ කියල හිතන ආච්චි අම්මලා තමා ගැහැණු වාට්ටු තියන තට්ටුවේ වැඩියෙන්ම ඉන්නෙ.ඒ අය එක්ක ගතකරන කාලය ඇත්තෙන්ම හිත සතුටින් පුරවලා දෙනවා.

වයසට ගියත් ක්‍රියාකාරී වෙන්න...සතුටින් ඉන්න...එයාලා මටත් උගන්වනවා....

Sunday, March 3, 2024

තෑග්ග





සතුටු කතන්දර කිහිපයක්ම ලියන්න අතමානයේ තියෙද්දිත් අද අහම්බෙන් සිදුවුණ පොඩි කතාවක් ලියන්න හිතුණා.

දිවා ආහාරයෙන් පස්සෙ ආපහු සැරයක් පේෂන්ට්ස්ලා බලන්න වාට්ටුවට රවුමක් ගිහින් එනවා මම.සමහර අයව දවසට දෙපාරක් බලන්න ඕනෙ නිසා.

ඉතින් ඔහොම යන වෙලාවක එක ආච්චි අම්මෙක් මට අතවනලා කතාකරනවා.එයාට අපි මාරි කියමුකො.සාමාන්‍යයෙන් මාරි කියන්නෙ ටිකක් කේන්තිගන්නට බර එක්කෙනෙක්.ප්‍රතිකාර කටයුතු වලදි බෑ කියාගත්තු ගමන් ඉන්න එක්කෙනෙක්.බොහොම යාප්පුවෙන් ඇවිටිලි කරලා තමයි ව්‍යායාම වලට එක්කන් යන්න ඕනෙ.

ඉතින් ඒ කම්මැලි කම කොහොම වුණත් උදේට දැක්ක ගමන් "හායි කිත්මා..How are you today?" කියලා නම් මුලු වාට්ටුවට ඇහෙන්නම කෑගහන්න එයාට පුළුවන්.

ඉතින් හවස් යාමේ වාට්ටුව හරහා යන වෙලාවේ "Hey kithma ...come here darling.I have something to give you.."

කියලා ඔන්න කිව්වා.මම ඉතින් එයා ලඟට ගියේ මොකක්ද මේ දෙන්න යන්නෙ කියලා බලන්න.එයාගේ අතේ තිබුණේ හැමදාම උදේට වාට්ටුවේ පේෂන්ට්ස්ලාට දෙන්න දිනපතා පුවත්පත...ඒක මෙට්‍රෝ කියල එකක්.

"This is a gift to you from me.."

පත්තරේ මගෙ අතේ තියලා මාරි එහෙම කියනවා.පත්තරයක් උනත් එයා ඒක තෑග්ගක් කියලනෙ දුන්නේ.මම එයාට ගොඩාක් ස්තුතියි කියල පත්තරේ අරගත්තා.

"ඇයි ඔයා ඕක ඉතින් බලන්නෙ නැද්ද?"

එයා මගෙන් අහනවා.මම ඒකත් අරන් ආපහු යන්න හැදුවා විතරයි.ඉතින් හිත නරක් කරන්නෙ කොහොමද ?මම එතනම ඉඳන් පත්තරයෙ පිටු පෙරලුවා.මාරි මගෙ දිහා ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා.එයාගේ මූණෙ පොඩි දඟ හිනාවකුත් තියනවා වගේ.

ඔහ්....දෙයියනේ....මට ඇත්තෙන්ම හිනාවක්  ආවා ඊලඟ පිටුව එක්ක....

"අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මාරි....this mean so much to me.."

මම කිව්වා...

"ඒක දැක්ක ගමන් මට ඔයාව මතක් උනා.මම දන්නව ඔයා ඒක දැක්ක ගමන් ආස වෙන බව..."

එයා කියනවා....

ඉතින් ඒ තෑග්ගෙ පින්තූරයක් මේ එක්ක මම අමුණනවා.මීට වඩා සතුටක් වෙන කොයින්ද ඉතින්...ඒක මාරිට දැනුණ එක මට ඊට වඩා සතුටක්....


ආයේ එන්නම්.


මම 

විසිරි සිහින

Monday, February 26, 2024

Every little helps

 Every little helps




සුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.

ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අනෙක් දණහිස කැඩුණාම ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක්නෙ.

ජෝ ව ඇඳෙන් බස්සලා ඇවිද්දවන්න යන එක වෙනමම යුද්ධයක්.මායි මගෙ ටීම් එකේ භෞත චිකිත්සක සගයායි ඉතින් රටේ තියන තරම් චාටු බස් කියලා ජෝ ව ඇඳෙන් බිමට බස්ස ගන්න උත්සාහ කරනවා....

ජෝ ඒ එක වෙලාවක මෙහෙම අහනවා....මගේ සගයාගෙන්...

"මෙයා ඉතින් Tesco වගේ තමයි කොයිවෙලෙත්..."

ඒ දෙන්නා හක හක ගගා හිනාවෙනවා ඊට පස්සෙ. මම Tesco ගැන දන්නේ එංගලන්තයේ සුපර්මාකට් එකක් කියලා විතරයි...මම ඉතින් බාගෙට කටත් ඇරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා...

"කිත්මා ,ඔයා දන්නවද ජෝ ඒ කිව්ව එකේ තේරුම"

මගේ සගයා එහෙම අහනවා.මම මෙහේ වාඃමාලාවන් එක්ක ටිකක් ටියුබ් ලයිට් කියලා ඔවුන් දන්නවා.

"ඔයා දන්නවද Tesco එකේ ලෝගෝ එකේ තියන වාක්‍යය"

මට එහෙම මතකයක් නැති බව මම කියනවා.ලංකාවේ කාගිල්ස් එකේ "ගෙදර යන ගමන්"කියන එක හුරු උනාට මෙහෙ එව්ව තාම නුහුරුයිනෙ.

"ඒකෙ තියෙන්නෙ every little helps කියලා..මෙයා එහෙම කියන්නෙ ඔයා, තව චුට්ටයි ඔයාට පුලුවන් ....මේ ටික විතරයි...ඔයාට පුලුවන් කියලා උනන්දු කරවන නිසා"

ජෝ මට ඇහැක් ගහලා හිනාවෙනවා.කට්ටකම කොච්චර පෙන්නුවත් එයා වේදනාව දරාගෙනම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදිනවා.ආතරයිටිස් වලින් එන වේදනාව එක්ක සමහර වෙලාවට ඇවිදින වාරුවට ඔලුව තදකරන් එයා වේදනාව අඩුවෙනකල් ඉන්නවා.

"මට දැන් වයස අනූවක්.මම මගේ වයිෆ් නැතිවුණාට පස්සෙ තනියම උන්නෙ.ඔක්කොම වැඩ තනියම කරගෙන..උයාගෙන...ශොපින් කරලා උන්නා.ඒත්  මට ඉස්සරහට කෙයාරර් කෙනෙක් ඕනවෙයි කිත්මා."

ජෝ දුකෙන් වගේ කියනවා.

"ඔයා දන්නවද කිත්මා.මගේ වයිෆ් අවුරුදු දෙකක් වෙනවා නැතිවෙලා..එයාට ඩිමෙන්ෂියා තිබුණා.එයාව බලාගන්න කෙනෙක් ආවා.නමුත් මම තමා හුඟක් එයාව බැලුවෙ"

ජෝ දුකෙන් වුණත් හිනාවෙනව.

"මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ.මමයි වයිෆුයි මෙහෙ උන්නෙ.ඒත් එයාට අන්තිම කාලේ මාවත් මතක නැති උනා කිත්මා"

ජෝගෙ ඇස්වල කඳුලක් වගෙ දිලිසෙනවා.ඩ්මෙන්ෂියා කියන්නේ කොච්චර කටුක අත්දැකීමක් වෙන්න පුළුවන් ද කියලා දන්නෙ ඒකත් එක්ක ගැටුණ, අත්දැකීම් අත්වින්ද කෙනෙක්මනෙ.

දණහිස් වල වේදනාව කතාබහ අස්සේ සමනය වෙන අතරෙ..අතීතයේ සමහර සිදුවීම් කියන ජෝ .....ඊලඟ දවසට සුබ පතලා සමුගන්න මට ආයෙම මතක් කරලා දෙන්නෙ....

Every little helps කියන එක

(ජෝ කියන්නෙ අන්වර්ථ නාමයක්..එයාගෙ නම ඊට වඩා ලස්සන එකක්)


ආපහු එන්නම්....


මම විසිරි 

Sunday, February 11, 2024

පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...

 පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...



අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.

මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආපහු මේ සතියෙ ඇවිල්ලා.ඉතින් බොහොම සතුටින් ටවුන් එකට පයින්ම ආවා.කිලෝමීටරයක් වගෙ දුර.

Chingford කියන්නෙ මට ලඟම ටවුම.ඒකෙ තියනවා පොඩි පුස්තකාලයක්.සාමාජිකත්වය ගන්න හිතාගෙන උන්නාට මගෙ පුස්තකාල ගමන ගැන මටම ශුවර් නැති නිසා මීට කලින් ගිය දවසේ එළියෙ තිබුණ bargain book rack එකෙන් පොත් තුනක් අරන් ආවා....

ආ එදා වුණ වැඩේ ඉස්සෙල්ලම ලියන්නම්කො.පුස්තකාලයෙ සමහර පොත් කාලෙකට සැරයක් bargain sale දානවා.රාක්කෙ තියෙන්නෙ පුස්තකාලයට පිවිසෙන දොරගාව එළියෙන්. අලුත්ම පෙනුම තියන පොත්.සමහරක් විට ඒවායෙ අලුත් මුද්‍රණ ඇවිත් ඇති...නැත්නම් වැඩිපුර නොකියවනවාත් ඇති....කොහොමින් කොහොම හරි පොත් තුනක් පවුමයි.මම නවකතා තුනක් අරගෙන පුස්තකාලය ඇතුලට ගියා.

පුස්තකාලයෙ කාර්‍යමණ්ඩලය සුබ දවසක් පතලා මාව පිළිගත්තා.වස අකරතැබ්බයක් නෙ.මම කාසි මුදල් ගෙනිහිල්ලා නෑ.ගෙනිහින් තියෙන්නෙ කාඩ් එක විතරයි.මම ගැටලුව එයාලාට කියලා ඒ පොත් තුන මා වෙනුවෙන් කොහෙන් හරි තියන්න පුලුවන් ද කියලා ඇහුවා.

"නෑ එහෙම නෙවෙයි.ඔයා මේ පොත් අරන් යන්න.ආපහු මේ පැත්තෙන් එන දාක සල්ලි පුළුවන් නම් දීලා යන්න.කිසි ප්‍රශ්නයක් නෑ"

කවුන්ටරයේ ඉන්න මහත්මිය එහෙම කිව්වා.මට ඒත් හිත නෑ.ලඟපාතක මට මුදල් ගන්න තැනකුත් නෑ.මම එහෙට මෙහෙට හැරෙමින් ඉන්න කොට එයාලා මට නැවත ඒ අදහසම කිව්වා.නමුත් මට තිබුණ ගැටලුව මම ඊලඟ සතියෙම ටවුන් එකට ඒවිද නොදන්න එක.මොකද පසුගිය සතිවල තිබුණෙ පුදුම සීතලක් නිසා.නමුත් ඒක ගැටලුවක් නොවෙන බව එයාලා පුන පුනාම කිව්වා.

ඉතින් එදා මම පොත් තුනක් අරන් ආවා.ඇත්තෙන්ම සති දෙකකට පස්සෙයි මේ අද මම ආපහු ටවුමට ගියේ.

අදත් bargain රාක්ක පීර පීර මම  පොත් තුනක් හෙව්වා.ගෙනිච්ච පොත් තුන කියවලා ඉවරත් නෑ. මට එහා පැත්තෙන් පොත් තෝරමින් උන්නෙ වයසක මහත්මයෙක්.කුදු ගැහුණ කෙට්ටු ශරීරය රාක්ක වලට හරවමින් අතේ තියන සැරයටියත් හසුරවමින් ඔහු පොත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.ඒවා බෑග දෙකකට දාගෙන පුස්තකාලය ඇතුළට යන්නට මගෙන් උදව් ඉල්ලුවා දොර හැරගන්න.මාත් ඒ උදව්ව කරලා පොත් තුනක් තෝරාගෙන පුස්තකාලය තුළට ආවා.

ඉතින් මේ පාරත් පවුමට පොත් තුනයි.සති දෙකකට පෙරාතුව සිදුවීම කියලා පවුම් දෙකක් කවුන්ටරයේ උන්න මහත්මිය අත තැබුවාම ඇය මට හුඟාක් ස්තුති කලා. 

ඔබේ අවංක බවට අපි ස්තුති කරනවා.....

තව අපූරු දෙයක් ඔන්න ඒ අස්සේ මම දැක්කා ....

ඉතින් පුස්තකාලයෙ මේස දෙකක් එකතුකරලා එතන අද වැඩසටහනක්.මාත් පැත්තකට වෙලා බලා උන්නා ටිකක් වෙලා.විවිධ වයස් වල කාන්තාවන් දහපහළොස් දෙනෙක් වූල් ගොතනවා.කෙනෙක් ඔවුන්ට උපදෙස් දෙනවා.ඔවුනොවුන් අතරේ සංවාද ,සිනාවන් හුවමාරු වෙනවා.

මෙහෙ පුස්තකාලවල සතියේ විවිධ දිනවල විවිධ වයස් කාණ්ඩවල අයට ගෙතුම්, චිත්‍ර, creative writing, උද්‍යාන වගා... ඒ වගේ වැඩසටහන් (පැයක දෙකක වගෙ) කෙරෙනවා.කෝපි කෝප්පයක්, රස කැවිල්ලක් හැම කෙනාගෙම ඉස්සරහ..

ඒ දේ බලා ඉන්න එකත් හරිම සතුටක්.මම බස් එකට ආවේ...බඩුටික ගන්න සුපර්මාකට් එකට යන්න.එතනින් බස් එකට යන්න ආවේ අර පොත් බෑග් දෙකක් අරන් ආව මහත්මයා.ඔහුට බස් එකට නගින්න බර පොත් බෑග් දෙක එක්ක අමාරුයි.මම එක බෑගයක් අරන් ඔහු පසුපසින් නැග්ගා.

මට ස්තුතියි කියලා ඔහු බසයේ අසුනකට වුනේ එයාට උස්සගන්න බැරිතරම්ම බර පොත් බෑග දෙකත් අරගෙන.

ඉතින් මට මැවිලා පේනවා....අද හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් අතේ තියාගෙන ඔහු පොත් කියවනවා.මගෙ මුහුණේ මේ දැනුත් ඒ හැඟීම එක්ක ඇති වුණ සිනහවක් ඉතුරුවෙලා තියනවා.

❤️❤️

පින්තූරය අන්තර්ජාලයෙන්

Friday, January 26, 2024

එලී

 


"ඔයා දන්නවද මම මේ ගෙදර යන්නෙ මාස තුනකට පස්සෙ..."

එලී වාහනයේ පිටුපස අසුනේ ඉන්න මා දිහාවට එබිලා බලමින් කිව්වා.ඇගේ ඇස් දෙක සතුටින් බබලනවා.තමන්ගේ ගෙදරින් මාස තුනක් ඈත්වෙලා ඉන්න එක එලීට ලොකු දුකක්....සාංකාවක්....

මාස හයකට එහා ගෙදරින් ඈත දුරු රටක හුදෙකලාවේ ඉන්න මගෙ හිතත් නිකම් හීන් වේදනාවකින් ඔද්දල් වුණා....

ඒත් මම එලී දිහා බලලා හිනාවුණා.....

"ඔයාට ගියාම පෙනේවි...ඒක පරණ ගෙයක්....ලොකු එකක් නෙවෙයි....ඒත් මං එතනට හරිම ආසයි ...."

එලීගෙ ඒ ලස්සන ගේ ගැන මම හුඟාක් දවස් විස්තර අහලා හුරුයි ....ගේ ඉස්සරහ තියන ලොකු උද්‍යානය ....ඒක ඔක්කොටම පොදු එකක්....වසන්තයේදි මල් පිරිලා තියන උද්‍යානය ගැන එලී කිව්වේ හරිම ආසාවෙන්....

"ඔයාට බලන්න මල් නම් මේ දවස්වල නෑ....."

එලී හයියෙන් හිනාවෙනවා....ඒ හිනාවේ තියෙන්නෙම සතුටක්....

"ඔයා දන්නවද ...මම සතියකට පාරක් නැවුම් මල් අරන් එනවා ටවුන් එකට ගිහින්....මං හරිම ආසයි කාමරේ, සාලේ,කුස්සියේ අලුත් මල් දකින්න....ඒවායෙ පාට ,සුවඳ ...මට හරිම නැවුම් ගතියක් අරන් එනවා.....මං ඔයාට කියල දෙන්නම් ඒ මල් සතියක් කල්තියාගන්න හැටි... "

එලීගේ නිවහනට රිය ධාවනය වෙනවා.....මාත් එක්ක එලී රියෙන් බැහැලා ගෙදරට යනවා...ස්වයංක්‍රීයව ඇරෙන දොරෙන් ඇතුල් වෙලා අපි ගෙට යන්න කලින් එලී මට උද්‍යානය පෙන්වනවා.....

"තාම කොළ පාටයි...පේනවා නේද...."

කොළ එකක්වත් නැති ඕක් ගහක් මැද තියාගෙන කොළ පාට උද්‍යානය හිනැහෙන්න ගන්නවා...

එලීගෙ ගෙදර තියෙන්නෙ දෙවනි තට්ටුවෙ ...තට්ටු තුනක මහල් නිවාසයට විදුලි සෝපානයක් නෑ...අපි හෙමින් හෙමින් උඩට නගිනවා ..දෙවනි මහලේ කෙටි ජනෙල් තට්ටුව මත ලස්සන සකියුලන්ට් වර්ග, පතොක් වර්ග....

එලී කියන්නෙ මමමද මේ...කියල හිතෙන ගාණට මට ඒ දේවල් සමීපයි....

"ඔයත් ආසද...? ඇතුළක වවන්න පුළුවන් පැල වර්ග තියෙන්නෙ ටිකයි මෙහෙ..."

එලී උඩට නගින ගමන් කියනවා ..එලීගෙ ගේ ඇතුල හරිම උණුසුම්....

ඇස් වලට සෞම්‍ය වින්ටේජමය නිවහනක්...

"මේ පාටවල් වලට හුඟක් අය ආස නෑ. ..ඕල්ඩ් ෆැශන් කියල ...ඒත් මම ආසයි ..."

මුලුතැන්ගේ අපූරු කොළ සහ සුදු පාට සංකලනයක්....කෝප්ප පීරිසි ඔක්කොම මල් සැරසුම් දරන ඒවා .....

සාලය හරිම සුව පහසු සෝපාවක් , කෙටි අසුන් කීපයක්, ලස්සන කුෂන් ගොඩක්...ගිනි උදුනක්.....

මම හීන ලෝකයක් දකිනවා වගෙ.....

එතනින් එහාට චූටි බැල්කනියක්...බැල්කනිය පුරාටම සීත කාලයෙත් මල් දරන මල් පෝච්චි ටිකක් එක්ක හර්බ්ස්...මිංචි,රෝස්මරී....පඳුරු....ඒ අස්සට ලස්සන උද්‍යාන සැරසිලි......


මම ආසාවෙන් බලා ඉන්නවා....

ගේ තැනින් තැන කෘතිම මල් පොකුරු...හැබැයි ඒවාත් ස්වභාවික මල් තරම්ම ලස්සනට..වින්ටේජමය බඳුන් වල.....

"තේ එකක් බොමුද..."

එලී අහනවා....

"මාස තුනකට පස්සෙනෙ මේ මගෙ කුස්සියෙ මම උයන්නෙ...ඔයා දන්නවද මම සතියට දවස් හයක්ම ෆ්‍රෙශ් මීල්ස් ගන්නෙ...එක දවසයි ෆ්‍රෝසන් ෆුඩ්ස් ගන්නෙ ..මම උයන්න හරිම ආසයි...."

එලී ගෙ ලෝකය හරි ලස්සනයි ....එයා ඉන්නෙ තනියම....වෙන කාවවත් තනියට එනවට එයා අකමැතියි...

"මට මාව බලාගන්න පුළුවන් ....වෙන කෙනෙක් මේ ගෙදර ඉන්නකොට මට මේ වගේ නිදහසේ ඉන්න අමාරුයි ...."

එලී ආපහු එන ගමන් කියනවා...ලබන සුමානේ එලී අපිත් එක්ක ගතකළ කාලය අවසන් කරලා ආපහු රෝහලෙන් ගෙදර යනවා....ඉතින් ගෙදර යන්න කලින් එයාව ගෙදර එක්කන් ගියේ එයාට ගෙදර පරිසරයට කලින් වගෙම හැඩගැහෙන්න වැඩකරගන්න පුළුවන් ද කියලා බලන්න...

එලී කියන්නෙ අපූරුම චරිතයක්...දන්නවද  ..එයාට වයස 94යි....ඒත් එයා හදවතින් හරිම තරුණයි....

මේ පින්තූර නම් එලීගේ ගෙදර නෙවෙයි...home visit එකක් කලාට එහෙම පින්තූර ගන්න අපට අවසර නෑ...ඒත් ඒ ගෙදර මෙන්න මේ වගේ....

📷 එක අන්තර්ජාලයෙන්

එයාගේ නමත් අන්වර්ථයි

Sunday, December 17, 2023

මගේ බ්ලොග් දිනපොත 01

 



ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....

හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට කියවන්න පුළුවන්නේ ....එහෙනම් ඔන්න මේ විසිරිගේ දිනපොත....

**********************************************************************************************

 සඳුදා 


සති අන්තයක් ගත කරලා සඳුදාවක් උදාවෙනවා කියන්නේ මොන රටේ උන්නත් පොඩි කම්මැලි කමක් එක්ක ඇහැරෙන දවසක්. සීත සමය නිසා උදේ හතටත් හොඳ එළියක් නැහැ. කොහොමටත් මේ අඳුරු ස්වභාවය නම් මහා එපා කරපු හැඟීමක් අරන් එන්නේ. අර පහුගිය කාලේ පිස්සු වැටිලා වගේ ඇවිද්ද මට අන්තිමට සති අන්තෙත් ඉන්න උනේ කාමරයක් ඇතුලට වෙලානේ.

ඔය මොන කම්මැලිකම තිබුනත් අට හමාර වෙනකොට මම හොස්පිටල් එකට ගිහින් යුනිෆෝම් එකත් දාගෙන කම්පියුටර් එක ඕන කරලා එදා දවසේ මේල් ටිකත් බලලා ඉවරයි.

මේක පුනරුත්ථාපන  ඒ කියන්නේ rehabilitation unit එකක් නිසා වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු උදේට නාවලා කියලා ක්ලීන් කරලා සුදානම් කරනකල් අපිට කරන්න වෙන්නේ ලියකියවිලි වැඩ ටික. ලෙඩ්ඩු බලනවා හා සමානවම ලියකියවිලි වැඩ මෙහෙ හරියට.කොටින්ම කිව්වොත් ලෙඩා වමට හැරුණත් ඒක ඒ විදියටම ඩොකියුමන්ට් වෙන්න ඕන. 

ලංකාවේ අපි හොස්පිටල් වල මැරිලා වැඩ කල තරම මෙහෙ නැහැ. නමුත් ලංකාවේදී අපි කල තරමට වඩා සියගුනයක් අපි ඩොකියුමන්ට් වැඩ මෙහෙ කරන්න ඕන. ඒක මට මුලදී ඇත්තටම මහා වෙනසක් උනා. ඉතින් කොහොම හරි සඳුදාව පටන් ගත්තේ ඔන්න ඔහොම. 

මම යන යන තැන අපරාදේ කියන්න බැහැ මටම ගැලපෙන සෙට් එකක් මට හම්බ වෙනවා. ඒක මෙහෙදිත් එහෙමම තමයි.සඳුදා වැඩට ආවට පස්සේ ඉතින් අර කම්මැලි කම කොහෙන් ගියාද කියන්න බැහැ 

******************************************************************************************************** 

අඟහරුවාදා



මේ දවස්වල මට ඉන්නවා අපූරු ආච්චි අම්මෙක්. මගේ ටීම් එකට ඉන්නේ ලෙඩ්ඩු හතයි. ඔන්න ඒ සෙට් එකට අලුතින්ම ආව ආච්චි අම්මෙක් මේ. නම් ගම් මෙහෙ නිතිය හැටියට මෙහෙම එකක ලියන එක පවා නීති විරෝධියි නේ. ඉතින් ආච්චි අම්මගේ  නම් ගම්    ඕන නැහැ.

නිකම් කතන්දර ලියමුකො ඒ ඇතිනේ. 

ගෙදර පඩි පෙලෙන් පිනුමක් ගහලා උකුල් ඇටේ කැඩිලා ඔපරේෂන් එකෙන් පස්සේ ඔන්න එයා අපේ ගාවට එනවා සති හයක හෝ අටක ප්‍රතිකාර වලට. මූලික විස්තර ටික ගන්න ගියාම ආච්චි අම්මට කෝටියක් ප්‍රශ්න ඉතින්. ඔක්කොටම කලින් මගේ නම එයාට උච්චාරණය කරන හැටි උගන්වන්න කිව්වා. ඉන් පස්සේ ඉතින් විස්තර ටික එහෙම අහගෙන මම එයාව ඇඳේ වාඩි කරවලා හිටගන්න සුදානම් කරනවා.  

ඔන්න ඒ  වෙලාවේ එයා මගෙන් අහනවා මෙන්න මෙහෙම...

Have you seen a witch over there?

මම ඉතින් හොල්මන් වෙලා වගේ හතර වටේ බලනවා. මේ එන ලෙඩ්ඩු අතරේ Dementia ලෙඩ්ඩුත් ඉන්න නිසා එක එක කතන්දර ඔහොම කියන කොට අපි පොඩ්ඩක් පරෙස්සමින් තමයි ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ.

Sorry, I haven't seen any witch.

මම එහෙම උත්තර දෙනවා.

ආයේ එයා ඒ ගමන මෙන්න මෙහෙම අහනවා.

have you seen an angel there?

මගේ උත්තරේ අරකමයි.

No i haven't seen...

මම කිසිම කෙනෙක් දැක්කේ නැහැනේ. බොරු කියන්න කියලය....

ආච්චි අම්මා හක හක ගගා හිනාවෙලා මට ඇඟිල්ල දික්කරලා පෙන්වන්නේ ටිකක් එහායින් තියන ලොකු කන්නාඩිය. ඒකෙ පේන්නේ එයාවයි මාවයි....

මට හිනායනවා....

you are my angel ....

එයා මගේ අත්දෙක ආදරයෙන් අල්ලාගෙන කියන්නේ....

මම එතකොට මෙහෙම කියනවා...

But you are not a witch... you will be a miracle...

සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel  කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක්  වෙන්න.

 මේ ලියන්නේ අතිශයෝක්ති කියලා ඔබට හිතෙන්න පුළුවන්...
නමුත් මේ මම දිනපතා අත්විඳින අත්දැකීම්...

********************************************************************************************************** 

බදාදා 





 ලිවිල්ල කියවිල්ල අතහරිලාම යන කාලයක් උනා මේක ...කාලය ඉඩහසර ඕනෑවටත් වඩා තියෙද්දී මට ලියන්න නොහිතෙන්නේ ඇයිද කියන්නමටම තේරෙන්නේ නැහැ. නමුත් ඉඳ හිටක හරි කවියක් වත් ලියන්න ඕන කියලා දිනපොත ලියන අස්සෙම මට හිතෙනවා. 

ඉස්සර ඉඳලා කවි , කතා ලියන්න ආසම කල කෙනෙක්ට එක පාරටම ලියන්න කම්මැලි හිතෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? මට තාම හිතාගන්න බැහැ ඒකට හේතුවක්. කාලය මදිකමකුත් නෙවෙයි . නමුත් කම්මැලිකමක් දැනෙනවා. කියවන්නත් එහෙමමයි. කම්මැලියි. 

ඕගොල්ලෝ ගාව මේකට විසඳුමක් එහෙම තියද කියන්නකෝ.

හරි කමක් නැහැ අද දවසට ඔන්න පොඩි කවියක් වත් ලියන්නම්කො  

ඔබ දන්නවද...

මල් පිපෙන අරුමැසි ඉසව්වක

හීන් හඬැතිවූ දිය දහරක

ප්‍රේමයේ තත් නැගෙන 

අන්දම....



ඉතින් ඔබ දන්නවද....

හුදෙකලාවේ ගෙවෙන කාලයක

හද හඬත් නොනෑසෙන යාමයක

තාල නගනා ප්‍රේමයේ 

ස්වර ගැන....



ඔබ කොහොම දන්නවද....

දුර කියන්නෙත් ලඟටම බව

දහස් සැතපුම් දුරක වුව

හද ගැස්ම ඔබ ලඟම 

ඉතිරි බව....


************************************************************************************************** 


බ්‍රහස්පතින්දා 




බර කිලෝ පහකින් අඩුවෙලා. 

මම මෙහෙට එන්න ආසන්න කාලේදී ඇත්තෙන්ම උන්නේ පුදුම ස්ට්‍රෙස් එකක. ගෙදර අයව දාලා එන්න වීම, මං නැතිවුනාම ඒ කට්ටිය කොහොම වැඩ කටයුතු කරගනිවිද කියන බය, අනෙක නුහුරු නුපුරුදු පරිසරයක තනියම ජීවත්වීමට හිත හදාගන්න එක....කීයක් නම් දේවල්ද ? ඒ ඔක්කොටම විසඳුම උනේ අහුවෙන අහුවෙන කන ජාති කෑම ...ඒකෙන් උනේ බර කිලෝ හැත්තෑ පහක් වීම.

මෙහෙට ඇවිල්ල මාස හතරට ඒ කිලෝ පහම අඩු උනා.

ඇත්තෙන්ම ආහාර රටාව වෙනස් වීම තමයි ප්‍රධානම හේතුව. කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩිපුරත් කන එක. අනෙක අලුත් පළතුරැ සහ සලාද වැඩිපුර ආහාරයට එකතු වීම 

අවංකවම කිව්වොත් ඇවිදින එක කොච්චර කලත් එක ව්‍යායාමයට ගැලපෙන්න නෙවේ. මොකද ගහක වලක කොලයක හද දැක්කම නැවතී නැවතී ෆොටෝ ගන්න කොට ඇවිදින එකේ ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි පැය ගණන් ඇවිද්දා සමර් එක කාලේදී...ඒක වෙනම එකක්.....

කොහොම උනත් බර කිලෝ පහක් අඩුවීම සෙලිබ්රේට් කරන්න පොඩි චොකලට් එකක් කෑවා මම 

******************************************************************************************************* 

සිකුරාදා 








සතියක් ගෙවිලා සතියක් ඉවර වෙන්න මහා කාලයක් යන්නේ නැහැ . මගේ වෘත්තීය සගයෙක් අද මගෙන් අහනවා ..

Kithma ...how you stay in happy mood from monday to friday equally....?


ඇත්තෙන්ම හුඟක් අය සඳුදා ට වැඩට එන්නේ අයියෝ  මූඩ් එකෙන්...සිකුරාදාට යන්නේ ආව් නියමයි මූඩ් එකෙන්....
සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම රටකත් එහෙම ය ඉන්නවද කියලත්..
නමුත් ඒක වර්ක් ස්ට්‍රෙස් එක ...
ලංකාවේදී තරම් මැරීගෙන වැඩ කරන්න නොවුනත් මෙතන තියන වගකීම ඊට වඩා සියගුණයක් වැඩියි.
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතාගන්නවත් බැහැ.

ඉතින් ඒ වගකීම් එක්ක ඇතිවෙන පීඩනය එහෙම තමයි.
නමුත් අපි සතුටින් සිනහවෙන් ඉන්න අපි අවටින්ම කාරනා හොයාගන්න ඕන. මම එයාට මගේ ජංගම දුරකතනයේ පින්තූර ගබඩාව පෙන්නුවා. සති අන්ත වල ඇවිද්ද හැටි..මම තනියම ගිය ගමන් බිමන්..ඒ තමයි මගේ හිනාවෙ රහස....මම එයාට පෙන්නුවා.


***********************************************************************************


ඉතින් සතියේ දවස් පහ ඔන්න දිනපොතකට ගත්තා....හැම සතියෙම දිනපොතක් ලියන්න නම් වෙන එකක් නැහැ....ඉඳහිටක ලියන්නම්. 


එහෙනම් සුබ සති අන්තයක් වේවා ඔක්කොටම 



මම විසිරි සිහින 








Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

Saturday, October 14, 2023

පුරු පුරු කතා

 පුරු පුරු කතා


උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....

මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....

කලුපාට දිග කලිසම  පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස්‍ රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....

අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන්  වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...

අදටත්  පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....

ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....

විසිරි

Saturday, October 7, 2023

පුංචි සතුටු කතාවක්...❤️

 පුංචි සතුටු කතාවක්...❤️








තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.

මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.

ඉතින්...මං  ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්. 

නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන  ලියනවා.

ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක්  වෙලාවට. 

ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි. 

No hurry, Take your time...

නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.

hello ... how are you? how was your week end? how's your day?

විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...

ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම  "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.

ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....

ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත  වැනීමක් කළා.

ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.

මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...

hello how are you today?

මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.

ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.

thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...

හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...

නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.

මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට  බියක් නොසන්සුන් කමක්...තිබුනේ.

භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.

help me...

ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.

අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...

I will never forget you my lifetime...

සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.

නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.

සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...

මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....



මම 

විසිරි සිහින

Tuesday, April 25, 2023

30 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 30 කොටස 


29  කොටසට මෙතනින්   29


පාරමී ඇස් ඇරියේ දීර්ඝ නිද්‍රාවකට පසුවය .එක්වනම තමා සිටින්නේ කොහිදැයි ඇයට සිතාගන්නට නොහැකි විය . හෙමින් ගෙල හරවා වටපිට බලන්නට තැත්දැරූ ප්‍රථම නිමේශයෙන්ම අධික වේදනාවක් ගෙල ප්‍රදේශයෙන් දැනෙන්නට විය.ඇයට කෙඳිරි ගෑවුනේ අධික වේදනාව දරාගන්නට නොහැකි වූ නිසාවෙනි.

පාරමීගේ වේදනාත්මක කෙඳිරුම් හඬ අසා ඇයගේ ඇඳ වෙතට දිව ආවේ හෙදනිලධාරිනි යකි.

"මැඩම් කොහොමද දැන්. ඔයා ගොඩක් ලොකු නින්දක් නිදාගත්තා."

හෙදනිලධාරිනිය පාරමීගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවාය.

"මේ කොහේද මට මොකද උනේ" 

පාරමී ඉතා අපහසුවෙන් ඇසුවාය .

"මැඩම්ට මොකුත් මතක නැද්ද මේ ජෙනරල් හොස්පිට්ල් එකේ බර්න්ස් යුනිට් එක. මැඩම් ඊයේ acid බර්න් එකක් වෙලා මෙතනට එක්ක‍රන් ආවෙ."

හෙද නිලධාරිනිය පැවසුවේ පාරමීගේ මතකය අවදි කරමින්.

පාරමී දෑස් වසාගෙනම ඒ සිදුවූ දේවල් මතකයට ගන්නට උත්සාහ කළාය .ඇයට මතක වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත්වී breadtalk වෙත යන්නට ඇය පාර මාරුවන ස්ථානයට පැමිණීම ය.එතැනින් එහාට ඇයට කිසිවක් මතක නොවීය. 

"මගේ බෑග් එක කෝ මිස්?" 

පාරමී ඇසුවේ ගෙලදෙසින් නැගෙන වේදනාව හා සමානවම විශ්ව ගැන ඒ මොහොතේ සිහිවූ බැවිනි.

"මැඩම්ගෙ බෑග් එක මහත්තයා ඇවිත් අරන් ගියා. ඊයේ ඇවිල්ල ගොඩක් වෙලා ඉඳලායි ගියේ තව ටිකකින් ආපහු ඒවි."

හෙද නිලධාරිනිය ඇයට බීමට වේදනා නාශක පෙති කිහිපයක් රැගෙන ආවාය.ගෙල පෙදෙසින් වූ දැඩි වේදනාව හේතුවෙන් පෙති ටික ගිලීමට පවා අපහසුය. 

"මගේ ගොඩක් පිච්චිලා ද මිස්?"

පාරමී හිස නගා බැලීමට අපහසු වූ තැන හෙදියගෙන් ඇසුවාය.

"නෑ මැඩම් deep burn එකක් නම් නැහැ. madamගෙ සාරිය නිසා acid ඇතුලට ගිහින් නැහැ .බෙල්ලයි චෙස්ට් එක උඩ හරියයි විතරයි.ඒකත් superficial burn එකක් විතරයි."

හෙද නිලධාරිනිය ඇය අස් වසා ලමින් පැවසුවාය.

"අන්න ඩොක්ටර් එනවා මැඩම් ගෙ හස්බන්ඩ් එක්ක."

හෙද නිලධාරිනිය ඇඳ අසලින් ඉවත් වූයේ එසේ කියමිනි.

"ආ කොහොමද දැන්.ඩොක්ටර් පාරමී?"

වෛද්‍ය කේසර ස්ක්‍රීනය පසෙකට කොට පැමිණියේය.පාරමී වේදනාත්මක සිනහවක් පෑවාය.

"මොකුත් අමාරුවක් විශේෂයෙන් නෑ නේද?" 

කේසර ඇසුවේ ඇයගේ තුවාල වසා ඇති ගෝස් තට්ටුව දෙස බලමිනි.පාරමී නිහඬවම බලාඋන්නාය.ඇයට කියන්නට හෝ අසන්නට කිසිවක් හිතට නොඒ.

"මචං විශ්ව...ඇතුලට වරෙන්..."

ආපසු හැරී බලා එසේ කී කේසර යළිත් පාරමී දෙස බලා සිනා වුණේය.

මෙතෙන්ට ආවට පස්සෙ තමයි දන්නෙ මේකා මගේ පන්තියේ හිටියේ කියලා.එහෙනම් දෙන්න කතා කරන්නකෝ මං පොඩ්ඩක් අනිත් ලෙඩ්ඩු බලන්න යනවා."

කේසර එතැනින් ඉවත් වී පිටතට ගියේ ය 

පාරමී හිස හරවා බලනු නොහැකිව ඇස් පමණක් හරවා ස්ක්‍රීනය දෙස බලා උන්නාය .විශ්ව පැමිණියේ ඇයගේ වත දෙස බලාගෙනමය.ඔහුගේ දෑස් වල කඳුලු පිරී තිබුනි.

"පාරෝ....කොහොමද රත්තරන් ඔයාට අමාරුවක් නෑ නේද ?"

විශ්ව පාරමී හිසට උඩින් පහත් වී ඉතා සෙමින් ඇසුවේය. තම ශරීරය පුරා පැතිරී ඇති පිලිස්සුම් ඒ වේදනාව යටපත් කරමින් විශ්වගේ මුවින් පිටවෙන ආදරණීය වදන් පාරමීගේ සිත සිත සුවපත් කළේය. 

"බෙල්ලයි පපුවයි කැක්කුමයි.ඉවසන්න ටිකක් අමාරුයි.මට මොකද උනේ විශ්ව ?" 

පාරමී අසූවේ විශ්වගේ අත සෙමෙන් අල්ලා ගනිමිනි.විශ්ව කිසිවක්ම නොපවසා නිහඬව වූයේ මේ මොහොතේ ඇය සන්සුන් කල යුතු හෙයිනි.

"පාරෝ , අපි ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට යං.මෙතන මෙහෙම ඉන්න බෑ ඔයාට"විශ්ව පැවසුවේ පාරමී ගේ හිස අතගාමිනි.

"ඕන නෑ විශ්ව , ම්ම ගවර්න්මන්ට් හොස්පිට්ල් එකක වැඩ කරනවනම් ඇයි මට ඒකක ඉන්න බැරි.මට ඉන්න පුළුවන් "පාරමී හිනැහෙන්නට උත්සාහ කරමින් පැවසුවාය.

"ඔයාට පුළුවන් වුනාට ඔයා ළඟ දිගටම ඉන්න මට ලැබෙන්නෙ නෑනෙ එතකොට .ඒ නිසා අදම කේසරට කියල මම ඔයාව වෙන තැනකට ගෙනියනව"

විශ්ව හිතුවක්කාර හඬින්ම පැවසීය.පාරමී කතාකරන්නට යෑම තවත් වෙහෙසක් වන හෙයින්ම නිහඬව ඉවසාඋන්නාය.

"තුවාලෙ ලොකුයිද විශ්ව.මට හරිම කැක්කුමයි "

පාරමී ඇසුවාය .

"නෑ නෑ ඒක ලොකු එකක්වත් ඩීප් එකක්වත් නෙවේ ඩොක්ටර් පාරමී ,.අපි එහෙනම් LAMA ලියල ම විශ්ව කියන තැනකට යන්න ලෑස්ති වෙමු.මෙතන ට්‍රීට්මන්ට් වලට වඩා මෑන් ට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්නෙ"

වෛද්‍ය කේසර ආපසු ඇය අසලට පැමිණෙමින් පැවසුවාය.

අගනුවර ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට පාරමීව මාරුකරගත් විශ්ව , ඇයව එහි රැගෙන ගියේය .කේසර ද එම රෝහලේ පුද්ගලික ප්‍රතිකාර කටයුතු වල යෙදෙන හෙයින් ප්‍රතිකාර සම්බන්ධයෙන් තවදුරටත් සැලකිලිමත් වන බව ඔහු පැවසීය .

පාරමී අදාල පෞද්ගලික රෝහලේ සයනයට මාරුකල වහාම දෑස් යලි පියාගත්තේ ඉතා කෙටි ගමනකින් වුව ශරීරයට දැනෙන්නාවූ අපහසුව හෙයිනි.

"මම තමයි ඉතින් මැඩම්ගේ සාත්තු සේවකයා අද ඉඳන්"

විශ්ව ඇයගේ නලලතට හාදුවක් තබමින් පැවසීය.පාරමී ආයාසයෙන් සිනහවෙන්නට තැත්කලාය.

"ස්කාර් එක හිටීවිද විශ්ව?"

පාරමී මිමිණුවාය.ඇයගේ සිත බෙහෙවින්ම ඔද්දල්ව ගොසිනි.

"කලබල නොවී හිත සැහැල්ලුවෙන් ඉන්නකො කෙල්ලෙ.කේසර කිව්වා ඒක ඉක්මනින් හරියයි කියල.ඒකට ට්‍රීට්මන්ට් තියේනෙ ඉතින්" 

විශ්ව ඇය අස්වසාලමින් පැවසුවේය.

පාරමී කෙතෙක් ප්‍රතික්ෂේප කළද විශ්ව ඇයගේ කාමරයෙන් පිටව ගියේ නැත. විශ්ව විසින් තමාට සඟවන යමක් වේදැයි විටෙක පාරමී ට සිතුණි.ඔහු සිටියේම තැතිගැණුන ස්වභාවයෙනි.රාත්‍රියේ පවා ඔහු විටින් විට තම සයනය අබියසට විත් බලන අන්දම ඇය දුටුවාය.

සිදුවූයේ කුමක්ද යන්න නැවත නැවත ඇය විශ්වගෙන් නොඇසුවේ ඔහු කිනම් හෝ වේලාවක එය පවසනු ඇතැයි සිතාය.

දින කීපයක් ගතවන විට පාරමී ගේ තුවාල වේලීයන්නට පටන්ගෙන තිබුණි.

"දැන් රිදෙන්නෙ නෑ නේද පාරෝ."

ඇය මුහුණ කට සෝදා කාමරයට එනතුරු දොරලඟටම වී සිටිනා විශ්ව අසයි.පාරමී හිස දෙපසට වනා සිනාවූවය.

"මොකද මේ අනේ.මං පැනල යයි කියල වගෙ බයෙන් පස්සෙන්ම ඇවිදින්නෙ."

පාරමී ඇසුවේ විශ්වගේ අතකින් අල්ලාගනිමිනි.විශ්ව සුසුමක් හෙලා නිහඬ වූවේය.

හෙද නිලධාරිනිය පැමිණ ආවරණය කල සියල්ල ඉවත් කොට තුවාල ඉතුරු වී ඇති තැන් වල ආලේපනයක් තවරා යන්නට ගියාය.එක් උරයක් පමණක් වැසුණ රෝහල් ඇඳුමකින් සැරසී උන් පාරමී සිය අසුනේ පසෙක හිඳුවාගත් විශ්ව වියැලී ගිය පෙදෙස් අල්ලා බැලුවේය.

"පාරෝ කලබල වෙන්නෙ නැත්නම් කියන්න ලොකු කතාවක් තියෙනව."

විශ්ව ඇයගේ මුහුණ තමා වෙත හරවාගනිමින් පැවසීය.

"ඔය වෙච්ච ටික දැන් පාරමී ට කියපන්.මොකක් හරි වෙන්න හරි එයාත් දැනගන්න ඕනනෙ මේව"

නිසල් පෙරදා ඔහුට ඇමතුමක් දුන් වෙලෙහි පැවසීය.

"මොකක්ද විශ්ව...?"පාරමී සුපුරුදු සන්සුන් බවින් ඇසුවාය.විශ්ව ශෙරීනාට සිදුවූ දේ පාරමීට සවිස්තරව පැවසීය.

පාරමී ඇස් ලොකු කරගෙන මවිතයෙන් එය අසා උන්නාය.

"එතකොට මට ඇසිඩ් ගැහුවෙත් ...?" 

පාරමී ඇසුවේ විශ්වගෙනි.විශ්ව හිස දෙපසට වනා එය නැතැයි කීවේය.පාරමී විමසුම් දෑසින් ඔහු දෙස බලාඋන්නේය.

"මේක මට කියන්න අකමැතිම ඒ වගේම අමාරුම කතවක් පරෝ.ඒත් මේ ටික අහල ඔයා මේ සම්බන්ධව ගන්න කියන තීරණය මම ක්‍රියාත්මක කරන්න සූදානම්."

විශ්ව පැවසීය .පාරමී ඔහුඅතින් අල්ලාගෙනම බලාඋන්නාය.

පාරමීට ඇසිඩ් ගැසීමේ කොන්ත්‍රාත්තුව අම්මා විසින් සැම් වෙත බාරදී ඇති අන්දම විශ්ව පැවසුවේ පාරමී දෙසවත් නොබලාය.ඔහුට ඇයගේ මුහුණ බැලීමට නොහැකි තරම් වරදකාරි හැඟීමක් සිතට විත් තිබිණ.

පාරමී ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට නොහැකිව බලාඋන්නාය.ඇත්තෙන්ම ඇයගේ සිත තුල ඇතිවූයේ බලවත් කම්පනයකි. ශෙරීනාගේ අනපේක්ෂිත මරණය තම සිත කම්පා කොට මොහොතක් ගතව යද්දී විශ්ව කියූ මේ කතාව තමා ඔසවා පොළවේ ගැසුවාක් බඳු කතාවක්ම විය.කෙනෙක් හට මෙතරම් කුරිරු විය හැකිද? මේ සා තවකෙකුහට හිංසා කලහැකිද ?

"පාරෝ ඒ මගෙ අම්මා තමයි.ඒත් එයා කලේ සමාව දෙන්න පුළුවන් කාරණයක් නම් නෙවෙයි.ඔයා ඕනම ඇක්ෂන් එකක් ගන්න.මම ඒකට බලපෑම් කරන්නෙ නෑ"

විශ්ව පැවසුවේ අසරණ හඬකිනි.

මෙතුවක් කල් තමා ජීවත්වූ සරල ලෝකය ඉතින් සුණු විසුණුව ගොස් හමාරය.ඉතාම කුඩාකල තාත්තාද ඉන් පසුව අම්මා සහ මාලනීද වටා ඉදිව ගතකල ජීවිතයේ ක්‍රෝධය, වෛරය ගැවීවත් තිබුණේ නැති තරම්ය. මේ කිනම් ලෝකයක්දැයි පාරමී විස්සෝප වෙමින් කල්පනා කළාය.

"විශ්ව, දැන් ඔයා ගෙදර යන්න. මට ටිකක් තනියම ඉන්න ඕනෙ" පාරමී විශ්වගේ අතකින් අල්ලා පැවසුවාය.විශ්ව ඇයගේ දෝතින්ම අල්ලා ඇයගේ මුහුණට එබුණේය.

"පාරෝ , ඔයා මෙහෙම කියන්නෙ ඇයි?"

විශ්ව ඇසුවේ කම්පනය වූ සිතිනි.පාරමී හිස නගා ඔහු දෙස බැලුවාය.

"ඔයා දැන් කීවනේ මට ඕනම ඇක්ෂන් එකක් ගන්න ඉඩදෙනව කියල.මට තනියෙන් ඉන්න ඕනෙ විශ්ව .කල්පනා කරන්න ඕනෙ හැමදේම ගැන මේ වුණ.ඒ නිසා ඔයා ගෙදර යන්න දැන්.මම කෝල් එකක් දෙන්නම් ඔයාට"

පාරමී සිනාවෙන්නට තැත් දරමින් පැවසුවාය.විශ්ව සුසුමක් හෙලා ඇයදෙස බලාඋන්නේය.ඇත්තෙන්ම ඇයට ඒ තමා කියූව දරාගන්නට අපහසු වන්නට ඇත.විශ්ව ඇයගෙන් සමුගෙන ආපසු සිය රථයට පැමිණියේ නිසල්ට ඇමතුමක් දෙමිනි.

" පොඩ්ඩක් වරෙන් මට කතාකරන්න ඕනෙ" 

විශ්වගේ හඬම තත්වය සුබ නොවන බව විසල්ට කියාදුන්නේය.ඔහු වහා විශ්ව හමුවන්නට ආවේ සුපුරුදු වෙරළබඩ අවන්හලටය.

"පාරෝගෙ මූඩ් එක එහෙම්පිටින්ම අවුල් වුණා බං .ඇත්තනෙ ශොක් වෙන්නෙ නැද්ද කියපන්කො මේක ඇහුවම.මට ගිහින් එන්න කීව තනියම ඉන්න ඕනෙ කියල"

විශ්ව අසුනේ සිට සිය හිසකේ තදින් ඇදගනිමින් පැවසීය.

"අපි බලමු බං .පාරමී කියන්නෙ හුඟක් දුරදිග හිතන්න පුළුවන් කෙනෙක්නෙ.උඹ කලබල නොවී කෝල් එකක් දෙනකල් හිටපන්.අද උඹ ගෙදර යන්න ඕනනෑ.යමන් අපේ ගෙදර."

නිසල් විශ්වගේ උරහිසට තට්ටුකරමින් පැවසීය.

                                                                                    *** 

විශ්ව නික්ම ගිය පසු පාරමී සයනයේ වැතිරගත්තේ පහවී නොගිය කම්පනයෙන් යුතුවය.ඉදින් මේ තමා අත්දකින්නේ කිසිදාක අපේක්ෂා කල තත්වයක් නොවේ.විශ්වගේ මව ආඩම්බරකාර මෙන්න නපුරු කාන්තාවක් බව කෙතෙක් දැනුනද ඇය මේසා කුරිරු වේයැයි පාරමී සිහිනෙනුදු නොසිතුවාය.කෙසේ වුවත් අවසානයේ සිදුව ඇත්තේ එයයි.පාරමී ඇසට ගලා ආ කඳුළ නිවාගන්නට තැත් කළාය.

"මොකද බං උනේ මේ."කාමරයේ දොරෙන් ඇතුලට ආවේ දැහැමිය.ඇය දෑස් විසල් කොට පාරමී දෙසම බලාඋන්නාය.පාරමී සිනාසෙන්නට තැත් කළද එය අසාර්ථක විය.

"නිසල් අයියා කියනකල් මම මේ මොකුත් දන්නෙ නෑ. දැනගත්ත ගමන් මේ දුවල ආවෙ" 

දැහැමි සිය බෑගය පුටුව මතට දමා පාරමී වෙත ළංවූවාය.

පාරමී සිදුවූ සියල්ල දැහැමි වෙත පවසා උන්නේ සිතේ බලවත්ව පැතිරුණ වේදනාවෙන් යුතුවය.ඉතින් සුසුමක් කඳුළක් හෙලා ළය සැහැල්ලු කරගන්නට නොහැකි තරම් මේ අත්දැකීම කටුකය. භයංකාරය.

"මට හිතාගන්නවත් බෑ බං මෙහෙම දේවල් කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වුණාද කියල."

දැහැමි පැවසුවේ කලකිරීම මුසු හඬිනි.

"විශ්ව අයියා මොකෝ කියන්නෙ ඉතින් "

දැහැමි ඉන්පසු ඇසුවාය. 

"විශ්ව පව්...එයා මේ වෙලාවෙ මාරම අසරණයි.මට කැමති ඩිසිෂන් එකක් ගන්න කීවා.මම එයාව ගෙදර යැව්වා.මට ටිකක් කල්පනා කරන්න ඕනෙ කියල." පාරමී පැවසුවේ කල්පනාවෙන් බරවය.ඇත්තෙන්ම මේ කාරණයට විශ්වට කරන්නට දෙයක් ඇත්තේම නැත.ඔහු මුල සිටන්ම අම්මා ගැන පාරමීට පවසා තිබූ කරුණු අනුව අම්මා යනු කුමන අන්දමේ කාන්තාවක්දැයි පාරමී වටහා ගෙන උන්නාය.

"ඔය අම්මණ්ඩිට පාඩමක් උගන්වන්නම ඕනෙ.බලපන් අවුරුදු හැත්තෑවත් පැනල.තාම තණ්හවෙ ඉවරයකුත් නෑ.අනුන්ට ගින්දර දෙන එකේ ඉවරයකුත් නෑ"

දැහැමි පැවසුවේ අධික කෝපයකිනි.

"මං මොන දේ කලත් අන්තිමට තැවෙන්නෙ විඳවන්නෙ විශ්ව. තමන්ගේ අම්මා මොනව කලත් ඒකෙ වරද විශ්වට පටවන්න බෑනෙ බං "

පාරමී කල්පනා කරමින්ම පැවසුවාය.

"උඹ දැන් මොකක්ද කරන්න ඉන්නෙ."

දැහැමි ඇසුවේ පාරමීගේ තුවාල දෙස බලමිනි.

"බලපන් මේ වගෙ දෙයක් කරවන්න මේ ගෑනිට පුළුවන් උනේ මොන හිතකින්ද ?" දැහැමිගේ ස්වරයේ තරහ, වේදනාව මෙන්ම කලකිරීමද විය.

"මං කල්පනා කරන්නෙත් ඒකම තමයි බං"

පාරමී පැවසුවාය.

                                                                             *** 

"මචං මේ මේ බලපන්"විශ්ව සිය පරිගණකයට එබී කෑගැසීය.නිසල් වහ වහා ඔහු වෙත දිව ආවේ ඒ කෑගැසීමෙනි.

ශෙරීනා එවූ විද්‍යුත් මේලය පරිගණකයේ විවෘත වී තිබුණි.ඇය මුලින්ම විශ්වගෙන් සමාව ඉල්ලා තිබුණ අතර සිදුවූ සියල්ලම විස්තර සහිතව ලියා තිබුණි.මෙම මේලයේම පිටපතක් සිය පියාටද යවා ඇති බව ඇය සඳහන් කොට තිබුණාය.

"මේක නම් නිකම් ඩ්‍රාමා එපිසෝඩ් එකක් වගෙනෙ බං.බලපන්කො අරුන්ගෙ ප්ලෑන් එක.මං හිතන්නෙ ශෙරීනා රට පනින්න හදපු එක හැක් උනා ටෙරන්ස් කාරයාට.ඕකුන් අපිවත් හැක්කරලද දන්නෑ මෙලහකට."

නිසල් විද්‍යුත් මේලය නැවත කියවමින් පැවසීය.

"අංකල්ටත් මේක ෆෝවර්ඩ් කරල කියන්නෙ ශෙරීනාට මාව මේකෙන් ගලවගන්න ලොකු උවමනාවක් තිබ්බා කියන එකනෙ.පව් මොක උනත් "

විශ්ව පැවසුවෙ ශෙරීනා ගැන උපන් සැබෑ ශෝකයෙනි.

"අරුන් මේ වැඩේ අතාරින්නෑ ඒ උනාට .කල්පනා කියන්නෙ කන්න දුන්න අත හපා කාපු සතෙක්.උඹේ පස්සෙන් මෙච්චර පන්න පන්න පලිගන්න ඒකිට මොන හේතුවක්ද කියලයි මම කල්පනා කලෙ මේ"

නිසල් පැවසුවේ කල්පනාබරිතවය.

"උඹ මේක පොලිසියට දෙනවද?"

නිසල් යළි ඇසුවේය.

"නෑ කරන දෙයක් අංකල් හිතල බලල කරයිනෙ.බලමුකො

මේ ඔක්කොමත් හරි පාරමී දැන් මොකක් කරයිද කියලයි මට ප්‍රශ්නෙ බං."

විශ්ව පැවසුවේය.ඔහුගේ සිතෙහි වූයේ බරපතල ලතැවිල්ලකි.පාරමී නොමැතිව නම් තමාහට මින් ඉදිරියට කිසිවක් කරන්නට නොහැක.

"උඹ හවස යනවනෙ පාරමීව බලන්න."

නිසල් ඇසුවේ වේදනාවෙන් පසුවන සිය මිතුරාගෙනි.

විශ්ව හිස වනා පිලිතුරු දුන්නේය.

              

ඒ මොහොතේම විශ්වහට ඇමතුමක් ලැබුණේ ශෙරීනාගේ පියාගෙනි.

"විශ්ව පුතා , ඔයා ඊමේල් එක දැක්කද?"

ඒ පියාගේ හඬෙහි වූයේ දැඩි ආවේගයක් සහ කෝපයකි. ඊට හේතුව වූයේ තමාගේ දියණිය මේ සා නොහොබිනා ලෙස විශ්ව හට ද්‍රෝහී ක්‍රියාවක් කිරීමය.

"ඔව් අංකල් ,මාත් මේ දැන් බැලුවා විතරයි"

විශ්ව සන්සුන් ස්වරයෙන් පැවසුවේය.

"මේකි මෙච්චර බලු වැඩක් පුතාට කරයි කියල මං හිතුවෙ නෑ පුතා . අයැම් සෝ සොරි.මට ඇත්තෙන්ම ලැජ්ජයි"

ඔහු වේදනාත්මක ස්වරයෙන් පැවසීය.

"අංකල් ඒක ගැන වොරි වෙන්න එපා.මට ඇත්තෙන්ම ශෙරීනාට වුණ දේ ගැන දුකයි. අංකල් මේ ඊමේල් එක මොකද කරන්නෙ.පොලිසියට ඉදිරිපත් කරනවද?" 

විශ්ව ඇසුවේ ඉදිරි කටයුතු ගැන වදවෙමිනි.

"මොන දහජරා වැඩෙ කලත් දැන් එයා ඒකට දඬුවම් විඳල ඉවරයි පුතා.නමුත් අන්තිම ජරා හොරමැරකම් කරන කෙනෙක් වුනත් මෙහෙම මැරෙන්න බෑ.නීතියට අනුව.ඒ නිසා මම මේක පොලිසියට දෙනව" 

ඔහු පැවසීය.

"අවශ්‍ය වුනොත් මගෙ එවිඩන්ස් මම දෙන්නම් අංකල්. "

විශ්ව සමුගනිමින් පැවසීය.කෙසේ වුවද අතිශය බලලෝබී කතන්දරයක නිමාව එලෙස සනිටුහන් වුවද තවමත් කල්පනා සහ ටෙරන්ස් නිදැල්ලේය.ඔවුහු ශෙරීනාගේ ඊමේලය ගැන අවබෝධයක් නැති හෙයින් තවම ඊළඟ පියවර සැලසුම් කරමින් ඉන්නවා ඇත.

                                                                          *** 

"කල්පි , අපි නෙක්ස්ට් වීක් අපහු යන්න ඕන.ඊට කලින් මගෙ ප්ලෑන් එකක් තියනව.මං මේක හොඳින් හෝ නරකින් මගෙ අතට ගන්නව.නැත්නම් ඌව මම නැතිකරනව" 

ටෙරන්ස් නාගහවත්ත පැවසුවේ සවස් යාමයේ කල්පනා උන් මහල් කිවාස කුටියට පැමිණි මොහොතේය.කල්පනා නිහඬව ඔහු කියන්න අසා උන්නාය.

"මොකෝ ගල්ගිල්ල වගෙ ඉන්නෙ.අරකි මැරුණට බයේද?"

ටෙරන්ස් නාගහවත්ත කල්පනාගේ ගෙලවටා අතක් යවා තමා වෙතට ඇදගනිමින් පැවසීය.කල්පනා කිසිවක්ම නොකියා උන්නාය.

ටෙරන්ස් නාගහවත්තගේ නිලනොලත් අන්තඃපුරයේ ආ ගිය සුරූපිනියන් අතර කල්පනාට හැමදාම ස්ථීර තනතුර තිබුණේ ඇයගේ උගත්කම සහ ටෙරන්ස්ගේ කටයුතු වලට දැක්වූ විශ්වාසනීය බව හෙයිනි.

"මට බයයි ..ශෙරීනාගෙ ඩෙත් එක ගැන පොලිසිය ඉන්වෙස්ටිගේශන් යනව.මාව අහුවෙන්න පුළුවන් .ආගිය තැන් චෙක්කලොත්"

කල්පනා පැවසුවාය.

"ඇයි ඒ යන තැන්වල ගියේ පෙනුම වෙනස්කරන් නෙවෙයිද?"

ටෙරන්ස් නාගහවත්ත ඇසුවේ කල්පනාගේ අනියත බිය ගැන ගැටලු සහගතවය.

"ගියෙනන් එහෙම තමා.ඒත් මේ ගෑනිව ශුවර් නෑනෙ.කරන දෙයක් ඉක්මනින් කරල අපි යං"

කල්පනා පැවසුවාය.ටෙරන්ස් නාගහවත්ත කල්පනා සිය ගතට ලංකොට ගත්තේ නිදන කාමරය වෙතට පියනගමිනි.ඉන්පසු එළඹෙන හෝරා කීපය තමා නොමරා මැරෙන්නක් බව කල්පනා දැන උන්නාය.එහෙත් මේ දෛවය තමාට ඉතුරු කල දෑය.ඇය සිත හදාගෙන ඔහුට අවනත වූවාය.

කල්පනා සයනයෙන් නැගීඋන්නේ ටෙරන්ස් නාගහවත්තගේ මත් පැන් වීදුරුව රැගෙන එන්නටය.ඔහු ඇය සමග මත්පැන් පානය එහෙම දිනයක අත්හැරියේ නැත.කල්පනා මත්පැනට හුරු වූයේද ටෙරන්ස් ගේ ඇසුරෙනි.

අයිස් කැට ,වීදුරු සහ , මත්පැන් ද සහිත ට්‍රොලිය රැගෙන කල්පනා ටෙරන්ස් වෙත ලඟාවූවාය.

"උඹ හොඳ කෙල්ල.මගෙ ටේස්ට් එක දන්න එකම කෙල්ල.කොච්චර මගෙන් ගුටිකැවත් කිසිම දවසක මාව අතෑරල නොගිය එකි.මම උඹට අලුත් අපාර්ට්මන්ට් එකක් අරන් දෙනව ගිය ගමන්."

කල්පනා සිය උකුලේ හිඳුවාගෙන ටෙරන්ස් සිය මත්පැන් වීදුරුව අතට ගත්තේය.කල්පනා ද සිය මත්පැන් වීදුරුව හිස්කරමින් ආලිංගනයට නතුවූවාය.

මත්පැන් බී අවසානයේ සයනයට වැටුණ දෙදෙනාගේ නෙත් පියවෙන්නට මොහොතකට පෙර කල්පනාගේ මුවගට ආවේ සැනසුම් සිනහවකි.

                                                                      *** 

විශ්ව පාරමී උන් කාමරයට ඇතුල් වූයේ සිතේ බලවත්ව නැගෙන අවිනිශ්චිත භාවයද සමගිනි. ඒ වන විටත් දැහැමි ඇයගේ හිස පීරමින් ඇය අසලට වී උන්නාය.විශ්ව දෙදෙනා සමගම සිනාවූයේ ආයාසයෙනි.

"විශ්ව අයියා බලන්න මේ කෙල්ලට වෙලා තියන දේ"

දැහැමි පැවසුවේ ඉතාමත් වේදනාවෙනි.කුඩාකල පටන්ම එකට වැටී උන් සිය මිතුරියට වූ මේ දේ දැහැමිව කම්පනය කොට තිබුණි.

"මං හිතුවෙ නෑ විශ්ව අයියා නැන්දා ඔච්චර දරුණු ගැනියෙක් කියල"

දැහැමි ගේ හඬ චෝදනාත්මක වෙද්දී විශ්ව අපහසුතාවයෙන් බිම බලාගත්තේය.පාරමී දැහැමි ගේ අතින් අල්ලාගත්තේ ඔය ඇති යැයි ඇසින් කියමිනි.

දැහැමි සමුගෙන ගිය පසු විශ්ව පාරමී වෙත පැමිණියේ ඇයගේ දෑසෙහි කියවෙන කතාව සිතාගන්නට අනුමාන කරමිනි.ඇය තමා හැරයනු ඇත්දැයි ඔහුට මහත් බියක් ඇතිව තිබුණි.

"පාරෝ..."විශ්ව ඇයගේ අතක් අල්ලාගත්තේ කෙඳිරුම් හඬකින් එසේ කියමිනි.පාරමී සුසුමක් හෙලා බලාඋන්නාය.

"ඇයි කතා නොකරන්නෙ..."විශ්ව ඇසුවේය.

"විශ්ව...මේ මොන දේ මෙහෙම උනත් මට ඔයාගේ අම්මාව පොලිසි උසාවි ගානේ ගෙනියන්න වුවමනාවක් නෑ."

පාරමී සුසුමක් හෙලා පැවසුවාය.

"අවුරුදු හැත්තෑගානක් වෙලත් එයාගේ තියන ගතිගුණ ඔයාටවත් අපිටවත් වෙනස්කරන්න බෑ.ඒක මේකෙන් තහවුරු උනානෙ.ඒ උනාට ඔච්චර වයසක කෙනෙක් පොලිසි උසාවි ගෙනිහින් කරදර කරන්න බෑ....මට කොහෙත්ම ඒක කරන්න බෑ...."

පාරමී පැවසුවේ කල්පනාවේ ගැලෙමිනි.

"ඒ උනාට මේ හැමදේම මගෙ ජීවිතයට හුරු ඒවා නෙවෙයි විශ්ව.ඔයා දන්නව අම්මායි මාලනියි එක්ක මම ගතකල ජීවිතේ මොන වගේද කියල.මෙහෙම දේවල් අපේ ජීවිත වල තිබුණෙ නෑ..."

විශ්ව නිහඬවම අසා උන්නේය.

"මේ කිසිම දේකට ඔයා වැරදි නෑ විශ්ව.ඒත් .....මට තීරණයක් ගන්න වෙනවා....ඇත්තෙන්ම ආයෙ ආයෙ මේ වගේ අනතුරු කරදර නොවෙයි කියල කිසිම සහතිකයක් අපිට නෑනේද....?

ඔය ශෙරීනාගේ මරණය කරවපු අය තාම පස්සෙන් පන්නනවා වෙන්න පුළුවන් ..ඒ අයගෙ ඊළඟ ඇටෑක් එක මම වෙන්න පුළුවන් ...ඔයාගෙ අම්මාට විරුද්ධව මොකුත්ම නොකරන නිසා එයා ආයෙ ආයෙ මට කරදර නොකර ඉඳී කියලා හිතන්නත් අමාරුයි.....ඒ නිසා අපි තීරනේකට එන්න ඕනෙ විශ්ව "

පාරමී නිවීසැනසිල්ලේ කියාගෙන ගියාය.ඇය තුළ වූ සන්සුන් බව විශ්වගේ අහලක හෝ තිබුණේ නැත.ඔහු උන්නේ ගිනිවැදෙමිනි.

"පාරෝ....ඔයා මොකක්ද කරන්න යන්නෙ...?"

විශ්වගේ හඬ වෙවුලුම්කමින් පැවතුණි.පාරමී විශ්ව දෙසට හෙමින් හැරී බැලුවාය.ඔහුගේ දෑස් බොරපැහැයට හැරී තිබුණි.ඒතරමට අසරණ වූ දෑසක් පාරමී විශ්වගේ මුල් වෛද්‍ය හමුවේදී හෝ දැක නොතිබුණි.

"ඔයා මාව අතාරින්නද යන්නෙ පාරෝ...?" 

විශ්ව ඇසුවේ පාරමී දෙසම බලාගෙනය.පාරමී ඉතා සන්සුන්ව සිනාවක් පා හඬ අවදිකලාය.

                                                                                    *** 

" මේ හැමදේම මෙහෙම උනත් ඒ කිසිම දේකට ඔයා වගකියන්න ඕන නැහැ කියලා මම හිතන්නේ. මේ වගේ දේවල් වලින් විසිරිලා බිඳිල යන්න තරම් අපි දෙන්නගෙ අතරෙ තිබුණ ආදරය දුර්වල එකක් කියලා මම හිතන්නේ නැහැ.ඒ නිසා ඔයත් එක්ක එදා ගත්තු තීරණය අදටත් ඒ විදියටම තියෙනවා විශ්ව."

පාරමී බොහෝ නැවතිල්ලේ කියාගෙන ගියාය. විශ්වගේ හදවත සැහැල්ලු වූයේ කිය ගන්නටත් බැරි තරම් ඉක්මනිනි. ඇයගේ තීරණය ගැන කෙතරම් හිත අවිනිශ්චිතව තිබුණේදැයි ඔහුටම සිතාගත නොහැක.

" යොදාගත්තු හැමදේම ඒ විදියටම අපි කරමු. හැබැයි මේ වෙලාවේ ඉඳන් මගේ ආරක්ෂාව ගැන ඔයාට ලොකු වගකීමක් තියෙන බව විතරක් මතක තියාගන්න."

පාරමී සිය දෑතට සිරව ගත් විශ්වගේ දෑතම පිරිමදිමින් පැවසුවාය.

විශ්ව පාරමී සිය ළයට තුරුලු කොට ගත්තේ ඇයගේ තුවාල පෑරෙන්නේ නැති තරම් සියුම් වය.

"මං ඒ දේ කරනවා පාරෝ.ඔයා නැතුව මට කොහොමත් ජීවිතයක් නෑ.ඒක මම දන්න එකම දේ" විශ්ව පැවසුවේ පාරමී පාරමීගේ නලලත සිප ගනිමිනි.මෙවන් දෙහදක නැගෙන ප්‍රේමය කෙතෙක් නම් බලවත්දැයි විටෙක කෙනෙකුහට සිතාගන්නට නොහැකි තරම් ය 

                                                                        *** 

රටම ආන්දෝලනයකට ලක් කරමින් සුපිරි නිවාස සංකීර්ණයේ එක් නිවසක ටෙරන්ස් නාගහවත්ත සහ කල්පනා සූරියාරච්චි මිය ගොස් සිට හමුවූයේ දිනකට පසු ටෙරන්ස් නාගහවත්තගේ ශරීර ආරක්ෂකයා විසින් දොර කඩා බැලීමේදීය.

මරණ පරීක්ෂණයේ දී නිරාවරණය වූ කාරණය වූයේ මත්පැන් වලට මුසු වූ නිද්‍රාජනක ඖෂධ අධිමාත්‍රාවක් සමඟ උග්‍ර විශක් දෙදෙනාගේම ශරීර වලට ඇතුළු වී ඇති බව ය. සැකය විවිධ ආකාරයෙන් හැම දෙසටම යොමු වෙද්දී ශෙරීනාගේ විද්‍යුත් මේලය මෙන්ම කල්පනා විසින් කෙටි සටහනක් සේ ලියා තබා ඇයගේ අත්බෑගයේ සඟවා තිබූ පාපොච්චාරණමය සටහන ද සියලු දේ නිරාවරණය කර දුන්නේය.

ටෙරන්ස් නාගහවත්ත ගේ අතීතයේ සිටම සිදු කළ සියලුම වංචනික හා දරුණු ක්‍රියාවන් සියල්ලේම වගකීම ඔහු සහ තමා ගන්නා බවද මේ සියලුම කාරණා වලින් අනෙක් පාර්ශ්ව සියල්ලම නිදහස් වන බව ද ඇයි සටහන් කොට තිබිණි.

"අන්තිමට හැමදේම විසඳල තියලා උන් ඔක්කොම ගියා."

නිසල් පැවසුවේ මේ සියල්ලේම පසු සමාලෝචනයක් විශ්ව සමගින් කරමිනි.කල්පනාගේ මරණය විශ්වගේ සිතේ කිසිදු වේදනාවක් ඇතිකලේ නැත.ශෙරීනා වෙනුවෙන් නම් යම්තාක් දුරකට හෝ කණගාටුවක් ඉතිරිව තිබුණි.

"අපේ අම්මාගේ කාරණය ඇරෙන්න අනිත් ඔක්කොම ඒ විදිහටම විසඳිලා ගියා."

විශ්ව පැවසුවේ තමාහට ඇසිඩ් ගැසූ කාරණය පොලිස් වාර්තාවලින් ද පාරමී ඉවත් කරගත් හෙයිනි.එය තනිකරම ඇයගේ තීරණයක් වූ හෙයින් විශ්ව එයට මැදිහත් වූයේ නැත. පාරමී කිසිදු විටෙක තමා ගත් ඒ තීරණය ගැන විශ්ව සමග යළි කතාකලේද නැත.

දින කිහිපයකට පසු පාරමී රෝහලෙන් ටිකට් කපා නිල නිවෙසට ගියාය.ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්නට යොදාගත් දිනයට පෙර පාරමී විශ්ව සමඟින් ඔහුගේ ගෙදරට පැමිණියේ විශ්වගේ මව හමුවීමටය.

සිදු වූ සියලුම කාරණා මේ වනවිටත් දැන උන් හෙයින් විශ්වගේ මවගේ පෙර තිබූ අහංකාරය යටපත් වී තිබිණි.ශෙරීනා විසිං කලකී දෑ අනාවරණය වෙත්ම විශ්ව ගේ මවගේ සිතතුළ වූ බලලෝභය යම්තාක් දුරට යටපත්ව ගියේය. පාරමී ඇය සමග කතාකලේ විශ්වට එතැනට ඒම වලක්වාය.

"මම මේ කාරණා කිසිම දෙයක් ඉස්සරහටත් අදින්නේ නැහැ එළියට. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මිසිස් ජයසූරිය ඉදිරියටවත් මේ වගේ වැඩ නොකරයි ඉඳියි කියලා."

පාරමී එපමණක්ම කියා නැගී සිටියාය.

"මට සමාවෙන්න දුව."

විශ්වගේ මව නොසිතූ අන්දමින් පාරමීගෙන් සමාව අයැද උන්නාය.එහෙත් ඇය විසින් ඇතිකල තුවාලය කිසිදා අමතක කල හැක්කක් නොවේ.

"මගෙන් සමාව ගන්න අවශ්‍ය නෑ මිසිස් ජයසූරිය ...ඒත් කිසිමදාක මම ඔයාට නෑකමක් කියන්න ඔයා ළඟට එන්නෙ නෑ..."

පාරමී ඒ සියල්ල කියාදැමුවේ විශ්ව ගේ මවගේ දෑස දෙසම බලාගෙනය.ඇය ඉතා අපහසුවෙන් බිම බලාගත්තාය.පාරමී නිහඬවම ඇයගෙන් සමුනොගෙනම ආපසු ආවාය.

නිසල් සහ දැහැමිත් ඇයගේ අම්මාත් පමණක්ම සහභාගී වූ විවාහය ලියාපදිංචි කිරීමක් පාරමී සහ විශ්ව විසින් තෝරාගත් නිසංසල අවන්හලකදී සිදුවූයේ ඉන් දින දෙකකට පසුය. පාරමී ලාකොල පැහැති සාරියකින් සැරසුණේ ගෙල වැසූ හැට්ටයකටය.තවමත් ගෙල අසල තුවාල කැලැල්‍ ය.

"දුක හිතෙනවා බෙල්ල දැක්කම"

විශ්ව පැවසුවේ පාරමී ගේ ගෙල දෙස බලමිනි.

"දැන් ඉතින් යන යන රටෙන් බලල මම ඔයාගේ පර්ස් එකට විඳලා මේක යටගැහෙන්න ක්‍රීම් ජාති ගන්නයි ඉන්නෙ."

පාරමී හිනැහෙමින් පැවසුවාය.විශ්වද ඒ සිනහවට එක්වූයේය.

ඔවුන් දෙදෙනා එදිනම රාත්‍රියේ යොදාගත් අන්දමට සති තුනක චාරිකාවක් සඳහා විදෙස් ගතවූහ.

"හැමදේම මේ විදියට වුණ එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්. "විශ්ව පාරමීට පැවසුවේ නිවසින් පිටව ගුවන්තොටුපලට යන්නට සූදානම් වෙන අතරේය.

" මොන ප්‍රශ්නෙ ආවත් ඔයා එක්ක මම ඉන්නවා කියල මම ඔයාට පොරොන්දු උනා මතකද ?" පාරමී ඇසුවේ විශ්ව ගේ ටීෂර්ටයේ කොලරය සකසමිනි.ඇයගේ දෝත අල්ලාගත් ඔහු ඒ දෑස් දෙස මොහොතක් බලාඋන්නේය.ආදරය සහ විශ්වාසය කැටිව ගත් පාරමී ගේ දෑස සුපැහැදිලිව දිලිසෙමින් තිබුණි.

"ඉස්සර ඔයා හමුවුන මුල් දවස්වල ඔයා මගේ හදවතේ කොතැනක හරි උන්න කෙනෙක් වගේම මට දැනුණා...අදින් පස්සෙ මගේ මේ හදවතේ හැම අස්සක් මුල්ලක්ම ඔයාගෙන් පිරේවි"

විශ්ව ඇය සිය ළයට තදකොට ගෙන පැවසීය.පාරමී දෑස් වසා ඒ ළයේ රිද්මය අසා උන්නාය.

ඉදින් ප්‍රේමය යනු පරිත්‍යාගයක් මිස අන් කවරක්ද ? 

හදගැබෙහි කොහේ හෝ කොණක මතුවන ඉන්පසු හදපුරා අක්මුල් සිසාරා පැතිරෙන ආදරයේ මල්වරුසාවන් මතින් ජීවිතයේ අලුත් ඉසව්වක් සොයා යන්නට පාරමී විශ්වගේ දෑතේ පැටලී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පිවිසියාය.

********************************************************************************* 

හදේ කොතැනක හෝ හිඳී ඔබ 

නිදානොනිදා මෙන්

බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්

පෙලයි මා මුදා සුව දැහැනින්.....


සමාප්තයි.


********************************************************************************** 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)